Posted by: lrrp | October 24, 2009

අනුරාධා මොකද මේ අම්මට හිරිහැර කරන්නේ

අපේ පියවි ඇසට නොපෙනන බොහෝ දේවල් නවීන විද්‍යාඥයා විසින් විද්‍යා උපකරණ මගින් දකිනු ලැබ ලෝකයට අනාවරණ්‍ය්‍ය කොට ඇත. යළිත් කිසිවකුට “බෙදා කොටස් කර දැක්විය නොහැකි පරිදි අන්තිම” යන අරුතින් “පරම” නම් වූ අණුව පරමාණුව ලෙස විද්‍යාඥයා විසින් සොයා ගනු ලැබිණි.

එහෙත් තවත් කලකට පසුව ඒ නොබෙදිය හැකි යැයි කියූ පරමාණුව ද ප්‍රෝටෝන, ඉලෙක්ට්‍රෝන, නියුට්‍රෝන යැයි උප පරමාණුක තුනකට ඊළඟ විද්‍යාඥ පිරිසක් කොටස්වලට වෙන් කොට පෙන්නුවේය.

නවීන විද්‍යාඥයා විසින් ඝන, ද්‍රව, වායු, ප්ලැස්මා යනුවෙන් හඳුනා ගන්නා ලද පදාර්ථයේ කොටස් හතරෙන් ‘ප්ලැස්මා’ මෙසේ උප පරමාණුක ලෙස අංශුවල සංයුතියක් වශයෙන් ගැනේ. මෙයින් ශත වර්ෂ විසි පහකට පෙර දඹදිව පහළ වූ මහා විද්‍යාඥයින් වහන්සේ විසින් අවසානයට සියුම් වූ අණුවත් ආපෝ, තේජෝ, වායෝ, පඨවි, වර්ණ, ගන්ධ, රස, ඕජා, යැයි සියුම් කොටස් අටකට “ක්ෂුද්‍රාෂ්ටක” නමින් පැහැදිලි කළ සේක.

අපේ පියවි ඇසට පෙනෙන මනුෂ්‍ය ලෝකයේ මිනිස් තිරිසන් සත්ත්වයන් මෙන් නොව දිව්‍ය ලෝකයන්හි හා බඹ තලයන්හි උපත ලබන සත්ත්වයෝ අපට වඩා සෘණ වූ සියුම් වූ ශරීර දරති. ඉතාමත් සියුම් වූ බැවින් ඒවා මනෝමය ශරීර ලෙස හැඳින්වුව ද ඒ ශරීර ද සියුම් ඝනත්වයකින් යුක්ත වේ.

ඉහත සඳහන් කළ ප්ලැස්මා අවස්ථාවට සම්බන්ධ යැයි සිතිය හැකි දෙවියන් ඇතුළු භූතයන්ගේ ශරීර අපේ ශරීර මෙන් ඝනයක් හෝ ද්‍රවයක් හෝ වායුවක් හෝ නොවේ යැයි සිතූව ද, දෙවියන් ඇතුළු සමහර භූතයනට සාමාන්‍ය මිනිස් ඇසට පෙනෙන පරිදි වර්ණයෙන් හා හැඩයෙන් පෙනී සිටීමට ද හැඩය වෙනස් කැර ගැනීමට ද හැකියාව ඇත.

දිනක් බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට පෙනී සිටි දෙවියකුගේ ශරීරය වැල්ලේ එරී යන්නට සූදානම් වූ විට “හා… හා… දෙවියනි වහා ඝන ශරීරයක් මවා ගනුව“යි බුදුන් පැවසූ බව දහමෙහි සඳහන් වේ. මෙයින් පැහැදිලි වන්නේ දෙවියන් ඇතුළු භූතයන් ගේ ශරීර ඉතාමත් සියුම් බව ය. එහෙත් ගස් ගල් බිත්ති හරහා වුව ද විනිවිද ගමන් කිරීමට තරම් මේ සියුම් ශරීර මෙහෙයවන ඔවුන්ගේ මනස ඉතා ප්‍රබල ය.

මිනිසා ගේ ශරීරය ඝන වුවද මනස ප්‍රබල නැත. මිනිසා මනස් ශක්තියෙන් දුර්වල වුව ද දිව්‍ය බ්‍රහ්මයින්ටත් වඩා මනස ශක්තිමත් කැර ගැනීමේ ඉඩ ප්‍රස්ථාව මිනිසාට ඇත. දිව්‍ය බ්‍රහ්මයන්ටත් වඩා සිත දියුණු කළ හැකි ය. සාමාන්‍යයෙන් නොඇසෙන දේ ඇසීමටත් (දිබ්බශෝක) නොපෙනෙන දේ දැකීමටත් (දිබ්බචක්ඛු) අනුන් සිත් දැකීමටත් (පරචිත්ත විජානන ඥාන) මිනිසාට ස්වකීය සිත දියුණු කැර ගැනීමේ හැකියාව, ශක්තිය ගොඩ නඟා ගැනීමට පුළුවන.

සිතේ ශක්තිය ප්‍රබල වූ විට මහත් විස්කම් දැක්විය හැකිය. සිතේ සියුම් හා තියුණු බව මෙන් ම ක්ෂණයකින් හාත්පසින් වෙනස් වන සුළු බව ද එසේ ම ය. අතුරුගිරිය විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දී එසේ අනාවරණය වූ සිද්ධි කීපයකි මේ.

චන්ද්‍රිකා මාතර ප්‍රදේශයේ ජීවත් වූ තරුණියකි. ඇය නගරයට ගිය අවස්ථාවක දී වාහන අනතුරකින් මිය ගියා ය. එයින් අවුරුදු දෙකකට පසු වැලිගම ප්‍රදේශයේ ලීලාවතී නම් කාන්තාවකගේ කුස පිළිසිඳී නියමිත කාලයෙන් පසු අනුරාධා නමින් උපන්නා ය.

වයස මාස හතේ්දී අනුරාධා අසනීපයක් වැළඳී මිය ගියා ය. එයින් වසරකට පසු ලීලාවතී නැවත ගැබ් ගත්තා ය. ලීලාවතී නිතර හීනෙන් බය වීමටත්, කරදර කම්කටොලුවලින් පීඩා විඳීමත් සිදු වූ අතර ඈ පුතකු වැදුවා ය. මේ පුතා පි‍්‍රයන්ත නම් වීය. උපන් දා සිට ම පි‍්‍රයන්තට ලෙඩ දුක් කරදර සිහිනෙන් බිය වීම්වලින් අඩුවක් වූයේ නැත.

ලීලාවතීට ද එසේ ම ය. ලීලාවතී සිය ස්වාමි පුරුෂයා සමඟ ගස්නාවේ ඤාණානන්ද හිමියන් වෙත පැමිණියේ මේ කරදරවලින් මිදීමට සහනයක් පතා ය. එහි දී ලීලාවතී තුළින් භූතාත්මයක් අවදි වී කතා කරන්නට පටන් ගත්තා ය. නාහිමියෝ ප්‍රශ්න කරමින් සාකච්ඡා කළහ.

“කවුද? මේ ශරීරයට ඇතුළු වී හිරිහැර කරන්නේ”

“මම… මම… ම්… ම්… මම අනුරාධා”

“කව්ද අනුරාධා කියන්නේ?”

“අනුරාධා කියන්නේ අපේ කලින් ඉපදුණු දුව. එයා වයස මාස හතෙන් අන්ත්‍රා වුණා” යි ලීලාවතී ගේ සැමියා කීවේ ය.

“අනුරාධා මොකද? ඉතින් අම්මාට හිරිහැර කරන්නේ?”

“මම කලින් හිටියේ මාතර. වයස දහ හතේ දී ප්‍රයිවට් බස් එහෙක හැපිලා මැරුණා. ඊට පස්සෙ මේ වැලිගම අම්මගෙ කුසෙන් උපන්නා. මේ අම්මගෙ ළඟ ඉපදිලත් මාස හතෙන් මැරුණා. ලෙඩ වෙලා. මේ ගොල්ලෝ මාව බේරා ගත්තේ නෑ. මම ආයෙත් මේ අම්මගේ බඩේ පිළිසිඳ ගන්න උත්සාහ කළා. ඒ අතරෙ මූ රිංගා ගත්තා. මූව පන්න ගන්න මම උත්සාහ කළත් මට ඒක බැරි වුණා.

“කවුද? මේ මූ මූ කියන්නේ කාට ද?”

“මේ පි‍්‍රයන්තයා. මූ මගේ හතුරා. දැන් අම්මත් මූට ආදරෙයි. මට ආදරේ නෑ. දැන් මාව මතකත් නෑ. මම මේ දෙන්නාගෙන් ම පළිගන්නවා.”

“අනුරාධා! මොකක්ද මේ වෛරය. අම්මව මරා ගෙන පංචානන්තරිය කර්මය කරගන්න ද හදන්නේ? මෝඩ වෙන්න එපා. වෛරයෙන් වෛරය කවදාවත් පංසිඳෙන ගින්නක් නොවෙයි. ඔය වෛරය අතහැරලා හොඳ තැනකට යන්න.”

“බෑ බෑ මං පළි අරගෙන මිසක් යන්නෙ නෑ”

“මෝඩ වෙන්න එපා. අපි අනුරාධපුරේට අනුරාධාව යවන්නම්. පිං අරගෙන එහෙට යන්න.”

“අනුරාධ පුරේ ගිහින් මොනවා කරන්න ද?”

“ස්වර්ණමාලී දෙව්දුව ළඟට යන්න”

“සු… ව… ර්… ණ… මාලී දෙව්දුව. ම්… ම්… ම්… ම්… මට මතකයි. සාදු… සාදු…”

“මොකද ස්වර්ණමාලි දෙව්දුව අඳුනනවාද?”

“ඇයි නැත්තේ. ඒ දෙව්දුව මට හරීම හිතවත්. මම කාලයක් එහේ ඉපදිලා හිටියා. මහා සෑය හදන්නත් උදව් වුණා. මං එතැන වැඩ කළා. ධාතු නිධානෝත්සවයත් මට මතකයි. ඔව් ඔව් මට මතක යි. මට මතක යි. ඔව් මං කැමැතියි නැවතත් එහේ යන්න. ඔව් මං යනවා. මේ ගොල්ලන් ගෙන් මට වැඩක් නෑ මං යනවා. මං යනවා” යි මවගේ ශරීරයෙන් ඉවත්ව ගියා ය.

“භූත ලෝකයේ අයට යමක් පැහැදිලි කළා ම මිනිස්සු වගේ නොවෙයි. ඒක පිළිගන්නවා. ඒ අය දුක් විඳින්නේ පාප චේතනා නිසා. අතීත කුසලයක් මතක් කළා ම පරණ පින් මතුවෙලා සැප විඳින තත්ත්වයට පත් වෙනවා” යි ඤාණානන්ද හිමියෝ පැහැදිලි කළහ.

විමලාවතී ගම්පහ ප්‍රදේශයේ වැදගත් පවුලක සිල්වත් කාන්තාවකි. ඇය සිය දූ වරු තිදෙනා ගෙන් හොඳින් සැලකිලි ලබමින් සතුටින් ජීවත් වූවා ය. ජීවිතයේ අවසානය දක්වා ම දන්පැන් දෙමින් සිල් සමාදන් වෙමින් යහපත් ජීවිතයක් ගෙවුවාය. සියලු දේපල තම දියණියන් තිදෙනාට සම සේ බෙදා දී සිත සැහැල්ලු කැර ගත්තා ය.

වයස අවුරුදු අනූවක් වුව ද නිරෝගී දිවියක් ගෙවූ ඇය ජීවිතයේ අවසානය ළඟා වූ බව දැන දියණිවරුන් ද ගෙන්වා අවවාද කොට පෙර කළ පින් කම් සිහිපත් කරමින් දෙව් ලොව යෑමට සූදානම්ව සුබ පෙර නිමිති පවා දුටුවාය. ඇය නිහඬව ශාන්තව දෙනෙත් පියවෙනවාත් සමඟ ම “අනේ අපේ බුදු අම්මේ අපිව දාලා යන්න එපා” යි දියණිවරු ඇය බදාගෙන හඬා වැළපෙන්නට වූහ. ප්‍රසන්නව තිබූ ඇගේ මුහුණ අඳුරු වී අවසන් හුස්ම හෙළුවා ය.

කාලයක් තිස්සේ මේ දියණිවරු තුන් දෙනාට නිරන්තරව දුක් කරදර ලෙඩ දුක් ගලා එන්නට විය. ඔවුන් ගස්නාවේ නාහිමියන් වෙත පැමිණ උන් වහන්සේගෙන් පිළිවෙත් අසන්නට වූ විට බාල දියණිය ප්‍රලය වූවා ය.

“අනේ! අනේ! හාමුදුරුවනේ! මට නම් යන්න කියන්න එපා. මං මේ හැතිරියන් තුන් දෙනා දාලා යන්නේ නෑ. මුං මට කරපු අපරාධයට මුං තුන් දෙනා ගෙන් මාරුවෙන් මාරුවට පළි ගන්නවා.”

“කව්ද මේ? මොකක්ද මේ වෛරය. මේ ළමයි කරපු අපරාධය මොකක්ද?”

“හඞ… හඞ… අපරාධය ද? මම දිව්‍ය ලෝකෙ යන්න හිත හදා ගෙන ඉන්න කොට මුං තුන් දෙනා මා බදාගෙන අඬන්න ගත්තා. මට දිව්‍ය ලෝකෙ යා ගන්න බැරිවුණා. මුං ගැන හිතිලා ඒ ගෙදර ම ඒ වෙලාවෙම මගේ මිනිය තිබුණු ඇඳ යට ම කේන්තියෙන් යස්සනියක් වෙලා උපන්නා. මුං මගේ දූලා නොවෙයි හැතිරියෝ” යි කීවා ය.

මේ කතාවෙන් ඤාණානන්ද නාහිමියෝ පැහැදිලි කරන්නේ සිත ක්ෂණයකින් හාත්පසින් වෙනස් ස්වභාවයක් ගන්නා ආකාරයයි. අවසන් මොහොත දක්වා ශාන්තව සිටි අම්මා යක්ෂණියක් වීමට තරම් වෛරී සිතුවිලි හටගත් ආකාරය යි. දියණිවරු අඬා වැළපීම නිසා මව සූදානම්ව සිටි දිව්‍ය ලෝක ගමන කඩාකප්පල් වී දුක්බර සිතුවිලි මතුවීම හේතු කොට ගෙන දුගතිගාමී වන්නට සිදුවිය.

මානෙල් කඩවත ප්‍රදේශයේ දහසය හැවිරිදි පාසල් දැරියකි. ප්‍රසන්න වූ ද කඩිසර වූ ද ඇය ඉගෙනුමට දක්ෂ වූවා ය. හිටිහැටියේ ම රෝගී වන්නටත් ඉගෙනුමට කම්මැලි වන්නටත් අප්‍රසන්න අමුතු ගති පහල වන්නටත් සිහිනෙන් දොඩවන්නටත් වූයෙන් ඇගේ මව ඇය ගස්නාවේ නාහිමියන් වෙත රැගෙන ආවා ය. ඒ වන විට ඇගේ පියා ජීවතුන් අතරින් නික්ම ගොස් තිබුණි. ගස්නාවේ නාහිමියන් අබියස දී මානෙල් ප්‍රලය වූවා ය.

“කව්ද? මේ දුවගේ ශරීරය ඇතුළට වෙලා කරදර කරන්නේ?”

“මම හිරිහැර කරන්නේ නෑ හාමුදුරුවනේ! මම ඇවිත් ඉන්නේ දුවගේ ආරක්ෂාවට. මම වික්ටර්. දුවගෙ තාත්තා. දුවට හිරිහැර කරන්නේ වෙන මළ යස්සනියක්. ඒකි අර ඈතට වෙලා හිනාවේවී බලා ඉන්නවා.”

“ආ එහෙම ද? ඒ යස්සනීට කියන්න බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ අනුභාවයේ බලයෙන් යහපතක් උදා කරන්න මෙතැනට එන්න කියා මම අණ කළා ය කියා. එහෙම කියලා ඒ යස්සනීට ටිකක් ඉඩ දීලා වික්ටර් මේ ශරීරයෙන් ඉවතට යන්න.”

ඊළඟට මානෙල්ගේ ශරීරය වෙව්ලන්නත්, හූ කියන්නත්, දඟලන්නත් වූවා ය.

“හා… හා… මෙතන විකාර නොකර කතා කරමු බලන්න.”

“හීඞ… හීඞ… හීඞ අපි මොනවා කතා කරන්න ද? ඔන්න ඔහේ ඉන්නවා මිසක්.”

“එහෙම කියලා මඟ අරින්න බෑ. මේ කව්ද කියලා කියමු බලන්න”

“ම්… ම්… ම්… ම්…” (සිනා සුණා මිස කතා කළේ නැත)

“හා… හා… මෙතන තව වැඩ තියෙනවා. කව්ද මේ යස්සනී.”

“යස්සනී… යස්සනී ද? මම තමයි එමලිනා…”

“කව්ද මේ එමලිනා කියන්නේ” යි හාමුදුරුවෝ මානෙල් ගේ මවගෙන් ඇසූහ.

“ඒ අපේ ගෙදරට ඉස්සරහ ගෙදර හිටපු ගෑනි. හැමදාම කසිප්පු බීලා කෑ ගහනවා. රණ්ඩු කරනවා. එයා මහ අමුතු ජාතියේ ගෑනියෙක්” යැයි මානෙල් ගේ මව පිළිතුරු දුන්නා ය.

“ඔව්! මං බිව්වා තමයි බොල. මං බිව්වෙ මගේ සල්ලිවලින් ඉතින් තොට මොකද?”

“මේ… මේ… මෙතැන චණ්ඩිකම් කරන්න බෑ. මොකද මේ ළමයට හිරිහැර කරන්නේ?”

“මේකි ලස්සනයි හාමුදුරුවනේ! ඉගෙන ගන්නත් දස්සයි. මගේ දරුවන්ට වඩා ඉහළින් යන නිසා ඉරිසියා හිතිලා මං මේකිගෙ ඇඟට ආවා.”

“ඇයි? තමුන් ඇඟට රිංගන කොට වික්ටර් එපැයි කිව්වෙ නැද්ද?”

“මොකෝ නැත්තේ. මට ගැහැව්වත් එක්ක. ඒවා මට වැදුණේ නෑ. මම රිංගා ගත්තා. වික්ටර්ට බෑ මාව එළවන්න.”

“ඒකට කමක් නෑ. දැන් අපි බුදු ගුණවල ආනුභාවයෙන් තමුන්ට අණ කරනවා මෙතැනින් ඉවත් වෙලා යන්නැ” යි හාමුදුරුවෝ ජලනන්දන පිරිත සජ්ඣායනා කළහ. ඒ සමඟ ම ප්‍රලය අවසන් වී යස්සනිය අතුරුදන් වූවා ය. ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත භාරහාර වී බෝධි පූජා තබන ලෙසත්, සුවපත් වන තුරු මස් මාලු කරවල බිත්තර ආහාරයෙන් වැළකි, ගෙදර පපඩම් බැදීමෙන් පවා වළකින ලෙසත් උපදෙස් දුන්හ.

එහෙත් ඊළඟ සතියේත් දිනක මේ මව සහ දියණිය නාහිමියන් හමුවෙන්නට පැමිණියහ.

“මොකද? මේ ආයෙත්”

“ආයෙ හැදුණා හාමුදුරුවනේ! දැන් දරුණු බඩේ රුදාවක් හැදෙනවා.”

යළිත් සූත්‍ර පාඨ දේශනා කරන විට එමලිනා ආරූඪ වූවාය.

“මොකද එමලිනා ආයෙත් මේ කරදර කරන්නේ?”

“හාමුදුරුවනේ! මම මෙයාගෙ ශරීරෙන් ඉවත් වෙලා හිටියේ. මම දවසක් බඩගින්නේ කඩ මංඩියට වෙලා ඉන්න කොට මං දැක්කා මේ මානෙල් ඉස්කෝලෙ යන ගමන් ‘රෝල්ස්’ එකක් කඩේකින් අරගෙන යනවා. මාත් මෙයාගෙ පස්සෙන් ඉස්කෝලෙට ගිහින් හිටියා. දවල් රෝල්ස් එක කන කොට මමත් මේකිගෙ බඩට රිංගුවා.”

“හා… හා… දැන් ඉවත් වෙලා යන්න ඕනෑ. ආයෙත් නොඑන බවට පොරොන්දු වෙන්න ඕනෑ. එමලිනා උපාසකම්මා කෙනෙක් වෙන්න. පන්සිල් ගන්න නමස්කාරය කියන්න.”

“අනේ හාමුදුරුවනේ! මම බිබී හිටියා මිසක්, කවදාවත් පස්සලකට ගියේ නෑ. පන්සිල් කියන්න දන්නේ නෑ.”

හාමුදුරුවෝ නමස්කාරය කියවා පන්සිල් සමාදන් කරවා යළි මේ ශරීරයට ;නාඑන බවට එමලිනාගේ භූතාත්මය පොරොන්දු කරවා ඉවත් කළහ. සම්පූර්ණයෙන් සුවපත් වන තුරු බාර හාර අවසන් වන තුරු මස් මාළු කරවල බිත්තර, තෙල් බැඳුම් වලින් වළකින ලෙසත්, එසේ කට බඩ රැකගන්නට බැරි නම් ආයෙත් නොඑන ලෙසත් මවටත් දියණියටත් අවවාද කළහ.


Responses

  1. ඇත්තටම මම කැමතියි මේ ව‍ගේ දේවල් ලියනවට. මම සිළුමිණ පත්ත‍රේ යන සිත් මල් යාය ගොඩක් ආසාවෙන් කියවනවා.
    ගොඩක් අය දෙවියන් හොල්මන් විශ්වාස නොකෙරැවත් මම තදින්ම එය විශ්වාස කරනවා.
    මම සිල් මල් යාය කියවන්න ආස නිසා, අද google එකේ හෙව්වා”මතුගම මහින්ද” කියලා. එතකොට තමා ඔබතුමා‍ගේ මේ blog එක දැක්කේ. ඇත්තටම මම මේ අවස්ථාව වෙද්දිත් ඔබතුමගේ ලිපි කියවමින් හිටියේ. මට කරන්න පුළුවන් උදව්ව හැටියට, මම ම‍ගේ බ්ලොග් එකේ ඔබතුමා‍ගේ බ්ලොග් එකේ ලින්ක් එකක් දානවා. http://kasunge.blogspot.com
    මගේ බ්ලොග් එක බලන හැමකෙනාම ඔබතුමාගේ මේ වටිනා ලිපි කියවයි.
    ඔබට ගොඩක් ස්තූතියි.

  2. පැහැදිලි මානසික රෝගයක්..හාමුදුරැවොත් කරල තියෙන්නේ මනෝ චිකිත්සාවක් තමා..


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: