Posted by: lrrp | September 14, 2009

ගැඹුරු විශ්වාසය හා පැහැදීම විවාහ දිවියේ පදනම ශක්තිමත් කරයි

මිනිසා ගේ අයහපත් චර්යා නිසා හට ගන්නා භයානක සමාජ රෝගී තත්ත්වයන් දිනෙන් දින ලෝකය පුරා ව්‍යාප්ත වන බව සමාජය පිළිබඳ අවධානයෙන් සිටින කවරකු වුව ද දන්නා කරුණකි. ආසියාතික රටවලට ද එය පොදු ය. එහෙත් ඒ හා සාපේක්ෂව බලන කළ අප ජීවත්වන මේ කුඩා දිවයිනේ එවන් රෝගී තත්ත්වයන් ගේ ව්‍යාප්තිය ඉතා අවම ය. ඒ පිළිබඳ සැබැවින් ම අපට සතුටු විය හැකි ය.

මෙරට ප්‍රධාන ආගම බවට පත් වූ බුදු දහමත්, බෞද්ධ සංස්කෘතියත් මේ සඳහා ප්‍රබල හේතු සාධකයක් වී ඇති බව පවසන්නට ඇතැම්හු මැළිවෙති. මෙවැනි සමාජ ව්‍යසන වළකා ගැනීම සඳහා බුදු දහමින් ලැබී ඇති පිටිවහල පිළිබඳ ලෝකයෙහි ප්‍රශංසනීය ඇගයීමක් නැත. එහෙත් රටක් සමාජයක් ලෙස අපට ඒ පිළිබඳ තෘප්තිමත් විය හැකිය. විශේෂයෙන් ම බුදු දහමින් පෝෂණය වූ සමාජයේ කුඩාම ඒකකය ලෙස පිළිගනු ලබන පවුල නමැති ඒකකය තවමත් ශක්තිමත්ව පැවතීම මීට ප්‍රධාන හේතුවක් වී තිබේ.

එහෙත් අපගේ දැඩි අවධානයට යොමු කළ යුතු කරුණක් ද වේ. එනම් තවදුරටත් පවුල ශක්තිමත් කිරීම ය. එසේ නොකොට පවුල් සංස්ථාව දියවී යෑම සඳහා අවැසි කටයුතු, දිගින් දිගටම සිදුවන්නට ඉඩ දී, සමාජයක් ලෙස මැදිහත් නොවී, නිහඬව බලා සිටින්නේ නම් පවතින තත්ත්වය වසර කිහිපයක දී මීට වඩා වෙනස් වීමට ඉඩ ඇති බව වටහා ගත යුතු ය.

මේ නිසා මවගෙන් පියාගෙන් සහ දූ දරුවන්ගෙන් සැදුම්ලත් පවුල ශක්තිමත් කර ගැනීම උදෙසා වරින්වර සිදු කරනු ලැබූ මඟ පෙන්වීම් තවදුරටත් විධිමත් ලෙස සම්මා සතියෙන් ඔබට ඉදිරිපත් කල යුතු යැයි සිතමි. මේ ලිපිය සැකසෙන්නේ එම අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසා ය.

පවුලේ විධිමත් බව, විනිවිද බව, තෘප්තිමත් හා ශක්තිමත් බව ඇති කිරීම සඳහා සැමියා සහ බිරිය අතර පැවතිය යුතු සම්බන්ධතාවෙහි අධ්‍යාත්මික හා භෞතික පදනම කෙලෙස සකසා ගත යුතු ද යන්න පිළිබඳ පැහැදිලි කිරීම් විවිධ සූත්‍ර දේශනාවන්හි අන්තර්ගත ය. එහිදී සාර්ථක ගෘහ ජීවිතයක් පවත්වාගෙන යෑම සඳහා පවුලක මව සහ පියා යන දෙදෙනා ප්‍රධාන වශයෙන් අධ්‍යාත්මික කරුණු හතරකින් සමානව සිටිය යුතු බව අවධාරණය කොට තිබේ. එනම් ශ්‍රද්ධා, ශීල, චාග සහ ප්‍රඥාව යන කරුණුවලින් ඔවුන් දෙදෙනා එකිනෙකාට සම විය යුතු ය.

ස්ත්‍රිය සහ පුරුෂයා යන දෙදෙනාම සම ශ්‍රද්ධාවන්තයන් බවට පත්වන්නේ නම් එකී පවුලෙහි ස්ථාවර බවක්, අතිශයින් ම දියුණු තත්ත්වයක් උදාකරගත හැකි බව බුදු දහම පෙන්වා දී තිබේ. මෙහි ශ්‍රද්ධාව යනුවෙන් අර්ථ ගන්වා තිබෙන්නේ තුනුරුවන් කෙරෙහි අවබෝධයෙන් යුතුව ඇතිවන ප්‍රසාදය හා විශ්වාසය පමණක් නොවේ. බෞද්ධයන් වශයෙන් ජීවත්වන අප බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මය ගැන, මහා සංඝරත්නය ගැන පැහැදීමකින් සහ විශ්වාසයකින් යුතු වීම අනිවාර්යය. එවැනි අඹුසැමියන්ගෙන් සැදුම්ලත් පවුල ද කඩා බිඳ දමන්නට, විනාශ කර දමන්නට කිසිවකුටත් නොහැකි ය.

තෙරුවන් කෙරෙහි පැහැදුණු ඔවුන් එම අධ්‍යාත්මික දර්ශනය තම ජීවිතයට සමීප කරගෙන ජීවිතය වඩාත් තෘප්තිමත් සහ අධ්‍යාත්මික වශයෙන් දියුණු තත්ත්වයට පත් කරගන්නවා නො අනුමාන ය. එසේ වුව ද ශ්‍රද්ධාව යන වචනයෙහි තේරුම් කිහිපයකි. විශ්වාසය හා පැහැදීම ඒ අතර ප්‍රධානය. යම් කෙනකු පිළිබඳව, යම් දෙයක් පිළිබඳව දෙයාකාරයකින් මෙම විශ්වාසය ඇති කරගත හැකි ය. පළමුවැන්න බාහිර කරුණු මත පැහැදීම ය. දෙවැන්න ඉතා ගැඹුරු තේරුම් ගැනීමක් සහිතව අභ්‍යන්තරික ඥානයෙන් වටහා ගැනීමෙන් පසුව ඇති කරගන්නා විශ්වාසය හා පැහැදීම ය.

පවුලක ප්‍රධාන චරිත නිරූපණය කරන සැමියා සහ බිරිය යන දෙදෙනා එකිනෙකා පිළිබඳ සම ශ්‍රද්ධාවකින් යුතු දෙපළක් බවට පත් විය යුතු බව ද බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත්තා හ.

ඒ අනුව බිරියක් සිය ස්වාමි පුරුෂයා කෙරෙහි ගැඹුරු අවබෝධයකින් යුතු විශ්වාසයකින් සිටිනවා නම්, ස්වාමි දියණිය කෙරෙහි ස්වාමි පුරුෂයාගේ සිතේ ගැඹුරු අවබෝධයක් සහ විශ්වාසයක් පවතිනවා නම් එම විවාහ ජීවිතයේ පදනම ශක්තිමත් වනවාට කිසිදු සැකයක් නැත. ඒ සම්බන්ධකම මතුපිට කරුණු පමණක් පදනම් කොට ගොඩනැඟීම වෙනුවට ඉතා ගැඹුරු පදනමක් සහිතව නිර්මාණය වී ඇති නිසා විවාහ ජීවිතයේ තෘප්තිමත් බව උපරිමයෙන් අත්විඳීමට ඔවුන්ට අවකාශය සැලසෙනු ඇත.

සැබැවින්ම තම සහකරුවා හෝ සහකාරිය පිළිබඳ නිසි අවබෝධයක් හා විශ්වාසයක් නොමැති නම් ඒ සම්බන්ධතාවයට, විවාහ ජීවිතයට දිගු අනාගතයක් උරුම වන්නේ නැත.

අඹුසැමියන් ප්‍රතිපත්ති ගරුකවීම අනිවාර්ය බව බුදුරජාණන් වහන්සේ දෙවනුව අවධාරණය කොට ඇත්තාහ. එනම් ශීලසම්පන්න වීම ය. ස්වාමි පුරුෂයා කෙරෙහිත්, ස්වාමි දියණිය කෙරෙහිත් එක සමාන සිල්වත් බවක් තිබිය යුතුය. ප්‍රාණඝාතය නොකරන, බොරු නොකියන, සුරාව නොබොන, කාම මිථ්‍යාචාරයෙහි නොහැසිරෙන පුරුෂයකු සමඟ ජීවත්වන්නට ලැබීම මේ ලෝකයේ කාන්තාවක ලබන සුවිශාල භාග්‍යයකි. එවැනි සම ශීලයෙන් යුතු ස්වාමි දියණියක සමඟ ජීවත්වන ස්වාමි පුරුෂයා ද භාග්‍යවන්තයෙකි.

එසේ සම ශීලයෙහි පිහිටන අඹුසැමියන්ට බෞද්ධ සාහිත්‍යයේ කීර්තිමත් ම විවාහක යුවළ වන නකුල මාතා සහ නකුලපිතා යන මව්පියන් ගේ ජීවිතයට සමාන ජීවිතයක් ගත කිරීමට අවකාශය සැලසෙනු ඇත.

ඔබ සිල් රකිනවා යනු ඔබගේ සහකාරිය ගේ හෝ සහකරු ගේ විශ්වාසය සුරක්ෂිත කිරීම ය. සැබැවින් ම බොරු නොකියන, කාමයෙහි වරදවා නොහැසිරෙන ස්වාමි දියණියක් ලැබූ ස්වාමි පුරුෂයා මොනතරම් විශ්වාසනීය, තෘප්තිමත් ජීවිතයක් ගත කරනු ලබන්නෙක් බවට පත්වන්නේ ද? මොන තරම් ආත්මීය තෘප්තියක් ඔහු අත්විඳීද? බොරු කියන, දුරාචාරයෙහි හැසිරෙන සහකාරියක හෝ සහකරුවකු සමඟ එක වහලක් යට දිවි ගෙවීම නම් සැබවින් ම අවාසනාවකි. මනුෂ්‍ය ජීවිතයේ ලද අභාග්‍යයකි. සාමය සතුට පිරුණු ගෘහ ජීවිතයකට නම් මේ දෙදෙනාගෙන් එක් අයකු පමණක් සිල්වත් වීම ප්‍රමාණවත් වන්නේ් ද නැත. දෙදෙනා ම සම ශීලයෙහි පිහිටීම අනිවාර්යය.

මේ පිළිබඳ සමහර ස්වාමි පුරුෂයන් ගේ වැරැදි ආකල්පයක් ද වේ. “මගේ අතින් සිල් එකක් දෙකක් බිඳුණාට ප්‍රශ්නයක් නෑ. මගේ නෝනා කවදාවත් එවැනි වැරැද්දක් කරන්නේ නෑ. ඒ නිසා අපේ දරුවන්ට අම්මා දිහා බලාගෙන හැදෙන්නට පුළුවන්” සමහරෙක් මෙසේ ද පවසන්නේ ය.

ඔබගේ සහකරු හෝ සහකාරිය පිළිබඳ ඔබ ද මෙවැනි ඇගයීමක සිටිනවා විය හැකි ය. එහෙත් දරුවන්ගේ ලෝකය මව පමණක් නොවේ. පියා පමණක් ද නොවේ. මව සහ පියා යන දෙදෙනා ම ඔවුන්ට ආදර්ශයක් විය යුතු ය. දෙදෙනාම නිවැරැදි ප්‍රතිපත්ති ගරුක චරිත දෙකක් ලෙස දරුවන් ඉදිරියේ පෙනී සිටීමට හැකිවිය යුතු ය.

ඔබ දෙදෙනා සම ශීලයෙන් යුතු නම් ඔබගේ ලෙයින්, කිරෙන් ජනිතවන පෝෂණය වන දරුවන් මොන තරම් වාසනාවන්ත දරුවන් බවට පත්වනු ඇති ද? දෙදෙනා ගේ ම යහපත් ගතිගුණ මුසු වූ, සිල්වත්කමින් පිවිතුරු වූ, ජානවලින් හට ගන්නා දරුවන් මොනතරම් ශීල සම්පන්න, ප්‍රතිපත්ති ගරුක අය බවට පත්වේද? ඔබ දෙදෙනා සම ශීලයෙන්, සම ශ්‍රද්ධාවෙන් යුතු නම් දරුවන් නිවැරැදි මාවතට ගෙන යාමට අපහසු වන්නේ නැත. සමාජය කෙතරම් බිඳ වැටී තිබුණත්, ඔබගේ දරුවන් නිවැරැදි මාවත තෝරා ගනු ඇත. අම්මා සහ තාත්තා හරයක් සහිත, ගුණ ගරුක චරිත දෙකක් නිසා, ඒ ඔබ සමීපයේදී දරුවන්ට දුසිල්වතුන් ලෙස ජීවත්වන්නට නොහැකි වේ.

චාග සම්ප්‍රදාව ද මවු පිය දෙදෙනා අතර සමව පිහිටිය යුතු ගුණාංගයක් ලෙස සම්බුද්ධ දේශනාවෙහි අවධාරණය කොට ඇත. ඔබ දෙදෙනා සමාජයේ අන් පිරිස් වෙනුවෙන් සිදු කරන පරිත්‍යාගශීලී බවට, කැපකිරීම්වලට වඩා පවුල නැමැති සන්දර්භයේ දී චාග සම්පදාව ප්‍රගුණ කළ යුතු ආකාරය වැදගත් වේ. එහිදී එකිනෙකා වෙනුවෙන් කොතරම් පරිත්‍යාගශීලී වනවාද යන කරුණ විග්‍රහ කළ යුතු ය. බිරිය වෙනුවෙන් ස්වාමි පුරුෂයා යම් පරිත්‍යාගයක් සිදු කරනවා නම් බිරිය ද ඒ ආකාරයෙන් ම තම සැමියා වෙනුවෙන් පරිත්‍යාගශීලී විය යුතු ය.

එම පරිත්‍යාගශීලී බව ඇඳුම් පැළඳුම් ආදී භෞතික උපකරණවලට පමණක් සීමා නොවිය යුතු ය. කෙනකුගේ දුබලතාවක් ඉස්මතු වන අවස්ථාවක දී එය ඉවසා දරා ඇය හෝ ඔහු වෙනුවෙන් කැපවීම ද පරිත්‍යාග ගුණයකි. එක් අවස්ථාවක දී බිරිය වෙනුවෙන් ස්වාමි පුරුෂයා එලෙස කැපකිරීම් කරන අතර දී ඇය ද ඔහු වෙනුවෙන් එවැනිම පරිත්‍යාගශීලි බවක් තවත් විටෙක දී සිදු කළ යුතු ය.

එකිනෙකාට සවන් දීම ද විශාල පරිත්‍යාගයකි. එකිනෙකා ගේ වැඩ කටයුතුවලට උදව් කරන්නට ඇප කැප වෙනවා නම් ඒ පරිත්‍යාගශීලී බව දිනපතා දහස් ගණනින් මුදල්, බඩු මුට්ටු, ගෙනැවිත් බිරිය ගේ අත තබනවාට වඩා වටිනා දෙයකි. මේ පිළිබඳ ඔබ ගේ ගැඹුරු අවධානය යොමු විය යුතු ය.

ඔබ සතු මිල මුදල්, ආහාර පාන, ඇඳුම් පැළඳුම් යම් අවස්ථාවක දී මවුපියන් වෙනුවෙන් ඥාතීන් හෝ මිතුරන් වෙනුවෙන් පිරිනමන්නට සිදුවේ. බිරිය එවැනි පරිත්‍යාගයක් කරන විට සැමියා එයට එරෙහි වන්නේ නම් ඒ නිවෙසේ සතුට රඳා පවතින්නේ නැත. දෙදෙනා විෂයයෙහි ම මෙය පොදු වූ කරුණකි. එම නිසා සම පරිත්‍යාගශීලි බව ඇතිකර ගැනීමට ඔබ උට්ඨාන වීර්යය වැඩිය යුතු ය. ගෘහ ජීවිතය ගැටුම්වලින්, අමිහිරි අත්දැකීම්වලින් තොර වන්නේ එවිට ය.

නිවෙසක මව සහ පියා සම ප්‍රඥාවෙන් යුතු වීම ද අනිවාර්ය බව බුදු රජාණන් වහන්සේ පෙන්වා දී ඇත්තාහ. එවැනි පරිසරයක තීන්දු තීරණ ගැනීම ඉතා පහසු ය. ගැටලු විසඳා ගැනීම ද අසීරු නොවේ. නැණවත් ස්වාමි දියණියකට එවැනි ම ස්වාමි පුරුෂයකුට ගෘහ ජීවිතයේ යම් යම් ප්‍රශ්නකාරී අවස්ථාවන්හි දී එකඟතාවයකට පැමිණීම අසීරු නැත. එකිනෙකාට ගරු කිරීමට, චරිත ස්වභාවයත්, අවශ්‍යතා තේරුම් ගැනීමට දෙදෙනාට ම දැනුමක් අවබෝධයක් තිබිය යුතු ය.

මෙහි දැනුම යන්න පොතපතින් දැන උගත් කරුණු වලට ම පමණක් සීමා වන්නේ නැත. ප්‍රායෝගික ජීවිතය සම්බන්ධව ද, සමාජය සමඟ කටයුතු කරන ආකාරය සම්බන්ධ ව ද, යම් දෙයක් දෙස බලන ආකාරය සම්බන්ධව ද ඔවුනොවුන් වෙත සම ප්‍රඥාවක් තිබිය යුතු ය. ඉදිරියේදී විවාහ වීමට සිටින පිරිස් විශේෂයෙන් මේ පිළිබඳ අවධානය යොමු කොට තම සහකරු හෝ සහකාරිය තෝරා ගැනීම වැදගත් ය. දැනට ඔබ විවාහ ජීවිතයක් ගත කරන්නේ නම් දෙදෙනා කෙරෙහිම එවැනි සම ප්‍රඥාවක් ඇති කර ගැනීමට කැපවිය හැකි ය. ඒ සඳහා ප්‍රයෝජනවත් පොතපත කොතෙකුත් ඇත. අදාළ දේශනවලට සවන් දීමෙන් ද බොහෝ අඩුපාඩු මඟ හරවා ගැනීමට පුළුවන.

මේ අනුව සම ශ්‍රද්ධා, සම ශීල, සම චාග හා සම ප්‍රඥා යන අධ්‍යාත්මික ගුණාංගවලින් යුතු මවුපියන් සහිත පවුල කවර පරිසරයක දී වුව ද අතිශයින් ම තෘප්තිමත් ජීවිතයක් ගත කරන බව අවබෝධ කර ගැනීමට පුළුවන. එවැනි පවුලක ඉපැදෙන හැදී වැඩෙන දරුවන් ද භාග්‍යවන්තයන් ය. මේ නිසා බෞද්ධයින් වන ඔබ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්ම මාර්ගයේ ගමන් කොට තම ගෘහ ජීවිතය සාර්ථක කර ගැනීමට උට්ඨාන වීර්ය වැඩිය යුතු ය. එවිට අනාගතයේ යහපත් පවුලක් ගුණගරුක සමාජයක් නිර්මාණය කර ගැනීම අසීරු නොවනු ඇත.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: