Posted by: lrrp | August 26, 2009

දේපළ තණ්හාවට නංගී අයියාට වින කරලා

ේපළ පිළිබඳ තණ්හාව හටගත් විට, එක ම බඩවැල කඩා ගෙන ආ, එක ම අම්මා ගේ කිරි බී වැඩුණු සහෝදරයින් අතර පවා සහෝදරකම අමතක වී යයි. සහෝදරයාට හෝ සහෝදරියට උරුම වෙන්නට නියමිත ඉඩකඩම් දේපොළ තමන් සතු කැර ගැනීමේ බලවත් තණ්හාව නිසා සහෝදරයා හෝ සහෝදරියගේ ජීවිතය නැති කිරීමට අන වින හදි හූනියම් කිරීමට කටයුතු කරති. පවුල් අවුල් කැර විනාශ කැර දැමීමට කටයුතු කරති.

එසේ සිදු කරන අකුසල කර්මයේ ආදීනවය තමන් කරා කවදා හෝ ආපසු එන බව නොදැන, අවසානයේ නිරා දුක් විඳීමට සිදුවන බව නොසිතා කටයුතු කරති, විශේෂයෙන් ම බෞද්ධයන් යැයි කියා ගන්නා බොහෝ දෙනා පවා මව් පිය උරුමයෙන් පවතින ඉඩ කඩම් දේපොළ “මට ම ය, මගේ දරුවන්ට ම යැ”යි දැඩි තණ්හාව උපදවා ගැනීම නිසා යුක්තිය, සාධාරණය, පව පින, කර්මය හා කර්ම විපාකය පිළිබඳ සිතුවිලි යටපත් කොට අනුන් විනාශ කොට තමන් පමණක් පන්දහස් පන්සියයක් කල් ජීවත්වන්නමෝ යැයි සිතා කටයුතු කරති.

ශිරානි සමන් සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇති කැර ගත්තේ පාසල් වියේ දී ම ය. මෙය දෙපාර්ශවයේ ම වැඩිහිටියෝ ද දැන ගත් අතර පවුල් දෙක අතර සම්බන්ධකම් ද, ඇයි හොඳයි කම් ද ගොඩ නැගිණ. නිසි වයස් එළඹෙන විට මේ දෙදෙනා විවාහයට ද සූදානම් වූහ. සමන් ගේ විවාහයට පෙර සමන් ගේ නැඟණිය සිතාරා ගේ විවාහය සිදු කැරිණි. ඉන් පසුවය ශිරානි සමඟ සමන් විවාහ වූයේ.

සමන් ගේත් ශිරානිගේත් පවුල්වලට ඉතා ම සමීප ඥාතීන් ගණනාවක් ම ඩුබායි රටේ පදිංචිව රැකියාවල නිරතව විසූ බැවින් මේ දෙදෙනා ද විවාහයෙන් පසු ඩුබායි බලා යෑමට කටයුතු සැලසුම් කළහ.

විවාහය සිදුවූ දා සිට ම ශිරානි තුළ සමන් කෙරෙහි අප්‍රසන්නතාවයක් ගොඩ නැඟෙන්නට වීය. එහෙත් ඇය ඒ බව නොපෙන්වා සිටීමට වග බලා ගත්තාය. සමන් ගේ කතා බහෙන් ඇසුරෙන් ශිරානිගේ සිතට සතුටක් ලැබුණේ නැත. ඔවුන් දෙදෙනා විදේශ ගතවීමට කටයුතු කළ ද එයට ද බොහෝ බාධා එළැඹිණි. මේ අතර ශිරානි ආගමික කටයුතුවල ද යෙදෙමින් තම පවුල් ජීවිතයට යහපත පැතුවා ය. කෙසේ හෝ මේ දෙදෙනා විදේශ ගත වූ අතර සමන් රැකියාවක නිරත වීය. සමන් ගේ පියා ද මේ වනවිට ඩුබායි රටේ ප්‍රසිද්ධ රැකියා ආයතනයක කළමනාකරුවකු ලෙස කටයුතු කළේ ය. මේ දෙදෙනා ජීවත් වූයේ ද වැඩිහිටි ඥාතිවරියක ගේ නිවසක ම ය.

රාත්‍රියට දත් විලිස්සා ගත් හැඩි දැඩි පුද්ගලයකු ශිරානිගේ ගෙල සිර කරයි. සිරුර තද වී පීඩාවකට පත් වන බව ඇයට දැනෙයි. මේ වනවිට සමන් තද නින්දකට පත්ව සිටී. ඇත්තටම එය නින්ද යෑමක් නොව තදින් නින්දට පත් කිරීමක් බව ශිරානි පවසන්නීය. ඇයට කෑම අරුචිය තද හිසරදය වැළඳෙයි.

වෛද්‍ය ප්‍රතිකාර කළ ද කිසිදු සුවයක් ලැබුණේ නැත. ඇය පදිංචිව සිටි නිවසේ ලොකු අම්මා ද පැවසුවේ මීට වසර ගණනාවකට පෙර තමන්ට ද මෙවැනි ම පීඩාවක් සිදුවූ බව යි. ඒ නිසා ම ඇය ද ලංකාව අතහැර ඩුබායි හි පදිංචි වූවා ය. ආපසු පැමිණ ප්‍රතිකාර හා පිළිවෙත් කැර ගැනීමේ අදහසින් ශිරානි ශ්‍රී ලංකාවට පැමිණියාය.

ඇය ලංකාවට පැමිණ තම මව්පියන් ගේ නිවසේ පදිංචිව ප්‍රතිකාර ගත්තා ය. කොළඹ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකින් එක් වරකට රුපියල් 5000 – 6000 විය පැහැදම් කරමින් ප්‍රතිකාර ලැබූව ද සුවයක් නොවීය. නිවස වටා ගෙජ්ජි සද්ද, ගේ වටා යමකු ඇවිදින අඩි සද්ද, කුණු ගඳ, සිගරට් ගඳ, බුලත් හප ගඳ ඇයට දැනුණා ය. මේවා ඇගේ මවට ද ඇසෙන්නටත් දැනෙන්නටත් විය. මේ උපද්‍රව හිරිහැරවලින් මිදීමට රුපියල් දහස් ගණනින් වියදම් කැර යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ද කැරවූහ. එහෙත් ඒවා ද නිෂ්ඵල විය.

දිනක් දහවල් දොළහට පමණ ඇයට තද නිදිමතක් දැනී නින්දට ගියා ය. ඇඳට ගිය සැණින් ඇගේ දෙනෙත් පියවී ගියේ ය. කව්දෝ ඇගේ සිරුර හිර කරනා බවක් දැනිණි. වේදනාව උහුලා ගත නොහැකිව දහදිය දමන්නට විය. ඉන් ටික වේලාවකට පසු ඇයට කවුදෝ පවන් සලන බවක් දැනිණි. තමන්ට පවන් සලන්නේ කව්දැයි දැක ගන්නට ඇති වුවමනාව නිසා දෙනෙත් හැර බලන්නට උත්සාහ කළත් ඇස් දෙක ගම් ගා අලවා ඇති සෙයක් ඇයට දැනිණි.

මේ සියල්ල ඇගේ ස්වාමි පුරුෂයාගේ ගෙදර අය පිළිගන්නේ නැත. ඇය බොරු කරනවා යැයි කීහ. දිනක් ඇය බලන්නට ආ ඥාතියෙකු ගේ සාක්කුවේ තිබුණු මුදල් පසුම්බිය පවා එළියට ඇද දැමීමට මේ අමනුස්සයා ක්‍රියා කළේ ය. කැසට් යන්ත්‍රයෙන් පිරිත් දැමූ විට තත්ත්වය තවත් දරුණු විය.

ලංකාවට පැමිණිය ද සුවයක් නොලද බැවින් ඇගේ ස්වාමි පුරුෂයා නැවතත් රුපියල් ලක්ෂ 1 1/2 ක් වියදම් කොට ඇය ආපසු ඩුබායි රටට ගෙන්වා ගත්තේ ය. එහිදී ඉන්දියානු ඇඳුරෙකු සොයා ගියහ. ඒ ඇදුරා ඇය දෙස බලා ඉතා පිළිකුළෙන්.

“උඹ මහා ජරා ගොඩක්, බලන්නත් බැරි තරම් පිළිකුළය” කියා ඉවත බලාගෙන අවශ්‍ය පිළිවෙත් කළේ ය. එයින් ද පලක් නොවීය. ඊළඟට භද්‍රකාලි මෑණියන්ගේ දේවාලයකට ගියා ය. ඇය දේවාලයට ගොස් භද්‍රකාලී මෑණියන් අමතා අඬා වැළපී තම දුක කීවාය. එම දේවාලය ඉදිරියේ භාජනයක ගින්නක් දල්වා ඇති අතර ඊට කපුරු හා සුවඳ ද්‍රව්‍ය දැමීම සිරිතකි.

දේවගැතිවරයා ශිරානිගේ සිරුරට දෑත් දිගු කොට ඇගේ වස් දොස් ඇද ගිනි බඳුනට දමන ලෙසින් අභිනයෙන් එසේ කළේ ය. එහෙත් ඔහුට ඇය ළඟට සමීපවීමට නොහැකි වන පරිදි යමෙක් ඔහු පිටුපසට තල්ලු කරන ගතියක් ඇති වීය. ඇගේ නළලත පොට්ටු තබන්නට පවා ඔහුට නොහැකි වීය. ඔහු පසුපසට තල්ලු කරන ශක්තියක් ක්‍රියාත්මක වීය.

“උඹට විනයක් කරලා. දේපොළ තණ්හාවෙන් තමයි එහෙම කර තියෙන්නේ. උඹ ලංකාවට යන්න එපා. උන් උඹට හිනාවෙන්න බලා ඉන්නවා. උඹේ පවුල් ජීවිතය විනාශ කරන්නයි උඹට මේ විනය කර තියෙන්නේ” යි එතැනින් කියැවිණි.

ඒ පිළිවෙත් කළත් එදින නිවසට ගිය සැටියේ ඇයට සිය සැමියාට පහර දෙන්නට තරම් කේන්තියක් හට ගැනිණ. එහෙත් එය ඉතා අමාරුවෙන් ඉවසා දරා ගත්තාය. එදින රාත්‍රි භූතයා ඇයට තදබල ලෙස හිරිහැර කළේ ය. ස්වාමි පුරුෂයාට කතා කළ ද ඔහුගේ අතින් ඇද කීද්දුව ද ඔහු අවදි නොවන තරම් තද නින්දකට පත් කොට තිබිණි. එදින භූතයා ඇගේ ගෙල මිරිකා පීඩා කළ දරුණුකම උදේ බලන විට බෙල්ලෙ නියපොතු පහරවල් හා ඉදිමුව දැකගන්නට පවා තිබිණි.

පසු දින ඇගේ ඥාතිවරියක් විවාහ වී සිටි මුස්ලිම් ජාතිකයෙක් ඇය බලන්නට පැමිණ ඇය ඉදිරියේ කුරාණය කියවන්නට පටන් ගත්තේ ය. ඒ හා සමඟ ම ඇගේ බෙල්ල මිරිකා පීඩ කරන බවක් ඇයට දැනිණි. මේ වනවිට ඩුබායි රටේ පදිංචිව සිටි මේ පවුලට සම්බන්ධ අට දෙනා ට ම වරින් වර භූතයා පීඩා කරන්නට වීය.

“දැන් ඉතින් කරන්න තියෙන හැම දේමත් කළා. ලක්ෂ ගණනක් වියදම් කළා. ඔයා ආයෙත් ලංකාවට ගිහින් බුදු ගුණයෙන්වත් පිළිවෙත් කැර බලන්න” යැයි සමන් ශිරානිට යෝජනා කර ඇය නැවතත් ලංකාවට එවුවේ ය. ඇය ඩුබායි රටෙන් පිට වූ පසු එහි සිටින ඥාතීන් අට දෙනාට භූතයාගෙන් සිදු වෙමින් පැවතුණු හිරිහැර නතර විය.

ශිරානි නැවත ලංකාවට පැමිණි පසු යළිත් ඇගේ නිවසේ සිගරට් ගඳ, බුලත් හප ගඳ, ගෙජ්ජි සද්ද, අඩි සද්ද ඇහෙන්නට පටන් ගත්තේ ය. ගෙල සිර කරන්නට ඇඟ තද කරන්නට පටන් ගත්තේ ය. මේ අතර ‘සිළුමිණ’ පත්‍රයේ පළවන ‘පියවි ඇසින් ඔබ්බට’ ලිපි පෙළ කියවා සිටි ශිරානිගේ මව ඇය ඒ පිළිබඳ යොමු කළාය. ඒ අනුව ශිරානි පවුලේ අය සමඟ අතුරුගිරිය විපස්සනා භාවනා මධ්‍යස්ථානයට පැමිණ ගස්නාවේ ඥානානන්ද හිමියන් මුණ ගැසී තම දුක් ගැනවිල්ල කීවාය. උන්වහන්සේ ඇයට සරල භාවනාවක් කරන ලෙස උපදෙස් දී පිරිත් සූත්‍ර පාඨයක් දේශනා කරමින් ආශිර්වාද කළහ. ශිරානි හිටි හැටියේ ප්‍රලය වූවාය.

“අනේ! හාමුදුරුවනේ! පිරිත් කියන්න එපා… මට උහුලන්න බෑ. මාව පිච්චෙනවා වගෙයි. පිරිත් නම් කියන්න එපා.”

“ඉතින් එහෙනම් ඇයි? මේ ළමයාට හිරිහැර කරන්නේ?” යි නාහිමියෝ ඇසූහ.

“හාමුදුරුවනේ! මෙයාගෙ මනුස්සයාගේ නංගියි මස්සිනායි තමයි මේක කළේ. අහක හිටිය මාව තමයි ඒ බන්ධනේට හිරවුණේ. උන් දේපළ තණ්හාවෙන් මේ දෙන්නාගේ පවුල් ජීවිතේ කඩා කප්පල් කරන්නයි මේ වින බන්ධනය කළේ. මෙයාත් දේවාලවල ගිහින් මට හිරිහැර කරන කොට මම දරුණු වුණා.”

“තමුන් මනුස්ස ලෝකයේ ජීවත්ව ඉන්දැද්දී කරපු පාප කර්ම නිසා දැන් මළ යක්ෂයෙක් වී දුක් විඳිනවා. ඒ මදිවාට තවත් අනුන්ට හිරිහැර කැර නිරා දුක විඳින්න ද හදන්නේ. අපි තමුන්ට පින් දෙන්නම්. ඒ පින් අරගෙන ඔය මළ යක්ෂභාවයෙන් මිදී යහපත් තැනකට යන්න… ගිහින් පින්කම්වල සහභාගි වෙලා, බුද්ධ පූජාවනට අත ගසා පිනට දහමට හවුල් වී ඔය දුකෙන් මිදෙන්න උත්සාහ කරන්නැයි” හාමුදුරුවෝ අමනුස්සයාට උපදෙස් දුන්හ.

“අනේ! හාමුදුරුවනේ! ඔබ වහන්සේට පින් අයිති වෙනවා. මාව මේ දුකෙන් මුදවනවා නම්. මට සුගතියකට යන්න උදව් කරනවා නම්. මං යන්න කැමැතියි.”

මේ අනුව ඤාණානන්ද නාහිමියෝ ශිරානිට බෝධි පූජා 21 ක් පවත්වා දානයක් දී මේ අමනුස්ස භාවයේ සිටින මළ ගිය ඥාතියාට පින් අනුමෝදන් කොට පැමිණෙන ලෙස ද මස් මාළු කරවල බිත්තර පුළුටු භාවිතයෙන් වැළකී පිරිසුදුව මෛත්‍රී කරුණා සහගත සිතින් මේ කටයුතු ශ්‍රද්ධා බුද්ධි සම්පන්නව නොකඩවා සිදු කරන ලෙස ද උපදෙස් දුන්හ.

මේ වනවිට ඇය පිළිවෙත් ඉටු කරන්නට පටන් ගෙන මාසයක් පමණ ගත වී ඇති අතර දැන් ඇගේ සිරුරට අවිශ්ට වූ අමනුස්සයා ප්‍රලය වන්නේ නැත. ඉතුරු පිළිවෙත් අවසන් වූ වහාම නැවත ඩුබායි යෑමට සූදානමින් සිටී.

දේපළ ඉඩකඩම් ගෙවල් දොරවල් පිළිබඳ දැඩි තණ්හාවෙන් ඒ අනුන් සතු දේ තමන් සතු කැර ගැනීම සඳහා දුෂ්ට පාපී චේතනාවෙන් කටයුතු කිරීම බරපතල පාපයකි. තමන්ට උරුම දෙයට වඩා අනුන් සතු දෙය පිළිබඳ තණ්හාව පාපීන්ගේ ලක්ෂණයකි. තමන් උත්සාහයෙන් වීර්යයෙන් උපයා සපයා ගන්නවා වෙනුවට වැරදි උපාය මාර්ගවලින් දියුණුවන්නට, සම්පත් අයිති කැර ගන්නට මාන බලන උදවියගේ නරක කළ දසාව එළැඹි විට ඒ අකුසල විපාකයන් අනිවාර්යයෙන් කරත්තය පසුපස ගොනා එන්නා සේ තමන් පසුපස පැමිණේ. වේලාව පැමිණි විට ගොනා කරත්තකරුට ඇන මරා දමන්නටත් බැරි නැත.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: