Posted by: lrrp | July 18, 2009

අභිධර්මය සහ බටහිර චින්තනය

ප්‍රැන්සිස් ස්ටෝරි

පරිවර්තනය – නාරාවිල පැට්රික්

පසුගිය දාක මට අප හොඳින් දන්නා සමකාලීන ඉංගිරිසි දාර්ශනිකයකුගේ කෘතියක් කෙරෙහි අවධානය යොමු කරන්නට සිදුවිය. එය සොක්‍රටීස්, ප්ලේටෝ සහ ඇරිස්ටෝටල් යන ගී‍්‍රක දාර්ශනිකයන් පිළිබඳ විවරණයෙන් පිරී ඇති බව පෙනිණ. ඒ අතර මහා පරිමාණ විසින් පසුකාලීන ස්පිනෝසා, එමෑනුවෙල් කාන්ට් බර්ක්ලේ සහ තවත් බොහෝ ලේඛයන් පිළිබඳව ද තොරතුරු දැක්විණ. එහෙත් එහිලා බුදුන් වහන්සේ ගැන සඳහන්ව තිබුණේ එක් තැනක පමණි. එහිදී උන්වහන්සේගේ ආචාර විද්‍යාත්මක ඉගැන්වීම් යේසුස් වහන්සේගේ සහ ලාඕත්සු තුමාගේ ඉගැන්වීම් සමග සසඳා දැක්විණ. කෙසේ වෙතත් එහි බෞද්ධ දර්ශනය පිළිබඳ සඳහනක් නොවී ය. එසේ ම අභිධර්මය ගැන හෝ පැවැත්මේ සම්භවය පිළිබඳ දර්ශනය ගැන කිසිවක් සඳහන්ව නොතිබිණ.

මම ඒ කෘතිය එහෙන් මෙහෙන් කියවා ගෙන ගියෙමි. එවිට මා තුළ ඇති වූයේ බලවත් කුතුහලයකි. එනම් සදහට ම විවෘත වූ ශ්‍රේෂ්ඨතම සහ අත්‍යන්තයෙන් තර්කාන්විත බුදු දහම වැනි දර්ශනයක් බටහිර අධ්‍යාත්ම විද්‍යාඥයන් විසින්, සිය අඥත්වය හමුවේ සියවස් ගණනාවක් පුරා නොතකා හරින ලද්දේ ඇයි ද යනුවෙනි. එය විය හැක්කක් ද? මම මවිතයට පත් වීමි. ඇයි ද යත්, එහි ප්‍රකාශන ආකෘතිය සහ චින්තනය පිළිබඳ අත්‍යවශ්‍ය සන්දර්භය, ගී‍්‍රක සම්ප්‍රදායයෙන් අපට උරුම වූ ඕනෑ ම දෙයකට වඩා තරයේ අන්‍යතර වන නිසාද? ඒ ගැන මෙසේ මතක තබා ගත යුතු යැයි මම සිතමි. යුරෝපීය ආගමික චින්තනය පැහැදිලිවම සකසා ගෙන ඇත්තේ අන් කිසිවකට වඩා ගී‍්‍රක දාර්ශනික සම්ප්‍රදායයෙනි. තවද අඩු තරමින් එක් ගී‍්‍රක දාර්ශනිකයෙක් වත් විශ්වය ප්‍රවාහිත කාර්යාවලියක් ලෙස දුටුවේ ය. ෂෝපන්හවර් ඔහුගේ ඇතැම් දිරිගැන්වීම් වලට ආභාසය ලැබුවේ බෞද්ධ මූලාශ්‍රයන්ගෙනි. එහෙත් ඔහු ඒවා නිරවද්‍ය ලෙස අර්ථකථනය කරමින් ඉදිරියට ගියේ නැත. එයට හේතුව ඔහුගේ චින්තනය වැඩිතරයෙන් උපනිෂද් වෙත නැඹුරුවීමයි.

බටහිර දර්ශනයේ මූලධාර්මික තේමා කවරේද? අවසාන වශයෙන් ඒවා සදාචාරාත්මක ප්‍රශ්න සම්බන්ධයෙන් අදාළ වන අතර ජීවිතයේ ස්වභාවය විවරණය කරන්නට යත්න දරයි. මානව ජීවිතය පිළිබඳ අත්‍යවශ්‍ය අංග ආත්මය (Soul) ආත්ම විශ්වාසය (Conseience) ජීවාත්මය (Spirit) ආදී පද වලින් විස්තර කරනු ලැබේ. මෙවන් දාර්ශනික ශබ්ද වේදයකින් ඉදිරිපත් කරනු ලබන්නක ඇති අවුල් සහගත බැවින් කෙනෙකු හණික තිගැස්සෙන්නට පුළුවන. එයට හේතුව අභිධර්මය සමග සසඳන විට ඒවායින් ප්‍රකාශිත නිශ්චිත අර්ථයෙහි හිඟපාඩුකම් තිබීමයි.

මෙවන් පාරිභාෂිත පද ඒවායේ නියම ස්වරූපයෙන් ම එක්කෝ නිර්වචන කළ නොහැකි ය. නැතහොත් ඊට අමතරව නොයෙක් පරස්පර විවරණ වලට විවෘත ය, ඒ අතර ඒවායේ භාවිතය ඒවාට අදාළ සාධක පිළිබඳ ඕනෑ ම නිශ්චිත නිගමනයකට එළඹීම වළක්වයි. ප්‍රකාශ ආකෘතිය පිළිබඳ නිරවද්‍ය සම්බන්ධය හා ක්‍රියාකාරීත්වය හඳුනා ගත් අභිධර්මය හදාරන ආධුනිකයාට ලැබෙන ප්‍රතිඵලය වන්නේ ආකූලත්වයකි. එනම් විශේෂයෙන් කොතැනකදී හෝ හේතු දැක්වීමට නොමෙහෙයැවෙන හැඟීමකි. මෙයින් සිදුවන්නේ සදාචාරාත්මක වටිනාකම් පිළිබඳ බටහිර දාර්ශනිකයාගේ මතය මුල සිට ම යටපත්වීමයි.

මේ පැහැදිලිකමේ ඌනතාව නිසා, ඒ හැර ඇති වන තවත් අඩුපාඩුවක් නම්, ‘හොඳ’ සහ ‘නරක’ පිළිබඳ ගුණාත්මක භාවයට හිමි නිරපේක්‍ෂ අගයක් ආරෝපණය වීම යි. මෙයින් බටහිර දාර්ශනිකයාගේ ආචාර විද්‍යාත්මක වටිනාකම් පිළිබඳ අදහස් මුල සිට අග තෙක් ම යටපත් කරනු ලැබේ. එහෙත්, ‘හොඳ’ සහ ‘නරක’ යන සංකල්පයේ යථා තත්ත්වය, සාපේක්‍ෂ අගයක් පමණක් වන බව සහ උණුසුම හා සිසිල හෝ ආලෝකය හා අඳුර පිළිබඳ අදහස් වලට වඩා නිරපේක්‍ෂ නොවන බව හඳුනා ගන්නා තුරු, කවර දාකවත් ගැටලුව එහි සැබෑ ස්වරූපයෙන් දකිනු නොහැකි ය. බෞද්ධ දර්ශනය නරකට එරෙහි හොඳ පිළිබඳ මේ ප්‍රශ්නයේ හරි මැදින් සෘජුව සිටී. එනම්, බටහිර ආගමික හා දාර්ශනික දෘෂ්ටියට බාධකයක් සේ ය. බුදුදහම තුළ ඉඳුරා ම හරි හෝ වැරැදි අතර වෙනස පිළිබඳ ප්‍රශ්නයක් පැන නොනඟී. ඇයි ද යත්, ඒවා භාවිතයේ දී විවිධ අවස්ථාවල විවිධ තේරුම් දරන හෙයිනි. එය වැඩිමනත් ‘අස්මිතාව‘ හෙවත් ‘මමකම්’ සහ ආත්මාර්ථයෙන් තොර හෙවත් උපේක්‍ෂා සහගත බව සමග ඇති සම්බන්ධය විසින් මෙහෙයවන ලද කවර ආකාරයේ හැසිරීමක් ද යන්න පිළිබඳ ප්‍රශ්නයකි.

මේ වනාහි සංකීර්ණ ගැටලු හා අවිනිශ්චිත සදාචාරාත්මක ප්‍රශ්න පිළිබඳ යුගයකි. එහිලා හැම විටම සම්භාව්‍ය වැදගත්කම පිළිබඳ පදනමේ පිහිටා ‘හරි’ හෝ ‘වැරැදි’ කුමක් දැයි කෙනෙක් තීරණය කරන්නේ නම්, එසේ කිරීම අප සිතන තරම් පහසු කාරියක් නොවේ. බොහෝ විට එක්තරා පිරිසකගේ යහපත පිණිස ඉටු කරන ලද සේවාවක ප්‍රතිඵලයෙන් වෙනත් පිරිසකට හෝ ඇතැම් විට එකී පිරිසට ම හෝ අභාග්‍යය උදා වන්නට පුළුවන. මෙය වෙසෙසින් දේශපාලන ක්‍ෂේත්‍රයේ අත්දුටු යථාර්යකි. අන් ක්‍ෂේත්‍රයන්හි ද මෙය ඇති පදමින් දකිනු හැකි ය.

උදාහරණයක් හැටියට නූතන වෛද්‍ය විද්‍යාව හා ශල්‍ය වෛද්‍ය විද්‍යාව, වේදනා සමනයෙහිලා මානව සංහතියට ඉමහත් ආශිර්වාදයක් වී තිබේ. එහෙත් මේ ආශිර්වාදය පිණිස සත්ත්ව විච්ඡෙදනයේ දී ඔවුන් කෙරෙහි වාග්විෂයාතික්‍රාන්ත වදහිංසා පමුණුවමින් වන්දි ගෙවන්නට සිදුව ඇත. පර්යේෂණාත්මක විචිඡේදනයෙන් තොරව රෝග ප්‍රතිකාර විෂයෙහි නූතන ප්‍රගතිය අත්කර ගන්නට නොහැකිව තිබිණැයි එක්තරා වගකිය යුතු අධිකාරියක් අප දැනුම්වත් කර තිබේ. මේ මොහොතේ එහිලා පක්‍ෂව හෝ විපක්‍ෂව තර්ක කරන්නට අදහස් නොකරමි. එහෙත් මේ මොහොතේ පවා පිළිකා සහ වෙනත් විවිධ රෝග විෂයෙහි අධ්‍යයනය පිණිස ලොවපුරා රසායනාගාර තුළ සත්ත්ව ජීවීහු යොදා ගනු ලැබ සිටිති. හුදෙක් මා මේ තොරතුරු ඉදිරිපත් කරන්නේ ‘හරි’ සහ ‘වැරැදි’ යන්නෙන් කුමක් නියෝජනය වන්නේ දැයි ප්‍රශ්න කරන කල්හි, දැනුම වැඩි වෙමින් පවතිද්දි පෞද්ගලික වගකීමට වැඩිතර බර තැබීමක් සිදුවන ආකාරය දැක්වීමට ය.

ඉදින් බටහිර දර්ශනය මේ ගැටලු වලට මැදිහත්ව ඔවුන්ගේ අසාමාන්‍ය අවබෝධයෙන් කවරදාක හෝ සිය අරමුණු සාක්ෂාත් කරගෙන නැති නම්, එයට හේතුව ලෙස මා දකින්නේ, මූලික වශයෙන්ම මිනිසා සහ සදාචාරාත්මක න්‍යාය පිළිබඳ සංකල්පය විෂයයෙහි ඔවුන්ගේ සාවද්‍ය දෘෂ්ටියයි. මේ හේතුව නිසා බටහිර ශිෂ්ටාචාරයට එය විසින් අත්පත් කරගෙන ඇති සත්ව කරුණාවෙන් අනූන හැම ප්‍රගතියකට ම බරපතල ලෙස වන්දි ගෙවන්නට සිදුවනු ඇත. අපි අපේ ආයුකාලය දික් කර ගැනීමෙන් ජයග්‍රහණය ලබා සිටිමු. සෞඛ්‍ය විද්‍යාව හා සෞඛ්‍ය සංරක්‍ෂණයේ පිහිටෙන් මහාමාරිය සහ එවන් වසංගතයන්ගෙන් සහනය ලබා සිටිමු. එහෙත් ඒ එක්කම යුද්ධය පිළිබඳ අවදානම හා භව්‍යතාව වර්ධනය කර ගෙන සිටිමු. අප විසින් අපේ සිවිල් ජනතාවගේ එළිපත්තට ම එහි හිරුකත්වය වැඩමවා ඇත. අප ලබා තිබෙන කිසියම් ප්‍රතිලාභයක් වේ නම්, අපි නියත ලෙස ම එයට හිලවු වශයෙන් දුර්ලභයක් අත්කර ගෙන සිටිමු. එහි ප්‍රතිඵලය වන්නේ ලොවපුරා සන්තාපයේ ශේෂපත්‍රය තවමත් එසේ ම ගිමන් හරින බව යි. නූතන විද්‍යාවට බොහෝ දේ කළ හැකි ය. එහෙත් හේතුඵල න්‍යාය අවලංගු කළ නොහැකි ය.

බටහිර දර්ශනයට ප්‍රායෝගික විසින්ම මිනිසාගේ ස්වභාවය පිළිබඳව ඇත්තේ සාවද්‍ය දෘෂ්ටියක් බව මා කියා ඇත. පුද්ගලත්වය භෞතික හා මානසික සාධකයන් තුළ නිරන්තරයෙන් විපරිණාමයට යන්නක්ව තිබියදී, ඒ වෙනුවට එය අස්තිත්වයක් හෙවත් තිර ලෙස පවතින්නේ සේ ඇතැයි අද පවා තරයේ සිතන්නට යොමුව සිටින බවක් පෙනේ. එහෙත් නූතන විද්‍යාව, අභිධර්මය විසින් ඉදිරිපත් කරන ලද මතයට වඩාත් ආසන්න ලක්‍ෂ්‍යයකට අප යොමු කරවයි. සිය දාර්ශනික අවබෝධය නූතන විද්‍යාවෙන් ලබා ගන්නා බෞද්ධයකුට තමාගේ අදහස් වඩාත් හුරු පුරුදු සන්දර්භයකින් ප්‍රකාශ කළ හැකි ය. එහිදී ඇතැම් විට ප්‍රකාශන ශෛලිය වෙනස් වන්නට පුළුවන. එහෙත් සංකල්පය හෙවත් චින්තාව වෙනස් වන්නේ නැත.

අද බටහිර දෙයාකාරයක දාර්ශනික චින්තනයක් විද්‍යාමාන වෙයි. ඉන් එකක් සම්භාව්‍ය ලෙස හැඳින්විය හැකි අතර එය ප්‍රභවය ලබා ඇත්තේ සාම්ප්‍රදායික උසස් අධ්‍යාපන මූලාශ්‍රයන්ගෙනි. අනෙක විද්‍යාත්මක නමින් හැඳින්විය හැකි ය. සම්භාව්‍ය ගුරුකුල දාර්ශනිකයා මෙතෙකුත්, ‘ආත්මය’, ‘ජීවාත්මය’ ආදී අනියත සංකල්පයක ජටාගතව සිටී. එහෙත් විද්‍යාත්මක ගුරුකුලය ලහි ලහියේ බෞද්ධ දර්ශනය වෙත ආකර්ශනය වෙමින් සිටී. ඇයි ද යත්, එය සාම්ප්‍රදායික ආයතන ප්‍රතික්‍ෂේප කරන්නට දිරිගන්වනු ලබන අතර ජීවිතය පිළිබඳ වේගවත් සහ පාරිණාමිකව කෙමෙන් වෙනස් වන පරිසරයක් අත්දකින හෙයිනි. එය ගනුදෙනු කරන්නේ හෙවත් සබඳකම් පවත්වන්නේ ද්‍රව්‍ය ලෝකය සහ ප්‍රතිපත්ති වලට වඩා ක්‍රියාවලිය සමඟ ය. පවත්නා ඕනෑ ම තත්ත්වයකට වඩා ප්‍රඥප්තිය සමඟ ය.

තවද නව ප්‍රවණතාව භෞතිකවාදී මතයෙන්, අභෞතිකවාදී මතයට හැරෙන බවක් පෙන්නුම් කරයි. තව දුරටත් වාස්ත්වික හා පුද්ගලබද්ධ සබඳතාවන්ගේ වඩාත් පැහැදිලි මතයට පිළිගැනීමක් ද ලබා දී ඇත. දැන් දැන් විද්‍යාව සිතෙහි අසිරිමත් බව හා මානසික චර්යාව පිළිබඳ අධ්‍යයනය කෙරෙහි අවධානය යොමු කරන්නට පටන් ගෙන තිබේ. එය මගේ මෙන් ම බොහෝ දෙනගේ ද විශ්වාසය යි. අනාගත විශිෂ්ට සංවර්ධනය සිදුවන්නේ මේ ක්‍ෂේත්‍රයේ විය හැකි ය. මානසික ක්‍ෂේත්‍රය තුළ නව සොයාගැනීම් පිළිබඳ ආකෘතිය එය වන්නට පුළුවන.අභිධර්මය බටහිර සම්භාව්‍ය දර්ශනයෙන් ඉස්මතුව පෙනෙන්නට තරම් වැදගත් වන්නේ කවර හෙයින්ද? මේ වන විටත් මා දක්වා ඇති පරිදි අභිධර්මය, විඥානය පිළිබඳ මෙතෙක් අප දන්නා සහ තවදුරටත් දත යුතු හේතු සාධක සමග බැඳී පවතී. එනම්, සාමාන්‍යකරණය කරන ලද අපහරණයන් සමඟ නොව, හේතුව සහ ඵලය පිළිබඳ සිද්ධාන්ත සමඟයි. එය සිය දත්ත උපුටා ගන්නේ පූර්වකල්පිත තොරතුරු වලට මූලාශ්‍ර දැක්වීමෙන් තොරව අධ්‍යයනය කරන්නට හැකි ලෙසිනි. එසේම එය ඔප්පු කළ නොහැකි කිසිවක පැවැත්මක් පිළිගන්නේ ද නැත. අභිධර්මය නියෝජනය කරන්නේ දාර්ශනික චින්තනයට යථාවාදී විද්‍යාත්මක ආසන්නවීමක් පමණි. එය අභිධර්මය සහ වෙනත් ක්‍රමවේදයන්ගේ ප්‍රධාන වෙනස්කම් අතර එකක් වෙයි. එහෙත් අභිධර්මයේ උසස් තත්ත්වයකට එකම හේතුව එය නොවේ.

අභිධර්මය ජීවියකුගේ විඥානය සුනිශිත කරන සහ සමස්තයෙහි විස්තරාත්මක ආදර්ශයක් නිමවන, අභ්‍යන්තර සහ බාහිර සියලු හේතු සාධකයන්ගේ විධිමත් වර්ගීකරණයක් සපයයි. එය පෞද්ගලික අනන්‍යතාවේ උපස්තරයක් තුළ ඕනෑ ම විශ්වාසයක් පිණිස ඇති වුවමනාවකින් නිදහස් ය. එසේම එය එවන් විශ්වාසයක් සහගාමි කර ගන්නා ප්‍රතිෂේධය ද වළක්වයි. කෙසේ වෙතත් බාහිර අලංකාරයට පමණක් ඉගෙන ගන්නකුට, ආත්මවාදී සිද්ධාන්ත මත ගොඩනැඟී ඇති වැඩිතමයක් දර්ශන වෙත ආපසු එළඹෙන්නට නොහැකි නොවේ. අපි විශ්ව ප්‍රවාහය පිළිබඳ මූලධර්මය හෙවත් පටිච්චසමුප්පාද න්‍යාය සහ විඥානය පිළිබඳ ආභිධාර්මික විශ්ලේෂණය පිළිගන්නට බැඳී සිටිමු. අප වරක් අනාත්මකත්වයේ කේන්ද්‍රීය අර්ථය අවබෝධ කරගත් කල්හි, මේ සමස්ත විෂය ක්‍ෂේත්‍රය සුදුසු පරිදි සැකසෙන අතර, හේතුකත්වය පිළිබඳ සාවද්‍ය අවබෝධය විසින් බිහි කරන ලද විසමතා සමතුලිත කරනු ලැබේ.

එවිට අපි අප තුළ ම, භෞතික විද්‍යාඥයා මේ අසිරිමත් ලෝකය තුළ දකින්නේ කුමක් දැයි වටහා ගනිමු. එනම් විශ්ව නියාමක හේතුවක් නිසා හටගත් කාර්යාවලියක් තුළ ඇතිවෙමින්, නැතිවෙමින් යන ක්ෂණ භංගුර සිද්ධි සන්තතියක් මිස, අන් කිසිදු ද්‍රව්‍යාත්මක ආකෘතිගත පැවැත්මක් නොවේ.

විද්‍යාත්මක දැනුම හෝ චින්තනය අප තුළ ලැගුම් ගත්, අප නොමඟ යවන සුළු බොහෝ විශ්වාස වලින් අත්මිදෙන්නට අප පෙළඹවීම සතුටුදායක ප්‍රවණතාවකි. එහෙත් අවසානාවකට මෙන් එය සිදුවෙමින් තිබෙන්නේ, අපේ දාර්ශනිකයනට ඊට වඩා වැදගත් ආදේශකයක් සොයාගත නොහැකිව තිබියදී ය. නූතන බොහෝ විද්වතුන්ගේ ප්‍රතිෂේධාත්මක මතයට පිළිතුරු දිය හැක්කේ බුදුදහමින් පමණි. එහෙත් බෞද්ධයන් තවමත් ඒ අවස්ථාවට එළඹ නැත. වර්තමානයේ ඔවුන් දන්නා එකම දේ නම්, ඔවුනට සුපුරුදු ලෝකයෙන් යථාර්ථය පරාජයට පත් කර ඇති බවයි.

බුදුදහමේ සදාචාරාත්මක වටිනාකම් ප්‍රශ්න කරණයට ලක් කරනු ලැබ ඇත. එයට පිළිතුරු දෙන්නට කිසියම් බලාධිකාරියක් පියවර ගෙන නැත. එක්තරා ආකාරයක බරපතල පීඩනයක් ඔවුන් කෙරෙහි බලපා ඇත. එහි එක්තරා ලක්‍ෂණයක් නම්, අනුභූතිවාදියාගේ සර්ව අශුභවාදී දර්ශනයයි. ඔහු ජීවත් වන්නේ තත්ෂණ මොහොතක පමණි. ඔහුගේ ජීවිතය රඳා පවත්නේ ඔහු විඳින පීඩාවේ ශක්තියෙනි. අපෝහක භෞතිකවාදය, තර්කානුසාරි අනුභූතිවාදය සහ ඒවාට සත්කාරක තවත් නොයෙක් මතවාද තමන්ගේ හිතුමතේ විවිධ මංපෙත්හි යමින් සිටී. ඒ එක එකක් යත්න දරන්නේ විසුරුණු දැනුමක් ඔස්සේ පරිපූර්ණ ආකෘතියක් නිර්මාණය කරන්නටය. එයින් නිර්මාණය වන්නේ ක්‍රමවේදයකින් වියුක්ත, මිනිසාගේ සාමූහික අත්දැකීමේ එක්තරා අංශුමාත්‍රික යම් කිසිවක් පමණි.

එමඟින් ඔවුනට කවරදාවත්, සිය අරමුණු ඉටුකර ගනු වස්, දේශපාලකයකු ලවා පාර්ලිමේන්තු පනතක් මඟින් මහ පොළොව දෙව්ලොවට ඔසොවා තබනු විනා, ඊට වැඩි කිසිවක් නොලැබෙනු ඇත.

ශ්‍රේෂ්ඨ අපේක්‍ෂා පමණක් ප්‍රමාණවත් නොවේ. ඒ පසුපස බුද්ධිමත් චින්තනයක් ද තිබිය යුතු ය. ඒතාක් අපේ විමර්ශනයත් සමඟ මිනිසාගේ ඉරණම සහ සොබාදහම ද අදාළ පරිදි සමානුපාතික වෙයි. මේ සියල්ල කේන්ද්‍රගතව සමානුපාතිකව ක්‍රියාත්මකවීමට නම් බුද්ධිමත් චින්තනයේ ක්‍රමෝපායික පිළිවෙතක් වුවමනා ය. එය යථාර්ථයක් බවට පත් වන්නේ, බුදුදහමේ පරමෝදාර දර්ශනය, එනම් ‘අභිධර්මය’ තේරුම් ගැනීමෙන් පමණි.

(Mahabodhi Centenary Commemorative Volume – SAMBHASHA කලාපයේ පළ කරන ලද ප්‍රැන්සිස් ස්ටෝරිගේ Abhidharma and Western Thought ලිපියේ පරිවර්තනයකි.)


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: