Posted by: lrrp | September 22, 2009

වස් විසීම – කඨින පූජාව සහ කඨිනානිශංස

මීරිගම, මිණිඔලුව,  විද්‍යාවාස පරිවේණාධ්‍යක්‍ෂ , ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නියෝජ්‍ය පරියත්ති ලේඛකාධිකාරී, ත්‍රිපිටක විශාරද ශාස්ත්‍රපති මකුලෑවේ විමල හිමි.

කරුණා සාගර වූ බුදු පියාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයෙහි වැඩ වසන සමයේ දී, භික්‍ෂූන් වහන්සේට යම් යම් නීති රීති ශික්‍ෂා පද පැනවූයේ, යම් යම් හේතු නිමිති ඉදිරිපත් වූ විට යි. මෙම වස් විසීම නියම කළේ ද මහජන උද්ඝෝෂණයක ප්‍රතිඵලයක් වශයෙනුයි.

බුදුරජාණන් වහන්සේ පහළ වන යුගය වන විට දඹදිව සමාජයේ විවිධ ශ්‍රමණ, බ්‍රාහ්මණ, පැවිදි පිරිස් විවිධ දර්ශන ජන සමාජයට පෙන්වා දෙමින් කටයුතු කළ ආකාරය ඉතා පැහැදිලිව, තත්කාලීනව ඉතිහාසය හදාරන විට මැනවින් පෙනෙන්නට තිබේ. ඒ සමහර ඉගැන්වීම් වල තිබුණු යහපත් සිරිත් විරිත් බුදුරජාණන් වහන්සේ හොඳ යැයි අනුමත කොට, භික්‍ෂූන් වහන්සේටත් එය විනය නීතියක් වශයෙන් අනුගමනය කරන්නට නියම කළ අවස්ථා කීපයක්ම, ප්‍රාතිමෝක්‍ෂයේ දක්නට ලැබේ.

වස් විසීමට නියම කිරීමත් එවැනි අවස්ථාවකි. බුදු දහම පහළ වූ මුල් යුගයේ භික්‍ෂූන් වහන්සේට වස් කාලය එක් තැනක සිටීමට නියමයක් නොතිබුණු නිසා වර්ෂයේ සෑම දිනකම චාරිකාවේ හැසිරෙමින් උන්වහන්සේ මහජන සේවය සිදු කළහ. එහෙත් ජෛන වැනි ආගම්වල ශ්‍රමණයින්ට වස් කාලයේ එක් තැනකට වී සිටීමට නියමව තිබිණි. චාරිකාවේ යෑම තහනම් කර තිබිණි.

භික්‍ෂූන් වහන්සේ වස් කාලයේදීත් චාරිකාවේ වඩිනු දුටු මහජනතාව දොස් කියන්නට පටන් ගත්හ. වැසි කාලයේ පොළවෙන් මතු වන සතුන් පවා පාගමින්, ලා තණ නිල්ල මඩිමින් මෙම ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයන් වූ භික්‍ෂූන් වහන්සේ පිඬු සිඟා වඩිනවා. චාරිකාවේ හැසිරෙනවා, වැසි සමයෙහි කුරුල්ලන් පවා කූඩු සාදාගෙන සිටිනවා, එහෙත් මෙම භික්‍ෂූන් පිරිසට එවැනි ශික්‍ෂණයක් නැහැ. යනාදී කරුණු කියමින් භික්‍ෂූන් වහන්සේ අප්‍රසාදයට පත් කළා.

භික්‍ෂූන් වහන්සේට මහජනතාවගේ අප්‍රසාදය වැටහුණා. මෙම කාරණය බුදුරජාණන් වහන්සේට දැන් වූ පසු බුදුරජාණන් වහන්සේ කරුණු සළකා බලා වස් කාලයෙහි එක් තැන්ව සිටීමෙහි ප්‍රයෝජන මහා කරුණාවෙන් යුතුව දේශනා කළා.

“අනුජානාමි භික්‍ඛවේ වස්සානේ වස්සං උපගන්තුං” යනුවෙන් මෙම ශික්‍ෂා පදය පනවමින් වැසි සමයේ වස් වසන්නට අනු දැන වදාළහ. එහෙත් ජෛන ආගමෙහි මෙන් තණකොළ පෑගීම ආදිය සළකා බලා නොවෙයි. අට මාසයක් ධර්ම චාරිකාවේ හැසිරෙන භික්‍ෂූන්ට වස් හාර මාසයෙහි එක් තැනක වැඩ විසීමෙන් අධ්‍යාත්මික විමුක්තිය සලසා ගැනීමටත් තමන්ට ඇප උපස්ථාන කරන ගිහි පින්වතුන්ගේ ගුණ ධර්ම වර්ධනයට සහාය වීමටත් මෙම කාලය බෙහෙවින් උපයෝගී කර ගැනීමට හැකි වන නිසයි. මෙවැනි ශික්‍ෂා පදයක් පැනවීමට වඩාත්ම අදහස් කළේ.

වස් විසීමේ ශික්‍ෂා පදය පැන වූ පසු වස් විසිය යුතු කවදාද? වස් එළඹීමට දින කීයක් තිබේ ද? යන ගැටලු මතු වීම නිසා පෙර වස් එළඹීම, පසු වස් එළඹීම යැයි වස් විසීම් දෙකක් ඇති බවත්, ගිම්හාන සෘතුවේ අටවැනි පෝය වූ ඇසළ මස පුර පසළොස්වක දිනයේ පෝය කොට පෙර වස් විසිය යුතු බවටත්, වස්සාන සෘතුවේ දෙවන පෝය වූ නිකිණි මස පුර පසළොස්වක දිනයේ පෝය කොට අවපෑළවිය දිනයෙහි පසු වස් එළඹිය යුතු බවටත්, කරුණු පෙන්වා දුන් සේක.

මෙම දින දෙකෙන් එක් දිනක දී වස් නොවිසූ භික්‍ෂුවට “දුක්කටා පත්ති” නම් ඇවත සිදුවන බව ද, ප්‍රඥප්තියකින් පැහැදිලි කර දුන්හ. වස් විසීම පිළිබඳ ස්ථාන, වස් විසූ ස්ථානයෙන් පිටත්ව යෑමට ඇති අවස්ථා, එසේ පිටතට ගිය විට ආපසු පැමිණිය යුතු දින ගණන ආදිය පිළිබඳ විශේෂයෙන් වස් විසූ භික්‍ෂුව සිහියෙන් යුතුව වස් තුන් මස කටයුතු කොට වස් පවාරණයෙන් පසු ‘කඨින’ නමින් යුත් චීවරය ලැබීමට සුදුසුකම් ලබන්නේ ය.

කඨින පූජාව නියම කිරීමේ හේතු

දෙපොට සිවුර, තනිපොට සිවුර, අඳීන සිවුර යන නම් වලින් යුතු තුන් සිවුර අධිෂ්ඨාන කොට පරිභෝග කරන භික්‍ෂූන් වහන්සේලාට එම තුන් සිවුරෙන් වෙන්ව එක් රාත්‍රියක් හෝ ගත කිරීමෙන් ප්‍රාතිමෝක්ෂයෙහි සඳහන් නිස්සග්ගිය පාචිත්තිය නම් ඇවතකට පත්වීමට සිදුවේ. එබැවින් තුන් සිවුරු අධිෂ්ඨාන කොට සිවුරු පරිහරණය කරන භික්‍ෂූන් වහන්සේ තමන් යන සෑම තැනකටම මේ තුන් සිවුරු රැගෙන ගියහ. එය භික්‍ෂූන් වහන්සේට තරමක කරදරයක් බවට පත් වී තිබුණු බව පෙනේ.

වරක් බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වසන සමයෙහි කොසොල් රට පාවානුවර තෙචීවරික වූ ආරණ්‍යවාසී තිස් නමක් වූ භික්‍ෂූන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දකිනු කැමැතිව සැවැත් නුවරට යෑමට පිටත් වූවත් සැවැත් නුවර ආසන්න වන විට වස් කාලය එළඹි නිසා උන්වහන්සේ සාකේත නුවර වස් විසූහ.

වස් වැස පවාරණය නිම වූ විගසම බුදුරජාණන් වහන්සේ දැක ගැනීමේ බලවත් ආශාව නිසා තවත් වැසි වැටෙද්දීම සැවැත් නුවර බලා පිටත් වූහ. එහෙත් තුන් මාසයක් පැවැති මහ වැසි නිසා මාර්ග අබලන්ව තිබිණි. තවමත් මඳ වැසි ද පවතින නිසා මෙම භික්‍ෂු පිරිස මඩ තැවරුණු, දිය බේරෙන සිවුරු වලින් යුක්තවයි, ඉතා අපහසුවෙන් ජේතවනාරාමයට ළඟා වූයේ. තමන් බැහැදැකීමට පැමිණි මෙම භික්‍ෂු පිරිස පත්වී ඇති කරදරය මැනවින් දුටු බුදුපියාණන් වහන්සේ, තවත් අතිරේක සිවුරක් තිබුණේ නම් මඩ තැවරුණු සිවුර සෝදා ගන්නට හැකියාව ලැබෙන බවත්, යම් කාලයකට හෝ තුන් සිවුරෙන් වෙන්ව සිටීමේ ආනිසංස ආදියත් සලකා “අනුජානාමි භික්‍ඛවේ වස්සං වුත්ථානං භික්‍ඛුනං කඨිනං අත්‍ථරිතුං” යනුවෙන් වස් වසා නිම කොට පැවරූ භික්‍ෂුවට, කඨිනයක් ඇතිකිරීමට අනුදැන වදාළහ.

කඨින දායකයාට ලැබෙන ආනිශංස

අට මහ කුසල් බෞද්ධයන් අතර, ඉතා ප්‍රසිද්ධ ය.

එහි මුල් තැන ලැබෙන්නේ කඨිනයට යි. බුද්ධ ශාසනයේ උසස්ම ආනිශංස ගෙන දෙන මහ කුසල් අට හැටියට දක්වා තිබෙන්නේ.

කඨිනට්ඨ පරික්ඛාරං
වාසදානංච උත්තමං
බුද්ධ පමුඛ සංඝස්ස
දානං ධම්මස්ස ලේඛනං
ඛෙත්ත දානං ච බුද්ධස්ස
පටිමා කාරණං පිච
කරණං වච්චකුටියා
අට්ඨ පුඤ්ඤාති චුච්චරේ (කඨින විනිශ්චය)

ඉහත ගාථාවේ සඳහන් වන පරිදි අට මහ කුසල් වන්නේ, 1. කඨින දානය, 2. අටපිරිකර පූජාව, 3. ආවාස සාදා පූජා කිරීම, 4. බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දන් දීම, 5. ධර්මය ලිවීම, 6. කෙත්වතු පිදීම, 7. බුද්ධ ප්‍රතිමා කරවීම, 8. වැසිකිලි කැසිකිළි සෑදීම යන පූජාවන් ය. පුරාණ ආචාර්යවරයන් වහන්සේ පැහැදිලි කර ඇති පරිදි මෙම අට මහ කුසල අතරින් ද, ප්‍රමුඛස්ථානයෙහිලා සලකා ඇත්තේ කඨින පූජාව යි.

පංචානන්තරිය පාප කර්මය කරගෙන නැති නම්, ඊළඟ භවය ඒකාන්තයෙන්ම සුගතිගාමී වීමට මෙම කඨින දාන මහා පින්කමේ ආනිසංස හේතු වන්නේ ය. කඨින දානය එසේ ඉදිරියෙන් සිටීමට හේතුව ලෙස සැලකෙන්නේ ස්ථිරසාර නොසෙල්වෙන අකම්ප්‍ය වූ ආනිශංස ලබාදෙන බැවින් යැයි දේශනාවන්හි සඳහන් වේ. කඨින දායකයෝ චුල්ලසෝතාපන්නයන් ලෙස සලකති. සෝවාන් නොවූවත්, සෝවාන් වූවකු ලෙස සලකා මෙම නම භාවිතා කළ බව පෙනේ. ඔහු කළ්‍යාණ පෘථග්ජනයකු ලෙස සලකා තිබේ. ඔහුගේ ගතිය, උපදින තැන ස්ථිර ය. කාම සුගති ප්‍රතිසන්ධියක් බව ස්ථිර වශයෙන් දක්වා ඇත.

වසරකට එක් තැනකදී එක් වරක් පමණක් පිදිය හැකි පූජාවක් ලෙස කඨින පූජාව පිළිබඳ සඳහන් වේ. එසේ පූජා කිරීමටත් උපසම්පදා භික්‍ෂුවක් ඇසළ පෝය දිනට පසු දිනයේ පෙර වස් සමාදන්ව වස් කඩා නොගෙන වස් තුන් මාසය ගතකොට වප් පුර පසළොස්වක දිනයෙහි පවාරණ නම් විනය කර්මය සිදු කරගෙන කඨින චීවරයක් ලැබීමට සුදුසුකම් සපුරා තිබිය යුතු ය. එවැනි ස්ථානයකදී වූව ද වසරකට එක් වරක්, කර ගත හැකි මෙම පින්කම වූවත් කරගන්නට ලැබෙන්නේ මාසයක් ඇතුළත දිනකදී (වප් පුර පසළොස්වක දිනට පසු දින සිට ඉල් පුර පෝය දක්වා) පමණක් ය. වර්ෂයේ සෑම කාලයකම, සෑම දිනකම, සෑම තැනකදීම ම කර ගැනීමට හැකි පින්කමක් නොවේ. එම නිසාද කඨින දානය දුර්ලභ පින්කමකි.

කඨින දානය පිළිබඳ ඉතා ප්‍රකට ආනිසංස විස්තරය ඇතුළත් වන්නේ නාගිත ථෙරාපදානයේ ය. එහි සඳහන් වන්නේ කඨිනයේ උසස් බව දැක්වීම සඳහා බුදුරජාණන් වහන්සේ විසින් එහි භික්‍ෂු උපසම්පදාවෙන් පැවිද්ද ලැබූ සිවු පිළිසිඹියාවෙන් රහත් වූ පන්සියයක් රහතන් වහන්සේ පිරිවරා අනෝතත්ත විල් තෙරට වැඩමවා විශේෂ පින්කමක් සිදු කළ භික්‍ෂු නමක් සිටිනම් ඉදිරිපත් වන ලෙස දැක්වූ අවස්ථාවේදී නාහිත මහා රහතන් වහන්සේ ඉදිරිපත්ව තමන් කළ කඨින දානයේ ආනිසංස ප්‍රකාශ කළ ආකාරයයි.

නාගිත රහතන් වහන්සේ තමන් විපස්සී බුදුරජාණන් වහන්සේගේ සමයෙහි බන්දුමතී නම් නුවර උසස් ප්‍රභූවරයකු ලෙස උපත ලබා විවිධ පින්කම් සිදුකරමින් සිටින අතර, බුදුපාමොක් මහ සඟනට ආරාධනා කොට වස් වසවා වස් තුන් මාසයෙහි උපස්ථාන කර කඨිනයක් පූජාකොට තමන්ට මෙම කඨින දානමය පින්කම ආශ්‍රවක්‍ෂය ඤාණය පිණිස හේතුවේවා යැයි ප්‍රාර්ථනා කළ බවප්‍රකාශ කළහ. නිවන ප්‍රාර්ථනා කරමින් කරගත් එම පින්කම නිසා, එදා පටන් කිසි අවස්ථාවක දුගතියක නූපන් බවත්, මනුෂ්‍ය හා දිව්‍ය ආත්මවලම පමණක් උන් වහන්සේ උපත ලද බවත් එහි දි සදහන් විය. මෙම කරුණු විස්තර වශයෙන් එහි සඳහන් කර ඇත.

යාවතා සබ්බ පරික්ඛාරේ
සංඝස්ස සතතං දදෙ
එකස්ස කඨින දානස්ස
කලංනාග්ඝති සොළසිං
ගිරිරාජ සමං රාසිං
සංඝෙදෙති තිචීචරං
එකස්ස කඨින දානස්ස
කලංනාග්ඝති සොළසිං
(30 – 31 නාගිතාපදානය)

භික්‍ෂු සංඝයාට නිතර පූජා කරන සියලු පරිෂ්කාරයන්ට වඩා එක් කඨින දානයකින් ලැබෙන ආනිසංස ඉතා විශාල බවත්, මහාමේරු පර්වතය තෙක් උසට තුන් සිවුරු ගොඩගසා සංඝයාට පූජා කළත් ඊට වඩා ආනිශංසයක් කඨින පූජාවෙන් ලැබෙන බවත් මෙම ගාථාවලින් දේශනා කර ඇත.

තවද තමන් කඨින පූජාව නිසා ලැබූ ආනිශංස විස්තර කරන නාගිත මහරහතන් වහන්සේ,

අටඨාරසන්නං කප්පානං
දෙවලොකෙ රමාමහං
චතුතිංසක්ඛත්තුං දේවින්දෝ
දේව රජ්ජ මකාරයිං

කල්ප දහ අටක් දිව්‍ය ලෝකයෙහි දිව සැප විඳින්නටත් එයින්, තිස් හතර වාරයක් තව්තිසා අධිපති ශක්‍රද්‍රේවේන්ද්‍රව උපදින්නටත් අවස්ථාවක් ලැබුණු බවත් දක්වා ඇත.

අසිතච චතුක්‍ඛත්තුං
චක්කවත්ති මහාසයං
පදේස රජ්ජං විපුලං
ගණනාතෝ අසංඛයා

අසූ හතර වාරයක් සක්විති රජව ඉපදී අප්‍රමාණ සම්පත් භුක්ති විඳි බවත් මිනිස් ලොව ප්‍රදේශ රාජ්‍යයන්හි අධිපති බව ලැබූ වාර ගණන නියමයක් නැති බවත් දක්වමින් කඨින පූජාවෙන් ලැබෙන ආනිශංස පැහැදිලි කර ඇත.

සබ්බ දානං දදන්තේන
අස්මි පුථුවි මණඩලේ
සංඝස්ස දින්නං කඨිනං
අග්ගං බුද්ධෙන වණ්ණිතං
මානුසිකාව සම්පත්ති
දේවලෝකෙච යාරතී
යාව නිබ්බාණ සම්පත්ති
සබ්බ මෙතෙන ලබ්භති

මේ පොලෝ තලයෙහි සියලු දන්දීම් අතර සංඝයාට දෙන ලද කඨිනයම උතුම් යැයි බුදුරජාණන් වහන්සේ වර්ණනා කර තිබෙන බවත් මනුෂ්‍ය, දිව්‍ය, නිර්වාණ යන ත්‍රිවර්ග සම්පත්තියම මෙම කඨින දානයේ ආනිශංස වශයෙන් ලැබෙන බවත්, ඉතා විචිත්‍ර ලෙස නාහිත මහ රහතන් වහන්සේ සිය කඨිනානිශංස වර්ණනාවෙන් එදා මැනවින් පැහැදිලි කර දුන්හ.

විනය කර්මයකට සම්බන්ධ වන කඨිනය විශාල ජන පිරිසක් සහභාගී කරගෙන කරන පූජාවක් බැවින් එයින් ලැබෙන ආනිශංස ඉතා විශාල බව මෙම කරුණුවලින් මැනවින් පැහැදිලි වෙයි.

භෞතික වශයෙන් කඨින පූජාවෙන් විවිධ ආනිශංස ලැබුණත් ඒ සම්පත් බලාපොරොත්තුවෙන්ම කඨින පූජා සිදු කරනවාට වඩා නිර්වාණ ධර්මය සාක්ෂාත් කරගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙන් මෙම පින්කම් සිදුකිරීම සසර ගමන කෙටිකර ගැනීමට හේතුවන බව කල්පනාකොට කඨින පූජාවෙහි උනන්දු වෙත්වා….!

කඨින පූජාව කළ යුත්තේ කෙසේ ද?

කඨින පූජාවක් කිරීමට බලාපොරොත්තුවන දායක පින්වතුන් ඇසළ මස අවපෑළවිය දිනයේ දී උපසම්පන්න භික්‍ෂූන් වහන්සේට ගෞරවයෙන් යුතුව “ස්වාමිනී, අප කෙරෙහි අනුකම්පාවෙන් මේ තුන් මාසයෙහි මේ ස්ථානයෙහි වස් සමාදන්ව වැඩ සිටිනු මැනවි. ඔබ වහන්සේට අධ්‍යාත්ම විමුක්තිය ඇති කර ගැනීමට අවශ්‍ය සිව්පස දානයෙන් අපි උපස්ථාන කරමු. අපට ද ශීල සමාදානාදී උතුම් ප්‍රතිපත්ති රැක ගැනීමටත්, ධර්ම දේශනාදිය ශ්‍රවණය කිරීමටත් විශේෂයෙන් ඔබ වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවායි ප්‍රකාශ කරමින් දැහැත් ගොටු වැසි සළු පිළිගන්වමින් ආරාධනය කළ යුතුයි. එම ආරාධනය පරිදිම වස් කාලය පුණ්‍ය කාලයක් ලෙස සලකා වෙනදාට වඩා උනන්දුවෙන් භික්‍ෂූන්ට සිව්පසයෙන් උපස්ථාන කළ යුතු අතර, තමන් ද ඉතා හොඳින් ගුණධර්ම ආරක්‍ෂා කළ යුතු යි.

වස් පවාරණය කළ පසු ප්‍රමාණවත් පරිදි සංඝයාට ආරාධනා කොට ප්‍රමාණවත් පරිදි සිවුරකට වස්ත්‍ර හෝ එසේ නොමැති නම් තුන් සිවුරෙන් එක් සිවුරක් හෝ කඨිනයට පූජා කළ හැකි ය. අපේ පැරැණි චාරිත්‍ර අනුව සිවුර හෝ වස්ත්‍රය ගමේ සියලු දෙනාටම සම්බන්ධ විය හැකි සේ ගෞරව සහිතව වැඩමවා, වස්ත්‍රයක් නම් “ඉමං කඨින දුස්සං භික්‍ඛු සංඝස්ස දේම” කියාද, සිවුරක් නම් “ඉමං කඨින චිවරං භික්‍ඛු සංඝස්ස දේම” කියා ද තෙරවක් කියා පූජා කළ යුතුයි.

වස්ත්‍රයක් නම් එදිනම මසා පඬුපොවා ගැනීම සඳහා අවශ්‍ය ඉදිකටු නූල් පඬු ආදී උපකරණ ද සපයා දිය යුතු යි. තවද කඨින සිවුර පූජා කරන අවස්ථාවේ දී සංඝයාගේ ප්‍රයෝජනයට ගත හැකි ගරු ලඝු භාණ්ඩ ද පූජා කළ හැකි ය. කඨිනය සමඟ පූජා කරන එම භාණ්ඩ සඳහා කඨිනානිශංස පරික්ඛාර යැයි සඳහන් කරනු ලැබේ. එයින් අදහස් කරන්නේ කඨිනය සමග එම ස්ථානයේ ඒ දවසෙහි පූජා කරන සියලු දේ වෙනුවෙන් කඨිනානිශාංස ලැබෙන බවයි.

දායක පින්වතුන් ඉතා උනන්දුවෙන් කඨින පූජාවක් සිදු කරනවා සේම භික්‍ෂූන් වහන්සේද වෙනත් පූජා ලබනවාට වඩා කඨිනයක් ලැබීමේ දී ඉතා උනන්දුවෙන් ඒ සඳහා සූදානම් වෙති. මේ පූජාව විනය නීති සමුදායකට සම්බන්ධ වීමත්, කරුණු රාශියක් විශේෂයෙන් සම්පූර්ණ වීමෙන් ම ලැබීමත් මෙයට එක් හේතුවකි. සැදැහවතුන් කඨින වස්ත්‍රයක් හෝ සිවුරක් පූජා කළ පසු වස් විසූ සීමාවෙහි සිටින භික්‍ෂූන් අතරින් සිවුරක් ලැබීමට ඉතා සුදුසු භික්‍ෂුව තෝරා එම භික්‍ෂුවට සංඝයා විසින් සිවුර නැවත පවරනු ලැබේ. පළමුව දායකයන් විසින් සංඝයාට පූජා කළ සිවුර සංඝයා විසින් සීමාවකදී විනය කර්ම වාක්‍යයකින් භික්‍ෂු නමකට පැවරීම ද, කඨින පූජාවෙහි විශේෂ අවස්ථාවකි. මේ පූජාව සිදු කිරීමට අඩුම වශයෙන් සීමාවට භික්‍ෂූන් පස් නමක් වත් රැස්ව සිටිය යුතු යි. එහිදී කඨිනය පවරන භික්‍ෂුවගේ නම කර්ම වාක්‍යයට ඇතුළත් කොට ව්‍යක්ත ප්‍රති බලසම්පන්න භික්‍ෂු දෙනමක් කර්ම වාක්‍ය ප්‍රකාශ කොට සිවුර නියමිත භික්‍ෂුවට භාරදෙනු ලැබේ.

වස් කාලයේ ගිහි – පැවිදි සබඳතා දියුණු කර ගත යුතුය

වස් කාලය පුණ්‍ය කාලයක් වශයෙන් සලකා ගිහි, පැවිදි කවුරුත් කටයුතු කරන්නේ නම් වස් විසීමේ සිරිත හා කඨින පූජාවේ කටයුතු වඩාත් අර්ථවත් කරගත හැකි ය.ගිහි කම්කටොලු මධ්‍යයේ ජීවත්වන දායක පින්වතුන්ට වස් කාලය විහාරස්ථානයට වඩාත් සමීපව පින්කම් කටයුතු සිදුකරගන්නා කාලයක් බවට පත්කරගත යුතු යි.

පෙර අප රටේ පැවති කෘෂි කාර්මික යුගයේ සිහි පින්වතුනට යම් විවේක කාලයක් තිබුණු බව ප්‍රකට ය. එහෙත් අද පවතින වාතාවරණය අනුව එවැනි විවේක කාල සීමා සපයා ගැනීම ඉතා දුෂ්කර වී ඇත. එම නිසා වස් කාලයේ ඉඩ ලැබෙන ලැබෙන අයුරෙන් හෝ විහාරස්ථාන කරා ගොස් ස්වාමීන් වහන්සේ හමුවීම, ධර්ම සාකච්ඡා කිරීම ආදියෙන් තමන්ගේ ගුණ නුවණ වර්ධනය කර ගැනීමට උනන්දු විය යුතුයි. කඨින සිවුර පූජා කිරීම යනු හුදෙක් සිවුරක් පූජා කිරීමක් පමණක් නොව තුන් මසක් පුරා කරගන්නා පින්කම්, මාලාවක් බව සැලකිය යුතු ය. ස්වාමීන් වහන්සේ ද, දායක දායිකාවන් වෙනදාටත් වඩා ගුණ ධර්ම පැත්තට යොමු කරමින් යා යුතු නොයා යුතු මඟ කියා දෙමින් දායක පක්‍යට අනුග්‍රහ දැක්විය යුතු අතර තමන් වහන්සේ ද වඩාත් උනන්දුවෙන් තම භික්‍ෂු ජීවිතය සාර්ථක කර ගැනීමට වීර්යය වැඩිය යුතු වේ. එවිට තමන් වහන්සේට ද වස් කාලය අර්ථවත් කාලයක් බවට පත්වේ.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: