Posted by: lrrp | December 27, 2009

තැන් මාරු කළත් ඉන්නා තැන සොයා පස්සෙන් යන ගැරඬියෙක්

මිනිස් ජීවිතයක ආරම්භයේ පහළ වන මූලික ප්‍රකෘති සිත ඉතා ම පිරිසුදුය. එයට අතීතය හා අනාගතය පවා දැකීමේ පුදුම ප්‍රබල ශක්තියක් ඇත. උපදින විට ම හඬාගෙන එන දරුවාට කුසගින්න හා පිපාසය හේතු කොට ගත් වේදනාවෙන් සිත දුක්ඛ සහගතව ගැටීමට ලක් වේ. මවු කිරි හෝ වතුර ටිකක් ලැබීමෙන් සුබ සහගතව ඇල්ම හට ගනී. ඉන් පසු සීතල හේතු කොට ගෙන උණුසුම ඉල්ලා හඬයි. සීතල නිසා දුක ද දුක නිසා ගැටීම ද හට ගනී. උණුසුම නිසා කැමැත්ත ද ඒ කැමැත්ත නිසා ඇලීම ද හට ගනී.

මුළු ජීවිතය පුරා ම තණ්හාව මුල් කොට ගත් ඇලීම හා ගැටීම නිසා පිවිතුරු ප්‍රකෘති සිත අපිරිසුදු වී ඒ කෙලෙස් දුහුවිල්ලෙන් සිතේ් ශක්තිය දුර්වල වේ. ඇස, කණ, නාසය, දිව, ශරීරය හා මනස යන ඉන්ද්‍රිය සයේ ස්වභාවය අරමුණු ගැනීම ය. ඇසේ පිහිටා ඇති දැනීමේ ශක්තිය සිතේ ඇති තණ්හාව හා සම්බන්ධ වීමෙන් දකින රූපයක් හේතු කොට ගෙන මනාප ඇලීමක් හෝ අමනාප ගැටීමක් ඇති කැර ගනී. අනිකුත් ඉන්ද්‍රියයන් ගේ කාර්ය භාරය ද එසේමය. මෙසේ ක්ෂණයක් පාසා රැස් කරන්නා වූ ඇලීම් හා ගැටීම්වලින් එකක් චුති චිත්තය වශයෙන් මරණයේ දී සිතට අරමුණු වුවහොත් ඔහුගේ හෝ ඇගේ ඊළඟ ප්‍රතිසන්ධිය ද එසේ ම ඊට අනුකූලව සිදු වන බව බුදු දහමෙහි සඳහන් වේ. අපේ ගවේෂණයන්හි දී අනාවරණය වූ එවැනි සිද්ධියකි මේ.

පුංචප්පු බෙලිඅත්ත ප්‍රදේශයේ ජීවත් වූ ගැමියෙකි. ඔහු කිසි ම කෙනෙකුට කිසි ම උදව්වක් නොකරන අමුතු ම ජාතියේ මිනිහෙකි. ගමේ කිසි ම කෙනෙකු ගේ ගෙදරකට මරණයකට හෝ මගුල් තුලාවකට හෝ යන්නේ ද නැත. පන්සලකට හෝ දේවාලයකට පවා යන්නේ ද නැත. වයස් ගත වන විට සොබාවිකව ඇති වූ ලෙඩ රෝගයක දී ඔහුට සාත්තු සාප්පායම් කළ දියණියට පවා පොඩ්ඩ වැරදුණු හැටියේ

“අපොයි මට තෝව කන්න, තොගේ මාලු කන්න, ලේ බොන්න ඕනැ” යි කෑ මොර ගසයි. මොහුගේ මේ නපුරු දුෂ්ට ගති ගුණ පිළිබඳව බිරිය හා දරුවෝ කර කියා ගත හැකි දෙයක් නැතිව ළතැවූහ. එසේ ම ඔහුගේ බිරිය ගේ හා දරුවන්ගේ ඇති ගුණ යහපත්කම් නිසා ගම්වාසීහු මේ ගෙදර සෑම වුවමනාවකට ම ඔහු ගැන නොතකා හිතවත්ව සහභාගි වූහ.

පුංචප්පුගේ තිබුණු තවත් දුර්ගුණයක් වූයේ තරාතිරම නොබලා සෑම භික්ෂුන් වහන්සේ නමකට ම අපහාස මුඛයෙන් කතා කිරීම ය. එහෙත් පුංචප්පුගේ බිරියත් දරුවෝත් ගමේ පන්සලේ කුදු මහත් සෑම කටයුත්තකදී ම පරිත්‍යාගයෙන් සහභාගි වූ දායකයෝ ය. පන්සලේ හාමුදුරුවන්ගේ ප්‍රසාදයට ලක් වූ ශ්‍රද්ධා භක්තිවන්තයෝ ය. මේ අතර පුංචප්පුගේ බිරිය මිය ගියා ය. ගමේ කාගේත් සහභාගිත්වයෙන් ඒ අවමංගල්‍යයේ කටයුතු සිදු විය. බෞද්ධ චාරිත්‍රවලට අනුව ස්වාමින් වහන්සේ වඩමවා පාංශුකූල කටයුතු සිදු කළහ.

උන් වහන්සේ ද අනිත්‍ය ප්‍රතිසංයුක්ත ධර්ම දේශනයන් හිදී මිය ගිය උපාසිකාවකගේත් දරුවන්ගේත් ගුණ වැණූහ. අවසානයෙ පාංශුකූල රෙදිකඩ පූජා කරන අවස්ථාවේ “මේක ගෑනුන්ට යට ගවුම් මහන්න දෙන්න නම් එපා” යැයි පුංචප්පු හඬ නගා කීවේ ය. ගමේ කාගේත් ගෞරව ප්‍රසාදයට ලක්ව සිටින ඒ සිල්වත් ගුණවත් භික්ෂුන් වහන්සේ ඉතා ම ඉවසීමෙන් හා කරුණාවෙන් මිය ගිය තැනැත්තියට පින් අනුමෝදන් කොට නැගිට යන්නට ගියහ.

කාලය ඉක්ම යද්දී පුංචප්පු ද වයස් ගතව රෝගාතුර වෙන්නට විය. කිසි ම දවසක පන්සලකට ගොස් මලක් පහනක් පූජා නොකළ පිනක් දහමක් නොකළ පියා ගැන කනගාටු වූ දරුවෙකු තමන්ගේ නිවසේ පිරිතක් හා දානයක් සූදානම් කොට නියමිත දිනයේ සවස ත්‍රිරෝද රියකින් පියා කැඳවා ගෙන ගියේය. පිරිත නොරිස්සූ පුංචප්පු රාත්‍රි කෑම කා කිසිවෙකුට නොදන්වා පයින් ම ගෙදර ගියේ ය. ඒ ඔහුගේ ගතියයි.

තවත් දියණියක් සමඟ වෛරයෙන් පසු වූ පුංචප්පු ගෙදර සිටින පුතා අමතා “මම මැරුණු දාට උඹ මගේ මිනී පෙට්ටිය ඇතුළේ හතර කොනේ බිත්තර හතරක් තියාපං. මං නයෙක් වෙලා ඇවිත් අරකිගෙන් පළිගන්නවා” යැයි නිතර කීවේ ය.

පුංචප්පු ඔත්පලව මාස ගණනක් දුක් වින්දේ ය. දරුවෝ උණු පැනින් නාවා ශුද්ධ පවිත්‍ර කොට සාත්තු සප්පායම් කළහ. එහෙත් පුංචප්පුගේ මුවින් පිට වූයේ තරහ වෛරය මිශ්‍ර වචන ම ය. පුංචප්පු මළේ ය. දරු මුණුපුරෝ ගම්වැසියන් ගේ සහයෝගය ද ඇතිව අවසන් කටයුතු කළහ. පන්සලේ හාමුදුරුවෝ ආගමික වතාවත් ඉටු කළහ. දරුවන්ගේ ගුණ යහපත්කම් නිසා පුංචප්පුගේ අවසන් කටයුතු ලස්සනට සිදුවිය.

අවුරුද්දකට පමණ පසු මේ ගෙදරට නයෙක් ආවේය. එහෙත් පැමිණි දවසේ ම මුගටියෙකුගේ ගොදුරක් බවට පත් විය. වසරක් පාසා මේ නයාගේ පැමිණීමත් මුගටියෙකුගේ ගොදුරක් බවට පත්වීමත් නිරන්තරයෙන් සිදු විය. මේ නයා පුංචප්පුගේ පුනරාවතරණය දැයි අපි නිශ්චිතව ම නොදනිමු. එහෙත් අනුමාන ලෙස සිතිය හැකි අතර ගම්මුන්ගේ අදහස නම් එය ම ය. තමන් අමනාප ;ද් අතහැර දමනු විනා ඒ සමඟ ගැටීම නිසා, ද්වේෂය නිසා නපුරක් සිදු වන්නේ ද තමන්ට ම විනා අනුන්ට නොවේ. අපි ඊළඟට ඇලීම පිළිබඳව ද ප්‍රායෝගික සත්‍ය සිද්ධියක් විමසා බලමු.

ෂෙල්මි බර්ගර් ජාතික තරුණියකි. පියාගේ මරණයෙන් පසු මෑණියන් සමඟ ඇය හෝමාගම ප්‍රදේශයේ ජීවත් වූවාය. බාලා ද්‍රවිඩ ජාතික තරුණයෙකි. මේ දෙදෙනා අතර ගොඩ නැගුණු සම්බන්ධයට මෑණියන්ගෙන් විරෝධතාවක් පැන නැගුණේ ද නැත. පෞද්ගලික ආයතනයක රියැදුරෙකු ලෙස රැකියාව කළ බාලා ෂෙල්මි සමඟ විවාහ වී ඉතා ම ආදරයෙන් පවුල් ජීවිතයක් ආරම්භ කළේ ය.

ෂෙල්මි පල්ලි යන විට බාලා ද ඇය සමඟ ගියේ ය. බාලා කෝවිලට යන විට ෂෙල්මි ද ඔහු සමඟ ගියා ය. ආදරය ඉහ වහා ගිය මේ තරුණ යුවළගේ සතුට සැනසුම ඔවුන් ජීවත් වූ නිවස පුරා පී‍්‍රතියෙන් සිනහවෙන් දෝරේ ගැලුවා යැයි කීවොත් අතිශයෝක්තියක් නොවේ. එහෙත් කිසිවෙකු නොසිතූ නොපැතූ පරිදි බාලා බරපතළ රිය අනතුරකට මුහුණ පෑවේය.

පොලීසිය පැමිණ ඔහු රෝහලකට ගෙන යද්දීත්, රෝහලේ දී අවසන් හුස්ම හෙළන තුරුත් ඔහු මිමිණුවේ “ෂෙල්මි… ෂෙල්මි…” යන වචනය ම පමණි. එහෙත් ෂෙල්මිට පණිවුඩය ලැබී රෝහල වෙත යන විට බාලා මෙලොවින් සමු ගෙන තිබිණි.

බාලාගේ මරණයෙන් පසු ෂෙල්මි තනි වූවා ය. එය ෂෙල්මිගේ මෑණියන්ටද මහත් බරක් විය. තරුණ දියණියගේ ආරක්ෂාව හා පැවැත්ම සඳහා ස්වාමි පුරුෂයෙකු ගේ අත්‍යවශ්‍යතාව මෑණියෝ නිතර මෙනෙහි කළාය. අවධාරණය කළාය. බාලාගේ මරණයෙන් වසරකට පමණ පසු ෂෙල්මි සිංහල තරුණයකු සමඟ නැවත විවාහ වූවාය. ඒ විවාහයෙන් මාස කීපයකට පමණ පසු දිනක් ෂෙල්මි කුස්සියේ ඉවුම් පිහුම් කරමින් සිටිය දී පැමිණි ගැරඬියෙක් ජනේලයේ මැද පොල්ලේ වෙලී ෂෙල්මි දෙස බලා සිටියේ ය. බියපත් වූ ෂෙල්මි කුස්සියේ වැඩ අත් හිටුවා සාලයට පැමිණ මෑණියන්ට ඒ බව කීවා ය.

දියණියත් මවත් කුස්සියට ගොස් නැවත බලද්දී ගැරඬියා ඉවතට ඇදී යමින් සිටියේ ය. ඉන් පසු සමහර දිනවල ෂෙල්මිගේ ඇඳුම් රාක්කයේ සිට ද තවත් දිනවල පිඟන් රාක්කයේ සිට ද ෂෙල්මි දෙස බලා සිටියේ ය. ගැරඬියා ගේ හිරිකිත ස්වභාවය නිසා ෂෙල්මිට ඇඳුම් රාක්කයේ ඇති ඇඳුම්, පිඟන් රාක්කයේ ඇති පිඟන් කෝප්ප පවා පිළිකුල් විය. මේ ගැන නිතර නිතර කතා කිරීම නිසා ඇයට මානසික රෝගයක් ඇතැයි සිතූ ඇගේ සැමියා ඇය මනෝ වෛද්‍යවරයකු වෙත ගෙන ගියාය. මේ හිරිකිත සතාගේ පිළිකුල් බව නිසා ෂෙල්මි නිතර නිතර දෑත් සේදීමටත්, ශරීරය පිරිසුදු කිරීමටත් ඉබේම හුරු වූවාය.

මේ මානසිකත්වය මත ඇය එක ම කාර්යය නිතර නිතර සිදු කරන්නට හුරු වීම නිසා ඇයට ඕ.සී.ඩී. නමැති මානසික රෝගය ඇතැයි මනෝ වෛද්‍යවරයා නිගමනය කළේය. මේ වන විට ඇය පස් හැවිරිදි දියණියකගේ මවකි. මේ ගැරඬි කරදරයෙන් මිදීම සඳහා හෝමාගම, බණ්ඩාරවෙල ආදී ප්‍රදේශවල ගෙවල් මාරු කරමින් පදිංචිය වෙනස් කළත් ගැරඬියා ඇය සොයා ආවේ ය.

මෙය තමන්ට මහත් හිරිහැරයක් යැයි කියූ ඇගේ සැමියා දියණිය ද රැගෙන ඇය අත්හැර ඔහුගේ නිවසේ පදිංචියට ගියේය. එහෙත් සමහර අවස්ථාවල ෂෙල්මිට උදව් උපකාර ද කළේය.

හෝමාගම සිට බණ්ඩාරවෙල පදිංචියට ගිය විට ගැරඬියා එහි ද ගියේ ය. බණ්ඩාරවෙල ද ස්ථාන කීපයකට ම පදිංචිය මාරු කළත් මේ ගැරඬි කරදරය අවසන් නොවීය. අන්තිමේ ෂෙල්මි බණ්ඩාරවෙල අතහැර ගම්පහ පදිංචියට ආවා ය. මහල් නිවාසවල පදිංචි වුව ද මාස කීපයක් ගත වන විට ගැරඬියා ඇය සොයා ආවේ ය. ගම්පහ ද අතහැර ගිය ඇය දැන් පදිංචිව සිටින්නේ එකොළොස් වැනි නිවසේ ය. මේ ලිපිය ලියන අවස්ථාවේ ද (2009 නොවැම්බර් මාසය) ගැරඬියා ඇය සොයා ගෙන පැමිණ ඇත.

ෂෙල්මි ක්‍රිස්තු ධර්මය අදහන්නියකි. මියගිය බාලා හින්දු ධර්මය ඇදහූවෙකි. මේ කාලය තුළ ෂෙල්මි මන්ත්‍ර ගුරුකම් සඳහා විය පැහැදම් කොට ආර්ථික වශයෙන් නැත්තට ම නැති වී සිටින්නී ය. ක්‍රිස්තියානි ආගමික පිළිවෙත්, හින්දු හා දෙමළ පිළිවෙත් හා බෞද්ධ පිළිවෙත් ආදී හැම එකක් ම සිදු කළත් සහනයක් නොලද බව ෂෙල්මි කියන්නී ය.

මේ සිද්ධිය පිළිබඳ ගවේෂණාත්මකව සලකා බලන විට ඇගේ පළමු සැමියා ගැරඬියෙකු වී ඉපිද ඇය කෙරෙහි බැඳුණු ඇල්ම නිසා ඇගේ පසු පසින් ගමන් කරනවා යැයි කෙනෙකුට සිතන්නට පුළුවන. එහෙත් සාමාන්‍ය ගැරඬියෙකුට හෝමාගම සිට බණ්ඩාරවෙල දක්වා නිරුපද්‍රිතව යා හැකි ද? බණ්ඩාරවෙල සිට ගම්පහට පැමිණිය හැකි ද? එසේ ඇය සොයා යෑමට මෙවැනි තිරිසන් සතෙකුට ඇති සුවිශේෂ දැනුම හා ශක්තිය කුමක් ද? මේ එක ම ගැරඬියා ද? කිහිප දෙනෙක් ද?

නීච සතෙකු ලෙස සලකන ගැරඬියා සිරුරට ආවිශ්ට වන පහත් මට්ටමේ භූතාත්මයක් ද? ගැරඬියකු වාහනය කර ගත් එවැනි භූතාත්මයක් ද? යන ප්‍රශ්න පැන නඟී. එසේත් නැතිව මේ මිය ගිය පළමු ස්වාමිපුරුෂයා යැයි අනුමාන කිරීම හෝ නිගමනය කිරීම කොයි තරම් දුරට නිවැරදි ද? සාධාරණ ද? නොඑසේ නම් මේ කාරණා සියල්ලට ම පරිබාහිර වෙනත් හේතුවක් දැයි ෂෙල්මි නොදනී. අපට ද තවම නිගමනය කළ නොහැකි ය.

මේ ලිපිය අවසන් කරන්නට මොහොතකට පෙර මම දුරකතනයෙන් ෂෙල්මි ඇමතුවෙමි. (මා ඇය දැක නැත.) “අනේ! මහත්තයා! මේ සතා තාම මගේ පස්සෙන් එනවා. මට කිසි ම සහනයක් නෑ. මං අන්තිමට ම අසරණ වෙලා…” යි ඉකිබින්දාය. පින් කැමති මන්ත්‍ර ධරයෙකුට හෝ ආගමික පිළිවෙතකට තවමත් ඉඩ ඇත.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: