Posted by: lrrp | August 7, 2009

මියගිය හමුදා මේජර් වරයා කොලොන්නේ උපදී

සිතේ පැවැත්ම පිළිබඳ විශ්ලේෂණය කරන කල්හි ක්ෂණයක් පාසා සිදුවන වෙනස්වීම් උප්පාද – ඨිති – භංග යනුවෙන් ඉපැදීම, පැවැත්ම හා නැතිවීම යැයි අවස්ථා තුනක් ලෙස අභිධර්මයෙහි විස්තර කැරේ. එහෙත් මරණය පිළිබඳ විස්තර කරන කල්හි චුතියත් සමඟ ම ප්‍රතිසන්ධිය සිදුවේ යැයි ධර්මයෙහි සඳහන් වේ. කෙනෙකු මරණයට පත් වනවාත් සමඟ ම ඊළඟ ප්‍රතිසන්ධිය සිදුවන බව බොහෝ ථේරවාදී උගතුන්ගේ මතයයි. අභයගිරික මතයට අනුව සමහර කෙනෙකුගේ චුතියත් ප්‍රතිසන්ධියත් අතර අන්තරාභව අවස්ථාවක් ඇතැයි කියැවේ.

මේ අන්තරාභව මතය බොහෝ දෙනෙකු ගේ සංවාදයට ලක් වූ දෙයකි. එසේ හදිසියේ මිය යන බොහෝ දෙනෙකු ගේ ගුප්තාත්ම ගවේෂණය කරන විට ඒ හැම කෙනෙකුගේ ම මරණය සිදු වී යම් කිසි කාලයකට පසු ඊළඟ උපත සිදු වී ඇත. මේ මරණයත් ඊළඟ උපතත් අතර කාලය අන්තරාභව කාලය සේ සැලකේ. ක්ෂණයක් පාසා වෙනස් වෙමින් යන නාම රූප දෙකේ, ගලාගෙන යන ස්වභාවය අනුව මේ අනන්‍යතාවය ද වෙනස් වෙමින් යන අතුරු භවයක් හෙවත් අන්තරා භවයක් ලෙස පිළිගැනීමට පුළුවන.

එහෙත් මේ අන්තරාභවිකයා ඕලාරික ශරීරයෙන් බැහැරව සියුම් ශරීරයක සිට කතා කරන බව ගවේෂණවලින් හෙළිවේ. ඔහු පෙර භවය සමඟ පැවැති තණ්හාවේ උපාදනයත් සහිතව “මගේ ගේ”, “මගේ ඇඳුම්” “මම” ආදී වශයෙන් අදහස් දක්වන්නේ මරණයට පත්වීමට පෙර සිටි පුද්ගලයා වශයෙන් ම ය. මේවා ගවේෂණයට ලක්විය යුතු දේවල්ය. “මම මගේ ශරීරයෙන් ඉවත් වී අහසේ පාවෙමින් සිටින්නෙමි”යි කියන විට අපේ උදවිය ඒ ගැන තර්ක කරනවා මිස, තමන්ගේ මතය ම තහවුරු කරන්නට දඟලනවා මිස, සාධාරණ ගවේෂණයක් කරන්නේ නැත.

වච්ඡගොත්ත නම් බ්‍රාහ්මණයෙකු බුදුරජාණන් වහන්සේ ඉදිරියට ගොස් “භවත් ගෞතමයන් වහන්සේ මීට කුමක් උපාදාන කොට දක්වන සේක් දැ?”යි ඇසීය.

වච්ඡය! යම් කලෙක මේ කයත් අත්හරීද? සත්ත්වයා වෙත ශරීරයකටත් නොගියේ වෙයි ද, මම ඔහු තණ්හා උපාදානය ඇත්තෙකු කොට කියමි. වච්ඡය! තණ්හාවෙන් යුක්ත වූවහුට ඒ අවස්ථාවෙහි උපාදානය වෙයි” යනුවෙන් තථාගතයන් වහන්සේ පිළිතුරු දුන් සේක. ඔහුගේ ප්‍රශ්නයට එසේ පිළිතුරු දුන් තථාගතයන් වහන්සේ “සත්ත්වයා මේ කය අත්හැර වෙනත් කයකට නොගිය අවස්ථාවක් තිබිය නොහැකියැ”යි කිසිවිටක දේශනා කළේ නැත. (සංයුක්ත නිකායේ සලායතනය වර්ගයේ අඛනකත සංයුක්තකයේ වච්ඡගොත්ත සූත්‍රය)

පියවි ඇසින් ඔබ්බට විනිවිද බලන්නට උත්සාහ කරන අපේ පාඨකයනට මේ ලිපියෙන් ඉදිරිපත් කරන්නේ එවැනි කතාවකි. මෙය හමුදා කතාවකි. රුහුණේ සිද්ධියකි.

හමුදා රෝහලේ දී තරුණ සුරූපී වෛද්‍යවරියකගේ දෙනෙතක් හා තරුණ හමුදා මේජර් වරයකුගේ දෙනෙතක් එකට ගැටිණි. මෙය අහඹු සිදුවීමක් වුවද දෛවෝපගතව එය නතර වූයේ විවාහයෙනි. රාජ්‍ය මට්ටමේ වැදගත් රැකියාවල නියුතුව යහපත් ආර්ථික තත්ත්වයක සිටි වෛද්‍යවරියගේ මව්පියෝ ද මේ විවාහයට එතරම් කැමැත්තක් නොදැක්වුව ද, උගත් තරුණ දරුවන්ගේ තීන්දු තීරණවලට ඉඩ දිය යුතු නිසාත් තමන්ගේ අනාගතය සැලසුම් කැර ගැනීමේ පෞද්ගලික අයිතියට බාධා නොකළ යුතු නිසාත් ඔවුන්ගේ විවාහයට ආශිර්වාද කළහ.

මේ මව්පියෝ ඊට ආශිර්වාද කිරීමට තවත් ප්‍රබල හේතුවක් තිබිණි. එනම් 2004 නත්තල් දා රාත්‍රි මුළු ලෝකයට ම අනිත්‍යය පසක් කරමින් සතර මහා භූ®තයින්ගේ කම්පනයක ප්‍රතිඵලයක් ලෙස පැන නැඟුණ මහා විනාශයක් වූ සුනාමියට මුහුණ දී ජීවිතය පමණක් බේරාගෙන ගේ දොර බඩු මුට්ටු සියල්ල නැති භංගස්ථාන වී ගිය හැටි මෙනෙහි කිරීම නිසාය.

විවාහයෙන් පසු මේ තරුණ යුවළ ඉතා ම ප්‍රීතිදායක ජීවිතයක් ගත කළත් මේජර්වරයා උතුරේ සටන් බිමේ යුදවැදී සිටි නිසා පවුල් දෙක තුනේම අය සිටියේ නිතර ම චකිතයෙනි. ගැබ්බර බිරිය ගේ දහසක් සිහින මාලිගා සිතුම් පැතුම් ක්ෂණයකින් සුන්නද්ධූලි බවට පත් කරමින් යුද බිමෙන් අවාසනාවේ පණිවුඩය පැමිණියේය. එය මොහොතකින් පැමිණ ආපසු ගිය සුනාමියක් නොවීය. ජීවිතය පුරා දුක් දෙන වියෝවක් කරමින් මේජර්වරයා තම ජීවිතයෙන් හා බිරිය ඇතුළු නෑදෑ හිතවතුන්ගෙන් පමණක් නොව හෙට අනිද්දා මුහුණ බලන්නට පුල පුලා සිටි සිඟිත්තාගෙන් ද සමුගත්තේය.

යුද හමුදා ගෞරව ආචාර මධ්‍යයේ මේජර්වරයාගේ අවසන් කටයුතු සිදු කැරිණි. තරුණ ස්වාමිපුරුෂයකුගේ ජීවිතයට තරුණ බිරියකගෙන් බොහෝ යුතුකම් සිදුවිය යුතුය. එහෙත් මේ තරුණ බිරියට දෛවය විසින් ඊට අවශ්‍ය ඉඩකඩ පහසුකම් ලබා දුන්නේ නැත. ඒ සියල්ල සිහිපත් වන විට හදවතින් පැනනඟින “අනේ… හ්” යන සිතුවිල්ල ලෝකයම දවා අළු කරන සුසුමින් පිටවී ගියේ ය. බුදු දහමට අනුව මියගිය කෙනෙකු වෙනුවෙන් සිදුවිය යුතු යුතුකම් සියල්ල මැනැවින් ඉටු කිරීමට දෙපාර්ශවයේ ම වැඩිහිටියෝ කටයුතු කළහ.

”එයා දැන් කොහේද ඇත්තේ? එයා මාව බලන්න එනවා ඇතිද? එහෙම එන්න පුළුවන්ද? ඔව් ඔව් එයා ඇවිත් මාව බලනවා ඇති. මට ළඟදී ම එයා වගේ ම එයාගේ මුහුණුවර තියෙන පුංචි පුතෙක් ලැබෙයි. මගේ පුතා.. නෑ නෑ අපි දෙන්නාගෙ ම පුතා… යැයි මුමුණමින් ඇගේ අත ඉබේ ම උදරය පිරිමදී.

”අනේ! රත්තරන් ඔයාට මාවයි පුතාවයි පේනවා ඇති’ ඒත් මට ඔයාව පෙනෙන්නේ නැහැ. ඔයාට මොනවද උවමනා. ඔයාට පින් ඕනැ ද? ඔව් එයාට පින් ඕනෑ යැයි වෛද්‍යවරිය නිතර සිතුවාය. ඇගේ සිතුම් පැතුම් වටහා ගත් මව්පියෝ නිතර දානමානාදියෙන් ඒවා ඉටු කළහ. ඊටත් අමතරව ගුප්ත විද්‍යාවන්ගේ පිහිට ලබමින් මියගිය පුද්ගලයා දැන් කෙබඳු තත්ත්වයක සිටීදැයි සොයන්නට වූහ.

කිසිවක් තෝරා බේරා ගන්නට බැරි තත්ත්වයක ඔහු අඳුරක සිර වී සිටින බැවින් පිංකම් කොට ඔහුට සහනය ලබා දිය යුතු යැයි ඒ හැම තැනකින් ම කියැවිණි. සතුරා ගේ ඉලක්කය සපුරාලමින් සිදු වූ විනාශය, වේදනාව,කම්පනය, සිතට මහත් පීඩනයක් ගෙන දෙමින් ව්‍යාකූල වූ අවසන් සිතුවිල්ල දියේ ගිලුණු කෙනෙකු දිය යට හිඳගෙන ඉන් මිදෙන්නට වෙර දරන පීඩාව මෙන් මරණකාරායාගේ මනස ද ව්‍යාකූ®ලව ඇත. ගුප්ත විද්‍යාධරයන්ගේ හා ඇසුරු කරන භික්ෂූන් වහන්සේගේ උපදෙස් අනුව නිතර දාන මාන, බෝධි පූජා, සත්ත්වයින්ට අභය දාන ආදී පිංකම් නිතර සිදුකරමින් මළගිය ප්‍රාණකාරයාගේ ආත්මය යහපත් කිරීමට වෛද්‍යවරියත්, මව්පියෝත් නිතර කටයුතු කළහ.

අපි දැන් මේ සිද්ධියෙන් බැහැරව කොලොන්න ප්‍රදේශයේ තවත් සිද්ධියක් පිළිබඳ විමසා බලමු. එතැනත් තරුණ වෛද්‍යවරියක හා වෛද්‍යවරයකු විවාහ වී වසර ගණනක් ගත වුණ ද ඔවුන්ට දරු සම්පත නොලැබීම නිසා මහත් වේදනාවකට පත්ව සිටියහ. තමන් ඉගෙනගත් බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව කළ හැකි සියලු දේ කළහ. බොහෝ වියපැහැදම් කළහ. එයින් ද ප්‍රතිඵලයක් නැතිව දේශීය ප්‍රතිකාරවල නියැළුණාහ. එහෙත් ඉන් ද ප්‍රතිඵලයක් නැති තැන ආගමික පිළිවෙත්වලට නැඹුරු වූහ. බෝධි පූජා කළහ. බාරහාර වූහ. රුපියල් දහපහළොස් දහස වියදම් කරමින් ගවයින් මරණින් නිදහස් කළහ. ගර්භණීන්ට දාන මාන දුන්හ. ගර්භණී සායන දිනයන්හි පැමිණෙන ගර්භණීන්ට පෝෂ්‍යදායක ආහාර පානයෙන් සංග්‍රහ කළහ. රෝහල්වල ගර්භණී වාට්ටුවල දුප්පත් ගර්භණී මාතාවන්ට අවශ්‍ය ආහාර පාන බේත් හේත් ඇඳුම් ආදියෙන් සංග්‍රහ කළහ.

ළමා වාට්ටුවල දුප්පත් දරුවන්ට අවශ්‍ය දේ සපයා සංග්‍රහ කළහ. ළදරු පාසල්වලට ගොස් ඒ දරුවන්ට රසකැවිලි පොත්පත්, සෙල්ලම් බඩු ආදියෙන් සංග්‍රහ කළහ. ඒ දරුවන් වඩාගෙන තුරුලු කැරගෙන සුරතල් කළහ. දළදා මාලිගය, ශ්‍රී මහා බෝධීන් වහන්සේ, කතරගම කිරිවෙහෙර වැනි සුප්‍රසිද්ධ පූජ්‍යස්ථානවලට ගොස් සිල්සමාදන් වී පුද පූජා කොට බණ භාවනාවල යෙදී තමන්ගේ කුසට පින්වත් ගන්ධබ්බයෙකු පැමිණෙන්නැයි ආරාධනා කළහ. සිල්වත් මෙහෙණින් වහන්සේ නමක සමඟ ගොස් ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත පහන් දල්වා, නෙළුම්මල් දහසක් පූජා කොට, අට පිරිකර පූජාවක් පවත්වා, දෙවියන්ට ආරාධනා කොට දෙවියන් කැමති පිරිත් සූත්‍ර ගණනාවක් සජ්ඣායනා කොට ආගමික වතාවත් කළහ. පැයක් පමණ භාවනා කළහ. මේ කටයුතු සඳහා තරුණ වෛද්‍ය යුවළ නිර්ලෝභීව විය පැහැදම් කළහ. ඔවුහු කෙසේ හෝ දරු සම්පතක් ලැබෙන බවට දැඩි විශ්වාසයෙන් හා අධිෂ්ඨානයෙන් කටයුතු කළහ.

මේ අතර රුහුණේ වෛද්‍යවරියගේ මියගිය සැමියා, මේජර්වරයාගේ ආත්මය අඳුරෙන් එළියට පැමිණියේ ය. තමන් සතුරකුගේ ප්‍රහාරයකට ලක් වූ සැටිත්, ඉන් පසු අපැහැදිලි අඳුරු ව්‍යාකූ®ල තත්ත්වයකට පත්ව සිටි සැටිත් බිරිය හා ඥාතීන් නිතර පිං පැමිණවීම් සිදුකරමින් ඔවුන්ගේ අධිෂ්ඨාන ප්‍රාර්ථනා චිත්ත ශක්තීන් නිසා ආලෝකයට පරිවර්තනය වූ සැටිත් පැහැදිලි කළේය. මෙසේ තවදුරටත් පින්කම් කරමින් ඔහුගේ ආත්මය සුවපත් කරන්නට යහපත් කරන්නට කටයුතු කරද්දී ඔවුන්ට ගුප්ත පණිවුඩයක් ලැබුණි.

”ඔයගොල්ලෝ මාව අමතක කළේ නෑ. මට පින් දුන්නා. මා අඳුරෙන් එළියට ගත්තා. දැන් මට සියල්ල මතකයි. සියල්ල පැහැදිලියි. මේ සිද්ධ වුණේ කර්මානුරූපව සිදු විය යුතු දෙයක්. මම ඔයගොල්ලන් බලන්න ආවා. මගේ චූටි පුතු පැටියාවත් දැක්කා. (මේ වන විට වෛද්‍යවරිය පිරිමි දරුවෙකු ප්‍රසූත කැර සිටියාය.) මට දැන් හරි ම සන්තෝෂයි. මම දැන් අලුත් උපතක් කරා යනවා. ඒ යන්න කලින් ඔයාලට කියලා යන්නයි මම මේ ආවේ. මගේ පුතාව හොඳින් හදන්න. හොඳට උගන්නන්න. සමාජයට හොඳ මිනිහෙක් කරන්න. ඒක තමයි මට කරන ලොකුම උදව්ව”

”ඉතින් පුතා! ඔයා ඊළඟට උපදින්නේ කොහේදැ”යි වෛද්‍යවරියගේ පියා ප්‍රශ්න කළේය.

”තාත්තා! මම උපදින්නේ කොලොන්න ප්‍රදේශයේ. ඒ මව්පියෝ ඩොක්ටර්ස්ලා දෙන්නෙක්. දරුවෙකු නැතුව කාලයක් දුක්විඳලා පින්දහම් කර ආරාධනා කළා. මම ඒ දෙන්නා ළඟට යනවා. ඔබ හැම දෙනාටම බුදු සරණයි.”

දැන් සියල්ල සිදු වී හමාරය. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී” ධර්මයේ හැසිරෙන්නා ධර්මයෙන් රකී. ධර්මයේ හැසිරෙන්නාට සියල්ල ජයගත හැකිය. ධර්මානුකූලව කටයුතු කිරීමෙන් අඳුරේ සිටි ආත්මයක් නිදහස් වූයේ ය. දරුවන් නැති වෛද්‍ය යුවළක් දරුවකු ලැබුවේය.

මෙහි දී අපේ පාඨකයන්ගෙන් ඉල්ලීමක් කළ යුතුය. අපේ ගවේෂණයේ දී පහසුකම් නැති බැවින් තොරතුරු රැස් කිරීමේ අඩුපාඩු පවතී. කොලොන්න ප්‍රදේශයේ දරුවෙකු උපන් බව අපි දනිමු. එහෙත් ඒ දරුවාගේ විශේෂ ලක්ෂණ දැනගැනීමට නොහැකිව ඇත. ඒ දරුවාගේ විශේෂ උපන් ලපයක් තිබිය යුතුය. ඒ ගැන දැනගැනීමට අවශ්‍යව ඇත. පෞද්ගලිකත්වය හා අනන්‍යතාව ආරක්ෂා කරන්නට පොරොන්දු වන්නෙමු. මෙවැනි ගවේෂණ සාර්ථක වේ නම් සමාජය ධර්ම මාර්ගයට යොමු කිරීමට හේතුවක් වෙයි. එසේ ම සමාජයට සේවයක් ද වෙයි.

කරුණාකර මේ ගැන ඔබ දන්නා කරුණක් වේ නම් 071-6398690 අංකයට දැනුම් දෙන්න.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: