Posted by: lrrp | February 22, 2010

ඉක්මන් කරලා ඔය කෙල්ල අපේ ගෙදරට අරන් යමල්ලා

තමන්ගේ නුවණට ගෝචර නොවුණු පමණින් යමක් මිථ්‍යාවකැයි, මනඞකල්පිතයකැයි, බොරුවකැයි, ප්‍රතික්ෂේප කිරීම බුද්ධිමත් භාවයේ ලක්ෂණයක් නොවේ. බුද්ධිමතාගේ ද බුද්ධිමත්භාවයේ ද ලක්ෂණය වන්නේ, ලක්ෂණය විය යුත්තේ යමක් ඇසූ දුටු විට එය විමර්ශනයට ලක් කොට බැලීමයි. එසේ නැතුව තමන්ගේ මිනුම් දණ්ඩෙන් මැන උපහාසයට, අපහාසයට, ලක් කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම වැදගත් ලක්ෂණයක් නොවේ. මේ විශ්වයේ අප දන්නා දේ ඉතා ම ස්වල්පයකි. කිසිවක් ම හරියාකාර දන්නේ නැතැයි කීව ද එය ඉතාම සාධාරණ ය.

වර්තමාන උගතුන් යැයි කියන ටයි කෝට් අඳින මහත්තැන් බොහෝ දෙනෙකු විසින් නොතකා නොසලකා සුළු කොට සිතනු ලබන, ගමේ පංසලේ හාමුදුරුවෝ, ගුරුන්නාන්සේ (ගුරුවරයා) වෙද රාල, ගම රාල, ගොවි රාල එදා ගමට රටට සම්පත් වූහ. හාමුදුරුවන් හැර අනිකුත් සියලු දෙනා කොණ්ඩය බැඳ සිටිය ද නිතර පාවහන් මිරිවැඩි නොපැළඳුව ද හොඳ නරක මැනවින් හඳුනා සිටියහ. දඹුලු ගොස් තලගොයි දඩයම් කළේ නැත. කබරුන් තලගොයින් කළේ නැත. එදා සුරූපී තරුණියකට මැණිකක් අතින් ගෙන දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා පයින් යා හැකි පරිසරයක් ගොඩ නැගුවෝ ඒ පැරැන්නෝ ය. අද මෙන් සුනාමියට අසු වූ තරුණියකගේ කණ කර ගලවා ගෙන ඇය මුහුදට විසි කරන්නට තරම් වූවෝ එදා නොවූහ. එදා ගුරුවරයා දෙවියෙකි.

වරදට දඬුවම් කළ ද මව්පියෝ ඔහුට විරුද්ධව උසාවි ගියේ නැත. අද මෙන් එදා ගුරුවරයා ළමයින්ට බිය වූයේ ද නැත. ඔහුට ගොවියා පුතුන්, රාලහාමියා පුතුන් එක හා සමාන විය. එදා ගොවියා අතින් පරිසර හානි සිදු වූයේ නැත. සෑම ලියැද්දක ම සෑම වක්කඩක ම පෙති පැටව්, දන්ඩින්, හඳයන් නිදහසේ පිහිනූහ. සොබා දහමට අනුව කොකාට වාරයක් පැමිණිය ද තිත්තයින්ට ද වාරයක් පැමිණියේ ය.

අද තිත්තයින්ට නම් වාරයක් එන්නේ ම නැත. එදා ගොවියා කුඹුර ඉහත්තෑවේ කුරුලු කොබෙයියන් සඳහා “කුරුලු පාළුව“ නමින් ලියැද්දක අස්වැන්න අත හැර පරිත්‍යාග කොට තිබුණි. අද සෑම කුඹුරක ම වස බෙහෙත් ගහලා ය. ඌරන්ට විදුලි රැහැන් ඇදලා ය. ඒ තරමට ම ලෝකය දියුණු වී ඇත. එසේ ම එදා දරුවෝ ද ශිෂ්‍යත්ව පංති නොගිය ද යම්තම් වයස අවුරුදු හය හත වන විට හය හතර (සදෙව් ලෝ – සතර අපා) දැන සිටියහ.

එදා පැරැණි අය හිරු දෙවි සඳ දෙවි ඇදහූහ. හිරු දෙවියන්ගෙන් (බහු වචනයකි) සඳ දෙවියන්ගෙන් (බහු වචනයකි) පිහිට පැතූහ. ඕසෝන ස්ථරයට හානි නොකළ මිනිසාට හිරු දෙවියෝත් සඳ දෙවියෝත් පිහිට වූහ. එදා මිනිසාගේ දැනුම, පිළිගැනීම, කොයි තරම් විද්‍යාත්මක ද? ජීවී අජීවී සියල්ලේ උපතට, පැවැත්මට, සූර්ය චන්ද්‍ර බලපෑම එදා මිනිසා හඳුනාගෙන සිටියහ. අද බලවතුන්ට ධනවතුන්ට දොහොත් මුදුන් කැරෙන දෑත් හිරු සඳුට අද මුදුන් වන්නේ නැත. ඒ එදා ය. මේ මෙදා ය. බුදුරජාණන් වහන්සේත් සෙවන දුන් බෝ ගසට පවා ගෞරව කළ බව ද සිහිපත් කළ යුතුය.

පසු ගිය දා භෞතිකවාදී ප්‍රවීණයෙක් රූපවාහිනී සාකච්ඡාවක දී සූර්යයාගේ අධික උෂ්ණත්වය නිසා එහි ජීවීන් (සත්ත්වයින්) නැතැයි කීවේය. හෙට අනිද්දා නවීන විද්‍යාඥයන් විසින් සූර්යයා තුළ ද ජීවීන් ඇතැයි සොයා ගත්තොත් මේ ප්‍රවීණ යා කුමක් කියනු ඇද්ද? පොළවේ පස් තට්ටුවට යටින් පාෂාණමය තට්ටුවකි. ඊට සැතපුම් ගණනාවකට යටින් ලෝකයේ භ්‍රමණයට අනුව කැකෑරෙන ලෝ දිය කලාපයක් ඇතැයි අද විද්‍යාඥයෝ සොයා ගෙන ඇත. එය ම මීට වසර දෙදහස් පන්සිය ගණනකට පෙර බුදුරජාණන් වහන්සේ නුවණින් සොයා දැන දේශනා කළ සේක.

එපමණක් නොව එසේ උතුරා නැගෙන ලෝ දිය සහිත අවීචි මහා නිරයෙහි ද පාප කර්ම විපාකයට අනුව සත්ත්වයන් උපදින බව ද දේශනා කළහ. ඒ තරම් දැඩි උෂ්ණත්වයක සත්ත්වයන් උපදිතැයි ත්‍රිපිටක ධර්මයේ සඳහන් වේ නම් සූර්යයාගේ දැඩි උෂ්ණත්වයට ඔරොත්තු දෙන ආවේණික වූ සත්ත්ව කොටසක් නැතැයි කාට කිව හැකි ද?සූරිය පරිත්තය හා චන්ද පරිත්තය මහ පිරිත් පොත් වහන්සේගෙන් ඉවත් කරන්නට භෞතිකවාදීන්ට පුවළුන් වේවි ද? මා මෙතෙක් වෙහෙස වූයේ අපේ පැරැණි අයගේ දැනුමට ගෞරව උපහාර දක්වන්නට ය.

මේ කතාව ද එවැනි පැරැන්නකු ගේ හාස්කමකි. මේ කතාව ද තව අවුරුදු පහකින් දහයකින් නූතනයේ බොරු යැයි කියන්නට ද බැරි නැත. මා එය මෙසේ කල් ඇතුව සඳහන් කරන්නේ ඕනෑම පර්යේෂකයකුට එය ඇත්තදැයි දැන ගන්නට තවමත් ඉඩකඩ තිබෙන නිසාය.

මේ කතාව මා සමඟ පැවසුවේ බටහිර වෛද්‍ය වරයෙකි. බෙලිඅත්ත, හත්බෝධිය රජයේ රෝහලේ වෛද්‍ය පද්මසිරි දිසානායක මහතා ය. ඒ මහතා ගේ වචනයෙන් ම ලියමි.

“මම දැන් මාතර පදිංචිව සිටියත් මගේ උපන් ගම කුරුණෑගල. මගේ සීයා කුරුණෑගල ‘අඹවල’ වෙද පරපුරට අයත් දක්ෂ වෛද්‍යවරයෙක්. අපි ඒ සීයා හැඳින්වූයේ වෙද ආතා කියලා. සර්ප විෂ වෙදකම පිළිබඳ ඉතා ම සුප්‍රසිද්ධ වෛද්‍යවරයෙක්. හැබැයි වෙදකම් කළාට කිසි දවසක මුදල් අය කළේ නෑ. ඒත් එදා සිටි මිනිස්සු අද කාලෙ මිනිස්සු වගේ නොවෙයි. තමන් සුවපත් කළ වෛද්‍යවරයාට මාසෙකට දෙකකට වරක්වත් තමන් ළඟ තියෙන භවභෝගවලින් ‘දැකුම්’ අරගෙන ඇවිත් පිළිගන්වලා වැඳලා යන සිරිතක් තිබුණා. ඒ වගේ ම ඒ කාලෙ වෛද්‍යවරු ගුරුවරු හොඳට ගොවිතැන් බත් කළ උදවිය නිසා ඒ තරම් අමාරුකම් තිබුණෙත් නෑ. අපේ වෙද ආතාත් ඒ වගේ යමක් කමක් තිබුණු බොහොම ගාම්භීර කෙනෙක්.

ඉතින් මේ කතාව අදින් අවුරුදු හැටකට විතර කලින් සිද්ධ වෙච්ච දෙයක්. දවසක් අපේ වෙද ආතා ගෙදරින් පිටත් වෙලා ගමනක් යමින් ඉඳල තියෙනවා. ඒ කාලෙ වෛද්‍යවරු ගමනක් යන කොට හරක් අං කොපුවක දැමූ බෙහෙත් වර්ග ටිකක් අරගෙන යන සිරිතකුත් තිබුණා. ඉතින් මෙහෙම පාර දිගේ පයින් ම යන කොට අල්ලපු ගමක කෙනෙක් මැරිලා භූමදාන කරන්න අවමංගල පෙරහර කනත්ත දක්වා ගමන් කරමින් තිබුණා.

වෙද ආතා පාරේ හිටපු කෙනෙකුගෙන් අහලා තිබුණා,

“කාගෙද? මේ මරණය” කියා.

“ඔය අසවල් ගමේ ගෑනු ළමයෙක් නයෙක් දෂ්ට කරලා මැරිලා” කියා ඔහු උත්තර දී තිබුණා. වෙද ආතා තමන් ඉදිරියෙන් ගමන් කරමින් සිටි, මිනි පෙට්ටිය ඔසවා ගෙනා අයට බස්තම දිගු කර නතර කරවා “කව්ද මේ මැරිලා තියෙන්නේ” කියා අහලා තියෙනවා.

“මේ අවුරුදු දහසයක ගෑනු දරුවෙක්” යැයි ඉන් කෙනෙක් උත්තර දී තිබුණා.

“මොනවා වෙලා ද මැරුණේ?” වෙද ආතා අහල තියෙනවා.

“නයෙක් දෂ්ට කරලා”

“කවදා ද?”

“ඊයේ”

“ආ… එහෙම නම් ඔය පෙට්ටිය බිමින් තියාපල්ලා” කියා තියෙනවා.

ඒ උදවියත් මිනී පෙට්ටිය බිමින් තියලා. වෙද සීයා මිනී පෙට්ටියේ පියන අරවලා මිනිය පරීක්ෂා කර තියෙනවා. ඒ කාලෙ අද වගේ එම්බාම් කරන්නෙත් නැහැ. දවස් ගණන් මිනිය ගෙවල්වල බූරු ගගහා තියා ගන්නෙත් නැහැ.

වෙද සීයා මිනිය පරීක්ෂා කරලා ඉණේ තිබුණු බෙහෙත් අඟ අරගෙන වතුර ටිකක් ගෙන්වා බෙහෙත් ගුලියක් දියකර ඇස් දෙක මුලට බිංදු දෙකක් දමා තියෙනවා. තවත් බෙහෙත් ගුලි කීපයක් හපලා පැපොල් බට කෑල්ලකින් නාසය තුළට පිඹලා තියෙනවා. විනාඩි පහක් විතර යන කොට මේ මිනියේ ඇහි පිහාටු නලියන්න පටන් අරගෙන.

“හා… හා… ඉක්මන් කරපල්ලා. ඉක්මන් කරපල්ලා ඔය කෙල්ලව අපේ ගෙදරට අරගෙන යමල්ලා” කියලා වෙද සීයා යන්න ආ ගමන අතහැරලා මේ පිරිසට ඉදිරියෙන් ගෙදර ගිහින්. ගමේ මිනිස්සුත් මොකක්ද මේ මිනී පෙට්ටියත් අර ගෙන වෙද ගෙදරට එන පෙරහර කියලා ඒ අයත් පස්සෙන් ඇවිත්.

ගෙදරට ඇවිත් වෙද සීයා කියලා තියෙනවා “දැන් ඉතින් කෙල්ලව ඔය ඉස්තෝප්පුවේ බිමින් තියාපල්ලා” කියලා පැදුරක් දීලා තියෙනවා. පැමිණි පිරිස ඒ ගෑනු ළමයව පෙට්ටියෙන් ඉවතට ගෙන බිමින් තියලා තියෙනවා.

ඊට පස්සෙ වෙද සීයා මතුරලා තෙල් ටිකක් ගාලා ළමය ගෙ ඇඟට සැර දුමක් අල්ලලා. මේ අතරෙ එතන හිටපු අයට බෙහෙත් ඖෂධ කැලෑ කොළ හොයා ගෙන එන්න කියලා. ඒ කියපු සැනින් ඒ මිනිස්සු සුරුස් ගාලා දුවලා ඒ බෙහෙත් ද්‍රව්‍යත් හොයා ගෙන ඇවිත්.

පළමුවෙන් ම ළමයා ගේ නහයෙන් නස්නයක් කරලා. ඊ ළඟට ඉස කුඩිච්චියක් දාලා. බෙහෙත් කොටලා අඹරවලා මුළු ඇඟේ ම තවරලා. පැයක් විතර යන කොට කෙල්ල ඇහි පිය ගහලා. තව ටිකක් වෙලා ගිහින් ඇහැ ඇරලා බලලා. තවත් ටිකකින් කෙඳිරි ගාන්න පටන් අර ගෙන. තවත් ටිකක් වෙලා ගිහින් අර නස්නය කරපු බෙහෙතුත් එක්ක වමනය කරලා. දැන් හැමෝගෙ ම හිතට හරි සතුටුලු. මේක ආරංචි වෙලා ඒ ළමයගෙ ගෙදර හිටපු උදවියත් දුව ගෙන ඇවිත්. ඒ අය වෙද සීයගෙ කකුල් දෙක අල්ල ගෙන පිං දිදී වඳිනවලු. ඊට පහුවදා උදේ එළිවෙන කොට කෙල්ල නැගිටලා පැදුරේ වාඩි වෙලා. වෙද සීය අනිත් අයට කීවාලු,

“දැන් කවුරු හරි එක් කෙනෙක් නතර වෙලා ඔය මිනී පෙට්ටියත් අරගෙන උඹලා ගමට පලයල්ලා” කියලා. ඒ උදවිය ගියත් තම තමන්ට පුළුවන් විදිහට අල බතල කුරහන් මීපැණි වගේ තෑගි බෝගත් අරගෙන දින පතා ම ඇවිත් ගිහින් තියෙනවා.

දෙවැනි දවසේ ඉඳලා ගෑනු ළමයා නැගිටලා ගෙදර දොරේ වැඩටත් උදව් වෙන්න පටන් අර ගෙන. තුන් වැනි දවසේ ඒ ළමයාගෙ උදව්වට නැවතී හිටිය අම්මවත්

“දැන් ඉතින් උඹත් ගෙදර පලයං” කියල ගෙදර යැව්වලු. ඊට පස්සෙත් සුමාන දෙකක් යනතුරු ම ඒ ළමයට ඉසකුඩිච්චි, ඖෂධ කැඳ, නයා දෂ්ට කළ තැනට බෙහෙත් පත්තු බැඳීම් කළා ලු. මේ අතරෙ ඒ ළමයත් ගෙදර කෙනෙක් වගේ ම ගෙදර දොරේ වැඩ පොළට උදව් වේවී හිටිය ලු.

මේ ගෑනු ළමයට හොඳට ම සනීප වුණා ම ඇගේ මව් පියෝ සහෝදරයෝ කැවිලි පෙවිලි තෑගි බෝගත් අරගෙන ආවලු කෙල්ලව එක්ක ගෙන යන්න.

හා… හා… හොඳයි හොඳයි කැවිලි පෙවිලි කෙසෙල් කැන් ගෙනාපු එකත් හොඳයි. ඒ වුණාට උඹලා මේ කෙල්ලව කැරකොප්පුවට අර ගෙන ගියේ වළ දාල යන්න නේද? එහෙම ගෙනාපු කෙල්ල ආයෙත් උඹලට මොකට ද? ඒකි ඔන්න ඔහේ හිටිද්දෙන්. ඒකිව මගේ ලොකු පුතාට කර කාර බන්දලා ;දනවා.” කියලා ඒ අයව ආපහු යවලා.

ඊළඟට තිබුණු නැකැත් දවසේ ගෑනු ළමයගෙ ගෙදර අයටත් එන්න කියලා පණිවුඩ යවලා. රෙජිස්ටාර්ව ගෙදරට ගෙන්නලා වෙද සීයා ඒ ගෑනු ළමයා තමන් ගේ ලොකු පුතාට විවාහ කැර දුන්නාලු.

වෙද සීයා මැරිලා දැන් හුඟක් කල්. ඒ ගෑනු ළමයා දැන් අවුරුදු අසූවක විතර අත්තම්මා කෙනෙක්. වෙද සීයගෙ ලොකු පුතාට අපි කියන්නේ බණ්ඩාර මාමා කියලා. ඒ දෙන්නට ම දැන් හොඳට ම වයසයි. ඒ අය සර්ප විෂ වෙදකම තවමත් කර ගෙන යනවා. අඹවල වෙද ගෙදර කීවාම ඒ ප්‍රදේශයේ කවුරුත් දන්නවා.

මා මේ කතාව කීවේ එදා වෛද්‍යවරුන් ළඟ වෛද්‍ය ශාස්ත්‍රය, මන්ත්‍රය ශාස්ත්‍රය, කෙම් ක්‍රමය, අත් ගුණය, වගේ දේවල් පිහිටලා තිබුණ බව කියනවා. පියවි ඇසට නොපෙනුනාට මේවා සහතික ඇත්ත. දැන් වුණත් ගිහින් අහලා බලන්න පුළුවන්. හැබැයි දැන් නම් සමාජයේ ගුණ ධර්ම පරිහානියත් එක්ක පොළොවේ රස ධාතුව හීන වෙලා. ගහ කොළවල පලවැල වල, ඖෂධීය ගුණයත් රස ධාතුවත් හීන වෙලා. ගුණ ධර්ම හීන මිනිස්සුන්ට යන්ත්‍ර මන්ත්‍ර බල පිහිටන්නෙත් නෑ යි පද්මසිරි දිසානායක දොස්තර මහතා කතාව හමාර කළේ ය.

වර්තමානයේ බටහිර වෛද්‍යවරු පවා, භෞතික විද්‍යා උපාධිධාරීන් පවා ටික දෙනෙක් හරි දැහැමි ප්‍රතිපත්ති රකිමින් භාවනාව ප්‍රගුණ කරනවා. පිනට දහමට, බණට දහමට නැඹුරු වෙලා ඉන්නවා. භාවනාවෙන් ලැබෙන නිරාමිස සුවය වින්දනය කරනවා. මේ විනාශ වී ගෙන යන ලෝකයේ ඒකත් සැනසිල්ලට සතුටට කාරණයක්.

සර්පයෙකු දෂ්ට කිරීමේදීත්, සර්ප විෂ ශරීර ගත වීමේ දී ත්, මරණයේදීත්, මළ මිනියටත් අපට නොපෙනෙන විශ්වයේ පවතින ජීවී අජීවී භූත කොටස්වල බලපෑම් පවතිනවා.

ප්‍රතිපත්තිමය ශීල භාවනාවල යෙදෙන අයට එවැනි දුකට පත් වූවන් සුවපත් කරන්නටත්, තමන්ට එළඹෙන අපල උපද්‍රව යම් තරමකින් හෝ පාලනය කර ගන්නටත් ඔවුන් ගේ කුසල ශක්තියෙන් හෙවත් කුසලතාවයෙන් පුළුවන් බව මේ වගේ සිද්ධිවලින් සනාථ වේ.


Responses

  1. මෙය නම් විය හැක්කක්… නාගයකු වැනි සර්ප දෂ්ටයකින් සාමාන්‍යයෙන් දින 3ක් යන තුරු විෂ මුර්ඡාව පවතිනව. දක්ෂ විෂ වෛද්‍යවරයකුට නම් ආතුරයා මළේ නැහැ කියල නිගමනය කරන්න පුළුවන්.. සාමාන්‍ය මිනිස්සුන්ට නම් අමාරුයි… මෙවන් දක්ෂ වෙදැදුරන් එකළ සිටියා.. අදත් බොහොම විරළව ඉන්නවා… මන්ත්‍රයෙන් විෂ බස්වන, දූතයාගෙන් විෂ බස්වන ක්‍රම දන්න වෙදැදුරන්… මේවා වියැකී යා නොදී රැක ගන්නවානම් ඉතාම වටිනව…..


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: