Posted by: lrrp | January 11, 2010

‘සුගතිය’ – ‘දුගතිය’ ඇත්තේ මෙලොව පමණක් නොවේ!

මහමෙව්නා භාවනා අසපුවේ
පදවියේ සාසනවංශ හිමි

‘සුගති’ කියූ පමණින් අපි එය දිව්‍ය ලෝක හා මනුෂ්‍ය ලෝකය බව හඳුනමු. දුගති ලෙස, පේ‍්‍රත ලෝක, තිරිසන් ලෝකය සහ නිරය ද හඳුනමු. මෙසේ අප හඳුනන්නේ අපගේ ශාස්තෘ වූ ශාක්‍ය මුනින්ද්‍රයන් වහන්සේ විසින් අපට මෙම සුගති හා දුගති ගැන කරණු හෙළිදරව් කර දී තිබෙන නිසා ය. එසේ වුව ද අද බොහෝ දෙනා සුගති හා දුගති තම තමන්ට අවශ්‍ය විදිහට අර්ථ දැක්වීමට ගොස් අමාරුවේ වැටෙමින් සිටින අයුරු අපට දැකගන්නට පුළුවන. ඔවුන් පවසන්නේ දිව්‍ය ලෝකයත් අපායත් යන සියල්ල මේ මනුෂ්‍ය ලෝකයේම පවතින දේ බව ය. මිනිසුන් අතර ඉතා සුඛෝපභෝගි ජීවිත ගතකරන අය දෙසට ඇඟිල්ල දිගු කරමින් ඔවුහු ‘අන්න දිව්‍ය ලෝකය යැයි’ පවසති. ඉතා දුක්ඛිත ජීවිත ගත කරන මිනිසුන් දෙසට ඇඟිල්ල දිගුකර ‘අන්න අපාය’ යැයි පවසති. ඇත්තෙන්ම මෙය සැබෑවට පවතින තත්ත්වය නොව, විකෘතියකි, කල්පිතයකි. විශ්වාසයක් පමණකි. නමුත් බුදුරජාණන්වහන්සේගේ් දේශනාව අන්තර්ගත සූත්‍ර පිටකය කියවනවිට සුගති දුගති ලෝක ගැන සහ ඒවායේ ඇති සැපදුක ගැන ප්‍රමාණවත් දැනුමක් ලබාගත හැකිය.

සුගති ලෝක ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇති ආකාරයට පෙළ ගැස්සුවහොත් ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන් අඩුම සුගතිය වන්නේ මනුෂ්‍ය ලෝකය යි. මනුෂ්‍ය ලෝකය හැර සෙසු සුගති, දිව්‍ය ලෝක වශයෙන් අපි ව්‍යවහාර කරමු.

චාතුර්මහාරාජිකය, තාවතිංසය, යාමය, තුසිතය, නිම්මාණරතිය, පරනිම්මිත , වසවත්තිය වශයෙන් දිව්‍ය ලෝක හයක්ද බ්‍රහ්ම කොට්ඨාශ 16 ක් සහිත බ්‍රහ්මලෝකයා දිව්‍ය ලෝක යටතේම හඳුන්වනු ලැබේ. අපි ඒවායේ ආයු ප්‍රමාණය මදක් සලකා බලමු.

චාතුම්මහාරාජිකය – මනුෂ්‍ය ලෝකයේ වර්ෂ පනහක් මෙහි එක් රැයක් සහ දවාලකි එවැනි රෑදාවල් තිහක්. එහි මාසයකි. එවැනි මාස 12 ක් එහි අවුරුද්දකි. එවැනි අවුරුදු වලින් පන්සීයක් එහි පරමායුෂ වේ.

එනම් මනුෂය ලෝකයේ අවුරුදු අනු ලක්ෂයක් චාතුම්මහාරාජික දිව්‍ය ලෝකයේ පරමායුෂ වේ.

තාවතිංසය හෙවත් තව්තිසා දිව්‍ය ලෝකය – එහි එක් රැයකුත් දවාලකුත් මනුෂ්‍යයන්ගෙ අවුරුදු සියයකි. එබඳු රෑදාවල් තිහක් එහි මාසයකි. එබඳු මාස 12 ක් වර්ෂයකි. එබඳු වර්ෂ දහසක් එහි පරමායුෂ වේ. එනම් මනුෂ්‍ය වර්ෂවලින් තුන්කෝටි හැටලක්ෂයක් තව්තිසාවේ පරමායුෂ වේ.

යාම දිව්‍ය ලෝකය – මනුෂ්‍ය වර්ෂ දෙසියයක් මෙහි රැයකුත් දවාලකුත්ය. එවැනි රෑ දවල් තිහක් එහි එක් මාසයකි. එබඳු මාස දොළහක් එහි වර්ෂයකි. එබදු වර්ෂ දෙදහසක් එහි පරමායුෂ වේ. එනම් මනුෂ්‍ය වර්ෂ වලින් දාහතර කෝටි හතළිස් ලක්ෂයක් යාමයේ ආයුෂ යි.

තුසිත දිව්‍ය ලෝකය – මනුෂ්‍ය වර්ෂ හාරසියයක් තුසිතයේ එක් දවාලකුත් රාත්‍රියකුත් වේ. එබඳු රෑ දාවල් තිහක් එහි මසකි. එබඳු මාස දොලහක් අවුරුද්දකි. එබඳු අවුරුදු හාරදහසක් එහි ආයුෂ වේ. එනම් මනුෂ්‍ය ලෝකයේ වර්ෂ වලින් පනස් හත් කෝටි හැට ලක්ෂයකි.

නිම්මාණරතිය – මනුෂ්‍ය ලෝකයේ වර්ෂ වලින් අටසියයක් මෙහි එක් රැයකුත් දවාලකුත්ය. එබඳු දවස් තිහක් එහි මාසයකි. එබඳු මාස දොළහක් එහි අවුරුද්දකි. එබඳු අවුරුදු වලින් අට දහසක් එහි ආයුෂ වේ.

එනම් මනුෂ්‍ය වර්ග වලින් මිලියන දෙදෙහස් තුන්සිය හතරක් නිම්මාණරතියේ ආයුෂ වෙයි.

පරනිම්මිත වසවත්ති දිව්‍ය ලෝකය – මනුෂ්‍ය වර්ෂ එක්දහස් හයසියයක්.

මෙහි දවාලකුත් රාත්‍රියක් වේ. එබඳු රෑ දාවල් තිහක් එහි මාසයක්. එබඳු මාස දොළහක් එහි අවුරුද්දකි. එබඳු අවුරුදු දහසය දහසක් එහි ආයුෂ වේ. එනම් මනුෂ්‍ය වර්ෂ වලින් මිලියන නමදහස් දෙසිය දහසයක් පරනිම්මිතවසවත්ති දිව්‍ය ලෝකයේ දිව්‍ය ආයුෂ වේ.

ඉහත සඳහන් කරන ලද දිව්‍යලෝක හයේම දෙවියන් සහ දේවතාවියන් වශයෙන් දෙකොටසක් දක්නට ලැබේ. මේවා කාම ලෝක ලෙස හඳුන්වනු ලබයි. එනම් ඔවුන් කාමයන්ගෙන් සතුටුවන දෙවි දේවතාවන්ය. නමුත් මින් ඉහලට ඇත්තේ බ්‍රහ්ම ලෝකයයි. මෙහි රූප අරූප වශයෙන් බ්‍රහ්ම කොටස් නැවත දෙකොටසකට බෙදිය හැකි අතර මේ ලිපියෙන් කථා කරන්නේ් එයින් රූපාවචර බ්‍රහ්ම ලෝකය ගැනය. මෙහි ප්‍රධාන වශයෙන් බ්‍රහ්ම කොට්ඨාස 16 ක් දක්නට ලැබේ.

එනම් බ්‍රහ්මපාරිසජ්ජය, බ්‍රහ්ම පුරෝහිතය, මහා බ්‍රහ්මය, පරිත්තාභය, අප්පමානාභය, ආභස්සරය, පරිත්ත සුභ අප්පමාන සුභ, සුභකින්හක, වේහප්ඵල , අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සී, අකනිට්ඨක යන බ්‍රහ්ම කොට්ඨාය. මේවා බ්‍රහ්ම ලෝක වශයෙන් ද හඳුන්වනු ලැබේ.

බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයන් කාමයන්ගෙන් සතුටු නොවන අය වේ. එම නිසා ගැහැණු පිරිමි භේදයක් එහි දක්නට නොලැබෙන අතර ඔවුහු ධ්‍යාන සමාපත්ති සුවයෙන් වාසය කරති.. සියලු දෙනාම බ්‍රහ්මරාජයන් ලෙස හැඳින්වෙයි. ඔවුන්ගේ ආයුෂ ඉලක්කම් වලින් හෝ සංඛ්‍යාවලින් පැවසීම කෙනෙකුට කළ නොහැකි දෙයකි. එයට හේතුව වන්නේ ඒතරම් දීර්ඝ ආයුෂ ප්‍රමාණයක් වීමයි. නමුත් කල්ප වලින් බ්‍රහ්ම ආයුෂ පෙන්වා දුන් අවස්ථා බුද්ධ දේශනා තුළින් හමුවේ. කල්පයක් යනු යොදුනක් දිග, පළල උස ඇති පෙට්ටියකට අබ ඇට පුරවා අවුරුදු සියයක් බැගින් ගතවන විට එක අබ ඇටය ගණනේ පෙට්ටියෙන් ඉවත් කරනවිට එම පෙට්ටිය හිස්වීමට ගතවන කාලයටත් වඩා දීර්ඝ කාල පරිච්ඡේදයකි.

බ්‍රහ්ම පාරිසජ්ජයේ ආයුෂ කල්පයකි. සුභකින්හකයේ ආයුෂ කල්ප හතරකි. වේහප්ඵලයේ ආයුෂ කල්ප පන්සියයක් ආදී වශයෙන් බ්‍රහ්ම කොට්ඨාසවල ඉදිරියට යෑමත් සමග ආයුෂ වැඩිවීමක් දක්නට ලැබේ.

සාමාන්‍යයෙන් වර්ණය අතින් ගත්විට ඉහත සාකච්ඡා කරන ලද සියලු දිව්‍ය බ්‍රහ්ම ලෝකවල වර්ණය මනුෂ්‍ය වර්ණයට වඩා ඉතා ශ්‍රේෂ්ඨ ය. වරක් මනුෂ්‍ය වර්ණයක් දිව්‍ය වර්ණයක් සන්සන්දනය කර බැලූ නන්ද හිමියන් පැවසුවේ ජනපද කළ්‍යාණිය. දිව්‍යාංගනාවන්ගේ් ලස්සන සමග සසඳන විට හේනක පිච්චිලා අඟරුවෙලා ගිය වැඳිරියක් වැනි ය යනුවෙනි. දිව්‍ය වර්ණ එතරම් සුන්දරය.

මනුෂ්‍ය ලෝකයේත් දිව්‍ය ලෝකවලත් ඇති සැප සම්පත් සංසන්දනය කරමින් බුදුරජාණන්වහන්සේ දේශන කොට වදාළේ මනුෂ්‍ය ලෝකයේ පහළ වන සක්විති රජවරු විඳින සැපය පවා ඒ සමග සසඳන විට ඉතා අල්ප සැපයක් බවයි. දිව්‍ය ලෝකයේ සැපය හිමාල කන්දට උපමා කළ සේක. එනම් දිව්‍ය ලෝක වල ඇති සැප සම්පත් සමග බැලූ විට මනුෂ්‍ය ලෝකයේ මිනිස්සු විඳින සැප සම්පත්, හිඟා කෑමක් බදු දෙයකි. මෙම ආයුෂ වර්ණය සැප යන දේ චාතුම්මහාරාජිත දිව්‍ය ලෝකයට වඩා තාවතිංසයෙ වැඩිය. මේ ආකාරයට දිව්‍ය ලෝකයෙන් දිව්‍ය ලෝකයට ඉදිරියට යෑමත් සමග වැඩිවීමක් දකින්නට පුළුවන.

බුදුරජාණන්වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය හදාරන කෙනෙකුට ඉහත සඳහන් කළ තොරතුරු වලටත් වඩා ඉතා පුළුල් පරාසයක තොරතුරු දැනගැනීමට අවස්ථාව ලැබෙන අතර දැන්වුවද යම් අයෙක් බුදුරජාණන්වහන්සේ පෙන්වා දුන් ධර්ම මාර්ගය දියුණු කරයි නම් එසේ දියුණු කර දිව්‍ය ඇස හෙවත් දිබ්බචක්ඛු ඤාණය උපදවා ගෙන තමාටම මේවා දැක ගැනීමේ හැකියා ඇත. ඊට අවශ්‍ය මඟ පෙන්වීම බුදුරජාණන්වහන්සේ විසින් ඉතා හොඳින් සිදුකර ඇත. එම නිසා කිව යුතු කරුණ වන්නේ, සුගතිය යනු මනුෂ්‍ය ලෝකයේ, සුඛෝපභෝගී ජීවිත ගතකරන පුද්ගලයන් නොවන බවත්, වෙන වෙනම දිව්‍යලෝක රාශියක් තිබෙන බවත් ය.

දුගති ලෝක ලෙස පේ‍්‍රත ලෝකය, තිරිසන් ලෝකය , නිරය යන ස්ථාන ප්‍රධාන වශයෙන් පෙන්වා දිය හැකි ය.

මනුෂ්‍ය ලෝකයට වඩා දුක් දොම්නස් වලින් ඊළඟට වැඩි තැන වන්නේ පේ‍්‍රත ලෝකය යි. සමහර ප්‍රේතයන් ඉතා දිගු කල් ගතවන ගුරු ආහාර නොලබන අතර ඔවුහු බඩගින්න සහ පිපාසයෙන් පෙළෙති. සමහර පේ‍්‍රතයෝ අවුරුදු දහස් ගණන් දස දහස් ගණන් ජීවත් වන බව පැවසෙයි. පේ‍්‍රත ලෝකයට වඩා දුක්බහුල ඊළඟ තැන වන්නේ, තිරිසන් ලෝකය යි. මස් මඩුවල ගවයන් මරන ආකාරයත් ඌරන් කුකුලන් එළුවන් බැටළුවන්, මත්ස්‍යයන් ආදී සතුන් මිනිසුන් අතින් මස් සඳහා ඝාතනය වන ප්‍රමාණයත් සමග බලන කෙනකුට වුණද තිරිසන් ලෝකයේ දුක් ගැන සිතාගත හැකිවනු ඇත.

ඉතාම කටුක දුක් ඇති දුගතිය වන්නේ, නිරය යි. නිරය වර්ග ගණනාවක් ගැන බුදුරජාණන්වහන්සේ අපට පෙන්වා දී ඇත. ඒවායේ ආයුෂද ඉතා දීර්ඝය. ඉලක්කමින් පැවසිය නොමැති තරම් දීර්ඝ ආයුෂ නිරයෙහි ඇත. නිරය අතර දීර්ඝතම ආයුෂ ඇත්තේ අවීචි මහා නරකාදිය නම් වූ නිරයේ ය. එහි ආයුෂ කල්පයකි. නිරයේ ඇති දුක් ගැන බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දුන් විස්තරයක් මජ්ඣිම නිකායට අයත් දේවදූත සූත්‍රයේ සඳහන් වෙයි. උපමාවකින් බුදුරජාණන් වහන්සේ එය පෙන්වා දෙනු ලබන්නේ මෙසේ ය.

මනුෂ්‍ය ලෝකයේ වැරැදි කරන ලද සොරකුª අල්ලාගත් රාජ පුරුෂයෝ ඔහු රජතුමාට ඉදිරිපත් කරති. එවිට රජතුමා එම සොරාට දඬුවම් කාලයේ උල් සියයක් ඇනීමට නියම කරයි. රාජ පුරුෂයන් උල් සියයකින් සොරාට අනියි. රජතුමා දවල් කාලයේදී සොරා ජීවතුන් අතර සිටිනවද යන වග රාජපුරුෂයන්ගෙන් විමසන විට ජීවත් වන බව ඔවුහු පවසති. එවිට රජතුමා තවත් උල්සියයක් ඇනීමට නියම කරයි. මේ ආකාරයට රාත්‍රීයේදී තවත් උල් සියයක්ද සොරාට ඇන්න විට ඔහු ඇනුම් කරන ලද උල් තුන්සියය හේතුවෙන් විඳින දුක බුදුරජාණන් වහන්සේ අතමිට මෙලොව ලද ගල් කැටයක් තරම් යැයි පවසා, නමුත් නිරයේ ඇති දුක හිමාලකන්ද තරම් යැයි පෙන්වා වදාළ සේක. සාමාන්‍යයෙන් මියයන මිනිසකු හෝ යම් ඕනෑම සත්ත්වයකු මරණයෙන් මතු උපදින්නේ සුගතියේ ද දුගතියේ ද යන්න තීරණය වන්නේ කර්මය මතය. එනම් උප්පත්ති ස්ථානය තීරණය කරන්නේ කර්මය විසිනි. උදාහරණයක් විදිහට ගත්විට යමෙක් ප්‍රාණ ඝාතය කරයි නම්, සොරකම් කරයි නම්, වැරැදි කාමසේවනය කරයිනම්, බොරු කියයි නම්, මත්පැන් මත්ද්‍රව්‍ය පානය කරයිනම්, ඔහු රැස් කරන කර්ම කළු කර්මය. (පාප කර්ම) එහි විපාක ලෙස ඔහු නිරයේ උපදියි.

යමෙක් ප්‍රාණ ඝාතය නොකරයි නම්, සොරකම් නොකරයි නම්, වැරැදි කාම සේවනය නොකරයි නම්, බොරු නොකියයි නම්, මත්පැන් මත්ද්‍රව්‍ය පානය නොකරයි නම් ඒ හේතුවෙන් ඔහු රැස් කරන කර්ම වන්නේ සුදු කර්මය. (පුණ්‍ය කර්ම) එහි විපාක ලෙස ඔහු සුගතියක උපත ලබයි. අප දන්නා ආකාරයට සත්වයකු සිතින්, කයෙන්, වචනයෙන් යන තුන් දොරින් ක්‍රියා කරයි. එහි ප්‍රතිඵල ලෙස කුසල් හෝ අකුසල් රැස්වන්නේ. එනම් සත්ත්වයෙකු සිතින් කයෙන් වචනයෙන් සුචරිතයේ යෙදෙමින් කුසල් කළහොත් ඔහුට සුගතියේ ඉපදීමට පුළුවන් වන අතර අකුසල් කළහොත් දුගතියේ උපදී. ඉහත තොරතුරු අනුව පෙනී යන්නේ අපට කැමැත්ත තිබූ පමණින් සුගතියේ ඉපදිය නොහැකි බවයි. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපදාව තුළ අප සිටිය යුතුයි. නියපොත්තට ගත් පස්ටිකක් පමණ වූ සුළු මිනිසුන් ප්‍රමාණයක් මරණින් මතු සුගතඵයේ ඉපදෙන බවද මහපොලව මෙන් විශාල ප්‍රමාණයක් දුගති ලෝකවල ඉපදෙන බවද , බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා. එහි සත්‍යතාව කොතරම්ද යන්න අපට තේරුම් ගැනීමට හැකිය. මන්ද සුගතියේ උපදින ප්‍රතිපදාවේ සිටින මිනිසුන් ප්‍රමාණය නියපොත්තට ගත් පස් ස්වල්පයක් තරම් වන නිසාය. නමුත් බුදුරජාණන්වහන්සේ සත්වයාට දුගතිවල උපදින අනතුරින් සදහටම නිදහස් වන ක්‍රමයක් හෙවත් ප්‍රතිපදාවක් මැනවින් පෙන්වා දී ඇත.

එනම්, ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. යමෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගය බුදුරජාණන්වහන්සේ කියා දුන් පිළිවෙළටම ජීවිතය තුළ දියුණු කිරීමට දක්ෂ වුවහොත්, ඔහු මාර්ග ඵල ලාභියෙකු වෙයි.

මේ ආකාරයට පළමුව ලැබෙන මාර්ගඵලය වන්නේ සෝතාපන්න (සෝවාන්) තත්ත්වය යි. යමෙක් සෝතාපන්න අවස්ථාවට මනස දියුණු කරගතහොත් ඔහු නැවත දුගති ලෝකවල උපදින ස්වභාවයෙන් සදහටම නිදහස් වෙයි. ඔහුගේ අනිත් දුගති ඵල ඉපදීමට හේතුවන කර්ම ඉන් ඉදිරියට සිදුවන්නේ නැත. ඔහු නිවන් දක්නා තෙක් සුගතිලෝකවල පමණක් සැරිසරයි.

බුදුරජාණන් වහන්සේ අපට උගන්වා ඇති ධර්මයට අනුව බලන විට සුගති – දුගති ලෝක වශයෙන් මෙසේ වෙන් වෙන්ව ලෝක පවති.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: