Posted by: lrrp | August 26, 2009

මාරි අම්මාට බිලිවූ කිලිවෙඩ්ඩියේ ඓතිහාසික බෝධිරාජයා

දඹදිව ගයා හිස දී බෝසතුන් වහන්සේ දස මරුන් පළවා හැර බුදුබව ලැබ ගැනීමෙහිදී පිටදුන් ජයසිරි මහ බෝ සමිඳුන්ගේ දකුණු පසින් සිඳගත් පැසුණ ගෙඩි පහක්‌ සහිත අත්තක්‌ සඟමිත් මහ තෙරණිය විසින් රුවන් කටාරමක බහා ගෙනවිත් දෙව්පියතිස්‌ මිහිපති (ක්‍රි. පූ. 250/210) අත්තට පත් කොට එය අනුරාධපුර නුවර මහමෙව්නා උයන්හි රෝපණය කළ අසිරිමත් මොහොතෙහිම ඉන් ගිලිහී අනුබුදු මිහිඳු මාහිමියන් සුරතට පත් පළමු ඵලයෙහි වූ බිජු අටින් පැළ අටක්‌ ද, දෙවනුව ගත් ඵල හතරකින් බෝ පැළ දෙතිසක්‌ ද බිහි වූ පුවතක්‌ මහානාම හිමියන් ලියූ මහාවංසයෙහි දහනමවන සඟෙහි මනහර ලෙසින් දැක්‌වේ. එහි පළමු හටගත් පැළ අට රෝපණය කළ තැන් වංසකතාවෙහි පැහැදිලිව සඳහන් කර ඇතත් අනික්‌ පැළ දෙතිස පිහිට වූ තැන් එහි නියමාකාරයෙන් දක්‌වා නැත.

එහෙත් දඹදෙණි රාජධානි යුගයෙහි වැඩසිටි ගන්තලා කරඹවලාන් පරපුර ජනිත විල්ගම්මුල සඟරජ හිමියන් ලියා ඇති සිංහල බෝධි වංසයෙහි එම බෝ පැළ දෙතිසෙන් එකක්‌ කොට්‌ටියාරමෙහි රෝපණය කරන ලදැයි පැවැසේ. විල්ගම්මුල හිමියන් දවස මහවැලි නදියෙන් දකුණෙහි හා වෙරුගල් ගඟෙන් උතුරෙහි මහ සමුදුරත් අතර වූ බිම්කඩ කොට්‌ටියාරම නමින් හැඳින්විණ. මධ්‍ය කාලීන යුගයෙහි දී කොටසර දනව්ව ලෙසින් මෙම පෙදෙස නම් ලබා තිබූ බව සෙල් ලිපි හා වෙනත් මූලාශ්‍රයන්ගෙන් තහවුරු වේ. දඹදෙණි යුගයෙහි සිට විසිවන සියවසෙහි හැටේ දසකය තෙක්‌ කොට්‌ටියාරම් පත්තුව ලෙසින් හඳුන්වන ලද මෙහි මෙකල කොටසර දනව්ව හෝ කොට්‌ටියාරම යන නම්වලින් යුත් එකම බිම්කඩක්‌ හෝ දැනට දක්‌නට නැත. එහෙත් මහවැලි නදිය මහ දියකඳ සමුදුර වැළඳ ගන්නා මුවදොර මෙකල ද හඳුන්වනුයේ කොඩ්ඩියාර් හෙවත් කොට්‌ටියාරම් බොක්‌ක යන නමිනි. අතීතයෙහිදී කොටසර දනව්ව හා කොට්‌ටියාරම නමින් යුත් බිම මෙකල ඊචලම්පත්තුව සේරුවාවිල හා මුත්තූර් යනුවෙන් වූ පාලන ප්‍රදේශයන් තුනකට බෙදී පවතී. මේ නිසා විල්ගම්මුල හිමියන් බෝධිවංසයෙහි සඳහන් කර ඇති බෝධි රෝපණයට පසුබිම් වූ පෙදෙස මෙහිම වු බව නම් නිසැකය.

බුදුහිමියන් තෙවැනි වර ලක්‌දිවට වැඩ සියලු කිස නිමවා දෙව්රම් වෙහෙරට වඩින අතර මෙහි වූ සේරු නම් ජලජ බිහඟුන් ගේ කෙළි බිමක්‌ව පැවැති පස්‌ පියුමෙන් යුත් විල්තෙරක (සේරුවාවිල) ගල්තලාවට වැඩ පන්සියයක්‌ පමණ වූ රහතුන් වහන්සෙලා සමඟ සමාපත්තියට සමවැද ඉන් නැඟී දෙව්රම් වෙහෙර සිට තමන් වහන්සේ සමඟ පැමිණි සුමන නම් නාග මානවකයා සේරුවාවිල අසල රඳවා ගිය හයි ධාතු වංසයෙහි සඳහන් වේ. දෙව්රම්හි දි බුදු හිමියන් හමුවට පැමිණි සුමනගේ මව ඉන්දිකා තම පුතා මෙහි රැඳුණ පුවත අසා ඇය ද පන්සියයක්‌ පමණ වූ නාග මෙනෙවියන් සමඟ සේරුවාවිල් පෙදෙසට විත් එහි වැසියන් හා විවාහයෙන් බැඳී නව ජනාවාසයක්‌ පිහිටුවා ගත්තාය.

දෙව්පිය තිස්‌ නිරිඳුන්ගේ කාලයෙහි ජයසිරි මහ බෝ සමිඳුන්ගේ දකුණු ශාඛාව මහමෙව්නා උයන්හි රෝපණය කළ දින පැවැති උළෙලට සේරුවාවිල පෙදෙස්‌ වැසි නා ගොතෙහි දනන් එහි ගිය හෝ ඔවුන්ට ජයසිරි මහ බෝ රඳුන්ගෙන් හටගත් බෝ අංකුරයක්‌ ලැබුණ පුවතක්‌ හෝ වංස කතාවන්හි සඳහන් නොවේ. එහෙත් බුදු හිමියන් ගැන මනා දැනුමක්‌ ඇති පරපුරක හිමිකම් තිබූ ඔවුන්ට දෙව්පිය තිස්‌ නිරිඳුන් අතින් පසුව හෝ දෙතිස්‌ බෝ අංකුරයන්ගෙන් එකක්‌ නොලැබුණැයි සිතිය නොහැකිය.

එමෙන්ම විල්ගම්මුල හිමියන් ද ජනිත වුයේ කොට්‌ටියාරමට නුදුරුව පිහිටි ගන්තලාව ට අයත් පරපුරක බව බෝධි වංසයෙහිම සඳහන් වේ. එනිසා අන් අයට වඩා පෙදෙස පිළිබඳ දැනුමක්‌ තිබූ විල්ගම්මුල හිමියන් ජයසිරි මහ බෝ සමිඳුන්ගෙන් හටගත් එක්‌ බෝ අංකුරයක්‌ කොට්‌ටියාරමෙහි සුදුසු බිමක රෝපණය කරන ලදැයි කරන සඳහන නිවැරැදි විය හැකිය.

රෝහණාධිපති කාවන්aතිස්‌ස නිරිඳුන් සේරුවාවිල් තෙර බුදු රජුන් සමාපත්තියට වැඩ සිටි තැන තිස්‌රම් මහ වෙහෙර හෙවත් මංගල මහා චෛත්‍යය තැනීමෙන් පසු සිරිවර්ධන නම් බෝ අංකුරයක්‌ රෝපණය කරන ලදැයි ධාතු වංසයෙහි දැක්‌වේ. මහාවංසයෙහි හා බෝධිවංසයෙහි දැක්‌වෙන දෙකරුණු විමසිල්ලට ගැනීමේදී දෙව්පියතිස්‌ නිරිඳුන් මහමෙව්නා උයන්හි ජයසිරි මහ බෝ සමිඳුන් පිහිටුවා එයින් ලැබ ගත් දෙතිස්‌ බෝ අංකුරයන් බෙදා දුන් දිනයත් රෝහණාධිපති කාවන්තිස්‌ස මිහිපති සිරිවර්ධන නම් බෝ අංකුරය පිහිට වූ කාලයත් අතර අඩසිය වසරකට වැඩි කාල පරාසයක්‌ දක්‌නට ඇති හෙයින් මෙම බිමෙහි ඉතිහාස ගත බෝ රුක්‌ දෙකක්‌ තිබූ බව නිසැකය.

අතීතයෙහිදී කොට්‌ටියාරම ලෙසින් හඳුන්වන ලද බිමෙහි නටබුන් බවට පත් අලංකාර ශෛල නිර්මාණයන් සහිත බෝ ගෙවල් දෙකක කොටස්‌ දක්‌නට තිබිණි. ඉන් එකක්‌ සේරුවාවිල මංගල මහ වෙහෙර අසලය. එහි දැනට ඓතිහාසික යුගයට අයත් බෝ වෘක්‍ෂයක්‌ නැතත් නටබුන් බවට පත් අලංකාර බෝ ගෙයක කොටස්‌ දක්‌නට ඇත. එය කාවන්තිස්‌ස නිරිඳුන් රෝපණය කළ සිරිවර්ධන බෝ වෘක්‍ෂය සඳහා තනන ලද බෝ ගෙය විය හැකිය.

අනික පිහිටා තිබුණේ මඩකලපු මුත්තූර් මහමඟ 57 වැනි සැතපුම් කණුව අසල කල්ලාර් ඇළ මතින් දිවෙන පාලම් පාරුව පිහිටි මුත්තුර් ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාශයට අයත් අංක 216/ඒ දරන කිලිවෙඩ්ඩිය නම් ගමෙහිය. විසිවන සියවසේ හැත්තෑව දසකයෙහි අවසානය දක්‌වාම එහි දසත අතු ඉති විහිදුණු අඩි පහළොවක පමණ වටයකින් යුත් දැවැන්ත බෝධි වෘක්‍ෂයකුත්, අලංකාර කැටයමින් යුත් ගල් කණු, මුරගල්, සඳකඩ පහණ හා වෙනත් ශෛල නිර්මාණ රැසක්‌ සහිත නටබුන් බවට පත් බෝ ගෙයක කොටසුත් තිබිණි. කිලිවෙඩ්ඩියේ බෝධිය ලෙසින් හඳුන්වන ලද එය බෝධිවංසයෙහි සඳහන් දෙතිස්‌ බෝ පැළයන්ගෙන් හටගත් එකක්‌ ලෙසින් පිළිගැනීමට සාධක වෙත්.

ත්‍රිකුණාමලය උප දිසාපතිවරයකුව සේවය කළ රොබට්‌ විලියම් ඩුරාඩ් මොයිර් (1870/ 1876) විසින් ප්‍රතිසංස්‌කරණය කරන ලද තීරු මංගලායි වැව වැඩිකල් යා නොදී අනපේක්‍ෂිතව ගලා ආ මහ දිය කඳක්‌ වැඳී විනාශයට පත්වීමෙන් අසරණ බවට පත් එහි ගැමියන්ට මුත්තුර් මඩකලපු මාවතෙහි 57 වන සැතපුම් කණුව අසල වනාතෙහි ගල්කන්දට යන පාර අරුත් ඇති කිලිවෙඩ්ඩිය නම් පෙදෙසෙහි නිවෙස්‌ තනා ගැන්මට රජයෙන් අවසර ලැබිණ. මහසෙන් නිරිඳුන් වෙරුගල් ගඟෙහි දිය සේරුවාවිලට ගලා යැමට තනා තිබූ ගල් ඇළ (කල්ලාර්) මෙහි වූ නිසා ඔවුන් එහි සරු කෙත්යායක්‌ තනා ගත්හ. විනාශයට පත් තිරුමංගලා ගමෙහි වූ කන්දලිංගම් ස්‌වාමි කෝවිලෙහි වූ මණිය (ගන්ඨාරය) හා ගනේෂ පිළිමය තංගවේලි ගමෙහි සිවං කෝවිලටත්, ලිංගම් ගල වෙරුගල් කෝවිලටත් ගෙන ගිය ඔවුන් මාරි අම්මාන් පිළිමය පමණක්‌ ගෙනැවිත් කිලිවෙඩ්ඩියෙහි නටබුන් බවට පත් බෝ කොටුව අසල ඉඩමක තැන්පත් කර ගත්හ.

විසිවැනි සියවසේ පණහ දහකයෙහි අගමැති ඩී. එස්‌. සේනානායකයන් අල්ලායි ගොවි ජනපදය පිහිටවීමෙන් පසු රජය විසින් කල්ලාර් ඇළ මතින් පාලම් පාරුවක්‌ පිහිටුවීම නිසා ජනපදිකයන් සියල්ලන්ම මුත්තුර් හා ත්‍රිකුණාමලය තෙක්‌ ගමන් කළේ මෙම බෝ වෘක්‍ෂය අසල පිහිටි මාවතිනි. එකල දෙහිවත්ත ගමෙහි ජනපද ඉඩම් හිමියෙකු වූ උපාසක අප්පුහාමි යන අන්වර්ථ නාමයකින් හඳුන්වන බොදුනුවෙකු සිය කැමැත්තෙන්ම කිලිවෙඩ්ඩිය බෝ වෘක්‍ෂයේ කැපකරු පවට පත්ව නටබුන් බෝ කොටුව තුළ කාලාන්තරයක්‌ තිස්‌සේ ගොඩගැසී තිබූ කුණු රොඩු ඉවත් කර සවස්‌ කාලයෙහි මල් පහන් තබා පුද පූජා තැබීම සිරිතක්‌ කර ගත්හ. ඔහුගේ කැපවීමත්, උත්සාහයත් නිසා වැඩි කාලයක්‌ ගත වීමටත් පෙර කිලිවෙඩ්ඩියේ බෝධිය බෝධි වංසයෙහි සඳහන් අනුරාධපුර නුවර ජයසිරි මහ බෝ රදුන්ගෙන් හටගත් දෙතිස්‌ බෝ පැළවලින් එකක්‌ ලෙස පතල වීමත් සමඟම එම ස්‌ථානය අල්ල ජනපදවාසී බොදුනුවන්ගේ භක්‌ති පූර්වක නමස්‌කාරයට පාත්‍ර වූ පූජ්‍යස්‌ථානයක්‌ බවට පත්විය. එකල ත්‍රිකුණාමලය නගරයට යැමට ආරක්‍ෂිත ගොඩබිම් මාර්ගයක්‌ නොතිබූ හෙයින් අනතුරු සහිත මුහුදු මැදින් ගමන් ගත් හැම බොදුනුවෙකුම බෝ වෘක්‍ෂයට පඬුරු පුදා බාරහාර වීම සිරිතක්‌ කර ගත්හ. පහසු දරු උපතක්‌ පැතූ හැම ගැහැනියක්‌ම මෙහි පැමිණ බෝධි පූජා තැබූහ. උපාසක අප්පුහාමි ලවා සෙත් කවි කියවා දේවාශිර්වාද ද ලබා ගත්හ.

ත්‍රිකුණාමලය දිසාපති විසින් කෙට්‌ටියාරම් පත්තුවෙහි සැඟවී ඇති පුරාවිද්‍යා වටිනාකමකින් යුත් තැන් පිළිබඳව කළ (1950/8/14) විමසුමකට කෙට්‌ටියාරම්පත්තු ආදායම් පාලක එන්. සිවඥානසුන්දරම් මහතා (1950.9.8 අංක කේ. පී.10-) යවා ඇති පිළිතුරු ලිපියෙහි මලියත්ති වූ ගම්සභා බල ප්‍රදේශයට අයත් කිලිවෙඩ්ඩිය ගමෙහි පාලම් පාරුවට නුදුරුව කල්ලාර් ඇළ අසල දිගු ඉතිහාසයකට උරුමකම් සහිත පූජනීය බෝ වෘක්‍ෂයක්‌ හා ගල්ටැම් ගල් පුවරු සඳකඩපහණ හා වෙනත් පුරාවස්‌තු සහිත බෝ ගෙයක නටබුන් ද ඇති බව සඳහන් කර තිබිණි. දෙමළ වගට අයත් බැතිමත් හින්දුවකු වූ ඔහු බෝ වෘක්‍ෂය අසල හෝ එය අවට කිසි තැනක කවර ආකාරයක හෝ වෙනත් ආගමික පූජ්‍යස්‌ථානයක්‌ හෝ කෝවිලක්‌ ඇති බවක්‌ දක්‌වා නොතිබූ හෙයින් එවක දිසාපතිව සිටි නෙවිල් කුවින්ටස්‌ ගුණතිලක මහතා කළ නියෝගයක්‌ මත ත්‍රිකුණාමලය මැණුම් අධිකාරිය බෝ වෘක්‍ෂයට පර්චස්‌ විසිනමයකට මඳක්‌ වැඩි බිම් කොටසක්‌ අයත් කොට (එෆ්. ටී. පී. ඉන්සෙට්‌ 18/3) එය අංක 516 බිම් කට්‌ටිය ලෙස පිඹුරුපත් සැකසූහ. ගම්සභා ආඥපනතේ 40 වගන්තිය යටතේ (1957/11/) බෝ රඳුන් පිහිටි බිමෙහි උරුමය මලියත්තිවූ ගම් සභාවට අයත් විණි. පසු කාලයෙහි මලියත්ති වූ ගම් සභාව තම උරුමය තහවුරු කරමින් එහි පොදු කියවීම් ශාලාවක්‌ ඉදිකරන ලදී.

වයස්‌ගත වූ උපාසක අප්පුහාමිගේ අභාවයෙන් පසුව ඔහු විසින් බෝ වෘක්‍ෂයට දෛනිකව කළ පුද පූජා වත් පිළිවෙත් සියල්ල වැනසී යා නොදී පවත්වා ගෙන යැමේ වගකීම පවරා ගන්නා ලද්දේ අසල වෙළෙඳසලක්‌ හිමිව සිටි සාමවිනිසුරු මාටින් නමින් හඳුන්වන ලද සැදැහැවත් ව්‍යාපාරිකයකු හා ඔහුගේ අඹු දරුවන් විසිනි. උපාසක අප්පුහාමිට වඩා වෙනස්‌ වූ ගති ලක්‍ෂණ තිබූ මාටින් මහතා භක්‌තිමතුන් බෝ වෘක්‍ෂයට පුදන පඬුරු එක්‌කොට සෑම පුන් පොහෝ දිනකම ප්‍රදේශවාසී බොදුනුවන් සමඟ එක්‌ව පෙරහැර හා බෝධි පූජා පැවැත්වූහ. වරින්වර සේරුවිල මංගල මහා විහාරාධිපති දඹගස්‌ආරේ ශ්‍රී සුමේධංකර නායක හිමියන් වැඩමවා දම් දෙසුම් ද පවත්වන ලදී.

විනාශයට පත් තිරුමංගලා ගමෙහි කන්දලිංගම් කෝවිලෙහි තිබී කිළිවෙඩ්ඩියට ගෙන ආ මාරිඅම්මාන් පිළිමය තැන්පත් කර තිබුණේ බෝ වෘක්‍ෂයට නුදුරෙහි වු ලොට්‌ අංක 517 දරන පෞද්ගලික බිමකය. දිසාපති නියමයෙන් බිම් කට්‌ටි මැන වෙන් කිරීමෙහිදී එහි නියමාකාරයෙන් පූජ්‍යස්‌ථානයක්‌ නොවූයෙන් රජයෙන් බිම් කඩක්‌ මාරිඅම්මාන් ප්‍රතිමාවට නොලැබිණි. එහෙත් පසු කාලයෙහි කිලිවෙඩ්ඩියෙහි හින්දු බැතිමතුන් එක්‌ව කැබෙලි අංක 517 දරන පෞද්ගලික ඉඩමෙහි කෙළවරක බෝ වෘක්‍ෂයට අඩි පහළොවක්‌ පමණ ආසන්නයෙහි ම මාරිඅම්මාන් පිළිමය තැන්පත් කිරීමට කෝවිලක්‌ ගොඩනැගූහ. කෝවිලෙහි පාලක සභාවෙහි සභාපති ලෙස පත්වූයේ මයිල්වාහනම් අරුණාසලම් නමැති අයෙකි. ඔහුගේ පුත් අරුණාසලම් තංගදොරෙයි මහතා හැත්තෑව දශකයෙහි පැවැති මහ මැතිවරණයෙහිදී මුත්තූර් බහු මන්ත්‍රී කොට්‌ඨාසයේ දෙවන මන්ත්‍රීවරයා ලෙසින් තේරී පත්විය.

හිරි දෙවි රත් පැහැ ගනිමින් අවරට ළඟාවෙත්ම සේරු නම් විල් ලිහිණි දිය මත ඔබ මොබ පිහිනමින් ලිහිණියන්ගේ සිත් ගැනීමට තටු සලා තුඩෙන් තුඩ ගටා කරන මනරම් රංගනයෙන් මුසපත්ව මනනුවන් සනහාගත් කිලිවෙඩ්ඩිය හා තදාසන්න අල්ල ජනපදවාසී බොදුනුවන්ට මහා විනාශයක පෙර නිමිති පවසන කණ කොක්‌ හඬක්‌ අසන්නට ලැබුණේ මැතිවරණයෙන් ජයගත් ෆෙඩරල් පක්‍ෂයට අයත් මන්ත්‍රීවරයා තම ගමට පැමිණි දිනයෙහි ය.

එකල බෝ වෘක්‍ෂය සහිත බිම මලියත්ති වූ ගම් සභාව සතුව පැවැති හෙයින් ද, එහි ගම් සභාව සතු පොදු කියවීම් ශාලාවක්‌ තිබූ නිසා ද මන්ත්‍රීවරයා පිළිගැනීම සඳහා ඔහුගේ සහෝදර කුමාරතුරෙයි සංවිධානය කළ රැස්‌වීම සඳහා වේදිකාව තනා තිබුණේ දෙව්පියතිස්‌ නිරිඳුන් දවස පිහිටුවන ලද ඉතිහාස ගත බෝ කොටුවෙහි නටබුන් ගල් මතය. වේදිකාව ඉවත් කරන තෙක්‌ දින කිහිපයක්‌ සුපුරුදු බෝධි පූජාව නො පැවැත්වීමට මාටින් මහතාට සිදුවිය.

තංගදොරෙයි මහතා ජාතික රාජ්‍ය සභාවෙහි මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දී දින කිහිපයක්‌ ගත වීමටත් පෙර ඔහුගේ නිවසට දුරකථන රැහැන් සවි කිරීමට පැමිණි තැපැල් හා විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ සේවක පිරිසක්‌ ඓතිහාසික බෝ වෘක්‍ෂයේ අතු කිහිපයක්‌ කපා දැමීමට උත්සාහ ගත්හ. එයට විරෝධය දැක්‌වූ මාටින් මහතා ඇතුළු පිරිසක්‌ මුත්තූර් පොලිසියට පැමිණිලි කිරීමට ගොස්‌ ආපසු පැමිණීමටත් පෙර මන්ත්‍රීවරයාගේ සහෝදර කුමාරතුරෙයි හා පාතාල මැරවරයකු වූ කන්දපොඩියන් කැති මුගුරු, කඩු, කිණිසි අත් ඇති පිරිසක්‌ පිරිවරා පැමිණ බෝ රුකට නැග එහි මහ අතු කිහිපයක්‌ම බිම දැමූහ. පසුදින පරීක්‍ෂණයට පොලිසිය පැමිණෙන විට බිම වැටී තිබූ බෝ අතු මිස කැපූ කෙනෙකු එහි සිට නැත. මාටින් මහතාගේ පැමිණිල්ල පොලිස්‌ පොතේ පිටු අතර සැඟවිණ.

බොදුනුවන්ගේ මුදුන් මල් කඩ ලෙස අනුරාධපුර නුවර වැඩ සිටින ජයසිරිමහ බෝ රජුන්ගේ බිජුවකින් උපත ලද දෙතිස්‌ බෝ රුක්‌වලට අයත් කිලිවෙඩ්ඩියේ බෝ හිමියන්ට පොළොන්නරු රාජධානිය විනාශයට පත් කළ කාළිංග මාඝයන්ගේ මළල කේරළ සෙබළුන් පවා නොකළ මහත් අපරාධයක්‌ කළ ජාති හා ආගම් විරෝධී පෙඩරල්වාදී නරුමයන්ගේ ක්‍රියාව අසා මහත් සේ විශ්මයට සංවේගයට හා සන්තාපයට පත් සේරුවාවිල මංගල මහා විහාරාධිපති දඹගස්‌ආරේ නාහිමියන් තමන් වහන්සේට කළ හැකි හැම දෙයක්‌ම කිරීමට පසුබට වූයේ නැත. එතුමන්ගේ පැමිණිල්ලක්‌ මත පරීක්‍ෂණයක්‌a පැවැත්වූ තැපැල් හා විදුලි සංදේශ අමාත්‍ය සී. කුමාර්සූරිය මහතා දෙපාර්තමේන්තු සේවයකයන්ට බෝ රුක මඟහැර දුරකථන රැහැන් ඇදීමට පහසුකම් තිබියදී එසේ නොකිරීම නිසා මෙම මහා අපරාධ සිදු වූ බව පිළිගෙන ඔවුන්ට විරුද්ධව විනයානුකූලව ක්‍රියා කරන බව ප්‍රකාශ කර (1971.01.23) සමස්‌ත ලංකා බෞද්ධ මහා සම්මේලනයට තම කනගාටුවත්, ශෝකයත් දන්වා ලිපියක්‌ යවා ඇත. සංස්‌කෘතික කටයුතු පිළිබඳ ඇමැති එස්‌. එස්‌. කුලතිලක එම අමාත්‍යාංශ ලේකම් ආචාර්ය නිශ්ශංක

විඡේරත්න හා පුරාවිද්‍යා සහකාර කොමසාරිස්‌ එම්. එච්. සිරිසෝම මහතා ද හානියට පත් බෝ රුක පරීක්‍ෂා කොට මතුවට එවැනි අනතුරක්‌ නොවන ලෙස බෝ රුකට අයත් බිම මලියත්තිවු ගම් සභා පාලනයෙන් මුදා පුරාවිද්‍යා රක්‍ෂිතයක්‌ ලෙස ප්‍රකාශයට පත් කරන බවට ප්‍රතිඥ දුන්හ. දිසාපති තිස්‌ස දේවේන්ද්‍ර මහතා බෝ වෘක්‍ෂයේ ආරක්‍ෂාව පොලිසියට පවරන ලදී. මේ අතර මාටින් මහතාගේ පෞද්ගලික මිත්‍රයෙකු වූ මුත්තූර් ආසනයේ පළමුවන මන්ත්‍රී මරක්‌කල ජාතික අබ්දුල් මජීඩ් මහතා ද හානියට පත් බෝ රුක පරීක්‍ෂා කොට පෙඩරල් පාක්‍ෂික කුමාරතුරෙයි හා පිරිස කළ විනාශය හෙළා දැක ප්‍රකාශයක්‌ නිකුත් කරන ලදී. (මෙම ලේඛකයා ද එදින එහි විය.)

කාලය කෙමෙන් ගතවිය. එක්‌ අඳුරු වැහිබර මූසල රැයක කැති පොලු මුඟුරු ගත් නොහඳුනන පිරිසක්‌ කිලිවෙඩ්ඩියේ පිහිටි සිංහලයන්ගේ නිවෙස්‌ සියල්ලටම පැන පහර දී ඔවුන් පළවා හැර ගිනිබත් කරන ලදී. මාටින් මහතාගේ වෙළෙඳසැලෙහි ගින්නෙන් නොදැවී ඉතිරි වූයේ බිත්ති පමණකි. ඔහු හා දරු පවුල දිවි රැක ගන්නා ලද්දේ කල්ලාර් ඇළේ මඩ වගුරක ගිලී නෙළුම්පතින් හිස්‌ වසා සැඟවීමෙනි. බෝධි පූජා සියල්ලම නැවතිණ.

අල්ල ජනපදවාසීන්ට දුෂ්කර මුහුදු ගමන අතහැර නගරයට යැම සඳහා අල්ල කන්තලේ ගොඩබිම් මාර්ගය තැනිණ. බෝධිපූජා ද නොපැවැති හෙයින් බොදුනුවන්ට බෝ වෘක්‍ෂය අසලට යැමේ අවශ්‍යතාවක්‌ ද නොවූයෙන් හුදකලා බවට පත් ඓතිහාසික බෝ වෘක්‍ෂය මාරිඅම්මාන් කෝවිලේ ග්‍රහණයට යටත් විය. කෝවිලට පැමිණෙන විසේ ඇති කොලු කුරුට්‌ටෝ බොදුනුවන් භාරහාර සඳහා කොඩි හා පඬුරු ගැටගැසූ බෝ අතුවල එලලී ඔන්චිලි පැද්දහ.

කිසිවකුගේ හෝ බාධාවකින් තොරව නවීන ආගෝපාංගයන් එක්‌වෙමින් දිනෙන් දින තුරුණු බවට පත් මාරිඅම්මාන් කෝවිලෙහි වාර්ෂික පූජා උත්සවය සඳහා (1976.7.30) තංගදොරෙයි මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් මහා ශ්‍රමදානයක්‌ සංවිධානය කර තිබිණි. දෙසියකට වැඩි පිරිසක්‌ එක්‌වූ එම ශ්‍රමදානයෙහි දී බෝධි වෘක්‍ෂයේ ශාඛාවන්ගෙන් කෝවිලෙහි පියෑස්‌සට හිරිහැර සිදුවන බවත් බෝ වෘක්‍ෂය නිසා කෝවිල් අංගනය විශාල කිරීම දුෂ්කර බවත්, පවසා අඩි 75 ක්‌ උසට වැඩී තිබූ ඓතිහාසික බෝධි වෘක්‍ෂයේ අතු සියල්ල සිඳ අඩි 20 ක්‌ උස මහ කඳ පමණක්‌ ඉතිරි කරන ලදී.

මල්ල රජ දරුවන්ගේ සල් උයනෙහිදී බුදුරජුන් පිරිණිවන් පෑ දින අනඳ හිමියන්ගේ දෙනෙතින් කඳුළු වැටුණැයි පත පොතෙහි සඳහන් වේ. හැම දුෂ්කර අවස්‌ථාවකදීම ඉJද්‍ර‚ලයක්‌ සේ අකම්පිතව වැඩ සිටි සේරුවාවිල විහාරාධිපති නාහිමියන් කිලිවෙඩ්ඩියේ ඓතිහාසික බෝධිරාජයා මාරිඅම්මාන් කෝවිලට බිලි වීමේ පුවත දෙසවන් ලත් විට මහත් සංවේගයට පත් ව සෝ සුසුම් හෙළන ලදැයි පැවැසේ. විසිවන සියවසෙහි දෙවන දසකයෙහි ඡේමිස්‌ නම් මානසික රෝගියකු අනුරාධපුර ජයසිරිමහ බෝ රජුන්ට පොරව පහරක්‌ දී තුවාල කිරීමේ නින්දිත ක්‍රියාවටත් වඩා සියක්‌ ගුණයක්‌ වැඩි බොදුනුවන්ගේ හද සසල කරවන මෙම අපරාධය කළවුන්ට සුදුසු දඬුවම් දීමට පෙඩරල් පක්‍ෂයේ දේශපාලන බලාධිකාරයට යටත් වූ රජයට හා රාජ්‍ය නිලධාරීන්ට හැකියාවක්‌ හෝ අවශ්‍යතාවක්‌ හෝ තිබුණේ නැත. මෙම විනාශය පිළිබඳව විරෝධතා හඬක්‌ නැඟුනේ සේරුවාවිල නාහිමියන්ගේ හා කැලණි මන්ත්‍රී සී. සිරිල් මැතිව් මහතාගේ ද මුවින් පමණකි. මෙකල මෙන් එකල ජනසංනිවේදන මාධ්‍යයන්ගේ ව්‍යාප්තියක්‌ ද නොවූයෙන් ඔවුන් නැඟූ හඬ රාව ප්‍රතිරාවයක්‌ නොනඟාම වාතයට එක්‌විණ. මෙම අපරාධය පිළිබඳ පුවත දැන සිටියේ ද එයින් කම්පාවට පත් වූයේද එකල අල්ල ජනපදයේ හා තදාසන්න ප්‍රදේශයේ සිටි සීමිත බොදුනුවන් පිරිසක්‌ පමණකි.

බෝධිරාජයාගේ අතු සිඳ දැමීමෙන් දින හතරකට පසු ්‍ර(1967/8/4) සේරුවාවිල මංගල මහා විහාරයේ වර්තමාන විහාරාධිපති පූජ්‍ය සේරුවාවිල සරණකිත්ති නාහිමියන් ද සමඟ තමන්ද බෝධිය අසලට පැමිණි බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සැලසුම් ශිල්පී එම්. ඩී. ලාල්චJද්‍ර මහතාගේ වාර්තාවක දැක්‌වේ. එහිදී ඔවුන්ට දැක ගැනීමට ලැබී ඇත්තේ ආගමික මතවාදයෙන් උමතු බවට පත් නීචයන් මහ බෝ කඳට ද පොරොව පහර දී එය ද බිම දැමීමට යත්න දරා ඇති අයුරුය. බෝ මුල් ගල් පුවරු පළාපෙති සහිත අලංකාර සඳකඩ පහණක්‌ ද මුරගල් හා කැටයමින් යුත් වෙනත් ශෛල නිර්මාණ කිහිපයක්‌ ද එහි තිබී ඇති බව ද ඔහු සඳහන් කර තිබේ. එහෙත් දින කිහිපයකට පසු (1976/8/12) ත්‍රිකුණාමලය පුරාවිද්‍යා නිලධාරි මහතා මුත්තූර් පොලිසියේ කොස්‌තාපල්වරුන් දෙදෙනකු සමඟ බෝ වෘක්‍ෂය පරීක්‍ෂා කිරීමට පැමිණි විට ලාල්චJද්‍ර මහතා සඳහන් කර තිබූ ශෛල්‍ය නිර්මාණ කිසිවක්‌ එහි නොතිබුණැයි ඔහු විසින් (1976.8.17) අංක ටී.සී/සී/1)70) මූලස්‌ථානයට යවා ඇති ලිපියක දැක්‌වේ.

කිලිවෙඩ්ඩියේ මාරිඅම්මාන් කෝවිලේ පුසාරී පොන්නතුරෙයි අයියාර් මාර්කණ්‌ඩු ශර්මා ශිලිවාහනම් ගේ ප්‍රධානත්වයෙන් පැවැති වාර්ෂික පූජා උත්සවය (1976/8/30) සඳහා කෝවිල පිරිසකර කිරීමෙහිදී අසල වූ ඓතිහාසික බෝධි වෘක්‍ෂයේ අතු ඉති සිඳ ලද කඳ පමණක්‌ නොව එහි මුල් හා කෙඳි ද ඉවත් කර එම බිමෙහිම සුදු වැලි ඇතිරූ අලංකාර අංගනයක්‌ සකස්‌ කිරීමට තංගදොරොයි මන්ත්‍රීවරයාගේ පියාගේ සභාපතිත්වයෙන් යුත් කෝවිල් භාරකාර මණ්‌ඩලය කටයුතු කර තිබිණි.

තමාගෙන් වෙදකම් ලත් රෝගියකු මර විකාරයෙන් දඟලා මළ මුත්‍රා පිටකොට මියගිය විට එම මළ මුත්‍රා අතුගා ලෙඩා මළත් බඩ ශුද්ධ වී ඇතැයි පවසා සැනසුණ ගම් වෙදෙක්‌ ගැන ජන වහරෙහි සඳහන් වේ. තැපැල් හා විදුලි සංදේශ දෙපාර්තමේන්තු සේවකයන් කිලිවෙඩ්ඩියේ ඓතිහාසික බෝ වෘක්‍ෂයේ අතු කැපූ විට පරීක්‍ෂණයට විත් එය ආරක්‍ෂා කිරීමට ප්‍රතිඥ දුන් සංස්‌කාතික අමාත්‍යාංශ නිලධාරීන් එම ගම් වෙදාටත් වඩා හොඳින් වහාම ක්‍රියාත්මක වී වර්ෂ නමයකට පසු 1979 ක්‌ වූ දෙසැම්බර් මස 11 වැනි දින ප්‍රකාශිත රජයේ ගැසට්‌ නිවේදනයේ අංක 1268 දරන පිටුවෙහි ආණ්‌ඩුවේ නිවේදන යටතේ කිලිවෙඩ්ඩියෙහි පිහිටි පර්චස්‌ 29 ක බිම් කැබෙල්ලක්‌ පුරාවිද්‍යා රක්‍ෂිතයක්‌ ලෙස ප්‍රකාශයට පත්කර ඇත. එම බිම දැනට මාරිඅම්මාන් කෝවිලෙහි සුදුවැලි ඇතිරූ අංගනය ලෙසින් භාවිතයට ගැනේ.

දෙව්පියතිස්‌ නිරිඳුන් දවස කොටසර දනව්වෙහි රෝපණය කරන ලද බෝ වෘක්‍ෂයේ අතු ඉති මුල් සියල්ලත්, එහි ආරක්‍ෂාවට තනා තිබූ අලංකාර බෝ කොටුවෙහි ශෛල නිර්මාණ සියල්ලත් ෆෙඩරල්වාදීහු විනාශයට පත් කළහ. පුරාවිදු අධිකාකරිය එම බෝ වෘක්‍ෂය තිබූ බිම පුරාවිද්‍යා රක්‍ෂිතයක්‌ බවට පත් කිරීමේ ගැසට්‌ නිවේදනයෙහි එහි ඓතිහාසික බෝ වෘක්‍ෂයක්‌ තබා බොදුනුවන් සතු තුත්තිරි ගසක්‌වත් තිබූ බවක්‌ සඳහන් කර නැත. මාරිඅම්මාන් කෝවිලෙහි අංගයනය බවට පත් එම ඉඩමෙහි බෞද්ධයන් සතුව තිබූ අවසාන උරුමය ද එම ගැසට්‌ නිවේදනයෙන් අහෝසි කර ඇත.

අවාසනාවකට මෙන් කිලිවෙඩ්ඩියෙහි ඉතිහාසගත යුගයකට අයත් බෝ වෘක්‍ෂයක්‌ තිබූ බව සනාථ කිරීමට බොදුනුවන්ට දැනට ඉතිරිව ඇති එකම සාක්‍ෂිය දෙමළ වඩට අයත් හින්දුවෙකු ව කොට්‌ටියාරම්පත්තු ආදායම් පාලක එන්. සිවඥානසුන්දරම් 1950.8.14 දාතමින් අංක කේ. පී. 10 යටතේ ත්‍රිකුණාමල සහකාර දිසාපතිට යවා ඇති ලිපිය පමණකි.

සේරුවාවිල ලෝක උරුමයක්‌ ලෙස ප්‍රකාශයට පත් කිරීමට සැරසෙන මෙකල කිලිවෙඩ්ඩියෙහි ඓතිහාසික බෝ වෘක්‍ෂය තිබූ තැන නැවත බෝ අංකුරයක්‌ රෝපණය කරන්නේ නම් බෞද්ධයන්ගේ නැතිවී ගිය උරුමය ආරක්‍ෂා වනු ඇත.

පී. එල්. සිරිසේන
කන්තලේ


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: