Posted by: lrrp | August 12, 2009

ආමිස දානය මඟින් සපුරා ගත හැකි ‘ධර්ම’ දානය

අපවත් වී වදාළ අතිපූජ්‍ය කෝට්ටේ දේවානන්ද මාහිමියන් විසින් දාන සූත්‍රය ඇසුරෙන් සිදු කරන ලද-පටිගත කරන ලද ධර්මදේශනයක් ඇසුරෙන් කම්මට්ඨානාචාර්ය පූජ්‍යපාද හොරගස් අගාරේ ධම්මක්ඛන්ධ හිමියන්ගේ මෙම ලිපිය අනුග්‍රහයෙන් සම්පාදනය කරන ලදී. එය,1997. 09.23 දින පැවැත්වූ ධර්ම දේශනයකි.

විශ්‍රාමික ගුරු උපදේශක ඒ. එම්. පේ‍්‍රමරත්න

“යමෙක් තවත් කෙනකුගේ සන්තානයේ හොඳ මෛත්‍රී , කරුණා ආදී ගුණ අවදිවීමට උපකාරී වන යම් ක්‍රියාවක් කළා නම්, එතැන කුසල ධර්ම දානයකුයි වෙලා තියෙන්නෙ. මේ ආකාරයෙන් බලනකොට අප මුළු දවසෙම මේකට මැදිවෙලා ජීවත් වන බව තේරුම් ගන්න අපට අමාරු වන්නෙ නැහැ.”

බුදුරජාණන් වහන්සේගේ ධර්ම විවරණ සැමවිටම අපගේ ජීවිත ඵලදායි කර ගැනීමට උදව් වන බව අප දන්නව. අප නිතර අසා ඇති ආමිස දාන හා ධර්මදාන දෙක ගැනත් උන්වහන්සේ විශේෂ විවරණයක් කරනව. නුවණින් විමසා නොබලන කෙනකුට බුද්ධ දේශනාවල අන්තර්ගත ධර්ම කරුණු වටහා ගන්න අමාරුයි. මේ නුවණ කියන්නෙ සංසාරයේ බොහෝ කාලයක් ගමන් කළ පුද්ගයකුගේ අත්දැකීම් තුළින් ගන්නා ලද තීරණ නැවත මතුවීමයි. නොයෙකුත් ආත්මවල විවිධ ගැටලුවලට අප මුහුණ දීල ඒවායේ හරි වැරැදි තෝරල, විශ්ලේෂණය කරල චිත්ත සන්තානයේ තැන්පත් කරගෙන ඒවා නැවත හමුවෙලා නිගමනය කරන විට අපි ඒකට කියනව නුවණ කියලා. අප ලත් අප්‍රමාණ අත්දැකීම් වල ප්‍රතිඵල හැටියටත් හඳුන්වන්න පුළුවන්.

මේ අනුව මේ කියන දාන විග්‍රහයේදී වර්ග දෙකකට බෙදා දැක්වෙන දාන ශබ්දයෙන් පෙන්නුම් කරන කාරණා තේරුම් ගන්න හැකි වන්නත් පුළුවන්. නොහැකි වන්නත් පුළුවන්. ආමිස හා ධර්ම යන දාන වර්ග දෙකෙන් බුදුරජාණන් වහන්සේ අගය කළේ ධර්ම දානයයි. බොහෝ කාලයක සිට අප පුරුදු වෙලා තියෙන්නෙ මේ දෙක තනිකරල අරගෙන වෙන වෙන ම හිතන්නටයි. ආමිස දාන වශයෙන් නිගමනය කැරෙන වස්තු, ද්‍රව්‍ය කෑමබීම ආදී දේ සමග ධර්මය සම්බන්ධයක් අරගෙන නැහැ. ධර්ම දානය ලෙස නිගමනය කරන්නෙ බණ කීම, කියවීම, දහම් පොතපත බෙදා දීම ආදියයි. ධර්ම දාන අර්ථය එහි තියෙන නිසා ඒ ක්‍රියා අප බැහැර කරන්නෙ නැහැ. නමුත් නියම තේරුමක් ඇතිව ධර්ම දානයෙහි යෙදෙන අයුරු බුදුරජාණන් වහන්සේ මෙහිදී විග්‍රහ කර වදාළේ එහෙම ම නොවෙයි.

ධර්මයක සමායෝජනයක් නැතිව ආමිසයක් අපට පාවිච්චි කරන්න බැහැ. ඒක කුසල හෝ අකුසල ධර්මයක් වන්න පුළුවන්. රහත්ඵලය ලැබුවාට පස්සේ නම් ඒක කුසල් හෝ අකුසල් නොවන අව්‍යාකෘත ධර්මයක් වෙන්නත් පුළුවන්. කෙනෙකුට කේන්ති යාම යනු අකුසල පක්ෂයේ ධර්මතාවයක් ද්වේශය ස්ව සන්තානයෙන් මුළුමනින්ම අස්කරනතුරු ඉඩ ලත් තැන සතර අපායට අයිති මොකක් හෝ දුකක් දෙනවාම යි. එතකොට යම් ආමිස දානයක් කේන්තියෙන් යුක්තව දුන්නොත් එතැන අධර්ම දානයක් වෙනව. ආමිසය තනිකර ම පාවිච්චි කරන්න බැහැ. ආදර සංග්‍රහයක් ලෙස හෝ ලාභ ප්‍රයෝජනයක් උදෙසා හෝ දුක ගැන බලල හෝ ආනිශංස ගැන හිතල හෝ යමක් දෙනව නම් ඒ අවස්ථාවේදී ආමිසය ආශි‍්‍රතව පුද්ගලයාගේ සිතෙහි ධර්ම වර්ග දෙකකට අයිති කුමක් හෝ සංවිධානය වෙනව. ප්‍රතිලාභයක් පතාගෙන හෝ යටින් ලෝභ සිතක් ඇතිව හෝ දෙන දීමක දී ඇතිවෙන්නේ අහිතකර අධර්මයක්. ලෝභය, ආශාව නැති කර ගැනීමේ හෝ තුනී කර ගැනීමේ චේතනාවක් ඇතිව දෙන දීමකදී සිදුවන්නේ කුසලධර්ම දානයක්.

බුදුරජාණන් වහන්සේ මේ දෙක පිළිබඳ තවත් විග්‍රහයක් කරනව. දානය, සංවිභාගය, අනුග්‍රහය කියල උන්වහන්සේ මේ දානය කියන ක්‍රියාව තුන් විදිහකට බෙදනව. යම් පුද්ගලයකුට ධර්ම, අධර්ම හෙවත් කුසල ධර්ම, අකුසල ධර්ම කියන මේ දෙකෙන් ඕනෑම එකක් දෙන්න පුළුවන්. හැබැයි ගන්න පුද්ගලයා ඒ විදිහට ගන්නව නම්, ගැනීමේත් මෙතැන වෙනසක් තියෙනවා. තමන් තවත් කෙනෙකු දිහා රවල ඔරවල බැලුවොත් අර පුද්ගලයාගේ සන්තානයෙහි කේන්තියක් ඇතිවන්න පුළුවන්. සිත දූෂණය වෙන්න පුළුවන්. සිතට රිදුමක් ඇතිවන්න පුළුවන්. එතකොට මොකක්ද වුණේ? අර ආමිසය කියන ඇස මගින් අර පුද්ගලයාගේ ජීවිතයට නරක ධර්මයක් දුන්න. දුක් විඳින ධර්මයක් දුන්න. අර තැනැත්තා ඒක ගත්ත. ගන්න කෙනෙකුට මිස නොගන්න කෙනෙකුට යමක් දෙන්න බැහැ. අව්‍යාකෘත ස්වරූපයෙන් සිත තියෙන රහත් කෙනෙකුට ඔය මොනවත් දෙන්න බැහැ. කුසලා ධම්මා, අකුසලා ධම්මා කියන කිසිවක් රහතන් වහන්සේ පිළිගන්නේ නැහැ. ඒ දෙකටම වඩා උසස් ධර්මයක් උන්වහන්සේ ළඟ තියෙනව. ඒ නිසා උන්වහන්සේට අප පරාදයි.

ගන්නට කෙනෙක් ඉන්නව නම් අකුසල ධර්ම වුණත් දෙන්න පුළුවන්. මෙහිදී ද්‍රව්‍යමය යමක් දෙනව නොවෙයි. යමක් දෙන විට එය ලබන තැනැත්තාගේ සන්තානයේ ඒ දීමේ ධර්ම ස්වරූපය සම්පූර්ණ වන ආකාරයයි මෙතැන කීවේ. දෙන තැනැත්තා ළඟ තිබුණ දෙයක් දෙනවා නොවුනාට අරගන්නට සලස්වනව. කවුරු හරි කපල තියෙන වළක් ඉදිරියෙන් යන්න කෙනෙක් එනව කියල හිතමු. වළ ළඟින් එන කොටම තව කෙනෙක් ඛ්යනව අර බලනවකො අර උඩ පියාඹන සතාගෙ හැටි කියල. එන තැනැත්තා එන ගමන් උඩ බලනකොටම වළේ වැටෙනව. දැන් මොකක්ද වුණේ? උඩ යන සතකුව පෙන්වපු තැනැත්තා අර වළේ වැටුණු කෙනාට දුන්නු දෙයක් නැහැ. අන්න ඒ වගේ් මේ කියාපු ධර්ම අපෙන් මොනවවත් දෙන්නෙ නැහැ. නමුත් ලබාගන්නට ඉඩ සැලැස්වීමත් දීමක්. ඒක එක ධර්ම දානයක්. වළේ වට්ටවල දුන්නෙ විනාශකාරි අධර්ම දානයක්.

යමෙක් තවත් කෙනකුගේ සන්තානයේ හොඳ මෛත්‍රී , කරුණා ආදී ගුණ අවදිවීමට උපකාරී වන යම් ක්‍රියාවක් කළා නම්, එතැන කුසල ධර්ම දානයකුයි වෙලා තියෙන්නෙ. මේ ආකාරයෙන් බලනකොට අප මුළු දවසෙම මේකට මැදිවෙලා ජීවත් වන බව තේරුම් ගන්න අපට අමාරු වන්නෙ නැහැ.

අපට අයිති යමක් කාට හරි දෙන්නයි අපි පුරුදු වෙලා ඉන්නෙ. දානය හැටියට අප තේරුම් අරන් ඉන්නෙත් ඒකයි. ඒක තමයි අපේ නොදත්කම උඩ අප ජීවත්වුණ කාල සීමාවේ තිබුණ දැනීම. නමුත් කාට හරි යහපත සලසන යම් යම් දේ උත්සාහයෙන් උපක්‍රම ශක්තියෙන් දුන්නොත් එවිට සිදුවන දානමය පුණ්‍ය කර්මය ආමිසයක් ම කරන්න කියල බුදුහාමුදුරුවො වදාරළ නැහැ. උන්වහන්සේ සෑම විටම ආමිසයට වඩා ධර්මය අගය කළා. ආහාර දානයක් දෙන කොටත් එය ලබන තැනැත්තාගේ සිතෙහි ද්වේශ මූලික පීඩාකාරී තත්ත්වයක් තිබුණානම් එය නැතිවෙලා යනව. එනම් ආහාරය උපකාර කර ගෙන එතෙක් තිබුණ දුකකින් නිදහස් වෙන්න ධර්ම ශක්තියක් එකතු කළා වෙනව. අන්න ඒ විදිහටයි බුදුහාමුදුරුවෝ අදහස් කළේ. එක්තරා කෙනෙක් කොහෙද බණකදී කියල තියෙනව එක තිරික්කලයක් දුන්නම තිරික්කල දහස් ගණනක් ලැබෙනව කියල. එහෙම වුනොත් ඒ මනුස්සයට පුදුම කරදරයක් නේද වෙන්නෙ? ඒවාගේ වැරැදි බාල අදහස් තමා අපට පැටවිලා තියෙන්නෙ. බුදුහාමුදුරුවො එහෙම ධර්මයක් දුන්නෙ නැහැ. පිරිසුදු බුදුදහම ලෝකයාගේ් ජීවිතය තුළට හරිහැටි කැව්වොත් අද සිදුවන බොහොමයක් වැරැදි නවතිනව. නමුත් අර විදිහේ වැරැදි අදහස් කවල සත්‍ය දහම තේරුම් ගන්න තියෙන ඉඩකඩ එක්තරා පිරිසක් වහල දැම්මා. දීමේ ක්‍රියාව විතරක් දාන ශබ්දයෙන් පෙන්නුව.යම් දෙයක් දුන්නම එය ලබාපු තැනැත්තාගේ සන්තානයෙහි කිසියම් සහනශීලි තත්ත්වයක් ඇතිකරවන, එසේ නැත්නම් පීඩාකාරී බවෙන් මුදවාලන චේතනාවක් දෙන තැනැත්තා තුළ ඇති කරගෙන දුන්නොත්, ඒකයි මෙතැන ධර්මදානය කීවේ. එහෙම නැතිව වෙලාවෙ හැටියට හරි ඉල්ලපු නිසා හරි, වැඩිපුර තියෙන නිසා හරි, අපතේ යයි කියල හරි දුන්නට ධර්මදානය වෙන්නෙ නැහැ. දෙන්නාත් ලබන්නාත් ‍ෙදන්නම සම්බන්ධ වන්න අවශ්‍ය බව මෙතන පේනව. අනිත් එක තමයි දෙන දේ, ලබන්නාට අවශ්‍ය උචිත දෙයක් වෙන්න ඕනෑ. පුංචි ළමයි තරුණ වැඩිහිටි අය ආදී වශයෙන් වයසට අනුවත් අවශ්‍යතාවල වෙනස්කම් තියෙනවා. සංඝයා වහන්සේට වෙනමයි. ඒවත් හිතන්න ඕනෑ. චේතනාව කර්මය යි කියල කීවේ. සෑම ආමිසයක් තුළින් ම ධර්මයක් සකස් කරගන්න පුළුවන්. ඒවා කුසල හෝ අකුසල වන්න පුළුවන්.

යම් දෙයක් අනුන්ගේ ජීවිතයට සැනසිල්ලක් දෙන්නට පාවිච්චි කෙරෙනව නම් ඒකට සංවිභාගය කියල කියනවා. අර එක්කෙනෙක් එක් තැනකදී ධර්ම දේශනාවක් කරන්න ගිහිල්ලා එයා මතක නැතිව බුලත් විටක් කාල දේශනාව කරන්න ලෑස්ති වෙනකොට කටේ කෙළ පිරිලා. බලනකොට පඬික්කමකුත් තිබිල නැහැ. මේක දැකපු දායකයෙක් ඉක්මණට පොල් කටුවක් ගෙනත් ඒ අපහසුකම මඟහරවා ගන්න ඉඩ සැලැස්සුවලු.

“අප සෑම කෙනෙක්ම පැවැත්ම අල්ලාගෙනයි ඉන්නෙ. පවතින්නෙ මොනවද? ධර්මයි. ඒ ධර්ම ගොනුවට ධර්ම ක්‍රියාකාරීත්වයට ධර්ම පවත්වා ගැනීමට තමයි අප මේ ජීවත්වෙනව කියන්නෙ. රූප කාම, ශබ්ද කාම, ගන්ධ කාම, රස කාම, පොට්ඨබ්බ කාම යන කාම වර්ග පහක් පවත්වාගෙන ඒවත් එක්කයි අප ජීවත් වෙන්නෙ. යම් කෙනෙක් සිතේ උපදින කැමැත්ත අත් හැරපු හැටියෙ ඒ පුද්ගලයා අර ධර්මත් එක්ක තිබුණ බැඳීම අත්හැරියා වෙනව. එතකොටයි සියලු කෙළෙස් නැසෙන්නෙ. ඒ නිසයි, ධර්ම දානය උතුම් කීවේ.”

ඉතින් අර දායකයා කළේ ලොකු උදව්වක්. සැනසිලිදායක ධර්මයක් හාමුදුරුවන්ට දුන්නා. අන්න ඒකයි මෙතැන සංවිභාගය කියන්නේ. ලෙඩින් ඉන්න කෙනෙකුට ප්‍රතිකාරයක් ගන්න යන්නට වාහනයක් දීල උදව් කළොත් එතැනත් තියෙන්නෙ සංවිභාගය. ලෙඩාට වාහනය දන් දුන්නද? නැහැ. ආමිස වස්තුව මගින් කෙනකුගේ අසහනය පීඩනය ඉවත් කරන්නේ නම් හා එසේ ඉවත් කරන චේතනාව ඇතිව දුන්නොත් එතැන සිදුවන්නේ කුසල ධර්ම දානයක්.

‘සබ්බ දානං ධම්ම දානං ජිනාති’ කියල බුදුන් වහන්සේ වදාළ. අප සෑම කෙනෙක්ම පැවැත්ම අල්ලාගෙනයි ඉන්නෙ. පවතින්නෙ මොනවද? ධර්මයි. ඒ ධර්ම ගොනුවට ධර්ම ක්‍රියාකාරීත්වයට ධර්ම පවත්වා ගැනීමට තමයි අප මේ ජීවත්වෙනව කියන්නෙ. රූප කාම, ශබ්ද කාම, ගන්ධ කාම, රස කාම, පොට්ඨබ්බ කාම යන කාම වර්ග පහක් පවත්වාගෙන ඒවත් එක්කයි අප ජීවත් වෙන්නෙ. යම් කෙනෙක් සිතේ උපදින කැමැත්ත අත් හැරපු හැටියෙ ඒ පුද්ගලයා අර ධර්මත් එක්ක තිබුණ බැඳීම අත්හැරියා වෙනව. එතකොටයි සියලු කෙළෙස් නැසෙන්නෙ. ඒ නිසයි, ධර්ම දානය උතුම් කීවේ. අනෙකුත් සියලු දාන කෑලි කෑලි දෙනවට වඩා හොඳයි සම්පූර්ණයෙන්ම තමාගේ් සිත බැඳී තිබෙන ධර්ම පහ අත් හරින එක. ඒක අත්හැරීමම ධර්මයත් එක්ක තිබුණු බැඳීමෙන් මිදීමක්.

ධර්ම දානයෙන් තමයි ඒ අත්හැරීම සපුරා ගන්න පුළුවන් වන්නේ. හැම ආමිසයක් තුළින්ම ධර්ම දානයක් සිද්ධ වෙනව. ඒක හොඳ පැත්තට හරව ගන්න අප කල්පනාකාරී වන්න ඕනෑ. මේක දිගටම පුරුදු කරනකොට අපේ සිතේ රුදුරු ගති ටිකෙන් ටික පහවෙනව. අල්ලාගැනීම් වලින් ක්‍රමයෙන් මිදෙනව. ආමිසයක් එක්ක ඇතිවෙන සිත, ආමිසයේ නොයෙදෙන විට නැතිවන්න පුළුවන්. නමුත් අර විදිහට පුරුදුවෙලා නිරාමිස වුණාම ආමිසය තිබුණත් නැතත් ඇලීම් වලින් තොර ගතිය දිගටම පවතිනවා. සංවිභාගයට දිගටම වැටුණාම ඇතිවන තත්ත්වය ඒකයි.

යමක් දෙනකොටත් ඒක කරන්නට ඕනෑ පුද්ගල භේදයට, අවස්ථාවට උචිත විදිහටයි. දිය යුත්තේ මෙහෙමයි කියල හිතල දෙන එකේ ලොකු අගයක් තියෙනව. දාන සංවිභාගයේ ස්වරූපය ඒකයි. ලබන්නාගේ මානසික තත්ත්වයත් බලන්න ඕනෑ. ඊළඟට මෙහෙමත් හිතෙන්ඩ පුළුවන්. අසවලාට යමක් දීමෙන් මං කරගත්තෙ මෝඩකමක්. එයා ඒක පාවිච්චි කරනව හරි නැහැ. දුන්නු දේ තමන්ට ඕනෑ විදිහට පාවිච්චි කරන්න ඕනෑ කියල දීලත් කම්පාවට පත් වෙනවා. තරහ ගන්නව. එතකොට මොකද වෙන්නෙ? අයිතිය අත හැරීමක්ද? නැහැ. එතැන සංවිභාගයක් නැහැ.

කෙනෙකුට උචිත දේ සරිලන දේ, තරාතිරමට ගැලපෙන දේ දුන්නත් ඒවා ලබන තැනැත්තා වැරැදි පිළිවෙත් අනුගමනය කරන්න පුළුවන්. මේව ගිහියන්ට මේව භික්ෂූන්ට අවශ්‍ය ඒව, එහෙම නැත්නම් ඒ කාටවත් අවශ්‍ය නැති ඒව කියල දැනගෙන දෙන්න ඕනෑ. භික්ෂූන්ට අවශ්‍ය වෙන්නෙ, සසර දුක් නිවා ගැනීමට ප්‍රතිපත්ති පිරීමට අවශ්‍ය සිව්පසය විතරයි. ඒ හතරෙන් එහාට ඕනෑ නැහැ කියල දායකය නොදැන ඉල්ලන ඉල්ලන දේ දුන්නහම එයාට වෙන්නෙ කරදරයක්. ඒ නිසා දායකයත් දැනගන්න ඕනෑ භික්ෂුවකට තැන තැන ගිහිල්ල බණ දේශනා කරන්න වාහනයක් ඕනෙයි කියල එකක් දුන්නයි කියල හිතන්න. ඒවයෙ යන්න භික්ෂූන්ට තහනමක් නැහැ. නමුත් එහෙම වුණොත් ඒ ඇත්තන්ට තමන් පත්වූ තත්ත්වයෙන් අපේක්ෂා කරන වැඩේ කරගන්න බැරිව යනව. නිදහසත් ලැබෙන්නේ නැහැ. ඒ නිදහස අර පරිත්‍යාගයෙන් විකෘති වෙලා යනව. ඒ ඇත්තෝ භික්ෂූත්වයට පත්වුණේ් ඊට වඩා උතුම් අපේක්ෂා ඇතිවයි. ඒ අදහසින් ගිය කෙනාට ඒ අපේක්ෂා ඉටුකරන්නට ඒක බධාවක් කරදරයක් වෙනවා.

ඊළගට දානයේ තියෙනව තව කොටසක් අනුග්‍රහය කියල. ඕනෑම කෙනකුට තියෙනව යම් මානසික මට්ටමක්. දානයක් ලබාපු තැනැත්තා එමගින් යම් සැනසීමක් ලැබුවා නම් ඒ සැනසිලිදායක තත්ත්වය උපකාර කරගෙන, දානය දුන් තැනැත්තාට එවැනි සත්කාරයයන් දිගින් දිගටම කරගෙන යන්නට අවවාද අනුශාසනා කිරීමෙන් අත්හැරීමේ පුරුද්ද බිඳ වැටෙන්නට නොදී එමගට යොමු කිරීමට කියනව අනුග්‍රහය කිරීම කියල. ඒ අනුග්‍රහය නිසා දායකයාට දිගින් දිගටම දාන කටයුතු කරන්නට අවශ්‍ය මානසික පෙළඹීමක් ලැබෙනව.

ඉතින් මේ දානය, සංවිභාගය, අනුග්‍රහය කියන අවස්ථා තුනේදීම මොකද වෙන්නෙ? නොම්මර දෙක, එක, බිංදුව කියන වර්ගවල වැලි කඩදාසිවලින් තමන්ගේ සිත ඔප මට්ටම් වෙනතුරු මැදගන්නව වාගේ වැඩක් වෙන්නෙ. බුදුහාමුදුරුවො පෙන්නනවා අර ඉස්සරවෙලාම දුන්නු ආමිස දාන මගින් සිතේ තද ගොරෝසු ගතිය මදිනව. සංවිභාගයෙන් ඊළඟට මට්ටම් වෙනව. අනුග්‍රහයෙන් ඔප දමනව. ඒ නිසා දෙන දේ හරියට සංවිධානය කරගෙන අනුන්ට දීමේ ක්‍රමය පළල් කරගෙන, සුදුසු උපක්‍රම යොදගෙන, අනුගමනය කළ යුතු ආකාරයයි. ක්‍රමයයි තමා දානය, සංවිභාගය, අනුග්‍රහය කියල තුනට බෙදුවෙ.

දැන් භාවනාව ගත්තහම, ඒකෙන් කෙරෙන්නේ සිත දියුණු කිරීම බව අප දන්නව. ඒ කීවේ අපේ සිතේ පවතින අප්‍රමාණ බැඳීම් වලින්, රුදුරු ස්වරූපවලින් මිදීමයි. ඒ අපේක්ෂාවන් සම්පූර්ණවන්නේ පෙර කී ඇලීම්වලින් මිදුණහමයි. එතෙක් අප ඉන්නේ දුක්විඳිමිනුයි. ඒ අපේක්ෂා ඉටුකර ගැනීම කරා එන්නට නම් දානය පෙරලාගන්නට ඕනෑ තමන්ට යහපතක් වන ආකාරයට. පවුලක සිටින සාමාජිකයෝ, එකිනෙකාට සැනසිල්ල දෙමින් ජීවත්වෙනව නම් ඒ පවුල කවරදාකවත් කරදරකාරී එකක් වන්නේ නැහැ. කාටවත් අභිවෘද්ධියක් ම වෙනව. දාන, සීල, භාවනා කියන තුනේදී මුලටම එන්නේ දානයයි. අර කියාපු විදිහට කුසල ධර්ම චේතනාව පුරුදු කර ගත්තම කය, වචනය, සංවර වෙලා සීල කොටසට ප්‍රවේශ වෙනව. එවිට භාවනා ප්‍රවේශයට පහසුවෙන් වැටෙනව. සෑම ආමිස දානයක්ම ධර්ම දානයක් කීවෙ ඒකයි. මේ ආකාරයෙන් බුදුන් වහන්සේ පෙන්වා දුන් විදිහට චේතනාව පිරිසුදු කරගෙන කුසල ධර්ම දානයක් වෙන විදිහට දන් දීමට පුරුදු වෙන්න ඕනෑ.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: