Posted by: lrrp | August 26, 2009

සක්‌දෙවි උපත සහ මිත්‍යාව

“ස ස ජාතකකරු ශක්‍රයාගෙන් වැඩගෙන ඇත” යනුවෙන් කෙටි වුවද ඉතා ප්‍රශස්‌ත කරුණු දැක්‌වීමක්‌ ජූලි 22 බදාදා අතිරේකයේ පළකර තිබුණි. පැරැණි අති විශිෂ්ට බෞද්ධ ග්‍රන්ථයක්‌ වූ සද්ධර්ම රත්නාවලියෙහි නාගසේන වස්‌තුව විවරණ කරන ධර්මසේන හිමියන් දහයියා හා කුඩු හා හැර සාල් පමණක්‌ සේ අපට ප්‍රයෝජන නම් කථා සාරයමයි කියුවද බොහෝ අය සහල් හැර දහයියා කුඩු ගැනම කතා කරන සේ සක්‌ දෙවියන්ගේ දිග පළල හැටි සොබා හැකියාවන් ගැනම කථා කරන හෙයින් ඒ මහා බලැති සක්‌ දෙවිඳුන්ගේ උපත ගැන කියවෙන එක්‌ කතාවක්‌ ඉදිරිපත් කරනුයේ ඉන් මේ පටලැවිල්ලට කිසියම් විසඳුමක්‌ ලැබේය යන බලාපොරොත්තුවෙනි.

සක්‌දෙවි උපත යනුවෙන් මේ සපයන තොරතුරු බොහොමයක්‌ මා සොයා ගත්තේ වසර 60-70 අතර පැරැණි බෞද්ධ සඟරාවකිනි. මේ කරුණු පිළිබඳ පාඨකයාගේ කිසියම් ගෞරවයක්‌ හෝ ප්‍රසාදයක්‌ වෙතොත් එහි වැඩිම කොටස බොහෝ කරුණු ගොනුකළ අපවත් වී වදාළ පූජ්‍ය පණ්‌ඩිත හේන්පිටගෙදර Æණසීහ නායක මාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී නාමයටත් අදීන ලේඛකයන් වූ හේමපාල මුනිදාස හා ඩේවිඩ් කරුණාරත්න යන මහතුන්ටත් හිමිවිය යුතු බව නිහතමානීව පවසමි.

සක්‌දෙවි උපත පිළිබඳ කතා ප්‍රවෘත්ති බොහෝ දෙවිවරුන් පිළිබඳ ලියවුණ දේවකතාවලින්ම උපුටා ගැනුණකි.

ගෞතම නම් සෘෂිවරයාට ඉතාම ලක්‌ෂණ අහල්‍යා නම් බිසවක්‌ වූවාය. ඇයගේ රූපශ්‍රීය දුටු ශක්‍රයා ඇයට ප්‍රේම කරන්නට පටන් ගත්තේය. මේ සඳහා චන්ද්‍රයාගේ ආධාර උපකාර පැතීය. මේ නොහොබිනා කමට උපකාර කිරීමට චන්ද්‍රයාද එකඟවීය. දිනක්‌ මහ රාත්‍රියේ ගෞතම සෘෂි නිවස අසලට ගිය ශක්‍ර හා චන්ද්‍ර යන දෙදෙනාගෙන් චන්ද්‍රයා කුකුළකුගේ වෙසක්‌ මවාගෙන හැඬලීය. කුකුළු හඬින් පිබිඳුණු ගෞතම සෘෂි තෙමේ සිතන්නේ කුකුළන් හඬලනුයේ හිමිදිරි පාන්දර නොවේදැයි කියා ආගමානුකූල වතාවත් කිරීමට පෙර ස්‌නානය සඳහා ගංතෙරට ගියේය. එකෙණෙහිම ගෞතම සෘෂිගේ රුව මවාගත් ශක්‍රයා ගෙට රිංගාගෙන අහල්‍යාව රවටාගෙන ඇය සමග යහන් ගතවීය. ස්‌නානයෙන් පසු නිවසට පැමිණි ගෞතම සෘෂිවරයාට මේ කාරණය දැනගෙන අධිකතර කෝපයට පත්ව ශාපකොට සෘද්ධි බලයෙන්ම වහාම අහල්‍යාව ගලක්‌ බවට පත් කළේය. ඉන්පසු සෘෂිවරයාගේ ශාපලත් නෙතට පසුවූයේ මේ අමන ක්‍රියාව කළ ශක්‍රයාය. ශාපයේ ප්‍රතිඵලය වූවේ ශක්‍රයාගේ මුළු සිරුර පුරාම ස්‌ත්‍රී නිමිති පහළ වීමය. මෙයින් ශක්‍රයා අධිකතර

ලඡ්ජාවට කම්පාවට හා දුකට පත්ව ගෞතම සෘෂි පාමුල වැටී නොවඳිනා වැඳුම් කරන්නට පටන් ගත්තේය. මේ යෑදුමෙන් තරමක්‌ මොළොක්‌ව ගිය සිත් ඇති සෘෂි තෙමේ සුළු වෙනසක්‌ කරමින් ස්‌ත්‍රී නිමිති නේත්‍ර බවට පත් කළේය.

මෙහිදී දහස්‌ යනුවෙන් කියවෙන්නේ හරියටම 1000 ක්‌ නොව දහස්‌ ගණනකි. ස්‌ත්‍රී නිමිති දහස්‌ ගණනක්‌ නේත්‍ර දහස්‌ ගණනක්‌ බවට පත්වූ හෙයින් ඉන්පසු ශක්‍රයාගේ සිරුර පුරා නේත්‍ර වීය. ඇස්‌ නැති මිනිස්‌සු මේ නිමිති දහස්‌ ගණනම නුවණ දහස්‌ ගණනකැයි සිතන්නට වූයෙන් සක්‌දෙවි තෙමේ දහසක්‌ දිවැස්‌ ඇති වීය.

ශ්‍රද්ධාව වසාගත් භක්‌තිය නිසා හොඳ කියවීමට වඩා අසා දැන ගැනීමට රුචි වූ පුරුදු වූ පිරිසකට යමක්‌ කීමේදී අද්භූත කරුණු සේම භක්‌තිය වැඩි කරන කරුණු කීමෙන් ශ්‍රද්ධාව වැඩිදියුණු කළ හැකියෑයි සිතූ අහිංසක සිතුවිලි නිසා බොහෝ අභව්‍ය සිද්ධි රචනා වුණා යෑයි සිතීමට පුළුවන. ජාතක කථාවලට නොව සම්බුදු රජුන් ජීවමානව වැඩ සිටින අවධියේ පවා එවන් සිදුවීම් සිදු වුණා යෑයි කීමට තරම් යම් යම් අය පෙළඹුණ බව පෙන්වීමට පෙර ශක්‍රයාගේ අවංක භාවය නිදොස්‌ භාවය ගැන පෙන්නීමට දේවකතාවලම අඩංගු මේ කරුණු අපට මනාව ප්‍රයෝජනවත් වන නිසා ඒ පිළිබඳව කෙටි සටහනක්‌ ඉදිරිපත් කරමි.

දේව කථාවල එන පරිදි සුර-අසුර යන දෙවර්ගයෙන් ශක්‍රයා අයත් වන්නේ සුර ගණයටය. සුර ධර්මයේ හැටියට යාග හෝම දහසක්‌ පිරූ අයට මතු සක්‌දෙවි පදවි ලැබෙන්නේය. එහෙත් මේ ශක්‍ර තෙමේ කිසිදු සුරයකුට යාග හෝම 999 මිස දහස පුරවන්න ඉඩ නොදෙන්නේලු. ඒ වෙන කිසිවක්‌ නිසා නොව තමන්ටම ඉන් අත්වන ප්‍රතිඵලය ගැන සලකා බලන නිසාලු.

ශක්‍ර දෙවියා යනු මොන තරම් නම් කපටියෙක්‌ද? නොමැතිනම් ශීලාචාර මිනිසකු පවා නොකරන දේ කිරීමට තරම් පෙළඹෙන අයකුද යන්න මේ කතා ප්‍රවෘත්තියෙන් මනාව ඔප්පු වනු ඇත. අමෘතය සෙවීමට කිරි මුහුද කැළඹුවේ ශක්‍රයා නායකකම දැරූ සුරයන් හා අසුරයන් එකතුවීමෙනි. සුර-අසුර සියලු දෙනාම එක සේ වෙහෙස වුවද කිරි මුහුද කැළඹීමෙන් ලත් ලාභය ශක්‍රයා බෙදුවේ තමන්ගේ පක්‌ෂයට 100% ම ලාභ වන අයුරිනි. හොඳම කොටස්‌ ටික තම සහෝදරයා වූ විෂ්ණුට බෙදා දුන් අතර වැදගත්ම කොටස්‌ තමා සතු කරගත්තේය. සුර – අසුර එකතුවේ මහා උත්සාහයේ කිරි මුහුද කැළඹීමේදී ලැබුණ වස්‌තූන් දහ හතරකි. ඒ මෙසේය. 1. පරසතු රුක 2. ඓරාවණ හස්‌තියා 3. රම්භාදී දිව්‍ය ස්‌ත්‍රීහු 4. සප්ත මුඛ නම් අශ්වයා 5. චන්ද්‍රයා 6. ධන්වන්තරී 7. කාමෙනු 8. සිරිකත 9. කෞස්‌තුභ මාණික්‍යය 10. දුන්නක්‌ 11. හක්‌ ගෙඩියක්‌ 12. අමෘතය 13. කලාකැට නම් උග්‍ර විෂ 14. සුරාව. මේ වස්‌තූන් තුදුස අනන්ත ගුණ ඇති ශක්‍රයා බෙදුවේ මේ ලෙසිනි. 1, 2, 3, 4, 5, 6, 7 සහ 12 යන වස්‌තු තමන්ටම තියා ගත්තේය. 8, 9, 10, 11 යන වස්‌තු ස්‌වකීය සහෝදර විෂ්ණුට ලබා දුන්නේය. 13 හා 14 යන වස්‌තු අසුරයන්ට හිමිකර දුනි. ශක්‍රයා පිළිබඳ මෙවන් කරුණු බොහෝ ගණනක්‌ දේවකතා උපයෝගී කරගෙනම දැක්‌විය හැකි නමුත් ශක්‍රයාගේ හැටි ස්‌වභාව දැක්‌වීමට ඉහත සඳහන් ප්‍රවෘත්ති දෙක පමණක්‌ම සෑහේයයි සිතමි.

ධර්මසේන හිමියන් කී පරිදිම කිරි දෙවීමට බුරුල්ල තිබියදී අඟ අල්ලාගෙන දඟලනවා වැනි ජාතක කථාවලින් අපේ ජීවිතයට ලබාගත යුතු හරය, ධර්ම මාර්ගය පසෙකලා ශක්‍රයාගේ භාෂාව, වාහනය, තෙලි කූරේ දිග වැනි නොවටිනා දේ ගැන අදත් වාද විවාදවලට පැටලෙනුයේ ශ්‍රද්ධාව හඳුනාගැනීම අවබෝධ කරගැනීම යටපත් කරගෙන නැගුණ අනවශ්‍ය භක්‌තිය නිසා බව සිතමි. ඉහවහා ගිය භක්‌තිය නිසා යථාර්ථයට වන හානිය ගැන අද මෙන්ම එදා ද නොසිතූ බව මේ කරුණු දෙක ගැන පමණක්‌ වුව සිතා බැලීමෙන් වටහාගත හැකිය.

සම්බුදු රජාණන් වහන්සේ වැඩ සිටින කාලයේ උන්වහන්සේට මහජනතාවගෙන් ලැබුණ සුවිශාල ප්‍රසාදය හා දානමානාදිය ඉවසාගත නොහැකි තීර්ථයන්, චිංචිමානවිකාව යොදාගෙන බුදුන් වහන්සේට අභූත චෝදනා කළ සැටි බෞද්ධ පොතපතේ සඳහන්ය. ඒවායේ කියවෙන අන්දමට චිංචි නම් වෙසඟන රද මිටියක්‌ කුසට තබා බැඳ බුදුරදුන් ප්‍රමුඛ මහා පිරිස්‌ මැදට පැමිණ තමා ගැබ් ගත්තේ බුදුරදුන් නිසා යයි බුදුරදුන්ට අභූත චෝදනා නඟන වේලේ මෙය දිවැසින් දුටු ශක්‍රයා මීයකුගේ වෙසක්‌ ගෙන පැමිණ චිංචි මානවිකාවගේ දර මිටිය බැඳ තිබූ රැහැන්පට කපා ඇයගේ මහා බොරුව හෙළිකළ බවත් බුදුරදුන්ගේ නිර්දෝෂී භාවය ලොවට පෙන්වා දුන් බවත්ය.

සැබවින්ම මෙය මෙසේම සිදුවූ දෙයක්‌ යයි සිතිය හැකිද? අදටත් වඩා සිය දහස්‌ ගුණයක උගතුන් බුද්ධිමතුන් සිටි යුගයක එවක ජීවත් වූ ඉහළම උගතුන් පිරිවරා සිටි ලොව පහළවූ ශ්‍රේෂ්ඨතම අග්‍රතම බුද්ධිමතාණන් වහන්සේ ඉදිරියට දරු ගැබක හැඩ පෙන්නීමට දර මිටියක්‌ බඩ බැඳ ගැනීම විශ්වාස කළ හැකිද? මහ පිරිස්‌ අතරින් මීයකු පැමිණ දෙපා දිගේ නැග අතිශය සංවේදී වූ ස්‌ථාන පවා පසුකර ගොස්‌ රැහැන් පට කපන තුරා නොදැනෙන මනුෂ්‍ය දුවක්‌ සිටිය හැකිද? චිංචි මානවිකාවගේ කතාව සත්‍යයක්‌ වුව අතර සිදුවිය හැක්‌කේ මෙය නොවේද? බුදුරදුන්ට නිගා කරනු වස්‌ ඇයට හැඩයක්‌ නම්‍යශීලී බවක්‌ නැති දර මිටියක්‌ නොව පුළුන් කොට්‌ටයක්‌ හෝ රෙදි පොට්‌ටනියක්‌ කුසට තබා බැඳ ඇය බුදුරදුන් ඉදිරියට යවන්න තීර්ථකයෝ කටයුතු කරන්න ඇත. වචනයෙන් පමණක්‌ නොව සාක්‌ෂ්‍ය සහිතව දරු ගැබ පෙන්වමින් ඇය මිහිකත පවා නුසුලන මේ අභූත චෝදනා කරද්දීත්, තුන් ලෝක සත්වයාටම එකම මෛත්‍රිය පෑ කරුණා නිධාන බුදුරජාණන් වහන්සේ ඇයට අනුකම්පා කොට තමන් වහන්සේගේ නික්‌ලේෂී ශාන්ත මුහුණින්ම මහා කරුණා නෙතින්ම ඇය දෙස බලන්නට ඇති. මෙතරම් අපරාධයක්‌ කරද්දිත් නොසැලුණ කෝප නොවුණ වෛර නොකළ බුදුරදුන්ගේ මහා කරුණා බැල්මට දරාගත නොහැකි වූ චිංචි මානවිකාවගේ සියොළඟින් දහඩිය ගලන්නට ඇත. මනස අවුල් වන්නට ඇත. පාප සිතිවිලිවල බර දරා ගන්න බැරිවෙන්නට ඇත. මේ ශාරීරික වෙනස්‌ වීමත් සමගම කෘතිම දරු ගැබ බැඳ තිබූ රැහැන් පට ලිහිල් වී එය කඩා හැලෙන්නට ඇත. අනුත්තර වූ බුදු මහිමය පරදා ශක්‍රයාගේ හපන්කමක්‌ ලෙස මෙය පෙන්වන්නට වැර වෑයම් යොදන්න ඇත්තේ දෙදෙව්ලොවටම අධිපතියාත්, බුදුරදුන්ගේ අන්තේවාසිකයකු යයි පෙන්වීමේ අහිංසක උත්සාහයක්‌ ලෙස නොවිය හැකිද?

බෞද්ධ ග්‍රන්ථවල ප්‍රකට සච්චක දමනය ගැන බලන්න. පොතපතේ කියවෙන පරිදි මහා වාදකරුවකු වූ සච්චක බ්‍රාහ්මණයා බුදුරදුන් හමුවේ වාද කරද්දී සච්චකයාට පමණක්‌ පෙනෙන පරිදි බුදුරදුන් පිටුපසින් නැඟී සිටින ශක්‍රයා යගදාවක්‌ ගෙන තොගේ මහබඩ පලන්නෙමැයි කළ ගෝරනාඩුවට බියවූ සච්චක බුදුරදුන් හා පැවැති වාදයෙන් පැරද පසුබැස ගියේලු. මේ අසමසම සම්බුදු රදුන්ට කළ නිග්‍රහයක්‌ නොවන්නේද? සච්චකයා පැරද පසුබැස්‌සේ බුදුරදුන්ගේ නොබිඳිය හැකි කරුණු පෙන්වාදීම මත නොවේද? බුදුරදුන් හා වාද කර ජයගන්න හැකි සමතෙක්‌ මුළු තුන්ලොවේම විසුවේද? මේ කථාවේ හැටියට ශක්‍රයාගේ මුගුර නොතිබෙන්නට බුදුරදුන් වාදයෙන් පැරදෙනු ඒකාන්තය. අහෝෘ බලන්න, භක්‌තිය උතුරා යැම නිසා සත්‍යය වැසී ගිය හැටි.

මීයකු නැතිවාට චිංචි මානවිකාවගේ ප්‍රශ්නය කාලයා විසින් නිරුත්සාහයෙන්ම විසඳනු ඇත. නිග්‍රහයකදී මීයකු වූ ශක්‍රයාට බුදුරදුන් මරා දමන්නට ආ නාලාගිරි හමුවේ ඇත් ගොව්වකුගේ පමණක්‌ නොව කටුස්‌සියකුගේ තරම් වේශයක්‌ ගන්න නොහැකිවීම මොන තරම් නම් හාස්‍යයක්‌ද? ඔන්න ශක්‍රයාගේ හැටි. අටුවා ටීකා අවශ්‍ය නම් තවද සැපයිය හැක.

ආර්. සී. වතුහේන

සස ජාතකකරු ශක්‍රයාගෙන් වැඩ ගෙන ඇත

දෙදහස්‌ නවයේ ජුලි මස පළමුවැනි බදාදා “දිවයින” පුවත්පත් අතිරේකයේ පළවූ ආරක්‌ෂක අමාත්‍යාංශයේ විශ්‍රාමික පරිපාලන නිලධාරි ඩී. සමරසේකර මහතාගේ ලිපිය සම්බන්ධවයි. එම ලිපිය කියෑවූ මටද මගේ අදහස්‌ කීපයක්‌ එක්‌ කිරීමේ අදහසක්‌ ඇතිවිය.

පළමුවෙන් සඳහන් කළ යුතුව ඇත්තේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු පන්සීයයකට පමණ පසු ග්‍රන්ථාරූඪ වන ජාතක කතාවනට ශ්‍රීමුඛ දේශනා පමණක්‌ නොව අනෙකුත් කාලීන මති මතාන්තරද එක්‌වී ඇති බවය. ඇතැම් ඒවා අද්භූත අභව්‍ය සුරංගනා කතාවල ස්‌වරූපය ගනී. එහෙත් ජාතක කතාකරුවාගේ පරමාර්ථය හා කතා කලාව දෙස බලන විට, එම ඇදහිය නොහැකි තත්ත්වයන් සංසකලා බුදුන් වහන්සේ හා ශ්‍රී සද්ධර්මය කෙරෙහි අසීමිත භක්‌තියක්‌ ඇතිකර ගැනීමට දෙදහස්‌ පන්සිය වසරකටත් වැඩි කාලයක්‌ තිස්‌සේ බෞද්ධයා පුරුදු පුහුණුව සිටී.

ඒ සමගම අප කෙසේවත් අමතක නොකළ යුතු ඉතා වැදගත් කාරණය නම් ජාතක පොත ශ්‍රැති ගෝචර රටාවට අනුව ලියන ලද බවයි. බණ මඩුවට රැස්‌වූ දායකයෝ උගත් භික්‍ෂුවක්‌ හෝ ගිහියෙකු විසින් ඉතා මිහිරි ස්‌වරයෙන් කියවනු ලබන පොත පතකට සවන් දෙන්නට පුරුදුව සිටියහ. කතාකරුවාගේ මුඛ්‍ය පරමාර්ථය හානියක්‌ නොවන පරිදි ඔහු එය ඉදිරිපත් කළේය. සාහිත්‍යය ධර්ම ප්‍රචාරය සඳහා යොදා ගැන්මද ජාතක කතා ලියූ ලේඛකයන්ගේ සිරිත විය. සස ජාතකයෙන් ඉස්‌මතුකරන්නට අදහස්‌ කෙළේ බෝධිසත්වයන්ගේ දාන පාරමිතා ගුණයයි බලයයි.

සඳ දෙස බලන පෙරදිගවාසීන්ට එහි තුළ වූ ලප කැළල් නිතරම පෙනුනේ සාවකුගේ හැඩරුවෙනි. සස ජාතකය කතාකරුවා මීට සාහිත්‍යමය අගයක්‌ එකතු කොට වඩාත් සිත්ගන්නා අයුරින් අසන්නා තුළ භක්‌තිය ජනිත කරවීමට මෙවැන්නක්‌ නිර්මාණය කළා යෑයි සිතිය හැකිය.

අද අප තුළින් ඈත්ව ගියමුත් එදා ශක්‍රයා පිළිබඳවද අසීමිත කතාන්දර සංඛ්‍යාවක්‌ ගෙතී තිබිණි. ලොකු කුඩා බොහෝ දෙනෙක්‌ අසා තිබුණි. ඒ කතාන්දරවල එන ශක්‍රයා සස ජාතක කතාකරුවා විසින් නව නිර්මාණයක්‌ සඳහා යොදා ගත් අවස්‌ථාවක්‌ ලෙස මෙය සැලකිය හැකිය. තවත් ආකාරයකින් දක්‌වතොත් සස ජාතක කතාකරුවා විසින් ශක්‍රයා අලුත් විදිහේ වැඩක නිරත කළා යෑයි කිව හැකිය. ශක්‍රයා වටා ගෙතී තිබුණ කතාන්දර අනුව ශක්‍රයා මහා අපූර්ව දේ කළ හැකි පුද්ගලයෙකි. ඉහළ අහසේ සැරි සැරිය හැකිය. ඒ කතා පිළිගෙන තිබුණ එදා සමාජයට සඳේ සා රුව අඳින්නට හැකි හපනා වශයෙන් ජාතක කතාකරුවා විසින් යොදා ගත්තේ ශක්‍රයාය. එදා පිළිගෙන තිබුණ ශක්‍ර සංකල්පය නව දිසාවකට යොමු කරවමින් බෝධිසත්වයන්ගේ දාන පාරමිතාවේ බලමහිමය පෙන්වීමට එය උපයෝගී කර ගත්තා යෑයි සිතිය හැකිය. ශක්‍රයා දෙවැනි තැනට යවා සාවාගේ චරිතය ඉස්‌මතු කිරීමත්, ඒ තුළින් පාඨකයාට අසන්නට දහම් පණිවුඩයක්‌ ගෙන දීමත් විනා ශක්‍රයාගේ උපන් ගම් හෝ දෙමාපියන්ගේ වතගොත සෙවීමට ජාතක කතා කරු උනන්දුවී නැති බව කිව හැකිය.

සස ජාතකය හැරුණුවිට අස්‌වාභාවික යෑයි පෙනෙන අද්භූත යෑයි සිතෙන තවත් කතා ජාතක පොතෙහි දක්‌නට ඇත. උදාහරණ කීපයක්‌ මෙසේ කෙටියෙන් දැක්‌විය හැකිය.

1. වට්‌ටක ජාතකයේ එන වටු පැටවාගේ සත්‍ය ක්‍රියාව.

2. දේවධර්ම ජාතකයේ මහිංසාස කුමාරයා හා රකුසා අතර ඇතිවන කතා බහ. දෙදෙනාගේ බහ තේරුම් ගැනීමේ හැකියාව.

3. කුක්‌කුර ජාතකයේ සුනඛයා රජු හා කරන සාකච්ඡාව.

4. බක ජාතකයේ කුඩා මසුන් හා කොකා අතර ඇතිවූ සංවාදය.

මේ සියල්ලෙන් පෙනී යන්නේ චරිත නිරූපණයට මුල් තැන දෙනු වෙනුවට යම් කිසි සාරධර්මයක්‌, දහම් පණිවිඩයක්‌ හුදී ජන සිත් තුළ කාවැද්දීම සඳහා මුඛ්‍ය පරමාර්ථය වටා සෙසු සියලු චරිත හැකි අයුරින් යොදා ගන්නට ජාතක කතාකරුවා පෙළඹුණු බවය.

“ඇන්දේ සොඳිනා සක්‌ සුරින්දා සාවගේ රූපේ” යන්න සස ජාතක කතා කරුවාගේ නව සාහිත්‍යමය නිර්මාණයක්‌ විනා අන් කවරක්‌ද?

එච්. පී. විජයනන්ද,
පුරා තතු ගවේෂක, සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ හිටපු උප පීඨාධිපති


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: