Posted by: lrrp | January 18, 2010

මරණින් පසුත් වැවේ මාළු බාන්නට එන පියසේන මුදලාලි

උපන් දා සිට ම තණ්හාවෙන් (උවමනාවන් පිරිමසා ගැනීම සඳහා) පෙළෙන මිනිස් සිත එසේ අසීමිත වූ බලාපොරොත්තු ඉටු නොවීම නිසා දුක් විඳී. එසේ ම අත්හැරීමක් සිදු නොවී ම නිතර එහි විපාක ගෙවමින් මේ ස්වභාවය භවයෙන් භවයට ගෙන යයි.

මේ පිළිබඳ යම් තරමකින් හෝ වැටහීමක් ලබා නොගන්නා මිනිසා ඉතා අමාරුවෙන් ලබාගත් මිනිස් භවයෙන් ප්‍රයෝජන නොගෙන මරණින් මතු අනන්ත වූ දුක්විඳී. තමන් ගේ උත්සාහය අනුව ඊට සරිලන, ඊට ගැළපෙන ප්‍රතිඵල ලබන විට එයින් සෑහීමකට පත් නොවී මිරිඟුව ජලය යැයි සිතා රැවටුණු පිපාසිත මුවන්සේ ආශාවන් පසුපස හඹා ගොස් අතර මඟ මැරී වැටෙයි.

පියසේන මුදලාලි උතුරු මැද පළාතේ ප්‍රසිද්ධ ගම්මානයක විසූවෙකි. අදින් දසක පහකට පමණ පෙර ඔහු ජීවත් වූ ගම්මානයේ සිටි ඉහළ ම පොහොසතා විය. ඔහු පොහොසත් වූයේ උපායෙනි.

ගමේ කෙනකු ලෙඩකට, දුකකට, කරදරයකට පත් වූ බව දැන ගත් වහාම සුළු ත්‍යාගයක් ද රැගෙන ඔහුගේ නිවසට යෑම පියසේන මුදලාලි ගේ සිරිතය. ගැමියා රෝගාතුර වීම හෝ කරදරයකට පත්වීම පිළිබඳ එම නිවසේ අය ඉදිරිපිට කිඹුල් කඳුළු හෙළන පියසේන මුදලාලි ඔවුන්ගේ දුකට පිහිටවීමට ස්වේච්ඡාවෙන් ම ඉදිරිපත් වෙයි.

හේන් ගොවිතැනින් ජීවත් වූ ගැමියන් වාසය කරන මේ ප්‍රදේශයේ මිනිසුන් බොහෝ අගහිඟකම්වලින් පීඩිතව ජීවත් වූවෝ ය. හදිසි විපතක්, ව්‍යසනයක් සිදුවූ විට ඒ සඳහා මිල මුදලක් ඉතුරු කැර ගත නොහැකි සමාජ පරිසරයක් හෝ තත්ත්වයක් එහි නොපැවතිණි.

”මට උඹලා ගැන හරිම කනගාටුයි. මේ මනුස්සයා කොහොම හරි ගොඩ දා ගන්නත් එපායැ. මේ වෙලාවේ උඹලාට අත මිට හිඟත් ඇති නොවැ. මෙන්න මේක දැනට අතේ තියා ගනිල්ලා”යි කාලයේ හැටියට සෑහෙන මුදලක් රෝගියාගේ අතේ තබා එන්නට තරම් පියසේන මුදලාලි කාරුණික බවක් පෙන්වයි.

පැමිණි දුකෙන් කරදරයෙන් ගොඩ එන්නට ක්‍රමයක් නැතුව අහස පොළව ගැටලන ගැමියාට අවස්ථාවේ හැටියට එය ලොකු සහනයක් වෙයි.

”අනේ! මුදලාලි මහත්තයා වෙලාවේ හැටියට මේක අපට දෙවියෝ අත පෑවා වගේ දෙයක්. මුදලාලිට තව තවත් වැඩි වැඩියෙන් ම ලැබෙන්න ඕනෑ”යි ඒ උදව් ගන්නා ගැමියෝ පවසති.

”නෑ.. නෑ.. ඒවා අපෙන් කෙරෙන්න ඕනෑ යුතුකම්. මේ වගේ වෙලාවට නැති මිල මුදල් හිතවත්කම්වලින් වැඩක් නැහැනෙ. තවත් මොනවා හරි කෙරෙන්න දෙයක් තියෙනවා නම් මට ඇවිත් කියාපල්ලා”යි පවසන පියසේන මුදලාලි ඒ නිවසින් පිටත්ව එන්නේ දහසක් අනාගත බලාපොරොත්තු පිළිබඳ පිඹුරුපත් අඳිමිනි. එසේ ම තව දවස් කීපයකින් මේ ගෙදර අය ඔහු සොයා ගෙන පැමිණෙන බව ද සක් සුදක් සේ පැහැදිලිය.

නොවැරදීම ඒ ගෙදරින් කෙනෙක් ඊට දින කීපයකට පසු පියසේන මුදලාලි සොයාගෙන යයි.

“මුදලාලි මහත්තයා පොඩි අතමාරුවක් ඉල්ලා ගන්නයි ආවේ. මේ වෙලාවේ අපට පිහිටක් වෙන්නට වෙන කෙනෙක් නෑ. ඒකයි මුදලාලි මහත්තයාව ම හොයා ගෙන ආවේ”යි පවසයි.

”හොඳයි හොඳයි ඉතින් උඹලාට මගෙන් මොනවාද කෙරෙන්න ඕනෑ”යි මුදලාලි විමසයි.

ලෙඩාව රෝහලට ගෙන යන්නට වාහන කුලිය, නඩුවට පෙරකදෝරු ගාස්තුව, තොවිලයට, ශාන්තිකර්මයට විය පැහැදම, මඟුල් තුලාවට විය පැහැදම, මළ ගෙදරක මරණයේ කටයුතුවලට වියදම වැනි අවශ්‍යතා එළැඹි විට ඔහු කලින් පෙන්වූ කාරුණික පරිත්‍යාගශීලී භාවය නිසා ම ගැමියෝ ඔහු සොයා ගියේ වෙනත් එල්ලෙන්නට පිදුරු ගහක්වත් නැති බැවිනි. තමන් පත්ව ඇති කරදරය, විපත, නිසා ඉන් එහා සිතන්නට පවා මේ ගැමියනට නොහැකිය.

”ආ…. මෙන්න මේකෙන් උඹලාගේ උවමනාව පිරිමහා ගනිල්ලා. තවත් මදි පාඩුවක් වුණොත් ඇවිත් මාව හම්බ වෙයල්ලා”යි ඔහු තව දුරටත් බලාපොරොත්තු ඇති කරයි. කෙසේවත් මේ ගැමියනට ලබා ගත් මුදල් ආපසු ගෙවන්න නොහැකි බව කපටි කෛරාටික පියසේන මුදලාලි හොඳින් ම දනී. එසේ ම ඔවුන් ලබා ගත් මුදලින් ඒ කටයුත්ත පිරිමසා ගන්නට බැරි බව ද ඔහු දනී. එසේ ලබාගත් මුදලින් තමන්ගේ උවමනාව පිරිමසා ගන්නට බැරි වූ තැන ඒ පවුලේ අය සාකච්ඡා කරති.

”ඒ මනුස්සයා අපි නොඉල්ලා ම අපට මුදලක් දුන්නා. ඊළඟට අතමාරුවක් දුන්නා. ආයෙත් නම් නිකම් ඉල්ලන්නට හොඳ නෑ”යි ගෙදර කතා බස් වී නැවත මුදලාලි සොයා යයි.

”මොකද බං ආයෙත් ආවේ. ඉක්මනින් කියාපල්ලා මට හදිසි වැඩ රාජකාරි වගයක් තියෙනවා”යි මුදලාලි තමන්ගේ ඉස්කුරුප්පුව තද වෙන පැත්තට තව ටිකක් හෙමිහිට කරකවයි.

”අනේ! මුදලාලි මහත්තයා අර මුදල් ටික අපේ උවමනාවට මදි වුණා. අපේ ඉඩමේ පොල්ගස් දහයක් පවරාගෙන, එහෙම නැත්නම් කුඹුරු කෑල්ල පවරාගෙන අපට තව සල්ලි ටිකක් දෙන්න. ඒවයෙ පලදාව අස්වැන්න මුදලාලි අරගන්න” යැයි පවසන ගැමියාට අවශ්‍ය මුදල මුදලාලි එදාම දෙන්නේ පස්සා පැත්තෙනුත් හිනාවෙමිනි.

මාස කීපයක් ගතවූ තැන මුදලාලි ඔවුන් සොයා යන්නේ තම සිතැඟි ඉටු කැර ගැනීමේ ඒකායන අභිලාෂයෙනි. ”දැන් ඉතින් සෑහෙන කාලයක් ගතවුණා නොවැ. දැන් මගේ සල්ලි ටික මට දියල්ලා. නැත්නම් එහෙම කරන්න බැරි නම් ඔය ඉඩම් කෑල්ල මට ම දියල්ලා. මම තව සල්ලි ටිකක් උඹලට දෙන්නම්” යැයි දැනට හිරවී සිටින මිනිසුනට රිංගන්නට විකල්පයක් ද පෙන්වා දෙයි. එය එසේ ම සිදුවෙයි.

මේ ආකාරයෙන් මුළු ගමෙන් හතරෙන් තුනක් ම ඉඩකඩම් පියසේන මුදලාලිට අයිති විය. ඔහු ප්‍රදේශයේම බල පුළුවන් කාරයා බවට පත්විය. එසේ ම තරමක් වයස්ගත වෙන්නට ද විය. ඔහුගේ දූ දරුවෝ ද උස් මහත්වූ අතර, අනිකුත් මිනිසුනට වාගෙ ම පියසේන මුදලාලිට ද පින්දහම් මතක් විය.

පියසේන මුදලාලි දිනක් පවුලේ ඥාතීන් සමඟ සිරිපා වඳින්නට ගියේය. අනේ! දෙයියනේ! මේ මනුස්සයාට සීත ගඟුලෙන් එහාට යන්නට නොහැකි විය. අනිත් පිරිස සමනළ කන්ද තරණය කරද්දී පියසේන මුදලාලි “අනේ! මට බෑ බං උඹලා පලයල්ලා”යි සීත ගඟුල මෙගොඩ නතර විය. පැමිණි පිරිස සිරිපා වැඳ ආපසු පැමිණි විට ඔවුන් සමඟ ආපසු ආවේය. ඔහු එයින් නැවතුණේ නැත. ඔහු තරුණයන් හතර දෙනකු කුලියට කතා කැරගෙන ඔවුන් සමඟ නැවත සිරිපා වඳින්නට ගියේ ය. දෙයියනේ! පව්කාරකමක මහත! මේ යෝධයා උස්සා ගෙන යන්නට තරුණයන් හතර දෙනාට ද නොහැකි විය.

එදා නම් මුදලාලි හොඳටම කම්පාවට පත්විය. ගෙදර ආවේ මහත් කලකිරීමෙනි. මානසික පීඩාවෙනි. “මට ඇති බුද්ධාගමකුත් නෑ යකෝ: මට ඇති බුද්ධ ශාසනේකුත් නෑ. මට ඔය එකක්වත් නෑ”යි කෑ ගසමින් මුදලාලි බිලී පිත්තක් හදා ගෙන ගමේ වැව අසලට ගොස් මාළු බාන්නට විය. ඔහුගේ ඇම කන තරමට රැවටුණු මාළුන්ගෙන් කුස පුරවන්නට පටන් ගත්තේය. මේ තරම් දේපළක් තිබියදී තාත්තා මාළු බාන්නට යෑම දූ දරුවන්ට මහත් මදි පුංචිකමක් වුව ද ඔහු එයින් වළකා ගන්නට ඔවුනට නොහැකි විය.

පියසේන මුදලාලි වැවේ මාළු බානවා පමණක් නොව එසේ අල්ලන මාළු විකුණන්නට ද වීය. ඔහු පාරේ ගමන් කරන විට ඔහුගෙන් විහිදෙන පිළී ගඳ මහ මඟ යන්නන්ගේ නහය පිළිකුළෙන් හකුළුවන තරම් විය. පියසේන මුදලාලි දැන් ගමේ අය අතර කොරළි පියසේන බවට පත්වී ඇත.

සිය පියා ලජ්ජා සහගත චර්යාවන්ගෙන් වළක්වා ලන්නට බැරි ම තැන වැදගත් රැකියාවල නියුතු ව සිටි පුත්තු සිව් දෙනා තීරණයක් ගත්හ. සිය සහෝදරිය අසල ගමක තරුණයකුට විවාහ කැර දී ඔවුන්ට මහ ගෙදර බාර දුන්හ. පිරිමි දරුවෝ ගම අතහැර ගමෙන් පිට පදිංචියට ගියහ.

මේ අතර පියසේනට අංශබාග රෝගය වැළඳුනි. ඔහු ඇඳටම සීමා විය. මෙහි දී ඔහු කෙරෙන් විශේෂත්වයක් පළ කැරෙන්නට විය. පියසේන ඇඳේ සිට ම පණ ඇති අතින් සැරයටිය ගෙන ඉදිරියට දිගු කැර බිලී පිත්ත ගස්සන්නාක් සේ කරයි. හිටි හැටියේ ඇම කෑ මාළුවකු ගොඩට ගන්නා සේ “හරී..”යි සැරයටිය ඉහළට උස්සා සිනාසෙන්නට විය. මාස ගණනක් දුක් විඳ පියසේන මිය ගියේය. දරුවෝ පැමිණ චාරිත්‍රානුකූලව අවසන් කටයුතු සිදු කළහ. මාස දෙකක් පමණ ඉක්ම යන විට මේ නිවසට රාත්‍රි කාලයේ ඉතා ම දුර්ගන්ධ වූ පිළී ගඳක් හමා එන්නට විය. උදේ නැගිට බලන විට ගේ වටා දිය බලු වසුරු ගොඩවල් දකින්නට ලැබුණි.

ඒ දිය බලු වසුරු ගොඩවල මාළු කටු ද දකින්නට ලැබුණි. ගේ වටා කොයිතරම් පිරිසුදු කළ ද ඊළඟ දිනයේ රාත්‍රියේත් එවැනි ම ගඳක් දැනෙන්නට විය. ගේ වටා පෙර සේ ම දියබලු වසුරු ගොඩවල් දකින්නට ලැබුණි. මේ තත්ත්වය පිට කෙනකුට කියන්නට පවා දුවටත් බෑණාටත් ලජ්ජා සහගත කරුණක් විය. බැරි ම තැන ගේ වටා රාත්‍රි කාලය පුරා විදුලි පහන් දල්වා තැබූහ. එහෙත් උදේ බලන විට දිය බලු වසුරු පෙර සේ ම දකින්නට ලැබුණි. අවසානයේ ඈත ප්‍රදේශයකින් මුර කරුවන් දෙදෙනෙකු ගෙන්වා වැටුප් ගෙවා ගේ වටා රැකවල් කළහ. රාත්‍රි පහන් වන තුරු විදුලි පහන් ද දල්වා තැබුව ද ගේ් වටා මුරකරුවන් යෙදූව ද උදේ බලන විට දිය බලු වසුරු දකින්නට ලැබිණි. රාත්‍රි කාලයේ ගේ ඇතුළත යමකු ගමන් කරන්නා සේ අඩි සද්ද නැඟෙන්නට විය.

මේ අතර හැන්දෑ යාමයේ වැව් කණ්ඩිය දිගේ ගමන් කළ ගැමියන්ට පියසේන මුදලාලි මාළු බාමින් සිටින අයුරු දකින්නට ලැබිණි. මෙය ගම පුරා ප්‍රචාරයවීමත් සමඟ ගමේ උදවිය රාත්‍රි ගමන් අඩු කළහ. මේ සිද්ධිය පිළිබඳ සොයා බලන්නට ගමේ නිර්භීත තරුණයන් දෙතුන් දෙනක් රහසේ ඉදිරිපත් වූහ. ඔවුන්ට ද වැව් කණ්ඩිය දිගේ විමසිල්ලෙන් ගමන් කරන විට මාළු බාමින් සිටින කොරළි පියසේනගේ ඡායාව අඳුර තුළින් දකින්නට ලැබිණි. තරුණයෝ ඊට කිට්ටු වන විට ම විශාල දිය බල්ලකු වැවට පනින හඬ ඇසෙන්නට විය.

මුදලාලි ගේ බෑණා බැරි ම තැන ඇදුරන් ගෙන්වා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් මඟින් ආරක්ෂා කැරවීය. ඈත ප්‍රදේශවලින් පවා දක්ෂ ප්‍රසිද්ධ ඇදුරන් ගෙන්වා ශාන්තිකර්ම සිදුකළහ. දින කිහිපයක් ගත වන තුරු කරදරයක් නැතිව ගෙවී ගිය ද යළිත් මේ භූ®ත දෝෂය ක්‍රියාත්මක විය.

අවසානයේ දියණිය සහ බෑණා සංඝ රත්නය වැඩමවා තුන්තිස් පෑ පිරිත් සජ්ඣායනයක් පවත්වා මහා සාංඝික දානයක් පිරිනැමූහ. අවට පදිංචි ගම්වැසියන් ගෙන්වා ඔවුන්ට ද ආහාර පානයෙන් සංග්‍රහ කොට පියසේන මුදලාලිට පින් පැමිණවූහ. කරදර තුනී වී ගියේය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: