Posted by: lrrp | July 18, 2009

උතුරු පළාතේ ස්ථූපයක් ඉදිකිරීමට හොඳම ස්ථානයක් කිලිනොච්චියේ

එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදය පරාජය කළ පසු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සහ රජයේ විශේෂ අවධානය යොමුවූයේ විජයග‍්‍රහණය සංකේතවත් වනු පිණිස පළාත් නවයක අභිනවයෙන් ස්ථූප 9 ක් ඉදිකිරීම කෙරෙහිය. ඉන් උතුරු පළාතේ පිහිටුවිය යුතු ස්ථූපය කුමන ස්ථානයක ඉදි කළ යුතු දැයි අවධානයට ලක් කිරීම මෙම ලිපියේ අරමුණයි.

ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ පාදස්පර්ශයෙන් පවිත‍්‍ර වූ, බෞද්ධයාගේ වන්දනාවට පාත‍්‍ර වූ මහියංගනය, නාගදීපය, කැලණිය, ශ‍්‍රීපාදස්ථානය, සොළොස්මස්ථානයෙන් වැදගත් පූජනීය ස්ථාන 4 කි. ඉන් නාගදීපයට ද සුවිශේෂී වැදගත්කමක් හිමිවනුයේ චූලෝදර මහෝදර යන නාග රජුන් ඇතුළු දෙසේනාවක් අතර ඇවිළීමට ගිය සටනක් සමථයකට පත් කිරීමට බුදුරජාණන් වහන්සේ වැඩම කිරීම නිසා ය. එහිදී කැලණියේ මණිඅක්ඛික නා රජුගේ ඇරයුමින් බුදුරජාණන් වහන්සේ කැලණියට ද වැඩම කළ බව ශාසන ඉතිහාසයේ එයි.

නාගදීපය වසර 30 කට පෙර ශ‍්‍රී ලංකාවේ බෞද්ධ ජනයාගේ වන්දනා මානයට අරමුණු වූ වැදගත් සිද්ධස්ථානයකි. මේ වන්දනා ගමන්වලදි අනුරාධපුරයේ රුවන්වැලි සෑය හා ශ‍්‍රී මහා බෝධිය, කිලිනොච්චියේ ලුම්බිණී විහාරය, යාපනයේ නාගවිහාරය සහ නයිනතිව් හි නාගදීප විහාරය සුවිශේෂී ස්ථාන විය.

නාගදීපය නයිනතිව් නමින් හැඳින්වූ මුහුදින් වට වූ අතර යාපනයේ සිට බෝට්ටුවලින් යා යුතු විය. නාගදීපයේ වැදගත් සිද්ධස්ථාන දෙකක් විය. එකක් නාගදීප විහාරය වන අතර අනික නාගම්මා කෝවිලයි. වසර 25 කට පෙර එල්.ටී.ටී.ඊ බලය ව්‍යාප්ත වීමත් සමඟ රජයේ නාවුක හමුදා කඳවුරක් පිහිටුවීම නිසා එම සිද්ධස්ථානය ආරක්ෂා වී පැවතුණි.

ති‍්‍රවිධ හමුදාව විසින් යාපන අර්ධද්වීපය සිය අණසකට යටත් කරගත් පසු එල්.ටී.ටී.ඊ. ය වන්නි දිස්ති‍්‍රක්කයට පසු බැස කිලිනොච්චිය සිය පාලන මධ්‍යස්ථානය කරගත්තේ ය. එයින් පසු වන්දනාකරුවන් හා වෙළෙඳුන්ට කිලිනොච්චිය වන්දනාමානයට සහ නවාතැන් පොළක් ලෙස භාවිතා කිරීමට තිබූ අවස්ථාව අහිමි විය.

කිලිනොච්චියේ සිංහල බෞද්ධ බැතිමතුන්ගේ වන්දනාවට පාත‍්‍ර වූ සිද්ධස්ථානයක් ලෙස ලුම්බිණි විහාරය පැවතිණි. යාපනයේ නාගවිහාරයත්, නයිනතිව් හි නාගදීප විහාරයත් වන්දනා කරන බැතිමත්හු ඒ 9 මාර්ගය ඔස්සේ ගමන් කරන විට කිලිනොච්චියේ වූ ලුම්බිණි විහාරස්ථානයේ නවාතැන් ගැනීම සිරිතක් කොට ගත්හ.

ඊට හේතු වූයේ යාපනය හා වව්නියාව අතර කිලිනොච්චිය පිහිටීම නිසා ය. කොළඹ සිට කිලිනොච්චියට කි.මී. 321 ක් වන අතර වව්නියාව සිට කිලිනොච්චියට කි.මී. 67 කි. යාපනය සිට දකුණට කිලෝමීටර් 65 කි.

කිලිනොච්චියේ ලුම්බිණි විහාරයේ දෙතිස්මහ පලරුහ බෝධීන් වහන්සේ නමක් වැඩසිටින අතර බුදු මැදුරක් ද විය. බෝධීන් වහන්සේ නිරුපද්‍රිතව තිබෙන අතර බුදුමැදුරට එල්.ටී.ටී.ඊ.ය විසින් අලාභ හානි කර තිබිණි. දෙමළ හින්දු බැතිමතුන් ගේ වන්දනාවට පාත‍්‍ර වූ පුල්ලෙයාර් දේවාලය ද (ගණ දෙවි කෝවිල) සුරැකිව තිබේ.

1988 දී පුනරුත්ථාපන ලේකම් විසින් බෞද්ධ කටයුතු කොමසාරිස්ට දන්වා ඇති ලිපියක කිලිනොච්චියේ ලුම්බිණි විහාරයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු සඳහා ආධාර මුදලක් වෙන් කළ නමුදු කොටි ත‍්‍රස්තවාදීන්ගේ බලය හමුවේ එහි කටයුතු කෙරුණේ නැත. 2009 මැයි 18 වන දින වනවිට කොටින් සතු කරගෙන සිටි සියලුම ප‍්‍රදේශ ති‍්‍රවිධ හමුදාව විසින් අත්පත් කරගත් පසු ලුම්බිණි විහාරස්ථානය කෙරෙහිද අවධානය යොමු කිරීමට හැකි විය.

58 වන බල සේනාංකාධිපති බි‍්‍රගේඩියර් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උනන්දුව මත මෙම විහාරස්ථානය පවිත‍්‍රකොට පුද පූජා පැවැත්වීමට සුදුසු ආකාරයෙන් ප‍්‍රතිසංස්කරණය කර ඇත. එහිලා පසුගිය ජූනි 16 දා සැදැහැවත් දානපතියෙකුගේ පරිත්‍යාගය මත වටිනා බුද්ධ රූපයක් ද බුදු මැදුරේ තැන්පත් කර ඇත. දශක දෙකකට පසුව එම විහාරස්ථානය අධිපති බ‍්‍රාහ්මණවත්තේ සීවලී ස්වාමීන් වහන්සේටත් සහභාගිවීමට හමුදාවෙන් ලද පහසුකම් මත අවස්ථාව ලැබී ඇත. මේ පිළිබඳව හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා ගමන් පහසුකම් ලබාදී ඇති අතර ස්වාමීන් වහන්සේ විසින් දෙමළෙන් හා සිංහලෙන් අනුශාසනාවක් ද කළහ.

බ‍්‍රාහ්මණවත්තේ

සීවලී හිමි

කිලිනොච්චියේ මුදාගත් ප‍්‍රදේශයක ස්ථූපයක් ඉදිකරනවාට වඩා බෞද්ධ ආගමික සිද්ධස්ථානයක් තුළම ස්ථූපයක් ඉදිකිරීමට වඩාත් යෝග්‍ය වේ. එම විහාරස්ථානයේ ම බෝධීන් වහන්සේ ද, බුදුමැදුර ද තිබෙන අතර අඩුවක් ව පවතිනුයේ චෛත්‍යයක් නොතිබීමයි. චෛත්‍යයක් ඉදිකිරීමෙන් අංගසම්පූර්ණ විහාරස්ථානයක් වන අතර ඒ සඳහා සැදැහැවතුන් දානපතියන්ගේ ද අනුග‍්‍රහය ලබාගත හැකි වනු ඇත. මෙම ස්ථානයේ චෛත්‍යයක් ඉදිවීමෙන් පසු වසර 30 කට පසු බලාපොරොත්තු වූ සිහිනයක් සැබෑවනු ඇත.

එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදය පරාජය කර ලත් විජයග‍්‍රහණයෙන් පසු අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු රජය ප‍්‍රකාශයට පත් කළේ පළාත් 9 හි ජයසංකේතවත් වීමේ ස්ථූප 9 ක් ප‍්‍රතිෂ්ඨාපනය කරන බව ය. පසුගිය දා ජනාධිපතිතුමා මියෙන්මාර ජන රජයේ කළ සංචාරයේ දී ද එම ස්ථූප සඳහා කිරිගරුඬ ලබාදෙන බවට ද එරට සැදැහැවතුන් පොරොන්දු වී ඇත. එවිට උතුරු පළාතේ ඉදිවිය යුතු ස්ථූපය කිලිනොච්චියේ ලුම්බිණි විහාර පරිශ‍්‍රයේ ඉදිවිය යුතු අතර කිරිගරුඬ චූඩාමාණික්‍යයක් ද පැළැඳවිය හැක.

එවිට එම විහාරස්ථානය අංග සම්පූර්ණ වන අතර වන්දනා කරුවන්ටත් සංචාරකයින්ටත්, ඒ 9 මාර්ගයේ ගමන් ගන්නා මගීන්ටත් හොඳ නවාතැන් පොළක් ලෙස ද භාවිතා කළ හැකිවේ. ධර්ම ශාලාවක්, විශ‍්‍රාම ශාලාවක්, නවාතැන් සඳහා කාමර සහිත ගොඩනැඟිල්ලක් ඉදිවීම යෝජනාවක් වේ.

එපමණක් නොව මේ ස්ථානය බෞද්ධයින්ට පමණක් උරුමවනවාට වඩා දෙමළ හින්දු බැතිමතුන්ට ද ප‍්‍රයෝජනයක් ගත හැකි වන පරිදි සිරිඋපුල්වන් (විෂ්ණු) දෙවොළක් ද, කතරගම දෙවොළක් ද ඉදිකළ හැක. එය ද රුහුණේ කතරගම මහ දෙවොළේ ඉදිරිපස ආකෘතිය පරිදි ද, දෙවුන්දර සිරිඋපුල්වන් දෙවොළේ ඉදිරිපස ආකෘතිය පරිදි ද ඉදිකිරීම වැදගත් ය. එවිට සිංහල බෞද්ධ හා හින්දු දමිළ ජනයාගේ පූජෝපහාරයට ලක්වන ස්ථානයක් වී ජාතික හා ආගමික සංහිඳියාවක් ඇති වේ.

මෙය දේශීය සංචාරකයින්ට හා වන්දනාකරුවන්ට ඉමහත් සේ ප‍්‍රයෝජනවත් වන ගමන් මාර්ගයක් වනු ඇත. නාගදීපය වන්දනාවේ යන අයට කිලිනොච්චියේ ලුම්බිණිය ද, යාපනයේ නාගවිහාරය ද, නයිනතිව්හි නාගදීප විහාරය ද වැඳපුදා ගත හැක.

මේ ගමනේ දී කිලිනොච්චිය සංචාරක පුරයක් ලෙස සංවර්ධනය කිරීමට තවත් යෝජනාවක් ඉදිරිපත් කළ හැක.

එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදය පරදවා ලත් විජයග‍්‍රහණය සංකේතවත් කිරීමේ ජයස්ථම්භයක් පිහිටුවීම සහ ජාත්‍යන්තර ප‍්‍රදර්ශනාගාරයක් ඉදිකිරීමයි. එල්.ටී.ටී.ඊ. ය හා ජාත්‍යන්තර එන්.ජී.ඕ. සහ විදෙස් බලවතුන්ගේ සාකච්ඡා මණ්ඩප පැවැති එල්.ටී.ටී.ඊ. පාලන හා මධ්‍යස්ථානය පිහිටි භූමි භාගයේ ප‍්‍රදර්ශනාගාරය ඉදිකිරීමයි.

දැනට කිලිනොච්චියේ ලුම්බිණි විහාරස්ථානයේ විහාරාධිපති වනුයේ ආචාර්ය පූජ්‍ය බ‍්‍රාහ්මණවත්තේ සීවලී ස්වාමීන් වහන්සේ වන අතර නයිනතිව් හි නාගදීප විහාරයේ ද, නල්ලතන්නියේ බෞද්ධ මධ්‍යස්ථානයේ ද විහාරාධිපතිත්වය දරයි. දැනට දෙමටගොඩ බේස්ලයින් පාරේ නාගදීප ශාඛා විහාරස්ථානයේ වැඩසිටින අතර ඒ ස්වාමීන් වහන්සේ අනුමැතිය ද මේ සඳහා ලැබී ඇත.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: