Posted by: lrrp | August 3, 2009

බලාපන් දුවේ උඹලා ජීවත් වෙන්නේ මං හින්දායි

අතීත සංසාරික කර්ම විපාකයනට අනුව අපේ වර්තමානය සකස් වෙයි. “සියල්ල අනිත්‍යය, සියල්ල වෙනස් වන සුළුය.’ යන යථාර්ථය වටහා ගත් තැනැත්තා ඊට මුහුණ දීමට සුදුසු පරිදි සකස් වෙයි. පෙර පින් පළ දෙන්නා වූ කාලයට “මට හැමදාමත් නත්තල්” යැයි සිතා ගෙන “මට වඩා කෙරුමෙක්, බල පුළුවන් කාරයෙක් නැතැ”යි සිතා මානයෙන් පිම්බී කටයුතු කරයි. එහෙත් හෙට එළිවෙන හිරු නැඟෙන විට බරපතළ රෝගයකට ගොදුරු වෙතැයි නොසිතමි.

හෙට දියවැඩියාව, ආතෙරෙටීස්, අංශබාධ, හෘදයාබාධ, අධික රුධිර පීඩනය වැළදෙතැයි කිසිවෙක් නොසිතති. තම ශරීරය තුළ පිළිකා සෛල වර්ධනය වෙමින් පවතින බව නොසිතති. බරපතළ අසනීපයකට හෝ අනතුරකට පත් වූ විට “අනේ දෙයියනේ” යැයි ඉබේ ම දෙවියන් සිහි කරති. දෙවියෝ කොමඩු පලතුරුවලට නොරැවටෙති. පුද්ගලයා තුළ පවතින අතීත වාසනා ගුණ හෝ වර්තමාන දාන ශීල භාවනාදි ප‍්‍රතිපත්ති ගුණ ඇත්නම් පමණක් පිහිට වෙති. ආශීර්වාද කරති. අමනුෂ්‍ය දෝෂ වැනි පීඩාවන් වෙතොත් ඉවත් කරති.

මේ ලෝකයේ ජීවත්ව මරණයට පත්වන බොහෝ දෙනකුට, සියයට අනුනමයකටත් වඩා යන්නේ සතර අපායට ම ය. මේ ලෝකයේ ජීවත් වූ කාලය තුළ ඉඩමට කඩමට, ගහ කොළට, දේපොළට, පුද්ගලයනට ආශාවෙන් සිටියෝ එසේ දැඩි සේ අල්ලා ගත් උපාදාන සිතින් ඒ වස්තු දේපොළට ආශාවෙන්, ඊට ම සමීපව අමනුෂ්‍ය භාව ලබා උපදිති. තමන්ට අයිති කැර ගත නොහැකි වූ අනුන් ගේ වස්තු දේපොළ පිළිබඳ ඊර්ෂ්‍යාවෙන්, වෛරයෙන් මිය ගියෝ ද එසේ ම පළි ගැනීමේ චේතනාවෙන් අමනුෂ්‍ය භාව ලබා ඉපිද තමන් ද දුක් විඳිමින් අනුන් ද දුකට පත් කිරීමට කල් යල් බලමින් සිටිති.
කෙනෙකුගේ පූර්ව පාප කර්ම විපාක දෙන කාලය එළැඹුණු විට, (අපල කාලය) කර්මානුරූපව විවිධාකාර ලෙඩ දුක් අනතුරු උපද්‍රව කි‍්‍රයාත්මක වන විට ඉහත කී අමනුෂ්‍යයෝ ද ඒ පුද්ගලයා වට කැර ගනිති. උදාහරණයක් වශයෙන් කෙනෙකුට තුවාලයක් සිදු වූ විට මැස්සන්ට ආරාධනා පත‍්‍ර යැවිය යුතු නොවේ.

අහළ පහළක මැස්සකු නැති තරමට සනීපාරක්ෂක ප‍්‍රදේශයක් ලෙස පැවතුණ ද මැස්සෝ පැමිණෙති. අමනුෂ්‍යයෝ ද එසේ ම ය.
මේ “පියවි ඇසින් ඔබ්බට” ලිපි පෙළ කියවන පාඨකයෝ බොහෝ දෙනා තමන්ටත්, තම පවුල්වල අයටත් එළඹ ඇති රෝග පීඩා දුක් කරදර පිළිබඳ දුරකතනයෙන් විමසා විසඳුම් සොයති. සමහර වෛද්‍ය වරු පවා සමහර රෝගීන්ට ප‍්‍රතිකාර කොට සුව නොවන විට ආධ්‍යාත්මීය අංශයේ පිළිවෙත් කැර බලන්නැයි උපදෙස් දී එවති. මෙසේ විමසන අයට දිය හැකි පළමුවැනි උපදෙස නම් මිනිසුන් ගෙන් හෝ වේවා අමනුෂ්‍යයන් ගෙන් හෝ වේවා ඔබට එළඹෙන පීඩා වළක්වා ගැනීම සඳහා පළමුවම කළ යුත්තේ තමන් ශක්තිමත් වීම ය.

එය කෙසේවත් ධන බලයෙන් පමණක් කළ හැක්කක් නොවේ. ඒ සඳහා ක‍්‍රමානුකූල ධර්ම මාර්ගයක් පිළිබඳ ති‍්‍රපිටකයේ සඳහන් වේ. “දාන – ශීල – භාවනා සහ දානං ශීලං ච නෙක්ඛම්මං” ආදී වශයෙන් එය විස්තර කැරේ. ඒ නිසා තමන්ගේ ආධ්‍යාත්මය සංවර්ධනය කැර ගත යුතුය.

එසේ නැතහොත් යන්ත‍්‍ර මන්ත‍්‍ර තොවිල් පවිල් ආදියෙන් කළ හැක්කේ එක්තරා තාවකාලික සුවයක් ලබා ගැනීම පමණකි. දාන – ශීල – ප‍්‍රතිපත්ති පදනම් කොට ගෙන භාවනාවක යෙදීමෙන් තමන් ගේ සිත ශක්තිමත් කැර ගත යුතුය. එය දෙලොවට ම සුබ දායක ය.

මිනිසුන් අතර වාගේ ම භූත ලෝකයේ ද දුක් පීඩා වේදනා මෙන් ම ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර තදින් පවතී. එසේ ම මිනිසුන් අතර මෙන් නොව භූතයින්ට කරුණු වටහා දී ඉක්මනින් සමගි සමාදාන කළ හැකි සත්ත්ව කොට්ඨාශයක් බව ගස්නාවේ ඤාණානන්ද හිමියෝ පවසති. මේ එවැනි අත්දැකීමක් පිළිබඳ කතාවකි.

මාලී සාමාන්‍ය පවුලක විසි අට හැවිරිදි අවිවාහක තරුණියකි. ඇය නිතර රෝගාතුර වූවාය. වරෙක ඇගේ හිසේ කරකැවිල්ල පීඩාව ගෙන දුන්නා ය. තවත් වරෙක තද නිදිමත ගතිය හැදී නින්දට ම කාලය ගෙව්වා ය. නැවත වරෙක බඩේ උග‍්‍ර වේදනාවකින් පෙළුණා ය.
තවත් වරෙක පපුවේ මහන්සි ගතියකින් දුක් වින්දා ය. ඒ සෙම උග‍්‍ර වීමෙනි.

ඇයට පළමුව ම වැළඳුණේ හිසේ කරකැවිල්ල හා නිදිමත ගතියයි. එයින් වසර ගණනාවක් දුක් විඳි අතර සමහර දිනවල ගෙදර තිබුණු වටිනා බඩු මුට්ටු පොළවේ ගසා කඩා බිඳ දැම්මා ය.
ඉංගී‍්‍රසි සිංහල වෛද්‍ය ප‍්‍රතිකාර කොතෙක් කළත් කිසිදු සුවයක් ලැබුණේ ද නැත.

දියණියගේ නිසි වයස් ගත වෙද්දී ඇයට පෙළ වහක් කර දෙන්නට නොහැකිවීමත්, මේ අසනීප තත්ත්වය නිසා එය තවත් නුසුදුසු කමක් වීමත් නිසා හිත නරක් වූ මාලි ගේ මව ද නිතර දුකින් පසු වූවාය. මාලිගේ සහෝදරයන් දෙදෙනා ළාබාල වයසින් ම වාගේ විවාහ වීමත්, සහෝදරියගේ අනාගතය පිළිබඳ සැලකිල්ලක් නොදැක්වීමත් නිසා වේදනාවට පත් මාලිගේ මව රෝගාතුරව මිය ගියා ය.
පිටරට රැකියාවක යෙදී සිටි මාලිගේ පියා බිරියගේ මරණයෙන් පසු රැකියාවෙන් ඉවත්ව ආපසු පැමිණියේය. ඔහු උපයා සපයා එවූ දේ බොහොමයක් මවට බලපෑම් කොට පුතුන් දෙදෙනා ග‍්‍රහණයට ගෙන තිබිණි.

මව ගේ මරණයෙන් පසු අසරණ වූ මාලි සිය සහෝදරයින් දෙදෙනාගේ බිරින්දෑවරුන් ගේ ඇනුම් බැනුම් වලින් ද දුක් වින්දා ය. හිසේ අමාරුවට අමතරව බඩේ වේදනා විඳීමට ද ඇයට සිදු වූයේ මේ අතර ය. අසනීපවලින් විඳින පීඩා මදිවාට නෑනලා ගේ රැවුම් ගෙරැවුම් බලන්නට බැරි තැන නිවසේ තිබු බඩුමුට්ටු පොළොවේ ගසා කඩා බිඳ විනාශ කළා ය.

දියණිය හැම අතින් ම පීඩාවට පත්ව මෙසේ කේන්තිය පිට කැර ගැනීම සඳහා නිවසේ වටිනා බඩු මුට්ටු විනාශ කරද්දී ඇගේ පියා ඉතා ම උපේක්ෂාවෙන් බලා සිටියේ කරකියා ගත නොහැකි කිසිවක් නැතිව ය. කොයි තරම් ඇනුම් බැණුම් ගෙරවිලි පෑවත් මාලි වියරු වූ විට නෑණලා දෙන්නා බියපත් වී කාමරවල මුළුගැන්නුනහ. සහෝදරයින් දෙදෙනා ද බියපත් වූහ. “මම මේවා ඔක්කෝම විනාශ කරනවා. මේවා මගේ තොපි පලයව් යන්නැ” යි මාලි තර්ජනය කරන්නට ද වූවාය. මේ අතර ඇගේ පියා ද හදිසි හෘදයාබාධයකින් මරණයට පත් වූයේ ය.

හිසේ අමාරුවට අමතරව බඩේ අමාරුවකින් දුක් විඳි මාලිට පපුවේ අමාරු වැළඳුණේ ද මේ අතර ය. පියාගේ බැංකු ගිණුම්, මාලී නමට හරවා තිබුණු බැවින් සහෝදරයින්ට ඇගේ සහයෝගය ද නැතිව බැරි විය. ඒ ශක්තිය නිසා නෑණලා දෙන්නා කුස්සීයට දමා කුස්සියේ වැඩ ටික, ඉවුම් පිහුම් කරවා ගන්නට මාලිට පුළුවන් වීය.

“තොපිට මෙතන ඉන්න ඕනැ නම් ගෙදර වැඩ පල කරපියව්” යනුවෙන් වියරුවෙන් තර්ජනය කළාය.
වෛද්‍ය ප‍්‍රතිකාරවලින් ප‍්‍රතිඵලයක් නැති තැන ඇගේ සහෝදරයෝ ඥාතීන් ගේ ද සහාය ඇතිව වත්පිළිවෙත් අංශයෙන් පිහිටක් පැතූහ. එසේ වත්පිළිවෙත් කරන දේවාලයක් කරා මාලී කැඳවා ගෙන ගියහ. එහි දී කපුවා ප‍්‍රලය වූයේ ය. “දුවේ! මම උඹේ සීයා. හෙන්දිරික්. බලාපං දුවේ උඹලා තවමත් කන්නේ මගේ දේපොළ. මගේ ගෑනි – උඹේ ආච්චි මං මළාට පස්සෙ උඹේ තාත්තත් එක්ක එකතු වෙලා මගේ දේපොළ බුක්ති වින්දා. ඒ මිසක් පිනක් දහමක් කළේ නෑ. මහ ගෑනි මං ජීවත්ව ඉන්දැද්දිත් මට සැලකුවේ නෑ. එහෙව් අය මගේ දේපොළ කනකොට මට කේන්තියි.

උඹේ ආච්චි නම් තණ්හාවෙන් මැරිලා වැසිකිළි වළේ දුක් විඳිනවා. උන්දැට නම් එහෙම ලේසියෙන් එතැනින් නිදහස් වෙන්න බෑ.
අපි වුණත් සැප විඳිනවා නෙවෙයි දුවේ. ඒත් අපට අපේ ගෙවල් දොරවල්වලට එන්න පුළුවන්. උඹේ තාත්තා රට ඉඳලා ආවා ම අම්ම ලවා රණ්ඩු කෙරෙව්වේ මම. දානයක් දී මට පින් දුන්නේ නෑ. මම ජීවත්ව ඉන්දැද්දිත් ලොකු පුතයි අම්මයි දෙන්නා මා එක්ක තරහයි. දැනුත් එහෙමයි.
උඹේ අම්මා ලවා ගෙදර බඩු මුට්ටු පොඩි කෙරෙව්වෙත් මම. අම්මයි තාත්තයි මරා ගන්න හැදුවෙත් මගේ බලපෑම් හින්දයි. දුවේ! මම ඉන්නේ උඹේ ඔලුවේ. තාත්තා උඹේ පපුවේ. අම්මා බඩේ. ඒ දෙන්නා ඉන්නේ උඹට ආදරෙන්. උඹ ගෙදරට වෙලා දුක් විඳින නිසා උඹව අරන් යන්නයි ඒ දෙන්නා උත්සාහ කරන්නේ” යි කීවේය.

මේ කීමට අනුව මාලිගේ මළ ගිය සීයාට සහ මව්පියන්ට පින් අනුමෝදන් කිරීම සඳහා සාංඝික දානයක් සූදානම් කැරිණි. අසල්වාසී ඥාතීහු ද පැමිණ සහභාගි වූහ.
මෙම දානයට ආරාධනා කැර තිබුණේ ගස්නාවේ ඤාණානන්ද නාහිමියන් ප‍්‍රධාන සංඝයා වහන්සේ දස නමකට ය.
දන් වැළඳීමෙන් පසු මළගිය ඥාතීන්ට ද පිං අනුමෝදන් කිරීම සඳහා පැන් වැඩීමට සූදානම් වෙන්නැයි නාහිමියෝ පවුලේ අයට දැනුම් දුන්හ. මාලිගේ සහෝදරයින් දෙදෙනා සහ නෑණාවරු දෙදෙනා ඊට සූදානම් වූ අතර මාලි අතුරුදන්ව සිටියාය.

“කෝ මාලී! මාලී! අක්කේ! අක්කේ!” කවුරුත් ඇය සෙවූහ. ඇය නැත. කෙතෙක් ඇය සෙවීමට ගෙයින් පිටත ද සෝදිසි කර බලන විට මාලී වැසිකිළිය ළඟ හිස අත් බැඳ ගෙන හඬමින් සිටියාය. කාන්තාවන් දෙදෙනෙකු විසින් ඇය දන් පිල තිබූ තැනට කැඳවා ගෙන එනු ලැබිණි.
වහාම සහෝදරයන් දෙදෙනා සිටි තැනට ගිය මාලී පැන් පෝච්චිය ගෙන ඉහළට ඔසවා පොළොවේ ගැසුවාය.
“හීº හිº හී… උඹලා මං නැතුව ඕකට පින් දෙන්න ද හදන්නේ” යි වියරුවෙන් කෑ ගැසුවා ය.

අමනුස්සයින් අතරත් ඊර්ෂ්‍යාව, මාලිගේ සීයාට පින් දෙනවාට විරුද්ධව ආච්චි මාලිට ආවේශ වී සිටින බව වටහා ගත් ඤාණානන්ද නාහිමියෝ නැවත කරුණු පැහැදිලි කළහ. ස්වාමියාට පින් අනුමෝදන් කොට ඉන් අනතුරුව තමුන්ට ද පින් අනුමෝදන් කරන බව පවසා, වෙනත් පෝච්චියක් ගෙන්වා පැන් වඩා පින් අනුමෝදන් කළහ.

තණ්හාව, ඊර්ෂ්‍යාව, වෛරය හා මෝඩකම නිසා මෙසේ දුක් විඳින බවත්, දැන්වත් ඒ බව වටහා ගෙන දුකින් මිදීමට උත්සාහ කරන ලෙසත්, අවවාද කොට මාලිගේ මිය ගිය ආච්චි සීයා දෙන්නාටත් අම්මා තාත්තා දෙන්නාටත් පින්කම් සිදු කරන පරිසරයක සුවදායකත්වය වටහා දී අනුරාධපුර ජයසිරි මහ බෝ සමිඳුන් වෙත යැවූහ.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: