Posted by: lrrp | September 5, 2009

බේබද්දන් මැරී අමනුස්සයන්ව ඉපිද බේබද්දන්ගේ ම ඇඟට රිංගා සතුටක් ලබනවා

මංගල උත්සවයක් වුව ද දානමය පින්කමක් වුව ද දරුවකුගේ උපන් දින සැමරුමක් වුව ද එහි මත්පැන් නොතිබුණොත් මහත් අඩුවක් යැයි ඇතැම්හු සිතති. සංග්‍රහයේ මදි පුංචි කමකි. මේ හැම එකකින් ම ආශීර්වාදය කෙසේ වෙතත් ආදීනවය නම් අනිවාර්යයෙන් ලැබෙයි. ඇඟ පතේ අමාරුවට චුට්ටක් ගත්තාට කමක් නැතැයි ද, කෑම දිරවන්නට බොහෝ ම හොඳ යැයි ද, අපේ දොස්තර මහත්තයත් කීවා ඩිංගක් ගත්තාට කමක් නැතැයි කියා ද කියමින් බොන කෙනා නොබොන කෙනාට බොන්නට පුරුදු කරයි. පුරුදු වූ පසුව ඒ කෙනා මරා ගෙන බොන්නට මාන බලයි. 

එහෙම බැරි වුණොත් ඌට පිනා යැයි හංවඩුවක් ගසා මග හරියි. කෙසේ නමුත් ගෙදර කුස්සියේ දහසක් අඩු පාඩු තිබුණත්, පාසල් යන දුවට පුතාට අවශ්‍ය දෙයින් අඩුපාඩු තිබුණත් තාත්තා හැන්දෑවට ගන්නා ‘ෂොට්’ එක නම් වරදින්නේ නැත. දැන් දැන් කාන්තාවෝ ද මංගල උත්සවයකට ගියා ම පාට පාට කුඩයක් යටින් හිඳ ගන්නට බොහෝම කැමති ය. සුපිරි හෝටල්වල පවත්වන සාදවලදී නම් “කියලා වැඩක් නැත.” එසේ ම ගමේ සිට නගරයේ ඇඟළුම්හල් වල රැකියා සොයා එන නංගිලාට අක්කලා මෙය පුරුදු කරවති.

සමාජයේ පරිහානියට පත් වී ඇති බොහෝ පවුල්වල ඒ පිරිහීමට හෝ දියුණුවේ පසුගාමීත්වයට හේතු වී ඇත්තේ ද සුරාපානය යි. අපි අද පියවි ඇසින් ඔබ්බට දකින්නේ නුවර ප්‍රදේශයේ එසේ පරිහානියට පත් පුද්ගලයකු ගැන ය.

උපාලි මව් පිය උරුමයෙන් සෑහෙන දේපළක් හිමිව ව්‍යාපාරයක් පවත්වා ගෙන ගිය තරුණයෙකි. නිසි වයස් එළඹි විට තමන්ට ගැළපෙන තරුණියක් විවාහ කැර ගෙන සතුටින් පවුල් ජීවිතයක් ගෙව්වේ ය. දියණියක හා පුතකුගේ පියකු බවට ද පත්වීය. ව්‍යාපාරික කටයුතු දියුණු වෙමින් පවතිද්දී තමන් ජීවත්වන ව්‍යාපාරික සමාජයේ මිතුරන් සමඟ විවිධ සංවිධාන, සාකච්ඡා, උත්සව ආදියට ද සහභාගි වන්නට සිදු විය. මේ සෑම අවස්ථාවක ම මිත්‍රත්වය හා සතුට සඳහා මධුවිත සම්බන්ධ කැර ගැනීම ද සිරිතක් විය. ඔවුහු ව්‍යාපාරිකයන් නිසා අත මිට දිග හැර හිතේ හැටියට පී‍්‍රතිය බෙදා ගත්හ.

මෙසේ බීමත්ව ගෙදර එන උපාලි බිරියගේ අවඥාවට දෝෂාරෝපණයට ද ලක් විය. මත්පැනින් තමන්ටත්, දරු දෙදෙනාටත් සිදු වන හානියත්, ව්‍යාපාරික වශයෙන් සිදු වන පාඩුවත් තම ස්වාමි පුරුෂයාට හොඳින් අවබෝධ කැර දී ඔහු ඉන් මුදා ගන්නට කටයුතු කරනවා වෙනුවට මේ බිරිය කළේ උපාලිගේ ඇඟට කඩා පැනීම ය. සිතේ මවා ගත් ස්ත්‍රී ආධිපත්‍යයක් තුළින් කටු බැල්ලියක සේ බුර බුරා ඔහුගේ ඇඟට පැනීම ය.

බෙලි කටු මල්ලක් සොලවන්නා සේ තොර තෝංචියක් නැතිව බිරියගේ මුවින් පිටවන කන්කරච්චලය ඉවසා ගන්නට නොහැකි වූ උපාලි කළේ නැවතත් නිවසින් පිට වී ගොස් තව තවත් මත්පැන් පානය කොට රෑ දෙගොඩ හරියේ ආපසු හතර ගාතෙන් පැමිණ රාත්‍රි ආහාර වේල පවා නොගෙන නින්දට යෑම ය.

මේ තත්ත්වය යටතේ උපාලි ගේ පවුලේ සමගි සමාදානය, පී‍්‍රතිය පෑල දොරෙන් පලා ගියේය. ව්‍යාපාර බිඳ වැටුණේ ය. අන්තිමට ව්‍යාපාර පිරිහී විකුණා දමන තත්ත්වයට පත්විය.

උපාලි ගේ ව්‍යාපාර බිඳ වැටුණ ද ඔහු ජීවත් වූ සමාජයේ අවශ්‍යතා මඟ හැර දමන්නට ද ඔහුට නොහැකි විය. මේ වන විට ඔහු ගේ මව් පිය දෙදෙනා ද මෙලොව හැර ගොස් තිබුණ බැවින් උපාලිට උරුම වූ දේපොළවලින් කොටසින් කොටස විකුණා මුදල් කැර ගැනීම හැර වෙනත් පිළියමක් ඔහුට පෙනුණේ ද නැත. තිබුණේ ද නැත.

පවුලේ නඩත්තු වියදම් හා දරු දෙදෙනා ගේ අධ්‍යාපන වියදම් පියවා ගැනීම පවා උපාලිට මහත් අසීරු දෙයක් විය.

මේ තත්ත්වයෙන් අහස පොළව ගැටලන්නට වූ උපාලි තමන්ට මෙම පරිහානිය සිදු වූයේ මත් පැන් බීමට ඇබ්බැහි වූ බැවින් යැයි හොඳට ම තේරුම් ගොස් තිබුණත් පුරුදු වේලාවට මෙම විනාශකාරී දියරය ශරීර ගත කැර නොගෙන ම බැරි තැනට පත් විය. කෙසේ නමුත් තමන් ගේ ජීවිතයට කණ කොකා හැඬ වූ මේ බේබදුකමින් මිදීමේ අවශ්‍යතාව ද ඔහු තුළ ක්‍රියා කරන්නට විය.

‘සිළුමිණ’ පත්‍රයේ ‘සිත් මල් යාය’ අතිරේකයේ ‘පියවි ඇසින් ඔබ්බට’ ලිපි පෙළ කියවන උපාලි, ගස්නාවේ ඤාණානන්ද නාහිමියන් රෝගීන් සුවපත් කරවන ආධ්‍යාත්මීය වැඩ පිළිවෙළ පිළිබඳ කියවා “මෙන්න මේ හාමුදුරුවන්ට තමයි මාව සනීප කරන්න පුළුවන්” යැයි හඬ නගා කියන්නට පටන් ගෙන ඇත. ඉන් පසු මේ ඤාණානන්ද හිමියන් වැඩ සිටින ස්ථානය සොයා ගෙන එන්නැයි යතුරු පැදි කරුවන් දෙදෙනකු අතුරුගිරියට එවා ඇත.

එක් යතුරු පැදි කරුවෙක් අතුරුගිරිය විපස්සනා භාවනා මධ්‍යස්ථානයට පැමිණ නාහිමියන් මුණ ගැසුණේ ය. විස්තර තොරතුරු ඇසූ නාහිමියෝ “ඉතින් කාලයක් තිස්සේ අඩි ගහන්නට ඇබ්බැහි වූ කෙනෙකුගේ බේබදු ගතිය මම කොහොමද අත් හරවන්නේ? ඒක තමන් ම නුවණින් කළ යුතු දෙයක් නේදැ” යි ප්‍රශ්න කළහ.

“නෑ නෑ ස්වාමීන් වහන්ස, අපේ මුදලාලි මහත්තයා ඔබ වහන්සේ කෙරෙහි විශාල විශ්වාසයක් තියා ගෙන ඉන්නවා” යැයි ඒ යතුරු පැදි කරුවා පැවසීය.

“ඔව්! කෙනෙකු දැඩි විශ්වාසයක පිහිටා කටයුතුª කරනවා නම් ඒ ක්‍රියාවෙන් සාර්ථක ප්‍රතිඵල ගන්න පුළුවන්, ඒ වගේ ම අප නියම කරන පිළිවෙත් අකුරට ම පිළිපදිනවා නම් ඔය මත්පැනට ඇබ්බැහිවීම වුණත් වළක්වන්න පුළුවන්. හැබැයි ඒ කටයුත්තට අදාළ පුද්ගලයාගේ විශ්වාසය, උනන්දුව හා වීර්යය ඕනෑ කරනවා. බුදු ගුණ බලයෙන් කරන්න බැරි දෙයක් නෑ. එහෙම නම් එයාට එන්න කියන්නැ යි නාහිමියෝ පැවසූහ.

ඒ අනුව නියම කැර ගත් දිනයේ උපාලි අතුරුගිරියේ විපස්සනා භාවනා මධ්‍යස්ථානයට පැමිණ ඤාණානන්ද නාහිමියන් මුණ ගැසී විස්තර පැවසීය.

“අනේ! ස්වාමීන් වහන්ස! මගේ අවාසනාවට පාප මිත්‍ර සෙවනය නිසා මා මත්පැන්වලට ඇබ්බැහි වුණා. මිදෙන්න බැලුවා බැලුවා හරි ගියේ නෑ. ඔබ වහන්සේ ගැන ‘සිළුමිණ’ පත්‍රයෙන් දැකලා කියවලා මා තුළ විශ්වාසයක් ගොඩනැගුණා ඒකයි ඔබ වහන්සේ සොයා ගෙන ආවේ. මම දැන් මානසිකවත් දුර්වල යි. කායිකවත් දුර්වල යි. පවුල් ජීවිතයත් අවුල්. ආදායම් මාර්ගත් ඇණ හිටලා. මේ බේබදු කමෙන් නැවත ගොඩ ආවොත් මට ආයෙත් මනුස්සයෙක් වෙන්න පුළුවන්” යැයි කීවේ ය.

“මහත්තයා! විද්‍යා චක්‍රවර්තීන් රචනා කළ බුත්සරණ ග්‍රන්ථය බුදු හාමුදුරුවන් ගේ පුරිසදම්ම සාරථි ගුණය විස්තර කරන තැන මත්පැනෙහි දරුණුතම අවස්ථාවක් බුද්ධ ශක්තියෙන්, මෛත්‍රීයෙන් වළකා ලූ හැටි පැහැදිලි වෙනවා. දෙව්දත් තෙරුන් නුවණින් බුදුන් මරා බුදු වෙමියි සිතා අජාසත් රජු තමන් කෙරෙහි උපායෙන් පහදවා ගෙන බුදුන් මරන්නට දුනුවායන් යවා, තවත් වරෙක ගිජුකුළු පව් මතින් හිසට ගලක් පෙරළා ඉනුදු බැරි වූ තැන නාලාගිරි නම් ඇත් රජහු වෙන දා බොන රා අට කළය වෙනුවට සොළොස් කළයක් පොවා මත් කොට යහුලෙන් ඇණ කෝප කොට බුදුන් වඩනා මඟ යැව්වේ සුරාවේ මත දන්නා නිසා යි. “ඈත ධූලින් වැසී ගිය ඇත් රජය, මෑත සවනක් ඝන බුදු රසින් සැදී ගිය බුදු රජාණෝ ය. ඈත කෝපයෙන් රත්ව ගිය යවට වැනි ඇස් ඇති ඇත් රජ ය. මෑත තරුණයෙන් තෙත්ව ගිය නිල් මහනෙල් මල් පෙති පරයන ඇස් ඇති බුදු රජාණෝ ය. ඈත එබූ එබූ පයින් මහ පොළව පළා පියන්නා සේ දිවන ඇත් රජ ය.

මෙසේ බුත්සරණ ග්‍රන්ථයේ සාහිත්‍ය රසයෙන් මිශි‍්‍රත වාක්‍ය ඛණ්ඩය අසා උපාලි මහත් සංවේදී බවට පත් විය.

ඒ අතර ඤාණානන්ද හිමියෝ සූත්‍ර පාඨකයක් දේශනා කරමින් උපාලිට ආශීර්වාද කළහ. උපාලි වෙව්ලන්නට විය.

“ඇයි? මේ වෙව්ලන්නේ. මට බයේ ද? නැත්නම් මීට ඉස්සර පාවිච්චි කළ මත් වතුරවල වෙරිමතදැ” යි නාහිමියෝ හිනාවෙමින් විමසූහ.

එහෙත් උපාලි තුළින් අමුතු යමක් මතු වී එන බව කාටත් වැටහිණි.

“අනේ! හාමුදුරුවනේ! ඇයි මට මේ හිරිහැර කරන්නේ. ඇයි මාව පන්නා දමන්න හදන්නේ. මම ඉන්න තැන මට නිදහසේ ඉන්න දෙන්නැ” යි උපාලිගේ මුවින් පිටවිය.

“හොඳයි, හොඳයි, ඒවා පස්සේ බලා ගමු. දැන් කියන්න බලන්න කව්ද මේ ශරීරයට රිංගා ගෙන ඉන්නේ කතා කරමු බලන්න. අපි කැමතියි මේ කව්ද කියලා දැනගන්න” නාහිමියෝ ඇසූහ.

“හාමුදුරුවනේ! මම සිරිපාල. මේ උපාලිගේ යාළුවෙක්. මම ජීවත්ව ඉන්දැද්දි මත්පැනට ඇබ්බැහි වෙලා හිටියා අපි තමයි උපාලිටත් බොන්න පුරුදු කළේ. මමත් බීල බීලා අන්තිමේ ලෙඩෙක් වුණා. මම කායිකවත් මානසිකවත් දුර්වල වුණා. අන්තිමේ ජීවත්වෙන්න තුන් වේල ගැටගහගන්න බැරි තැනට පත්වුණා. අතමිට හිඟ වෙන කොට මගේ ගෑනිත් වෙන් මිනිහෙක් එක්ක ගියා. අන්තිමේ මම ඉස්පිරිතාලෙදි මළා.”

“මැරිලා කොහේද ගියේ?”

“මට යන්න තැනක් තිබුණේ නෑ. මම සොහොනට ගියා. සොහොනේ හිටපු අය හරි නපුරුයි. උන් මාව ‘පලයං පලයං’ කියලා පන්නා ගත්තා. ඊට පස්සෙ ඒ සොහොන ළඟ තිබුණු තුන් මං හන්දියට වෙලා හිටියා. යන්න එන්න තැනක් නැතුව, මං වාගේ ම ඉන්න හිටින්න තැනක් නැති තවත් අය එතැන හිටියා. තුං මං හන්දිය හරි ම දුක් සහිත තැනක්. වාහන එන කොට බයේ බෑ. කුසගින්න පිපාසය දෙකෙන් පිච්චි පිච්චී දුක් වින්දා. ඒ අතරෙත් අරක්කු ටිකක් ඇත්නම් හොඳයි කියලා හිතුණා. ඒ ආශාවත් මහ දුකක්. මෙහෙම අවුරුදු දහයක් විතර ඉන්න කොට තමයි මම උපාලිව දැක්කේ. මට ඒ වෙලාවේ පුදුම සතුටක් ඇති වුණා.

අපේ ම තවත් යාළුවෙකු මැරිලා භූමදාන කරන තැනට උපාලිත් ඇවිත් හිටියා. මම හීන් සැරේ උපාලි ගේ ඇඟට රිංගා ගත්තා. ඒ භූමදාන කටයුතු ඉවර වෙලා උපාලි තවත් යාළුවෝ දෙන්නෙක් එක්ක තානායමට ගියා. ගිහින් අරක්කු ඕඩර් කරලා මේසෙකට වාඩි වුණා. එතැනට අරක්කුයි බැදපු කුකුළෙකුයි ගෙනාවා. මට පුදුම සතුටක්, සුවඳක් දැනුණා. උපාලිගේ බඩේ ඉඳගෙන උපාලි බොන අරක්කු මමත් බිව්වා. කුකුළු මසුත් කෑවා. අවුරුදු ගණනකට පස්සෙ එදා තමයි මම සතුටු වුණේ.”

“දැන් ඉතින් තමුන් මේ උපාලි ගේ ශරීරෙට රිංගා ගෙන කොච්චර කල් ද? ඇයි මේ මනුස්සයාගේ ජීවිතේට හානි කරන්නේ?”

“ඇයි හාමුදුරුවනේ! මමත් ඉන්න එපා යැ. දැන් උදේටත්, දවල්ටත්, රෑටත්, මම උපාලි ගෙ ශරීරය අප්‍රාණික කරනවා. එතකොට උපාලි බොන්න යනවා. එයා බොන ඒවා මමත් බොනවා. උපාලිගෙ ගෑනිත් නිතරම රණ්ඩු සරුවල් කරනවා. එහෙම වෙනවාට මම කැමතියි. ගෑනි බණින කොට උපාලි ගෙදරින් පිටවෙලා ගිහින් තවත් බොනවා. එතකොට මටත් වාසියි, මම නිතර උපාලිව බීමට පොළඹවනවා.”

“තමුන් ඔය කරන්නේ මහා අපරාධයක්. මහා පාපයක්. තව තවත් මේ සංසාරෙ දුක් විඳින්නම ද හදන්නේ, සංසාර දුක දන්නවා නේද?”

“මං දන්න සංසාර දුකක් නෑ හාමුදුරුවනේ, මනුස්ස ලෝකෙ ඉන්නකම් පන්සලකටවත් යන්න බැරි වුණා. බීමට ම තමයි කාලය ගෙව්වේ, දැනුත් ඉතින් බොනවා. කනවා. මෙයා ගෙ බඩට වෙලා.”

“දැන් තමුන් ඉන්නේ මහා ජරා ගොඩක. අසූචි ගොඩක. මේ මිනිහත් හෙට අනිද්දා බීල ම මැරිලා ගියා ම තමුන් ආයෙත් තුන් මං හංදියකත් නොවෙයි අවීචි මහා නරකාදියෙ ඉපදිලා ගින්නෙන් දැවි දැවී ඉන්න යි සිද්ධ වෙන්නේ.”

“අනේ! හාමුදුරුවනේ! එතකොට මම මොනවද කරන්න ඕනෑ?”

“තමුන් අපි දෙන පින් අරගෙන දැන් ඉන්නවාට වඩා යහපත් තත්ත්වයකට පත් වෙලා ශ්‍රී මහා බෝධීන් වහන්සේ වගේ සිද්ධස්ථානයක් ඇසුරු කැර ගෙන කුසල් සිත් වඩාගෙන ඉන්න ඕනෑ.”

“එතකොට හාමුදුරුවනේ! මම බොන්නේ කොහොමද? මට බොන්නේ නැතුව නම් ඉන්න බෑ. මට බෑ මට බෑ මම යන්නේ නෑ”

“තමුන්ට මම අණ කරනවා යන්න කියලා”

“මොනවා කළත් මම නම් යන්නේ නෑ. මූත් එක්ක ම කාල බීල මූවත් මරා ගෙන ම තමයි මම යන්නේ.”

“ආ… එහෙම ද?” කියූ නාහිමියෝ උපාලිගේ හිස මත අත තබා…

මා කුඤ්ජර නාග මාසදෝ
දුක්ඛං හි කුඤ්ජර නාග මාසදෝ
නහි නාගහතස්ස කුඤ්ජර
සුගතී හෝති ඉතෝපරං යතෝ
මා ච ම දෝ මාච පමාදෝ
නහී පමත්තා සුගතිං වජන්තිනේ
ත්වං ඥේව තථා තරිස්සයි
යේන ත්වං සුගතිං ගමිස්සසි

යන ගාථා දෙක හඬ නඟා සජ්ඣායනය කළහ. “මේ රා කළ දහසයක් බී මත් වූ නාලාගිරි හස්ති රාජයා දමනය කරන්න බුදු රජාණන් වහන්සේ දේශනා කළ ගාථා, උඹ වගේ මළ පෙරේතයෙක් පන්නා දමන එක අපට සුළු වැඩක්” යැයි නාහිමියෝ පැවසූහ.

උන් වහන්සේ තවත් පිරිත් සූත්‍ර පාඨයක් දේශනා කරන්නට පටන් ගත් විට

“අනේ! අනේ! හාමුදුරුවනේ! මට හිරිහැර කරන්න එපා. මට ශ්‍රී මහා බෝධියට නම් යන්න බෑ. මීට පස්සෙ මම උපාලිට හිරිහැර කරන්නේ නෑ. මම උපාලිගෙ ඇඟෙන් පිටවෙලා යනවා. තැබෑරුම ළඟට ගියා ම මට මේ වගේ තව එකෙකු ගේ ඇඟට රිංගා ගන්න පුළුවන්” යැයි කියා උපාලිගේ ඇඟෙන් ඉවත්ව ගියේය. උපාලි පියවි සිහිය ලබා වට පිට බලන්නට විය. ඔහු සමඟ පැමිණි බිරිය හා දරුවෝ ද පුදුමයට පත් වූහ.

“ඔය වගේ අමනුස්සයෝ ඉන්නවා. බේබද්දෝ මැරිලා පේ‍්‍රත ආත්ම ලබලා ඉන්න කොට මත්පැනට ඇති කෑදරකම ආශාව නිසා ම, මත්පැන් බොන අයගේ සිරුරට ඇතුළු වෙලා එයා කන බොන දෙයින් ම නඩත්තු වෙනවා. පේ‍්‍රතයාට බොන්න ඕනෑ වුණා ම මේ මිනිහව ඒකට පොළඹවනවා. ගෙදර රණ්ඩු දබර ඇති කරලා බීමට එක්ක ගෙන යනවා. අන්තිමට මේ හැම දේක ම ප්‍රතිඵලය ආර්ථිකයත් කඩා වැටෙනවා.

ශරීර සෞඛ්‍යයත් පිරිහෙනවා. පවුලේ දියුණුවත්, සමගියත් නැති වෙනවා. මානසිකවත් වැටිලා ලෙඩෙක් වෙලා මැරිලා යනවා.”

“මත්පැන් බොන මිනිහාගෙ ගෙදර නිතර මස් මාළු බිත්තර කරවල උයනවා බදිනවා. මේවාට අමනුස්සයෝ බොහෝම කැමතියි. ඉතින් අමනුස්සයෝ ඇවිත් පැල් බැඳගෙන පදිංචි වෙනවා. ඒක නිසා මේ කාරණා හොඳින් නුවණින් කල්පනා කොට හැම කෙනෙක් ම කටයුතු කරන්න ඕනෑ” යි ද නාහිමියෝ පැවසූහ.

අතුරුගිරිය විපස්සනා භාවනා මධ්‍යස්ථාන

දුරකථන අංකය – 011 – 2560630

ගමන් මඟ – අතුරුගිරිය මහාමාත්‍ය විද්‍යාලය අසල ශ්‍රී ඥානවිමල මාවතේ මීටර් 300 ක් පමණ ගිය තැන භාවනා මධ්‍යස්ථානය පිහිටා ඇත.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: