Posted by: lrrp | September 22, 2009

මනස පිළිබඳ බෞද්ධ විග්‍රහය

ශාස්ත්‍රපති, මානසික උපදේශක යටලමත්තේ කුසලනන්ද හිමි

මානසික ක්‍රියාකාරීත්වය නිරූපණය කරනු ලබන වචනයක් ලෙස ‘විඤ්ඤාණය’ සඳහන් වෙයි. ‘විඤ්ඤාණය’ යන්නෙන් සංසාරිකව ප්‍රතීත්‍ය සමුප්පන්නව පවත්නා දෙයක් අදහස් කරයි. ‘නාම රූප සමග සම්බන්ධ වනුයේ විඤ්ඤාණය යි. මානසික ක්‍රියාකාරීත්වය මිනිස් සිරුර හා සම්බන්ධතාවකින් තොර ස්වාධීන පැවැත්මක් ලෙස ගැනීම, ආදි කාලීන ඇතැම් ආත්මවාදීන්ගේ මෙන්ම නූතන ඇතැම් දාර්ශනිකයන්ගේ ද මත ය යි. මීට ප්‍රතිවිරෝධීව බුදු සමය, නාම රූප සහ විඤ්ඤාණයේ අනන්‍යෝන්‍ය පැවැත්ම විස්තර කරයි.

මනස යනු කුමක්ද? පෙර දිග හා අපර දිග ඉතා ඈත කාලයේ සිට මේ සාකච්ඡා කොට ඇත. මේ පිළිබඳ දාර්ශනික හා විද්‍යාත්මක මත වාද ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැකි ය.

1. ද්වෛත වාදය
2. එකත්ව වාදය

පෙරදිග අතීතයේ සිට මනස ශරීරයට පරිබාහිර වෙනම එකක් ලෙස සැලකිණි. වේද යුගයේ සිටම මේ පිළිගැනීම විය. උපනිෂ්ද් යුගයේ දී ආත්මන් නම් පදාර්ථය ගැන ගැඹුරින් සාකච්ඡා විය. මේ අනුව නිත්‍ය, සදාතනික, ශරීරයේ විනාශයක් සමග නොනැසෙන ආත්මයක් වෙයි. ජෛනයෝ ද, කර්ම දුරු කිරීමෙන් ආත්ම ශුද්ධත්වයට පත්කර ගත හැකි බව පිළිගති. පෙරදිග, ආත්ම සංකල්පයට දැඩි ලෙස බැඳී ඇත. අපරදිග ප්ලේටෝ, ඇරිස්ටෝටල් පවා කයෙන් බාහිර යමක් පිළිගෙන ඇත. බටහිර මෙම මතය ප්‍රචලිත කරනු ලැබුවේ රෙනේ ඩෙකට්ගේ ( ) දෛවයිත වාදයෙනි. මේ අනුව, එකිනෙකට වෙනස් පදාර්ථ දෙකකින් මිනිසා යුතු වෙයි. භෞතික කයත්, අභෞතික මනසක් යනු මෙම දෙකයි. මේ අනුව පෙරදිග ද අපරදිග ද මනස පිළිබඳ දෛවයිතවාදී මතවාද තිබිණි.

මනස, කායික ක්‍රියාකාරිත්වයට ඌණනය කිරීම, එකත්ව වාදයයි. පෙරදිග භෞතිකවාදීන්ගේ සහ උච්ඡේදවාදීන්ගේ් මනස පිළිබඳ මතය මෙය විය. මොවුන්ගේ ප්‍රධාන ඉගැන්වීම, පුද්ගලයා පඨවි, ආපෝ, තේජෝ වායෝ යන භෞතික පදාර්ථ වලින් සැදුම් ලද්දක් බවත්, අප මනස ලෙස හදුන්වනුයේ මේවායේ අන්‍යෝන්‍ය සමවායයෙන් හටගන්නා අතුරු ප්‍රතිඵලයක් බවත් ය.

බටහිර දර්ශනයේ අනුභූති වාදයට අනුව, මනස යනු සංවේදන පුංජයකි. ඩෙවිඩ් හියුමිගේ මතය, එයයි. චර්යාවාදීහු මනස කායිකත්වයටම ඌණනය කළහ. මේ අනුව බටහිර චර්යා වාදියකු වූ ගිල්බට් රයින් ගේ මතය මෙබඳු ය. මනස පිළිබඳ අදහස, යන්ත්‍රයක ක්‍රියාකාරිත්වය සඳහා භූතයකු අවශ්‍ය ය යන විශ්වාසයට සම කිරීමක් බව ඔහු දක්වයි. මනසද යනුවෙන් කිසි ක්‍රියාකාරීත්වයක් නොපවතින බව, එකත් ව වාදීන්ගේ මතයයි.

මනස පිළිබඳ මෙම මතවාදවලට සාරාංශය, මෙලෙස දැක්විය හැකිය.

01. එය ප්‍රකෘතිය මුල්වීමෙන් හටගත් තත්ත්ව පදාර්ථයක් බව සංඛ්‍ය දර්ශනයේ විස්තර වෙයි.
02. නිත්‍ය වූ සූක්ෂම පදාර්ථයක් බව න්‍යාය දර්ශනයේ සඳහන් වෙයි.
03. අභ්‍යන්තර ඉන්ද්‍රිය පදාර්ථයක් බව, වේදාන්ත මතයෙහි සඳහන් වෙයි.
04. භූතයන්ගෙන් ඇතිවන තත්ත්වයක් බව භෞතිකවාදීහු පවසති.
05. මාතෘ – පිතෘ දෙදෙනාගේ සංයෝගයෙන් චිත්තය ඇතිවන බව, ඇතැම් දාර්ශනිකයන්ගේ මතය යි.
06. චිත්තය, හේතු ප්‍රත්‍යයන්ගෙන් පහල වන, අනිත්‍ය දුක්ඛ, අනාත්ම ලක්ෂණ වලින් යුතු ධර්මයක් බව, බෞද්ධ දර්ශනයේ පැහැදිලි කර ඇත.

මනස නොයෙක් මතවාද අනුව විවරණය කර ඇති ආකාරය ඒ අනුව පැහැදිලි වෙයි.

මානසික ක්‍රියාකාරීත්වය පිළිබඳ බෞද්ධ මතය

බුදු දහම සත්ත්වයා හුදු භෞතික ජීව විද්‍යාත්මක සිද්ධියක් ලෙස පමණක් තේරුම් නොගනියි. අනාත්ම සංකල්පය හා පටිච්චසමුප්පන්න ක්‍රියාකාරීත්වය අනුව සිදුවන හා ක්‍රියාකාරීත්වයක් ලෙස එය හඳුනාගෙන ඇත. මනසේ ක්‍රියාකාරීත්වය, එක වචනයකින් නොව, වචන කිපයකින්ම විස්තර කොට ඇත. චිත්ත, මනෝ විඤ්ඤාණ, යනු එම අනිකුත් වචනයි. මහණෙනි, සිත මනස හෝ විඤ්ඤාණය යැයි කියනු ලබන මෙය රාත්‍රියෙහි ද දවාලෙහි ද අනෙකත්ව උපදී. අනේකත්ව නිරුද්ධ වෙයි. (චිත්තං ඉතිපි විඤ්ඤාණං ඉතිපි තං රත්තියා ච දිවස්ස ච අඤ්ඤදෙව උප්පජ්ජති, අඤ්ඤ නිරුඡඣති. ස. නි. 02 අස්සුතවත්ථු සුත්ත)

මෙලෙස මනසේ ස්වභාවය වෙනස්වන ප්‍රවාහයක් බව බුදුදහම පවසයි. වචනයකින් මෙම ප්‍රවාහය හඳුන්වා ඇත්තේ විවිධ පැතිකඩ ඔස්සේ ඒ පිළිබඳව සාකච්ඡා පැවැත්වීමට ය. මේ අනුව, මෙම වචන තුන එකිනෙකට අනන්‍ය වූ මානසික අංශ නියෝජනය කරයි.

බුදුදහම සිත මනස විඤ්ඤාණය යන වචන තුනෙන් නිරූපණය කරන, මානසික ක්‍රියාකාරීත්වය කිසි තැනක පදාර්ථයක් ලෙස, ආත්ම වශයෙන් ගත හැකි යමක් ලෙස අර්ථ දක්වා නොමැත. ‘චිත්ත’ යන්න බුදුදහම හඳුනාගනුයේ ප්‍රකෘතියෙන් ප්‍රභාෂ්වර වූවක් ලෙස ය. (පහස්සර මිදං භික්ඛවෙ චිත්තං තං ච ඛො ආගන්තුකෙහි උපක්කිලෙසෙහි උපක්කිලිට්ඨං) මෙය කෙලෙසුන්ගෙන් කිළිටි වනුයේ, ඉන්ද්‍රිය මගින් බාහිර අරමුණු ගැනීම මගිනි. සිත පිළිබඳ ධම්මපදයේ චිත්ත වග්ගයේ සඳහන් වනුයේ, සෙලවෙන්නා වූ, චපල, රැකීමට අපහසු වූ අල්ලා ගැනීමට අපහසු වූ, වහ ඇතිවන හා නැති වන්නා වූ දෙයක් ලෙසයි. (එන්දනං චපලං චිත්තං) මනසේ ක්‍රියාකාරීත්වය විස්තර කිරීමේදී මනස යන වචනය ද යොදා ඇත. මනස, ශරීරස්ථ ඉන්ද්‍රියයක් වශයෙන් හැඳින්වෙන අතර, සියලු ඉන්ද්‍රියන්ට ගෝචරවන අරමුණු ද එය විසින් ග්‍රහණය කරගන්නා බව මහා වේදල්ල සූත්‍රයේ සඳහන් වෙයි. ඉන්ද්‍රියානං මනො පටිසරණා, මනො ච තෙසං විසයං පච්චනු හොති. ම.නි. මහා වේදල්ල සූත්‍රය ) මනසට සෘජුවම ගෝචර වන්නේ ධර්මය යි. ධම්ම යන්නෙන් මෙහි දැක්වෙන්නේ චිත්ත චෛතසිකයි. මනසත්, ධර්මත් ගැටීමෙන් මනෝ විඤ්ඤාණය පහළ වෙයි. මේ සඳහා කරුණු තුනක් සම්පූර්ණ විය යුතු බව, මධුපිණ්ඩික සූත්‍රයේ සඳහන් වෙයි. ඒවා නම්,

1. නොබිඳුණු මනසක් තිබීම (අඣත්තිකො මනෝ, අපරිභින්නෙ හොති)
2. බාහිර ධර්ම පැමිණ තිබීම (බහිර ව ධම්මා ආපාතං ආගච්චන්ති)
3. අවධානය යොමුවීම (තජ්ජො ච සමන්නාහාරෝ හෝති)

‘මනෝ විඤ්ඤාණය’ යන්නෙහි සාමාන්‍ය අදහස මනසින් යම් අරමුණක් දැන හඳුනා ගැනීම යන්නයි. මනසේ මූලික මනසිකාරය හෙවත් මෙනෙහි කිරීම යි. සිදු නුවණින් මෙනෙහි කිරීම, යෝනිසෝමනසිකාරය වන අතර, එයින් තොර වීම අයෝනිසො මනසිකාරය යි. මේ අනුව, මනස යනු යම් හේතු ප්‍රත්‍ය එකතු වීමෙන් ගොඩනැගෙන ක්‍රියාකාරීත්වයකි.

මානසික ක්‍රියාකාරීත්වය නිරූපණය කරනු ලබන වචනයක් ලෙස ‘විඤ්ඤාණය’ සඳහන් වෙයි. ‘විඤ්ඤාණය’ යන්නෙන් සංසාරිකව ප්‍රතීත්‍ය සමුප්පන්නව පවත්නා දෙයක් අදහස් කරයි. ‘නාම රූප සමග සම්බන්ධ වනුයේ විඤ්ඤාණය යි. මානසික ක්‍රියාකාරීත්වය මිනිස් සිරුර හා සම්බන්ධතාවකින් තොර ස්වාධීන පැවැත්මක් ලෙස ගැනීම, ආදි කාලීන ඇතැම් ආත්මවාදීන්ගේ මෙන්ම නූතන ඇතැම් දාර්ශනිකයන්ගේ ද මත ය යි. මීට ප්‍රතිවිරෝධීව බුදු සමය, නාම රූප සහ විඤ්ඤාණයේ අනන්‍යෝන්‍ය පැවැත්ම විස්තර කරයි.

‘මිත්‍රය බට දඬු මිටි දෙකක් එකිනෙකෙහි ආධාරයෙන් නොවැටී පැවතීම මෙන්, නාම රූප හේතු කොටගෙන විඤ්ඤාණය ද, විඤ්ඤාණය හේතු කොටගෙන නාම රූප ද පවතියි. මෙලෙස, පුනර්ජන්මයට බලපාන විඤ්ඤාණය ‘ආත්ම’ ලෙස සලකා, සාති භික්ෂුව ධර්ම දේශනා කරන විට, බුදුන් වහන්සේ විඤ්ඤාණය පටිච්ච සමුප්පන්නව ගලා යන ප්‍රවාහයක් ලෙස සලකා ඇති අයුරු, සනාථ වෙයි. මේ අනුව සත්ත්වයාගේ කායික මානසික සබඳතාවේ ප්‍රමාණයත්, මානසික ක්‍ෂේත්‍රයේ ඇති ගැඹුරත් හඳුනාගත හැකි ය. මානසික ;?ෂ්ත්‍රයේදී සිත ආත්මය ලෙස සිතීම ශරීරය ආත්මය ලෙස සිතීමට වඩා බරපතල ය. මේ පිළිබඳ අස්සුතවත්තු සූත්‍රයේ සඳහන් වෙයි.

මහණෙනි, සිත, මනස, විඤ්ඤාණය යනුවෙන් යමක් වේ නම් අශෘතවත් පෘථග්ජනයා ඒ කෙරෙහි නිර්වේදනයටත් , විරාගයටත්, මිදීමටත් පැමිණීම සිදු නොවෙයි. එයට හේතු නම් දිගු කලක් සිත මගේය, මම වෙමි, මගේ ආත්මය යැයි මමායනයෙන් පරාමර්ශනය කර තිබීම යි. මනස ආත්මය ලෙස සිතනවාට වඩා ශරීරය ආත්මය ලෙස සිතීම මගින් ආත්ම වශයෙන් දෙයක් නොපවත්නා බව පෘථග්ජනයාට පැහැදිලි කරගැනීම පහසු වේ. සිත, මනස, විඤ්ඤාණය ආත්මය ලෙස සලකනු ලැබූවහොත් එහි අනාත්ම බව පෘථග්ජනයාට අවබෝධකර ගැනීමට අපහසු වේ. මෙම සුත්‍රය මගින් ද බුදුදහම මානසික ක්‍රියාකාරීත්වය ආත්ම ලෙස හෝ පදාර්ථයක් ලෙස විවරණය නොකරන බව සනාථ වේ.

සමස්තයක් ලෙස ගත් කල බුදු දහම, මානසික ක්‍රියාකාරීත්වය වචන තුනකින් විස්තර කර ඇත. ප්‍රස්තුත යෙදුම් අතරින් ‘චිත්තය’ යන්න ප්‍රධාන තැනක් උසුලයි. නියාම ධර්මයක් ලෙසත්, ඉක්මනින්, පරිවර්තනය වන ධර්මතාවයක් ලෙසත්, කෙලෙසුන්ගෙන් අපවිත්‍ර වන හා නැවත පවිත්‍ර වන ධර්මතාවයක් ලෙසත් ‘චිත්තය’ විස්තර වේ. චිත්තය මේ අනුව ප්‍රධාන වේ.

මේ අනුව එකම ධර්මතාවයක් වූ එකිනෙකට සම්බන්ධ අවස්ථා තුනක් නියෝජනය කරන චිත්ත, මනෝ විඤ්ඤාණ නොවෙනස්වන ආත්මයක් හෝ පදාර්ථයක් නොවේ. එය අනවරතයෙන් වෙනස් වන ප්‍රතිත්‍ය සමුත්පන්න ධර්මතාවකි. මෙතෙක් දැක්වූ කරුණු සාරාංශයක් ලෙස ගතහොත් මෙසේ සඳහන් කළ හැකිය. මනස හෙවත් මානසික ක්‍රියාකාරීත්වය, පෙර අපර දිග නොයෙක් ලෙස විග්‍රහ කර ඇත.

බුදුදහම, මෙය පුළුල් ලෙස විග්‍රහ කර ඇත. බුදුදහම ද්වෛතවාදය හා එකත්වවාද යන වාද දෙකෙන් තොරව මානසික ක්‍රියාකාරීත්වය නිරූපණය කරන වචන තුනක් චිත්ත මනස විඤ්ඤාණය ලෙස ගෙන පුළුල් තලයක සිට එය විග්‍රහ කරයි. මානසික ක්‍රියාකාරීත්වය ආත්මයක් හෝ පදාර්ථයක් ලෙස නොසලකා ප්‍රවාහයක් ලෙද සැලකීම, බෞද්ධ දර්ශනයේ විශේෂත්වය ලෙස සැලකිය හැකි ය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: