Posted by: lrrp | July 18, 2009

‘නිවන් අවබෝධය තර්කයෙන් ලද නොහැකි ය’

ගා/ සරස්වතී මණ්ඩප පිරිවෙන්හි  ආචාර්යශාස්ත්‍රපති කරපුටුගල ධම්මරතන හිමි

බුද්ධ කාලීන භාරතයෙහි චින්තකයෝ ලෝකය ශාස්වතය උච්ඡේදය, ආත්මයක් ඇත. ඊශ්වරයකුගේ පැවැත්ම සත්‍යයකි යනුවෙන් කරුණු දක්වමින්, ඒවා ඤාණයෙන් ලත් බව ප්‍රකාශ කර සිටියහ. එවැනි නියතවාදී අදහස්, භෞතිකවාදී ශාස්ත්‍රවාදී හා උච්ඡේදවාදී අදහස් ඉදිරිපත් කිරීම පිණිස ඔවුන් ඤාණය ලබා ගන්නේ විවිධ ඤාණ මාර්ගය ඔස්සේ ගමන් කිරීමෙනි. බුද්ධකාලීන වෙනත් චින්තන ඉදිරිපත් කළ ඤාණ මාර්ග පිළිබඳ වැදගත් තොරතුරු සූත්‍ර කිහිපයක සඳහන් වෙයි. තර්කයෙන් නිවැරැදි දැනුමක් ලැබිය හැකි යැයි පිළිගත් චින්තකයන් බුද්ධකාලීන භාරතයෙහි සිටි බව දීඝ නිකායේ බ්‍රහ්මජාල සූත්‍රයෙහි සඳහන් වෙයි.

ඤාණය ලබා ගැනීම පිළිබඳ කරුණු ඉදිරිපත් කළ පෙර – අපර දෙදිග දාර්ශනිකයන් මූලික වශයෙන් කොටස් 2 කට බෙදෙයි. ඔවුන් බුද්ධිවාදීන් සහ අනුභූතිවාදීන් වශයෙන් සඳහන් කළ හැකි ය. ඤාණය ලබාගත හැකි තර්ක විතර්ක කිරීමෙන් බවත්, තර්කයෙන් සියල්ල දත හැකි බවත්, බුද්ධිවාදීන්ගේ අදහස විය. ජීවිතය හා ලෝකය පිළිබඳ සත්‍ය ඤාණය ඔවුන් ලබා ගත්තේ හුදු බුද්ධිමය තර්කය තුළිනි. බාහිර ලෝකය ගැන පරීක්ෂණයක් ඔවුනට අවශ්‍ය නැත.

බුද්ධිවාදීහු තර්කය සිය ඥාණ මාර්ගය ලබා ගැනීමේ මාධ්‍යය කරගත් අතර, අනුභූතිවාදී සිය ඤාණය ලබා ගැනීමේ මාධ්‍යය ලෙස අනුභූතිය පිළිගත්හ. තර්කයෙන් සත්‍ය ඤාණය ලැබිය නොහැකි බව ප්‍රකාශ කරන අනුභූතිවාදිහු එය ලැබිය හැකි ලෝකය හා ජීවිතය පිළිබඳ අත් දැකීමෙන් පමණක් බව ප්‍රකාශ කරති. අප අත්දැකීම් ලබන්නේ ඇස, කන, නාසය, ආදි ඉන්ද්‍රිය මගින් රූප, ශබ්දාදී අරමුණු වශයෙනි. ලොව සියල්ල තේරුම් ගත හැකි ඉන්ද්‍රිය ඤාණයෙන් මිස, තර්කයෙන් නොවන බව මේ අනුව පෙනී යයි. ඉන්ද්‍රිය අරමුණු සමග එක් වීමෙන් හෙවත් විෂය, විෂය සම්බන්ධතාවයෙන් ඤාණය ලබාගත හැකිය යන්න අනුභූතිවාදින්ගේ අදහස වෙයි. මෙම ගනයට වැටෙන දර්ශන වන්නේ, බෞද්ධ, වාර්වාක, පායාසි දර්ශනය.

ඤාණ මාර්ගයක් වශයෙන් තර්කය ගැනීමේදී එහි විවිධ අඩුපාඩු දක්නට ලැබේ. ඒවා නම්

1. තර්ක කරන්නාගේ උගත්කම මත සත්‍ය තීරණය වීම
2. තර්ක කර්නා දක්ෂ කථිකයෙකු නම් අසත්‍යයක් වුවත්, සත්‍යයක් ලෙස පෙන්විය හැකි ය.
3. තර්ක කරන්නා කීර්තිමත් අයකු නම් ඔහුට දිවීමට හැකි ය.
4. තර්ක කරන්නා කාය ශක්තියෙන් හා නායකත්වයෙන් යුක්ත අයකු නම්, ඔහුට එයින් දිනීමට හැකිවීම.

මෙම කරුණු අනුව පෙනී යන්නේ තර්කයේදී සත්‍යය බාහිර කරුණු මත රඳා පවතින බවයි. මෙම කරුණු නිසා අසත්‍ය වූ දෙයක් වුවත් සත්‍ය යැයි හැඟී යෑමට පුළුවන. මේ නිසා තර්කය ඤාණ මාර්ගයක් වශයෙන් ගැනීමේදී විවිධ දුෂ්කරතාවලට පත්වීමට සිදු වේ.

සත්‍ය දැකිමේදී තර්කය ප්‍රමාණවත් නොවන බව, මෙම කරුණු වලින් ද මනාව පෙනී යයි.

* සත්‍යය බාහිර කරුණු මත පදනම් වීම
* විවිධ අරමුණු ඇතිව, තර්ක කරන්නන් සිටිය හැකිවීම
* සමහර සත්‍යය පහදා දීමට නොව, ප්‍රසිද්ධිය අරභයා තර්ක කිරීම
* සමහරු තමා පිළිගත් මතය, කෙසේ හෝ ජයග්‍රහණය කර වීමට තර්ක කිරීම.
* සමහරු අනුන්ගෙන්, පලිගැනීමට තර්ක කිරීම
* සමහරු තමා උසස් කොට අනුන් පහත් කොට සැලකීම සඳහා තර්ක කිරීම
* සත්‍යය ඉස්මතු වීමට වඩා, වෛරය පලිගැනීම, කල කෝලාහල, තර්කය නිසා සිදුවිය හැකිය.
* තර්කණයට දෘෂ්ටි ග්‍රහණය පදනම් විය හැකි ය.
* සියල්ල ශාස්වත යැයි පැවසීම
* සියල්ල උච්ඡේද යැයි පැවසීම
* සියල්ල කර්මයට අනුව යැයි පැවසීම
* තර්කයෙන් පැමිණෙන නිගමන සත්‍ය මෙන්ම, අසත්‍ය ද විය හැකි ය.
* තර්කයේ මාධ්‍යය භාෂාවයි

භාෂාව අදහස් ප්‍රකාශ කරවන මාධ්‍යයකි. අකුරු, වචන, වාක්‍ය, හදාගත් දේ බැවින් එය බොරුවක් විය හැකි ය.

* තර්කයෙන් පැමිණි නිගමනය, තවත් තර්කයකින් බිඳ දැමීමට හැකි ය.

මෙම කරුණු අධ්‍යයනය කරන විට සත්‍ය කරුණු දැන ගැනීමේදී තර්කය ප්‍රමාණවත් නොවන බව පෙනී යයි. බුදුරදුන් දවස භාරතයේ නොයෙක් ආගමික දෘෂ්ටි කර පින්නාගත් හණ බමුණන් සිටි බවත්, ඔවුන් නොයෙක් අයුරින් තර්ත විතර්ක කොට, සිය දෘෂ්ටි සත්‍ය බව ඔප්පු කිරීමට උත්සාහ කළ බවත්, බ්‍රහ්මජාල සූත්‍රයේ මෙසේ සඳහන් වේ.’’මහණනි මෙහි එක්තරා මහණ බමුණෙක් තර්ක කරන්නේ වෙයි. ඒ ඒ කරුණින් තර්ක ;කාට විමසුම් නුවණ පමණින්ම ආත්මයත්, ලෝකයත්, සදාකාලිකය යනාදී වශයෙන් දේශනා කරති. මෙසේ බලන කල බ්‍රහ්මජාල සූත්‍රයේ සඳහන් ඇතැම් දාර්ශනික මත පිළිබඳ ඥාණ තර්ක කොට ලබා ගත් ඒවා වෙයි. අංගුත්තර නිකායේ කාලාම සූත්‍රයෙහිදී මෙවැනි තර්ක පිළිබඳ තොරතුරු දැක්වේ. කාලාමයෙහි තර්කයට ගැලපෙන නිසා හෝ න්‍යායට ගැලපෙන නිසා හෝ යමක් පිළිබඳ එහි මතු පිට ආකාර කිහිපයක් පමණක් බැලීමෙන් හෝ දෘෂ්ටියට මතයට ගැලපෙන නිසා හෝ නොපිළිගනිව්. තර්කය න්‍යාය ආකාර පරිවිතර්කය හා දෘෂ්ඨිය යන සියල්ලම බුද්ධිවාදී ඥාණ මාර්ග නොවේ. බුදුන් වහන්සේ විසින් එම ඥාණ මාර්ග ප්‍රතික්ෂේප කරන ලදී. මජ්ඣිම නිකායේ මජ්ඣිම පණණසකයේ සංගාරව සූත්‍රයේදී එකල පැවැති ඤාණ මාර්ගයන් පිළිබඳ මෙසේ සඳහන් වෙයි. සද්ධා මාත්‍ර වශයෙන් ඉහාත්මයෙහි නිවන් පැමිණෙමි කියා ආදී බ්‍රහ්මචරිය ප්‍රකාශ කැරෙද්ද එබඳු මහණ බමුණන් ඇත. තර්කාග්‍රාහී වූ විමසංක වූ බ්‍රාහ්මණයෝද වෙති. එසේම තර්කාග්‍රාහී හෙවත් තර්කය ඤාණ මාර්ගයක් ලෙස පිළිගත්තවුන් පිළිබඳ මජ්ඣිම නිකායේ මජ්ඣිම පණ්ණාසකයේ සංධක සූත්‍රයේ මෙසේ සඳහන් වෙයි. සන්ධකය, තවත් කරුණක් කියමි. ශාස්තෘවරයෙක් තර්කයෙන් පමණක් විමසා, එයින්ම තීරණ ගැනීමට දේශනා නොකරයි.

‘ඉධ භික්ඛවේ ඒකචෙචා සමණෙවා, බ්‍රාහ්මණොවා, තක්ක හොති, විමංසි සො තක්කපරියාහංතං විමසානුචරතං සයං පටිභානං, එවමාභි සස්සතො අත්තාව ලොකොච’ දී. නිකාය බ්‍රහ්මජාල සූත්‍රය.

‘මා තක්කහෙතු, මා නය හෙතු මා ආකාර පරිවිතක්කෙන, මා දිට්ඨි නිජ්ජානක්ඛන්තියා…. කාලාම සූතය. අංගුත්තර නිකාය.

බුද්ධ කාලින තාර්කිකයන් ගැන වැදගත් තොරතුරු සුත්ත නිපාතයේද දක්නට ලැබේ. මජ්ක්‍ධිම නිකායේ චංකී සූත්‍රයේ තර්කවාදීන් ගැන සඳහන් වෙයි. පසු කාලීනව මෙම තර්කවාදීන් පිළිබඳ විග්‍රහයේ යෙදෙන අටුවාචාරීහු ඔවුන් සතර වැදෑරුම් කොට දක්වති.

1. අනුශ්‍රවය (ඇසූ දෙය, සම්ප්‍රදාය, ප්‍රධාන කොට තර්ක කරන්නෝ)
2. කිසියම් ධ්‍යානලාභී බවට පැමිණ (ඒ අනුව තර්ක කරන්නෝ)
3. පෙර ජාති සිහි කොට (මම පෙරවුයෙමි ආදී දැනුම් මුල්කොට තර්ක කරන්නෝ)
4. ශුද්ධ තාර්කිකයෝ (තර්කය පමණක් සලකා තර්ක කරන්නෝ)

තර්ක කොට සිතට ගෙන, සංකල්පනය කොට, විවිධ දෘෂ්ටි උපදවා මා කියන දෙය සත්‍යය, නුඹ කියන දෙය, අසත්‍ය යැයි කියන්නවුන් තාර්කිකයින් බව අටුවා ග්‍රන්ථවල සඳහන් වේ. එසේම තර්කයට ප්‍රධානත්වය දෙන නිසා ;මාවුන් බුද්ධිවාදීන් ලෙස හැඳින්විය හැකි ය.

තර්කය පිළිබඳ බෞද්ධ මතය අනුව තර්කයෙන් සත්‍ය ඥාණය ලැබිය නොහැකි ය. එය ඤාණ මාර්ග වශයෙන් ද ප්‍රමාණවත් නොවේ. බුදුසමය තර්කය බැහැර කරන්නේ කරුණු ගෙන හැර දක්වමිනි. තර්කයෙහි විවිධ දුබලතාවයන් ඇති බව ඉන් බව පෙනී යයි. තර්කය ඇසුරුකොට ගෙන නිගමන සතරකට එලඹිය හැකිය. ඒ බව සන්ධක සූත්‍රයෙන් පැහැදිලි වේ.

1. හරියට තර්ක කොට, නිගමන වලට එළඹිය හැකි ය.
2. වැරදියට තර්කකොට, වැරැදි නිගමන වලට එළඹිය හැකි ය.
3. තර්ක කොට ලබාගත් ඥාණය, සත්‍යවන්නට පිළිවන
4. තර්කකොට ලබා ගත් ඤාණය අසත්‍ය වන්නාට පිළිවන

තර්කයෙන් අප ලබන දැනුම ඉහත දැක්වූ කරුණු සතරෙන් එකකට අයත් විය හැකි ය. නියම වශයෙන් කුමකට අයත්වේදැයි ස්ථිරව කිව නොහැකි ය. එම නිසා තර්කය ඤාණය ලබා ගැනීමට පිණිස සුදුසු නොවේ. ශ්‍රමණ බ්‍රාහ්මණයන් අතර කලහ විවාද ගැටුම් ඇතිවන්නේ කාමරාගයටත් වඩා දෘෂ්ටිරාගය නිසා ය. එසේ දෘෂ්ටි පිල් මත වාදවලට හිර වී සත්‍ය ඤාණය ලැබිය නොහැකි බවත්, අන්තගාමී මත වල එළඹ සිටීම සත්‍යය දැකීමට බාධාවක් බවත් බුදුන් වහන්සේ දේශනා කළහ. බුදුදහම වූ කලී දැඩි ලෙස ග්‍රහණය කිරීම පිණිස නොව, සසරින් එතෙර වීම පිණිස පමණකි. එබැවින් ධර්මය පහුරකට උපමා කෙරේ. තර්කය නිසා සිදු වන්නේ අන්තගාමීන් අතර ගැටුමක් පමණකි. එයින් සත්‍යය අවබෝධ කළ නොහැකි ය. තර්කයේ මාධ්‍යය භාෂාවයි. භාෂාව යනු සිතින් නිමවා ගත් ව්‍යවහාරික සම්මුතියකි. සංකේත (සංඥා) හෙවත් අකුරුද එම ව්‍යාජ සංකේත එක්කොට තැනූ පද වාක්‍යයද සහිත වූවකි. තර්ක කරන්නන් භාෂාව නමැති උපකරණය තර්ක කිරීමට යොදා ගනිති. එහෙත් සිතින් නිපදවා ගත් සම්මුතියක් වූ භාෂාවෙන් සත්‍යය ප්‍රකාශ නොවේ.

කුලලුපමං වො භික්ඛවේ
ධම්මං දෙසීස්සාමි
නිත්ථරණත්ථාය
නො ගහණත්ථාය
(අලගද්දූපම සූත්‍රය ම. නිකාය)

දේශය, කාලය හා ජාතිය අනුව භාෂාව වෙනස් වේ. විෂය ලෝකය පිළිබඳ අප උපදවන සංකල්පනා සංකේතානුසාරයෙන් පැවසීමට භාෂාව උපකාර වෙයි. එමගින් ප්‍රකාශ කළ හැකි වන්නේ සම්මුතියකි. රිය, සක, ගරාදි, බොස්ගෙඩිය ආදී අංගෝපාංග එක් වූ කළ රථය යන සම්මුතිය භාෂා ව්‍යවහාරය අනුව යොදා ගත් එය යථාර්ථය නොවේ. අවිද්‍යාව හෙවත් නොදැනීම නිසා උපන් ඉන්ද්‍රිය මගින් ලත් කල්පනාවෙන් නැගුණු විකෘති අරමුණු භාෂාවට නැගෙයි. වාග් ද්වාරයෙන් පිට වෙයි. ව්‍යවහාර පහසුව පිණිස තථාගතවරු භාෂාව භාවිතා කරති. එහෙත් එය දැඩි කොට, එහි අරුත් අල්ලා නොගනිති. දේශය, කාලය, ජාතිය අනුව වෙනස් වන, සිතින් තනාගත් සංකේත සමූහයක් වන භාෂාව තර්කයේ මාධ්‍යය නම් තර්කය සත්‍ය ඥාණ මාර්ගයක් ලෙස පිළිගත නො හැකි ය. තර්කය බෞද්ධ විචාර මගින් ප්‍රතික්ෂේප කොට ඇත.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: