Posted by: lrrp | August 18, 2009

මට මෙතන ඉන්න බෑ දැවිල්ලයි පිච්චෙනවා

මේ මිනිස් ලොව ජීවත්ව මරණයට පත්වන මිනිසුන් ගෙන් බහුතරය දුගතියෙහි ම, සතර අපායෙහි ම උපදින බව දහමෙහි කියැවේ, වරක් එක්තරා භික්ෂුන් වහන්සේ නමක් භාග්‍යවතුන් වහන්සේ අමතා

“ස්වාමීනි, මේ මිනිස් ලොවෙන් මරණයට පත්වන මිනිසුන්ගෙන් කෙතරම් ප්‍රමාණයක් සුගතියේ උපදින්නේ දැ”යි ඇසූ කල්හි බුදුරජාණන් වහන්සේ පය මහ පටැඟිල්ලෙන් පස් ටිකක් ගෙන පෙන්වා “මේ මහ පොළොවෙහි පස් ප්‍රමාණය මුළු මිනිස් ගහණය වේ නම් එයින් සුගති ගාමී වන්නේ මෙන්න මේ තරම් වූ ඉතා සුළු ප්‍රමාණයකි” යි වදාළහ. සුගතියෙහි හෙවත් මිනිස් ලොවෙහි හෝ දිව්‍ය ලෝක සයෙන් එකක හෝ ඉපදිය හැක්කේ කෙනෙකු මරණාසන්න මොහොතෙහි ඔහුගේ චුති චිත්තයට ත්‍රිහේතුක කුසල චින්තයක් ම ආවර්ජනය වුවහොත් පමණි.

ත්‍රිහේතුක කුසල චිත්තය යනු තමන් විසින් කරන ලද ඒ කුසල කර්මයට ලෝභය, ද්වේෂය හෝ මෝහය යම් තරමකින් හෝ මිශ්‍ර වීමෙන් තොරව සද් භාවයෙන් ම, නුවණින් ම, එය ලබන්නාගේ යහපත සඳහා පමණක් ම කිසිදා ලාභාපේක්ෂාවකින්, කීර්ති ප්‍රශංසා දිය බලාපොරොත්තුවකින් තොරව කුසලයක් සිදු කරන විට පහළ වූ සිතයි. එවැනි කුසලයක් කෙනකු අතින් සිදු වනුයේ ඉතාමත් ම කලාතුරකිනි. ඒ නිසා ම මිනිස් භවයක් ලැබීම කණ කැස්බෑවෙකු විය සිදුරකින් අහස දැකීම හා සමාන යැ’ යි ඉතා දුර්ලභ අවස්ථාවක් ලෙස පෙන්වා දී තිබේ.

මිනිසුන් මිනිස් ලොව සිටිය දී කට්ට කපටි කෛරාටික තක්කඩිකම් කරන්නේ යම් සේ ද එවැන්නෝ අමනුෂ්‍ය භාවයන්හි ඉපදී දුක් විඳින අතරත් එවැනි කපටි කෛරාටික දුෂ්ටකම් කරති, ඒ බව මහාසමය සූත්‍රයේ විසිඅට වැනි ගාථාවෙනුත් පැහැදිලි වේ.

තේ සං මායාවිනෝදාසා ආගු වඤ්චනිකා සඨා

මායා කුටෙණ්ඩු වේටෙණ්ඩු විටුච්ච විටූඩෝ සහ

චන්දනෝ කාම සෙට්ඨෝ ච කින්නිගණ්ඩු නිගණ්ඩු ච

ඒ වරම් මහ රජුන් ගේ දාසයන් බවට ගියාවූ මායා ඇත්තා වූ, වංචා කරන්නා වූ, කෛරාටික වූ, මායා කාර වූ කුටෙණ්ඩු ය, වේටෙණ්ඩු ය, විටූච්ච ය යන මොහු ද ඔවුන් සමඟ විටූඩ තෙමේ ද පැමිණියේ ය.

චන්දනය, කාම සෙට්ඨ ය, කින්නිගණ්ඩු ය, තිගණ්ඩු ය යන නම් ඇති දාසයෝ ද පැමිණියාහු ය.

ධූතරට්ඨය, විරූඪ ය, විරූපාක්ෂය, වෛශ්‍රවණය යන සතර වරම් දෙවි රජවරුන් බුදු රජාණන් වහන්සේ බැහැ දැකීමට පැමිණි අවස්ථාවේ ඒ සමාගමයට එම නම් ඇති කට්ට කපටි කෛරාටික, වංචනික දාසයෝත් පැමිණියේ නම් එවැන්නෝ සාමාන්‍ය මිනිසුන්ගේ ගෙවල් දොරවල් තුළට රිංගා ගැනීම පුදුමයක් නොවේ.

ජයවර්ධනපුර කෝට්ටේ නව පාර්ලිමේන්තු සංකීර්ණය ගොඩ නඟද්දී එම ඉඩම්වල විසූවන් ඉවත් කර රජයෙන් නුගේගොඩ ප්‍රදේශයෙන් ඉඩම් දී පදිංචි කළහ. එයින් එක් පවුලක සාමාජිකයෝ සතර දෙනෙක් වුසූහ. අම්මාත් පුතාත්, ලේලිත්, මුණුපුරාත් ඒ සතර දෙනා ය.

පුතා පොලිස් නිලධාරියෙකි, මේ පුතා සෑම දිනකම සේවය අවසන් වී එන අතරමඟ දී සුරාපානය කොට ගෙදරට එන්නේ හොඳට ම බීමත් ව ය. බීමත්ව පැමිණෙනවා මදිවාට නිවසේ බඩු මුට්ටු පොළොවේ ගසා කඩා බිඳ දමමින් මවට ද පහර දෙයි. බිරියට ද පහර දෙයි. මේ කලකෝලාහල කන් කරච්චලය නිසා දරුවාගේ අධ්‍යාපනයට ද මහත් අවුලක් කරදරයක් වී ඇත.

තමාගේ එක ම පුතා හදා වඩා උගන්වා පොලිස් නිලධාරියකු කොට, නීතිය හා සාමය රකින රාජකාරියේ යෙදෙන්නකු බවට පත් කොට මවක විසින් විඳිය යුතු සතුට සැනසුම අහිමි වූ අම්මා නිතර දුකෙත් සුසුමෙන් ම කල් ගෙව්වා ය. මේ ගැන ම සිතා ජීවිතයේ අපර භාගයේ සැනසිල්ලේ සිටිනවා වෙනුවට පුතාගෙන් දිනපතා හැන්දෑවට පහර කෑමට සිදුවීම නිසා මේ අහිංසක වයස් ගත අම්මා රෝගාතුර වූවා ය. විවිධ ප්‍රතිකාර ලැබූව ද සුවයක් නොවී ය. අවසානයේ ඇය ප්‍රතිකාර ගැනීමට නාවින්න ආයුර්වේද රෝහලට ගියා ය.

නාවින්න ආයුර්වේද රෝහලේ දී ඇය පරීක්ෂා කළ වෛද්‍යවරිය ඇගේ ශාරීරික දුර්වලකමට කිහිප වතාවක් ම ප්‍රතිකාර කළා ය. මාස කීපයක් ප්‍රතිකාර කළත් මේ මවගේ කිසි වෙනසක් නුදුටු වෛද්‍යවරිය “අම්මේ මට පෙනෙන විදියට මේක නම් ලෙඩක් නොවෙයි. දැනට සිදු කළ ප්‍රතිකාරවල හැටියට යම්තමින්වත් වෙනසක් දකින්න නැහැ. අම්මා අතුරුගිරියේ විපස්සනා භාවනා මධ්‍යස්ථානයට යන්න. එතැන නායක හාමුදුරුවෝ ගස්නාවේ ඤාණානන්ද හාමුදුරුවෝ. උන්වහන්සේ මුදල් අය කරන්නේ නැහැ. ගිහින් අම්මා ගේ මේ රෝග තත්ත්වය උන් වහන්සේට පැහැදිලි කරන්න. උන් වහන්සේ සුදුසු පිළිවෙතක් කියාවි” යි උපදෙස් දුන්නා ය.

ඒ අනුව ඇය තම පුතා සහ ලේලිය සමඟ ඤාණානන්ද නාහිමියන් හමු වීමට ගියාය. නාහිමියෝ මුදල් අය නොකරන නිසා විහාරස්ථානයකට ප්‍රයෝජනවත් සීනි, තේ කොළ, කිරි පිටි වැනි ගිලන්පස උපකරණ හා බුලත් හුරුල්ලක් ද පිළිගන්වා තමන් ගේ දුක් ගැනවිල්ල, අසනීපය ගැන කීවා ය. වෛද්‍ය ප්‍රතිකාරවලින් සුවයක් නොලද බැවින් මෙහි පැමිණි බව ද කීවා ය.

එහිදී නාහිමියෝ මෙම කාන්තාවට සෙත් පිරිත් පාඨයකින් ආශිර්වාද ;කාට එතැන ම හිඳගෙන භාවනා කරන ලෙස සරල බුද්ධානුස්සති භාවනාවක් කියා දුන්හ. එය පළමු වතාවට උච්චාරණය කරන විට ම ඇගේ සම්පූර්ණ ස්වරූපය වෙනස් වී හඬන්නට වූවාය.

“බෑ… බෑ… මට යන්න ඕනෑ. මට ඕවා ඕනෑ නෑ. මට යන්න ඕනෑ. ළමයිනේ අපි යමු යන්න” යැයි හඬා වැළපෙන්නට වූවා ය.

“හා… හා… මෙතැන තෙරුවන් බල පිහිටපු ස්ථානයක්. දඟලන්න බෑ. විකාර කරන්න බෑ. සංසාරෙ කරපු පව් මදිවාට තවත් පාප කර්ම කර ගන්න ද හදන්නේ. කව්ද මේ ඇත්තිගෙ ඇඟට රිංගලා මේ හිරිහැර කරන්නේ. කතා කරමු බලන්න” යැයි නාහිමියෝ කීහ.

“බෑ… බෑ… මට මෙතන ඉන්න බෑ. දැවිල්ලයි, මාව පිච්චෙනවා. මට යන්න ඕනෑ” ඇය නැවතත් හඬන්නට වූවා ය.

“ඔව්! යන්න පුළුවන්. හැබැයි ඊට කලින් මේ අමනුෂ්‍යයා කව්ද? කියලා කියන්න ඕනෑ”

“බෑ… බෑ… මම කියන්නේ නෑ”

“ඇයි කියන්නෙ නැත්තේ?”

“බෑ… බෑ… කියන්නේ නෑ”

“එහෙම ද එහෙම නම් වෛශ්‍රවන දෙවියන්ට අපි කතා කරනවා”

“එපා… එපා… වෙසමුණි රජ්ජුරුවන්ට කියන්න එපා”

“එහෙම නම් කතා කරමු බලන්න. කව්ද මේ ඇත්තිගෙ ශරීරයට රිංගා ගෙන ඉන්නේ?”

ඇය බියෙන් වට පිට බලයි. කතා කරන්නට මැළිකමක් දක්වයි.

“හ්ම්… හ්ම්… ඉක්මනින්”

“මේ දෙන්නව ඈතට යවන්න. මේ දෙන්නට ඇහෙන්න කියන්න බැරි රහසක් තියෙනවා.”

“හා… හොඳයි… ඔය මහත්තයයි නෝනයි මේ කතාව නෑහෙන දුරකට යන්නැ” යි හාමුදුරුවෝ ඇගේ පුතාත් ලේලියත් තරමක් ඈතට යැවූහ.

“අන්න ඒ දෙන්නා ගියා. දැන් කියමු බලන්න…”

“අනේ! හාමුදුරුවනේ! මම අල්ලපු ගෙදර කුසුමාවතී”

“ඇයි? කුසුමාවතී මේ අහිංසක ඇත්තිගෙ ඇඟට රිංගලා හිරිහැර කරන්නේ.”

“හාමුදුරුවනේ! මම ජීවත්ව ඉන්දැද්දි හරියට දුක්වින්දා. මගේ මිනිහා හැමදාම රෑට බීගෙන ඇවිත් මට තඩි බානවා. එක දවසක් නෑර මට ගුටි බැට දුන්නා. සිංහල අවුරුද්ද දවසෙත් වෙසක් පෝය දවසෙත් කියලා නෑ. මට හැමදාම දුක් දුන්නා. අල්ලපු ගෙදර හිටපු මුං හරි සන්තෝසෙන් ජීවත් වුණා.

රෑට ටී.වී. දාගෙන කැකිරි පළනවා. පොලිස් කාරයා හැමදාම හවසට ලොකු ලොකු බඩු මළු ගෙනැත් ගෑණිගෙ අතට දෙනවා. ඉතින් මට ඒවා බලන් ඉන්න බැරි තරම් ඊර්ෂ්‍යා හිතුණා. අපි දුක් විඳිනවා. මුං සමගියෙන් කාල බීලා සැප විඳිනවා.

ඔය අතරෙ අපේ මිනිහගෙන් ගුටි කාලාම අසනීප වෙලා මම මැරුණා. මැරිලත් ඒ ගෙදර ම ප්‍රේතියක්ව උපන්නා. මුං තවමත් සමගියෙන් සැප විඳිනවා. බලන් ඉන්න බැරි තැන මම මේ ගෑනිගෙ ඇඟට රිංගුවා. හවසට පොලිස් කාරයගෙ ඔලුවට අදහස් දීලා බොන්න යවනවා. ඌ බීලා ඇවිත් අම්මටයි ගෑනිටයි ගහනවා. මට හරිම සන්තෝසයි. මුං ගුටි කාලා අඬා වැලපෙනවා දකින කොට.”

“මොනවාද කුසුමාවතී මේ කරන්නේ. සංසාරෙ කරපු පාප කර්මවලට දුක් විඳල මැරිලා දැන් ප්‍රේත ආත්මයක දුක් විඳිනවා මදිවාට මෙහෙම ඉඳගෙනත් අනුන්ට හිරිහැර කරනවා. තමුන්ට ඔය කරන අපරාධය නිසා ඔය ප්‍රේත ආත්මයෙන් යන්න වෙන්නේ අවීචි මහ නිරයට. එතැනට ගිහින් කල්ප කාලාන්තරයක් ගින්නෙන් දැවි දැවී දුක් විඳින්නයි වෙන්නේ. ඒ හින්දා දැන්වත් ඔය ඊර්ෂ්‍යාව අතහැරලා ඔය පෙරේත ආත්මයෙන් නිදහස් වෙන්න හිතන්න.”

“හොඳයි හාමුදුරුවනේ! හැබැයි මේ රහස, මම කුසුමාවතී බව පොලිස්කාරයාට නම් කියන්න එපා. ගෙදර ගිහින් අපේ ගෙදර දරුවන්ට හිරිහැර කරාවි. ගුටි කෙළ ගනීවි. උඹලාගේ අම්මා අපේ අම්මගෙ ඇඟට රිංගලයි කියලා.”

“හොඳයි! කුසුමාවතී, දැන් මේ ඇත්තිව අතහැරලා යන්න ඕනෑ. හොඳ තැනකට යන්න ඕනෑ.”

“අනේ! හාමුදුරුවනේ! එහෙනම් මට පින් දෙන්න කියන්න. මම පින් අරගෙන හොඳ තැනකට යන්නම්” යැයි කියා ප්‍රේතිය ඇගේ ශරීරයෙන් ඉවත්ව ගියා ය. එයින් එම කාන්තාව සුවපත් වූවා ය.

එහෙත් ඊළඟ සතියේ එම කාන්තාවගේ ලේලිය අසනීප වී ඤාණානන්ද නාහිමියන් වෙත කැඳවා ගෙන ආවා ය. ඇගේ අසනීපය ගැන සාකච්ඡා කොට ඇය තුළට රිංගා සිටි අමනුෂ්‍යාත්මය කතා කැර වූහ.

“මොකක්ද කුසුමාවතී මේ කරන කරදරය. එදා මෙතැනදි පොරොන්දු වී ගිහින් අම්මගෙ ඇඟෙන් ඉවත් වෙලා ලේලිගේ ඇඟට රිංගුවා නේද? දැන් නම් ඉතින් අපිත් හොඳින් බැරි නම් නරකින් තමයි. කරුණාවෙන් යහපත් තැනකට යවන්න හැදුවා ම අපිව රවටන්න හදනවා. මළ ප්‍රේතිය! උඹව වෛශ්‍රවන දෙවියන්ගේ සේනාවට බාර දෙනවා” යි නාහිමියෝ තදින් පැවසූහ.

“අනේ හාමුදුරුවනේ, සමාවෙන්න. මම යනවා, මම යනවා, සත්තයි, සහතිකයි.” කියා පිරිත් පොතේ අත ගසා දිවුරා ලේලියගේ ශරීරයෙන් ද ඉවත්ව ගියා ය.

ප්‍රේතිය එතැනින් නැවතුණේ ද නැත. ඉන් පසු ඇගේ ම ගෙදරට ගොස් ඇගේ ම පුතා ගේ බිරියගේ ශරීරයට ඇතුළු වී හිරිහැර කරන්නට වූවා ය. ඇගේ දරුවෝ ද අතුරුගිරියේ විපස්සනා භාවනා මධ්‍යස්ථානයට පැමිණ නාහිමියන්ගේ උපදෙස් පරිදි දානමානාදියෙන් පින් අනුමෝදන් කොට ප්‍රේතිය අනුරාධපුරයට යැවූහ.

ඊර්ෂ්‍යාවක තරම!


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: