Posted by: lrrp | August 29, 2009

මගේ පුතා මට ඕනෑ

සාමාන්‍ය මිනිසා ගේ ජීවත්වීම යනු සෑම මොහොතක ම යම්කිසි බලාපොරොත්තුවක් හෝ ප්‍රාර්ථනාවක් ඉලක්ක කොට ගෙන ක්‍රියා කිරීමකි. ඒ සෑම සිතුවිල්ලක ම ඇලීම හෝ ගැටීම නිරන්තරව පවතී. එසේ නොවන්නේ භාවනා යෝගීන් වෙත පමණි. අනෙකුත් සෑම කෙනෙකු ම අවදිව සිටින සෑම මොහොතකම තණ්හාව හෙවත් ලෝභය මිශ්‍ර සිතුවිල්ලක හෝ ද්වේෂය හෙවත් ගැටීම මිශ්‍ර සිතුවිල්ලක පවතී. මේ සිත්වලට මෝහය ද බලපෑම් කරයි. සාමාන්‍ය මිනිසෙකු තමන් බලාපොරොත්තු නැති අවස්ථාවක හදිසි අනතුරකින් හිටි හැටියේ ක්ෂණයකින් මරණයට පත් වේ ද ඒ ප්‍රාණ කාරයාගේ සිතුවිලි බොහෝ විට ගේ දොර අඹුදරු ආදි සමීප සම්බන්ධතා සමඟ හට ගනී. මේ එසේ මිය ගිය හමුදා නිලධාරියෙකු ගේ කතාවකි.

සනත් නාවුක හමුදාවේ සේවය කළ තිස් දෙහැවිරිදි විවාහකයෙකි. ළා බාල වයසෙන් ම විවාහ වූ ඔවුනට ඒ වන විට දස හැවිරිදි පුතෙක් හා වසරක පමණ වයසැති දියණියක් ද වූහ. සේවා කාලයෙන් වැඩි කාලයක් මහ මුහුදේ ජීවත්වන ඔහු මාසයකට වරක් නිවාඩුවට නිවසට පැමිණ තරුණ බිරිය හා දරු දෙදෙනා සමඟ කාලය ගෙවා ආපසු සේවයට යෑම සිරිත විය.

1996 කොටි ත්‍රස්තවාදීන් රණවිරු නැවට පහර දී විනාශ කළ අවස්ථාවේ සනත් ද බරපතළ ලෙස තුවාල ලැබීය. මුහුදේ පාවෙමින් තිබුණු ඔහුගේ සිරුර යුද හමුදා සෙබළුන් විසින් ගොඩ ගනු ලබන විට ඔහුට යම්තමින් පණ තිබිණි. ඔහු කෙඳිරිලි හඬින් සිය බිරියගේත් පුතාගේත් නම් කියා අමතන්නට විය. තමන්ගේ ජීවිතය බේරා ගන්නැයි හමුදා නිලධාරීන් ගෙන් ඉල්ලා සිටියේය.

එහෙත් තුවාලවල බරපතලකම නිසා සනත් වැඩි වේලාවක් ජීවත් වූයේ නැත. ඉන් පසු ඔහුගේ සිරුර නිවසට ගෙනැවිත් නියමිත ගෞරව හා ආගමික වතාවත් සිදු කොට අවසන් කටයුතු සිදු කළහ.

1997 වර්ෂයේ සනත් සිහිපත් කොට සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් පවත්වා සංඝගත දක්ෂිණාවක් පිරිනමා වසරක් ගතවීම නිමිති කළ පිංකම සනත්ගේ බිරිය ඉහළින් ම සිදු කළා ය.

එදා පිංකම දවසේ ඒ වන විට එකොළොස් හැවිරිදි පුතා ගේ ස්වභාවය අමුතු විය. පුතා මිය ගිය පියා සේ කතා කරන්නට විය.

“මම සනත්, මම සතුරු ප්‍රහාරයකින් මැරුණා. අපේ නැවත් විනාශ වුණා. මම පීනාගෙන ගොඩට එන්න හදන කොට මට වෙඩි වැදුණා. පින්කම්වලින් මට පින් ලැබුණා. හැබැයි මගේ පුතාට දුකක් නම් දෙන්න එපා. පුතාට දුකක් දුන්නොත් එහෙම මම පුතා අරගෙන යනවා. පුතාට වයස අවුරුදු දහ අට වෙන විට මම ආයෙත් එනවා. මට පුතාට දෙන්න දෙයක් තියෙනවා.” යැයි කීවේය.

පුතාට වයස අවුරුදු දහ අට සම්පූර්ණ වන විට ඔහුට බඩේ අමාරුවක් හා උණක් වැළඳිණි. වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන්නත් සුවයක් නොලැබිණි. දිනක් ගුවන් විදුලි යන්ත්‍රයේ පිරිත් දේශනය ප්‍රචාරය වෙද්දී පුතා කලබල වී දුවන්නට පටන් ගත්තේ ය. පුතා ගේ මාමලා ඉදිරිපත් වී ඔහු අල්ලා ගෙන කාමරයට ගෙනාවේය. පුතා ළඟට ගිය අම්මා පුතා ගේ හිස අත ගාමින් “ඉතිපි සෝ…” ගාථාව කියන්නට පටන් ගත්තා ය. ඒ සමඟ ම පුතා වහාම මවගේ කට මිරිකා කට වැසුවේ ය. ඒ පිළිබඳ සනත් ගේ බිරිය මල්ලිකා විස්තර කළේ මෙසේ ය.

මම ‘ඉතිපිසෝ…’ ගාථාව කියන කොට මගේ කට මිරිකා, කට වැසුවේ පුදුම ශක්තියක් ඇති අතකින්. ඒ පුතා නම් නොවෙයි. මේ වන විට දවසක් පුතා මගේ අම්මාට (පුතාගෙ ආච්චිට) විහිළුවක් කරලා. අම්මාට තරහ ගිහින් බැණලා තිබුණා. ඊට පස්සෙ අම්මා අසනීප වුණා. ඉතින් එදා මගේ කට වහපු වෙලාවේ පුතාගෙ ඇඟට සනත් ඇවිත් බව අපට තේරුණා. මම ඇහුවා

“ඇයි සනත් ඔයා ආවේ?” කියලා.

“මට මගේ පුතා ඕනෑ. මට පුතා අරගෙන යන්න ඕනෑ. ඔය ගොල්ලෝ මගේ පුතාට දුක් දෙනවා. එදා ඇන්ටි මගේ පුතාට බැන්නා. පුතා හොඳට ම දුක් වුණා. ඊට පස්සේ නේද? ඇන්ටි ලෙඩ වුණේ. මම තමයි ඇන්ටිව ලෙඩ කළේ. මට මගේ පුතාව ඕනෑ.”

“එහෙම පුතාව ගෙනියන්න දෙන්න බෑ. මගේ තනි නොතනියට මට ඉන්නේ පුතා විතරයි. එහෙම නම් ඉතින් මාවත් අරගෙන යන්නැ”යි මම කීවා.

“පුතා ඕනෑ නම් ඔය කාමරයේ තියන්න එපා.” කියමින් පුතා දඟලන්න වුණා. ඊට පස්සේ, “මට තේ එකක් හදා ගෙන එන්නැ” යි කීවා. මම කුස්සියට ගිහින් තේ එකක් හදා ගෙන ඇවිත් දුන්නා. ඒත් ඒක බීවේ නෑ. ඒ වන විට පුතා ප්‍රකෘති තත්ත්වයට ඇවිත් හිටියා.

“නැවතත් දවසක් මම උදේ රේඩියෝ එකේ පිරිත් දැම්මා. එදත් පුතාගෙ ඇඟට මහත්තයා ආවා. බොහෝ ම රළු නපුරු විදිහට ආවිශ්ට වුණා.

“උඹලට මම කියල තියෙනවා නේද පිරිත් දාන්න එපා ය කියලා. මම උඹේ ලොරිය පෙරළනවා. (මල්ලිකා සතුව ලොරි රථයක් ඇත.) ඒක දැන් එළියේ නේද තියෙන්නේ. ඩ්‍රයිවර් විතරක් යවපං ලොරියේ. මොකද වෙන්නේ කියලා බලන්න. උඹ නිතර ම ‘ඉතිපි සෝ’ ගාථාව කියනවා. ඒකත් නතර කරපං. නැත්නම් මං උඹේ අම්ම මරණවා. මගේ පුතාට උඹේ අම්මා බැන්න දවසේ ඉඳලා උන්දෑ ලෙඩින් නේද? හෙඞ හෙඞ…

මේ අතරෙ මගේ මල්ලිලා ඇදුරෙක් ගෙන්නුවා. ඇදුරා ගෙට ගොඩ වෙන කොට ම පුතා තවත් දරුණු වුණා. වියරුවෙන් වගේ හෙඞ… හෙඞ… හේ… කියලා හිනා වෙලා අරූට පුළුවන් ද මාව එළවන්න. කියල නැගිටලා ගිහින් කමිසයක් ඇඳ ගත්තා. හිස පීරා ගත්තා. ජීවත්ව ඉන්දැද්දි වගේ පිළිවෙළට ලැහැස්ති වෙලා තමයි කාමරයෙන් එළියට ගියේ. ගිහින් ඇදුරාට කීවා

“උඹට බෑ මාව එළවන්න කියලා, ඒ මනුස්සයට ගහන්න හැදුවා. මිනිහත් බය වුණේ නෑ. ඔය වගේ හපන්කම් කියන අය මම ඕනෑ තරම් දැකලා තියෙනවා. මේ භූතයා බුදු ගුණවලටත් වඩා බලවත් ද? බුදු ගුණවලට වඩා කිසි ම දෙයක් බලගතු වෙන්න බැහැ. බුදු ගුණ සත්තයි. බුදු ගුණ සත්තයි කියලා ඇදුරා පිරිත් කියන්න පටන් ගත්තා. පිරිත් කියලා පිරිත් නූල කරට දැම්මා. ඊට පස්සෙ නිශ්ශබ්ද වුණා.

ඒ වගේ ම තවත් පුදුම සිද්ධියක් තියෙනවා. 1997 වර්ෂයේ ඉඳලා ගෙදර ලයිට් නිවපු ගමන් සනත් කාමරයට එනවා. ඇවිත් මගේ ඇඳේ වාඩි වෙනවා මා ළඟින්. ඒ වෙන කොට මට මගේ මහත්තයා මැරිලා ය කියලා හිතෙන්නේ නෑ. මම ඉස්සර ජීවත්ව සිටිය විදියට ම යි හිතෙන්නේ. මහත්තයා මෙහෙම එන්නේ හැම මාසෙක ම නිවාඩුවට ගෙදර එන දවස්වලට යි. කාමරයෙන් පිට වුණා ම තමයි එයා මැරිලා නේද? කියලා මතක් වෙන්නේ. පුතා ගෙ සිද්ධියෙන් පස්සේ, මගේ අම්මා ලෙඩ කළාට පස්සේ, අමනාප වෙලා ද කොහෙද දැන් එන්නේ නෑ.

මේ අතරෙ මගේ සහෝදරයෝ මම තවමත් තරුණ වයසේ නිසාත්, මට ආරක්ෂාවක් අවශ්‍යයි කියා විවාහ යෝජනාවක් ගෙනාවා. ඉතින් අයියලාගෙ උවමනාවට වුණත් ඒ අලුත් මහත්තයා දවසක් මා බලන්න අපේ ගෙදරට ආවා. ඇත්තට ම මට විවාහයක් අවශ්‍ය වුණෙත් නෑ. ඒ ආපු මහත්තයාට මගේ කැමැත්තක් ඇති වුණෙත් නෑ. අන්න එදා ඉඳලා තමයි මහත්තයා පුතා ගෙ ඇඟට ආවිශ්ට වෙලා නපුරුකම් කරන්න පටන් ගත්තේ. මගේ අම්මා පුතාට බැන්නයි කියලා වෛර බැඳගෙන අම්මාව අසනීප කළෙත් ඊට පස්සෙයි.

එයා හමුදා නිලධාරියෙක් වගේ ම බොහෝ ම තදින් ඉඳලා, සැර පරුෂව කතා කළාට, ගුවන් විදුලියේ පිරිත් දාන්න එපා යැයි කීවාට, ඉතිපි සෝ ගාථාව කියන්න එපා ය කියා මට තර්ජනය කළාට, ඇදුරාට තර්ජනය කර ගහන්න ගියාට ඇදුරා පිරිත් කියා පිරිත් නූල කරට දැම්මා ම අනේ, පූස් පැටියෙක් වගේ පාලනය වුණා. දැන් මට හිතෙනවා එයා අකමැති දේ අපි කරනවාට අමනාපෙන් තර්ජනය කළාට තෙරුවන් ගුණය ශක්තිය ඉදිරියේ එයා වුණත් පාලනය වන බව. යටත් වන බව.

කොහොම වුණත් දැන් පුතාට වයස අවුරුදු දහ අටයි. “මගේ පුතාව මම අරගෙන යනවා” ය කියමින් මෙයා නිතර තර්ජනය කරන නිසා මගේ හිතට බයයි. ඒ නිසා “සිළුමිණ” පත්‍රයේ පළ වෙන “පියවි ඇසින් ඔබ්බට” ලිපිය කියවලා මේ ගස්නාවේ ඤාණානන්ද නායක හාමුදුරුවන් මුණ ගැහී මගේ ප්‍රශ්නය කීවා.

උන් වහන්සේ නියම කළ ආගමික පිළිවෙත් ඉතා ම උනන්දුවෙන් ඉටු කළා. දැන් අපට ඒ අතින් කරදරයක් නෑ. ඒත් අපෙන් ඉටුවිය යුතු, යුතුකම් මග හරින්න හොඳ නෑ. දැන් අලුත් භවයක ඉපදී සිටින නිසා ඊට සාපේක්ෂව එයා ගෙ ගතිගුණ ක්‍රියා මාර්ග රළු වෙන්න පුළුවන්.

ඒත් එදා මේ අපිව පෝෂණය කළ, අපේ අනාගතය සුරක්ෂිත කළ මගේ ස්වාමි පුරුෂයා නේද කියා එයා වෙනුවෙන් දන් පින් කර පින් අනුමෝදන් කිරීම මගේ යුතුකම විය යුතු ය කියා මා දන්නවා.

මගේ මහත්තයා රට ජාතිය වෙනුවෙන් ජීවිත පූජා කළාට රජයෙන් විශාල දීමනාවක් අපට ලැබුණා. ඒ වගේ ම හොඳ විශ්‍රාම වැටුපක් අපට ලැබෙනවා.

මේ මුදල්වලින් අපි ම කාල බීල සතුටු වුණාට මදි. මේවා ලැබෙන්නේ මැරිච්ච පුද්ගලයා නිසා බව සිහිපත් කැර එයාට පින් දෙන්න ඕනෑ. දැනට ඉන්න ආත්මයට වඩා යහපත් තත්ත්වයකට පත් වෙන්න කියා. මම ඒ විදිහට කල්පනා කර ධර්ම මාර්ගයේ යමින් පින් දහම් කරනවා. දරුවන් දෙදෙනාවත් ඒවාට හුරු කරවනවා.

ඒ වගේ ම එයාට පින් අනුමෝදන් කර යහපත් තත්ත්වයට පත් කළාට මදි. මට තව උපදෙසක් ලැබුණා. කෙනෙක් හදිසියේ මැරුණා ම ඒ අයට ස්ථිර තැනක් නැති වෙන අවස්ථාත් තියෙනවා.

ඒ නිසා ඒ අයට “විමානයක්” පහළ වෙන්න කියා භූමි පූජාවකට දායක වෙන්න කියා. ඒ සඳහා නැති බැරි කෙනෙකුට ඉඩමක් ගන්න ගෙයක් හදා ගන්න උදව් කරන්න කියා. ඊටත් වඩා පින් වැඩෙන කුසලයක් වශයෙන් නිතර ආධ්‍යාත්මීය ශක්තිය වර්ධනය කරන භාවනා මධ්‍යස්ථානයක් ගොඩ නැගීමේ කටයුතුවලට දායක වෙන්න කියා.

ඒ නිසා ඒ වගේ භාවනා මධ්‍යස්ථානයක් හොයා ගත්තා. ආර්ථික වශයෙන් ස්ථිර ආදායම් මාර්ගයක් නැති වුණත් ඒ වගේ භාවනා යෝගී මෙහෙණින් වහන්සේ නමක් භාවනා මධ්‍යස්ථානයක් ආරම්භ කැර තියෙනවා. ඒ ස්ථානයට ඒ භූමියේ බර පැණ ගෙවන්නට මටත් පුළුවන් ආකාරයෙන් දායක වෙලා මගේ මහත්තයාට විමානයක් පහළ වෙන්න ඒ පුණ්‍ය ශක්තිය අනුමෝදන් කරනවා.

ඤාණානන්ද නායක හාමුදුරුවන් නියම කළ පිළිවෙත්වලින් මගේ මියගිය මහත්තයා දැන් ශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟට යැව්වා. ශ්‍රී මහා බෝධීන් වහන්සේට අධි ගෘහිත, ප්‍රධාන කළු දේවතා බණ්ඩාර දෙවියන්ට පින් අනුමෝදන් කොට ආරාධනා කැර ඒ තත්ත්වය ලබා දුන්නා. දැන් එයා ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඇසුරු කරමින් දෙවියන් ගේ වන්දනාමාන පුද පූජාවලට සහභාගි වෙමින් ඉන්නවා.

මිය ගිය ඥාතියෙකු හෝ වේවා, තමන් ගේ ශරීරයට, තමන් ගේ නිවසට ඇබ්බැහි වී සිටින අමනුෂ්‍යයෙකුට ඇදුරන් ලවා පීඩාවට පත් කොට ඉවත් කරනවාට වඩා, අපි ධර්ම මාර්ගයේ යමින් නිතර කුසල් හි යෙදෙන විට අපේ ආධ්‍යාත්මීය ශක්තිය වර්ධනය වෙනවා.

එහෙම අපේ ශක්තිය බලවත් වන විට අමනුෂ්‍යයන්ට බැහැ අපට පීඩා කරන්න.

ඒ වගේ ම අමනුෂ්‍යයාට වුණත් කරුණාවෙන් පින් අනුමෝදන් කොට ඔහු යහපත් තැනකට පත් කිරීමෙන් ඔහු සුඛිත මුදිත කිරීම විශාල කුසල කර්මයක් බව ද ඤාණානන්ද නාහිමියෝ පවසති.

මේ හමුදා නිලධාරියාගේ පුතා වයස අවුරුදු දහ අට වන විට වැළඳුණු බඩේ අමාරුව හා උණ රෝගය ද නාහිමියන් නියම කළ පිළිවෙත් සිදු කරන විට ඉබේ ම සුවපත් වීය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: