Posted by: lrrp | October 21, 2009

මස්සිනා ඇතුළට එන්න බැරිව පන්සලේ ගේට්ටුව ළඟ නතර වුණා

අපේ පියවි ඇසට නොපෙනෙන භූත ලෝකයේ තොරතුරු දැනගැනීමට බොහෝ දෙනා කැමතිය. අපේ ගවේෂණවල දී අනාවරණය වන තොරතුරු මෙසේ හෙළිදරව් කරන්නේ හුදෙක් කර්මය හා කර්ම විපාක පිළිබඳ මිනිස් සිතට ඒත්තු ගැන්වීමට ය.

ජීවන අරගලයක නිරන්තරව යෙදී සිටින වර්තමාන මිනිසා බොහෝ බලාපොරොත්තු හා ප්‍රාර්ථනා ඉටු කැර ගැනීම සඳහා මිරිඟුවක් පසුපස දුවන මුවන් සේ හඹා යමින් සිටී. මෙය නිරන්තර ක්‍රියාවලියක් ම මිස කිසිදා සංසිඳෙන උවමනාවක් නොවේ.

අප බලාපොරොත්තු තබා සිටින සිහින සිතුවිලිවලින් ඉටුවන්නේ කීයෙන් කීයක්ද? එකක් ඉටු වුවද එයින් තෘප්තිමත් බවකට පත් නොවී තවත් දෙයක් ප්‍රාර්ථනා කරති. ඒ පුහුදුන් සිතේ ස්වභාවයයි. මේ ආශා නිසා ද ඇලීම ද ආශාවන් ඉටු නොවීම නිසා ගැටීම් ද සිදුවේ. ඒ අනුව පහළවන කුසල් අකුසල් සිත් අනුව සංසාර ගමන විවිධාකාරව සිදුවේ.

දිනක් විසි හැවිරිදි තරුණ පිරිමි ළමයකු කැටුව ඔහුගේ මව සහ නැන්දා කෙනෙක් ගස්නාවේ ඥාණානන්ද නාහිමියන් මුණගැසීම සඳහා අතුරුගිරිය විපස්සනා භාවනා මධ්‍යස්ථානයට පැමිණියහ. මේ මවගේත් නැන්දාගේත් ස්වාමි පුරුෂයෝ ජීවතුන් අතර නොවූහ.

මේ තරුණයා නිතර අසනීපවලින් පෙළෙන බවත්, රාත්‍රි නින්දෙන් බිය වී කෑගසන බවත්, අධ්‍යාපනය කඩාකප්පල් වී රැකියාවක් සොයාගත නොහැකිව ලතවෙන බවත් නාහිමියන් ඉදිරිපිට අනාවරණය කළහ. එසේ ම මේ මව සහ නැන්දා ද නිතර රෝගාබාධ හා දුක් කරදරවලින් පෙළෙන බවත් කියැවිණි.

තරුණයා කෙටි භාවනාවකට යොමු කොට නාහිමියෝ සූත්‍ර පාඨ කීපයක් උච්චාරණය කරන්නට වූහ. බලාපොරොත්තු නොවූ පරිදි ප්‍රලය වූයේ නැන්දාය.

”හා..හා..කවුද මේ ශරීරයට ඇතුළු වෙලා ඉන්නේ? “හාමුදුරුවෝ ප්‍රශ්න කළහ.

”හාමුදුරුවනේ! මම පියතිස්ස. මේ මගේ නෝනා. මම ඇවිත් ඉන්නේ මේ ගොල්ලන්ගේ ආරස්සාවට”

”කාගෙන්ද තමුන් මේ ගොල්ලන් ආරස්සා කරන්නේ?”

”ඇයි? හාමුදුරුවනේ සිරියාවතී. අපේ ගේ ඉස්සරහ ගෙදර හිටපු සිරියාවතී. ඒකි එදා ඉඳලා ම ඉරිසියාකාරි. මේ ඉන්නේ මගේ නංගී සුසිලා. මගේ නංගි ලස්සනයි කියලා එදා ඉඳල ම ඒකි ඉරිසියා කළා. නංගි ඉස්කෝලෙ යන කාලෙ ඉඳල ම නංගිට හතුරුකම් කළා. නංගිට පද හැදුවා.

නංගිට එන විවාහ යෝජනා කඩාකප්පල් කළා. නංගි අන්තිමට විවාහ වුණ මහත්තයාටත් ඔය හැතිරි නිර්නාමික ලියුම් එවලා ආරවුල් ඇති කළා. ඒ මනුස්සයත් අන්තිමේ බීමට ඇබ්බැහි වෙලා ලෙඩ හැදිලා මැරිලා ගියා.”

”ඉතිං ඊට පස්සෙ?”

”ඊට පස්සෙ මේ හැතිරි දේවාලෙකට ගිහින් අපේ පවුල විනාශ වෙන්න ගුරුකම් කළා. අපේ ඉඩමේ මායිමට රණ්ඩු කරලා නඩුහබ කිව්වා. ඊට පස්සෙ මාත් වාහනේක හැපිලා මළා. මගේ නංගියි මගේ බිරියයි දෙන්නා ම කනවැන්දුම් වුණා.

මේ දෙන්නා හැම පසළොස්වක පෝයකට ම සිල් සමාදන් වෙලා නිතර නිතර බෝධි පූජා තියලා මේ කරදරවලින් නිදහස් වෙන්න දෙය්යන්ට පින් දුන්නා. මැරිච්ච අම්මා තාත්තා දෙන්නවත් මාවත් සිහිකරලා පින්දුන්නා. දවසක් බෝධි පූජා තියන තැනට මම ආවා. එදා අපේ තාත්තාත් ඇවිත් හිටියා. අපේ තාත්තා ජීවත්ව ඉන්දැද්දි හොඳට පින් දහම් කළ කෙනෙක්. මම තාත්තාට කිව්වා

”අනේ තාත්තේ! මේ අසරණයින්ට පිහිට වෙන්න බැරිද?” කියලා. තාත්තා කිව්වා “පුතේ! උඹ දුක්වෙන්න එපා. අපි මේ දරුවන්ට පිහිට වෙමු” කියා. තාත්තා හිටියේ බලවත් තත්ත්වයක”

”කොහොමද? ඔය තාත්තයි පුතයි කතා කළේ. ඒවා අනිත් අයට ඇහුණේ නැද්ද?” හාමුදුරුවෝ ඇසූහ.

”නෑ හාමුදුරුවනේ! අපි කතාකරන්නේ වචනවලින් නොවෙයි. එක්කෙනෙක් හිතන කොට ඒක අනිත් එක්කෙනාට වැටහෙනවා. මගේ අදහස් තාත්තාට වැටහිලා තාත්තා උත්තර දෙන කොට මට වැටහෙනවා. තාත්තා මාත් එක්ක කතරගම ගියා. ගිහින් තාත්තා සත්‍ය ක්‍රියා කළා. තාත්තා ජීවත්ව ඉන්දැද්දි කරපු පින්කම් මතක් කර කර සත්‍යක්‍රියා කළා. මා කළ පින්කම් සත්‍යවාදී බව සැබෑ නම් මගේ දරුවන්ට සෙත ශාන්තිය උදාකර දෙන්න කියලා. මමත් මම දන්න විදිහට කන්නලව් කළා.

දේව සභාව කම්පාවට පත්වෙලා “හා.. හා.. දැන් ඕක නවත්වනවා. අපි ඒ ගැන කටයුතු කරන්නම්” කියලා උන්වහන්සේලා ඒක යක්ෂ සේනාධිපතිවරුන්ට පැවරුවා. යක්ෂ සේනාධිපතිවරු අපේ ගෙදරට පිරිවර එව්වා. සිරියාවතී ගුරුකම් කරලා අපේ ඉඩමට බන්ධනය කර හිටපු ප්‍රේතයෝ ඒ විනබන්ධන පිපිරෙන කොට ඒකිව හොයාගෙන ගියා. උන්ව බන්ධනය කර තිබුණු නිසා උනුත් හිටියෙ තරහෙන්. ඒ වෙලාවෙ සිරියාවතී ගමනක් ගිහින් ගෙදර එමින් හිටියේ. මේකි වටපිට නොබලා පාර පැන්නා. ලොරියක් ආවා. දඩාං … හිඞ…හිඞ.. හී.. පාර මැද්දෙ කෑලි කෑලි. ලේ ගඟයි. අර ප්‍රේතයන්ට රජ මඟුල්. මේවා සිද්ධවුණේ ගිය සුමානෙ. අපෙත්, අපේ ;ගදර අයගෙත් පූරුවෙ අකුසල කර්ම විපාකත් තිබුණා. ඒවත් නංගියි මගේ බිරියයි කුසල් කරන කොට යටපත් වුණා.”

”ඉතින් දැන් නංගිගෙ මහත්තයා, මස්සිනා කොහේද ඉන්නේ?”යි හාමුදුරුවෝ ඇසූහ.

”හඞ..හඞ … හා… පව් හාමුදුරුවනේ! අහිංසකයා. සිරියාවතීට අහුවුණා. ගෙදරට හොරෙන් ඒකි ළඟට ගියා. ඒකි කේලාම් කිව්වා. නංගිගෙ නැති වැරදි කිව්වා. මස්සිනාගෙන් පඩි දාට සල්ලිය බාගෙ කඩා වඩා ගත්තා. මේ කිසි දෙයක් අපේ නංගි දන්නේ නෑ. මේ මිනිහට දෙය්යන්ට වගේ සැලකුවා. නංගි ආදරෙන් සලකන කොට මිනිහට විඳ දරාගන්න බැරුව බීමට ඇබ්බැහිවෙලා ලෙඩෙක් වුණා.

ලෙඩ වුණාමත් නංගී සාත්තු සප්පායම් කරන කොට මිනිහා හිත යටින් දුක් වින්දා. දුක් විඳලා මැරිලා නරක තැනක උපන්නා. එතනත් වේදනාවෙන් දුක් වින්දා. අපට එතනට යන්න බැහැ. හිරිකිතයි. නංගි පින්දහම් කර පින් දුන්නත් එයාට පින්ගන්න බැරිවුණේ එයාගෙ හිත වේදනාවෙන් ම පීඩා විඳපු නිසා පින්ගන්න තරම් එයාගෙ හිතට ඉස්පාසුවක් තිබුණේ නෑ. එයාගෙ අකුසලකර්ම විපාක තුනී වුණාම ඒ පින් ලැබුණෙ තාත්තා සත්‍යක්‍රියා කරපු වේලාවෙ. සිරියාවතී පාර පැනපු තැනට ගිය කණ්ඩායමට එයත් එකතු වුණා.”

”ඉතින් මේ පුතාට කරදර කරන්නේ කවුද? ලෙඩ කරන්නේ කවුද?” හාමුදුරුවෝ ඇසූහ.

”දැන් ඉතින් අර හැතිරි මළාට පස්සෙ පුතාට කරදර එන්නෙ නෑ. මනුස්ස ජීවිතේ තියෙන සාමාන්‍ය දුක් කරදර කොහොමත් තියෙනවා හාමුදුරුවනේ. දැන් මෙයාගෙ තාත්තා මෙයාගෙ ශරීරෙට ආවහම නම් ටිකක් ලෙඩ දුක් හැදේවි. එයා එන්නේ ආදරේට.”

”ඉතින් ආදරේට එනවා නම් ලෙඩ දුක් හැදෙන්නේ කොහොමද?”

”හාමුදුරුවනේ! අපේ මන්සිනා තවම ඉන්නේ ඒ තරම් හොඳ තත්ත්වයක නොවෙයි. ආදරේට එන එක ඇත්ත. අමනුස්සයෝ ඇඟට එනවා කියන්නේ මේ පුතාගෙ මනෝකායට එකතු වෙනවා. පුතාගෙ මනෝකාය කිරණ සමඟ තාත්තාගෙ මනෝකාය අමනුස්ස කිරණ මිශ්‍ර වෙනවා.

මේ දෙක ගැළපෙන්නේ නෑ. මනුස්ස කිරණයි අමනුස්ස කිරණයි එකතු වුණා ම විෂ වෙනවා. එතකොට ලේ විෂ වෙලා අසනීප හැදෙනවා.”

”ඉතින් දැන් කොහේද මස්සිනා ඉන්නේ”?

”ගේට්ටුව ළඟ”

”මොන ගේට්ටුව ළඟද?”

”හාමුදුරුවනේ! මේ තුන් දෙනා අද මේ ගමන එනකොට මමත් ආවා මගේ නෝනත් එක්ක. මස්සිනාත් ආවා පුතාත් එක්ක. ඇවිත් මේ පන්සලේ ගේට්ටුව ළඟ නතරවුණා.ඇතුළට එන්න බැහැ කියලා.”

”හැබෑද? ගිහිල්ලා එයාව එක්කරගෙන එන්න. අතින් ඇදගෙන එන්න”

”අතින් අල්ලලා ඇදගෙන එන්න බැහැ. මට එයාව අල්ලන්න බැහැ. කැත හිතෙනවා. අනිත් කාරණේ එයා බයයි”

”එයාට කියන්න පන්සලේ නායක හාමුදුරුවෝ එන්න කීවා කියා. මෙතැන ප්‍රධානියා මම. මම අවසර දුන්නැයි කියන්න”

”ඒ සමඟ එතැන සිටි තරුණයා (පුතා) වෙව්ලන්නට වූයේය.

”කවුද? මේ ළමයගෙ ඇඟට රිංගා ගෙන ඉන්නේ?” නාහිමියෝ ඇසූහ.

”මම…මම … මේ පුතාගෙ තාත්තා. ජයසේකර. අනේ! හාමුදුරුවනේ! මාව පන්නන්න නම් එපා”

”නෑ.. නෑ.. පන්නන්නෙ නෑ. තමුන්ට අපි හොඳ නරක කියා දෙනවා. තමුන් ජීවත්ව ඉන්දැද්දි පන්සිල් ආරක්ෂා කළේ නෑ. අර වල් ගෑනිට එකතු වුණා. සුරාපානය කළා. බිරියට හිරිහැර කළා. ඒ වැරදිවලට විපාක වශයෙන් දුක් විඳින තැනක ඉපදුණා. මේ යහපත් බිරිය තමුන්ගෙ හොර මඟුල් දන්නෙ නෑ. ඒ නිසා අනේ මගේ ස්වාමි පුරුෂයා නේද? කියලා පින් දහම් කර පින් අනුමෝදන් කළා.

ඒ පින් බලෙන් තමයි තමුන් හිටියට වඩා ටිකක් ඉහළට ආවෙ. දැන් ආදරේටයි කියලා පුතාගෙ ඇඟට රිංගන එක වැරදියි. ඒකෙන් පුතා අසනීප වෙනවා. පුතාගෙ අසූචි බොක්කට වෙලා ජරාව කකා ඉන්නවාට වඩා අපි තමුන්ව හොඳ තැනකට යවන්නම්. මේ අයට කියලා හීල් දානයක් දීලා පැන් වඩලා පින් දෙන්න කටයුතුª කරවන්නම්. තමුන් ශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟට හරි කතරගම කිරිවෙහෙර ළඟට හරි ගිහින් අනුන්ගේ පිනකටවත් අතගහලා තත්ත්වය උසස් කරගන්න.”

”හාමුදුරුවනේ! එහෙනම් මම මේ බෝධීන් වහන්සේලා ළඟ නතර වෙන්නද?”

”බෑ බෑ මෙතන පෙරේතයන් නවත්ත ගන්න තැනක් නොවෙයි. එතැන තමුන්ට ඉන්නත් බැහැ. එතැන ඉන්න අය ගහලා එළවාගනීවි”

”එහෙම නම් කතරගමට යන්නම් හාමුදුරුවනේ!’

”ඔව්! එහෙම නම්, වැඳගන්නවා. නමස්කාරය කියනවා”යි කී නායක හාමුදුරුවෝ ජයසේකර පන්සිල්හි පිහිටුවා, බුදු ගුණ කියවා තෙරුවන් නාමයෙන් පොරොන්දු කරවාගෙන පුතාගේ ශරීරයෙන් පියා ඉවත් කරවා යැවූහ.

දැන් මේ උදවිය කතරගමට බාර හාර වෙලා ගමේ පන්සලේ බෝධි පූජා විසි එකක් තියලා කතරගම ගිහින් කතරගම බෝධියටත් කිහිවෙහෙර වහන්සේටත් පුද පූජා පවත්වන්න ඕනෑ. ඊට කලින් හීල් දානයක් දී මළගිය ප්‍රාණකාරයාට පින් අනුමෝදන් කරන්න ඕනෑ. ඒ වාගේ ම තමුන්ට උදව් කරපු තාත්තටත් පියතිස්සටත් පින් අනුමෝදන් කරන්න ඕනෑ”යි නාහිමියෝ පවසනවාත් සමඟ ම නැන්දා “සාදු සාදු සාදුයි” හඬ නැඟුවාය.

ඒ පියතිස්ස සතුට ප්‍රකාශ කළා යැයි නාහිමියෝ කීහ. අයහපත් ආත්මභාවයන් හි උපදින අකුසල විපාක විඳින ප්‍රේත පිසාචාදීන්ගේ සිතට සහනයක් ඇත්තේ ම නැත. ඔවුන් ගේ කුසගින්න උග්‍රය. ආහාර පාන ඇස් ඉදිරිපිට ඇතත් ඒවා භුක්ති විඳින්නට පින නැත. එක්කෝ මුඛය නැත.

ඔවුන් දීර්ඝ කාලයක් කල්ප කාලාන්තරයක් අකුසල විපාක විඳිමින් සිටින කවදා හෝ කුමන ආකාරයකින් හෝ පිනක් කුසලයක් සිහිපත් වූ විට ඒ සහනය තුළින් සතුටක් ලබා තමන් සිටින දුකෙන් යම් තරමකට හෝ මිදීමට හැකිවෙයි. එවැනි දුක් විඳින ප්‍රේත පිශාචාදීන්ට අතීත ආත්ම භවයක තමන් විසින් සිදුකරන ලද කුසලයක් හෝ පිනක් සිහිපත් නොවන තරමට ඒ දුගති ආත්මභවයන්හි ස්වභාවය දරුණුය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: