Posted by: lrrp | February 22, 2010

හාමුදුරුවරු 5000 ක් පැය 10000 ක් පිරිත් දේශනා කළ දොළොස්මහේ පිරිත

බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වැඩි වශයෙන් නිධන් කළ අපේ රටේ ඇති සුවිශාල චෛත්‍යය රුවන්වැලිසෑයයි. එය ධාතු කරඬුවක් ලෙස සලකා එය වටා පිරිත්, හුයක් බැඳ ශ්‍රී මහා බෝධින් වහන්්සේත් ඒ පිරිත් හුය එක් කොට පිරිත් මණ්ඩපයට ගෙන මහා පිරිතක් කීවොත් එය පුදුමයට කරුණක් වනු ඇත. නමුත් මේ දිනවල අනුරපුර රුවන්වැලි සෑය අභියසට යන අයට මේ පුදුම කටයුත්ත හරියටම ඉටුකරන හැටි දැකබලා ගත හැකිවනු ඇත. ඒ එසේ මෙසේ මහා පිරිතක් නම් නොවේ දොළොස්මහේ පිරිතක් ලෙසිනි.

පල්ලේගම හේමරතන හිමි

පිරිතේ අනුභාවය අති විශාලය. ඒ අනුව ගෙයකට ගෙවදින විට මෙන්ම විහාරස්ථානයකට ගෙවදින විට හා නොයෙක් සුබ අවස්ථාව වැදගත් දෙයක් ආරම්භ කරන විට අපි මහා සංඝරත්නය ලවා පිරිත් දේශනා කරමු.

සෙත් පිරිත, සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනා හා තුන් වරුවේ පිරිත්, සති පිරිත් ඒ අතර ප්‍රධාන තැනක් ගනී. මෑත කාලයේ එවැනි පින්කමක් ගැන අපි අසා නොසිටියත් මෙරට බෞද්ධ ඉතිහාසයේ එවැනි පිංකම් පිළිබඳ තොරතුරු අනන්තය.

මේ මහා පිරිත් සජ්ඣායනය ආරම්භ වූයේ පසුගිය වසරේ ජනවාරි 10 වැනිදාය. රුවන්වැලිමහා සෑය ළඟ ආරම්භ වූ ඒ මහා පිංකම මෙරට ප්‍රථම වරට සිදු කෙරුණු දොළොස්මහේ පිරිත් පිංකම විය. දැනට ඒ පිරිතට දොළොස් මසක් නොව මාස 13 ක් ගතවී ඇත. දින වශයෙන් බැලුවොත් දින 405 කි.

සති පිරිත් දේශනාවල මහ පිරිත් දේශනා වල පාරම්පරික සියලු චාරිත්‍ර වාරිත්‍ර අකුරටම අනුගමනය කරමින් පුරා වසරකට අධික කාලයක් පැවැත්වූ මේ දොළොස්මහේ පිරිත පෙබරවාරි 28 දිනට යෙදෙන නවම් පසළොස්වක දින අවසන් වීමට නියමිතය.

දොළොස් මහේ මහ පිරිතට එක්වූ මහා සංඝරත්නය ද අති විශාලය. ඒ සඳහා පිරිතේ සම්ප්‍රදාය රැකගන්නා විවිධ නිකායවල ස්වාමින් වහන්සේ 5000 ක් දෙනා පැය 10000 ක් නොකඩවා ශ්‍රී සද්ධර්මය දේශනා කළහ.

පිරිත් දේශනාවේ මූලික අරමුණ වූයේ කොටි ත්‍රස්තවාදය අවසන් කර ශ්‍රී ලංකාවට සාමය සෞභාග්‍යය උදාකර දීමයි. එය දැන් ඉටුවී තිබේ. එය ඉටුවූයේ පිරිත් දේශනාව ආරම්භ කර දින 125 ක් ගතවෙද්දී වීම විශේෂයකි.

දොළොස්මහේ පිරිත ආරම්භ කිරීමට මහාසංඝයා වහන්සේ වැඩම කරනු ලැබූ අවස්ථාව

මේ මහා කර්තව්‍යයේ ප්‍රධාන දායකයා ජපානයේ වෙළෙඳ ව්‍යාපාරික ශ්‍රී ලාංකිකයකු වූ ක්ෂ්ත්‍රිය පුත්‍ර වීරසිංහ මහතාය. ප්‍රධාන සංවිධායක වූයේ ජාතිය ගොඩනැගීමේ ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහතායි. ප්‍රධාන පැවිදි අනුශාසක වූයේ නුවර කලාවිය ප්‍රධාන සංඝනායක ස්වර්ණමාලි මහා චෛත්‍යාරාමාධිකාරි අනුරපුර මහා විහාර පිරිවෙන් කෘත්‍යාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පල්ලේගම හේමරතන හිමිපාණන්ය. උන්වහන්සේ පවසන පරිදි මේ දොළොස්මහේ පිරිත මුලින් සංවිධායකයන්ට අභියෝගයක් ම විය.

උන්වහන්සේ මේ පිළිබඳව සිය අදහස් දැක්වූයේ මෙසේය.

“පිරිත දේශනා කරවීමේ ප්‍රධාන අරමුණ වූයේ 2009 ජනවාරි මාසයේදී මේ රටේ ප්‍රබලව පැතිරී තිබු කොටි ත්‍රස්තවාදය මුලිනුපුටා දමා රට එක්සේසත් කර රටට සාමය ඇති කිරීමයි. අටමස්ථානාධිපති හිමියන්ගේ උපදෙස් පරිදි මේ මහා පිරිත අපි අනුරාධපුරය රුවන්වැලි මහා සෑය අභියස ඉදිකළ විශේෂ මණ්ඩපයක පටන්ගත්තා. කෙසේ වුවත් මෙය ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බවත්, විශාල අභියෝගයක් බවත් අපට පෙනුණා. නමුත් කාලීනව ඉතා වැදගත් වූ අදහසක් සිතේ තබාගෙන කරන මේ පිරිත සංවිධානය කරන්නට අපි තීරණය කළා.

මේ අදහසට ප්‍රායෝගිකව ගැළපෙන ඉතාම සුදුසු තැන රුවන්වැලි මහා සෑය බව අප කල්පනා කළා. මේ අරමුණින් ම කටයුතු කළ දුටුගැමුණු රජතුමන්ගේ ඉහළම ශාසනික කටයුත්ත වූයේ රුවන්වැලි මහා සෑය ඉදිකිරීමයි. ඒ සමඟම මුළු තුන් ලෝකයේම සර්වඥ ධාතු වැඩිම ප්‍රමාණයක් තැන්පත් කර තිබෙන්නේ මේ චෛත්‍යයේ. ඒ අනුව මේ බුද්ධ භූමියේ එබඳු පිංකමක් කරන එක ඉතාම ආනිසංසදායක හා අප බලාපොරොත්තු වන බොහෝ අරමුණු ක්ෂාත්ෂාත් කර ගැනීමට හේතුවක් වන බව අපට පෙනුණා.

දළදා මාලිගාවෙන්, කතරගම කිරි වෙහෙරින්, ශ්‍රී පාදයෙන්, මහියංගණයෙන් පිරිත් පැන් අරන් ආවා. තිසා වැවෙන් ද පිරිත් පැන් අරන් ආවා. අස්ගිරි මහා නායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමි ප්‍රධාන මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් මේ පිරිත අපි ආරම්භ කළා.

පිරිතට වැඩමවා වදාළ මහා සංඝරත්නය

දොළොස්මහේ පිරිත කියලා නම තිබ්බේ ඊට පස්සේ. මේ පිළිබඳව අපි ආරම්භ කරන කාලයේම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට දැන්වූවා. එතුමා මාස 3 ක් යාමට පෙර මේ පිරිත් ශ්‍රවණය කිරීමට පැමිණ අපේ ආශිර්වාදය ලබාගත්තා.” යැයි ද පල්ලේගම හේමරතන හිමියෝ පැවසූහ.

කෙසේ වුවත් මේ දොළොස්මහේ පිරිත දිගටම පවත්වාගෙන යෑම ලෙහෙසි පහසු කටයුත්තක් වූයේ නැත. මුලින්ම මේ සඳහා ප්‍රාමාණික භික්ෂුන් වහන්සේලා ලබා ගැනීම අපහසු කටයුත්තක් විය. පිරිත් නිවැරැදි ලෙස උච්චාරණය කරන අක්ෂර වින්‍යාසය නිවැරැදිව දේශනා කරන හිමිවරුන් මේ සඳහා අවශ්‍ය විය.

මුළු රටේම ස්වාමින්වහන්සේට කිසිම බේදයකින් තොරව මේ දක්වා පිරිත් දේශනාව සඳහා සම්බන්ධ වෙන ලෙස ආරාධනා කෙරිණි. කැමැත්තෙන් ශ්‍රද්ධාවෙන් මීට සහභාගි වෙන හාමුදුරුවරුන්ට ඉඩකඩ විවෘත විය. රටේම, ශාසනාරක්ෂක බල මණ්ඩලවල ලේකම් හිමිවරුන්ට, ලිඛිත ආරාධනා කරන ලදී. ඊට යහපත් ප්‍රතිචාර ලැබිණි. ස්වාමින් වහන්සේ නොඅඩුව පිරිත් දේශනා කිරීමට පැමිණියහ. සමහර විට ගමේ හතර පේරුවම සහ පිරිවරින් පැමිණියහ.

කෙසේ වුවත් මුල් කාලයේදී මේ හිමිවරුන්ට දාන මානා පිරිනැමීමට ක්‍රමවේදයක් තිබුණේ නැත. මේ අවස්ථාවේදී ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහතා ඉදිරිපත් වී ඔහු භාරයේ ඇති සමෘද්ධි අමාත්‍යාංශයේ සමෘද්ධි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ සහාය ඇතිව දාන මාන ලබා දීමේ වැඩ පිළිවෙළක් සකස් කළේය.

ඊළඟට පැන නැඟුණු ප්‍රශ්නය රාත්‍රියට රුවන්වැලි සෑයේ ආරක්ෂාවට රාත්‍රියට එය වසා දැමීමේ ප්‍රශ්නයයි. එවිට පිරිත් ඇසීමට දන් පැන් ලබාදීමට ජනතාවට යාමට ඒමට ප්‍රශ්නයක් විය.

“නමුත් පසුව මේ පිළිබඳව කළ සාකච්ඡා වලින් අනතුරුව ශ්‍රී ලංකා පොලිසිය හා යුද හමුදාව එක්ව අපගේ ඉල්ලීම අනුව රුවන්වැලි සෑ පුදබිම බැතිමතුන් සඳහා පැය 24 ම විවෘත කර තැබීමට කටයුතු කළා.

ඒ අනුව කාන්තා පොලිස් නිලධාරීන් රාත්‍රියේ සේවයේ යොදවමින් අමතර පිරිස් සේවයේ යොදවමින් ආරක්ෂක අංශ විශාල කැපවීමක් කළා. මේ ස්ථානයට ආරක්ෂාවත් දෙමින් දොළොස්මහේ පිරිතට පූර්ණ සහාය දෙමින්.

ඇතැම් දවස්වල අපට පාලනය කර ගැනීමට බැරි තරම් හාමුදුරුවරු දායක දායිකාවෝ මීට එක්වුණා. දෙමළ මුස්ලිම් හින්දු අයත් මේකට උදවු කළා. ඒ සමඟම අබෞද්ධ නිලධාරීන් අපට උදවු කළා. වවුනියාවෙන් දෙමළ අය ආවා.

රටේම පොදු කටයුත්තක් බවට මේක පරිවර්තනය වුණා.” හේමරතන හිමියෝ පැවැසුවේ මෙවැනි ආධ්‍යාත්මික කටයුතුවලට දේවාශිර්වාදය ලැබෙන බව පෙන්වමිනි.

දොළොස්මහේ පිරිතට දින 100 ක් පමණ ගතවෙද්දී සුවිශේෂි අමුත්තෙක් ද මෙම ස්ථානයට පැමිණියේය. ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාය.

රටේ සේනාධිනායක ලෙස එතුමාට ද ඒ මාස 3 ක් පමණ පිරිත් කළ පිරිත් නූල් බඳවා පිරිත් පැන් බොන්ට දී ආශිර්වාද කිරීමට මහා සංඝරත්නය ක්‍රියා කළහ. ඊට පසු ත්‍රිවිධ හමුදා නායකයෝ ද අංශ ප්‍රධානීහු ද මෙම අවස්ථාවට පැමිණ පිරිත් නූල් බැඳ පිරිත් පැන් බී ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ලබා ගත්හ.

යුද පෙරමුණේ සෙබළුන්ට පිරිත් නූල් රැසක් ලබාදීමට ද කටයුතු කළේය. ඔවුන්ගේ චිත්ත ධෛර්ය නැංවීමට මෙය හේතුවක් විය. පිරිත සම්බන්ධීකරණයට සහාය වූ කුඩාගාල්ල වැවේ ඥානවිමල හිමි පවසන පරිදි දොළොස් මහේ පිරිත පැවැත්වූයේ ඊටම ආවේණික වූ ක්‍රමවේදයකටයි. ඒ අනුව අලුතින් ඊට එක්වන භික්ෂුන් වහන්සේ යම් දිනයක දවල් දානයට මුලින්ම වැඩම කරති. පසුව එදින දවල සිට පසුදින දහවල් දානය තෙක් පිරිත් දේශනය නොකඩවා පැවැත්වීම ඔවුන්ගේ කාර්යය විය.

පිරිතට එක්වූ උපාසික උපාසිකාවන් පිරිසක්

මෙම පිරිතේ සම්බන්ධිකාරක වන පියල් වික්‍රමසිංහ මහතා පවසන පරිදි සැම දිනකම සවස 3 ට රාත්‍රි 9 ට උදේ 6 ට මහ පිරිත පවත්වනු ලැබීය. පසළොස්වක දිනවලදී පමණක් සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් ලෙස සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය කරනු ලැබූ බවත් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ මේ සඳහා දායකත්වය දුන් සියලු දෙනාට පින් අනුමෝදන් කරමිනි.

මෑත කාලයේ සිදුවූ සුවිශේෂ ආශිර්වාදාත්මක කිසිම පින්කමකට සමකළ නොහැකි පිංකමක් ලෙස මේ පිරිත් දේශනය හැඳින්විය හැකි බව තෛ‍්‍රනිකායික මහා සංඝරත්නය ප්‍රකාශ කරති.

පිරිත ආරම්භ වී දින 125 ක් යන විට පිරිතේ මූලික අරමුණ ඉටුවුණා. මැයි 17 – 18 දිනවලදී අපේ හමුදා එල්ටීටීඊ නායකයන් හා එල්ටීටීඊ ව්‍යාපාරය සහමුලින්ම නැති කිරීමට පියවර ගත්තා. ඉන් රටට සාමය උදාවුණා.

රටේ හැමටම සැබෑ නිදහස ලැබුණා. මේ කටයුත්තට අපේ මේ මහ දොළොස්මහේ පිරිත විශාල ආශිර්වාදයක් පිටුබලයක් ලැබෙන්ට ඇතැයි අප සිතනවා.

මේ පිරිතට දින 419 ගත වෙන පෙබරවාරි 28 වැනිදා පසළොස්වක දා මේ පිරිත අවසන් කරන්න අපි තීරණය කළා. එදින අපේ රටේ ස්වාමින් වහන්සේ 3000 ක් සඳහා සපිරිකර සංඝගත දක්ෂිණාවක් අනුරපුරයේ පවත්වනවා.

ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මේ පින්කමට රාජ්‍ය අනුග්‍රහය ලැබෙනවා. එය ඉහළම ජාතික මට්ටමේ පින්කමක් ලෙස ක්‍රියාත්මක කිරීමට සියලු සංවිධාන කටයුතු දැනටමත් සූදානම් කර තිබෙනවා. ඒ අනුව නවම් පුර පසළොස්වක දින යෙදෙන පෙබරවාරි 28 වැනිදා මුළු රුවන්වැලි සෑ වැලි මළුව කසා වස්ත්‍රයෙන් ආලෝකවත් කරමින් බෞද්ධ ධජ පතාක වලින් ෂඩ් වර්ණ විහිදුවමින් මේ සුවිශාල සංඝගත දක්ෂිණාව පිරිනැමීමට කටයුතු කරනවා.

මේ සුවිශේෂි දානය සඳහා ශ්‍රී‍්‍ර ලංකා වාසි හැමටම දායකත්වය ලබාදීමට සංවිධායක මණ්ඩලය තීරණය කර තිබෙනවා. මෙය සැමටම එක්විය හැකි උතුම් අවස්ථාවක්. අවස්ථාවට පැමිණ පිං සිදුකරගන්න පුළුවන්.

මීට දායක වීමට කැමැති නම් දුරකථන අංක 0252222120 හෝ 0776514135 ට අමතා ඔබට වැඩි විස්තර ලබාගන්න පුළුවන්. අවශ්‍ය නම් ඒ දානයට සහභාගි වන එක් එක් හිමිනමක් වෙනුවෙන් දායකත්වය ලබා ගැනීමට ද අවස්ථාව තිබෙනවා.” පල්ලේගම හේමරතන හිමියන් පැවසුවේ දොළොස්මහේ පිංකම මෙන්ම මේ ස්වාමින් වහන්සේ 3000 කට පිරිනමන සංඝගත දක්ෂිණාව ද රටටත් ජනතාවටත් ඉමහත් ආශිර්වාදයක් සෙතක් ශාන්තියක් බව පෙන්වා දෙමිනි.

අනුරාධපුරේ “තුන්දහසේ” දානයට දායකවීමට ඔබ සැමට ආරාධනා

රුවන්වැලි චෛත්‍ය රාජයාණන් වහන්සේ අභයසදි පැවැත්වෙන දොළොස්මහේ පරිත්‍රාණ ධර්ම දේශනය අවසන් වීම නිමිත්තෙන් පවත්වන තුන්දහසකට අධික මහා සංඝරත්නය උදෙසා පවත්වන සංඝගත දක්ෂිණාව පෙබරවාරි 28 දින පෙරවරුවේ පැවැත්වේ.

ඒ වෙනුවෙන් පවත්වන මහා සංඝගත දක්ෂිණාවට දායක වීමට ඔබට ද අවස්ථාව ලැබේ. ඒ සඳහා එක් ස්වාමීන් වහන්සේ නමක් වෙනුවෙන් පූර්ණ දායකත්වය ලබා ගනිමින් ඊට සම්බන්ධ වීමට අවස්ථාව ලබාදීමට දොළාස්මහේ පිරිත සංවිධායක කමිටුව තීරණය කර තිබේ. ඒ සඳහා අවශ්‍ය වැඩි විස්තර 025 2224891, 0776514135 මඟින් දැනගත හැකිය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: