Posted by: lrrp | August 10, 2009

ආර්ථික දර්ශනයක් බුදු දහම තුළ තිබේද ?

ඩොනල්ඩ් එච්.බිෂොප් /පරිවර්තනය නාරාවිල පැට්රික්

වර්තමාන යුගයේ ඇමරිකා එක්සත් ජනපදය තුළ බෙහෙවින් උණුසුම් මතවාදයක් රැව් දෙයි. එනම් ආර්ථික ක්‍රමවේදයක් ලෙස ධනවාදයේ පැවැත්ම ගැනයි. බඩු මිල ඉහළ යෑම, සුඛෝපභෝගීත්වය හා දුප්පත්කම, විශ්‍රාමිකයන්ගේ අවාසනාවන්ත තත්ත්වය, මධ්‍යම පාන්තිකයන්ගේ වර්ධනය වෙමින් පවත්නා ආර්ථික දුෂ්කරතා සහ වෙනත් නොයෙක් සාධක බොහෝ දෙනා ධනවාදය කෙරෙහි ඇදහිය නොහැකි මවිතයෙන් බලන්නට මෙහෙයවා ඇත.

ප්‍රමාණවත් එඩිතර භාවයක් ඇති ඇතැම් දෙනා වෙනත් ආර්ථික විකල්පයක් නැත්තේ දැයි අසන්නට පවා පටන් ගෙන සිටිති.

මෙහිදී ආර්ථිකය සමඟ ආගම පටලවා ගත යුතු නැතැයි තර්ක කරන්නවුන් ද සිටින්නට පුළුවන. කෙසේ වෙතත් මේ තර්කය නම්, මිනිසා පිළිබඳ භෞතික කොන්දේසි ඔහුගේ ආධ්‍යාත්මික ජීවිතය කෙරෙහි බල නොපානු ඇතැයි කීමට සමාන ය. මේ ආකල්පය නම්, කිසිත් අනතුරක් හෝ ගැටලුවක් නැතැ යි සිතීමකි.පුද්ගලයා වනාහි භෞතික හා ආධ්‍යාත්මික ද්විත්වයේ එකමිතියකි. ආධ්‍යාත්මිකත්වය, භෞතිකයෙන් වෙන් කර කතා කළ නොහැකි ය. එබැවින් කෙසේ වත් ආගමට, ආර්ථිකය අමතක කරන්නට හෝ නොතකා හරින්නට බැරි ය.

එබැවින් ආර්ථිකය පිළිබඳ විෂයය ගැන, ආගමට කියන්නට ඇත්තේ කුමක් ද යන්න අධ්‍යයනය කරන්නට තරම් අත්‍යන්තයෙන් වැදගත් මාතෘකාවකි. එහිලා බුදුදහමට යම් පමණකින් හෝ දායකත්වයක් සපයන්නට හැකි වනු ඇතැයි කෙනෙකුට තර්ක කළ හැකි ය. එහෙත් බටහිර කිතු දහමට එවන් දායකත්වයක් සපයන්නට නොහැකි වනු ඇත. ඇයි ද යත්, එහිදී කිතු දහම හුදෙක් බෙහෙවින් ආසන්න ලෙස, ඓතිහාසිකව පමණක් නොව, සමකාලීනව ද ධනවාදය සමඟ බැඳී පවත්නා හෙයිනි.

බුදු දහම දෙසට හැරෙන විට ප්‍රශ්නය මෙවන් ස්වරූපයක් ගනු ඇත. බෞද්ධ ඉගැන්වීම් අතර ආර්ථිකය විෂයයෙහි අදාළ ඉගැන්වීම් මොනවාද? ඒ ඉගැන්වීම් තුළ අදාළත්වයක් දක්වන හෝ ආර්ථික අනුමිතියක් වන අවස්ථා කවරේ ද? අපි පළමුවෙන් දුකට හේතුවක් ඇතැයි යන දෙවැනි ආර්ය සත්‍යයෙන් පටන් ගනිමු. එහිදී හේතුව ලෙස දැක්වෙන්නේ තෘෂ්ණාවයි. එනම්, අතෘප්තිකර ආශාවයි. ලෝකය තුළ අන්තවාදී දුෂ්ටත්වයට හේතුව වන්නේ ද්‍රව්‍ය ලෝකය කෙරෙහි මිනිසාගේ සිත තුළ පවත්නා අතෘප්තිකර ආශාව හෙවත් තෘෂ්ණාවයි. ඉතා ම මූලික මට්ටමින් අපි මෙසේ සිතමු. මිනිසා තුළ පවත්නා ආශාව ස්වාභාවික ය. ජීවිත්වීමට අවශ්‍ය මූලික දේ ලබා ගැනීමට ඇති කැමැත්ත සාමාන්‍ය ආශාවයි. එය නීත්‍යානුකූල සහජ උරුමයක් වන අතර සපුරා ගත යුත්තකි. කෙසේ වෙතත් එය හුදෙක් තෘෂ්ණාවෙන් වෙනස් ය. තෘෂ්ණාවෙන් පෙළෙන්නා තමන්ගේ අවශ්‍යතාවට වඩා ලබා ගන්නට බලාපොරොත්තු වන්නෙකි. ඔහුගේ අවශ්‍යතා අධික ය. අසීම ය. අතෘප්තිකර ය. තව දුරටත් ඔහු තමාගේ බලාපොරොත්තු සපුරා ගන්නට කවර පියවරක් හෝ ගනු ඇත.

ඉහත දැක්වුණු තත්ත්වයක් සමඟ ආර්ථික ක්‍රමයක් ගැළපෙන්නේ කෙසේද? එහිලා පිළිතුර පැහැදිලි ය. බෞද්ධ දෘෂ්ටියට අනුව, ඉහත සඳහන් අසාධාරණ, අයුක්තිසහගත සහ හානිකර බලාපොරොත්තු වෙත පොලොඹවන කවරාකාර හෝ ආර්ථික ක්‍රමයක් පිළිගත නොහැකි ය. එබැවින් කවර ආර්ථික ආකෘතියක් හෝ සම්ප්‍රදායයක් වුවත් පැහැදිලි ලෙසම ආගමික දෘෂ්ටියට පටහැනි වන කල්හි ඕනෑම කෙනෙකු එය නොපිළිගැනීමට සහතිකවීම මැනවි. මේ අනුව හිතුමතේ ක්‍රියා කිරීමට ඉල්ලා සිටින සහ ඉවරයක් නැති බලාපොරොත්තු මගින් මහා පරිමාණ වශයෙන් පාරිභෝගිකයන් පොළොඹවනු ලැබ මිනිසාගේ තෘෂ්ණාව දිරි ගන්වන ඕනෑම ආර්ථික ක්‍රමයක් දෙවන ආර්ය සත්‍යයේ ඉගැන්වීමට පටහැනි ය.

සාමාන්‍යයෙන් ඇමරිකාවේ හෝ බටහිර පවා ධනවාදයේ අගය විනිශ්චය කරනු ලබද්දී ඉහත දැක්වුණු සාධක වලට අනුව එය සාර්ථක ප්‍රතිඵල ගෙන දෙන්නේ නැත. නූතන තාක්‍ෂණය මහා පරිමාණ නිෂ්පාදනයට අප මෙහෙයවා ඇත. එයට අදාළ ප්‍රතිඵල ලබා ද තිබේ. කෙසේ වෙතත් එහිලා ප්‍රතිෂේධාත්මකව මෙවන් ප්‍රතිඵල අත්දකින්නට හැකි ය. එනම් පාරිභෝගිකයාට කොහෙත්ම වුවමනා නැති සහ එතරම් වැදගත් නොවන නොයෙක් භාණ්ඩ නිෂ්පාදනයයි. සැබවින්ම ඒවායින් තොරව මිනිසාට අරපිරිමසා ගන්නට නොහැකි නොවේ. එහෙත් සිදුවී ඇත්තේ එවන් භාණ්ඩ වලින් තොරව ජීවත් විය නොහැකි වෙතියි යන විශ්වාසය තත්ත්වාරෝපණය කිරීමයි. මහා පරිමාණ විසින් මෙය කරනු ලබන්නේ ජනමාධ්‍ය මඟින් ප්‍රචාරය කිරීමෙනි. රූපවාහිනිය සහ පුවත්පත් ආදී මුද්‍රිත මාධ්‍යයෙන් එහිලා ජනතාවට බල කරනු ලැබේ. එමඟින් නිෂ්පාදකයෝ තමන් අලෙවි කරන ඕනෑම දෙයක් ගන්නට පාරිභෝගිකයන් දිරි ගන්වන පරීක්‍ෂණ පවත්වති. ඔවුන් කියන හැටියට ඒ භාණ්ඩ වලින් තොරව කිසිවකුට සතුටින් ජීවත් විය නොහැකි ය. තරුණියකට රූපසුන්දරියක වන්නට නුපුළුවන. අයන්නේ සිට අහ්යන්න තෙක් වූ එකී භාණ්ඩ වලින් තොර ජීවිතය අසම්පූර්ණ ය.

ඉහත සඳහන් පරිදි ජනතාව එසේ මෙහෙයවීම සහ බලාපොරාත්තු වලින් පිරිහීගිය ජීවියකු වූ මිනිසාගේ ස්වාභාවික දුබලකම් මත කරණම් ගැසීම මූලික විසින් ම සදාචාර විරෝධී ය. සත්තකින් ම එවන් ක්‍රමයක් එම වරද දිගින් දිගට කරගෙන යෑමට නිර්දේශ කිරීමක් වනු ඇත. එවිට ආගමින් එයට ලැබෙන්නේ දොස් පැවරෙන විවේචනයක් මිස අනුබලයක් නොවේ.

මේ සංසිද්ධිය පැහැදිලි කිරීමට ඇමරිකාවේ නිතර යෙදෙන්නේ ‘සුපිරි පරිභෝජනය’ යනු යි, අසන්නට ලැබේ. සදාචාරාත්මක හා ආගමික පිළිවෙත අනුව ඕනෑම සමාජයක් සහ එහි අර්ථ ක්‍රමය එතුළ ලක්‍ෂණයක් හැටියට අඩංගු අංශ තුනකින් විචාරයට ලක් කළ හැකි ය. එකක් නම් සමාජ අස්ථාවරත්වයට මෙහෙයවීමයි. එසේ වන්නේ විවිධ සමාජ කොටස් අතර පැහැදිලිව පෙනෙන හෝ අන්තවාදී කොටස් ඇතිහැකි සහ නැතිබැරි විසින් දෙකට බෙදීමෙනි. අවසනාවන්ත අත්දැකීම් සමූහයක් නිසා මේ තත්ත්වය ඇමරිකන් සමාජය තුළ යථාර්ථයකි. පීඩිත පන්තිය හෙවත් නැති බැරි ජනතාව රූපවාහිනියේ වෙළඳ දැන්වීම් වලින් දකින සුඛෝපභෝගී සැප සම්පත් ලබා ගන්නට නොහැක්කාහු, ඇති හැකි හෙවත් සුඛෝපභෝගී ජීවිත ගත කරන්නවුන් සමඟ හනික ද්වේෂයෙන් පෙළෙන්නාහු වෙත්. අනෙක් අතට එයට ප්‍රතිචාර විසින් සුඛෝපභෝගීහු, එනම් සුපිරි පරිභෝජනයට පෙළඹුණාහු, එය අහිමිව සිටින්නවුන්ගේ වෛරයෙන් බියට පත්ව, තම තමන්ගේ ආරක්‍ෂාව පිණිස නොයෙක් උපක්‍රම යොදන්නට උත්සාහ කරති.

සුපිරි පාරිභෝගික සමාජයක් පිළිබඳ ද්විතීය විවේචනය වන්නේ, සීමිත සැපයුමක් තුළ ස්වාභාවික සම්පත් විෂයයෙහි වේගවත් භාවිතයට දිරි ගැන්වීමයි. එහිලා පැහැදිලි උදාහරණයක් වන්නේ ඛනිජ තෙල් ය. මිහිගැබ තුළ නිධි වශයෙන් බොර ඛනිජ තෙල් ඇත. ඒවා අලුත් නොවේ. වරක් ඇද ගත් කල සදහට ම ඉවර ය. එබැවින් ඕනෑ ම මිනිස් සමාජයක්, ජාතියක් හෝ කණ්ඩායමක් තමන් හෝ ලෝකය සතු, නැවත අලුත් නොකළ හැකි ස්වාභාවික සම්පතත් සිය තෘෂ්ණාව සන්සිඳුවා ගැනීම පිණිස යොදා ගැනීම සදාචාර සම්පන්න නොවේ.

තෙවැනි විවේචනයට මඟ සැලසෙන්නේ ඉහත සඳහන් දෙවැන්නෙනි. ඉහත සඳහන් පරිදි, යමකු ඔහුගේ තෘෂ්ණාව විසින් මෝහනයට පත් කරනු ලැබූ කල්හි ඒ පිළිබඳ ආශාව සන්සිඳුවා ගැනීම පිණිස ඕනෑ ම පියවරක් ගනු ඇත. එහිලා කවර දුරක් හෝ යනු ඇත. මේ තත්ත්වය සමාජයක් හෝ ජාතියක් සම්බන්ධයෙන් ද සත්‍යයකි. ඇයි ද යත්, සමාජය යනු පුද්ගලයන්ගේ සංචිතයක් වන හෙයිනි. මෙහි ප්‍රතිඵලය කුමක් ද? මේ සංසිද්ධිය අපි වත්මන් ලෝකයේ අත් දකිමු. අතීතයේදී ත් එය එසේම විය. සුපිරි පරිභෝජනවාදීහු යම් විටක අවශ්‍ය වෙතියි සිතතොත් යුද්ධමය පියවර හෝ ගනිති. ඒ ඇයි? තමන් සඳහා අමුද්‍රව්‍ය සම්පත් සංචිත හිමි කර ගනු පිණිස ය. එහිදී බලපෑම, ආක්‍රමණය, අර්බුදය හා යුද්ධය විනාශකාරී ප්‍රතිඵලය වන අතර එය සාධාරණය කරනු ලැබේ. එය මූලික අවශ්‍යතාව නොව කෑදරකම පදනම් කර ගත් අර්ථ ක්‍රමයකි.

ඒ ගැන බෞද්ධයා කියන්නේ කුමක්ද? ඔහු අපට කියන්නේ සතර වැනි ආර්ය සත්‍යය හෙවත් දුකින් මිදීමේ මාර්ගය දෙසට හැරෙන ලෙසයි. එයින් දුක මැඬලිය හැකි යැයි අපට කියනු ලැබේ. එයින් දුකට හේතුව වන ගැටුම හා යුද්ධය මුලිනුපුටා දැමිය හැකි ය. ඒ නිවැරැදි දැක්ම (සම්මාදිට්ඨි) හෝ නිවැරැදි සිතිවිල්ල (සම්මාසංකප්ප) ඔස්සේ නිවැරැදි දිවි පෙවෙතට (සම්මා ආජීව) යොමු වන නිවැරැදි ක්‍රියාවට (සම්මා කම්මන්ත) මෙහෙයැවීමෙනි. ආශාව හෝ ආශා කිරීම නරක නොවන බව කලින් සඳහන් කර ඇත. අපි වැරැදි දෙයට යොමුවන, නැමෙන හෝ ඇලෙන හේතුවෙන් දුරාචාරි සම්පන්න බවට පත් වෙමු. අප භෞතික බලාපොරොත්තු ගැන පමණක් සිතන විට සහ ඒවා ගැන සොයන විට, අපේ ආධ්‍යාත්මික සහ සදාචාරාත්මක බලාපොරොත්තු අපට අහිමි වෙයි. අපේ ආශාවන් සීමාව ඉක්මවා යන විට සහ අපේ ඉසවුවෙන් ඈතට යන විටත්, සත්තකින්ම අප සිතන පතන භෞතික සම්පත් අප සතුවිය යුතුම යැයි සිතන විටත්, නියතයෙන් අපේ ජීවිතය අවුල් සහගත වෙයි. වෙහෙසට පත්වෙයි. සතර වැනි ආර්ය සත්‍යය හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගය මූලධර්ම දෙකක් ඉඟි කරයි. එනම් වරණය සහ මධ්‍යස්ථතාවයි. ඉක්බිති එය කෑදරකම් නොව අවශ්‍යතාව පදනම් කර ගත් ආර්ථික ක්‍රමයයි. අතිරික්තය නොව ප්‍රමාණ්‍යය මෙහෙයුම් මූලධර්මය විය යුතු ය.

නියතයෙන් අසන්නට අප දිරි ගන්වන ප්‍රශ්නයක් නම්,නිෂ්පාදනයේ අරමුණ කුමක් ද යනුයි. අපට කම්හල්, ගොවිපොළ, සාප්පු, කාර්යාල ආදිය ඇත්තේ කුමක් සඳහා ද? විශිෂ්ට බෞද්ධ පඬිවරයකු වූ මහාචාර්ය ගාඩ් විසින් ලියන ලද පොතක එයට පිළිතුරක් දකින්නට ලැබේ. ‘පළමු කොට ම බෞද්ධ ශිෂ්ටාචාරය, එහි බලපෑම තුළ හැඩගැසුණු කෙනෙකු කෙතරම් ගැළපෙන මානව ජීවියකුගේ ආකෘතියක් විය යුතු දැයි කියන අතර එහි දී රජකු හෝ හිඟන්නකු විසින් වුවත් දරන ලද ප්‍රයත්නයේ සමානුපාතික පරමාදර්ශයක් වෙතියි යන මතය දරයි.

සංඝ සමාජයේ පරිත්‍යාගය, ධෛර්යය සහ බුද්ධිමත්භාවය තුළ මේ පරමාදර්ශයේ පිරිපුන් විග්‍රහයක් දකින්නට ලැබෙන අතර, ගිහි සමාජය විසින් එය පිළිගන්නා ලද්දේ ද, ඔවුන් විසින් තමනට හසුරුවා ගත හැකි අවකාශය තුළ අභ්‍යාස කරන ලද්දේ ද විය. පෞද්ගලික ලාබය වෙනුවට සමාජය ගැන සලකා ඒ සඳහා ධන නිෂ්පාදනය, පුද්ගලයකු ඔහුගේ සදාචාරාත්මක පෞරුෂය අනුව තක්සේරු කිරීම හා ඔහුගේ ආර්ථික ශක්තිය නොව, නිවැරැදි දැක්ම සහ රටක පුරවැසියන්ගේ සමඟිය හා හුදෙක් වානිජ හෝ ව්‍යාපාරික සමබරතාව පමණක් නොව සෞභාග්‍යයට සමානුපාතිකව ජාතියේ ශ්‍රේෂ්ඨත්වය ආදිය බෞද්ධ පරමාදර්ශී චරිතයක් තුළ අඩංගු විය යුතු ඇතැම් වටිනාකම් වෙයි. ඉහත දක්වන ලද උද්ධෘතයට අනුව අප නොයෙක් දේ ජනතාව සඳහා නිපදවනු ලබන්නේ ඒවා ඔවුනට අවශ්‍ය නිසා පරිහරණයට ය. අපට කුසට අහරක්, ඉනට වතක්, හිසට සෙවණක් සහ ලෙඩට බෙහෙතක් පිළිබඳ මූලික අවශ්‍යතාවක් ඇත. ඒවායින් තොරව අපට ජීවත් විය නොහැකි ය. ඒ නිසා අපි වවමු. අපේ ජීවිතය පවත්වා ගෙන යන්නට හෝ ඉහත කී අවශ්‍යතා ඉටුකර ගන්නට භාණ්ඩ නිපදවමු. එකල්හි ආර්ථික ක්‍රමයක අරමුණ වන්නේ ජීවිතය පවත්වා රඳවා ගැනීමයි. කෙසේ වෙතත් ලෝකයේ නොයෙක් තැන ලාබය ම මූලධර්මය සහ ඒකායන පරමාර්ථය කොටගත් ආර්ථික ක්‍රමයක් දකින්නට ලැබෙයි. ද්‍රව්‍ය හා භාණ්ඩ නිපදවනු ලබන්නේ ලාබ ඉපදවීම සඳහා ය. ලාබයක් ඉපදවීම නොහැකි නම්, එසේ භාණ්ඩ නිපදවන්නේ නැත. බුදු දහම අනුව එවැනි පරමාර්ථයක් අනුමත කළ හැකි ද? ඉහත දැක්වුණු ප්‍රකාශයට අනුව සත්තකින් ම එසේ නොවි හැකි ය. මානව ජීවියාට ප්‍රාථමික අවශ්‍යතා ඇතැයි යන සත්‍ය මත ජීවිතය පවත්වාගෙන යායුතු යැයි කියතොත්, මූලික මිනිස් අවශ්‍යතා මඟින් ලාබ ඉපිදවීම පදනම් කර ගත් ඕනෑම ආර්ථික ක්‍රමයක්, සත්තකින්ම සදාචාරාත්මක නොවන අතර පැසසුම් කටයුතු ද නොවේ. ඇයි ද යත්, අන් හැම කෙනෙකුට ම තමන් සේ සලකා සත්‍යය ප්‍රගුණ කිරීම මැනවයි බුද්ධානුශාසනය වන හෙයිනි.

තමන්ගේ අතිරික්ත ලාබය අනුන් මත පටවා ලබා ගන්නට උපාය යෙදීම ඔවුන් කෙරෙහි ආධිපත්‍යය පැතිරවීමකි. එනම් හුදෙක් තමාගේ වාසිය පිණිස අනුන් පාවාදීමකි. එසේ ම හුදෙක් තමන්ගේ බලාපොරොත්තු ඉටුකර ගන්නට මඟක් පාදා ගනු සඳහා අනුන් උරගා බැලීමකි. එමගින් පාරිභෝගිකයෝ හෑල්ලුවට ලක් කරනු ලබති. ඔවුහු මුළා කරනු ලබන්නාහු අප්‍රාණික මෙවලම් හෝ භාණ්ඩ තත්ත්වයට පත් කරනු ලබත්. කෙනෙකුගේ පෞරුෂයට එවන් තහනමක් නියත විසින් ම බුදුදහමට පටහැනි ය. සත්තකින්ම අප දැන් සාකච්ඡා කරමින් සිටින්නේ, පරමාර්ථ පිළිබඳ ප්‍රශ්නය ගැන ය. අපේ පරමාර්ථය කුමක් විය යුතු ද? ආනන්ද කුමාරස්වාමි පඬිවරයාණෝ සිය ‘බුඩිසම්’ නමැති කෘතියෙහි මේ කාරණයට අදාළව ජපන් බෞද්ධයකු විසින් 1890 දී කරන ප්‍රකාශයක් උපුටා දක්වති. එනම්, ‘ජාතික සමාජ විනය හෝ අවිනය, උන්හිටි ගමන් අහසින් කඩා පාත් වන්නක් හෝ පොළොව පලාගෙන මතු වන්නක් මත රඳා පවතින යම් කිසිවක් නොවේ. එය තීරණාත්මක වන්නේ සමස්ත ජනතාවගේ චිත්තාකල්පය විසිනි. පොදුජන චිත්තාකල්පය ක්‍රියාත්මක කරවන මේ භ්‍රමණ කේන්ද්‍රය වන්නේ පොදු මහජන සහ පෞද්ගලික පරමාර්ථ වෙනස් වන ලක්‍ෂ්‍යයයි. ජනතාව ප්‍රධාන වශයෙන් මහජන අවධානය මඟින් මෙහෙයවනු ලැබේ නම්, විනය හෙවත් සමාජ හිතකාමී පිළිවෙත සහතික වෙයි. තවද එය පෞද්ගලිකත්වය මඟින් මෙහෙයවනු ලැබේ නම්, අවිනය හෙවත් අක්‍රමවත්භාවය නොවැළැක්විය හැකි ය.

මේ ප්‍රකාශයෙන් කියවෙන්නේ ඕනෑම පුද්ගලයකු සියලු දෙනාගේ ම යහපත පිණිස වන්නේ කුමක් ද සහ තමාගේම යහපත පිණිස වන්නේ කුමක් ද යන්න මඟින් ප්‍රෝත්සාහිවීම මැනවි යනුයි. ඔහුගේ මූලික අවධානය යොමුවිය යුත්තේ තමා සඳහා තමාගෙන් ම ලැබිය යුතු වන්නේ කවර ප්‍රතිලාභය ද හෝ සත්කාරය (සහපත) ද යන්න ගැන පමණි.

(Mahabodhi Centenary Commemorative Volume – SAMBHASHA කලාපයේ, ඩොනල්ඩ් එච්. බිෂොප්ගේ Is There a Buddhist Economic Philosophy මැයින් වූ ලිපියේ පරිවර්තනයකි.)


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: