Posted by: lrrp | October 2, 2009

මට අමාරුයි ඉවසන්න බෑ ඉක්මනට ඇවිත් මා බේරගනිල්ලා

භූතයන් යැයි කොටසක් නැතැයි පවසන භෞතිකවාදීන්ට පර්යේෂණයක් කරන්නේ නම් යටිනුවර ප්‍රදේශයේ හොඳ අවස්ථාවක් මතු වී ඇත. අප ද මනඞකල්පිත වූ නම් වලින් මේ සුවිශේෂී කතාව හෙළිදරව් කරන්නේ මළගිය කෙනකුට හෝ ජීවත්ව සිටින කෙනකුට අපහාසයක් හෝ උපහාසයක් සිදුකිරීමට නොව වර්තමානයේ ජීවත්වන බොහේ දෙනාගේ හිත සුව පිණිස ම ය. යහපත පිණිස ම ය.

කර්මය හා කර්ම විපාකය අනුව සුගතිගාමී වීමට හෝ ප්‍රගතිගාමී වීම සිදුවන බවත්, මරණාසන්න මොහොතේ ප්‍රබලව නැඟී සිටින සිතුවිල්ල හෙවත් චුති චින්තනය අනුව ඊළඟ ප්‍රතිසන්ධිය සිදුවන බවත් පැහැදිලි කිරීමටය.

මේ ඉතාම භයානක භූ®තයකුගේ ක්‍රියාකාරකමකි. කතාවක් කියවා රසවිඳ අතහැර දැමීමට වඩා වැදගත් පාඩමක් මේ කතාවේ ගැබ්වී ඇත. ඒ නිසා කතාව විස්තර කරන්නට පෙර පාඨකයා ගේ අවධාරණයට ලක් කිරීමට අප බලාපොරොත්තු වන කාරණා කීපයක් සඳහන් කරමු. ඒවා කතාව කියවාගෙන යන විට නැවත නැවත මෙනෙහි කරන්නේ නම් ප්‍රයෝජනවත් වනු ඇත.

1. කෙනෙකු මරණයට පත් වන විට ඔහුගේ හෝ ඇගේ ශරීරයෙන් නික්ම යන කොටස කුමක් ද? බොහෝ දෙනා “ආත්මය” යැයි හඳුන්වනු ලබන දෙය කුමක්ද? සම්මුති වශයෙන් “ආත්මය” යැයි ව්‍යවහාර කළ ද කෙනෙකු මරණයට පත් වන විට ශරීරයෙන් පිට වී යන්නේ “උපාදානස්කන්ධ” සංයුතිය නම් වූ ශක්ති විශේෂය යි. එහිදී තමන් උපාදා කොටගත් හෙවත් සිත විසින් තදින් අල්ලා ගනු ලබන ලද සිතුවිල්ල චුති චිත්තය සේ ගැනේ. ආදරය හෝ වේවා වෛරය හෝ වේවා වෙනත් චේතනාවක් හෝ වේවා ප්‍රබලව පවතින ආකාරයට ඊළඟ භවයේ ක්‍රියාකාරකම් බොහෝවිට සිදුවෙයි. මේ පුද්ගලයා මළ සැටි සහ භූතාත්මයේ ක්‍රියාකාරීත්වය සියුම්ව සිතා බලන්න.

2. සියදිවි හානි කැර ගැනීම ඒ තරම් පහසු දෙයක්ද? අවසාන මොහොතේ කෙනෙකු නැවත ජීවිතය ලබාගැනීමට නොමැතිව කෙතරම් පීඩාවට පත්වේදැයි විමසා බලන්න.

3. මම වරදක් කළේ නැතැයි කෙනෙකු තර්ක කළ ද නොකළ වරදට දඬුවම් විඳීමට සිදුවීම අසාධාරණ නමුත් එසේ සිදු නොවේදැයි බලන්න.

4. තමන්ට ඔරොත්තු දෙන ප්‍රමාණය ඉක්මවා කටයුතු කරන්නට යෑම ;කතරම් හානි කරදැයි බලන්න.

මුදියන්සේ පෙදරේරුවෙකි. ඔහු වරෙක ගමේ පන්සලේ හාමුදුරුවන්ගේ රියැදුරා ලෙස ද කටයුතු කැර ඇත. හතළිස් හැවිරිදි මුදියන්සේ ජීවත්වූයේ තමන් ගේ බිරිය සහ තරුණ දියණිය සමඟ තමන් විසින්ම ගොඩනඟා ගන්නා ලද නිවසේ ය.

වර්තමානයේ නිවෙස්වල පොළොවට පිඟන් ගඩොල් ඇල්ලීම අලංකාරයක් හා වැදගත් දෙයක් පෙන්නුම් කරන ලක්ෂණයක් වී ඇත. මුදියන්සේ ගේ බිරියට හා දුවට ද මේ අවශ්‍යතාව තදින් බලපෑ කරුණක් වීය. මේ ගැන බිරිය හා දුව නිතරම මුදියන්සේ ගේ අවධාරණයට ලක් කළහ. එහෙත් තමන්ගේ ආර්ථික තත්ත්වය අනුව ඊට විශාල මුදලක් වැය කිරීමට නොමැති බැවින් ඔහු නිහඬ වූයේය. එහෙත් ඔහු ද ඊට අකමැතිවා නොවේ. බැරි නම් මොනවා කරන්නට ද? අනෙකුත් නෑ හිතවතුන්ගේ ගෙවල්වල පිඟන් ගඩොල් අතුරා තිබෙනු දකින සෑම අවස්ථාවක ම මුදියන්සේ ගේ බිරියත් දුවත් කංකෙඳිරි ගාන්නට වූහ.

”මෙයා නම් කොරන්නේ නෑ ඒ වගේ දෙයක්. හොඳයි මම සල්ලි දෙන්නම්. ඔයා මේ ගේ ටයිල් කරන්න” යැයි දිනක් බිරිය මුදියන්සේට කීවා ය.

”සල්ලි තියෙනවා නම් මාත් කැමතියි. බඩු ගෙනැත් වැඩේ පටන් ගනිමු”යි ඔහු ද කීවේය.

මෙතෙක් මේ ගෙදර අතුරා තිබූ සිමෙන්තිය කඩා ඉවත් කොට එහි නැවත කොන්ක්‍රීට් දමා පිඟන් ගඩොල් ඇතිරුවේය. ඒ සතුට මැද දින දෙක තුනක් ගෙවී ගියේය. තමන් මේ සඳහා රුපියල් ලක්ෂයක මුදලක් කෙනකුගෙන් ණයට ගත් බවත්, ඒ ණය මුදල මාස්පතා පොළියත් සමඟ ගෙවිය යුතු බවත් බිරිය මුදියන්සේට දැනුම් දුන්නේය. මේ වනවිටත් ගමේ සමිති සමාගම්වලින් පවා ණය ගෙන සිටිය දී තවත් ලක්ෂයක ණයක් ගෙවීමට සිදුවීම නිසා මුදියන්සේට දරාගත නොහැකි චිත්ත වේගයක් හට ගත්තේය. ඔහුගේ ඉහට යකා නැග්ගේය. බිරියට බැණ වැදුණේය. අම්මා වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරන්නට ආ දුවට ද බැණ වැදුණේය. තමන්ට කවරදාක වත් මේ ණයෙන් නිදහස් වෙන්නට නොහැකි බව දැනගත් මුදියන්සේ වස කුප්පියක් ද ඉණේ ගසාගෙන අසල වූ වන රොදට රිංගුවේය. නිවසට නෑසෙන තරම් දුරට ගොස් බිම හිඳ ගත්තේය. වස කුප්පියේ මූඩිය ගලවා කටට හළාගත්තේය.

ඔහු බලාපොරොත්තු වූ සහනය ලැබුණේ නැත. මුළු උදරයම ලෝදියෙන් දැවෙන්නාක් මෙන් වීය. ඔහුගේ සිතට මහත් බියක්ද ඇති කළේය. ජංගම දුරකතනයෙන් යහළුවන් හතර පස් දෙනෙකු අමතා “මම වහ බිව්වා. මට අමාරුයි. ඉවසන්න බෑ. ඉක්මනින් ඇවිත් මාව බේරාගනිල්ලා” යැයි කීවද ඔහු සිටින තැනක් කියන්නට තරම් කල්පනාවක් නොවීය. යහළුවන් ද වහා ක්‍රියාත්මක වුවද ඔහු සොයාගන්නා විට මුදියන්සේ ගේ් ප්‍රාණය නිරුද්ධ වී තිබිණ.

සමීප නෑදෑ හිත මිත්‍රාදීහු මුදියන්සේගේ මරණය පිළිබඳ අවසන් කටයුතු ඉටු කළහ. චාරිත්‍රානුකූලව සත් දවසේ දානය වෙනුවෙන් ඊට පෙර දින මතක බණ සූදානම් කොට තිබිණි. මතක බණ සඳහා වැඩම කරවනු ලැබූයේ ද ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන් වහන්සේ ය. උන් වහන්සේ වැඩමවා දැහැත් ගිලන්පස වැළඳීමෙන් පසුව ධර්ම දේශනය ආරම්භ කරන්නට පෙර පිරිස පංචශීලයේ පිහිටුවීම සඳහා නමස්කාරය කියන්නට නියම කළා පමණි. හාමුදුරුවන් ගේ හිස ‘දඩාස්’ ගා බිත්තියේ වැදිණි. පියවි ඇසට නොපෙනුණත් එය යමෙක් සිදු කළ දෙයක් බව පෙනුණි. හාමුදුරුවන් හිඳ ගත් පුටුවෙන් පෙරැළුණි. වටාපත වීසිවී ගියේය.

”මට පින් ඕනෑ නෑ බොලව්! මට ඕනෑ තව හතර පස් දෙනෙක් අරගෙන යන්නයි” කියා හාමුදුරුවෝ කුණුහරුපයෙන් බනින්නට වූහ. මෙය හාමුදුරුවන් කරන දෙයක් නොව භූ®තාවේෂයෙන් සිදුකරන දෙයක් බව කාටත් පැහැදිලි වීය.

හාමුදුරුවන් වැඩම කළ වාහනයේ රියැදුරා හාමුදුරුවන් සමීපයට ආවේය.

”ආ…අපි යමං මචං” යැයි හාමුදුරුවෝ රියැදුරාගේ කරට අත දමාගෙන වාහනයට නැඟුණාය. ඒ සමඟ තවත් දායකවරු කීප දෙනෙක් වාහනයට නැඟ මෙවැනි දේට පිළිවෙත් කරන තැනකට හාමුදුරුවන් කැඳවා ගෙන ගියහ. ඒ යන ගමනේදීත් වාහනයේ යාන්ත්‍රික දෝෂයක් මතුවීම නිසා වෙනත් වාහනයක් ගෙන්වාගෙන යෑමට සිදුවීය.

මුදියන්සේ ජීවත්ව සිටියදී කලක් පන්සලේ වාහනයේ ද වැඩ කර තිබුණු බව කලින් ද සඳහන් කළෙමු. මේ පිරිස අවශ්‍ය පිළිවෙත් කරගෙන පන්සලට එන විට මුදියන්සේ පන්සලේ ගරාජයේ පෙනී සිටියේය. පිරිස මුහුණට මුහුණ බලාගෙන හාමුදුරුවන් කාමරයට යවා ආපසු ගියහ. තවමත් මේ හාමුදුරුවන් දුරකතනයට පවා සම්බන්ධ කැරගත නොහැකිය. දුරකතනයට එන උපස්ථායක තැන කියන්නේ ද

”අනේ! අනේ! මහත්තයෝ ඒ ගැන නම් අහන්න එපා. කියන්නෙත් නෑ” යනුවෙනි. මුදියන්සේ ගරාජයේ සිටින අයුරු කීප දෙනෙක් ම දැක ඇත.

ඔරොත්තු නොදෙන ණයක් ගැනීම නිසා මුදියන්සේ බිරියට බැණ වැදුණු අවස්ථාවේ තාත්තා සමඟ එකට එක කියූ දියණියට විටින් විට පහර කෑමට සිදුවෙයි. පහර දෙන කෙනෙකු පෙනෙන්නට ද නැත.

මුදියන්සේ ගේ මරණයේ අවසන් කටයුතු සිදුකොට වෙහෙසට පත් මිතුරෝ ඇඟේ පතේ අමාරුව යන්නට එදා අරක්කු බෝතල් කීපයක් හිස් කළහ. ඒ සමඟ වල් ඌරු මස් ඇතිළියක් ද හිස් කළහ. එදා ඔහු මරණ බයෙන් හා වේදනාවෙන් දුරකතන ඇමතුම් දුන් මිතුරෝ ද එතැන වූහ. වෙනත් කෙනෙකුට ආවිශ්ට වී “තොපි මාව බේරා ගත්තේ නෑ. මම තොපිවත් අරගෙන යනවා යනවාම යි” කීවේය.

”අපිට කෝල් කලා නම් තමයි. ඒත් ඉන්න තැනක් නොකියා ම කට් කළානෙ. ඉතින් අපි කොහොමද එයාව බේරගන්න එන්නේ”යි ඔවුන් නිදහසට කරුණු කීවත් භූ®තයා ඒවා පිළිගන්නා බවක් දැනගන්නට නැත.

මේ අතර දැන් මේ ගමේ සමහරු ආහාර ගැනීම සඳහා බත් පිඟාන අතට ගත් සැණින් එහි තිබූ බත් හා වෑංජන අතුරුදහන් වී යයි. සමහරුන් ගේ ආහාර වළංවලට වැලි දමා ඇත. උයාගන්නා දේ බඩට දමා ගන්නා තුරු විශ්වාසයක් නැත. මෙවැනි භූ®ත උවදුරු සඳහා පිළිවෙත් කරන හාමුදුරුනමක් පැමිණ මාලිගාවේ වැල් බෝධිය අසලට මුදියන්සේගේ භූතාත්මය ගෙන්නුවේය. එහෙත් පසුදාම වෙනදාටත් වඩා දරුණු තත්ත්වයෙන් මුදියන්සේ ආපසු ගමට ඇවිත් පෙනී සිටියේය.

මෙය මුළු ගටම මහත් කරදරයක් වී ඇත. ඒ නිසා දිනක් මුදියන්සේගේ මිතුරෙක් ලොරි රථයකින් පැමිණ ඔහු භූ®මදාන කළ තැනට ගොස් බැණ වැදුණේය. “භූතයෙක් ඉන්නවා නම් දැන් වරෙන්” යැයි කියා මිනීවළ අසල තිබුණු සැරසිලි කඩා බිඳ දැම්මේය. එසේ කඩා බිඳ දමා බැණ වදිමින් තමන්ගේ ලොරි රථය වෙත ආපසු යන විට මෙන්න මුදියන්සේ ලොරියේ ඉස්සරහ සීට් එකේ.

දැන් මේ ගමේ අය රැකියාවලට ගොස් හැන්දෑවට බස් රියෙන් බැස ගෙවල්වලට යන්නේ එකිනෙකා අත්වැල් බැඳගෙන කණ්ඩායම් වශයෙනි. සමහරු කැඳවාගෙන යෑමට ගෙවල්වලින් පැමිණෙති. දැන් මේ ගමේ උදවිය රාත්‍රියට ඉක්මනින් කාබී දොරවල් වසාගෙන නිදන්නට පුරුදු වී සිටිති. මුදියන්සේට බැන්නොත් කොහෙන් මතුවී පෙනී සිටිනවා දැයි නොදනී. මේ ලියන මොහොතේත් ගමේ තත්ත්වය එසේ ය.

මෙහිදී අප විමසා බැලිය යුතු කරුණු තුළින් පැහැදිලි වන කාරණා කීපයකි. මුදියන්සේ මිය ගියේය. මියගියා ම නොව සිය දිවි හානි කැර ගත්තේය. ඊට හේතු වූයේ තමන්ට ඔරොත්තු නොදෙන ණයක් ගැනීම ය. බිරිය දියණියත් දුරදිග නොබලා සැලසුම් කළ දෙයින් අහිංසකයා පීඩනයට ලක්වූයේය. ඔහුට සිය දිවි හානි කැර ගන්නවා හැර වෙනත් පියවරක් තිබුණේ ද? එසේ නම් “උඹලා ඕනැ දෙයක් කර ගනිල්ලා”යි ආරංචි නොවන ප්‍රදේශයකට පලායෑමට තිබුණි. ඔහු එසේ කළේ නැත. ළඟම තිබුණු විසඳුම පාවිච්චි කරන්නට පෙලැඹිණි.

කෙනෙක් මරණයට පත්වන විට ඔහුගේ් ශරීරයෙන් නික්ම යන්නේ “උපාදානස්කන්ධ සංයුතිය” නමැති ශක්ති විශේෂය බව මුලින් සඳහන් කළෙමු. මුදියන්සේගේ ශරීරයෙන් නික්ම ගිය උපාදානස්කන්ධ සංයුතියට තවත් ශක්ති විශේෂ හා සියුම් ද්‍රව්‍ය පදාර්ථ එක්ව මිශ්‍රව ගොස් ඇති බව විශ්වාස කළ හැකිය. එකක් තදබල වෛරයයි. ගෙදර අය සමඟ පමණක් නොව තමන් බේරා නොගත්තා යැයි මිතුරන් සමඟ ද වෛර වී ඇත. ක්ෂණික කෝපය නිසා මෝහයෙන් අන්ධ වූ සිත පළිගැනීමේ චේතනාවෙන් ක්‍රියාත්මක වීය. ඔහුට පින් අවශ්‍ය නැතැයි පවසා ඇත. සිත මහත් වේදනාවකින් පීඩාවට පත් භූතාත්මයකට පින් අනුමෝදන් විය නොහැකිය. මහත් වූ ගින්නකින් දැවෙන පුද්ගලයකුට සතුටු සිතුවිලි ගොඩ නඟන්නට නොහැකිය. පින යනු පිනා යෑමයි. සතුටු වීමයි. වස පානයෙන් ඇතිවූ ශාරීරික පීඩාව ඔහුගේ ශරීරයෙන් නික්ම ගිය සියුම් ශරීරයේ ද (මනෝමය කයේ ද) තවදුරටත් පැවතිය හැකිය. ඒ ශාරීරික වේදනාවට අමතරව වෛරයේ ගින්න ද මානසිකව ක්‍රියාත්මක වෙද්දී කිනම් පින් අනුමෝදන් වීමක්ද?

ඔහු කලක් පන්සලේ වාහනයේ වැඩ කළ නිසා පන්සලේ ගරාජය ද ඔහුට පුරුදු තැනකි. ඔහු එතැන පෙනී සිටියේය. හාමුදුරුවන් සමඟ අමනාපයක් තිබුණාදැයි සිතන්නටත් පුළුවන. මුදියන්සේ තණ්හාව උපාදාන කැර ගැනීම නිසා තවමත් “මම” යැයි සිතා සිටින්නේ පෙර භවයේ ශරීරය ම ය. ඒ නිසා ඔහු ඒ ස්වරූපයෙන්ම පෙනී සිටී.

කෙනෙකු දාන – ශීල – භාවනා යන ත්‍රිවිධ කුසල ක්‍රියාවල යෙදෙන්නේ නම් මෙවැනි අවාසනාවන්ත තත්ත්වයකට මරණයෙන් පසු පත් නොවේ. සද්ධා – ශීල- සති- සමාධි- යන ක්‍රමානුකූල මාර්ගයේ ගමන් ගත්තා නම් යම් තරමකින් හෝ ප්‍රඥාව ද ඇතිවන්නේ ය. එසේ නුවණක් තිබුණා නම් මෙවැනි ඔරොත්තු නොදෙන ණය ගන්නේ ද නැත. සියදිවි නසා ගන්නේ ද නැත. වෛර කරන්නේ ද නැත. දුක් විඳින්නේ ද නැත.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: