Posted by: lrrp | August 10, 2009

නිදහස වෙත යන සොඳුරු මාවත

නුගවෙල දීපාලෝක හිමි

ඉන්ද්‍රිය සංවරය බොහොම ලස්සනට තෝරපු තැනක් සංයුක්ත නිකායේ බොජ්ඣංග සංයුක්තය තුළ හමුවෙනවා. කුණ්ඩලීය කියන පරිබ්‍රාජකයා භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවා, ඔබ වහන්සේ මොන අනුසස් දකිමින්ද වාසය කරන්නේ කියලා. මේ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ මුව මඬලින් ගිලිහුණු වචනය කෙතරම් නම් සුන්දරද බලන්න.

විජ්ජා විමුක්ති ඵලානිසංසො ඛො කුණ්ඩලිය, තථාගතෝ විහරතීති

විද්‍යා විමුක්ති ඵල අනුසස් දකිමින් තථාගතයන් වහන්සේ මේ ලෝකයේ නිදුකින් වැඩ වසනවා.

විද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධ ඤාණයට. යමෙක් ආර්ය සත්‍ය පරිපූර්ණ වශයෙන් අවබෝධ කළොත් එයා ලෝකෙන් නිදහස් වනවා. ඒක තමා, විමුක්තිය.

මේ විජ්ජා විමුක්තිය සාක්ෂාත් කරන්නනම්, බොජ්ඣංග හත වැඩිය යුතුයි. ‘සත්ත බොජ්ඣංග‘ සම්පූර්ණ වන්නනම්, සතිපට්ඨාන හතර සේවනය කළ යුතු යි. සතර සතිපට්ඨාන සම්පූර්ණවන්නට නම් ත්‍රිවිධ සුචරිතයේ හැසිරෙන්න ඕන. ත්‍රිවිධ සුචරිතය සම්පූර්ණ වන්නනම්, ඉන්ද්‍රිය සංවරය අවශ්‍ය බව භාග්‍යවතුන් වහන්සේ කුණ්ඩලීය සූත්‍රයේ දී වදාළා.

අද අපි, මේ ධර්ම විනයේ – ඉන්ද්‍රිය සංවරය ඇතිකර ගන්නේ් කොහොමද කියල ඉගෙන ගනිමු. ආර්ය ඉන්ද්‍රිය සංවරය අපි නොදැන සිටියොත් අර පාරාසරිය බ්‍රාහ්මණයාගේ ශිෂ්‍යයන්ට සිද්ධ වූ දේ තමා, අපටත් සිද්ධ වන්නේ. ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ සඳහන් වනවා පාරාසරිය ගුරුවරයා එයාගේ ශිෂ්‍යයන්ට ඉන්ද්‍රිය භාවනාව උගන්වපු හැටි. කොහොමද ඉගැන්නුවේ? ඇසින් රූප බලන්නේ නැතිව හිටපල්ලා. කනෙන් ශබ්ද අසන්නේ නැතිව හිටපල්ලා, නාසයෙන් ගඳ සුවඳ විඳින්නේ නැතිව, දිවෙන් රස විඳින්නේ නැතිව, කයින් පහස ලබන්නේ නැතිව, සිතින් සිතන්නේ නැතිව (අබ්බගාතයෝ වගේ) හිටපල්ලා. ඒක තමා ඉන්ද්‍රිය භාවනාව කියලා.

ඇස සංවර කර ගතහැකි වන්නේ ඇස වහගෙන ඉදලම නොවේ. යම් යම් අවස්ථාවලදී එහෙම යම් සංවරයක් ඇති කරගන්නත් පුළුවන්. මහා කච්චාන මහරහතන් වහන්සේ ථෙර ගාථාලදී වදාළා ‘නොබැලිය යුතු දේ ඉදිරියේ ඇස තිබුණත් අන්ධයකු වගේ ඉන්න’ කියලා. මහා කච්චාන මහරහතන් වහන්සේ මේකෙන් අදහස් කරන්නේ පාරාසරිය බ්‍රාහ්මණයා කීවා වාගේ ලාමක පිළිවෙතක් නොවේ. නමුත් පාරාසරිය කියන විදිහට ඒක එහෙම වනවානම්, උපතින්ම අන්ධ අය මනාකොට ඉඳුරන් වඩපු අය වන බව භාග්‍යවතුන් වහන්සේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ දී වදාළේ.

ඉධ කුණ්ඩලීය, භික්ඛු චක්ඛුනා රූපං දිස්වා මනාපං

මේ ශාසනයේ භික්ෂුව ඇසින් දකිනවා. පි‍්‍රය මනාප, ලස්සන රූප දැකල මොකද කරන්නේ. නාභිජ්ඣති (ඇලෙන්නේ නෑ) ආර්ය සත්‍ය අවබෝධයට පිළිපන් භික්ෂුව සිහියෙන්, නුවණින් වීර්යයෙන් යුක්තව ඒ පි‍්‍රයමනාප රූපයට නොඇලී ඉන්න දක්ෂ වනවා. ඒ වගේම නාහිහංසති (පතන්නේ නෑ) ආනගතයේදීවත් මට පි‍්‍රයමනාප, ලස්සන රූපයක් දකින්නට ඇත්නම් කියලා මේ භික්ෂුවට අදහසක් ඇතිවන්නේ නෑ. මොන භික්ෂුවටද? මනාකෙට ඉන්ද්‍රිය සංවරය පවත්වන භික්ෂුවට.

න රාගං ජනේති (කෙලෙස් වැගිරෙන්නේ නෑ) ලස්සන රූපයට ඇලුණේ නැති නිසා, අනාගතයේදීවත් ලැබේවා කියා පැතුවේ නැති නිසා ඒ කාරණයෙන් රාගය හටගෙන කෙලෙස් වැගිරීම සිද්ධ වන්නේ නෑ. බලන්න මේක සුළුපටු දක්ෂකමක් නොවෙයි නේද? ඒ නිසාමයි රෝහණී රහත් තෙරණින් වහන්සේ මෙහෙම වදාළේ. ‘මේ ලෝකේ ශ්‍රේෂ්ඨතම වැඩේ කරන්නේ ශ්‍රමණයන් වහන්සේ. ඒ කාම,රාග, ද්වේෂ, මෝහ දුරු කරන එක’

තස්ස යතෝච කායෝ හෝති (කය චුට්ටක්වත් වෙනස් වන්නේ නෑ) ඇසින් පි‍්‍රයමනාප රූප දැක්කයි කියලා, ඒ කාරණයෙන් කයේ වෙනසක් ඇති කරගන්නේ නෑ. කය එහෙමම තියා ගන්නවා. ධීතං චිත්තං (සිත වෙනස් වන්නේ නෑ) ඉන්ද්‍රිය සංවරයෙන් තොරව වාසය කළොත් පි‍්‍රයමනාප රූපයට පුළුවන් අපේ සිත කළඹලා දාන්න.

වංගීස මහරහතන් වහනසේ වදාළා ‘ස්ත්‍රින්ගේ බලය ඊතල වලටත් වඩා බලවත්. නමුත් මොන ස්ත්‍රියක් මා ඉදිරියට ආවත් මාවනම් පොළඹවා ගන්න බෑ’ කියලා මනා කොට ඉන්ද්‍රිය සංවරයේ පිහිටියහොත් බාහිර රූපයක් නිසා එයාගේ සිත කෙලෙසෙන්නේ නෑ.

අජ්ඣිත්තං සුසණ්ඨිතං (අභ්‍යන්තරය තුළ මනාව පිහිටලයි තිබෙන්නේ) පෘථග්ජන කෙනා භාග්‍යවතුන් වහන්සේ උපමා කළේ පරඬැලකට යි. සුළඟ හමන හමන පැත්තට අනුව පරඬැලේ ස්වභාවය තමයි ගහගෙන යෑම. නමුත් ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා උන්වහන්සේ උපමා කළේ ඉන්ද්‍රඛීලයකට. සිවු දිසාවෙන් කොතරම් සුළඟ හැමුවත් පොලොවේ මැනවින් සිටුවන ලද ගල් කුළුණක් සෙලවෙන්නේ නෑ.

සුවිමුතීතං (මනා කොට නිදහස් වූ) පි‍්‍රයමනාප රූප නිසා තමන්ගේ සිත කළඹගත්තේ නෑ. ඒ රූපවලට සිත යටවුණේ නෑ. එහි ගොදුරක් නොවී ඔහු මැනවින් නිදහස් වුණා.

ඊළඟට කුණ්ඩලිය සූත්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ වදාළා මේ ශාසනයේ භික්ෂුව ඇසින් පි‍්‍රයමනාප රූප විතරක් නොවෙයි දකින්නේ. අපි‍්‍රය අමනාප රූපත් දකිනවා. එහෙම දකිනකොට මූණ පුළුටු කරගන්නේ නෑ කියලා. අදීන මනසක් පවත්වනවා. තරහා නැති සිතක් පවත්වනවා. ඒ වගේම මේ ශාසනයේ භික්ෂුව අපි‍්‍රය අමනාප රූපදැකීම හේතුවෙන් කය වෙනස් කරගන්නේ නෑ. සිත වෙනස් කරගන්නෙත් නෑ. අභ්‍යන්තරය තුළ මනාව පිහිටලා ඉන්නවා කියලාඔන්න ඔය විදිහට තමා ආර්ය විනයේ ඇස සංවර කරගන්නේ. කෙනකුට පුළුවන් වුණොත් මේ විදිහටම කන සංවර කරගන්න, නාසය, දිව, කය මනසත් සංවර කරගන්න, එයා මනා කොට ඉන්ද්‍රිය සංවරයේ යෙදුණ කෙනෙක් වෙනවා.

එයාට සුන්දර නිවන විවෘත වනවා. ඉන්ද්‍රිය සංවරය සම්පූර්ණවීම මත ත්‍රිවිධ සුචරිතය සම්පූර්ණ වීම වෙනවා. සතර සතිපට්ඨානය සම්පූර්ණ වීම මත සප්ත බොජ්ක්‍ධංග සම්පූර්ණ වෙනවා. සප්ත බොජ්ඣංග සම්පූර්ණවීම මත විජ්ජා විමුක්තිය නොපිහිටීමෙන් විජ්ජා විමුක්තිය සම්පූර්ණ වූ දවසට විඤ්ඤාණය සම්පූර්ණ වෙනවා. පිරිනිවන් පාන්නට අවස්ථාව ලැබෙනවා.

ඉතිං අපි මුලින්ම ඉන්ද්‍රිය සංවරය ඇතිකරගන්න මහන්සි ගන්න ඕන. ඉබේ ඇතිවන දෙයක් නොවෙයි ඒක. ඉන්ද්‍රිය සංවරය ඇතිකර ගන්න නම් සිහියත් නුවණත් තියෙන්න ඕන. (සති සම්පජඤ්ඤය) සිහියත් නුවණත් ඇති කරගන්න නම් යෝනිසෝමනසිකාරයෙහි (ශ්‍රී සද්ධර්මයට අනුව නුවණින් විමසීමෙහි) යෙදෙන්න ඕන. යෝනිසෝමනසිකාරය ඇතිවන්න නම් ශ්‍රද්ධාව (තථාගතයන් වහන්සේගේ අවබෝධය පිළිගැනීම) තියෙන්න ඕන. ශ්‍රද්ධාව නිකං ඇතිවන්නේ නෑ. ඒකට ශ්‍රී සද්ධර්මය ශ්‍රවනය කරන්න ඕන.

ශ්‍රී සද්ධර්මය ශ්‍රවනය කරන්නට කළ්‍යාණ මිත්‍රයන් ඇසුරු කරන්නට ඕන. සිහිය, වීර්යය, නුවණ පින තිබුණොත් කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරන කෙනාට මේ නිවන් මඟ විවෘත යි. කල්‍යාණ මිත්‍රයා කියන්නේ, සත්පුරුෂයකුට. ඒ සත් පුරුෂයා හඳුනාගැනීම තමයි දුෂ්කර. සත්පුරුෂයකුට පමණයි සත්පුරුෂයකුව හඳුනා ගන්න පුළුවන් වන්නේ කියලා. භාග්‍යවතුන් වහන්සේ චූල පුණ්ණල සූත්‍රයේ දී වදාළා. ඒ නිසා අවශ්‍ය දේ තමයි තමන් සත්පුරුෂයකු වීම. එදාට කලණ මිතුරන්ගේ ඇසුර අපට ලැබෙනවා. අපි අන්න එදාට, සුන්දර නිවන් මඟේ පියමං කරන, ගෞතම බුදුරජාණන් වහන්සේගේ සැබෑම ශ්‍රාවක දරුවන්, සැබෑම ශ්‍රාවක දියණියන් බවට පත්වෙනවා.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: