Posted by: lrrp | July 18, 2009

ජීවිතය වැනසූ මිතුරිය ගෙන් පළිගත් යමුනා

මිිනිසාට ජීවත්වීම සඳහා මුදල් අත්‍යවශ්‍ය සාධකය වී ඇත. එහෙත් බුද්ධිමත් නොවූ බොහෝ දෙනකු නොමඟ යැවීමටත් එමඟින් විනාශය ළඟා කිරීමටත් මුදල ප‍්‍රධානතම හේතු කාරණය වී ඇත. විරැකියාවෙන් පෙළෙමින් අසහනකාරී ජීවිත ගෙවූ බොහෝ තරුණියනට ඇඟලුම්හල් රැකියාව මහත් පිටිවහලක් විය.

එහෙත් ඇඟලුම්හල් සමාජය තුළින් බිහි වූ සංස්කෘතිය සමහර ජීවිතවලට අවාසනාව ළඟා කර දුන්නේය. ඇතැම් ඇඟලුම් හල් සේවිකාවන් තම යහළු යෙහෙළියන් ගේ මංගල උත්සවවලට සහභාගි වන්නේ නම්බුකාර ලෙස මත්පැන් පානය කිරීම විලාසිතාවක් කැර ගනිමිනි. එවැනි උත්සවවලදී තරුණයින්ටත් වඩා මේ තරුණියෝ බේබදුකමට ඇබ්බැහි වී සිටිති. අද කතාවෙන් අප අනාවරණය කරන්නේ එවැනි තරුණියක් විනාශ වී තවත් ජීවිත කීපයකට අතුරු අන්තරා ගෙන දුන් ආකාරය යි.

යමුනා ඇඟලුම්හල් සේවිකාවකි. ගම්බදින් අගනුවරට පැමිණි ඇය රැකියාවට ගියේ නවාතැන් පොළක සිට ය. ඇය සමඟ නවාතැන් කාමරයේ ලැඟුම් ගත් සුසීමා ඇගේ හොඳ ම මිතුරිය බවට පත් වීමට වැඩි කලක් ගත වූයේ නැත. යමුනාට ගමේ සුරංග නම් වූ පෙම්වතෙක් සිටියේය. සුසීමා ගේ පෙම්වතා සරත් ඒ ඇඟලුම්හලේ ම සේවය කළ තරුණයෙකි.

දිනක් ආරාධනයකට අනුව යමුනාත්, සුසීමාත්, සුසීමා ගේ පෙම්වතා සරතුත් මිතුරියකගේ නිවසක පැවති, කොටහළු මගුල් ගෙදරක ගියහ. මිතුරිය ද ඇඟලුම් සේවිකාවක වූ බැවින් ඔවුන් ගේ පුරුදු සංස්කෘතියට අනුව මේ තිදෙනාට ඉහළින් ම සැලකුවා ය. සංග‍්‍රහ කළා ය.

මත්පැනින් සිහිවිකල් වූ මේ තරුණියන් දෙදෙනා සරත් හා තවත් අය සමඟ නටන්නට පටන් ගත්හ. කැසට් යන්ත‍්‍රයක උදව්වෙන් කොත්තු රොටි සංගීතයට අනුව නැටූහ. මධ්‍යම රාති‍්‍රය දක්වා ම නැටූහ. නෑදැයින් විසිර ගිය පසුව මිතුරිය මේ තිදෙනාට ම නිවසේ ඉස්සරහ කාමරයේ නිදාගන්නට පහසුකම් සලසා දුන්නාය.

ඝන අඳුරෙන් පිරුණු රාති‍්‍රය ධාරානිපාත වර්ෂාවකින් සීතල අඩුපාඩු සපුරා ලීය. මේ බේබදු කෙල්ලන් දෙදෙනා සමඟ සරත් නින්දට සැරසුණේ ද මත්පැනින් විකල් වූ ගතියෙන් ම ය. අවසානයේ ස්වකීය පෙම්වතියගේ අනුදැනුම ද ඇතිව සරත් අතින් යමුනා කෙලෙසුණා ය. වෙරි මත සිඳී පසු දිනට පහන් වූයේ පෙර දා රාති‍්‍රයේ බරපතලකම යමුනා ගේ මුවින් පිටාරය ගලමිනි. ප‍්‍රශ්නයේ භාරදූරකම වටහා ගත් සුසීමා යමුනාගේ ඉකි බිඳීම නිවැසියන්ට රහසක් කරමින් වහා හැඳ පැළඳ ගෙන තිදෙනා ම මිතුරිය ගෙන් සමු ගෙන නවාතැන කරා පිටත් වූහ.

ඔවුන් පැමිණි බස් රියේ අසුනක කෙළවරක හිඳගත් යමුනා ඉදිරි අසුනේ හිස රඳවා කඳුළු සඟවා ගෙන කල්පනා කරමින් ආවාය. සරත් සුසීමා සමඟ මිට උපායක් සාකච්ඡා කරමින් වෙනත් අසුනක හිඳගෙන පැමිණියහ. නවාතැනට ආසන්න නගරයේ සරත් නතර වූ අතර යෙහෙළියන් දෙදෙනා නවාතැනට ගියහ. ඒ දිනය ද නිවාඩු දමා තිබුණු බැවින් එදා රැකියාවට යෑමේ අවශ්‍යතාවයක් නොවීය. යමුනා ඇඳට වී මුහුණ සඟවා ගෙන ඉකි බින්දාය. මේ අතර සුසීමාගේ දුරකතනය නාද විය. ඊට මඳ වේලාවකට පසු සරත් ද ඔවුන්ගේ නවාතැන් කාමරයට ඇතුළු විය. ඔහු අතේ අරක්කු බාගයක් ද විය. එය මේසය මතින් තැබුවේය.

“සරත්! හරි වැඩේනෙ. අම්මට සනීප නෑ කියලා දැන් කෝල් එකක් ආවා. මම දැන් ගමේ යන්න ඕනෑ”යි සුසීමා කීවා ය.

“අම්මට අසනීප නම් ඉතින් නොගිහින් කොහොමද? එහෙනම් යන්න. ගිය හැටියේ කෝල් එකක් දෙන්නැ”යි සරත් කීවේය.

මේ කිසිවකට සවන් දුන්නේ යමුනා නොවේ. මේ හැතිරිය හා හතුරා නවාතැනින් පිට වී යෑමත් ඇයට සුළු සහනයක් විය. සරත් හා සුසීමා පිටත්ව ගියහ.

ඇත්තට ම අනුන්ට ම දොස් පැවරීම හරි ද? ගමෙන් පැමිණි යමුනා වෙනස් වූයේ ඇයි? මේ සියල්ලට මුල් වුණේ මගේ ම බේබදුකම නොවේ දැයි යමුනා සිතුවා ය. ඇයට තමන් ගැන දහසක් බලාපොරොත්තු තබා ගෙන සිටින මව්පිය දෙදෙනා සහ නැගණිය සිහිපත් විය. සුරංග සිහිපත් විය. යමුනා ඇඳෙන් නැගිට්ටාය. මේසය කරා ගොස් පුටුව ඇදගෙන වාඩි වූයේ ගෙදරට ලියුමක් ලියන්නට ය.

“අදාරණීය අම්මේ! තාත්තේ!

මේ ලියුම කිසි දවසක අම්මා කෙනෙක් තම දුව ගෙන් බලාපොරොත්තු ලියුමක් නොවේ. මගේ වරද නිසා ම, මත්පැනට ඇබ්බැහිකම නිසා මම අනාථ වුණා. විනාශ වුණා. මට දැන් කාටවත් මුහුණ දෙන්න බෑ…”

යමුනාට සුරංග සිහියට නැගිණි. ලියුම අතර මඟ නතර කොට සුරංග ගැන සිතන්නට වූවාය. කම්මුලේ අත රඳවා ගෙන කල්පනා කරන්නට වූ ඇගේ ඔලුව යකාගේ කම්මල සේ විය. මේ අතර මේසය මත තිබුණු අරක්කු බාගය ඇගේ නෙත ගැටිණි. “දැන් මට කොහොමත් එකයි” කියා තමන්ට ම කියා ගත් යමුනා වීදුරුවකට හලාගත් අරක්කු බාගය එක හුස්මට ම බීගෙන බීගෙන ගියාය. ඇගේ හිස බමන්නට විය. වහා පුටුවෙන් නැගිට ගොස් ඇඳේ පෙරළුණාය. පෙරළුණා පෙරළුණා ම ය.

දවස ගෙවී ගියේය. ඊළඟ දවසට ද හිරු අඩවන් කැර තිබු දොරෙන් යමුනා දෙස එබිකම් කැර බැලීය. නිල මැස්සන් කීප දෙනෙකු හැරෙන්නට ඇගේ තනි නොතනියට කිසිවකු ඒ කාමරයේ සිටියේ නැත. එදින සවස් යාමයේ මේ නවාතැන් කාමරයේ දොර නොවසා අඩවන් කැර ඇත්තේ ඇයි දැයි නවාතැනේ අයිති කාරිය එබිකම් කැර බැලුවාය.

“දෙය්යනේ!” යමුනා ඇඳෙන් බිමට වැටි සිටියාය. ඇය ලේ වමනය දමා තිබුණි. සියල්ල සිදු වී හමාර ය. මේසය මත හිස් කළ අරක්කු බෝතලයක් හා වීදුරුවක් තිබිණි. පේළි කීපයක් ලියා අවසන් නොකළ ලියුමකි.

නවාතැන් පාලිකාව සිද්ධිය පොලීසියට දැනුම් දුන්නා ය. නීතිමය රාජකාරිවලින් පසු යමුනා ගේ ඥාතීහු ඇගේ සිරුර ගමට ගෙන ගොස් භූමදාන කළහ. පොලීසිය සුසීමා ගෙන් කට උත්තරයක් ගත්ත ද ඇය මේ ගැන කිසිත් නොදන්නා බවත්, එදින තමන් ගමට ගොස් සිටි බවත් සඳහන් කළාය. එය සියදිවි හානි කැර ගැනීමක් බවට නිගමනය විය.

ශෝකයත් ලැජ්ජාවත් දරා ගත නොහැකිවූ යමුනාගේ මව්පියෝ ගෙය සහ ඉඩම විකුණා බාල දියණිය සමඟ අනුරාධපුරයෙන් ඉඩමක් මිලට ගෙන එහි පදිංචියට ගියහ.

යමුනා ගේ ජීවිතයට තමන් අතින් සිදු වූ අපරාධය වසන් කිරීමට අරක්කුවලට වස දමා තැබූ බව දන්නේ සුසීමා හා සරත් පමණි. එහෙත් එය තවත් එකම එක කෙනෙක් දැන සිටියාය.

ඒ මළ යක්ෂණියක වී බද්ධ වෛරයෙන් ඉපැදුණු යමුනාගේ භූතාත්මයයි. එහෙත් මේ සිද්ධිය සුසීමාගේත් සරත්ගේත් සිතේ නිතරම හොල්මන් කරන්නට විය. ඔවුන්ගේ සිත් නිතරම ඔවුන්ට දොස් පවරන්නට විය.

“උඹලා කළේ මහා අපරාධයක්. හෙන ගහන අපරාධයක්. සහගහන අපරාධයක්. ඒ පාපය උඹලා ගෙවන්නම ඕනෑ” යි සුසීමාගේත් සරත්ගේත් සිත තරවටු කරන්නට විය. රාති‍්‍ර නින්දට යන විට ද, උදේ අවදි වූ මොහොතේ ද යමුනා ඔවුන් දෙස රවාගෙන සිටින ආකාරය මැවී පෙනෙන්නට විය. එහෙත් මේ රහස සමාජයෙන් සඟවා ගෙන සිටින්නට ඔවුහු වග බලා ගත්හ.

මාස තුනක් පමණ නොදැනුවත්ව ම වාගේ ගෙවී ගියේය. දිනක් සරත් රැකියාවට යෑම සඳහා නිවසින් පිටත් විය. බස් නැවතුම් පොළක නතර කොට මගීන් නංවා ගෙන ඉදිරියට ඇදෙමින් තිබුණු බස් රියකට සරත් දුවගෙන ගොස් එල්ලුණේය. පය ලිස්සා ගියේය. ඒ බස් රියේම රෝදයට සරත් ගේ දෙකකුල් යට විය. මාස ගණනාවක් රෝහල් ගතව ප‍්‍රතිකාර ලබමින් සිට සරත් රෝහලෙන් පිට වූයේ දණහිස් දෙකෙන් පහළ කොටස් කපා වෙන් කළ අබ්බාගතයෙකු ලෙස ය.

එදා තමන් බස්රිය කරා දුව ගෙන ගොස් එල්ලුණු හැටිත් පාපුවරුවට තැබූ පය ලිස්සා ගිය හැටිත් සරත්ට හොඳට මතක ය. ඒ මිසක යමුනාගේ මළ යක්ෂ භූතාත්මය ඔහුගේ කකුළෙන් ඇද්ද බව ඔහු තවමත් දන්නේ නැත. සරත් රෝහල් ගතව සිටිය දී සුසීමා ඔහු බලන්නට මාසයකට හතර පස් වතාවක් ගියා ය. පසුව එය ක‍්‍රමයෙන් අඩු විය. “සරත්ගෙ කකුල් දෙක ම කපලා.

එයා එක්ක විවාහ වෙලා පවුල් ජීවිතයක් ගෙවන්න පුළුවන්දැ”යි ඇගේ සිත නිතර ඇගෙන් ප‍්‍රශ්න කළේය. මේ අතර දෙදෙනා හවුල් වී කළ අපරාධය ද නිතර සිතේ හොල්මන් කළේය. අබ්බාගතයෙකු සමඟ පේ‍්‍රම සම්බන්ධයක් පවත්වා ඵලක් නැතැයි තීන්දු කළ ඇය, සරත් බලන්නට යෑම නතර කැර දැමුවාය. ඇඟලුම් කම්හලේ අය ද නිතර ම “සුසී! දැන් සරත්ට කොහොමදැ”යි ප‍්‍රශ්න කිරීම ද හිසරදයක් වූ අතර ඇය එම කම්හලෙන් ඉවත්ව වෙනත් ඇඟලුම් කම්හලක රැකියාවක් සොයා ගත්තා ය.

මෙසේ මාසයක් පමණ කාලය ගෙවී යද්දී සුසීමාට ද බස් රියකට නගිද්දී සරත්ට සිදු වූ ආකාරයෙන් ම අනතුරකට ලක් වී දෙකකුල් අහිමි වූවාය. එය ද රිය අනතුරක් ලෙස සැලකුවා මිස යමුනාගේ මළ යක්ෂ ආත්මය පළි ගත් බව දැන සිටියේ නැත. යමුනා ගේ භූතාත්මය බද්ධ වෛරයෙන් ඔවුන් දෙදෙනා පසුපස ගමන් කොට කල් යල් බලා තමන්ට කළ අපරාධයේ පළිය ගත්තා ය.

දැන් අපි සුරංග දෙසට හැරෙමු. අහිංසක ජීවිතයක් ගත කළ සුරංග වයස අවුරුදු 17 දී පමණ යමුනා සමඟ පේ‍්‍රම සම්බන්ධය පටන් ගත්තේ ය. යමුනා අගනුවර රැකියාවට ගිය ද මාසයකට වරක් පමණ ඔවුන් මුණ ගැසී කතා බස් කළහ. හිටි හැටියේ ම යමුනා ගෙන් කිසි ම තොරතුරක් ලැබුණේ නැත. නගරයට ගිය පසු ඇයට මා අමතක වුණා ද? මට වඩා හැඩ වැඩකාරයෙක් සමඟ සම්බන්ධයක් ඇති කැර ගත්තා ද? මේ ගැන සිත සිතා සිටි සුරංග ගේ මානසිකත්වය පහළට වැටිණි. අවසානයේ තමන් ගේ මනසට හිරිහැර කරන මතකය වළලා දමන්නට තීරණය කළ සුරංග නිතර මිතුරන් සමඟ එක් වී කාලය ගෙවන්නට විය.

මේ අතර යමුනා ගේ භූතාත්මය කළ පාප මිත‍්‍රයන්ගෙන් පළි ගැනීමෙන් පසු යම් සහනයක් ලැබුවාය. එහෙත් ඒ භූතාත්මයේ ස්වභාවය වෙනස් කළ හැකි නොවේ. කාලය ගෙවී ගොස් කර්ම නියාමයට අනුව වෙනත් භවයක උපත ලබන තුරු ඒ ස්වභාවය ම ගත කළ යුතු ය. මේ භූතාත්මය නිතර අනුරාධපුරයට ගොස් තම දුප්පත් මව් පිය දෙදෙනා සහ නැගණිය දෙස බලා දුක් වූවාය. ඒ දුකට හේතුව සිහිපත් වූ සැණින් චිත්ත සන්තානය තුළින් මතු වන වෛරයෙන් දැවෙන්නට වූවාය.

ඒ සමඟ ම සරත් සොයා ගෙන ගියා ය. ඔහු අබ්බාගතයෙකු වී දුක් විඳින ආකාරය දැක සතුටු වූවාය. එතැනින් සුසීමා සොයා ගෙන ගියාය. එහිදී ද සුසීමා දෙකකුල් අහිමව දුක් විඳින හැටි බලා සතුටු වූවා ය.

දිනක් අනුරාධපුරයේ මව්පියන්ගේ නිවස ඇසුරු කොට ගෙන ගැවසුණු මේ මළ යක්ෂණියගේ සිත යම් කිසි චිත්ත තරංගයක් සම්බන්ධව වේදනාවක් වැනි පීඩනයක් ඇති විය. භූතාත්මය සැණින් එය හඳුනා ගත්තා ය. ඒ සුරංග ඇය ගැන සිතමින් සුසුම් හෙලන අවස්ථාවකි.

තමන් වෙනුවෙන් අවංකව ආදරය කළ සුරංග දැන් පේ‍්‍රමයේ වියෝ ගින්නෙන් දැවෙන බව ඇය වටහා ගත්තා ය.

“අනේ! සුරංග පාප මිත‍්‍ර සේවනය නිසා මම විනාශ වුණා. ඔයා තවමත් මා වෙනුවෙන් සුසුම් හෙලනවා මා නිසා ඔයා ගේ ජීවිතය කාලකන්නි කැර ගන්න එපා. මට ඔයාට උදව් කරන්න ඕනෑ. ඒත් ඒකට මට අවසර නෑ. අපේ ලෝකයේ අපි ජීවත්වෙන්නේ යක්ෂ සේනාධිපතියන් යටතේ යි. නීතිරීති තිබෙනවා. ඒ ප‍්‍රධානීන්ගේ අවසර නැතුව කිසි දෙයක් කරන්න බැහැ.

මම ඒ අයට මට සිදුවූ අසාධාරණය අපරාධය ගැන අවනඩුව කියා අවසර අරගෙන හතුරන් දෙදෙනා ගෙන් පළි ගත්තා. දැන් ඔයාට උදව් කරන්න වුණත් ප‍්‍රධානීන් ගෙන් අවසර අරගෙන එන්න ඕනෑ. මම කොහොම හරි හඬා වැළපිලා කන්නලව් කරලා අවසර වරම් අරගෙන එනවා” යි අධිෂ්ඨාන කැර ගෙන භූතාත්මය නික්ම ගියාය.

මේ අතර තම මානසික වියවුල් සඳහා සහනයක් පතා සුරංග අතුරුගිරියේ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ ගස්නාවේ ඤාණානන්ද හිමියන් සොයා යන්නට තීරණය කැර සිටියේය.

යමුනාගේ භූතාත්මය පෙම්වතාට උදව් කරයි

ඇඟලුම් සේවිකාවක් වූ යමුනා සිය මිතුරිය වූ සුසීමා ද සුසීමා ගේ පෙම්වතා වූ සරත් ද සමඟ, තවත් මිතුරියක ගේ නිවසක පැවැති මංගල සාදයකට ගියාය. එහි දී නාගරික විලාසිතා සංස්කෘතියට අනුව ඔවුන් ද මත්පැන් පානය කොට නටා රාති‍්‍රය ගත කරද්දී යෙහෙළිය ගේ පෙම්වතා අතින් දූෂණය වූවාය. තමන් අතින් සිදු වූ අපරාධයෙන් නිදහස් වන්නට සරත් සුසීමාගේ ද අනුදැනුම ඇතුව අරක්කුවලට වස දමා යමුනාට බොන්නට සැලැස්සුවේය. බද්ද වෛරයෙන් මිය ගිය යමුනා මළ යක්ෂණියක්ව ඉපිද සරත්ගෙන් හා සුසීමාගෙන් පළිගත් හැටි පසුගිය ලිපියෙන් විස්තර කළෙමු.

සරත් ගෙන් හා සුසීමා ගෙන් පළි ගැනීමෙන් පසු භූතාත්මය සුරංග සොයා ගියා ය. සුරංග යමුනාගේ පෙම්වතා ය. සිය පෙම්වතිය ගැන කිසිදු තොරතුරක් නැතිව සුරංග මානසිකව වැටී සිටියේය. යමුනා තමා අමතක කොට ඇතැයි සිතූ සුරංග සිය මතකය වළලා දමන්නට මිතුරන් ඇසුරේ නිතර කාලය ගෙවන්නට විය. යමුනා ගේ භූතාත්මය තමන් නිසා දුක් විඳින සුරංගට උදව් කරන්නට අධිෂ්ඨාන කළාය.

මේ අතර සුරංගට තද හිසරදයක් දැනෙන්නට විය. නිවසේ අයත්, අසල්වැසි ආශි‍්‍රතයනුත් නුරුස්සන්නට විය. හිතවතුන්ටත්, නිවසේ අයටත් අසිහියෙන් මෙන් පහර දෙන්නට විය. එය අන්තිමේ ඔහු ගේ දින චරියාව බවට පත් විය.

තමන් ගේ සිතට අමුතු අමුතු දේ දැනෙන බවත්, කවුදෝ කතා කරනවා මෙන් මුමුණන හඬ ඇසෙන බවත්, සුරංග ගෙදර අය සමඟ කීවේය. ඔහුට වැටහෙන දේවල් පවුලේ අයට කීවත් ඔවුන් ඒවා විශ්වාස කළේ නැත. මේ තත්ත්වය නිසා ඇති වූ හිසරදයෙන් පීඩා විඳින විට ආශි‍්‍රතයන් සමඟ නුරුස්නා ගති ඇති වී ගැටුම් හට ගන්නට විය. මේ ගැන සුරංග ගේ මව මහත් කම්පාවට පත් වූ නමුත් ඇයට ද කර කියා ගන්නට දෙයක් නොවීය. සමහරු කීවේ සුරංගට පිස්සු හැදීගෙන එන බව ය.

සිතට කිසි ම සහනයක් නොලැබුණු තැන සුරංග තෙල් මල් පහන් ගෙන ගමේ පන්සලේ බෝධීන් වහන්සේ වෙත ගොස් මල් පහන් පුදා බෝ මළුවේ හිඳගෙන කල්පනා කරන්නට වූයේය. ඒ සමඟ ම ඔහුගේ කණට යමෙක් කොඳුරන්නා සේ ඇසිණි. කිසිවකු පෙනෙන්නට ද නොවීය. සුරංගට ඒ ගැන විමසා බලන්නට සිතිණි.

“කව්ද? මේ කතා කරන්නේ” යි සුරංග ඇසීය.

“මේ මම සුරංග මම” පිළිතුරු ලැබිණි.

“කව්ද මම කියන්නේ?”

“මම යමුනා. ඔයාගේ යමුනා”

“මොනවා… යමුනා. ඔයා දැන් කොහේද ඉන්නේ?”

“මළවුන්ගෙ ලෝකයේ”

“ඔයාට මොනවද වුණේ?”

“අනේ! සුරංග මම කොළඹ දී බොන්න පුරුදු වුණා. දවසක් මගුල් ගෙදරදි බීල මත් වෙලා ඉන්දැද්දි එකෙක් මාව විනාශ කළා. මම පොලීසි යනවැයි කීවා ම උන් මට වස දුන්නා. මං උන්ගෙන් පළි ගත්තා. දැන් ඒ ගැන කතා කරලා වැඩක් නෑ සුරංග.

“ඔයා දුකින් ඉන්නවා දැකලයි මම ආවේ. මම ඔයාට උදව් කරනවා. ඔයා ඔයාගෙ ජීවිතය සාර්ථක කරගන්නැ”යි ද භූතාත්මය සුරංගට කීවාය.

“ඉතින්! යමුනා ඔයාට මගෙන් මොනවාද කෙරෙන්න ඕනෑ” යි සුරංග ඇසීය.

“මට පිං ඕනෑ සුරංග. මේ දුකෙන් ගොඩ එන්න පිං ඕනෑ.”

දවසක් මේ භූතාත්මය මට අපේ ගමට අල්ලපු ගමේ ගැහැනු ළමයෙක් ගැන කීවා.

ඇය ගුණ යහපත් කෙනෙක් නිසා ඇය විවාහ කැර ගන්නැයි මා උනන්දු කළා. මම ඒ කීමට එකඟ වෙලා ඒ ළමයා ගැන

සොයා බැලුවා. පසුව දෙපාර්ශයේ ම නැදෑයින්ගේ ආශීර්වාද ඇතුව ඇය විවාහ කැර ගත්තා.

කොහොම වුණත් මගේ බිරිය මට සමීපව ආදරයෙන් ඉන්නවා දකින කොට භූතාත්මය ටිකෙන් ටික වෙනස් වුණා. මේ මළ යක්ෂණිය මට ආදරය කරනවාට මගේ බිරියත් ඒ තරම් කැමති වුණේ නෑ

ඒ අනුව සුරංග දානමානාදී පිංකම් කොට ඇයට පින් දුන්නේය. භූතාත්මය මෙසේ වරින් වර සුරංගට පණිවුඩ දෙන්නට වීය. ඒ පිළිබඳ සුරංග පවසන්නේ මෙසේ ය.

“දවසක් මේ භූතාත්මය මට අපේ ගමට අල්ලපු ගමේ ගැහැනු ළමයෙක් ගැන කීවා. ඇය ගුණ යහපත් කෙනෙක් නිසා ඇය විවාහ කැර ගන්නැයි මා උනන්දු කළා. මම ඒ කීමට එකඟ වෙලා ඒ ළමයා ගැන සොයා බැලුවා. පසුව දෙපාර්ශයේ ම නැදෑයින්ගේ ආශීර්වාද ඇතුව ඇය විවාහ කැර ගත්තා.

ඊට පසුව යමුනාගේ භූතාත්මය මගේ බිරියට පණිවුඩ දෙන්න හිටියා. ඇය කොළඹ ගිය හැටි, මත්පැන් බීමට පුරුදු වූ හැටි. මඟුල් ගෙදරදි කොල්ලෙක් අතින් දූෂණය වූ හැටි, ඇයට වස දුන් හැටි, මේ විස්තර කියන්න පටන් ගත්තා. කොහොම වුණත් මගේ බිරිය මට සමීපව ආදරයෙන් ඉන්නවා දකින කොට භූතාත්මය ටිකෙන් ටික වෙනස් වුණා. ඊර්ෂ්‍යාවට වගේ, පසුව මේ භූතාත්මය මගේ බිරිය සමඟ ගැටුම් ඇති කැර ගත්තා. මගේ බිරියත් ඒ තරම් කැමති වුණේ නෑ මේ මළ යක්ෂණිය මට ආදරය කරනවාට.

ඊට පස්සේ මට නැවතත් හිසරදය හැදෙන්න පටන් ගත්තා. ඒ වෙලාවට මම කරන දේ පසුව මට මතක නැහැ. මා ලවා මගේ බිරියට පහර දෙවන්නත් භූතාත්මය කටයුතු කළා.

බැරි ම තැන මේ යක්ෂණිය බෝධියකට බාර කරන්න උත්සාහ කළත් ඒක කොහොම හරි මඟ හරවනවා. පූජා පැවැත්තුවා. බාර හාර වුණා. ශාන්ති කර්ම කළා. ආහාර ඇඳුම් පූජා කර පින් දුන්නා. පහන් ටැඹක් පූජා කළා. යන්ත‍්‍ර දැම්මා. මොනවා කළත් යමුනාගෙ භූතාත්මය ඉවත් කරන්න බැරිවුණා. මෝදර කෝවිලටත් පුද පූජා දී බාර හාර වුණා.

අන්තිමට අතුරුගිරිය විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ ඤාණානන්ද නායක හාමුදුරුවන් ගැන ආරංචි වී මම උන් වහන්සේ සොයා ගෙන ඇවිත් සම්පූර්ණ විස්තරය කීවා. උන් වහන්සේ ගේ උපදෙස් පරිදි දින හතක් බෝධි පූජා පැවැත්තුවා. අට වැනි දවසේ දානයක් දී යමුනාට පින් දුන්නා. මට හරිම පුදුමයි. බුදු දහමට අනුව කටයුතු කළා ම ඇය උසස් තැනකට පත් වුණා. යමුනාගෙ ආත්මය අනුරාධපුරේ ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ ළඟට යැව්වා.

ඇය එසේ ඉවත් ව යන්න කලින් මට අවවාද කළා. මේ නායක හාමුදුරුවන් ළඟට මාසයකට වරක් පැමිණ වැඳ පුදා කළගුණ දක්වන්න ය කියා. මම ඒක කාලයක් ම නොකඩවා සිදු කළා. කාලෙකට පස්සෙ නායක හාමුදුරුවන් බලන්න යන එක මඟ හැරුණා. නැවතත් මට අසනීප වුණා. ඇගේ ආත්මය නැවත ඇඟට එන්න පටන් ගත්තා. මම නැවතත් අතුරුගිරිය භාවනා මධ්‍යස්ථානයට ගියා. නායක හාමුදුරුවන් ළඟදි නැවත යමුනාගෙ භූතාත්මය මගේ ඇඟට ආවා.

“ඇයි මේ කරදර කරන්නේ, එන්නෙ නෑ කියල පොරොන්දු වෙලා නේද ඇඟෙන් ඉවත් වුණේ?” යි නායක හාමුදුරුවෝ ඇසූහ.

“එහෙමයි හාමුදුරුවනේ! මම පොරොන්දු වෙලයි ගියේ, මේ සුරංගත් පොරොන්දු වුණා මාසෙකට සැරයක් මේ ස්ථානයට ඇවිත් ඔබ වහන්සේට වැඳ පුදා යන්න. කෝ මෙයා දැන් ඒ පොරොන්දුව කඩ කරලා නේද. මම මේ එන්නේ මෙයාව පිනට දහමට යොමුකරන්න ඕනෑ නිසා” ය භූතාත්මය කීවා ය.

“ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ ළඟට බාර කරන්නේ එතැන ඉඳගෙන පිනක් දහමක් කරන්න. ඇයි? මේ නැවත ආවේ” යි හාමුදුරුවෝ ඇසූහ.

“එහෙමයි හාමුදුරුවනේ! මම ආවෙ ශී‍්‍ර මහා බෝධින් වහන්සේ බාර කළු දේවතා බණ්ඩාර දෙවියන් ගෙන් අවසර අරගෙනයි. ඒ මේ සුරංගව යහමඟට යොමු කරන්න ඕන නිසා. මේ මිනිස්සුන්ට යුතුකම් ඉක්මනින් අමතක වෙන එක බොහෝම නරකයි නේද හාමුදුරුවනේ.”

“ඉතින් මේ ඇත්ති අපට කියන්නකෝ බලන්න ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ ළඟ තියෙන අප නොදන්නා විස්තර” යැයි ඤාණානන්ද නාහිමියෝ පැවසූහ.

හාමුදුරුවනේ ශී‍්‍ර මහා බෝධිරාජයාණන් වහන්සේ ළඟත් ආරක්ෂක වළලු තුනක් තියෙනවා. මම මුලින් ම ගිය දවසෙ මට එතැන මහ දේවතාවුන් වහන්සේ ළඟට යන්න දුන්නෙ නෑ. මම ගහකට මුවා වෙලා හැංගිලා හිටියා හොඳ යක්ෂයෙක් ආරක්ෂක වළලු තුනෙන් පිටතට එනකම්. හොඳ කෙනෙක් එනකොට අඳුනාගන්න පුළුවන්. එතැන ඉන්න හුඟ දෙනෙක් බොහෝම සැරයි.

ඉතින් මම අර යහපත් යක්ෂයා දැකලා ළඟට ගිහින් කිව්වා “අනේ! පින් අයිති වෙයි මාව කළු දේවතා බණ්ඩාර දෙවියන් ළඟට එක්ක යන්න” කියා.

ඉතින් ඒ යක්ෂයා හොඳ වගේ ම බලගතු කෙනෙක්. කරුණාවන්ත යි. මා දිහා බලා ඉඳලා මාව එක්කර ගෙන ගියා. මම එතැනට ගියා ම තොරතුරු අහලා මට වැඩ පැවරුවා. අපට තියෙන්නෙ පූජාවට මල් නෙලන්න. (දිව්‍ය මල්) තේවාවට උදව් කරන්න. ඒ කටයුතු හොඳට කරන කොට මාව උසස් කළා. පූජාවට මල් කැඩීම වගේ දේවලට සම්බන්ධ කර ගත්තෙත් හොඳට පරීක්ෂාවෙන්.

හොඳ අය පමණයි. මම අද මේ අතුරුගිරිය විපස්සනා භාවනා මධ්‍යස්ථානයට එන කොට එහේ හිටිය තවත් පිරිසක් මා සමඟ මෙහෙට ආවා.

ඒ මෙහෙන් පින් දීලා සුවපත් කර අනුරාධපුරේට යවපු අය යැයි ද යමුනාගේ භූතාත්මය කීවාය.

කළගුණ සලකන්න අමතක කරන්න එපා යැයි නැවතත් සුරංගට අවවාද කළ භූතාත්මය නාහිමියන්ට වැඳ නමස්කාර කොට සුරංගගේ ඇඟෙන් ඉවත් ව ගියා ය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: