Posted by: lrrp | September 22, 2009

අපිත් මෙහේ ඉන්නවා භූතයෝ අනතුරු හඟවති

මිනිසුනට වැළදෙන සෑම රෝගයක් ම භෞතික ඇසින් පමණක් බලා නිගමනය කිරීම නිසා සමහර අයගේ ජීවිත පවා අහිමි වී යයි. සමහර රෝග නිවැරැදිව නිගමනය කිරීමට පවා පෙර රෝගියා මිය යන අවස්ථා නැතුවා නොවේ.

මේ හෝමාගම ගොඩගම ප්‍රදේශයේ තරුණියක ගේ බරපතළ රෝග තත්ත්වයක් වළක්වා ගත් ආකාරය පවසන කතාවකි. ඇය පළාත් පාලන ආයතනයක රැකියාවක නියුතු 23 හැවිරිදි ප්‍රසන්න තරුණියකි.

ඇයට 1997 වර්ෂයේ සිට වරින් වර බඩේ කොර ගතියක් හා ඉවසිය නොහැකි තරමේ තද බල වේදනාවක් හට ගැනිණි. මාසයකට දෙකකට වරක් මේ අසනීපය තදින් හට ගත් අතර වෛද්‍ය ප්‍රතිකාර ගත් නමුත් වේදනා නාශක මඟින් තාවකාලික සහනයක් ලැබූවත් ස්ථිර සුවයක් නොවීය.

2000 වර්ෂය වන විට බඩේ වේදනාව බලවත් විය.බටහිර ප්‍රතිකාරවලින් නිත්‍ය සුවයක් නොලැබෙන විට දේශීය වෛද්‍ය ප්‍රතිකාර ද ගත්තා ය. එහෙත් එයින් ද ස්ථිර සුවයක් නොලැබිණි. පසුව වරකට දින හත බැගින් මාසයකට දෙවරක් තද බල ලෙස වේදනාව දැනෙන්නට වූ අතර රැකියාවට යෑම පවා අඩාල විය. මෙය ඇගේ මව්පියන් ඇතුළු පවුලේ අයට ද මහත් කරදරයක් විය.

ලංකාවේ ඉහළ මට්ටමේ සුපිරි පෞද්ගලික රෝහල් වලට ගොස් ඊසීජී, එකෝ, මුත්‍ර, ලේ, ස්කෑන්, එක්ස්රේ ආදි සියලු පරීක්ෂණ කළ ද ප්‍රතිකාර ලැබුව ද ඒවායින් දින කිහිපයක් මඳ සහනයක් ලැබුණ ද යළිත් ;පර තත්ත්වයෙන් ම දුක් වින්දා ය.

2003 වන විට වේදනාව තවත් දරුණු විය. ඇගේ ගර්භාෂයට පහළින් යටි බඩ ඇතුළත තදින් කසන නලියන බවක් දැනිණි.

දිගු හිස සහිත අතකින් ඇගේ කුස මිරිකමින් යළිත් ලිහිල් කැරමින් යළිත් තද කරන බවක් දැනිණි. මේ අතර ඇය අවිවාහක බැවින් වහාම විවාහ වන ලෙස ද වෛද්‍යවරුන් ගෙන් උපදෙස් ලැබිණි. එහෙත් මෙවැනි තත්ත්වයක් යටතේ විවාහ වීමට ඇගේ කැමැත්තක් නොවීය.

මේ වන විට ඇය යම්තමින්වත් එහාට මෙහාට ගියේ යටි බඩ අල්ලා ගෙන මවගේ ඇඟට වාරු වීමෙනි. දැන් ඇය මොන දේ ආහාරයට ගත්තත් ඒවා වමනයට ගියේ ය.

ඈ බැරි ම තැන කොළඹ ප්‍රධාන රජයේ රෝහලකට ඇතුළත් වූවා ය. එහිදී ද වේදනාවේ අඩුවක් නොවූයෙන් වරින් වර ස්කෑන් පරීක්ෂණ පහක් ම සිදු කැරිණි. ඉන් පසු විශේෂඥ වෛද්‍යවරියක් ‘ලැපරස්කොපි’ පරීක්ෂණයක් ද කළේය. අවසානයේ ඇගේ ගර්භාෂයේ ගෙඩියක් ඇති බවත් වහාම සැත්කමක් කොට එය ඉවත් කළ යුතු බවත් නිගමනය කැරිණි.

ඇයට සැත්කමක් සිදු කළේය. අඟල් 6 – 7 ක පමණ කැපුමක් යොදා එම සැත්කම සිදු කළ අතර තවත් විනාඩි පහක් පමා වූවා නම් ඇය මරණයට පත්වන්නට ඉඩ තිබුණු බව වෛද්‍යවරු පැවසූහ. එහෙත් ඉවත් කළ ගෙඩිය ඇයට පෙන්වූයේ නැත. ඇය සෑම සෙනසුරාදාවකම සායනයට ගිය අතර මේ වන විට ද වේදනාව දැනුණු බව කී විට එය මඟහැර යනු ඇතැයි වෛද්‍යවරු කීහ.

2004 අපේ‍්‍රල් මාසය වන විට බෙහෙත් නතර කැරිණි. එහෙත් වේදනාව නිසා විශේෂඥ වෛද්‍යවරයා නිතර (චැනල්) හමු වී ප්‍රතිකාර ගත්තා ය. වෛද්‍යවරයා උපදෙස් දුන්නේ වහාම විවාහ වන ලෙසය. එහෙත් යළිත් වේදනාව දරුණු විය. උණ ගතිය සමඟ වමනය හට ගත්තේ ය.

යළිත් ස්කෑන් පරීක්ෂණයක් කළ අතර විශේෂඥ වෛද්‍යවරයා ද කම්පාවට පත් වෙමින් කලින් වතාවටත් වඩා ලොකු ගෙඩියක් ඇතැයි එය වහාම ඉවත් කළ යුතු බවත් පැවැසීය. මේ වන විට කලින් වතාවේ ශල්‍යකර්මයට සහභාගි වූ වෛද්‍යවරියකගේ මාර්ගයෙන් ඇගේ කලින් සැත්කමේ දී ගෙඩියක් නොතිබුණු බවත් බඩවැලේ හෝමෝන වැගිරීමෙන් ඇති වූ ලාටු ටිකක් සූරා දැමීම පමණක් සිදු වූ බවත් ඇය ඇගේ සහෝදරයා මගින් දැන සිටියා ය. වහාම දෙවැනි සැත්කමට ද දින නියම කැරිණි. (උදරයේ ගෙඩියක් ඇති බවට වූ සටහන් පරීක්ෂණ වාර්තා ඇය ළඟ තවමත් සුරක්ෂිතව ඇත.)

ඇය බලෙන් ම ටිකට් කපා ගෙන සැත්කම සිදු කිරීමට අවශ්‍ය දිනයට යළි රෝහලට එන බව පවසා ගෙදර ගියා ය. ඇගේ හඳහන බැලූ අය කියා තිබුණේ ඇයට වින දෝෂයක් ඇති බවත් මේ අපල කාලයේ සැත්කමක් නම් කිසිසේත් නුසුදුසු බවයි. එහෙත් ඇය පමණක් නොව පවුලේ අය ද මේ වසර ගණනක සිට දුක් දෙන රෝගයෙන් පීඩා විඳ අසරණව සිටියහ.

වේදනාව මේ තරම් දරුණු නම් නැවත ශල්‍යකර්මය කරනවා හැර කරන්නට වෙනත් දෙයක් ද නොවීය. මේ වන විට ලක්ෂ ගණනක් වැය වී ඉතුරුව ඇත්තේ ඇගේ මාසික වැටුප පමණකි. රැකියාවේ බොහෝ නිවාඩු ගැනීම නිසා එය ද අවිනිශ්චිත විය. එහෙත් ඇගේ කාර්යාලයේ අය ගේ ආදරය හා කරුණාව නිසා ඇයට යම් සහනදායි බවක් ද වීය.

මේ අතර ඇගේ හිතවතකු මාර්ගයෙන් අතුරුගිරිය විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ ගස්නාවේ ඤාණානන්ද නාහිමියන් ගැන ඇයට දැන ගන්නට ලැබිණි. ඇය උන් වහන්සේ සොයා ගෙන පැමිණ තම දුක් ගැනවිල්ල කීවා ය.

නාහිමියෝ ඇගේ දීර්ඝ දුක් ගැනවිල්ල සාවධානව අසා සිට ඇයට ඉතා සරල භාවනාවක් ඉගැන්නූහ. සෙත් පිරිත් පාඨයකින් ආශීර්වාද කොට යළිත් පවුලේ වැඩි හිටියන් සමඟ පැමිණෙන ලෙස ද දැන්වූහ. එදින රාත්‍රි ඇය වේදනා නාශක පෙති ද නොගෙන ම ඉතා සුව දායක නින්දක් ලැබුවාය.

පසු දින ඇය පවුලේ සියලු දෙනා ද සමඟ නැවත ආවා ය. එදින නාහිමියෝ සෙත් පිරිත් දේශනා කරන විට ඇය හඬන්නට වූවාය.

“මට යන්න බෑ. මම යන්නේ නෑ. මම කාලයක් තිස්සේ මැගේ ශරීරයේ සාරය උරා බොමින් ජීවත් වුණා. දැන් මැය අතහැර දමා යන්නට නොහැකි” යැයි කියැවුණි. නාහිමිපාණන් වහන්සේ භාවනාවකට සම වැද දෑතින් නිකුත් කරන ලද කිරණ දරා ගත නොහැකි අමනුෂ්‍යයා පලා ගියේය. ඇගේ පවුලේ අයට කරන ලද විනයක් ග්‍රහ අපල තත්ත්වය නිසා ඇයට තදින් බලපෑ බවත් ඇගේ පවුලේ අයට මානසිකවත් ආර්ථිකවත් පීඩා කැර ඇති බවත් නාහිමියෝ පැවසූහ.

මෙසේ ශරීරයෙන් ඉවත්ව ගිය ද ඇගේ උදරය තුළ රුධිරය උරා බොමින් සිටි මළ යක්ෂණිය යළිත් පැමිණිමට ඉඩ ඇති නිසා යක්ෂණිය වෙනුවෙන් දන් පැන් දී පින් අනුමෝදන් කොට ඇය යහපත් තත්ත්වයකට පත් කළ යුතු බව ද පැවසූහ. ඒ අනුව කටයුතු කොට යක්ෂණිය අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ සමීපයට යැවූහ. එය ද කර්මානුරූපව යක්ෂණියගේ පෙර පිනක් මතුවීමකි.

එවැනි අවස්ථාවක් උදා නොවී දීර්ඝ කාලයක් එසේ පිනකට දහමකට සිත යොමු කරන්නට වාසනාව උදා නොවන අමනුෂ්‍යයෝ ද සිටිති. ඔව්හු සොහොන් භූමි ආශි‍්‍රතව හැසිරෙති. මේ එවැනි තවත් කතාවකි.

මේ කතාව වාර්තා වන්නේ මාතර පළාතේ සුරූපී ගුරු වරියකගෙනි. කුෂානි නම් වූ ඇය තරුණ වියේ ම ඉන්ද්‍රසේන නම් වූ ගුරුවරයෙකු සමඟ විවාහ වූවාය. මාතර ජීවත් වූ මේ ගුරු යුවළට පසු කලෙක අම්බලන්තොටට මාරුවීමක් ලැබිණි. මාතර සිට දිනපතා අම්බලන්තොට යෑම අපහසු නිසා ඒ පාසලේ ම ගුරුවරයකු ගේ නිවසක නවාතැන් ගැනීමට හැකි විය. ඒ ගුරුවරයා නන්ද නම් විය.

නන්ද ජීවත් වූයේ මහ පාරෙන් සැතපුම් කාලක් පමණ දුරින් වූ නිවසක ය. ඔහුට ම අයත් තවත් නිවසක් මහ පාර අසල වසා දමා තිබිණි. ඒ නිවස කුලියක් නොගෙන ම කුෂානිටත් ඉන්ද්‍රසේනටත් පදිංචියට ලැබිණි. ඔවුන් ගේ දස හැවිරිදි පුතු ද ඔවුන් සමඟ එහි සිටියේ ය. නන්දගේ දරු දෙදෙනෙක් ගාල්ලේ විදුහලක ඉගෙනුම ලැබූහ. සතියේ නිවාඩුවට නන්ද හෝ බිරිය ගීතා දරුවන් බැලීමට ගාල්ලට යෑම සිරිතක් විය.

දිනක් ගීතා දරුවන් බැලීමට ගාල්ලට ගියා ය. ඇය එදින ම ආපසු ආවොත් පැමිණෙන්නේ රාත්‍රි 9 ට පැමිණෙන බස් රියෙන් විය හැකි බැවින් එසේ පැමිණියොත් ඇය නිවසට ඇරලන ලෙස නන්ද ඉන්ද්‍රසේන ගෙන් හා කුෂානිගෙන් ඉල්ලා සිටියේය. එසේ ම තමන්ටත් අනිත් පුතාටත් රාත්‍රියට කෑම ටිකක් අවශ්‍ය බව ද ඔහු මේ මිතුරු යුවළගෙන් ඉල්ලා සිටියේය. මේ නිවෙස් දෙක අතරේ සැතපුම් කාලක දුර ප්‍රමාණය අතර පාරේ වෙනත් කිසිදු ගෙයක් පිහිටා නොතිබූ අතර කුඩා සොහොන් භූමියක් ද විය.

එදින රාත්‍රි ආහාරය සකස් කළ කුෂානි ඊට කරවල බැදුමක් හා බිත්තර ඔම්ලටයක් ද එකතු කොට ඉන්ද්‍රසේන අත නන්ද ගේ නිවසට යැවුවාය. ඉන්ද්‍රසේන එය ගෙන යන විට හැන්දෑවේ හයට පමණ විය. ඉන්ද්‍රසේන නන්ද සමඟ සතුටු සාමීචියේ යෙදී ආපසු නිවසට එන විට රාත්‍රී හත ද පසු වී තිබිණි.

රාත්‍රී නවයට පැමිණෙන බස් රියෙන් ගීතා ආපසු නොපැමිණි බැවින් කුෂානිත් පුතාත් සැමියාත් නින්දට ගියහ. දැන් සියලු පරිසරය නිහඬ ය. මේ යුවළ දරුවාත් සමඟ තද නින්දේ ය. රාත්‍රියේ හිටි හැටියේ පැමිණි ගීතා එහි දොරට තට්ටු කර

“කුෂානි… කුෂානි” යි කතා කළා ය. කුෂානි තද නින්දේ ය. නැවත ද වරක් දොරට තට්ටු කර කතා කළා ය. මේ දෙවර ම ඉන්ද්‍රසේනට ඇසිණි.

“ඒයි… නැගිටින්න. අන්න ගීතා ඇවිත්” යැයි ඉන්ද්‍රසේන කුෂානිගේ උරයෙන් අල්ලා සොලවා අවදි කොට කීවේ ය.

“කුෂානි… කුෂානි මම ආවා” යි ගීතා නැවත කතා කරනු කුෂානිට ද ඇසිණ. ඒ සමඟ ම ඉන්ද්‍රසේන අවදි වී චිමිනි ලාම්පුව දල්වා දොර ඇර එළියට ගියේය.

කුෂානි ද ඇඳෙන් නැගිට රාත්‍රී ඇඳුමට උඩින් තවත් ඇඳුමක් ඇඟ ලා ගත්තා ය. දැන් ඉන්ද්‍රසේනත් ගීතාත් ඉස්තෝප්පුවේ ය. ඉස්තෝප්පුව අඳුරේ ය. ගීතාත් ඉන්ද්‍රසේනත් කතා බහක් නැතිය. නිහඬ ය. කුෂානිට කුතුහලයකි.

එහෙත් කුෂානි කාමරයෙන් පිට වීමට පෙර පුතා ගේ ඇඳේ මදුරු දැල සකස් කළ යුතු වීය. ඊටත් මඳ කාලයක් ගත වීය. අර දෙන්නා අඳුරේ තවමත් නිහඬව සිටීම කුෂානි ගේ සිත කුතුහලය වැඩි කරවයි. නිවසේ විදුලි පන්දමක් ද නොවූ බැවින් කුෂානිට ඉටිපන්දමක් හා පොල් කටුවක් සොයා ගන්නට සිදු විය.

“මුන් දෙන්නා සද්දයක් නැතුව මේ කරුවලේ මොනවා කරනවා දැ” යි කුෂානි ගේ සැකය තවත් වැඩි වෙයි. කුෂානි ඉටිපන්දම දල්වා ගෙන එළියට ආවා ය.

ඉන්ද්‍රසේන නිහඬව ම ඉස්තෝප්පුවේ සිටී. “කෝ ගීතා” යි කුෂානි ඇසුවා ය.

“ගීතා මිදුලේ බලා ඉඳලා ඔයා පරක්කු නිසා කතා නොකර ම යන්න ගියා. අපි ඉක්මන් කර යමු” යි ඉන්ද්‍රසේන කීවේය. ඉන්ද්‍රසේන දොර වසා යතුර අතට ගත්තේය. මේ දෙදෙනා නිවසෙන් මිදුලට බැස ගීතා ගිය දෙසට ගමන් ඇරඹූහ. ගීතා තරමක් දුරින් ගමන් කරන අයුරු ඔවුනට පැහැදිලිව දිස් වෙයි.

“ගීතා පස්ස නොබලා ම යන්නේ මම පරක්කු වූ නිසා අමනාප වෙලා ද දන්නේ නෑ” යි කුෂානි කීවා ය.

“නැද්ද? ඔයාට එළියට එන්න කොච්චර වෙලා ගත වුණා දැ” යි ඉන්ද්‍රසේන ද නොමනාපයෙන් මෙන් කීවේ ය.

“ඇයි ඒයි මට එහෙම එක පාරට ම එන්න පුළුවන් ද? ඇඳුමක් ඇඟට දාගන්න ඕනෑ. පුතා ගෙ මදුරු දැල හදන්න වුණා. ඉටිපන්දමක් පොල් කටුවක් හොයන්න වුණා. යං… යං… ඉක්මන් කරලා” යි මේ දෙදෙනා පය ඉක්මන් කළහ. එහෙත් ඔවුන් යන වේගයෙන් ම ගීතා ද ඉදිරියට යනු පෙනෙයි. ඊට වඩා ඉක්මනින් ඇය පසු පස ඔවුන්ට දුවන්නට ද නොහැක්කේ ඉටිපන්දම නිවෙන නිසා ය.

මේ දෙදෙනා නන්ද ගේ නිවසට ම ගියහ. නිවස තද අඳුරේ ය. ගීතා පෙනෙන්නට නැත. දොරට තට්ටු කැර නන්ද අවදි කළේ ය. නන්ද දොර විවෘත කැර නිදි ගැට හරිමින්

“මොකද මේ මහ රෑ” යි ඇසුවේ ය.

කුෂානිටත් ඉන්ද්‍රසේනටත් මහත් පුදුමයකි.

“කෝ ගීතා?” යි කුෂානි ඇසුවා ය.

“ඊයෙ හැන්දෑවේ ගීතා කෝල් එකක් දුන්නා. අද එන්නේ නෑ කියලා. ගීතා ආවෙ නෑ” නන්ද කීවේ ය.

“අනේ මේ බොරු නොකියා ඉන්නැ” යි කුෂානි ගෙට ගොස් ඇඳන් යට පවා බැලුවේ ඔවුන් විහිළුවක් කරති යි කියා සිතූ නිසා ය. ඒ මොහොතේ ම ඒ නිවසේ ඔරලෝසුවේ එකේ කණිසම හඬ නඟනු අසන්නට ලැබිණි.

“පලයල්ලා පලයල්ලා පිස්සු නැතුව ගෙදර ගිහින් නිදා ගනිල්ලා. මටත් නිදිමතයි” කියා නන්ද ඔවුන් පිටත් කැර දොර වසා ගත්තේ ය. මේ දෙදෙනා අන්දමන්දව ආපසු ගමන් ඇරැඹූූහ. කුෂානි ඉන්ද්‍රසේන ගේ අතේ එල්ලුණු අතර ඉන්ද්‍රසේන කුෂානිගේ බඳ වටා අත දමා ගෙන බියෙන් හා සැකයෙන් ගමන් කළහ. නුදුරු දින කීපය තුළ මේ ප්‍රදේශයේ සොරකම් හා මංකොල්ලකෑම් කීපයක් ම සිදු වී තිබුණි. මෙය සොරුන් විසින් ස්ත්‍රී කටහඬකින් කතා කොට කුෂානි ගේ කණකර මංකොල්ල කන්නට සිදු කළ දෙයක් දැයි ඉන්ද්‍රසේනට සැක සිතිණි. ඒ වන විටත් පවුම් දෙකක් බරැති රන් දම්වැලක් කුෂානිගේ ගෙලෙහි තිබිණි.

එහෙත් එවැන්නක් සිදු නොවිණි. මේ දෙදෙනා නිවසට පැමිණ සිදු වූ දෙය ගැන කුතුහලයෙන් ම නැවත නින්දට ගියහ. පසු දින උදේ බලන විට ඊයේ රාත්‍රි සකස් කළ කරවල බැඳුමේ ඉතුරු කොටස හා ඔම්ලට් ඉතුරු කොටස් නානු බවට පත්ව තිබිණි.

කුෂානි නිතර තෙරුවන් වඳින, පිරිත් කියන, පිළිවෙත් රකින කාන්තාවකි. එසේ ම විෂ්ණු – කතරගම දෙවිවරුනට මහත් භක්තියකින් පුද පූජා කළ කෙනෙකි. ඒ නිසා ඔවුන් නිවසේ සිටින තුරු ඊට ඇතුළු විය නොහැකි බැවින් මේ දෙදෙනා නිවසින් පිට කිරීමට අමනුෂ්‍යයන් කළ උපායක් ද? නැත්නම් ගොම්මන් වේලාවට සොහොන් ළඟින් කරවල බැදුම් ගෙන යෑම නිසා ඉන්ද්‍රසේන සමඟ පැමිණි භූතයෙකු ගේ විහිළුවක් ද විය හැකිය.

නැතහොත් මේ කුෂානි මහත්මිය සිල් සමාදන් වන දිනපතා තෙරුවන් වන්දනා කරන, එසේ ම විෂ්ණු කතරගම දෙවිවරුන් අදහන කෙනෙකු නිසා කරවල බැදුම හා බිත්තර ඔම්ලටය භුක්ති විඳීමට ඔවුන් නිවසෙන් පිටමං කිරීමට යෙදූ උපායක් ද විය හැකි ය.

එසෙත් නැත්නම් සමහර භූතයෝ “අපිත් මෙහේ ඉන්නවා” ය කියන බව ඇඟවීමට ද මෙවැනි දේ කරති. මේ සියල්ල ධර්ම ශක්තියට යටය. ගොඩගම තරුණියට දුක් පීඩා දුන් මළ යක්ෂණියගේ බලය ද ඤාණානන්ද නාහිමියන් ගේ ආධ්‍යාත්මීය ශක්තියෙන් පාලනය විය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: