Posted by: lrrp | September 22, 2009

අධිෂ්ඨානයෙන් යුතු මිනිසා ගේ දෙලොව ජීවිතය ම යහපත් වන්නේය

කුප්පියාවත්ත ජයශේඛරාරාම විහාරවාසී ගෞරව ශාස්ත්‍රවේදී මාවරලේ භද්දිය හිමි

ගිහි ජීවිතය හරවත් කරගැනීම සඳහා උපකාරී වන වටිනා කරුණු රාශියක් අංගුත්තර නිකායේ කුද්දක නිපාතයෙහි අන්තර්ගත ය. යහපත් පුද්ගලයෙක්, යහපත් සමාජයක් නිර්මාණය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ විසින් දේශිත මෙම ධර්ම කරුණු බෞද්ධයන් නිරන්තරයෙන් විමසුමට ලක් කළ යුතුය. මෙලොව පරලොව දෙලොවෙහි ම වැඩ සලසා ගත හැකි වන්නේ එවිටය.

කාමභෝගී ගිහියා ගේ ජීවිතය අපේක්‍ෂාවන්ගෙන් සහ ආශාවන්ගෙන් පිරුණ එකකි. එහි තෘප්තිමත් බව සඳහා විශේෂයෙන් ආර්ථිකය උපකාරී වේ. ඒ හා සමානව අධ්‍යාපනය ද අත්වැලක් වේ. ආර්ථිකය සහ අධ්‍යාපනය ගොඩනඟා ගැනීම සඳහා ගිහියන් වන ඔබ නොපසුබට උත්සාහයෙන් කටයුතු කළ යුතු බව බුදු දහම අවධාරණය කොට තිබේ.

ගිහි ජීවිතයේ අරමුණු සඵල කර ගැනීමට යන ගමනේ දී, ඉලක්ක ජය ගැනීමට යන ගමනේ දී අධිෂ්ඨානශීලී බව බිඳ දමන බොහෝ අත්දැකීම්වලට මුහුණ දීමට ඔබට සිදුවනු ඇත. ඇතැම් අවස්ථාවන්හි අප ගේ උට්ඨාන වීර්ය බිඳ දමන්නේ සොබා දහමයි. අව්ව, වැස්ස, ශීතල, උෂ්ණත්වය අප කායිකව පසුබට කරන අවස්ථා කොතෙකුත් වේ. එහෙත් ජීවිතයේ අධ්‍යාත්මික වූත්, භෞතිත වූත් ඉලක්ක ජයගත යුතුය යන තිර අදිටන ඔබ සතු නම්, මේ අවස්ථාවන් හේතුවෙන් හට ගන්නා අලසකම දුරුකළ යුතුය. එවිට බාධක ජයගත හැකි වේ. කම්මැලි නොවීම යන ගුණාංගය ඔබ සතු නම්, ජීවිතය ශක්තිමත් කර ගැනීමට එයම විශාල පිටුවහලක් වේ.

ධනය සම්පාදනය කිරීමේ දී ගිහියා වෙත උට්ඨාන වීර්ය පැවතීම අනිවාර්ය බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත්තාහ.

”උට්ඨාන විරියාධිගතා
බාහුබල පරිජිතා
සේතා වක්ඛිත්තා
ධම්මිකා ධම්ම ලද්දා”

බාහු බලයෙන් හැකි උපරිමයෙන් ශ්‍රමය කැප කිරීමෙන්, සිරුර දහදියෙන් තෙත්වන තුරු, සිතට දිරි ගෙන කරන කාර්යයෙහි නියැළෙන්නට හැකි වූයේ නම්, ඒ වීර්යවන්ත බව අඛණ්ඩව පවත්වාගෙන යෑමට හැකියාව ලැබුණේ නම්, ඔබ අත්ථි සුඛය ලැබූ තැනැත්තෙක් බවට පත්වේ. දහදිය මහන්සියෙන් ධාර්මිකව ඉපැයූ ධනයක් මා සතු වේ යැයි සතුටු වන්නට අවස්ථාව උදා වේ. ජීවිතයේ කවර අභියෝගයක් හමුවේ වුවද, කවර ආයතනයක කුඩා වැටුපකට සේවය කළ ද, ඒ සෑම වැඩ කටයුත්තක දී ම නොපසුබස්නා වීර්ය ඔබ සතුවිය යුතුය. එසේ වූ කල්හි දැනට ගතකරන ජීවිතය වඩා තෘප්තිමත්, සාර්ථක සහ වටිනා ජීවිතයක් බවට පත් කර ගැනීමට නිසැකවම අවකාශය උදාවනු ඇත.

අලුත් ආයතනයක රැකියාවට ගිය පළමු හෝ දෙවැනි සතියේ ම තමන්ට ලොකු පිළිගැනීමක්, හොඳ වැටුපක්, ඉහළ තනතුරක් අපේක්‍ෂා කිරීම බොහෝ දෙනා ගේ පුරුද්දකි. ඒ අපේක්‍ෂාව ඉටු නොවුණ තැන මේ ආයතනය කිසිදු වැඩකට නැතැයි සිතා වෙනත් රැකියාවක් සොයන අවස්ථා ද ඇත. එහෙත් ඔබ සිහියේ තබා ගත යුතු කරුණකි. උට්ඨාන වීර්ය ඇති කර ගන්නට නම් ඔබට ලැබුණ තැන පිළිබඳ පළමුව සතුටු වීමය. උට්ඨාන වීර්ය වර්ධනය කරගන්නට නම් ලැබුණු දේ පිළිබඳ තෘප්තිමත් වීමට හැකි විය යුතුය.

ඒ තෘප්තිය අත් විඳීමට නො හැකි නම්, තමන්ට ලැබුණු සුළු රැකියාව ගැන හෝ සෑහීමකට පත් වීමට නොහැකි නම් කිසි දිනෙක ඔබට ලබා දෙන ඉලක්ක ජයග්‍රහණය කර පෙන්වන්නට අවස්ථාව උදා නොවේ. ඔව්, මම දිනුවා යැයි කියන්නට, මම ජයග්‍රහණය කළා යැයි අභිමානයෙන් සිතන්නට නො හැකිවේ. මේ නිසා දෙලොව යහපත අපේක්‍ෂා කරනවා නම් මෙම වටිනා කරුණුවලින් උට්ඨාන වීර්යයෙන් යුතුවීම යන ගුණාංගය ඇති කර ගැනීම කෙරෙහි ඔබගේ අවධානය යොමු කළ යුතු වේ.

ප්‍රමාද නොවූ, සුදුසු කලට කටයුතු යොදාගන්නා පුද්ගලයකු බවට පත්වීම දෙවැනි ගුණාංගයයි. මෙයින් අදහස් වන්නේ කුමක්ද? සුදුසු කලට සුදුසුම දේ සිදු කිරීමය. ධර්ම දේශකයකු ලෙස පසුගිය පස් මස පුරා මා ලද අත්දැකීම් බොහෝය. ජීවිතයේ එක් එක් කාලවලදී කරන්නට තිබුණු වැඩ කටයුතු අතපසු වීම නිසා, ඒ සඳහා ප්‍රමාද වීම නිසා මුළු ජීවිතයම වරද්දා ගත් බොහෝ දෙනකු මට හමු වී ඇත. ඔවුන් ගේ වත්මන් තත්ත්වය සැබැවින් ම අනුකම්පා සහගත ය. ආර්ථිකය, සමාජ තත්ත්වය, විඳින්නා වූ නින්දා අපහාස, කිසිවකු ගේ පිළිගැනීමකට ලක් නොවී කොන් වී සිටීම ආදී හේතු නිසා ජීවිතය නීරස වී ඇති බව ඔවුහු පවසති.

විඳින්නා වූ අනේකවිධ කම්කටොලු පිළිබඳ කඳුළු වගුරවමින් පවසන කල ඔවුන් කෙරෙහි නිසැකවම අනුකම්පාව උපදී. එහෙත් මා ගේ අනුකම්පාවට ඔවුන්ට නොලැබුණ දේ ලබා දෙන්නට ශක්තියක් නැත. ඔවුන් වෙතින් මඟ හැරුණ වටිනා කාලය නැවත ලැබෙන්නේ නැත. එහෙත් දිය යුතු වටිනා උපදේශයකි. අතීතයත් සමඟ රණ්ඩු කිරීමෙන්, ගෙවුණ කාලය ගැන පසුතැවිලි වීමෙන් පලක් නැත. කළ යුතු වන්නේ මේ මොහොතේ පටන් ජීවිතය අලුතින් ඇරැඹීම ය. හෙට දිනය වඩාත් යහපත් වන්නේ අද දවසේ ඔබ ගේ ක්‍රියාකාරකම් අනුව ය. අද නිසි ලෙස කටයුතු කළේ නම් හෙට දිනය සුබදායී වනු ඇත. සතුටින්, විනෝදයෙන් කාලය ගත කළ හැකිවනු ඇත.

ඔබට නිසි ලෙස මූලික අධ්‍යාපනය ලබා ගැනීමට ඉඩහසර නොලැබුණා වීමට පුළුවන. ඔබේ නො දැනුවත්කම නිසා හෝ විනෝදකාමී බව නිසා විභාග අසමත් වූවා විය හැකි ය. විභාගය අසමත් වූ පමණින් සියලු දේ පිළිබඳ කලකිරීම සුදුසු නැත. විභාගය අසමත් බව සත්‍යයකි. එහෙත් ඔබ විනාශ වූයේ නැත. තවමත් ඔබ සතුව වටිනා ඇස් දෙකක් තිබේ. ශක්තිමත් දෑත දෙපය තිබේ. ඔබ අවට පරිසරයේ ද සම්පත් බොහෝ ය. මගේ ළමා කාලය විනාශ කරගත්තා, මට හරියට ඉගෙන ගන්න නො හැකි වුණා යැයි සිතමින් තව තවත් කාලය විනාශ නොකළ යුතු ය. ඒ පසුතැවීම ද ජීවිතයට අත්දැකීමක් කර ගත යුතුය. ඔබ ගිහියෙකි. ජීවිතයේ ඉදිරි කාලයේ තවත් අභියෝගවලට මුහුණ දීමට සිදුවනු ඇත.

මේ නිසා මේ මොහොතේ සිට හෝ මම වැඩ කරනවා යන අධිෂ්ඨානය ඇති කර ගත යුතු ය. අද කළ යුතු දේ හෙටට කල් දමමින් මම හෙට ඉඳලම වැඩ පටන් ගන්නවා යනුවෙන් සිතීම වෙනුවට මේ ලිපිය කියවා අවසන් කළ මොහොතේ ම අලුත් අධිෂ්ඨානයකින් යුතු මිනිසෙක් බවට පත් විය යුතු ය. එවිට ඔබ ගේ අරමුණු, ඉලක්ක ජය ගැනීම අපහසු වන්නේ නැත. නිසැකව ම සාර්ථක මිනිසකු බවට පත්වීමට අවකාශය උදාවනු ඇත. දෙලොව ජීවිතය ම යහපත් වනු ඇත.

තෙවනුව බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙන්නේ සම ජීවිකතාවයයි. එනම් අයවැය දෙක සලකා සමව ජීවිකාව ගෙන යාමයි. හොඳ ආර්ථික කළමනාකරණයක් නොමැති නම් ඔබ කෙතරම් අප්‍රමාදව, උට්ඨාන වීර්යයෙන් යුතුව කටයුතු කළ ද පලක් නොවන්නේ ය.

තම වැටුප් වැඩි කරන ලෙස සමහර ආයතනවල සේවකයෝ උද්ඝෝෂණය කරති. මේ නොකළ යුතු දේ යැයි නොපවසමි. ඉල්ලීමක් කිරීම ඔබේ අයිතියකි. ඔබට කොතරම් වැඩි වැටුපක් ලැබුණත් වියදම් අඩු කරන්නට බැරි නම්, සමජීවිකාව එනම් අය සහ වැය සමබරව පවත්වාගෙන යෑමට නො හැකි නම් ඔබට සාර්ථක මිනිසකු බවට පත්විය නො හැකිය. මේ නිසා අය වශයෙන් ලැබෙන මුදලට සාපේක්‍ෂව යම් ඉතිරියක් ද සිදුවන ලෙස වියදම් සකසා ගන්නට පුහුණුවක් ඇතිකර ගත යුතුය.

අද ලොව විශාල තරගයක් පවතී. ජය ගැනීම සඳහා මාධ්‍ය විසින් නිරන්තරයෙන් ම කටයුතු කරමින් සිටී. මිනිස් සිතේ ඇතිවන ආශා අවශ්‍යතා බවට පත්කර ඒවා ලබා ගැනීම සඳහා, අත්විඳීම සඳහා පොළඹවමින් සිටී. ඔබ අයවැය සමබරව පවත්වාගෙන යෑමට උත්සාහ කළ යුතු වන්නේ මෙවැනි පරිසරයක දී ය. මේ නිසා අවශ්‍ය හා අනවශ්‍ය දේ කුමක් දැ යි තේරුම් ගැනීමට උත්සාහ කළ යුතු ය. සමාජයේ ඒ ඒ පුද්ගලයන් ගේ ආර්ථිකමය තත්ත්වයන් එකිනෙකට වෙනස් ය. වියදම් කිරීම සිදු කැරෙන්නේ එකිනෙකාට සාපේක්‍ෂකව ය.

මේ නිසා මට ලැබෙන ප්‍රමාණයෙන් ම තවත් කෙනකුට ලැබිය යුතු යැයි, මම වියදම් කරන ප්‍රමාණයම අනෙක් අය ද වියදම් කළ යුතු යැයි සිතනවා නම් එය වැරැදි නිගමනයකි. අල්පේච්ඡකම සාපේක්‍ෂය. සියලු දෙනා ම එකම විදිහට අල්පේච්ඡ විය යුතු යැයි බුදු දහම යෝජනා කරන්නේ නැත. සෝපාක ගත කළ ජීවිතය තරම් අල්පේච්ඡ ජීවිතයක් අනේපිඬු සිටුතුමාට යෝජනා කරන්නේ නැත. හෙතෙම අල්පේච්ඡ විය යුතු වන්නේ තම ධනයට, සමාජ තත්ත්වයට සාපේක්‍ෂව ය. එකිනෙකා ගේ අල්පේච්ඡ බව තමන් ගේ ආර්ථිකයට සාපේක්‍ෂව ගොඩනඟා ගන්නවා නම් එය ගිහියකු ගේ සාර්ථකත්වයට බොහෝ සෙයින් උපකාරී වනු ඇත.

ලැබූ ධනය විනාශ වී යා නොදී ආරක්‍ෂා කර ගැනීම සිවුවැනිව වැදගත් වේ. කොපමණ හරි හම්බ කළත්, ඔබ ස්ත්‍රී ධූර්තයකු නම්, සුරා ධූර්තයකු නම්, සූදුවෙහි ඇළුණේ වී නම් ඔබ ගේ ධනය ආරක්‍ෂා නොවන්නේ ය. බුදුරජාණන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රයේ දී භෝග විනාශ මුඛ හයක් පිළිබඳ එනම් ධනය විනාශ වන ක්‍රම හයක් ගැන විග්‍රහ කර ඇත්තා හ. ඔබ මේ පිළිබඳ මේ මොහොතේ පටන් කල්නා කළ යුතු ය. අවශ්‍ය දේ සඳහා පමණක් වියදම් කරමින්, අනවශ්‍ය වියදම් කපා හරිමින් සොර සතුරන්ගෙන්, ගින්නෙන්, ජලයෙන් පමණක් නොව පාලකයන්ගෙන් ද ඒ ධනය සුරක්‍ෂිත කර ගන්නට කැපවිය යුතුම ය. එය සාර්ථක ගිහි ජීවිතයකට අත්‍යවශ්‍ය කරුණකි.

පස්වැනි ගුණාංගය නම් ශ්‍රද්ධාවෙන් යුතු වීම ය. නිවෙසක මව සහ පියා ශ්‍රද්ධාවන්තයින් විය යුතු බව පසුගිය ලිපියෙන් ඔබට ඉදිරිපත් කළෙමි. තුණුරුවන් කෙරෙහි අවබෝධයෙන් යුතු විශ්වාසය සේ ම අඹුසැමියන් කෙරෙහි ද හොඳ අවබෝධයෙන් යුක්ත විශ්වාසයක්, ශ්‍රද්ධාවක් පවතිනවා නම් ස්ථිරව ම ඒ නිවෙසෙහි ඇතිවන පුංචි ගින්නක් හෝ එළියට නොයනු ඇත. පිටත කොපමණ ගිනි ඇවිළුණත් ඒ ගින්නෙන් නිවෙස නොදැවෙනු ඇත. ප්‍රතිපත්ති ගරුක වීම ද, සමගි සම්පන්න වීම ද සාර්ථක ජීවිතයකට අත්‍යවශ්‍ය බව ඔබට පෙන්වා දුන්නෙමි. කායික හා වාචසික වැරැදිවලින් තොර වෙනවා නම් පොලීසිය, උසාවිය ආදී නීතිය පසිඳලන ස්ථානවලට යෑමට සිදු නොවනු ඇත. ඔබ නීති ගරුක නම්, එවැනි ස්ථානවල අපතේ හරින කාලය ඔබ ගේ දියුණුව පිණිස භාවිතා කිරීමට හැකිවනු ඇත.

කොපමණ දුක් මහන්සියෙන් හරි හම්බ කළත් පරිභෝජනයේ දී දිය යුතු දේ දිය යුතුමය. ‘රාජ බලි’ රජය වෙනුවෙන්, ‘ඥාති බලි’ මවුපියන් ඇතුළු ඥාතීන් වෙනුවෙන්, ‘අතිති බලි’ නිවෙසට පැමිණෙන ආගන්තුකයින් වෙනුවෙන් කළ යුතු දෙය, දීමට ඇවැසි ප්‍රමාණය වෙන් කළ යුතු ම ය. එසේ නොමැතිව සමාජයේ අනෙකුත් පිරිස් සමඟ ගනුදෙනු කළ නො හැකි ය. මිය ගිය ඥාතීන් උදෙසා ද ඔබට සමීපව සිටි එහෙත් දැනට ජීවතුන් අතර නොවන හිත මිතුරන් උදෙසා ද දන්දීම ආදී පුණ්‍යකර්මය කළ යුතුය. ‘දේව බලි’ එනම් අධ්‍යාත්මික ගුරුවැන්ට ද පුද පූජා ඇප උපකාර කිරීමට සිදු වේ. මේ සියලු කාර්ය සඳහා මසුරු නොවීම අත්‍යවශ්‍යය. ඔබ දහදිය මහන්සියෙන් මුදල් ඉපැයූ බව සත්‍යයකි. එහෙත් එය තනිවම භුක්ති විඳීමට ඔබට අයිතියක් නැත.

ගිහි ජීවියේ සාර්ථකත්වය සඳහා ප්‍රඥාවන්ත වීම ද අතිශයින් වැදගත් වේ. ඔබ ඒ සඳහා උපකාරී වන ලිපි, පොත් පත කියවන කෙනෙක් බවට පත්විය යුතු ය. තමන් ගේ ජීවිතය දෙසම අවබෝධයෙන් බලන්නට පුරුදු වීම ද වැදගත් ය. ඔබ ගේ අතීතය දෙස බලා ඔබ නො දුටු, ලෝකය ද නොදුටු ඒ අපූරු මිනිසා හඳුනා ගන්නට ප්‍රඥාව වර්ධනය කර ගත යුතු ය. ජීවිතයේ ගනු ලබන සෑම තීරණයකට ම ප්‍රඥාවන්ත බව විශාල බලපෑමක් වන නිසාය. ජීවිතය තෘප්තිමත් කරන්නේ එසේ ගනු ලබන තීන්දු තීරණය.

අද ඔබට හඳුන්වා දුන් මේ ධර්ම කරුණු හොඳින් අධ්‍යයනය කළ යුතු ය. එය පුරුදු පුහුණු කර ජීවිතයට සමීප කර ගන්නවා නම් මෙලොව පරලොව ජීවිතයත්, භෞතික හා අධ්‍යාත්මික ජීවිතයත් හරවත් කර ගැනීම අපහසු වන්නේ නැත.


Responses

  1. jeevithayata itha watina lipiyak…digatama mewage weda satahan karagana yamata dhyrya ha shakthiya lebewa!!! budusaranai


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: