Posted by: lrrp | July 18, 2009

ගැටලු නිසි ලෙස විසැඳූ මහා සමථකරුවාණෝ

ශාස්ත්‍රපති සිරිපාල මාදුවගේ

සමථකරුවා ගැටලුවේ ස්වභාවය, එහි මතුවීමට හේතුව, එම හේතු ඉවත් වුවහොත් ගැටලුවක් යළි ඇති නොවන බව, ඊට විධිමත් බුද්ධිමත් ක්‍රියා පිළිවෙළක් අනුගමනය කළ යුතු බව යන කරුණු තේරුම් ගත්තෙකි. රෝගය, රෝග නිදානය, නිරෝගී බව හා ප්‍රතිකාරය යනු මේ ක්‍රියා පිළිවෙළ ය. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ චතුරාර්ය සත්‍ය වන දුක, දුකට හේතුව, සැප, සැපයට මග යනු ගැටලුව, ගැටලුවට හේතුව, විසඳුම, විසඳුමට මග යන්න ය.

පුද්ගලයා තුළ මෙන්ම පුද්ගලයා හා සමාජය අතර වශයෙන් ගැටුම වෙයි. සෑම සජීවි කොට්ඨාසයකට චිත්ත වශයෙන් ගැටුම වෙයි. සෑම සජීවි කොට්ඨාශයකට චිත්ත සන්තානයේ වන්නා වූ රාගාදී ක්ලේශ ධර්මයන් ඔස්සේ වන්නා වූ ගැටුම් අභ්‍යන්තර ගැටුම් වෙයි. පුද්ගලයා තමා අවට ලෝකයා සමග ඇතිකර ගන්නා ගැටුම් බාහිර ගැටුම් වෙයි. එක් දිව්‍ය පුත්‍රයෙක් බුදුරජාණන්වහන්සේගෙන් විමසන ලද්දේ

අන්තො ජටා බහි ජටා- ජටාය ජටිතා පජා
තංතං ගොතම පුච්ඡාමි –
කො ඉමං විජටයෙ ජටන්ති

ඇතුළත් අවුල්, පිටතත් අවුල් ආදි වශයෙන් අවුල ලිහන්නට කවරෙක් සමත් වේද? යන්නය. මීට පිළිතුරු

සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤෝ
චිත්තං පඤ්ඤඤව භාවයං
ආතාපි නිපාකෝ භික්ඛු
කො ඉමං විජටයෙ ජටං

යනාදී ලෙසින් සීලයෙහි පිහිටා සමාධියෙන් යුතුව ප්‍රඥා විදර්ශනා වඩා විමුක්තිය සොයා ගැනීම බව වදාළහ. පුද්ගල අභ්‍යන්තරයේ පවත්නා ගැටළුව නිරාකරණය කළ හැකි මග බුද්ධ දේශනයයි.

බාහිර වශයෙන් ඇතිවන ගැටුම් සම්බන්ධයෙන් උන්වහන්සේ නොයෙක් අවස්ථාවලදී වදාළහ. සමාජයේ ගැටුම් ඇතිවන්නේ අප එකිනෙකා හොඳින් දන්නා එකම පරිසරයක වසන්නා වූ අය අතරය. දෙමාපිය, ඤාති, හිතවතුන් ආදී ඉතා සමීප රටක ආරවුල් ගැටුම් ඇතිවිට හානිකර තත්ත්වයකි. ආරවුල් නැතිව ජීවිත ගතකළ හැකි නම් එය ඉතා වාසනාවන්තය. කොතරම් අකමැති වුවත් ආරවුල් අපේ ජීවිතයේ අංගයක් බවට පත්ව ඇත. මෙය විසඳාගත යුතු නමුත්, කෝපය සැකය, කලකිරීම මත එය කෙසේ කළ යුතු දැයි සිතා ගැනීම පවා අපහසුයි. හරි වැරැද්ද තෝරා ගැනීමට තරම් හැකියාවක් නැතිකළ තුන්වන පාර්ශ්වයක් වශයෙන් ඉතා සාමකාමීව, සාධාරණව, දෙපාර්ශ්වයටම හානි නොවන සේ ගැටුම් ආරවුල් විසදන්න සැබෑ සමථකරුවකු ලෙසින් ක්‍රියාකළ අයුරු පෙනීයයි.

බුදුරජාණන්වහන්සේ ධරමාන අවස්ථාවේ සංඝ සමාජය තුළ පැවැති භේද භින්නතාවලදී උන්වහන්සේ මධ්‍යස්ථ ලෙසින් ක්‍රියා කළහ.

බුද්ධත්වයෙන් නවවන මස ඝෝෂිතාරාමයේ වැඩ වාසය කරද්දී ධර්මධර භික්ෂූන් වහන්සේ නමක විසින් වැසිකිළි භාජනයේ වතුර ඉතිරි කර තිබීම පිළිබඳව විනයධර භික්ෂූන් වහන්සේ නමක සමග වූ විවාදය දිග් ගැස්සී ගොස් පැවිදි පක්ෂය මෙන්ම ගිහියෝද පෙසකට බෙදී ගියහ. අසමගියෙහි වරද බුදුරදුන් ඔවුනට දෙසූහ. එහෙත් ඔවුහු ඒ අවවාදය නොපිළිගත්හ. තවදුරටත් කරුණු දක්වමින් ‘දීඝිති කෝසල ජාතකය’ දේශනා කළහ. එයිනුදු සමගියකට නොපැමිණි සඟුනට බුදුරදුන් නැවතත් මෙසේ වදාළහ.

පරෙව න විජානන්ති
මය මෙත්ථ යමාමහෙ
යෙච තත්ථ විජානන්ති
තතො සම්මන්ති මේධගා
අට්ඨිච්ජන්තා පාණහරා
ගවාස් සධනහාරිනො
රට්ඨං වීපුම්පමානානං
තෙසමිපිහොති සංඝති
කස්මා තුම්හාක නො සියා

යනාදි ලෙසින් සඟ මැද කලහ කරන්නෝ නොවැරදිම තමන් මරුමුවට යතැයි නොදනිති. යමෙක් එසේ දැන කලහ නවතාලන්නට තැත් දරයිද? ඒ කලහ සන්සිදවයි. උනුනුන් මරාගන්නා රටවල් යටත් කරගන්නා රජවරු පවා සමගි වෙති. කවර හෙයින් තෙපි සමගි නොවන්නාහුදැයි යනාදි ලෙසින් දෙපාර්ශවයටම කරුණු දේශනා කළහ.

රෝහිණී නදිතෙර යුද පිරිස රැස් වූ මාපිය දෙපාර්ශ්වයේ ඤාතීන් අමතා වඩා වටින්නේ ගංගා ජලයද මිනිස් ජීවිතදැයි අසමින් සමඟි කළහ. එහිදී උන්වහන්සේ ‘අත්තදණ්ඩ සූත්‍රය’ එත්දන, දද්දභ, ලටුනික, වට්ටක ආදි ජාතක දේශනා කරමින් දහම් දෙසුහ. නෑයෝ සටන් නැවතුහ.

භද්‍රාවතිකා ඇතින්න තම දුක හගවමින් බුදුරදුන් පාමුල හඬ නගා හැඬුවාය. බුදුරදුන් ඇය සනසා උදෑසන රජු හමු වී ‘මහරජ තමාට උපකාර කළවුන් සවිමත්ව සිටියදී සැලකුම් දක්වා මහලුව ගියකල නොසලකා හැරීම නොවටී’ යනාදී ලෙසින් කරුණු වටහාදීමෙන් භද්‍රාවතිකා ඇතින්නට පෙර සේම සැලකුම් ලබන්නට බුදුරදුන් ක්‍රියා කළහ.

කුමාර කාශ්‍යප මව පැවිදීවීමාස කීපයකින් ගැබ් ලකුණු පහළ වූයෙන් පැන නැගී බරපතල ප්‍රශ්නයේ දී දෙව්දතුªන් එතුමිය සිවුරු හැරවිය යුතු යැයි පැවැසුවද, කරුණු කාරණා දත් නමැද රටේ පවත්නා අපවාදයෙන් එතුමිය මුදනු පිණිස සංඝාධිකරණයට පවරා එතුමියගේ නිදොස්බව පෙන්වාලූහ. දෙව්දත් තෙරුන්ගේ් අනුකම්පාවක් නොමැතිව ඒ මෙහෙණියට වන්නට ගිය විපතින් බුදුරජාණන් වහන්සේ එතුමිය මුදා ගත්හ.

ස්වාමිදුවගේ තාඩන පීඩන ඉවසුම් නොදී දිවි තොරකර ගන්නට තැත් කළ ‘රජ්ජුමාලා’ට ‘දුවේ රජ්ජුමාලා එල්ලී මැරෙන්නට එපා. මාවෙතට එන්න. මම ඔබට පිහිට වෙමියි’. ඉතා කාරුණික ඉමිහිරි වදන ඇයට සැනසුම ගෙන දුන්නාය. දරුවන්ගෙන් සැලකුම් නොලැබූ සැරයටියත්, සිඟන භාජනයත් රැගෙන බුදුරදුන් වෙත ගිය බමුණාගේ් දුක් ගැනවිල්ල ඉතා හොඳින් අසා සිටියේ සැබෑ සමථකාරයන් වහන්සේ නමක් තුළ තිබිය යුතු වැදගත්ම ගුණාංගයක් පෙන්වමිනි. ගාථා පහක් බමුණාට ඉගැන්වූ බුදුරදුන් ඒවා පුතුන්ද සිටින රැස්වීමකදී ගායනා කරන්නට ඉඩ සලස්වා බමුණාට දරුවන්ගේ සැලකුම් ලබා දෙමින් බමුණාගේ ප්‍රශ්නය විසඳුහ.

බුද්ධත්වයෙන් පස්වන වර්ෂයේදී ලක්දිව චූලෝදර මහෝදර දෙනාරජුන්ගේ මිණිපලග අරභයා වූ යුද්ධය බුදුපියාණන් වහන්සේ විසින් මෙහි වැඩ දහම් දෙසා, කාකෝලුක, වට්ටක ජාතක දේශනා කරමින් වෛර බැඳීම් දොස් හා සමගියේ අනුසස් පහදා දී සටන් වලක්වමින් සැබෑ සමථකරුවාණෝ වූහ.

සැබෑ සමථකරුවකුගේ ලක්ෂණය කරුණු හොඳින් සවන් දෙමින් අසා, එක් පාර්ශ්වයක්වත් නොගෙන මෙසේ කළ යුතුය. මෙසේ නොකළ යුතුය යනාදී ලෙසින් තීන්දු තීරණ නොදී, මග පෙන්වන්නකු ලෙසින් ක්‍රියාකිරීමයි. ඔවුනට නිසි මග ගැනීමට සැබෑ උපදේශකවරයකු වීමයි. බුදුරජාණන් වහන්සේ ක්‍රියාකළේ ‘තුම්හෙහි කිච්චං ආතප්පං අක්ඛාතාරො තථාගතා’ (ධම්මපද) යනුවෙන් තෙපි තොපම කටයුතුය. තථාගතයන් වහන්සේ මග කියා දෙන්නාහුය යන ලෙසිනි.

උන්වහන්සේ කිසියම් සිද්ධියකින් අනුන්ට ඇතිවිය හැකි සිතිවිලි වේදනා ආදිය කෙබඳු වේදැයි එබඳු සිද්ධියකදී තමන්ට ඇතිවන සිතිවිලි වේදනා ආදියට ගලපා බැලීම නම් වූ අන්තුපනායික ධර්ම ‘වේළුද්වාර’ බමුණන්ට පැහැදිලි කළහ. තමන් අකමැති වේදනාවක් අන් අයටද විදීමට සැලසීමෙන් වැළකීම එහිදී පෙන්වයි. මේ වනාහි ආරාවුල් ගැටුම් ප්‍රශ්න නිරාකරණයේ යෙදෙන සමථකරුවකුට කදිම දහමකි.

සමථකරුවා ගැටලුවේ ස්වභාවය, එහි මතුවීමට හේතුව එම හේතු ඉවත්වුවහොත් ගැටලුවක් යළි ඇති නොවන බව, ඊට විධිමත් බුද්ධිමත් ක්‍රියා පිළිවෙළක් අනුගමනය කළ යුතු බව යන කරුණු තේරුම් ගත්තෙකි. රෝගය, රෝග නිදානය, නිරෝගී බව හා ප්‍රතිකාරය යනු මේ ක්‍රියා පිළිවෙළය. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ චතුරාර්ය සත්‍යය වන දුක, දුකට හේතුව, සැප සැපයට මග යන්න ගැටලුව, ගැටලුවට හේතුව, විසඳුම, විසඳුමට මග යන්නය.

මමත්වය මත සියලු ගැටීම වන්නේය. මමත්වය පිළිබඳව ප්‍රශ්නය විසඳීම මත ගැටීම පිළිබඳ ප්‍රශ්නය විසඳීම රැඳී ඇත. මමය, මාගේය, මටය යනාදී තත්ත්වයන් දුරුවේ නම් ලෝකය කෙතරම් සුන්දරවනු ඇත්ද? තම සතුට සඳහා අනිකාගේ් සතුට කැප කරගන්නා තුළ සතුටක් වේද? සමගියක්, සාමයක් වේද? අවශ්‍ය තැන යම් කැපවීමක්, පරිත්‍යාගයක් ගැටුම්, ප්‍රශ්න ආරාවුල් ඇතිවුන්ගෙන් විය යුතුය. තමන් පිළිබඳ සංකල්පය විශ්වය පිළිබඳ සංකල්පයයි. තමා තුළ ගැටුමක් නැතිනම් ලොව සමගද තමාගේ ගැටුමක් නොමැත. තමා සමාජය හොඳ නරක ලොව පිළිබඳ අවබෝධය අතිශයින් අවශ්‍ය ය. ලොව ගැටළු ඇතිකරනුයේ මිනිසාය. ඒවා විසඳිය හැක්කේද ඔහුටම ය. එහිදී ‘තමා’ යන හැඟුම ගැන තමන් පුළුල්ව සිතිය යුතුය. අප, අපට අවබෝධකර ගැනීමෙන් අනිකා අවබෝධකර ගැනීමත් ඉන් මුළු ලෝකයා සමගම සාමය, සතුට ඇතිකර ගැනීමත් කළ හැක්කේ ය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: