Posted by: lrrp | July 18, 2009

සදාචාර සම්පන්න සමාජයක් සඳහා කාන්තාවට නිසි ගරුත්වය දිය යුතුයි

බුදුරජාණන් වහන්සේ සප්ත අපරිහානීය ධර්ම පිළිබඳ ඉගැන්වූ කි‍්‍ර.පූ. 06 වැනි සියවසේදී භාරතීය කාන්තාවට හිමි වී තිබුණේ ඉතා අවාසනාවන්ත සමාජ වටපිටාවකි.

විශේෂයෙන්ම බ‍්‍රාහ්මණ දහම ඉතා බලවත් එකල දියණියක ගේ උපත ලැබීම පවා පවුලකට අවාසනාවන්ත කාලයක් උදාකරන්නේ ය යන චින්තනය ගොඩනැඟී තිබිණි.

එහෙත් සමාජයක යහපැවැත්ම සඳහා කාන්තාව ගේ දායකත්වය කෙසේ ලබාගත යුතු ද යන්න පිළිබඳ පූර්ණ අවබෝධයක් බුදුරජාණන් වහන්සේ සතු වූහ. එම නිසා කාන්තාවට ලැබිය යුතු ගෞරවනීය බව ලබා දෙන්නට උන්වහන්සේ කිසි විටෙක මැළි නොවූහ.

සප්ත අපරිහානිය ධර්මයන් අතර හයවැනි අපරිහානීය ධර්මය ලෙස හඳුන්වා දී ඇත්තේ ද කාන්තා පක්ෂය කෙරෙහි නිසි ලෙස හැසිරීම යන කරුණය. වත්මන් සමාජයේ වුවද කාන්තාව කෙරෙහි වූ ගෞරවය, කරුණාව, දයාව විවිධඅවස්ථාවන් හිදී ගිලිහී යන ස්වභාවයක් දක්නට ලැබේ. ඇය වෙත ලැබෙන තාඩන පීඩනද බොහෝය.

මේ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සයවැනි අපරිහානීය ධර්මය පිළිබඳව අද දවසේ ගැඹුරින් සලකා බැලිය යුතු වේ.

කාන්තාවකට සිය ජීවිතයේ දී භූමිකා කිහිපයකට මුහුණ දීමට සිදුවේ. පළමුව ඇය දියණියකි.

දෙවැනිව බිරියකි. තෙවනුව මවකි. ඉන් පසුව ඇය අත්තම්මා කෙනකු බවට පත්වන්නීය. මේ අනුව ඇයට සමාජයේ දී පිරිමියා මෙන්ම භූමිකා හතරක් නියෝජනය කිරීමට සිදුවේ. මේ සෑම භූමිකාවක දී ම ඇය ගේ කි‍්‍රයාකාරිත්වය පවුලේ යහපත පිණිස, සමාජයේ වැඩදායි බව පිණිස උපකාර කරගත හැකි බව බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්හ. රාජ්‍යයක යහපාලනය පවත්වාගෙන යෑම උදෙසා කාන්තා පක්ෂය කෙරෙහි නිසි ලෙස ගරුසත්කාර කළ යුතු බව නිර්භයව දේශනා කොට වදාළේ එහෙයිනි.

විශේෂයෙන් ම දියණියක වශයෙන් ජීවත්වන කාල පරිච්ඡේදයෙහි ඇය ගේ භූමිකාව ගෘහස්ත ජීවිතයට ඉතා උපකාරී වේ.

පෙරදිග සමාජයේ පිරිමි දරුවකු ගෙන් ලැබෙන උපකාරයට වඩා දියණියක ගෙන් සිය මවුපියන් වෙත ලැබෙන අනුග‍්‍රහය වැඩිය. ගෘහයේ කටයුතුවල දී මෙන්ම වත්ත පිටියේ කටයුතුවල දී ද ඇය සිය මවට අත්වැලක් වන්නීය. මුළුතැන්ගෙයි වැඩ බොහොමයක් ඉටු කැරෙන්නේ ද ඇය ගේ දෑතිනි.

දියණියක ලෙස තම මවට උදව් කරමින් ඇය ඒ ඔස්සේ සිය අනාගතය සඳහා අවශ්‍ය කරන දැනුම වර්ධනය කරගනී.

සාර්ථක ගෘහනියක් වීම සඳහා ඇවැසි අත්දැකීම් රැස්කර ගනී. ගෘහයක් පාලනය කිරීමට ඇවැසි දැනුම, කුසලතා සහ ආකල්පවලින් පිරිපුන් කාන්තාවක් වෙසෙන පවුලක ගැටුම් අවමය. එහි දිවි පැවැත්ම ද ඉතා තෘප්තිමත් ය.

සමාජය විසින් දියණියක් වෙත ලැබිය යුතු ගෞරවය එලෙසම ලබා දීමට වග බලාගත යුතු ය. විවාහ වනතුරු බ‍්‍රහ්මචාරී කුමරියක් ලෙස විසීමට ඇයට අවකාශය සැලැසෙන්නේ එවිට ය. කුමරි බඹසර හැසිරීම පුරුදු පුහුණු කිරීමෙන් ඇයට ගෞරවනීය බවක්, පූජනීය බවක් හිමි වේ ය යන කරුණ අප මෙහි දී අවබෝධ කරගත යුතු වේ. එසේ නොමැතිව ශික්ෂා පද පැනවීමෙන් දියණියක ගේ නිදහස සීමා කර තිබේ යැයි මෙහි දී කල්පනා නොකළ යුතුය.

විවාහ ජීවිතයට පත් වීමත් සමග කාන්තාවක ගේ ජීවිතයේ දෙවැනි වටිනාම කාල පරිච්ඡේදය උදා වේ. යහපත් බිරියක් ලෙස ජීවිතය ගත කරන ඇය ගේ සතුට, ආරක්ෂාව සහ අනෙකුත් සියලුම මනෝභාවයන් කෙරෙහි පූර්ණ අවධානය යොමු කරන බුදුරජාණන් වහන්සේ ඇය කෙරෙහි ස්වාමි පුරුෂයකු ගේ කාර්ය භාරය කවරේ ද යන්න පිළිබඳව සිඟාලෝවාද සූත‍්‍රයේ දී ඉතා පැහැදිලිව පෙන්වා දී ඇත්තාහ. එහි දී සැමියාගෙන් බිරිය වෙත ඉටුවිය යුතු යුතුකම් ශීර්ෂ පහක් යටතේ සාකච්ඡා කර තිබේ.

සම්මානනය හෙවත් ගරු සැලකිළි දැක්වීම, ඇය කෙරෙහි ගරු කටයුතු ලෙස හැසිරීම එහි දී ප‍්‍රධාන කරුණක් ලෙස පෙන්වා දී තිබේ. ඇයට අවමන් නොකිරීම ද සැමියාගේ යුතුකමකි. තමන්ගේ ඥාතින් ඉදිරියේ හෝ, බිරිය ගේ ඥාතින් ඉදිරියේ, හිත මිතුරන් ඉදිරියේ, දරුවන් ඉදිරියේ ඇයට අවමන් නොකළ යුතුය. තමන් සමග සිටින අවස්ථාවකදී වුවද ඇය පහත් කොට, නොසලකා හැරීම නොකළ යුතුය. මෙහිදී කාන්තාව ගේ මානසික සුරක්ෂිතතාවය වෙනුවෙන් ඉතා වටිනා මඟ පෙන්වීමක් සිදුකර තිබේ.

කාන්තාවක් විවාහ වන්නේ බලාපොරොත්තු රැසක් අපේක්ෂාවෙනි. තම ස්වාමි පුරුෂයා තමා වෙනුවෙන් ජීවිතය පුරාම කැපවී සිටිනු ඇතැයි ඇය ගේ මූලික බලාපොරොත්තුවයි.

තමා ආරක්ෂා කරනවා පමණක් නොව, ඇය වෙනුවෙන්ම ජීවත් වේ ය යන මනෝභාවය ද ඇය වෙත වේ.

ස්වාමි පුරුෂයා විසින් සිය බිරිය වෙත ඉටුකළ යුතු තෙවැනි යුතුකම වශයෙන්, පරදාර සේවනයෙන් වැළකීම හඳුන්වා දී තිබෙන්නේ ඒ නිසා ය. එක් පසෙකින් මෙය කාන්තාව ගේ ජීවිතය සෞඛ්‍යමය වශයෙන් ආරක්ෂා කිරීමට කළ යෝජනාවක් ලෙස ද හඳුනා ගත හැකි ය.

යම් ස්වාමි පුරුෂයෙක් පර ස්තී‍්‍රන් කරා යමින් ඔවුන් සමඟ මෙවුන්දම් සෙවීම ආදී කටයුතු කරනවා නම් එහි දී ඔහුට බරපතළ රෝගයන්ට මුහුණ දීමට සිදුවනු ඇත. අවසානයේ දී නිවැරැදි, යහපත්, සිල්වත් ජීවිතයක් ගත කරන බිරිය ද රෝගියෙක් බවට පත් වේ. මෙවැනි අවස්ථා සමාජයේ සුලබය. මේ නිසා තමා මෙන්ම තම බිරිය ගේ සෞඛ්‍යාරක්ෂිත බව, ඇය ගේ මානසික සුවය සහ සතුට පිළිබඳව සලකන සැමියා අනිවාර්යයෙන්ම පර ස්තී‍්‍රන් සේවනයෙන් වැළැකී සිටිය යුතුය. එය සැමියකු ගේ යුතුකමක් පමණක් නොව වගකීමක් ද වන බව බුදුරජාණන් වහන්සේ අවධාරණය කර ඇත.

විවාහයෙන් පසුව තම බිරියට ගේදොර පාලනය භාර දීම ද සැමියා ගේ යුතුකමකි. ඇය කුඩා කල පටන් තම මව ඇසුරේත්, කිරි අම්මා ඇසුරේත් ලබාගත් අත්දැකීම් බොහෝය. ගේ දොර කටයුතු කළ යුතු පිළිවෙළ පිළිබඳ ඇයට නිසි අවබෝධයක් ඇත. මේ නිසා ගෙදර පාලනය ඇයට පැවරීමෙන් ගෘහ ජීවිතයේ කටයුතු අඩාල වන්නේ ද නැත.

වගකීම පැවරීමත් සමග ඇය තමා නිසි ඇගයීමට ලක්වීම පිළිබඳව මානසික තෘප්තියට පත්වනු ඇත. එකිනෙකා අතර ගැටුම් ඇතිවීමට තිබෙන ඉඩකඩ ද අවම ය. තම බිරිය ගේ හිත සුව පිණිස හැකි අවස්ථාවන් හිදී ඇඳුම් පැළඳුම්, තෑගි බෝග ලබා දීම ද සැමියා ගේ යුතුකමක් බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ. මෙවැනි ඉගැන්වීම්වලින් උන්වහන්සේ සප්ත අපරිහානීය ධර්මයන් ගෙන් සයවැන්න ලෙස පෙන්වා දුන් කාන්තාවට නිසි ගෞරවය ලබාදීම යන කාරණය තවත් අර්ථවත් කර ඇත.

මවට නිසි තැන, ගෞරවය හිමිවන පවුලක් වේ නම් එය සමාජයටම ආදර්ශයකි. එවන් නිවෙස්වලින් පිරුණු රාජ්‍ය ද වාසනාවන්තය.

නිවෙසක දරුවන් වැඩි වශයෙන් ම දවස ගෙවන්නේ මව සමග මිස පියා සමග නොවේ. ඒ නිවෙසේ ගෘහ මූලිකයා විසින් මවට නිසි ගෞරවය, සැලකිලි ලබා දෙන්නේ නම් දරුවන් නිසි මඟ යැවීම සඳහා ඇවැසි පෞරුෂය එහිදී ඇය කෙරෙහි ගොඩ නැඟේ. ගෘහනියක් ලෙස හෝ වේවා, බිරිය ලෙස හෝ වේවා තම නිවෙසේ දී ඇය අපහසුතාවයට, අවමානයට ලක්වන්නේ නම් දරුවන් නිසි මඟ යැවීමට ඇය වෙත වූ ශක්තියට, පෞරුෂයට බරපතළ හානි පැමිණේ.

තමන් නොසලකා හැරියා යන මානසිකත්වයෙන් ඇය පීඩාවට පත්වේ. මේ නිසාම දෛනික වැඩ කටයුතු, හා පවුලේ සාමාජිකයන් පිළිබඳව සොයා බැලීමේ ආශාව, උනන්දුව ඇය කෙරෙන් දුරස් වේ. මේ නිසා කිසියම් රාජ්‍යයක දරු පරපුර යහමඟට ගැනීම සඳහා උනන්දු වනවා නම් පළමුව ඒ රාජ්‍යයේ ජීවත්වන අම්මාවරුන්ට ගෞරවනීය බවක් ලබාදීම වැදගත් වේ.

බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ සෑම සූත‍්‍ර දේශනාවක දී ම පාහේ යම් අදහසක් පල කරන්නේ නම් ඊට පෙර මව පිළිබඳව සඳහන් කර ඇය ඉදිරියෙන් තබන්නට කටයුතු කර ඇති බව පෙනේ. සදිශා පිළිබඳව හඳුන්වාදීමේ දී පූර්ව දිශාව හෙවත් නැගෙනහිර දිශාව ලෙස පෙන්වා දී තිබෙන්නේ මව සහ පියා යන දෙදෙනාය.

‘මාතා පිතා දිශා පුබ්බා’

මෙම වාක්‍යයෙහි පළමුව මව පූර්ව දිශාව වශයෙන් පෙන්වා දී ඇත. එමෙන් ම පරාභව සූත‍්‍රය සහ වාසල සූත‍්‍රයෙහි ද මවට සහ පියාට නොසළකා හිඳීම වසල කාරක ධර්මයක් බවත්, පිරිහීමට කාරණයක් බවත් පෙන්වා දී ඇත.

එකල සමාජයේ බ‍්‍රහ්මත්වය ලැබීම ඉතා ඉහළින් පිළිගැනුණි.

බුදුරජාණන් වහන්සේ විසින් බ‍්‍රහ්මත්වයට පියා සමාන කර දක්වනවා සේ ම ප‍්‍රථමයෙන් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන ගුණාංගයන්ගෙන් පිරිපුන් වූයේ මව ය යන කරුණ අමතක නොකළහ.

‘බ‍්‍රහ්මාති මාතා පිතරෝ’

මව සහ පියා මහා බ‍්‍රහ්ම යන උතුම් පදවියෙන් පූජාවට සුදුසු බව උන්වහන්සේ අවධාරණය කර ඇත.

ලංකා සමාජයේ වෙසෙන අප, අම්මා සහ කිරි අම්මා ගේ භූමිකාව ඉතා සුවිශේෂී වන බව අමතක නොකළ යුතුය. වැඩිහිටි, කාන්තාවන් සතු දැනුම් සම්භාර ය, ජීවත් වීමෙන් ලද පන්නරය ඊළඟ පරම්පරාවේ දියුණුවට අතිශයින්ම උපකාර කරගත හැකිය.

විශේෂයෙන් ම මුණුපුරු මිණිපිරියන්ට ආච්චි අම්මාගේ ඇසුරෙන් ලැබෙන සමාජයීය දැනුම මිල කළ නොහැකි ය.

මේ නිසා රටක බාල, තරුණ, මහලු සෑම කාන්තාවක්ම ආරක්ෂා කර ගැනීමට, ඔවුන්ට නිසි ගෞරවය ලබා දීමට නිවෙසේ දී මෙන්ම සමස්ත සමාජයේ දී ද කටයුතු කළ යුතුය.

සදාචාර සම්පන්න අනාගතයක් අපේක්ෂා කළ හැකිවන්නේ එවිට ය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: