Posted by: lrrp | July 18, 2009

පැරැණි ලක්දිව පැවැති බෞද්ධ පූජා උත්සව

පොල්ගහවෙල වෙහෙරපිටිය විද්‍යාර්ථොදය මහ පිරිවෙනේ ආචාර්ය, ශාස්ත්‍රපති ඒ.ඒ. ජයරත්න

ඉන්දියාවේ අශෝක රජුගේ එක් සෙල් ලිපියක ‘අලියවසානි’ යනුවෙන් වචනයක් සඳහන් වේ. මෙයින් කියැවෙන්නේ අරියවංස සූත්‍ර දේශනාව යැයි කෝසම්බි හා බරුවා යන උගත්තු දෙදෙනා පෙන්වා දෙති. මෙම දෙදෙනාගේ අදහස සත්‍ය නම් ලංකාවාසීන්ට පෙර ඉන්දීය ජනතාව මෙම සූත්‍රය ඇසීමට කැමැත්තක් දැක්වූ බව පෙනේ. භික්ෂු ,භික්ෂුණී ,උපාසක, උපාසිකා යන පිරිස නිතර නිතර කරුණු හතරක් මෙනෙහි කරමින් භාවනා කළ යුතු යැයි මෙම සෙල් ලිපියේ සඳහන් වේ.

සමහර ආගම් මුල්කරගෙන නොයෙක් ආකාරයේ පුද පූජා උත්සව ඇතිවීම නූතනයේ පමණක් දක්නට ලැබෙන්නක් නොවේ. අතීතයේ සිටම සමහර ආගම්වල වැදගත් පුද්ගලයන් සහ වැදගත් සිදුවීම් මුල් කරගෙන පෙරහර හා පුද පූජා උත්සව ඇතිවිණි. ඒ අනුව මහින්දාගමනයෙන් පසුව බුදුසමය මුල් කරගෙන නොයෙක් ආකාරයේ පූජා උත්සව ආරම්භ විය. අනුරාධපුර යුගයේදී ආරම්භ වූ සමහර උත්සව වර්තමානයේ දක්නට නොලැබෙන අතර සමහර උත්සව දක්නට ලැබේ. මේ සෑම අවස්ථාවකටම පාහේ රාජකීය අනුග්‍රහයත් සහභාගිත්වයත් ලැබී ඇත. රජ මැති ඇමැති ආදී පුද්ගලයන් සාමාන්‍ය ජනතාව සමග මෙම උත්සවවලට සහභාගී වී ඇත්තේ ඉතාමත් සන්තෝෂයෙනි. මේවා ආගමික උත්සව වුවත් සමහර ඒවාට නැටුම් ගැයුම් වැයුම් ආදිය ද එකතු විය. පළමුවෙනි භාතිය රජතුමා එක්තරා ආගමික උත්සවයකට නළු නිලියන්ද වාදකයන්ද සහභාගි කරවා ඇත. මේ නිසා සෞන්දර්යය රසාස්වාදය විඳිමින් ආගමික පුද පූජා උත්සවවලට සහභාගි වීමට ජනතාවට හැකිවිය.

පැරැණි ලක්දිව පැවැති එක් ආගමික පූජෝත්සවයක් වශයෙන් අරියවංස සූත්‍ර දේශනාව පෙන්වා දිය හැකිය. සෙසු සූත්‍ර දේශනා කරනවාට වඩා වැඩි සැලකිල්ලක් මෙම සූත්‍ර දේශනාවට හිමි වූ නිසා එය දේශනා කළේ උත්සවාකාරයෙනි. එම සුත්‍රයෙන් භික්ෂූ ජීවිතයේ ඇති අල්පේච්ඡතාවය පෙන්නුම් කරයි.

තමාට ලැබෙන සිවුරු, පිරිකර, පිණ්ඩපාතය, ආරාම ආදියෙන් සතුටු වී තමාගේ් ඉන්ද්‍රියන් සංවර කර ගනිමින් බහු භාණ්ඩික නොවී ලද දෙයින් සතුටු වෙමින් අනුන් පහත් කොට නොසලකමින් කාලය ගත කළ යුතු බවත් එම සූත්‍රයෙන් පැහැදිලි කෙරේ. අනුන්ට කරදරයක් නොවන ආකාරයටත් අනුන්ගේ පැහැදීම ඇතිවන ආකාරයටත් භික්ෂූව ක්‍රියාකළ යුතු බව මෙම සූත්‍රයෙන් වැඩිදුරටත් පෙන්වා දෙයි. සෑම භික්ෂුවක්ම මෙම සූත්‍රය දේශනා නොකළ අතර මෙය දේශනා කළ භික්ෂූන් වහන්සේ ‘අරියවංස භාණක’ යනුවෙන් හඳුන්වා ඇත.

‘අරියවංස සූත්‍රය’ දේශනා කිරීමට නියමිත මාසයක් හා දිනයක් තිබුණි. අවුරුද්දේ සෑම දවසකම මෙය දේශනා නොකරයි. වස් කාලයට ඇතුළත් වූ නිකිණි මාසයේදී එම සූත්‍රය දේශනා කිරිම සිරිතකි. තෝනිගල සෙල්ලිපියට අනුව නිකිණි පුර පසළොස්වක පොහොය දාට පසු දින ම ධර්ම දේශනය පවත්වති. තවත් මතයකට අනුව නිකිණි පුර පසළොස්වක පොහොය දිනට දින කීපයකට පෙර මෙය පවත්වයි. කෙසේ වෙතත් නිකිණි මාසය තුළදී පමණක් මෙය පවත්වන බව පැහැදිලිය.

මෙම කටයුතු සඳහා රාජකීය අනුග්‍රහය නොමඳව ලැබී ඇත. වෝහාරිකතිස්ස රජු මෙම උත්සවයට සම්බන්ධ වූ භික්ෂුව වහන්සේටත් එය ඇසීමට පැමිණි ගිහි ජනතාවටත් දානය දුන් බව මහාවංසයේ සඳහන් වේ. එක්තරා ඇමැතිවරයෙක් වී උඳු ආදි ධාන්‍ය බැංකුවක තැන්පත් කර එයින් ලැබුණු පොලිය අරියවංස උත්සවය සඳහා ලබාදුන් බව තෝනිගල සෙල්ලිපියේ සඳහන් වේ. එක් පුද්ගලයෙක් කහවනු 100ක් ද තවත් පුද්ගලයෙක් කහවනු 20ක්ද, මේ සඳහා දුන් බව ලබු ඇටබැඳිගල සෙල්ලිපියේ සඳහන් වෙයි. වර්තමානයේදී සමහර පන්සල්වල වස් කාලය තුළදී මෙම සූත්‍රය දේශනා කරන අතර වර්ෂයක් පාසාම දිඹුලාගලදී මෙය අසන්නට ලැබෙන බව අපි අසා ඇත්තෙමු. රසවානිහිය විශුද්ධි මාර්ගය වැනි ග්‍රන්ථවල මෙම සූත්‍ර දේශනාව පිළිබඳව තොරතුරු ඇත.

ඉන්දියාවේ අශෝක රජුගේ එක් සෙල්ලිපියක ‘අලියවසානි’ යනුවෙන් වචනයක් සඳහන් වේ. මෙයින් කියවෙන්නේ අරියවංස සූත්‍ර දේශනාව යැයි කෝසම්බි හා බරුවා යන උගතුන් දෙදෙනා පෙන්වා දෙති. මෙම දෙදෙනාගේ අදහස සත්‍ය නම් ලංකාවාසීන්ට පෙර ඉන්දීය ජනතාව මෙම සූත්‍රය ඇසීමට කැමැත්තක් දැක්වූ බව පෙනේ. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන පිරිස නිතර නිතර කරුණු හතරක් මෙනෙහි කරමින් භාවනා කළ යුතු යැයි මෙම සෙල්ලිපියේ සඳහන් වේ.

අනුරාධපුර යුගයේදී පැවැත් වූ තවත් එක් පූජා උත්සවයක් වශයෙන් ‘ගිරිභණ්ඩ’ පූජාව පෙන්වා දිය හැකිය. මෙය පළමුවෙන්ම පවත්වා ඇත්තේ මහාදාඨික මහානාග රජතුමා විසිනි. මිහින්තලා මහා සෑයේ වැඩ අවසන් වීමෙන් පසුව මෙය පැවැත් වූ බව මහාවංසයේ සඳහන් වේ.

‘ගිරිභණ්ඩ’ යන වදනයෙන් අදහස් කළේ කුමක්ද? යන්න පැහැදිලි නැත. මෙහිදී මත දෙකක් ඇත. කන්දක් තරම් උසට බඩු පූජා කිරීම එක් මතයකි.

කන්දක් උඩදී බඩු පූජා කිරීම අනික් මතයයි. මෙම මත දෙකෙන් කන්දක් උඩදී බඩු පූජා කිරිම යන අදහස පිළිගැනීමට පුළුවන. මිහින්තලා චෛත්‍යය ඉදිකර ඇත්තේ කන්දක් උඩය. ‘ගිරි’ යන වචනයෙන් ‘කන්ද’ පර්වතය යන අදහස ලැබේ. කන්දක් උඩදී පැවැත් වූ පූජාව ‘ගිරිභණ්ඩ’ පූජාව වූවායැයි පැවසීම වඩාත් සාධාරණය.

මෙම උත්සවය සඳහා අවට පරිසරය සකස් කළ ආකාරය පිළිබඳව මහාවසංයේ තොරතුරු ඇත. මල්වතු ඔයේ සිට මිහින්තලය දක්වා ප්‍රදේශය ශුද්ධ කර පිරිසුදු කොට තොරණ හා කොඩිවලින් අලංකාර කර ඇත. මඟ දෙපස පහන් පත්තු කර අවට ප්‍රදේශයට ආලෝකය සපයා තිබිණි.

ගීත ගායනා කරමින් තවත් පිරිසක් නැටුම් රඟ දක්වා ඇත. මෙම අවස්ථාවට සහභාගි වීමට පැමිණි භික්ෂූන් වහන්සේට දන් වැලදීම සඳහා දාන ශාලා අටක් (08) ඉදිකර වූ බවත් ගිහි ජනතාවටත් ආහාර පාන ලබාදුන් බවත් සඳහන් වේ. මහාදාඨික මහානාග රජතුමාගෙන් පසුව වෙනත් රජ කෙනෙක් මෙම උත්සවය පැවැත් වූ බවට සාධක නැත. රසවාහිනිය මෙම පූජාව හඳුන්වා ඇත්තේ මහා පර්වත පූජාව යනුවෙනි.

පැරැණි ලක්දිව පැවැති තවත් වැදගත් ආගමික පූජා උත්සවයක් වශයෙන් ‘ගංගාරෝහණ පූජාව‘ පෙන්වාදිය හැකිය. අමනුෂ්‍ය බියක්, දුර්භික්ෂයක් හෝ නියඟයක් ඇතිවූ අවස්ථාවක ඒවා දුරු වී රටට යහපතක් සැලසේවා යන බලාපොරොත්තුවෙන් මෙම ‘ගංගාරෝහණ’ පූජාව පවත්වයි. බුද්ධදාස රජුගේ පුතා වූ පළමුවෙනි උපතිස්ස රජු මෙම පූජා උත්සවයේ ආරම්භකයා ය.

මේ රජුගේ කාලයේදී විශාල නියඟයක් ඇතිවිය. රෝග බිය හා අමනුෂ්‍ය බියද ඇතිවිය. මෙවැනි අවස්ථාවක කුමක් කළ යුතුදැයි රජතුමා භික්ෂූන්ගෙන් අසයි. විශාලා මහනුවර තුන්බිය ඇති වූ අවස්ථාවේ දී එය දුරු කිරීම සඳහා රතන සූත්‍රය දේශනා කරමින් පිරිත් පැන් ඉස්ස ආකාරයට ඉන් පසුව තුන් බිය දුරු වූ ආකාරයත් භික්ෂූන් වහන්සේ රජතුමාට දන්වයි. ඒ අනුව රජතුමා රත්තරන් බුදු පිළිමයක් සාදවා පිළිමයේ අත් මත ජලය පිර වූ පාත්‍රයක් තබා එම පිළිමය රථයක තබා නගරය පුරා ගමන් කරවීය. භික්ෂූන් වහන්සේ පිරිත් කියමින් එම රථය පසුපස ගියහ. නගරය පුරා පිරිත් පැන් ඉස්සේය. ඉන් පසුව සියලු උවදුරු දුරු වී වර්ෂාව ලැබිණි. අනාගතයේදීත් මෙවැනි දුර්භික්ෂයක් ඇති වුවහොත් මේ ආකාරයටම ක්‍රියාකරන ලෙසට රජු දැන්වීය.

දෙවැනි සේන රජුගේ කාලයේදී වසංගතයක් ඇති වූ අවස්ථාවේදීත් නගරය පුරා පිරිත් පැන් ඉස්ස බව සඳහන් වේ. පස්වෙනි කාශ්‍යප, හතරවන අග්බෝවැනි රජවරුද දුර්භික්ෂ ඇති වූ අවස්ථාවලදී මෙම ‘ගංගාරෝහණ පූජාව‘ පැවැත් වූ බවට මහාවංසය තොරතුරු සපයයි.

කිත්සිරිමෙවන් රජු දවස හේමමාලා හා දන්ත කුමරු විසින් ලංකාවට ගෙන එන ලද දළදා වහන්සේ මුල් කරගෙන දළදා පූජෝත්සවය ආරම්භ විය. දළදා වහන්සේ තැන්පත් කර තිබුණේ අභයගිරි විහාරයේ ය. ක්‍රි.ව. පස්වෙනි සියවසේ ලංකාවට පැමිණි පාහියන් හිමි දුටු දළදා උත්සවයක් පිළිබඳව උන්වහන්සේගේ වාර්තාවේ සඳහන් වේ. ඒ අනුව පෙරහර පැවැත්වීමට දින දහයකට කලින් සරසන ලද අතෙකු පිට නැගුණු පුද්ගලයෙක් අණ බෙර ගසමින් නගරයේ සංචාරය කරමින් තව දින දහයකින් දළදා පෙරහර පවත්වන බව පවසයි. එසේම පෙරහර ගමන් ගන්නා මාර්ගය ශුද්ධ පවිත්‍ර කර අලංකාර කරන ලෙසටත් පූජා කිරිම සඳහා මල් සූදානම් කර ගන්නා ලෙසටත් දැනුම් දෙයි.

ජාතක කථා චිත්‍රයට නගා පෙරහර ගමන් ගන්නා මාර්ගයේ මඟ දෙපස තබයි. පෙරහර ගමන් කරනවිට අතරමඟදී ජනතාව මල් පූජා කරයි. නගරයේ සංචාරය කිරීමෙන් පසුව පෙරහර අභයගිරියට ළඟා වේ. දවස් අනූවක් (90) ගතවනතුරු රජතුමා ඇතුළු ජනතාව දළදා වහන්සේට පූජා පවත්වයි. පසලොස්වක පෝය දිනවලදී දළදා මාළිගාවේ දොර ඇර මහජනතාවට පුද පූජා පැවැත්වීමට ඉඩ දෙයි. රජතුමා සෑම දිනකම දවසට තුන් වාරයක් සුවඳ පැන් වලින් දළදා වහන්සේ පුදයි.

මේ ආකාරයට පාහියන් හිමියන්ගේ වාර්තාවේ දළදා පෙරහර පැවැත්වූ ආකාරය සඳහන් වේ. එම වාර්තාවට අනුව දළදා පෙරහර පවත්වා ඇත්තේ තුන්වෙනි මාසයේය. සිංහල මාස ක්‍රමයට අනුව තුන්වන මාසය යනු ඇසළ මාසයයි. වර්තමානයේද මෙම පෙරහර පවත්වන්නේ ඇසළ මාසයේ දීය.

මෙම පූජා උත්සවවලට අමතරව විහාර පූජා උත්සවය, දීප පූජා උත්සවය (පහන් පත්තු කිරීම) මිහිඳු පූජෝත්සවය, කඨින පූජෝත්සවය ආදි බෞද්ධ පූජා උත්සව කීපයක් පිළිබඳවත් තොරතුරු සඳහන් වේ.

(මහාචාර්ය වල්පොල රාහුල හිමියන්ගේ ‘ලංකාවේ බුදු සමයෙහි ඉතිහාසය’ නමැති ග්‍රන්ථය ආශ්‍රයෙනි)


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: