Posted by: lrrp | September 14, 2009

ඕවා මොන බොරුද ඔහොම භූතයො කොහෙද ඉන්නෙ

වර්තමානයේ ජීවත්වන මිනිසුන්ගෙන් සෑම කෙනෙකු ම පාහේ කුමක් හෝ රෝගයකින් පෙළෙන්නෝ වෙති. මේ රෝගීහු ප්‍රතිකාර සඳහා රුපියල් දහස් ගණනින් වැය කරති. ඔව්හු මේ ප්‍රතිකාර ලබන්නේ කයට හෙවත් රූපයට ම පමණි. පුද්ගලයා යනු රූප – වේදනා – සංඥා – සංඛ්‍යාර – විඤ්ඤාණ යන ස්කන්ධ පහකින් බව නිතර කල්පනා කරන්නෝ බොහෝ සෙයින් විරලය.

ඔව්හු නිතර රූපයට කයට පමණක් ම සාත්තු සප්පායම් කරන්නෝ ය. රෝගාබාධ උත්සුක වූ විට, වෛද්‍ය ප්‍රතිකාරවලින් පමණක් ගුණයක් නොලබන විට බෝධීන් වහන්සේ වටා පැන් කළ රැගෙන දුවන හැටි දැක ගත හැකි ය. මේ සියල්ලට හේතු වන්නේ මිනිසා විෂම ලෝභයෙන්, අධර්මරාගයෙන් හා මිථ්‍යා දෘෂ්ටියෙන් ඉහවහා ගොස් සිටින බැවිනි.

බොහෝ දෙනා ආධ්‍යාත්මීය ප්‍රතිකාර සඳහා අතුරුගිරිය විපස්සනා භාවනා මධ්‍යස්ථානයට පැමිණ ගස්නාවේ ඥානානන්ද නාහිමියන් මුණ ගැසෙති. ඥාණානන්ද නාහිමියෝ පෙර භවයෙන් ගෙනා ආධ්‍යාත්මීය ශක්තියක් වර්තමාන භාවනා ශක්තියක් තුළින් බුදු ගුණ මූලික කළ ධර්ම ශක්තියෙන් රෝගීන් සුවපත් කරති. උන් වහන්සේ ද වෙහෙසට පැමිණෙන බව ද උන් වහන්සේට ද රෝග වැළදෙන බව බොහෝ දෙනා නොසිතති. එහෙත් නාහිමියෝ කරුණාවෙන් රෝගීන් සුවපත් කරති.

උන්වහන්සේ නියම කළ ප්‍රතිකාර භාවිතා කරන එක්තරා කාන්තාවක් නියමිත බෝධි පූජා සඳහා තමන් ගේ නිවස අසල ඇති පන්සලට ගියා ය. ඉතා ප්‍රසිද්ධ මෙම පන්සලේ විහාරාධිපති හිමියෝ ඇය උපහාසයට ලක් කළහ.

“මොන බොරුද? ඔහොම භූතයෝ කොහේ ද ඉන්නේ. මම නම් පිළිගන්නේ නෑ. ඕවා හාමුදුරුවරු හම්බ කරන්න කරන වැඩ. පත්තර කාරයෝත් ඔය බොරු ලියනවා” යි කීහ.

“අනේ! හාමුදුරුවනේ, ඒ හාමුදුරුවෝ කිසිම මුදලක් අපෙන් නම් ඉල්ලුවේ නෑ” යි ඇය කීවාය.

“ඕවා බොරු. ඔය වගේ භූතයෝ කොහේ ද ඉන්නේ” යි විහාරාධිපති හිමියෝ නැවතත් පැවසූහ.

කාන්තාව ගැහෙන්නට වූවාය. ප්‍රලය වූවා ය. “ඒයි උඹ නොදන්න දේට වහ ගනින් කට. මගේ කට අවුස්සා ගන්න එපා” යි තර්ජනාංගුලියෙන් කීවාය. හාමුදුරුවෝ ආවාසය තුළට ඇදුණා හ.

කොළඹට නුදුරු තවත් ප්‍රසිද්ධ විහාරස්ථානයක හාමුදුරුවන් භූත දෝෂ පිළිගත්තේ ම නැත. ඒවා උපහාසයට ලක් කරති. එහි වසන එක්තරා තරුණ භික්ෂුවක් දිනක් අතුරුගිරිය පන්සලට ආවේය.

“මටත් අසනීපයක් තියෙනවා. මම ඒකට බෙහෙත් බොනවා. ඔය භූතයන් ගැන නම් මම විශ්වාස කරන්නේ නෑ” යි තරුණ භික්ෂුව කීවේ ඤාණානන්ද නාහිමියන්ට අභියෝග කරන ආකාරයෙනි… ඒ වනවිටත් ඒ තරුණ භික්ෂුවගේ සිරුරේ භූතයකු ක්‍රියාත්මක වන බව නාහිමියෝ දුටහ.

“හා ඒකට කමක් නෑ. උන්නාන්සේ අර පොකුණට ගිහින් පැන් පහසුවෙලා එන්නකෝ” යි නාහිමියෝ පැවසූහ. තරුණ භික්ෂුව ද නාගන්නට පොකුණට ගියේ ය. ගිය සැණින් ම නානකඩය සහිතව දුවගෙන ඇවිත් නා හිමියන් ඉදිරියේ නටන්නට විය.

“හා… හා… මෙතන නටන තැනක් නොවෙයි. සිවුරේ ගෞරවය තියන්න ඕනෑ. කව්ද? මේ උන්නාන්සේ ගෙ ඇඟට රිංගලා ඉන්න අමනුෂ්‍යයා” යි නාහිමියෝ ඇසූහ.

“මම ද? මම තමයි (අසවල් පන්සලේ) …. නායක හාමුදුරුවෝ. මම මූව මගේ පන්සලේ මහණ කැර ගන්නයි හිටියේ. මූ කොළඹට ගියා ලොකු තැන්වල මහණ වෙන්න” යි හේ කීවේය.

ඤාණානන්ද නාහිමියෝ කොළඹ විහාරස්ථානයේ ප්‍රධාන හිමි නමකට දුරකතනයෙන් අමතා “අර ගෝලයාට භූත දෝෂයක් තියෙනවා නේද?” යි ඇසූහ.

“අපි ඕවා පිළිගන්නේ නෑ. ඕවා මිථ්‍යා විශ්වාස” යැයි පිළිතුර ලැබිණි.

“ඒ වුණාට මෙන්න ගෝලයා අපේ මිදුලේ නටනවා. අසවල් නායක හාමුදුරුවෝ ආරූඪ වෙලා. අනේ! ඉක්මනින් ඇවිත් මේ ගෝලයා එක්ක ගෙන යන්නැ” යි නාහිමියෝ කීහ.

“අනේ; හාමුදුරුවනේ මට දැන් වැදගත් වැඩක් තියෙනවා” යි ගෝලයාගේ ගුරුවරයා දුරකතනය විසන්ධි කළහ. නාහිමියෝ තරුණ භික්ෂුව සුවපත් කොට යැවූහ. ඒ ශ්‍රමන භූතයකු ආරූඪ වීමකි.

මුළු පවුලේ ම අයට දුක් කරදර පීඩා එළැඹීම නිසා ගෙවල් දොරවල් පවා අත හැර ගිය පවුලක කතාවකි මේ.

නෙළුම් ගේ සීයා යන්ත්‍ර මන්ත්‍ර කටයුතු කළ අයෙකි. ඔහු පුතුන් තිදෙනකු හා දුවක සිටියදී මිය ගියේ ය. දුව වැඩිමහල් ය. පියාගේ මරණින් පසු සහෝදරයන් මෙහෙය වූයේ ඇයයි. පියාගේ මන්ත්‍ර පොත් භාවිතා කළ ඇය උදේ සවස පහන් දල්වමින් ඒ කටයුතු ද කළා ය.

ඇගේ බාල සහෝදරයා නෙළුම් ගේ පියා ය. නෙළුම් ගේ පියාට අඹු දරු පවුලක් සිටිය ද ඔහු කටයුතු කළේ අක්කාට යටත්ව ය. නෙළුම් ගේ නැන්දා මන්ත්‍ර මතුරමින් පහන් දල්වන විට දිනක් නැන්දාගේ දුවට මිය ගිය ආච්චි ආරූඪ වූවා ය.

“උඹේ දූලට ඉගෙන ගන්න බැරිවුණාට නෙළුම් කෙල්ල ඉගෙන ගන්න දස්සයි. කෙල්ලත් ලස්සනයි” කියා කියැවිණි.

ඒ අවස්ථාවේ නැන්දාගේ සිතේ ඊර්ෂ්‍යාවක් පහළ විය. ඔවුන්ගේ ඉඩකඩම් ගැන ද විෂම ලෝභයක් ද හට ගැනිණි.

නෙළුම් ගේ පවුලේ අය කරා ලෙඩ දුක් කරදර හඹා එන්නට විය. තාත්තාට හෘදයාබාධයක් හට ගැනිණි. ඊට වෛද්‍ය ප්‍රතිකාර කළහ. දිනක් හිටි හැටියේ තාත්තා හෘදයාබාධය වැළඳී ක්ලාන්ත වීය. නැන්දා වහා දුවගෙන ඇවිත් ඔහුගේ දිව යට තබන බෙහෙත් පෙත්ත ඉල්ලා ගෙන වතුර වීදුරුවක් ද ගෙන පෙව්වා ය. වතුර ටිකක් පොවා ඇය ඇගේ නිවසට ගොස් අතේ සඟවා ගෙන සිටි බෙහෙත් පෙත්ත විසි කළා ය. ඒ අසල සිටි ගැහැනු කෙනෙක් එය දැක නෙළුම් සමඟ කීවෙන් නෙළුම් ඒ ගැන නැන්දාට බැණ වැදුණා ය. ඊර්ෂ්‍යාව වෛරයකට පෙරැළිණි.

දිනක් නෙළුම් ගේ පවුලේ අය ගස්නාවේ ඤාණානන්ද හිමියන් සොයා පැමිණියහ. තාත්තා ආවේ නැත. තම වාරය එළැඹෙන තුරු බලා සිටිය දී කවුදෝ කෙනෙක් නෙළුම්ගේ දෙපය මහ පටඟිලි එකට තද කොට ගැට ගසනු ඇයට දැනුණි. ඇගේ සිරුර අප්‍රාණික වී ගියේ ය. මේ පිරිස ඤාණානන්ද හිමියන් වෙත ඉදිරිපත් වූ පසු උන් වහන්සේ පිරිත් සජ්ඣායනයක් කළ අතර එයින් ඔව්හු සුවපත්ව ගෙදර ගියහ. නෙළුම්ට සිය පා මහපටැගිලි ගැට ගැසුණා සේ දැනෙන බව නාහිමියන්ට කියන්නට අමතක වීය.

මේ වනවිට නෙළුම්ගේ නැන්දා මේ පවුලම ගෙදරින් පන්නා දමන බවට ද වහසි බස් කියා තිබිණි.

යළිත් සතියක් ගත වන විට නෙළුම්ගේ වළලුකර දැඩි වේදනාවක් හට ගැනිණි. දණ හිස් දෙකේ ගෙඩි දෙකක් මතු විය. රෝහලෙන් තීන්දු කළේ දෙකකුල් කපා දමන තත්ත්වයක් ඇති බවකි.

පවුලේ අය යළිත් ත්‍රිරෝද රියකින් ඇය රැගෙන අතුරුගිරියට පැමිණියහ. පියා පැමිණියේ නැත.

එහෙත් නාහිමියෝ නෙළුම්ට පිරිත් සජ්ඣායනය කරමින් ආශිර්වාද කරන විට තාත්තා කොහේදෝ සිට දුවගෙන ඇවිත් අම්මාගේ පිටුපසට මුවා වී (හැංගුණා සේ) හිඳ ගත්තේ ය. තාත්තාගේ දෑස් ලොකු වී බෙල්ල පැත්තකට කඩා වැටුණේ ය.

“කව්ද? මේ ශරීරයට රිංගාගෙන ඉන්නේ” යි නාහිමියෝ ඇසූහ.

“අයියා. සුගතෙ අයියා” යි තාත්තා පිළිතුරු දුන්නේ ය.

“ඇයි? මේ”

“මම මගේ මල්ලිගේ ආරස්සාවට ඇවිත් ඉන්නවා”

“කව්ද? මේ දුවගෙ කකුළෙ ඉන්නේ”

“මගේ තාත්තා”

“හා… දැන් එහෙම නම් තාත්තාට මේ කකුළෙන් පිටතට ගන්න”

නෙළුම් ගේ පියා ඇගේ දණ හිසේ සිට පහළට අත ගාන්නට විය. දණ හිසේ තිබුණු ගෙඩිය යටි පතුළට ඇවිත් අතුරුදන් විය.

“කව්ද? අනිත් කකුළේ ඉන්නේ”

“අම්මා”

“එයාටත් එළියට යන්න කියන්න”

“බෑ බෑ අම්මා දරුණුයි. එයාට කියන්න බෑ”

“මම දැන් මෙච්චර වෙලා උඹට බොහෝම කරුණාවෙන් කටයුතු කළේ. මොකද උඹට දඬුවම් ඕනෑද?”

“එපා… එපා… මම කරන්නම්” යැයි තාත්තා නෙළුම් ගේ අනිත් කකුළ ද පහළට පිරිමැද්දේ ය. ඒ වනවිට නෙළුම් ගේ ස්වරූපය ද වෙනස් වී කටලොඹු ගැහී” මට බීඩියක් දියල්ලා” යි කීවා ය. (නෙළුම්ගේ ආච්චි ජීවත්ව සිටිය දී බීඩි බීමට ඇබ්බැහි වී සිටියා ය.)

නෙළුම්ගේ ඒ දෙකකුල් ද සුවපත් විය. නෙළුම් වැඩි විස්තර කළේ මෙසේ ය.

එදා අපි ගෙදර එන කොට නැන්දලාගේ ගෙදර මහා කෑගැහිල්ලක්. නැන්දාගෙ දුව මංගලිකා ගෙ කකුලේ පිහියක් ඇනිලා. ඇනිලා කීවාට උඩු පතුළට කෙනෙක් ඇන්නා වගේ ඇනිලා. මේ අතරෙ මහප්පගේ ගෙදර රාණි අක්කා කෑ ගහනවා ඇහුණා. කවුදෝ කකුල් නැති මිනිහෙක් මහප්පලා ගෙ ගෙදර පිටුපසට යනවා දැකලා. ඒක අපේ අයියත් දැකලා තිබුණා. අපේ ගෙවල් තියෙන්නේ එක ළඟ. ඒ වෙලාවේ මහප්පා වැසිකිලි ගිහින් පිටතට එන්න හදන කොට ම ඇදගෙන වැටුණා. මහප්පාට තවමත් අංශ භාධ රෝගය.

ඒ වගේ ම අපේ මහප්පාගෙ ගෙදර මිදුලේ අඹ ගහක් තියෙනවා. ඒ ගහේ හැම වාරෙක ම හැදෙන අඹ කළු පාටයි. ඒ අඹ කෑවොත් බඩ යනවා. නැන්දා යකෙක් බන්ධනය කැර ගෙන වැඩ ගන්නවා. අනුන්ට උපද්‍රව කරවනවා. ඒ යකාට නැන්දා ඒ අඹ ගහ විමානය කැර ගන්න දීලා. ඒ නිසා ඒ අඹ ගහේ අඹ විෂ සහිත බව ගමේ හුඟ දෙනෙක් දන්නවා. මම දවසක් ඤාණානන්ද හාමුදුරුවන්ගෙන් ඉල්ලා ගෙන ආපු පිරිත් පැන් ටිකක් කාටවත් නොපෙනෙන්න ඒ අඹ ගහ මුලට වත් කළා.

එදා රෑත් නැන්දලාගෙ ගෙදර මහා කෑගැහිල්ලක් ඇහුණා. මොකද කියලා කාටවත් දැනගන්න ලැබුණේ නැහැ. ඊට පස්සේ ඒ අඹ ගහේ අඹ කොළ පාටට හැදුණා. කන්නත් පුළුවන්. එදා ඒ අඹ ගහේ හිටපු භූතයා එතැනින් නිදහස් වෙලා ආයෙත් නැන්දාට අහු නොවෙන තැනකට ගිහින් හැංගිලා ඇති කියලා කව්රුත් කියනවා. ඒ වගේ ම කලින් අතුරුදහන් වුණ මගේ සෙරෙප්පු කුට්ටම නැන්දා ගිනි අඟුරු කබලකින් රත් කරන කොට මගේ කකුල් දෙකේ ගෙඩි හැඳී වේදනාව දුන් බවත් දැන ගන්න ලැබුණා. අර යකා නිදහස් වෙලා ගිය දවසෙ නැන්දා ළඟ තිබුණු මගේ සෙරෙප්පු දෙකත් නැන්දගෙ ළඟිනුත් අතුරුදහන් වෙලා ලු.

කොහොම වුණත් මේ අමනුස්සයොත් එක්ක ජීවත්වෙන එක හරි ම අනතුරු දායක නිසා අපි ඒ ගෙදර අතහැර දමා වෙනත් ප්‍රදේශයක පදිංචියට ගියා. ඒත් අපේ තාත්තා අපි එක්ක ආවේ නෑ. තාත්තා තවමත් නැන්දාට ම කඹුරමින් ජීවත් වෙනවා. මම මගේ ජීවිතය බේරා දුන් ඤාණානන්ද හාමුදුරුවන්ට ණය ගැතියි. හැම මාසෙකම උන් වහන්සේ බැහැ දකින්න යනවා” යි නෙළුම් තමන්ගේ කතාව අවසන් කළා ය.

ඤාණානන්ද නාහිමියෝ මුදලක් අය නොකර, මුදල් නියම කිරීමක් නොකර දෙන නොදෙන කාටත් උපේක්ෂා සහගතව කරුණාවෙන් ආශිර්වාද කැර සුවපත් කරති. උන්වහන්සේ සංසාරිකව දියුණු කළ ආධ්‍යාත්මීය ශක්තියෙන් දෑතින් විහිදන කිරණ ශක්තිය උපයෝගි කොට ගෙන රෝගීන් සුවපත් කරති. එය අසීමිතව සිදුවන විට උන්වහන්සේ ට ද අහිත කැර බව කිසිවෙක් නොසිතති.

උන්වහන්සේ නො ඉල්ලුවද මෙසේ පැමිණෙන අයගෙන් සියයට එක් අයෙක් පමණ ස්ථානයේ නඩත්තු වියදම් සඳහා යැයි බුලත් හුරුල්ලට මුදලක් තබා චාරිත්‍ර ඉටු කරන අය ද කලාතුරකින් සිටිති. එහෙත් සමහරු බුලත් හුරුල්ලක් පමණක් පිළිගන්වන අතර එසේවත් නොකරන්නෝ බොහෝ ය. පසුගිය දවසක තවත් සිද්ධියක් සිදු වීය. නුගේගොඩ ප්‍රදේශයෙන් මහත්වරු හතර දෙනෙක් හිස් අතින් ම පැමිණ සිටියහ. තවත් අන්‍යාගමික මහත්මයෙක් ද ඔවුන් අසල වීය.

නායක හාමුදුරුවෝ වෙහෙසට පත්ව ගිලන් පස ටිකක් වළඳන්නට අසුනෙන් නැගිට සිය කාමරය තුළට වැඩියහ. අර මහත්වරු හතර දෙනා වහාම ක්‍රියාත්මක වී නාහිමියන්ට ලැබී කනප්පුව මත තිබූ බුලත් හුරුලු හතරක් සොරා ගත්හ. අනිත් අන්‍යාගමික මහත්මයා ද මේ ව්‍යාජ බෞද්ධයන් හතර දෙනා අනුගමනය කළේ ය. නාහිමියෝ කාමරයේ සිට පැමිණි විට කනප්පුව මත තිබූ බුලත් හුරුලු අඩු වී ඇති බව ද දුටහ.

ඊළඟට පැමිණියේ අර හතර දෙනා ය. පෙළට ඇවිත් බුලත් හුරුලු පිළිගැන්වූහ. ඊළඟට ඉදිරියෙන් සිටි අන්‍යාගමිකයාට ද කතා කළ නාහිමියෝ

“තමනුත් එමු බලන්න” යැයි කැඳවූහ. ඔහු ද පැමිණ බුලත් හුරුල්ල පිළිගැන්නුවේ ය. නාහිමියෝ හතර දෙනාව ම පන්නා ගත්හ.

“නිවට ඇම්බැට්ටයා දැක්කාම එළුවාත් නිකට පානවා යැයි කතාවක් තියෙනවා. මම අසරණ රෝගීන් සුවපත් කරන කොට ඔවුන්ගේ හිතේ මාත් නිවටයෙක් කියා. එහෙම බැහැ. සිවුරේ ගෞරවය, ශාස්ත්‍රයේ ගෞරවය, ස්ථානයේ ගෞරවය රකින්න ඕනෑ” යි උන්වහන්සේ අප සමඟ පැවසූහ. මේ ස්ථානය ධර්මයේ ශක්තිය සාන්දෘෂ්ටිකව දැක ගත හැකි තැනකි. ලක්ෂ ගණනින් ඇඳුරන්ට වියදම් කොට ඉවත් කළ නොහැකි වූ අමනුස්සයින් ශරීරවලින් උගුල්ලා යවන හැටි දෑස් පනාපිට දැක ගත හැකි තැනකි. ඒ සියල්ල සිදු කරන්නේ ධර්මයේ ශක්තියෙනි.

මීට අමතරව හින්දු ක්‍රමයේ කුණ්ඩලිනි ශක්තිය වර්ධනය කොට රෝගීන් ගේ ශක්ති වළල්ල දකින තරුණ යෝගීහු ද සිටිති. ඇතුල්කෝට්ටේ, අලකේශ්වර පාරේ 139 ස්ථානයේ තිසර නාගොඩ විතාන මහතා ද එසේ කුණ්ඩලිනි ශක්තියෙන් චක්‍ර අවදි කර නොමිලයේ රෝගීන් සුවපත් කරයි. මානව සම්පත් සංවර්ධන කළමනාකාර තනතුරක රැකියාව කරන ඒ මහතා සිය නිවාඩු දිනයේ දී එසේ එක් අයෙකු පමණක් සුවපත් කරන්නේ ද පිං පතා ය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: