Posted by: lrrp | September 20, 2009

ඇමෙරිකාවේ ඉදිවුණු විශාලතම බුදුපිළිමය විවෘත කිරීම සැප්තැම්බර් 26 දා

ඉන්දියාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ශ්‍රී ජවහල්ලාල් නේරු තුමා මීට දශක පහකට පමණ පෙර ලංකාවට පැමිණි අවස්ථාවේ අනුරාධපුරයේ මහමෙව්නා උයනේ ශෛලමය සමාධි පිළිමය ඉදිරිපිට භාවනායෝගීව සිටිමින් පැවසුවේ, එම පරිසරයේදී තමාගේ ගතට සිතට ජීවිතයේ කිසිමදාක නොවූ විරූ ආකාරයේ ශාන්තියක්, සුවයක් සහනයක් සමාධි බුදු පිළිම වහන්සේ වෙතින් ලැබුණු බවය. බුදුදහම ජනිත වූ මහා භාරතයෙන් බුදු දහම නැත්තටම නැතිවෙමින් පවතින යුගයක ඒ ශ්‍රේෂ්ඨ පුරුෂයා ලංකාවේ බුදුදහම සුරක්ෂිතව පවතින අයුරු දැක අන්‍යාගාමිකයකු වුවත් එදා ඉමහත් සතුටට පත්විය.

අනුරාධපුර මහමෙව්නා උයනේ චිරාත් කාලයක් මුළුල්ලේ විරාජමානව පවතින ශෛලමය සමාධි බුදුපිළිමය වැනිම වූ අඩි 30ක් උස සමාධි පිළිමයක් ඇමෙරිකාවේ නිව්ජර්සි ප්‍රාන්තයේ ප්‍රින්ස්ටන් ප්‍රදේශයේ පිහිටි නිව්ජර්සි බෞද්ධ විහාරයේ ඉදිකොට ඇත්තේය. ලංකාවේ සුරක්ෂිත වී ඇති නිර්මල ථේරවාද බුදුදහම ලොවපුරා ව්‍යාප්ත කිරීමට ලාංකික භික්ෂූන් වහන්සේ ඉටුකරන උදාරතර ශාසනික සේවය ද මෙහිදී අගය කළ යුතුය.

සැප්තැම්බර් 26 වැනිදා විවෘත වන මෙම නිව්ජර්සි සමාධි බුදු පිළිමය ඇමෙරිකා එක්සත් ජනපදයේ මෙතෙක් ඉඳිකොට ඇති විශාලතම බුදුපිළිමයයි. මෙම පිළිම වහන්සේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අතින් විවෘත වීමට නියමිතව තිබූ නමුත් ජනාධිපතිතුමාගේ ඇමෙරිකා සංචාරය අවලංගු කිරීම නිසා මෙය විවෘත වන්නේ නිව්ජර්සි ආණ්ඩුකාර ජෝන් කෝර්සයින් මහතා අතිනි. මෙදින (26) නිව්ජර්සි බෞද්ධ විහාරයේදී සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් ද පසුවදා (27) මහා සංඝයාවහන්සේ 50ස් නමක් විෂයයෙහි සංඝගත දක්ෂිණාවක් ද පිරිනමනු ලැබේ.

මාධි පිළිමය වටා ඉදිකොට ඇති පහන් කණු 12ක් මෙදිනම විවෘත වනු ලබන්නේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, දකුණු කොරියාව, නේපාලය, ලාඕසය, චීනය, ජපානය, කාම්බෝජය, මියන්මාරය, තායිලන්තය, සහ බංගලදේශය යන රටවල් නියෝජනය කරන නිව්යෝර්ක්හි සිටින තතානාපතිවරුන් අතිනි. මෙය ඇමෙරිකාව හා ශ්‍රී ලංකාව අතර පවතින සංස්කෘතික සබඳතා වඩාත් වර්ධනය කරවීමට මාර්ගය පාදන්නකි.

සමාධි බුද්ධ ප්‍රතිමාවෙන් පිළිබිඹු වන්නේ ධ්‍යාන මුද්‍රාවයි. ඇමෙරිකානු ජනතාව ඇතුළු අනෙකුත් රටවල ජාතිකයින් ධ්‍යාන මුද්‍රාව දක්වන ඬව්ජර්සි සමාධි බුදුපිළිමය දැකීමෙන් සැනසීමට පත්වෙනු ඇත. ඔවුන්ගේ සන්තානය තුළ බුද්ධාලම්බන ප්‍රීතිය ජනිත වනු නිරනුමානය. ලෝකවාසීන්ගේ වික්ෂිප්ත හා කැලඹුණු මනසට ශාන්තිය, සුවය, සැනසුම හා සහනය ගෙන ඒමට මින් මාර්ගය පෑදෙනු ඇත.

අද ලොව රටවල් රාශියක ලාංකික බෞද්ධ විහාර රාශියක් ගොඩනංවා ඇති අතර, ඒවායෙහි බුදු පිළිම තැන්පත් කර ඇත්තේ විහාරස්ථාන ඇතුළත වන බවද ඇමෙරිකාවේ මෙන්ම යුරෝපය ඇතුළු කිසිදු රටක විහාරස්ථානයෙන් පිටත එළිමහනේ මෙසේ සමාධි බුදුපිළිමයක් මෙතෙක් ඉදිකර නැති බවද, නිව්ජර්සි බෞද්ධ විහාරාධිපති හුංගම්පොළ සිරිරතන හිමියෝ පවසති. විදේශ රටක මෙතෙක් ඉදිකර ඇති උසම හා විශාලතම සමාධි පිළිමය මෙය වන්නේ යැයි ද එම හිමියෝ සඳහන් කරති.

. නිව්ජර්සි සමාධි බුදුපිළිම වහන්සේ නිරාවරණය කිරීම නිමිත්තෙන් සැප්තැම්බර් 26 දා පැවැත්වෙන පුණ්‍යෙීත්සවය එවැනිම වූ මහා ආගමික උලෙළකි. ඇමෙරිකන් ඩොලර් දෙලක්ෂයක් එනම් රුපියල් දෙකෝටියක් පමණ වියදම් කොට ඉදිකළ මෙම සමාධි පිළිමය සඳහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ජනාධිපති අරමුදලින් රුපියල් දස ලක්ෂයක මුදලක් පරිත්‍යාග කිරීම ද විශේෂ සිද්ධියකි.

මෙම සමාධි බුදු පිළිමය වටා ශෛලමය මළුවක් ද පොකුණක් ද, එම පොකුණ වටා, පෞරාණික ස්වරූපය නිරූපණය කරන පහන් වැටි 12ක් ද නිර්මාණය කර තිබීමෙන් මෙම පරිසරය වඩාත් විචිත්‍රවත් වී ඇත. නිව්ජර්සි ආණ්ඩුකාර ජෝන් කෝර්සයින් සහ ප්‍රැන්ක්ලින් නගර සභික උපේන්ද්‍ර චිවිකුල යන මහත්වරුන්නේ ද, නිව්ජර්සිහි අසල්වාසී අන්‍යාගමිකයින්ගේ නොමඳ සහාය මෙම සත් කාර්යය සඳහා ලැබී තිබේ.

හුංගම්පොළ සිරිරතන හිමිපාණන් ඇමෙරිකාවට වැඩම කළේ හරියටම මීට වසර 10කට පෙරය. එනම් 1999 වර්ෂයේදීය.

මුලින්ම නිව්යෝර්ක් බෞද්ධ විහාරයේ ද, ඉන්පසු ස්ටේටන් අයිලන්ඩ් බෞද්ධ විහාරයේ ද වැඩ විසූ එම හිමියෝ කුරුණෑගොඩ පියතිස්ස හා හීන්බුන්නේ කොන්ඩඤ්ඤ හිමිවරුන්ගේ මාර්ගෝපදේශකත්වය යටතේ නිව්ජර්සි බෞද්ධ විහාරය ඇරැඹූහ. නිව්ජර්සි විහාරයේ වැඩ වසන බුලුගම්මන පියරතන හා නේපාලයේ විනීත යන හිමිවරුන්ගෙන් මෙම කටයුතු සඳහා ඉටුවන්නේ උදාර සේවයකි.

නිව්ජර්සි බෞද්ධ විහාරාධිපති

හුංගම්පොළ සිරිරතන හිමි සහ සමාධි බුදුපිළිමය
තම දෑතින් තැනූ ඉඹුලපිටියේ මේධානන්ද හිමි

මෙම සමාධි බුදුපිළිම වහන්සේ තම දෑතින් නිර්මාණය කළ ලංකාවෙන් වැඩම කොට මේ පින්බිමෙහි වැඩ විසූ ඉඹුලපිටියේ මේධානන්ද හිමියන් පිළිබඳව ද විශේෂ සඳහනක් කිරීම වටී. බුදුරජාණන් වහන්සේගේ රුව ජීවමාන අයුරින් නෙළීමට උපන් හපන්කමක් ඇති හිමිනමක වශයෙන් උන්වහන්සේ හැඳින්විය හැක. ලෝකයාට බුදුන්ගේ ශාන්ත රුව දැකීමේ භාග්‍යය උදාකර දීමට සමත් වූ මේධානන්ද හිමිපාණන් ලංකාවේ මූර්ති ශිල්පීන් අතර අග්‍රගණයේ කලාකරුවෙකි.

මූර්ති ශිල්පයට නැඹුරු වී සම්බුදු රජාණන්ගේ බුද්ධකාය ගලෙන් මෙන්ම සිමෙන්තියෙන් ද, ෆයිබර් වලින් ද, කැටයම් කොට මූර්තිමත් කරන ඉඹුලපිටියේ මේධානන්ද – හිමියන් ශ්‍රීී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය ලබා ඇති හිමිනමකි. උන්වහන්සේ මුලින්ම මූර්ති ශිල්පය හදාරා ඇත්තේ මාපලගම විපුලසාර හිමිපාණන්ගෙනි.

උන්වහන්සේ පුත්තලම, කිරුළපන, දෙහිවල, දෙහිවල නව පොලොන්නරු ගල් විහාරය, මාතර, කිතුල්ගල, ගාල්ල යන ප්‍රදේශවල බුදුපිළිම නිර්මාණය කළහ. දෙහිවල ගල්වල පාරේ පිහිටි නව පොළොන්නරු ගල්විහාරයේ වැඩ වසන ඉඹුලපිටියේ මේධානන්ද හිමියන්, නිව්ජර්සි බෞද්ධ විහාරාධිපති පූජ්‍ය හුංගම්පොළ සිරිරතන හිමිපාණන්ගේ මාර්ගෝපදේශකත්වයෙන් ඉටු කළ මේ ශාසනික සේවය ශාසන හිතකාමී සැමගේ ප්‍රශංසාවට හේතුවකි.

සැප්තැම්බර් 26 දා විවෘත වන නිව්ජර්සි බෞද්ධ විහාරයේ නව සමාධි බුදුපිළිම වහන්සේ මුළු ලොවටම ශ්‍රී ලංකාව හා බුදුදහම පිළිබඳ සදාතනික සිහිවටනයක් වේවා!


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: