Posted by: lrrp | July 18, 2009

උපසම්පදාවේ විකාශය

හැව්ලොක්ටවුන්හි ඉසිපතනාරාම  මහා විහාරාධිපති, ශාස්ත්‍රපති කිහිඹියේ විජිත හිමි

බුදුරජාණන් වහන්සේ පහළ වු ක්‍රි.පූ. 6 වැනි ශත වර්ෂයටත් කලින් සිටම ජීවිතයේ නොයෙක් ගැටලු වලට මුහුණ දෙමින් සිටි ජනතාව ඉන් මිදී සහනයක් ලබා ගැනීම සඳහා විවිධ ඇදහිලි අනුගමනය කිරීමට පටන් ගති. අජවෘත, ගෝවෘත, සුනඛවෘත ආදී අනේක විධ වෘත සමාදානයේ යෙදුනහ. මෙවන් සමාදානයන් සියල්ලම ‘අත්තකිලමථානුයෝගයට (ශරීරයට අධික දුක්දීම) බර වූ නිසා ඉන් කිසිදු සහනයක් ලබාගැනීම උගහට විය. හිංසාවාදී පසුබිමක් යටතේ වෘත සමාදානයන් පැවැති වකවානුවකයි තථාගත බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූයේ. උන්වහන්සේ තත්කාලීනව පැවැති ආගම් පිළිබඳව පැවිදි වූ කළ සිට බුදුවීම දක්වාත් ගිහි ජීවිතයේදීත් කරුණු ගැන අවබෝධයක් ලබා සියලුම සත්ත්වයනට සාධාරණ අවිහිංසාවාදි දහමක් දේශනා කිරීමට ආරම්භ කළහ. එය ආදීකාලයේ පැවැති පැවිද්දට වඩා වෙනස්වූවකි. මෙතෙක් භාරතයේ පැවැති පැවිදිවීම් ගිහි ජීවිතයේ සියලු බැඳීම් සහිතව වෘත සමාදානවල යෙදීමයි. එමනිසා ඇතැම් පිරිස් තම අඹුදරුවන් සමග පැවිදිවූහ. තවත් කොටසක් ගම්මාන වලින් වියලි ආහාර ද්‍රව්‍යයන් සපයා ඒවා උයා පිහාගෙන තපස්කම් කළහ. විවිධ සතුන්ගේ චරියාවනට අනුව වෘත සමාදානයේ යෙදුන පිරිසක් ද ඒ අතර විය. මෙවන් අය ඒකසාටක, අචේලක, පවත්තඵල භෝජී, නිගණ්ඨ යනාදී නම්වලින් හැඳින්විය.

තථාගත ගෞතම බුදුරජාණන් වහන්සේ ලොව පහළ වීමෙන් පසු සසර කළකිරී පැවිදිවීමට කැමති හිංසාවාදී ආගමික පසුබිමක ජීවත් වූ පිරිසට අස්වැසිල්ලක් ලබා ගැනීම සඳහා උචිත පැවිද්දක් ලොවට හඳුන්වා දුන්හ. සියලු දුක් නැතිකර නිවන අවබෝධ කිරීමට යෝග්‍ය (සබ්බදුක්ඛ නිස්සරණ නිබ්බාණ සව්ඡි කරත්ථාය) ප්‍රවෘත්ති ක්‍රමය අවිහිංසාවාදී වෘත සමාදානයෙන් පරිපූර්ණ විය. හිස රැවුල් කපා කසට සිවුරු පොරවා පාත්‍රය, පත්කඩය පමණක් සිය ධනය කොට ගම් නියම්ගම්වල පිණ්ඩපාතයේ වැඩමවමින් ධර්මදේශනා කිරීම මෙහි චාරිත්‍රය විය. මෙසේ ශාසන ප්‍රවෘර්ජාවට පත් භික්ෂුවට වසර විස්සක් සම්පූර්ණවත්ම උපසම්පදාවට පත් කිරීම නිසා සංඝ තලයට එක්වීම අනිවාර්ය වෙයි.

මුල්ම කාලයේ පැවිදි කිරීම හා උපසම්පත්තියට පත් කිරීම බුදුරජාණන් වහන්සේ විසින්ම සිදු කර ඇත. කල්යත්ම ශාසනයට ඇතුළත්වන පිරිස අධිකවීම නිසා තමන් වහන්සේට පමණක් පැවිදි කිරීම හා අධි ශීලයට පත් කිරීම අපහසු හෙයින් කාලීන වශයෙන් මෙම උතුම් ප්‍රතිපදාව එකල වැඩ සිටි රහතන් වහන්සේට පවරා දුන්හ.

මෙවන් උපසම්පදා විධි අටක් ගැන දේශනාවේ සඳහන් වෙයි. 1. ඒහි භික්ඛු උපසම්පදාව, 2. තිණි සරණාගමන උපසම්පදාව, 3. ඕවාද පටිග්ගහණ උපසම්පදාව, 4. පඤ්හ ව්‍යාකරණ උපසම්පදාව, 5. ගරුධර්ම පටිග්ගහණ උපසම්පදාව, 6. දුතේන උසම්පදාව, 7. අටිඨ වාචික උපසම්පදාව, 8. ඤත්තිචතුත්ථ උපසම්පදාව යනුවෙනි.

බරණැස ඉදිපතනාරාම විහාරයේදී දේශනා කළ දම්සක් සූත්‍ර දේශනාව අසා පස්වග තවුසන් පැවිදිවීමට කැමැත්ත පළකළ නිසා ඔවුන් ‘එහි භික්ඛු භාවයෙන්’ පැවිදි උපසම්පදාවට පත්කළහ. ‘ඒථ භික්ඛවේ චරථ බ්‍රහ්ම චරියං සම්ම දුක්ඛස්ස අන්ත කිරියා’ යනුවෙන් එය සිදුකළ බව දැක්වෙයි. යසකුල පුත්‍රයා ඇතුලු පිරිස, නන්ද කුමරු පාවා නුවර වැසි ගෝධික, සුභාහු, වල්ලිය, උත්තිය ආදී දහස් සංඛ්‍යාත පිරිසට උපසම්පදාව ලබාදී ඇත්තේ මේ ආකාරයටමය.

තථාගතයන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩම කළ අවස්ථාවේදී යසෝදරා දේවිය තම පුත් රාහුල කුමරු බුදුරජාණන් වහන්සේ වඩින පෙරමගට යවමින් දෑවැදි ඉල්ලා ගැනීමට යොමු කළාය. උන්වහන්සේත් රාහුල කුමරුත් විහාරයට කැඳවා ගෙන ගොස් ශාසනික පැවිද්ද ලබාදීමට සැරියුත් මහ රහතන් වහන්සේට නියම කළහ. උන්වහන්සේ කුමරු පැවිදි කර උපසම්පදාවට පත් කිරීම පිණිස බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් සරණ යාම ම ප්‍රමාණවත් බව වදාළහ. මෙය ‘තිණී සරණාගමන උපසම්පදාව‘ ලෙස හඳුන්වයි. ‘ඕවාද පටිග්ගහණ උපසම්පදාව නමින් හඳුන්වන්නේ අවවාද දීමෙන් හා ඒවා පිළිපැදීමට එකඟ වීමෙන් සෑහීමට පත්වීම අධිශීලභාවයට ප්‍රමාණවත් බවයි. ‘පිප්ඵලි මානවකයා’ හා ‘කස්සපථෙර’ යන දෙපල පැවිදි හා උපසම්පත්තියට පත් කිරිමේදී මෙය අනුගමනය කර ඇත. නවක, මධ්‍යම, ථෙර යන භික්ෂූන් විසින් හිරි ඔත්තප්ප (ලජ්ජා, භය) යන දෙකරුණින්ම හික්මීය යුතු ය යනුමෙහි අදහසය.

අමු සොහොනක දමා සිටි සෝපාක දරුවා දිවැසින් දුටු මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විහාරයට කැඳවා රහත් වීමට හේතු සම්පත් දැක පැවිදි උපසම්පදාව ලබා දුන්හ. සෝපාක දරුවා ගෙන් ඇසුයේ ‘ඒක නාමකිං ආදි ප්‍රශ්න දහයකි. ඊට පිළිතුරු දෙන සෝපාක දරුවා සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා යනුවෙන් ධර්මාන්විත ගැඹුරු පිළිතුරු දසයකින් උත්තර දුන්හ. මෙයින් පැහැදුණු තථාගතයන් වහන්සේ එයම මහණ උපසම්පදාවට ප්‍රමාණවත් බව තේරුම් ගෙන පැවිද්ද හා උපසම්පදාව ලබාදුන්හ. මෙය ‘පඤ්හ විස්සජ්ජන උපසම්පදාව‘ නමින් ඛ්ඳුන්වයි.

මහා ප්‍රජාපතී ගෝතමිය ප්‍රධාන 500 ක් කාන්තාවන් පැවිදිවීමට කැමැත්ත පළ කළ විට භාග්‍යවතුන් වහන්සේ ශ්‍රමණ බ්‍රහ්ම චරියාව ලබාදීම සඳහා නීති අටක් පිළිගන්නා ලෙසට නියම කළහ. ඊට කැමැති වූ නිසා මෙම කාන්තාවනට පැවිද්ද හා උපසම්පදාව ලබා දුන්හ. ‘ගරු ධර්ම පටිග්ගහණ උපසම්පදාව‘ ලෙස නම් කරන්නේ මෙයයි. අඩ්ඩකාසී නමැති අබිසරු ලියක් පැවිදි වීමට කැමැත්තෙන් සිටින බව දත් බුදුරජාණන් වහන්සේ ‘දූතයෙකු’ යවා ඒ මගින් පැවිද්ද හා උපසම්පදාව ලබාදී ඇත. සය වැනි වූ ‘ධූතේත උපසම්පදාව‘ ලබාදුන් අවස්ථාවකි ඒ.

‘අට්ඨ වාචික උපසම්පදාව ‘භික්ෂුණීන් වහන්සේ අධි ශීල යට පත් කිරීමේදී අනුග්‍රහනය කළ බව පෙනේ. සාමණේරි භික්ෂුණියක් අධි ශිලයට පත් කිරීමේදී උපසපන් භික්ෂූණීන් වහන්සේ විසින් අතීතය වරක් කියා කර්ම වාක්‍යය තුන්වරක් කිව යුතුය. ඉන්පසු භික්ෂුන් වහන්සේ ද ඤත්තිය වරක් කියා කර්ම වාක්‍යය තුන් වරක් දේශනා කළ යුතුය. භික්ෂුණීන් වහන්සේ උපසම්පත්තියට පත් කිරීමේදී මෙම විනය නීතිය අනුගමනය කර තිබේ.

වර්තමාන කාලයේ උපසම්පත්තියට පත්කරවන සාමණේරයන් වහන්සේ එම අධි ශීලයට පත් කිරීමේදී අනුගමනය කරනුයේ අට වැදෑරුම් උපසම්පදාවන්ගෙන් අට වැන්නය. එය ඥත්ති චතුත්ථ උපසම්පදාව නමින් හඳුන්වනු ලැබේ. මෙහිදී ඥාාත්තිය වරක් හෝ තෙවරක් දේශනා කොට කර්ම වාක්‍යය තෙවරක් දේශනා කළ යුතුවෙයි. තුන් නිකායේම උපසම්පදාව සිදු කරනුයේ මෙම බුද්ධ නියමයට අනුවය.

අට වැදෑරුම් උපසම්පදාවන් අතරින් ඒහි භික්ඛු උපසම්පදාව, තීණි සරණාගමන උපසම්පදාව පඤ්භ ව්‍යාකරණ උපසම්පදාව, ඕවාද පටිග්ගහණ උපසම්පදාව ලබාදිය හැක්කේ ජීවමාන බුදුරජාණන් වහන්සේ නමකට පමණි. ගරු ධර්ම උපසම්පදාව, දූතේන උපසම්පදාව, අට්ඨ වාචක උපසම්පදාව පිරිනැමිය හැක්කේ භික්ෂූන් වහන්සේටය. මෙයත් ලොවිතුරා බුදුවරයෙක් විසින්ම පිරිනැමිය යුත්තකි.

උපසම්පදාවට පත් කිරීම සඳහා උදකුක්ඛේප (ජල සීමාව) සීමාවක් හෝ ගොඩබිම සීමාවක් යොදා ගැනීම සිදුකළ යුතුය. අවම වශයෙන් උපසපන් භික්ෂූන් වහන්සේ දස නමක්වත් අවශ්‍යය. ඊට වැඩිවූවාට ගැටලුවක් නැත. ප්‍රත්‍යන්ත දේශවලදී පමණක් පස් නමක්වත් වැඩ සිටීම ප්‍රමාණවත්ය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: