Posted by: lrrp | July 28, 2009

සුව වඩන සිවු දහම

බළන්ගොඩ නළුවෙල  ශ්‍රී පි‍්‍රයදර්ශන මහා විහාරාධිපති
බළන්ගොඩ ජිනරතන නා හිමි

ස්කන්ධ පඤ්චකය ම අවබෝධ කර ගැනීමෙන් මුළු මහත් ලෝකයේත්, ඊට අන්තර්ගත සත්වයන්ගේත් යථාර්ථය තේරුම් ගත හැකි ය. මේ ක්‍රමය නාම – රූප භාවනාව, පඤ්ඤා භාවනාව යන්නෙන් බුදු දහමෙහි දැක්වෙයි. මේ වෙනුවෙන් ඇති හොඳම ප්‍රායෝගික මඟ සති පටිඨාන සූත්‍ර ධර්මය යි.

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

සීලං සමාධි පඤ්ඤා ච
විමුත්තිං ච අනුත්තරා
අනුබුද්ධා ඉමේ ධම්මා
ගෝතමේන යසස්සිනා

අංගුත්තර නිකාය චතුක්ක නිපාතය අනු බුද්ධ සූත්‍රය

සසම්බුදු දහම ලොවට පහළ වූයේ දෙවියන් සහිත සියලු සත්ත්වයන් සසර දුකින් මුදවා ගැනීමේ පරමාර්ථයෙනි. එම කාර්ය අපේ බුදුරජාණන් වහන්සේ විසින් කරනු ලබන්නේ, ඊට අවශ්‍ය වූ පිළිවෙත් මඟ අවබෝධ කරදීමෙනි.

එය යථාර්ථයෙන්ම අවබෝධ කරන්නන් විසින් ඒ පිළිවෙත් දහම් මගෙහි නිරත වීමෙන් සසර විමුක්තිය වූ නිවනට පත්විය හැකිය. මෙයින් පැවසෙන්නේ කිමෙක්ද? විමුක්ති ප්‍රතිලාභය පුද්ගලයා ගේ උත්සාහය, වීර්යය ඕනෑකම මත උදාකර ගැනීමක් මිස එසේ නොමැතිව බුදුරජාණන් වහන්සේටවත් පුද්ගලයා ඒ විමුක්ති ප්‍රතිලාභයට පත් කළ නොහැකි බවය.

අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ එන අනුබුද්ධ සූත්‍රයේ නිර්වාණාවබෝධය සඳහා අවබෝධ කටයුතු කරුණු සතරක් ගැන මෙසේ දැක්වේ.

එම සතර අවබෝධ නොකිරීමෙන් ප්‍රත්‍යක්ෂ නොකිරීමෙන් ද මා විසින්ද තොප විසින් ද දීර්ඝ කාලයක් භවයෙන් භවයට හැසිරෙන ලදී. ඒ සතර කවරේද? ශ්‍රී මුඛ පාඨයට අනුව අවබෝධ කළයුතු කරුණු සතර මෙසේ දැක්වෙයි.

1. සීලය
2. සමාධිය
3. ප්‍රඥාව
4. විමුක්තිය

යන්නෙනි. මෙම කරුණු සතරම බුදු, පසේබුදු, මහරහත් යන උතුමන් අවබෝධ කරගත් බැවින් ආර්ය නාමයෙන් හැඳින්වේ. අනෙක් සමයාන්තර වලින් බොදුනු පිළිවෙත විශේෂ කොට දැක්විය යුතු හෙයින් මෙම නාමය විශේෂ කොට ඇත. මෙහි සඳහන් වන්නේ, ආර්ය අෂ්ටාංගික මාර්ගයත් ඊට අනුගතව ක්‍රියා කිරීමෙන් උදාවන ෂමුක්තිය හෙවත් නිර්වාණයයි.

තවත් අයුරකින් පවසතොත් ත්‍රිශික්ෂාව හා එයින් උදාවෙන නිවන යි. සීලය නම් පුද්ගලයන් ගේ කය, වචන දෙකෙහි සංවරයයි. එයින් අදහස් කරන්නේ, ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමමිථ්‍යාචාරය යන අකුසල කර්ම වලින් වැළකීමත් බොරුකීම, කේලාම්කීම, පරුෂවචන හා හිස් වදන් කීම යන වාග් දුසිරිත්වලින් වැළකීමත්ය. මෙම දුසිරිත් වලින් වෙන්ව නිදොස් දිවියක් ගෙවීම සීලය නම් වෙයි.

මේ දෙපිළිවෙත මෙලොව යහජීවිතයේ ද නිර්වාණබෝධයේ ද අත්තිවාරම හෙවත් පදනම වේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කයින්ද වචනයෙන් ද පව්කම් නොකොට සංවර වීම මැනැවැයි දේශනා කළහ.

සම්මා සමාධිය නම් අරිඅටඟි මඟෙහි දැක්වෙන සම්මා වායාම, සම්මා සති සම්මා සමාධි යන අංග තුනයි. එය සිතෙහි අදිටන මත වැඩෙන දහම් පිළිවෙතකි. නැතහොත් ජීවිත අභ්‍යන්තරයෙහි ඇති පිරිසුදුකමයි.

එම පිරිසුදුකම බෞද්ධ දර්ශනයෙහි තදඞග, විෂ්කම්භන, සමුච්ඡේද යන ත්‍රිවිධාකාරයකට දැක්වෙයි. සීල, සමාධි, ප්‍රඥා යන මූලික පිළිවෙතකින් කෙළෙසුන් මතුවීමට ඉඩ නොදී තාවකාලිකව යටපත්කර ගෙන සිටීම තදඞග ප්‍රහාණයයි. විෂ්කම්භන ප්‍රහාණය නම්, රූපාවචර, අරූපාවචර ධ්‍යානලාභීව, ඒ ධ්‍යාන බලයෙන් ක්ලේශයන් මතුවීමට ඉඩ නොදීමය.

බෞද්ධ පොත පතෙහි සම සතළිස් කර්මස්ථාන නමින් දැක්වෙන්නේ ද චරිතානුකූලව භාවනාවට ඇති අරමුණුය. මෙසේ සිත එකඟ කිරීම සමථ භාවනාව නම් වෙයි. මෙයින් ලැබිය හැකි අග්‍රඵලය පඤ්චාහිඥා සහ අෂ්ට සමාපත්ති ප්‍රතිලාභයට පැමිණීමය. මෙය බෞද්ධ දර්ශනය ‘දිට්ඨධම්ම සුඛ විහරණය’ නමින් හඳුන්වා දෙයි.

සමුච්ඡේද ප්‍රහාණය නම් සෝවාන් ආදී මඟඵල සිත්වලට පැමිණ සකල ක්ලේශයන් දුරු කර පාරිශුද්ධත්වයට පත්වීමයි.

බුදු දහමට අනුව ‘ප්‍රඥාව‘ පෙරටුව ත්‍රි ලක්ෂණය තේරුම් ගත යුත්තේ ස්ව සන්තානයම තේරුම් ගැනීමෙනි.

ප්‍රධාන කොටම ස්කන්ධ පඤ්චකය ම අවබෝධ කර ගැනීමෙන් මුළු මහත් ලෝකයේත් ඊට අන්තර්ගත සත්වයන්ගේත් යථාර්තය තේරුම් ගත හැකිය.

මේ ක්‍රමය නාම – රූප භාවනාව, පඤ්ඤා භාවනාව යන්නෙන් බුදු දහමෙහි දැක්වෙයි. මේ වෙනුවෙන් ඇති හොඳම ප්‍රායෝගික මඟ සති පටිඨාන සූත්‍ර ධර්මය යි.

බුදුරජාණන් වහන්සේ සකල ක්ලේශයන් ප්‍රහීණ කොට බුද්ධත්වයට පත්වූයේ මේ ආර්ය කරුණු සතර අවබෝධ කර ගැනීමෙනි. බෞද්ධ වූ අප ද මේ පිළිවෙත ජීවිතයේ මොහොතක් පාසාම පිළිපැදිය යුතුය.

බොදුනු පිළිවෙත නම් අවබෝධයෙන් යුතුව සීල, සමාධි, ප්‍රඥා ලෞකික ලෝකෝත්තර සුව සඳහා වැඩීමය. එය බුදුදහමේ පාරමිතා සම්පූර්ණ කිරීම බව තේරුම් ගත යුතුය.

සියලු සත්වයෝ නිවන් අවබෝධ කරත්වා !


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: