Posted by: lrrp | January 18, 2010

වැරැදි අඩු පාඩු හඳුනා ගෙන ඒ වැරැදිවලින් මිදී ජීවිත යහපත් කරගන්න

සිත පිළිබඳ හොඳ අවබෝධයක් තිබේ නම් අප ගේ චරිත ස්වභාවය කෙබඳු දැයි අපටම හඳුනාගත හැකි ය. බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි සැරියුත් මහ රහතන් වහන්සේ විහාරික සෙසු භික්ෂුන් වහ්නසේ අමතා අපූරු ධර්ම දේශනාවක් කළහ. මජ්ජිම නිකායේ මූල පර්යාය වග්ගයට අයත් අනංගත සූතය එම දේශනාවයි. කෙලෙස් අංගනවලින් යුතු වූ පුද්ගලයින් සිව් දෙනකු ගේ පැහැදිලි කිරීමක් එහි දී සිදු කළහ.

බුදුරජාණන් වහන්සේ සැරියුත් මහරහතන් වහන්සේ ගේ දේශනාව අනුමත කළහ. එය බුදුන් වහන්සේ ගේ ඉගැන්වීම්වලට පටහැනි නොවන ඉගැන්වීමක් ලෙස සූත්‍ර පිටකයේ දැකගත හැකි ය.

අනංගත සූත්‍ර දේශනාවට අනුව ලොව ජීවත් වන පුද්ගලයන් සිව් ආකාරයට එක් පුද්ගලයෙක් තමන් ගේ සිත ලෝබ, ද්වේශ, මෝහ ආදී වූ කෙලෙස්වලින් අපිරිසුදු වී තිබියදීත් එවන් සිතිවිලි තම සිත පවතීයැයි නොදන්නේ ය. තණ්හාව, ඊර්ෂ්‍යාව, තිබියදීත් ඒ බව නොදන්නේ ය.

තවත් පුද්ගලයෙක් රාග ද්වේශ මෝහ මද මාන ඊර්ෂ්‍යාවෙන් කටයුතු කරන අතර ම තමන් වෙත එවැනි කෙලෙස් ඇතැයි අවබෝධ කොට ඇත්තේ ය. බුදුන් දවස මෙන් ම වත්මන් සමාජයේ ද මෙවන් පුද්ගලයන් අපට හඳුනාගත හැකි ය. එනම් තමන් ගේ අඩු ලුහුඬුකම් පවතින බව සිත කෙලෙස්වලින් පිරී පවතින බව දැනුම්වත් සිටින පිරිස ය.

සැරියුත් මහ රහතන් වහන්සේ ගේ දේශනයට අනුව සමාජයේ තවත් පුද්ගලයෙක් ජීවත්වේ. එනම් තමන් වෙත වූ කෙලෙස් සත්‍ය ලෙසින් ම ප්‍රහානය වී තිබුණේ වූවද, රාගය, ද්වේශය, මෝහය අඩු වී තිබුණේ වුව ද ඔහුට ඒ පිළිබඳ අවබෝධයක් නැත.

අනෙක් පුද්ගලයා නම් කෙලෙස් දුරු කළ ඒ බව හොඳින් අවබෝධ කොටගත් තැනැත්තා ය. මේ අනුව ලොව පුද්ගලයින් සිව් දෙනකු සිටින බවත්, ඔවුන් ගේ සිතිවිලි කවරාකාර ද, එය හඳුනාගෙන තිබේ ද නොතිබේ ද යන බවත් අප අවබෝධ කරගත යුතු ය. මේ කරුණු තවදුරටත් අර්ථකතනය කරමු.

ලොව විවිධ පුද්ගලයෝ ජීවත් වෙති. ඉන් සමහරක් තමන් වැරැදි කරන බව නොදනිති. තවත් පිරිසක් වැරදි කරති. තමන් කරන්නේ වරදක් බව ද දනිති. සමහර පුද්ගලයින් ඉතා නිවැරැදි ජීවිත ගත කළත් තමන් නිවැරැදි ජීවිතයක් ගෙවන්නේ යන අවබෝධය ඔවුනට නැත. අනෙක් පිරිස නිවැරැදිව ජීවිතය ගෙන යන අතරම නිවැරැදි බව ඉතා හොඳින් අවබෝධ කරගෙන සිටිති.

මේ චරිත ස්වභාවයන් ඔබ කෙරෙහි වීමට ද පුළුවන. සැරියුත් මහ රහතන් වහන්සේ මේ පුද්ගලයන් සිව් දෙනා ගේ ස්වරූපය සහ ඔවුන් හැසිරෙන ස්වභාවය පිළිබඳ අනාගත සූත්‍රයෙහි ම ඉතා නිරවුල්ව පැහැදිලි කළහ. එහි එක්තැනෙක මෙසේ සඳහන් වේ. කෙනෙක් වෙළෙඳ සල වෙත යන්නේ එහි වූ දුහුවිලි පිරුණු බඳුනක් සිය නිවෙසට ගෙන එන්නේ ය.

එය දුහුවිලි සහිතව ම නිවෙසේ තැන්පත් කරන්නේ ය. ඉන් ප්‍රයෝජන ද නොගනී. ඔබ හොඳින් කල්පනා කරන්න. දුහුවිලි පිරි බඳුනක් පිරිසුදු නොකොට සීතළ සුළඟ, පිත්ත වැටෙන ස්ථානයක තැබුවේ නම් කල් නොයවා ම එම බඳුන මළ කා දිරාපත් වන්නේ ය. යම් කෙනෙක් තම සිත කෙලෙස් තිබියදීත් අඩුම තරමින් ඒ පිළිබඳ අවබෝධයක්, දැනීමක් නැතිව කල් ගෙවනවා නම් ඔහු මේ සසරේ දිගින් දිගටම දුකට පත්වීම ස්ථීරය. දිගින් දිගටම කායික, වාචසික, මානසික වැරැදි කරමින් ජීවත් වනවා නම් හේ සාංසාරිකව මෙන් ම නීතියෙන්, සමාජයෙන් දඬුවම් ලබන පුද්ගලයෙක් බවට පත්වන්නේ ය. දුහුවිලි නොපිසා පිරිසුදු නොකරන බඳුනක් පින්නට සුළඟට හසු වී දිරාපත් වන ලෙසිනි.

මේ උදාහරණය ම අපි තවදුරටත් විග්‍රහ කර ගනිමු. කෙනෙක් අපිරිසුදු ලෝහ බඳුනක් මිල දී ගෙන එය දුහුවිලි පිසදා ආරක්ෂා නොකෙළේ නම් වැස්සෙන් පින්නෙන් සීතල සුළඟින් ආරක්ෂා නොකළේ නම් මේ බඳුන දිරාපත් වන බව දන්නේ නම් එය ආරක්ෂා කිරීමට පෙළඹෙනු ඇත. හෙතෙම අවබෝධ කරගත යුතු කරුණකි. එනම් මේ ලෝහ බඳුන ප්‍රයෝජනයට නොගෙන එලෙස ම තැබුවේ නම් එය මිල දී ගැනීමට වියදම් කළ මුදලත්, බඳුනත් දෙකම නැති වී යන බව ය.

මිනිසුන් වූ අප වෙත තිබෙන්නා වූ වැරැදි අඩුපාඩු ඒ ආකාරයෙන් ම දුටුවේ නම්, නිරවුල්ව අවබෝධ කරගත්තේ නම් ලෝහ බඳුන පිරිසුදු කර නැවත නැවත ප්‍රයෝජනයට ගන්නා සේ අපේ සිත වැරැදිවලින් නිදහස් කර ගත හැකි ය. වරදින් මිදී නිවැරැදි මාවතකට පිවිස සාංසාරික ජීවිතයක් මෙලොව ජීවිතයත් වඩාත් යහපත් කර ගත හැකි ය.

ලොව ජීවත්වන තෙවැනි චරිත ස්වභාවය ඇති පුද්ගලයා පිළිබඳව ද මේ උදාහරණයෙන් ම පැහැදිලි කිරීමට පුළුවන. කෙනෙක් තමන් කෙරෙහි කෙලෙස් නොතිබියදීත් ඒ බව නොදනී නම් හේ විනාශය කරා ගමන් කරන බව සැරියුත් මහ රහතන් වහන්සේ පෙන්වා දුන්හ. පිරිසුදු අලුත් ලෝහ බඳුනක් වුව අපිරිසිදු තැනෙක තැබුවේ නම් ප්‍රයෝජනයට නොගෙන තිබෙන්නට හැරියේ නම් අපිත් නොදැනීම ඒ බඳුන මළ කා දිරාපත් වීමට පුළුවන. මේ ආකාරයට අප වෙත නොවූ නරක, වැරැදි හඳුනා ගැනීමට උත්සාහ කළ යුතු ය. එය දැනගත්තේ නම් නැති නරක ඇතිවීම වළකීමට හැකිවනු ඇත.

මෙසේ සිතමු. අප ගේ පරිගණකය නිරවුල් නම් හොඳ මට්ටමේ වේ නම් එහි වැඩසටහන් ඇරැඹීමට පළමුව එයට මෙසේ ආරක්ෂණයක් භාවිත කරමු. ඒ ආකාරයට ම අප සිත කෙලෙස්වලින් අපිරිසිදු නොවී පවතී නම්, අපගේ ඇස, කන, නාසය, දිව, ශරීරය යන පංචේන්ද්‍රියන්ට වැරදි දේ ග්‍රහණය වීමෙන් වැළකීම සඳහා අප විසින් ම කටයුතු කළ යුතු ය. අපගේ සාංසාරික ගමන වඩාත් යහපත් වීමටත් මෙලොව ජීවිතය සාර්ථක වීමටත් එය මහඟු උපකාරයක් වේ.

මේ ලොව ජීවත්වන වාසනාවන්ත ම, පින්වන්තම පුද්ගලයා නම් සිව්වැන්නා ය. ඔහු කෙලෙස් නැත්තේ වේ. ඒ බව හොඳින් අවබෝධ කොට ගත්තේ ද වේ. මෙසේ ජීවත්වන පුද්ගලයා නම් උතුම් වූ මහරහතන් වහන්සේ ය. උතුම් වූ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ය.

බෞද්ධයන් වන අප ගේ පරමාර්ථය ඉලක්කය විය යුතු වන්නේ, උදේ සවස සිහිපත් කරන අරමුණ කරගත යුතු වන්නේ කෙලෙස් නැතිකොට ඒ බව දැන ජීවත්වීමට ය. වැරැදි අඩුපාඩු දුරු කොට, ඒ දුරු වූ වැරැදි පිළිබඳ හොඳ අවබෝධයක් සහිත කෙනෙක් බවට පත්වීමට ය. ලෝහ බඳුනේ උදාහරණයෙන් අපි තවදුරටත් මේ කරුණු පැහැදිලි කර ගනිමු. පිරිසුදු ලෝහ බඳුන, පිරිසුදු බව දැන ගෙන ම එය නැවත නැවත දුහුවිලි පිසිමින් පවිත්‍ර කරනවා නම්, සුළඟෙන් පින්නෙන් ආරක්ෂා කරනවා නම් එම බඳුන දීර්ඝ කලක් භාවිතයට ගත හැකි ය. අප සීතල එසේ ම ය. මිනිස් ජීවිතය ද එලෙස ය. දුරු කළ වැරැදි දැන, ඒ වැරැදි තවදුරටත් ජීවිතයට ළඟා නොකර ජීවත්වීමට අප උත්සාහ කරනවා නම් මේ ලෝකය වඩාත් යහපත් තැනක් බවට පත් කර ගැනීමට අවකාශය උදාවේ.

සැරියුත් මහරහතන් වහන්සේ විසින් දේශිත, බුදුරාජණන් වහන්සේ අනුමත කළ මජ්ජිම නිකායේ සඳහන් අනංගත සූත්‍රය සාංසාරික ජීවිතයේ විමුක්ති සුවය සොයා යන, නිර්මාණය සොයා යන භාවනානුයෝගියකුට අපූරු මඟ පෙන්වීමකි. තම සිත ජය ගැනීම සසර ගමනින් නිදහස් වීමේ අරමුණ ජය ගැනීම උදෙසා දරන උත්සාහයට අපූරු මඟ පෙන්වීමකි. සාමාන්‍ය ජීවිතයක් ගෙවන පුද්ගලයකුට නම් සිය ජීවිය වඩාත් සාර්ථකව හැඩ ගසා ගත හැකි මාර්ගෝප දේශනයකි. තම අඩුපාඩු මඟ හැර තිබෙන වැරැදි හඳුනාගෙන ඒවා දුරු කිරීමටත් නැති වැරැදි ඇති වීමෙන් වැළකීමටත් අගනා මඟ පෙන්වීමකි.

ඔබ අධ්‍යාපනය ලබන දරුවෙක් නම් ගණිත විෂයයට ඔබ දුර්වල බව හඳුනා ගන්නවා නම් ඒ දුර්වලකම මඟ හැරීමට ඔබට අවකාශය උදාවේ. ගණිත විෂයයේ ;නාදන්නා තැන් දැන ගැනීම සඳහා ගුරුවරයකු ගේ මාර්ගෝපදේශ වැඩි වැඩියෙන් ලබා ගැනීමෙනි. වැඩි වැඩියෙන් අභ්‍යාසවල නිරත වීමෙනි. ඒ සඳහා වැඩි වේලාවක් කැප කිරීමෙනි. එපමණක් ද නොවේ. ඔබ වඩාත් දස්කම් පෙන්වන්නේ කවර විෂයය සඳහා ද යන්න ද අවබෝධ කරගත යුතු ය. ඒ දක්ෂතාවය දිගින් දිගටම පවත්වා ගත හැකි වන්නේ එවිට ය.

බොහෝ දරුවෝ තමන් කවර විෂයයෙහි දස්කම් දක්වන්නේ ද කවර විෂයයක් සඳහා දුර්වල ද යන බව නොදනිති. තමන් වැඩි වැඩියෙන් කැපවිය යුතු වන්නේ කවර විෂයයක් සඳහා ද යන බව නොදනී. සමහර දරුවන් වැඩියෙන් දස්කම් පෙන්වන විෂයයන්වලින් ද අසමත් වන ආකාරය අපි දකිමු. ඊට ප්‍රධාන හේතුව මේ දරුවන් සිය දක්ෂතා, හැකියාවන් හඳුනා නො ගැනීමය. එය තහවුරු කර ගැනීමට කටයුතු නොකිරීම ය.

තමන්ට මේ විෂයය එතරම් අපහසු නොවේ යැයි සිතා කරුණු අධ්‍යයනයෙන් වැළකීම ය.

සමහර විෂයයන් පිළිබඳ දක්ෂතාවයක් නොවුණ ද දක්ෂ යැයි සිතා කටයුතු කරන සිසු දරුවෝ ද වෙති. මේ ආකල්පයට අනුව කටයුතු කිරීම නිසා ම මේ දරුවන් විභාග අසමත් වේ.

මේ නිසා ඉගෙනීම ලබන දරු දැරියන් තම තමන් ඒ ඒ විෂයයන් පිළිබඳ දක්වන්නා වූ දස්කම් හා දුර්වලකම් හඳුනාගෙන දස්කම් වැඩි දියුණු කිරීමටත්, දුර්වලකම් මඟ හරවා ගැනීමටත් කටයුතු කළ යුතු ය.

ජයග්‍රහණය වෙත පහසුවෙන් ළඟා විය හැක්වන්නේ එසේ කටයුතු කිරීමෙනි.

ඔබ ජීවත්වන ක්ෂේත්‍රයට අදාළව, නිවසේ පරිසරයට, රැකියාවට අදාළව සමාජයේ අන් අය සමඟ ගනුදෙනු කරන ස්වරූපයට අදාළව මේ ධර්ම කරුණු ආදේශ කරගත යුතු ය.

ජීවිතයේ කරන කියන සෑම ක්‍රියාකාරකමක් පිළිබඳව ම එහි හොඳ හා නරක ප්‍රතිඵල පිළිබඳ අවබෝධයෙන් කටයුතු කළ යුතු ය. තම ජීවිතයට හොඳ දේ යහපත් දේ වඩ වඩාත් සමීප කරගන්නත්, අයහපත, වරද ජීවිතයෙන් දුරස් කිරීමටත් කටයුතු කළ යුතු ය. සෑම කාර්යයක දීම නිවැරැදි සිහිය පිහිටුවා ගත යුතු ය.

තමන් කරන කියන දේ නිසා තමන් ජීවත්වන පිළිවෙළ නිසා තමන්ටත්, සමාජයේ අන් අයටත් කරදරයක්, වරදක් නොවන ලෙස කටයුතු කළ යුතු ය. නිවැරැදි දේ සිතමි, නිවැරැදි දේ කරමි, හොඳ නරක හඳුනා ගනිමි, යන ආකල්පය ඇතිව සෑම මොහොතකම කටයුතු කළ යුතු ය. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මය තේරුම් ගන්නේ නම්, අවබෝධ කොට ගන්නේ නම් නිසැකව ම ඔබ ගේ ජීවිතය වාසනාවන්ත කර ගැනීමට හැකි වනු ඇත. මෙලොව පමණක් නොව සාංසාරික ජීවිතය ද යහපත් වනු ඇත.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: