Posted by: lrrp | November 23, 2009

මෙච්චර දේවල් නැතිවෙච්ච මට ඕකත් කජ්ජක්ද?

ඉතා පුංචි පිංකමක් වුව ද රටට ම ඇහෙන්නට පෙනෙන්නට සිදු කරන්නට බොහෝ දෙනා කැමති ය. එසේ ම සුළු අකුසලයේ පටන් බරපතළ අකුසල ක්‍රියා දක්වා සිදු කරන්නේ රහසිගතව ය.

රහසිගතව අල්ලස් ගැනීම්, වංචා හා වෙනත් දූෂණ ක්‍රියා පමණක් නොව මිනී මැරුම් පවා සිදු කොට රාජ්‍ය නීතියෙන් බේරී සිටිති. එහෙත් විශ්වයට මේවා රහස් නොවේ.

විශ්වය විවෘත වූ ඇස් ඇතිව නිතර ලෝකයේ සිදු වන සියල්ල බලා සිටී. ඒ නිසා රාජ්‍ය නීතියෙන් ගැලවී සිටිය ද වරදට අකුසලයට නිදහසක් නැත.

ප්‍රගීත් අගනුවරට වැඩි දුරක් නැති ගමක පදිංචි විසි දෙහැවිරිදි තරුණයෙකි. හොඳින් හැදී වැඩී උස් මහත් වූ මේ තරුණයා හිටි හැටියේ බලාගත් අත බලා සිටීම, හිටි හැටියේ කෑ ගැසීම, මවට බැණ වැදීම, පහර දීම හා මරන්ට තැත් කිරීම ඔහු තුළින් මතුව ආ අස්වාභාවික ලක්ෂණ විය.

අවුරුදු තුනක පමණ කාලයක සිට ප්‍රගීත් කෙරෙන් මතු වී දක්නට ලැබුණු මේ රළු නපුරු ගති පැවතුම් වලින් පීඩාවට පත් ඔහුගේ මව සුනන්දා පුතුට ප්‍රතිකාර ලබාදීමට පසු බට වූයේ ද නැත. ටික කලක් ගත වනවිට ප්‍රගීත්ට ‘නුහුගුණ’ යැයි නෑදෑයෝ ද අසල්වාසීහු ද ප්‍රගීත්ගේ ම මිතුරෝ ද තීරණය කළහ. මානසික වෛද්‍යවරුන්ගෙන් පවා ප්‍රතිකාර ලබාදුන්හ.

එහෙත් මේ කිසිවකින් සුවයක් නොලද බැවින් සුනන්දා ප්‍රගීත්ගෙන් ප්‍රවේශම්වීමට නිතර වග බලාගත්තා ය. ඒ අතරම සෙත් කවි, බෝධි පූජා ආදී ශාන්ති කර්ම වලින් පුතාට සුවය පැතීමට ද අමතක නොකළා ය. හිටි හැටියේ ම ප්‍රකෘතියෙන් විකෘතියට පත් වන ප්‍රගීත් “වල්…, පට්ට… පරට්ට බැල්ලි මං තෝව මරණව… මරණවා… මරණවා ම යි” කියමින් මවගේ බෙල්ල මිරිකන්නට ඇඟට කඩා පනී.

පුතාගේ ස්වභාවය වෙනස් වී ගෙන එන බව දැනෙන විට ම සුනන්දා අසල්වැසියෙකුගේ නිවසකට දුව ගොස් සැඟවුණා ය. ඒ හැරෙන්නට ඇයට වෙන කරන්නට දෙයක් තිබුණේ ද නැත.

බොහෝ විය පැහැදම් කොට තොවිල් පවිල් සිදු කළ ද ඒ ශාන්ති කර්ම සඳහා පැමිණි ඇදුරන්ට සිදු වූයේ මේ ප්‍රගීත්ගෙන් පහර කා, පලා යෑමට ය. බැරි ම තැන සුනන්දා ගමේ පන්සලේ හාමුදුරුවන් මුණ ගැසී තම පුතා ගේ වෙනස්වීමත් තමන් පත් වී සිටින අනතුරු දායක තත්ත්වයත් පැහැදිලි කළා ය. හාමුදුරුවෝ ප්‍රගීත් ගෙන්වා අවවාද කොට පිරිත් නූල් ගැට ගසා ආශිර්වාද කරන විට ඉතා සුවච කීකරු දරුවෙකු ලෙස කටයුතු කළ ද නිවසට ගිය හැටියේ පිරිත් නූල් කඩා දමමින් ප්‍රලය වී අම්මා මරන්නට තැත් කළේ ය.

නැවත නැවතත් ගමේ පන්සලේ හාමුදුරුවන් ගෙන් පිරිත් කියවා ආශිර්වාද කළත් නිවසට ගිය හැටියේ යළිත් නපුරු ලෙස හැසිරෙමින් මව මරන්නට තැත් කිරීම නිසා මේ අමනුෂ්‍යයා මිථ්‍යා දෘෂ්ටිකයෙකැයි සිතූ හාමුදුරුවෝ රෝගියා හෝමාගම ප්‍රදේශයේ සුනිල් සතරසිංහ නමැති තරුණ ඇදුරකු වෙත යොමු කළහ.

රෝගියා සමඟ පවුලේ අය සුනිල් හමු වී දින නියම කැරගෙන ශාන්ති කර්මයට සූදානම් වූහ. නියමිත දිනයේ සුනිල් තවත් තරුණ උදව්කරුවකු සමඟ තමන්ගේ ම ත්‍රිරෝද රියෙන් ප්‍රගීත් ගේ නිවසට ගියේ ය. මහරගම ප්‍රදේශයේ පිහිටි එම නිවසේ ඒ වනවිට ඔවුන්ගේ උදව්වට ප්‍රගීත් ගේ තරුණ මිතුරන් කීප දෙනෙක් ද පැමිණ සිටියහ.

ඒ වනවිට පැවති සුනිල් ගේ තරුණ පෙනුමත් ඔහුගේ උදව්කරුගේ තරුණ පෙනුමත් මේ දෙදෙනා ම කලිසම් කාරයන් නිසාත් “මුන් ඇදුරොද? කට්ටඩි ද? කපටි හොරු ද? කොහෙද?” යන සැක සහිත බවක් එහි සිටි බොහෝ දෙනෙකු තුළ පැවතිණි.

“ප්‍රගීත්ට තියෙන්නේ මානසික ආබාධයක්. අද මේ දෙන්නත් ප්‍රගීත්ගෙත් අම්බානක ගුටිකා ත්‍රිවිලරය ද පොඩි පට්ටම් කරගෙන යනු ඇතැ” යි ප්‍රගීත්ගේ මිතුරෝ සිතූහ. මීට කලින් සිදුවු දේවලට සාපේක්ෂව සිතන විට ඔවුන් එසේ සිතන බව ඔවුන්ගේ උපහාසාත්මක මුහුණුවලින් සුනිල් ද තේරුම් ගත්තේ ය.

සුනිල් නියමිත මල් ආසන සකස් කොට ශාන්ති කර්මයට සූදානම් වූයේ ය. තමන්ගේ උදව්කරු ලවා සිය ත්‍රිරෝද රියේ තබා තිබුණු වේවැල ද මල් ආසනයේ තැබීය. ප්‍රගීත් හා මව්පිය දෙදෙනා ද අනිකුත් අය ද වාඩි කැර වූයේ ය. මුලින් ම පිරිස අමතා හැඳින්වීමක් කළේ ය.

“මේ කිසි කෙනෙක් හිතන්න එපා කලින් මෙහෙට ආපු ඇදුරන් වගේ මම නම් ප්‍රගීත්ගෙන් ගුටි කාලා දුවාවි කියලා. ප්‍රගීත්ගේ ඇගේ භූතයෙක් ඉන්නවා නම් මම ඒ භූතයාව අවදි කරනවා. භූතයාට හොඳින් කාරණා කියා දී එයා ඉල්ලන දෙයක් දී යහපත් තැනකට පිටත් කරනවා. භූතයා හොඳින් නැතුව නරකින් ආවොත් අර වේවැල පාවිච්චි කරනවා. භූතයෙක් නම් කොච්චර ගැහුවත් ප්‍රගීත්ට රිදෙන්නේ නෑ.

ඇගේ පාර හිටින්නේ නෑ. උදේට ප්‍රගීත්ගේ ඇගේ එහෙම පාරක් හෝ සීරීමක්වත් තිබුණොත් මගේ ගාස්තුව මම ගන්නෙත් නෑ. හෙට ඉඳලා මේ රස්සාව කරන්නෙත් නෑ” යි කියා පිරිස පන්සල්හි පිහිටුවා තෙරුවන් ගුණ හා කරණීය මෙන්න සූත්‍රය කියා ඊළඟට තොවිලය පටන් ගත්තේ ය.

ප්‍රගීත් වෙනදා මෙන් ම ප්‍රලය වී නපුරු ගති පළ කරන්නට විය. ඔහුගේ බව ඔහුගෙන් ඈත් වී හිඳ ගත්තා ය.

“කවුද? මේ දඟලන්නේ?” යි සුනිල් ඇසුවේය.

“තෝ කවුද යකෝ මගෙන් අහන්නේ?” ප්‍රගීත් ශබ්ද නඟා ඇදුරාගෙන් ඇසීය.

“මම ද? මම කවුද කියලා උඹට පෙන්වන්නම්. හැබැයි අර මීට කලින් උඹෙන් ගුටි කාලා ගිය ජාතියේ මිනිහෙක් නම් නෙවෙයි.” කියමින් සුනිල් වේවැල අතට ගත්තේ ය.

“තෝව මම අල්ලලා පොළොවෙ ගහනවා” යි කියමින් ආතුරයා සුනිල්ට පහර දීමට ඔහු වෙතට පැන්නේ ය.

ආතුරයා ගේ පහර වළක්වා කෙස් වැටියෙන් අල්ලා ගත් සුනිල් පටාස්… පටාස්… හඬ දෙමින් ඔහුගේ පිට හරහා වේවැල් පහර දෙකක් එල්ල කළේ ය.

“අපෝයි… ගහන්න නම් එපා… කියන දෙයක් කරන්නම්” යැයි කියමින් ආතුරයා වැඳගෙන දණ ගසා ගත්තේ ය.

“හොඳයි, හොඳයි… දැන් ඉතින් කතා කරමු” සුනිල් කීවේය.

“මහත්තයෝ මොනවා කතා කරන්නද? මේ මගේ පුතා මගේ ගෙදර. මගේ ඉඩකඩම්”

“මේ කතා කරන්නේ කවුද?”

“මම විල්බට්”

“විල්බට් මොකද මේ ළමයගෙ ඇඟට ආවේ?”

“සුනන්දා ගෙන් පළිගන්න.

“කවුද සුනන්දා කියන්නේ?”

ආතුරයා ප්‍රගීත්ගේ මව දෙස රවා බලාගෙන සිටිද්දී “කපු මහත්තයෝ සුනන්දා ය කියන්නේ මට” යැයි ඇය කීවා ය.

“ඇයි මේ අම්මාගෙන් පළිගන්නේ?”

“අම්මා… අම්මා නොවෙයි මේකි හුම්මා. මං නැති වෙලාවෙ හොර මිනිහෙක් ලැහැස්ති කරගත්තා. මට සැලකුවේ නෑ. මම අසනීප වුණා. බේතක් හේතක් දුන්නේ නෑ. මං අකාලෙ මළා. මං මේකිගෙන් පළි අරගෙන මිසක් යන්නේ නෑ.”

“මේ කියන්නේ ඇත්තද?” සුනිල් සුනන්දාගෙන් ඇසුවේ ය.

“ඔය ඔක්කොම බොරු” සුනන්දා කීවාය.

“බොරු?” මං තොගේ උගුරු දණ්ඩ කනවා. පරට්ටී. තෝ දයාරත්නයට එකතු වෙලා මාව මැරෙන්න ඇරියා. බැල්ලී වල් පරට්ටී මං තෝව කනවා” යි භූතයා තර්ජනය කරන්නට වීය.

ඒ අවස්ථාවේ නිවසේ සිටි සියලු දෙනා මීයට පිම්බා සේ හ්ම් නැතුව තුෂ්ණිම්භූතව මේ අමනුස්සයාගේ කතාවට කන් දුන්හ.

“විල්බට්! විල්බට් ඔය කියන්නේ බරපතළ කතාවක්. මේ පවුල අවුල් කරන කතාවක්. මට කතාව සහසුද්දෙන් දැන ගන්න ඕනෑ. දැන් මේ ගෙයි ඉන්න සියලු දෙනාව ම ගෙයින් පිට කරන්නැ” යි කියමින් සුනිල් ආතුරයා අතට පොල් මලක් දුන්නේ ය.

“හේඞ හෙඞ හේ” යි වියරු සිනාවක් නැඟූ භූතයා ප්‍රගීත්ගේ මිතුරන්ටත් අනිකුත් අයටත් පොල් මලෙන් පහර දෙන්නට පටන් ගත්තේ ය.

සුනන්දාත් ඇගේ සැමියාත්, සුනිල් හා උදව්කරුත් හැරෙන්නට සියලු දෙනා ගෙයින් එළියට පැන දිවූහ. මිදුලේ ඈත කෙළවරක එක්ව සිටියහ.

“හොඳයි… විල්බට් දැන් කියමු කතාව බලන්න”

“මේකි… ගෙන් පළිගන්නකම් මගේ හිතට මදි. මේකි නටපු නැටුම්…”

“මේ කියන්නේ ඇත්තදැ”යි නැවත සුනිල් ප්‍රගීත්ගේ මවගෙන් ඇසීය.

“බොරු… “ යි ඇය බිම බලාගෙන කීවාය.

“මට නම් එහෙම පෙනෙන්නේ නෑ. මේ අහිංසකයාට මං දැන් පාරවල් දෙකක් ගහලා තියෙන්නේ තවත් බොරුවට නම් ගස්සන්න නම් එපා” කියමින් සුනිල් නැවතත් වේවැල අතට ගත්තේ ය.

“මහත්තයෝ විල්බට් අයියාට ගහන්න එපා. මම තමයි දයාරත්න. මං ඇත්ත කියන්නම්” යැයි සුනන්දාගේ සැමියා ඉදිරිපත් විය. මහත්තයෝ ඔය කියපු දේවල් ඔක්කොම ඇත්ත. විල්බට් අයියා ජීවත්ව ඉන්දැද්දී රජෙක් වගේ හිටියෙ. මේ පැත්තම බය කරගෙන. හැබැයි සුනන්දට වඩා විල්බට් අයියා හුඟක් වැඩිමල්. වයස අවුරුදු 35 වෙනකොට විල්බට් අයියගෙ කෙස් ටික ඔක්කොම සුදුවුණා.

මෙයා ඒ කාලෙ ගිනි කිරිල්ලී. දවසක් මම විල්බට් අයියා මුණ ගැහෙන්න උවමනාවකට මේ ගෙදරට ආවා. එතකොට ප්‍රගීත් පුංචි එකා. එදා සුනන්දා මට හොඳට සංග්‍රහ කළා. එදා අපි දෙන්නා අතරේ සම්බන්ධයක් ඇති වුණා. මෙයාගෙන් බේරෙන්න බැරි කමට මම විල්බට් අයියට හොරෙන් යන්න එන්න පටන් ගත්තා. විල්බට් අය්යාට යන්තමින් වගේ සැකයකුත් ඇති වුණා.

මේ මිනිහා අපිව මරාවි කියලා බයේ අපි දෙන්න ම රට රස්සා දෙකක් හදාගෙන පිට රටට පැනල ගියා. සුනන්දා විල්බට් අයියට සල්ලි ටිකක් එව්වා මාස් පතා. විල්බට් අයියා දරුවවත් හදාගෙන හිටියා.

අපි දෙන්නා සයිප්‍රස්වල හිටියේ එක ම කාමරේ. එකට ජීවත් වුණා. ඔහොම කාලයක් ඉන්න කොට විල්බට් අයියා හිතේ අමාරුවටත් එක්ක අසනීප ගාණට වැටුණ. මම මෙයාව ලංකාවට එව්වා. ඒත් මෙයා විල්බට් අය්යට හරියට සාත්තු සප්පායම් කර නැහැ. ඒ මනුස්සයා ඉක්මනින් මැරෙන්න ඉඩ ඇරලා. ඒ මාව ගෙන්න ගන්න උවමනාවට. ඒක ඒ විදිහට ම සිද්ධ වුණා. ඉතින් මහත්තයෝ අපි මේ ජීවත් වෙන්නෙත් විල්බට් අයියගෙ ගෙවල් දොරවල් ඉඩකඩම් වල. විල්බට් අයියාට කේන්ති ඇති. ඒකයි පළි ගන්න එන්නේ” යි දයාරත්න සියලු තතු හෙළි කළේ ය.

“ඉතින් විල්බට්. තමුසෙට විශාල අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා. ඒක අපි පිළිගන්නවා. ඒ වගේ ම තමුසෙට පාර දෙකක් ගහන්න සිද්ධ වෙච්ච එක ගැනත් මම දැන් කනගාටු වෙනවා. ඒත් එහෙම නොකළා නම් මෙහෙම ඇත්ත එළිදරව් වෙන්නෙත් නෑ. දැන් විල්බට් ගිය දේ ගියා. පරණ තරහ මරහ වෛර හිතේ තිබුණු නිසා තමයි තමුසෙ මේ දුගතියක ඉපදිලා දුක් විඳින්නේ.

තව තවත් මේ ගෙදර ම රිංගා ගෙන හිටියොත් දකින්න අහන්න ලැබෙන දේවලින් තමුසෙගෙ හිත තවත් නරක් වුණා. රිදුණා මිසක් යහපතක් වුණේ නෑ නේද?

“ඒක තමයි මහත්තයෝ. වෛරය තවත් වැඩි වුණා”

“එහෙම වුණා ම විල්බට් තමුසෙ තවත් අගාධයට වැටෙනවා. ඔය දුක්ඛිත ආත්මයේ කල්ප ගණනක් තවත් දුක් විඳින්න වෙනවා. ඒ නිසා මේ අයට සමාව දීලා වෛර සිත මෛත්‍රී සිතක් කරගෙන පින් දහම් කරන තැනකට ගියොත් නරක ද?” (සුනන්දා පැමිණ ඔහුගේ පාවැඳ සමාව ගත්තේ ය)

“ඒක නම් හොඳ තමයි” කියූ අමනුස්සයා තොවිලයට ගෙනා කුකුළා දෙස කෑදර ඇසින් බැලුවේය.

“මට තේරෙනවා විල්බට් කුකුල් බිල්ලට හිත ගියා නේද? කුකුළාව දැන් තමුසෙට දෙන්න පුළුවන්. හැබැයි එතකොට තමුසේ ප්‍රාණගාත අකුසලයට වැටෙනවා. එහෙම වුණොත් නම් හොඳ තැනකට යන්න ලැබෙන්නේ නෑ.” “එහෙමද? එහෙම නම් ඒකත් එපා… මෙච්චර දේවල් නැති වෙච්ච මට ඕකත් කජ්ජක් ද? ඒ වුණාට මට මගේ අනිත් දරුවෝ දෙන්නාත් දකින්න ඕනෑ. “ යි කියුවේ ය. මිදුලේ සිටි වැඩිමල් පුතා සහ දුව ද ඔවුන්ගේ අඹු සැමියත් හා දරුවන් ද සාලයට කැඳවීය.

“දුවේ! පුතේ! මම මේ උඹලව දකින අන්තිම වතාව. මං යනවා යන්නැ’යි කියමින් විල්බට්ගේ අමනුස්සාත්මය දුව, පුතා, බෑණා ලේලි සහ මුණුපුරු මිණිපිරියත් සිප හඬා වැළපී” එහෙනම් මම යනවා” යි හඬ නගා කීවේය. දූ දරුවන් බදාගෙන හඬා වැළපෙන හැටි බලා සිටි සුනිල් ගේ ද දෙනෙතට කඳුළු උණා තිබුණි.

“විල්බට් යන්න කලින් සත්‍යය පෙන්නලා යන්න…” කියූ සුනිල් පොල් මලක් ප්‍රගීත් ගේ අතට දුන්නේ ය. ඔහු ඒ පොල් මලෙන් සිය මුහුණට වේගවත් පහරවල් එල්ල කර ගන්නට වූයේ බලා සිටියවුන් විශ්මයට පත් කරවමිනි. පොල්මලේ නටුව පමණක් අතට ඉතුරු වන තුරුම පහර ගසා ගත් විල්බට්” මම වැඩිහිටි කන්දට යනවා” යි කියමින් නිහඬ වූයේ ය. “මට නිදිමතයි” කියමින් ප්‍රගීත් එතැන තිබූ පැදුරක දිගා වූයේ ය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: