Posted by: lrrp | July 28, 2009

පැවිදිකමේ මෙලොව ඵල

මල්පාන ශ්‍රී සුධර්මෝදය මහ පිරිවෙනේ ආචාර්ය, ශාස්ත්‍රවේදී, අධ්‍යාපන ඩිප්ලෝමා
ඒ.විමලසිරි හිමි

රටෙහි ප්‍රධාන පුරවැසියාගේ පටන් අන්ත දුගියා දක්වා සැමගේම ගරු බුහුමන් නිරන්තරයෙන් පැවිද්දාට ලැබෙයි. මේ ප්‍රවෘජ්‍යාවේ අප අද දකින එක් සන්දෘෂ්ටික ඵලයකි. පැවිද්දාට සිව්පසය ලැබීමට වෙහෙස විය යුතු නැත. ඉතා ඉහළ වූ සිව්පසය මේ ප්‍රවෘජ්‍යාව සමග ආයාසයකින් තොරව ලැබෙයි. එයත් පැවිදි බවේ සන්දෘෂ්ටික ඵලයකැයි දත යුතු ය.

ගිහි ගෙය හැරදා ප්‍රවෘජ්‍යාව පතන්නෝ, සියලු දුක් නසා නිවන් සුව ලබාගැනීම පිණිස පැවිදි බව ලබා දෙන්නැයි ආචාර්ය උපාධ්‍යායවරුන්ගෙන් ඉල්ලා සිටිති.

එය පැවිදි බව ලබා ගන්නා වූ බෞද්ධ සාම්ප්‍රදායික ක්‍රමයයි. බුද්ධ පරිනිර්වාණය සිදු වී අද වන විට සියවස් විසිපහකටත් වඩා ඉක්ම ගොස් ය. අනිත්‍යතාව සියලු සංස්කාර ධර්මයන්හි ස්වභාවයයි. ප්‍රවෘජ්‍යාවට ලෝක ධර්මයෙන් ගැලවී සිටීමට නොහැකි ය. ඒ නිසා එදා මෙදාතුර ප්‍රවෘජ්‍යාව හා එහි පරමාර්ථ අසාමාන්‍ය ලෙස වෙනස් වී ඇත. එනිසා අද වන විට අති බහුතරයක් වූ ගිහි පැවිද්දන් ප්‍රවෘජ්‍යාව සහ එහි පරමාර්ථය කුමක්දැයි හඳුනාගත නොහැකිව වල්මත් වූවන් සේ ක්‍රියාකරමින් මේ අති පවිත්‍ර වූ ප්‍රවෘජ්‍යාව විනාශ කරනු දැකීම දුබල නොවෙයි. ඒ නිසා බෞද්ධ යැයි කියා ගන්නා එවැන්නවුන් හට ප්‍රවෘජ්‍යාව සහ එහි පරමාර්ථ හඳුනාගැනීමට සාමඤ්ඤ ඵල සූත්‍රය මහත් වූ මාර්ගෝපදේශකයකු යැයි පෙන්වා දීම අතිශයෝක්තියක් නොවනු ඇත.

සාමඤ්ඤ ඵල සූත්‍රය දීඝනිකායේ ප්‍රථම භාගයට අයත් කොට පැරැණි භානකවරු සංග්‍රහ කොට තිබෙයි. පීතෘ ඝාතක අජාසත් රජු පසළොස්වක දිනයකදී දහම් සංවාදයක් සඳහා සුදුසු වූ ආගමික නායකයකු සොයයි. එවිට රාජකීය වෛද්‍ය ජීවකයාණන්ගේ මඟ පෙන්වීම මත රජු ජීවක අඹ වනයේ වැඩ වාසය කරන බුදුරදුන් බැහැ දැකීමට පිටව යයි. රජුන් එහිදී භික්‍ෂූන් එක්දහස් දෙසීයක් පමණ පිරිවරා සිටින බුදුරදුන් බැහැ දකියි. රජු, එළඹෙන විටම බුදුරදුන් කෙරෙහි අසීමිතව පැහැදීමට පත්වෙයි.

අනතුරුව රජු බුදුරදුන් හා පිළිසිඳර කතාවක යෙදෙයි. පසුව හේ තම සිතෙහි කලක් නොවිසදී පැවතුණ ප්‍රශ්නයක් බුදුරදුන්ගෙන් විමසයි. එනම්, ගිහි කාමයෝගී ජීවිතයක් ලබා සතුටු විය හැකි මිනිසුන් ඒ සියල්ල හැරදා ප්‍රවෘජ්‍යාවට පත්වීමෙන් ලැබෙන ඵලය කුමක් ද යන්නයි. එයට පිළිතුරක් වශයෙනුයි බුදුන් වහන්සේ මෙම ප්‍රවෘජ්‍යාව තුළින් ලැබිය හැකි ලෞකික ලෝකෝත්තර ඵල දක්වමින්, සාමඤ්ඤ ඵල සූත්‍රය දේශනා කොට තිබෙන්නේ.

ප්‍රවෘජ්‍යාව තුළින් ලෝකෝත්තර ඵල දැකීම වර්තමානය වන විට සුලබ නොවෙයි. එනිසා ප්‍රවෘජ්‍යාවෙන් ලෞකික වශයෙන් ලැබෙන ඵලවත් අද හැඳින ගැනීම ගිහි පැවිදි සැමට ප්‍රයෝජනවත් ය. එහෙත් සාමාඤ්ඤ ඵල සූත්‍රය කියවා එයින් මතුවන සමස්ත ලෞකික ඵලය විස්තර කිරීම මෙම ව්‍යායාමයේ පරමාර්ථය නොවේ. ප්‍රවෘජ්‍යාව යනු කුමක්ද? ඉන් වත්මනේ අත්දකින ඵලය කුමක්දැයි ගිහි පැවිද්දන්ට යථාර්ථවාදීව හඳුනා ගැනීමට අවශ්‍ය පසුබිම ඬර්ණය කිරීම, මෙම ව්‍යායාමයේ පරමාර්ථයයි. වත්මන් බහුතරයක් පැවිද්දන් මාර්ග ඵල නොලැබූ අයයි. එ නිසා සාමාන්‍ය ගිහියකුට සිතට හැඟෙන බොහෝ දේ ඔවුන්ගේ ද හැඟීම, සාමාන්‍ය ස්වභාවයයි.

එහෙත් පැවිදිකමත් ගිහි භාවයත් බෞද්ධ දර්ශනය තුළ දී සම තැන්හි තැබීම යෝග්‍ය නොවන බව ද දත යුතු ය. වරක් බුදුන් වහන්සේ ගිහියා මොනරකුට ද පැවිද්දා හංසයකුට ද උපමා කළහ. ඉහත උපමාවට අනුව දෙදෙනාම පක්‍ෂීන් ය. එහෙත් ඔවුන් අතර ඉතා විශාල වෙනස්කම් පවතී. එලෙසට ගිහියා සහ පැවිද්දා, පුහුදුන් පුද්ගලයන් වූව ද වෙනස්කම් බොහෝ ය. නමුත් දෙදෙනාට පොදු පරමාර්ථ තිබෙයි. මොනරා අලංකාර බවින් යුතු වනවා සේම හංසයා හා සැසඳීමේ දී බරින් වැඩි ය. එනිසා ඌට පියඹා යා හැකි වන්නේ හංසයාට වඩා අඩු වේගයකිනි. හංසයා පිවිතුරු ය. අලංකාර බවින් අඩු ය. බරින් ද අඩු ය. එනිසා ඌ මොනරාට වඩා වේගයෙන් පියඹා යයි. එලෙස පැවිද්දා හංසයකු මෙන් වේගයෙන් නිර්වාණයට යා යුතු ය. ගිහියා නිර්වාණයට පිය මනින්නේ, මොනරා මෙන් අඩු වේගයකිනි. ගිහි පැවිදි වෙනස මෙලෙසින් දැන හැඳින ගත යුතු ය.

සාමඤ්ඤ ඵල සූත්‍රය විමර්ශනය කිරීමේ දී පුහුදුන් වුවත් මෙම උසස් වූ ප්‍රවෘජ්‍යාවෙන් ලැබෙතැයි අපට හැඟෙන ඵල මෙලෙස ය.

ගරු බුහුමන් ලැබීමට පි‍්‍රය වීම, පුහුදුන් ස්වභාවය යි. මේ සඳහා බොහෝ දෙනා විවිධ වූ ක්‍රියාවන්හි නියුතු වනු දැකීම ද දුලබ දසුනක් නොවෙයි. විශාල ලෙස මුදල් වියදම් කරමින්, විශාල කැපකිරීම් කරමින් ඇතැම් විට මහා අපරාධ පවා කරමින් මේ ගරු බුහුමන් සොයති. එහෙත් පැවිද්දාට ගරු බුහුමන් ලැබීමට එලෙස කැප කිරීම් අවශ්‍ය නොවෙයි. රටෙහි ප්‍රධාන පුරවැසියාගේ පටන් අන්ත දුගියා දක්වා සැමගේම ගරු බුහුමන් නිරන්තරයෙන් පැවිද්දාට ලැබෙයි. මේ ප්‍රවෘජ්‍යාවේ අප අද දකින එක් සන්දෘෂ්ටික ඵලයකි.

මිනිසුන් සිව්පසය උපයා ගැනීමට අනන්ත දුක් විඳිති. එහෙත් බලාපොරොත්තු වන ඵල ඇතැම් විට ඔවුන්ට නොලැබී අතෘප්තිමත්ව දිවි ගෙවති. එහෙත් පැවිද්දාට සිව්පසය ලැබීමට වෙහෙස විය යුතු නැත. ඉතා ඉහළ වූ සිව්පසය මේ ප්‍රවෘජ්‍යාව සමග ආයාසයකින් තොරව ලැබෙයි. එයත් පැවිදි බවේ සන්දෘෂ්ටික ඵලයකැයි දත යුතු ය.

සියලු සතුන් සසරට බැද තබන මහා යදම තෘෂ්ණාවයි. එනිසා මමායනික මූලික තෘෂ්ණාවෙන් මිනිසුන් විවිධ වූ භෞතික වස්තූන් පුරවාගනිමින් ඒවා රකිමින් ඒවායින් පැමිණෙන අල්ප වූ සුඛ මහත් වූ දුක්ඛ අත්විදිමින් නොලැබෙන සුඛ සොයමින් අතෘප්තිමත් දිවි ගෙවමින් සිට මියැදෙති. එහෙත් සැබෑ ප්‍රවෘජ්‍යාව තුළ බහු භාණ්ඩිකත්වය සීමිත විය යුතු ය. අල්පේච්ඡතාව මූලික විය යුතු ය. එවිට ඔහුට රැකීමට යැයි කියා විශේෂ වූ දෙයක් නොමැත. එනිසා පැවිද්දාට බහුභාණ්ඩිකත්වය තුළින් වන කාය චිත්ත පීඩා වලින් තොරව සැහැල්ලු වූ මානසිකත්වයකින් කාලය ගෙවිය හැකි ය. එයත් පැවිදි බවින් ලැබෙන සන්දෘෂ්ටික ඵලයකැයි හැඳිනිය යුතු ය.

සැමගේ ජීවන පරමාර්ථය සතුටයි. සැමදෙනාම සැමදේම කරන්නේ සතුට සඳහා ය. එහෙත් අප පී‍්‍රතිය යැයි සිතන දෙයත් පී‍්‍රතිය සොයන ක්‍රමයත් සැබෑ පී‍්‍රතිය හෝ සැබෑ පී‍්‍රතිය සොයන ක්‍රමය හෝ නොවෙයි. ඒ සියල්ල පී‍්‍රතිය යැයි තම සිතින් නිර්මාණය කොට ගත් මායාකාරී සිතිවිලි පමණකි. එහෙත් ප්‍රවෘජ්‍යාව තුළින් සැබෑ වූ පී‍්‍රතියක් අත්විඳිය හැකි ය. පැවිදි දිවිය පරාර්ථය වෙනුවෙන් කැප කළ දෙයකි. එහිදී උස් පහත් භේදයකින් තොරව සැමට දුකේ දී හා සැපේ දී පිහිට විය හැකි ය. දුකින් මිදීමේ මඟ පෙන්වා දිය හැකි ය. එයින් ලැබිය හැකි පී‍්‍රතිය උසස් ය. එලෙස ලැබෙන සැබෑ වූ පී‍්‍රතිය ද පැවිදි බවින් ලැබිය හැකි සන්දෘෂ්ඨික ඵලයකැයි හැඳිනිය යුතු ය.

අන්‍යයන්ට ගැරහීම පහත් කිරීම නිවැරදි වූ ප්‍රවෘජ්‍යාව තුළ අන්තර්ගත නැත. අභිමුඛයේ හා අනභිමුඛයේ ද මිතුරකු වීමත් දොසක් දුටුවිට කාට වුවද කරුණාවෙන් පහදා දීමත්, නිවැරැදි ප්‍රවෘජ්‍යාවයි. එතුළින් ලැබෙන ඵල මෙම ප්‍රවෘජ්‍යාවෙන් අත් විඳිය හැකි ය. පක්‍ෂග්‍රාහී වීම, පිල් බෙදා ගැනීම ප්‍රවෘජ්‍යාවට නොව ගිහි බවට ද අන්තරායක ය.

ජයග්‍රහණයෙන් සතුරන් ද පරාජයෙන් චිත්ත පීඩාද ඇතිකර ගැනීමට මේවා හේතු විය හැකි ය. ප්‍රවෘජ්‍යාව කුමක්දැයි හඳුනා ගත් තැනැත්තේ පක්‍ෂග්‍රාහිත්වය දුරු කිරීමට උත්සාහ කරයි. සියලු සතුන් පිළිබඳ උපේක්‍ෂාවෙන් ක්‍රියා කරයි. එතුළින් ලබන සුවයද මේ ප්‍රවෘජ්‍යාවෙන් අත්විඳිය හැකි සන්දෘෂ්ටික ඵලයකි. වාචසික සංවර ය ද පැවිදි බවේ පැවිද්ද පදනමට අන්තර්ගත ය.පැවිද්දා නිරන්තරයෙන් වචනය භාවිතා කරන්නේ අර්ථවත් කාර්ය සඳහාම පමණකි. එනිසා ඔහුගේ එක් වචනයක් මිනිසුන්ගේ උභයාර්ථ සාධනයට හේතුවනු ඇත. එමඟින් ලැබෙන මානසික සුවය විඳිය හැකි වීම ද ශ්‍රමන බවේ සන්දෘෂ්ටික ඵලයද හඳුනා ගත යුතු ය.

පැවිදි තෙමේ කුහකයකු නොවිය යුතු ය. සියලු සත්වයින්ගේ ලෞකික ලෝකෝත්තර දියුණුව ඇති වනු දැක ඉවසන්නකු විය යුතු ය. මිනිසුන් බිඳවන්නකු නොවිය යුතු ය. එතුළින් ලැබෙන ඵල ද මේ ප්‍රවෘජ්‍යාව තුළින් ලැබිය හැකි ඵලයකැයි හැඳිනගත යුතු ය.

මෙලෙසින් අපට සාමඤ්ඤ ඵල සූත්‍රය විමර්ශනයේ දී සොයා ගත හැකි සන්දෘෂ්ඨික සාමාඤ්ඤ ඵල සුවිශාල ය. එහෙත් මෙම සන්දෘෂ්ඨික ඵල හැඳින ගැනීමට වුවත් ප්‍රවෘජ්‍යාව යනු කුමක්දැයි හැඳින ගැනීම අවශ්‍ය ය.

විවිධ වූ ලෞකික පරමාර්ථ වෙනුවෙන් පැවිදි වන්නෝ සේම විවිධ වූ ;ලෟකික දෘෂ්ඨින්ගෙන් මෙම ප්‍රවෘජ්‍යාව විග්‍රහ කරන ගිහි පැවිද්දෝ මේ පිවිතුරු වූ ප්‍රවෘජ්‍යාව තුළට රිංගා සැලකිය යුතු ප්‍රමාණයක් විනාශ කොට හමාර ය. එනිසා එවන් යුගයක නිවැරදි ප්‍රවෘජ්‍යාව යනු කුමක්ද එහි පරමාර්ථ කුමක්දැයි හඳුනා ගැනීම වැදගත් වනවා සේම මෙම ප්‍රවෘජ්‍යාවෙන් සංදෘෂ්ඨිකව අත් විඳිය හැකි ඵලයන් කුමක්දැයි හැඳින ගැනීමද ඉතා ප්‍රයෝජනවත් ය. එවැනි අති උතුම් ප්‍රවේශයකට මේ ව්‍යායාමය මූලික පියවරක් බවද හැඳින ගත යුතු මනා ය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: