Posted by: lrrp | December 8, 2009

උන්නැහේ! පොරොන්දු රකින්නේ මෙහෙමද?

මිනිස් ශරීරයට භූතයින් ගේ බලපෑම් කොයි තරම් දුරට හානිකර අන්දමින් ක්‍රියාත්මක වේ දැයි දිනපතා අප වෙත ගලා එන දුරකතන ඇමතුම් ප්‍රමාණයෙනුත්, ආධ්‍යාත්මීය බලයෙන් අසනීප සුව කරන ස්ථාවලට ඇදී එන රෝගීන්ගේ ප්‍රමාණයෙනුත් මොනවට පැහැදිලි වේ.

අද සමාජය පුරා වසා පැතිර ගෙන සිටින දියවැඩියාව, රුධිරාබාධ, සන්ධිගත රෝග (ආත ෙරෙටීස්) පිළිකා ආදී රෝගවලින් පෙළෙන්නෝ බොහෝ ය. මේ රෝගවලින් පෙළෙන පුද්ගලයන් බොහෝ දෙනා බටහිර ප්‍රතිකාර විධිවලට ම පමණක් නැඹුරුව සිටින බවක් පෙනේ.

සායන දිනයන්හි රෝහල්වල පෙළ ගැසී සිටින රෝගී පෝලිම්වලින් ද විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් පෞද්ගලික ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ප්‍රමාණයෙනුත් මේ බව පැහැදිලි වේ. අප මේ බව කියන්නේ බටහිර වෛද්‍ය විද්‍යාව හෑල්ලුවට පත් කිරීමට හෝ එම වෛද්‍යවරුන්ට පාඩුවක් හානියක් කිරීමේ ද්වේෂ සහගත චේතනාවකින් නම් නොවේ. සත්‍යය එය බැවිනි. රෝග හඳුනා ගැනීම්, හදිසි ශල්‍යකර්ම ආදියෙන් බටහිර වෛද්‍ය ක්‍රමයෙන් සිදුවන මෙහෙවර ද සුළු පටු නොවේ.

එසේ නම් ආයුර්වේද හා දේශීය වෛද්‍ය ක්‍රමයෙන් නිට්ටාවට රෝග සුව වේ දැයි ඊළඟට ප්‍රශ්න කෙරෙනු ඇත. ඇත්තට ම ජාතික වැඩ පිළිවෙළක් නැති රටක විදේශිකයින් ගේ ආර්ථික උවමනා සපුරා ගැනීම සඳහා විදේශවල සකස් කළ සැලසුම්වලට අනුව නිර්මාණය වූ වැවිලි කර්මාන්ත නිසා, විශේෂයෙන් ම තේ රබර් වගාවන් නිසා ඖෂධ පැළෑටි බොහොමයක් අද වඳ වී හමාර ය.

මලක් නොපිපෙන මල් (වල්) වගා නිසා අද ගෙවතුවල ඉඟුරු තිප්පිලි පැලෑටියක් දැක ගන්නට ලැබෙන්නේ ද කලාතුරකිනි. මේ හේතුව නිසා ම උදාහරණයක් ලෙස කීවොත් අද සිංහල බෙහෙත් බඩු කඩේ බටු මුල්වලට අලෙවි කරනුයේ වම්බටු මුල් ද නොවේ, වම්බටු ගසේ කඳ හා අතු ඉති කැපූ කැබිලිය.

තවත් ප්‍රධාන තම කාරණක් වී ඇත්තේ මිනිසාය, පුද්ගලයාය කියන සත්ත්වයා නිර්මාණය වී ඇති රූප – වේදනා – සංඥා – සංඛාර – විඤ්ඤාණි යන ස්කන්ධ පහෙන් වර්තමානයේ වෛද්‍ය ප්‍රතිකාර කෙරෙනුයේ රූපයට හෙවත් ඝන ශරීරයට ම පමණි.

අනිකුත් ප්‍රධාන ස්කන්ධ හතර පිළිබඳ සැලකිල්ලක් නොදක්වනවා පමණක් නොව බොහෝ දෙනෙකු තමන්ට පංචස්කන්ධයක් තිබෙනවා දැයි පවා දන්නේ නැත. ඊළඟ ගැටලුව ආධ්‍යාත්මීය ප්‍රතිකාරයන් ය. අතීතයේ බෝධි පූජා පැවැත්වූයේ රාත්‍රි නවයෙන් පසුවය. ඒ, දෙවියන් ගේ බැල්ම වැටෙන වේලාවන් අනුව ය. යම් යම් දේශපාලන කලබගෑනි නිසා ද සොර සතුරු උවදුරු නිනාද, ටෙලි නාට්‍ය නිසා ද අද බෝධි පූජා පවත්වනුයේ මළ පෙරේතයන් ගේ වේලාවලට ය.

දහවල් දොළහට බෝධි පූජා පවත්වන්නෝ ද නැත්තේ නැත. ඒවාට ම ගැළපෙන අති පණ්ඩිත තර්ක ද ගොඩ නගාගෙන ඇත. පිරිත් අහන්නේ ගුවන් විදුලියෙනි. කැසට් හෝ සී.ඩී. තැටි මගිනි. එය ද වාදනය වෙද්දී අසන්නා වෙනත් වැඩක නිරත වී සිටී. ඒ තරමට ම සමාජ ක්‍රමය විකාර වී පවතී.

අලුත් ජීවිතයක්, පවුල් සංස්ථාවක් ගොඩ නඟන විවාහ උත්සවය ද එසේ ම ය. විවාහ මංගල්‍යයක දී නැකතට බුලත් දීමේ පටන් දෙවැනි ගමන දක්වා සියල්ල සිදු කරනුයේ නැකතට මුල් තැන දීමෙනි.

මේ කටයුතුවලදී නැකැත් දහයක් දොළහක් ක්‍රියාත්මක වෙයි. (මඟුල් ගෙදර ප්‍රධාන ම කාර්යය වී ඇත්තේ පින්තූර ගැනීම බැවින් මේ සෑම නැකතක් ම නියම වේලාවට ක්‍රියාත්මක වන්නේ ද නැත.) මේ මංගල්‍යයක දී යුගල පුටුව මලින් සැරසීමට වියදම රුපියල් 15000/= හෝ 20000/= කි. මඟුල් ඇඳුම් අන්දවන්නට ම රුපියල් 40000/= හෝ 50000/= කි. පින්තූර ගැනීමට ද අනිකුත් විච්චූර්ණවලට ද එසේ ම ය.

එහෙත් මේ සියලු නැකැත් සකස් කැර දෙන ඡ්‍යොතීර්වේදියාට දෙන්නේ රුපියල් 100 කි. එක නැකතක් පොල් බෑයකටත් වඩා අඩු වටිනාකමකි. මේ අපේ හැටිය.

වෙනදා කෙටි කතාවක ස්වරූපයෙන් ඔබේ “සිත්මල් යාය” සරසන “පියවි ඇසින් ඔබ්බට’ අද මෙතෙක් විස්තර කළේ ජීවිතයේ අත්‍යවශ්‍ය ම කාරණාවලදී පියවි ඇසින් නොබලන ජාත්‍යන්ධයන් ගේ කෙරුම්වලින් අල්ප මාත්‍රයක් පමණි. මේ අතර ම ආධ්‍යාත්මීය ක්‍රම මගින් රෝගාබාධ සුවපත් කැර ගැනීම පිළිබඳව බටහිර ක්‍රමයේ සමහර වෛද්‍යවරුන් පවා ගෞරවනීය ලෙස අවධානය යොමු කැර ඇති බවද ඔවුන්ට ගෞරවයක් වශයෙන් සඳහන් කරමු.

”අනේ! හාමුදුරුවනේ! අපේ වෛද්‍ය ක්‍රමයෙන් කරන්න තියෙන ඔක්කොම දේවල් කරලා කිසි ම සනීපයක් නැති නිසා අපේ අම්මගෙ අසනීපයට ඔබ වහන්සේ ළඟට එක්ක ගෙන ආවා” යි ලංකාවේ නීති ක්ෂේත්‍රයේ උපරිම මට්ටමේ වැදගත් මහත්මයකු ගේ අවංක දොස්තර පුතෙකු පසුගිය දා ගස්නාවේ ඤාණානන්ද හිමියන් ඉදිරියේ කළ ප්‍රකාශය ද පියවි ඇස්වලට යොමු කරමි. ඒ හිතන්නට ය.

කාලයක් තිස්සේ විවිධ ප්‍රතිකාර ක්‍රම සඳහා රුපියල් ලක්ෂ ගණන් වැය කොට පස්ස බිම ඇනුණු පසු දෙයියන් බුදුන් සිහිවන්නේ අන්තිමට ය. ඒ වන විට රෝගියාගේ සමහර ශරීරාංග පවා අස්ථාන ගතව ඇත. මෙයින් බොහෝ දෙනෙකු ආධ්‍යාත්මීය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණ ගස්නාවේ ඤාණානන්ද හිමියන් ඉදිරියේදී ද කට්ට කපටි කෛරාටිකකම් කරති.

”අනේ හාමුදුරුවනේ: අපි වෛස්‍ය ප්‍රතිකාරවලටත්, ඇදුරුකම්වලටත් වියදම් කරල දැන් නැත්තට ම නැති වෙලා. දැන් එදා වේල හොයා ගන්න බැරි තත්ත්වයකයි ඉන්නේ. ඔබ වහන්සේට බුදු බව ම ලැබෙනවා අපේ ලෙඩා සනීප කැර දෙන්නැ” යි කියමින් ගස්නාවේ නාහිමියන්ට නියත විවරණ දෙන්නෝ බොහෝ ය. උන් වහන්සේ “බුදු” කැර නොමිලේ ම වැඩ කැර ගෙන පැන යන්නට ගිය කෙනකු ගේ කතාවකි මේ.

ඇය බාහිර උපාධිය සඳහා අධ්‍යාපනය හදාරමින් සිටි යෞවනියකි. එහෙත් ආච්චි අම්මා කෙනෙකු සේ දෑස් යට ගිලී, හොඹු ඇකිළී, තුන් කුදු ගැහී, නැගිට ගන්නට බැරිව මවු පියන් හා පෙම්වතා විසින් ඔසොවා ගෙන අතුරුගිරිය විපස්සනා භාවනා මධ්‍යස්ථායට ගෙන එනු ලැබිණි. ගස්නාවේ නාහිමියන් ඉදිරිපිට පැදුරේ හොවා ලූ මේ විසි හැවිරිදි තරුණිය දෙස අනුකම්පාවෙන් බැලූ නාහිමියෝ පිරිත් සූත්‍ර පාඨයක් සජ්ඣායනය කරන විට ඇය ප්‍රලය වී අඬන්නට වූවා ය.

”අනේ! මට බෑ. මට බෑ. මට යන්න නම් බෑ. මට යන්න බෑ” යි අඬන්නට වූවා ය.

”මොකද? මොකද? මේ අපි තව ම යන්න කියල කිව්වෙත් නැහැනෙ” හාමුදුරුවෝ කීහ.

”අනේ! හාමුදුරුවනේ! මට යන්න නම් කියන්න එපා.”

”හරි. හරි. ඊට ඉස්සෙල්ල කියමු බලන්න කවුද මේ ළමයගෙ ඇඟට රිංගා ගෙන ඉන්නේ? කවුද මේ ආච්චි අම්මා?”

”හෙඞ… හෙඞ… හේ… ආච්චි අම්මා නොවෙයි. සීයා.”

”ආ… කව්ද? මේ තුන් කුදු ගැහුණු, හොඹු ඇකුළුණ සීයා?”

”මම ද?”

”ඔව්! ඔව්! නැතුව මම යැ”

”මම ද? මාව පන්නන්නෙ නෑ නේද?”

”මේ මේ කාලෙ නාස්ති නොකර ඉක්මනින් කියනවා මේ දැරිවිට හිරි හැර කරන්නේ්කවුද කියලා”

”මම ඇඩ්ඩින් සිංඤෝ”

”ඇඩ්ඩින් සිංඤො මොකද මේ ළමය ගෙ ඇඟට රිංගුවේ?”

”මං රිංගුවේ නෑ. හරමානිසා මාව රිංගෙව්වා”

”ඒ මොක ද?”

”මේකි ලස්සනයි. හොඳට ඉගෙන ගන්නවා. මේකිගෙ දස්සකම් ගැන ඉරිසියාවෙන් මේකිගෙම නෑදෑයෙක් හරමානිසාට කියලා ටොපියක් මතුරවලා උන්ගෙ දුවෙක් ලව්වා මේකිට දුන්නා. මේකි ඒක කෑවා. මාව ඒ ටොපියට බන්ධනය කරලයි දුන්නේ. මම දැන් මේකිගේ යුෂේ උරා බොමින් මේකිගෙ බඩට වෙලා ඉන්නවා.”

”මහා පව්කාර වැඩක්. ඇඩ්ඩින් සිංඤෝ. ජීවත්ව ඉන්දැද්දිත් පිනක් දහමක් නොකළ නිසා මළ පෙරේතයෙක් වෙලා උපන්නා මදිවට දැනුත් මේ ළමයව මරා ගෙන යන්න ද හදන්නේ?”

”අනේ හාමුදුරුවනේ! මටත් වෙලාවකට මේකි ගැන පව් කියලා හිතෙනවා. මාව බන්ධනය කරලා නිසා මට යන්නත් බැහැනෙ.”

”ඇඩ්ඩින් සිංඤෝ! ඔය කෙල්ලෝ හැඩ වැඩ වෙලා හිටියට ඔය ශරීරය මහා ජරාවක්. අසූචි වළක්. ඔය අසූචි වළේ ජරාව කකා ඉන්නවාට වඩා හොඳයි ඔයිට වඩා උසස් තත්ත්වයකට යන්න. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟට ගිහින් පිනකට දහමකට යොමු වෙලා දිව්‍ය ලෝකෙ සුරංගනාවන් අතරට යන්න”

”ඒ කොහොමද?”

”මම මේ කෙල්ලගෙ තාත්තාට කියලා හිල් දානයක් දීලා ඇඩ්වින් සිංඤොට පින් අනුමෝදන් කරවන්නම්”

”එතකොට සුරංගනාවියන් අතරට යන්න පුළුවන් ද?”

”ඔව්! ඔව්! පුළුවන්.”

”හොඳයි හොඳයි එහෙනම් මම යන්නම්”

භූතයා තරුණිය කෙරෙන් ඉවත් වීය. තරුණියගේ මහලු ගති අතුරුදහන් විය. ඇය නැගිට්ටාය. නැගිට ඇවිද්දාය. මෙය බලා සිටි ඇගේ පියා වියරුවෙන් මෙන් හිනාවෙන්නටත් නටන්නටත් විය. ඇගේ පියා ද භූතාරූඪයකින් ප්‍රලය වී ඇතැයි පෙනෙන්නට විය.

එහෙත් ඇත්තට ම සිදු වී ඇත්තේ ඔසවාගෙන පැමිණි දියණිය සුවපත් වී නැගිට ඇවිදින හැටි බලා සතුට උසුලාගත නොහැකි වීමෙන් දඟලන්නට වීමය.

”හාමුදුරුවනේ! ඔබ වහන්සේ බුදු වෙනවා. බුදු වෙනවා. බුදු වෙනවාමයි. මේ කරපු උදව්වට.”

”හරි හරි ඒක මම බලා ගන්නම්. දැන් තමුන් පොරොන්දු වෙන්න ඕනෑ. ගමේ පන්සලට හීල් දානයක් දීලා පැන් වඩලා මේ ඇඩ්වින්ට පින් අනුමෝදන් කරනවයි කියාලා. ඊට පස්සෙ අනුරාධපුරයට ගිහින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට, කළු දේවතා බණ්ඩාර දෙවියන්ට පුද පූජා සත්කාර කරන බවට.”

”එහෙයි අපේ හාමුදුරුවනේ! ඒ විතරන් නොවෙයි. මම මේ පන්සලේ කඨින පිංකමට කිතුල් පිටිත් අරගෙන එනවා. මම ඉන්නේ රත්නපුරේ. එහේ කිතුල් පිටි තියෙනවා. මම ඒවත් අරගෙන කඨින පිංකමට එනවා” යි පොරොන්දු වී දියණිය ද කැටිව නාහිමියන් වැඳ ආපසු ගියේය.

එයින් සුවපත් වූ තරුණිය සිය දෛනික කටයුතු මැනවින් කරමින් අධ්‍යාපන කටයුතුවල ද නියැළුණා ය. එහෙත් මාසයකට පසු යළිත් හොඹු ඇකිළී කුදු ගැසී ගමන් කරන්නට වූවාය.

ඊට පසු දින නිවැසියන් විසින් යොදාගෙන තිබූ වෙනත් ගමනක් යද්දී ඒ වාහනය තුළ දී තරුණිය යළිත් ප්‍රලය වී, රියැදුරා ගේ ඇඟට පැනීම නිසා වාහනය පෙරළෙන්නට ගොස් බේරා ගත්තේ අනූනවයෙනි. යන්නට ගිය ගමන නතර කොට ඒ වාහනයෙන් ම නැවත ඇය ගස්නාවේ නාහිමියන් වෙත කඳවා ගෙන එනු ලැබුණි.

”ඇඩ්ඩින් සිංඤෝ මොකද මේ ආයෙමත් මේ ළමයට හිරි හැර කරන්නේ? එදා පොරොන්දු වෙලා නේද ගියේ මේ ළමයගෙ ඇඟෙන් ඉවත් වෙනවා ය කියා.” යි නාහිමියෝ ඇසූහ.

”එහෙම තමයි හාමුදුරුවනේ! පොරොන්දු කියන්නේ”

”මොකක්ද ඒ කතාව?”

”හාමුදුරුවනේ! මේකිගෙ අප්පා මහා කට්ට කපටි කෛරාටිකයා. බොරුකාරයා. ඔබ වහන්සේට මතක නේද? මෙතන නටපු හැටි සතුට ඉහවහා ගිහින්. එදා ඔබ වහන්සේ ඉදිරියේ පොරොන්දු වුණා ගමේ පන්සලට හීල් දානයක් දීලා මට පින් දෙනවැයි කියලා. ඔබ වහන්සේට මතකද? මූ ඒ දානය දුන්නේ නෑ. ඒ පංසලේ වැඩ ඉන්නේ හාමුදුරු දෙනම යි. මූ ඒ හීල් දානය දුන්නේ නෑ. ලෝබයා.

හාමුදුරුවනේ! අපි නොවෙයි පෙරේත. මෙන්න මුං තමයි මළ පෙරේතයෝ. මූ අනුරාධපුරයේ යන්න පොරොන්දු වුණා. ගිහින් කිරිපිඩු දානයක් දෙනවැයි කියලා. ඒ ගියෙත් නෑ. මතකද? ඔබ වහන්සෙට කිතුල් පිටිත් අරගෙන කඨින පින්කමට එනවැයි කීවා.

ආවද? මූ හරි බොරුකාරයා. ඔබ වහන්සේවත් රැවටුවා. මාවත් රැවටුවා. දෙයියන් බුදුනුත් රවටන බොරුකාර කපටියෙක් මූ. ඒ හින්ද අද මුන් වෙන ගමනක් යද්දි මම වාහනය පෙරළන්න හදලා තමයි මේ එක්කර ගෙන ආවේ.” යි තරුණිය ප්‍රලයෙන් කීවා ය.

”භූතයා කීවේ සහතික ඇත්ත නේද?” හාමුදුරුවෝ ඇසූහ.

තරුණිය ගේ පියා පය මහපටැඟිල්ලෙන් පොළව හාරන්නට තැත් කරයි. එහෙත් ඒ පන්සලේ බිම ඇතිරූ පිඟන් ගඩොල හාරන්නට ඔහුගේ නිය අපොහොසත්ව ඇත. ඔහු නිහඬව සිටියදී ඔහු ගේ බිරිය එහෙමයි හාමුදුරුවනේ!” යි මිමුණුවා ය.

”හා… හොඳයි දැන් ගිහින් ඒ දානය දීලා ඇඩ්ඩින් ගේ ආත්මයට පින් අනුමෝදන් කරන්න. අනුරාධපුරෙත් ගිහින් එන්නැ” යි හාමුදුරුවෝ පැවසූහ.

”එහෙමයි හාමුදුරුවනේ! එතකල් දුව ආයෙත් සනීප කර දෙන්නැ” යි පියා ගේ බැල්ම තේරුම් ගත් මව ඉල්ලා සිටියාය.

”හේඞ.. හෙඞ…. හේ…” ඒ ඇඩ්ඩින් සිංඤෝගේ ප්‍රතිචාර යයි.

”මට බැහැ බූතයන්ට වුණත් බොරු පොරොන්දු දෙන්න. තමන්ගෙ පොරොන්දු ඉෂ්ට කරලා ම එන්නැ” යි හාමුදුරුවෝ කීහ.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: