Posted by: lrrp | March 1, 2010

ඊයෙ රෑ ගෙදරදිත් යන්න බෑ කියා ඇඬුවනේ

මිනිසා සංසාරයේ ජීවත් වූ විවිධ ආත්ම භවයන්හි සිදු කළ කුසල කර්මයන්ගේ කුසල විපාක හේතුවෙන් නැවත මේ මිනිස් භවයේ ඉපිද සැප විඳිති. එසේ ම එම භවයන්හි දී සිදු කරන ලද බලවත් අකුසල කර්මයන්හි විපාක කර්මානුරූපව මතුවීම නිසා, සැප විඳීම යටපත් කොට විවිධ වූ ලෙඩ දුක් හා විවිධ වූ කරදර කම්කටොලු වලට ද භාජනය වී අනේක විධ දුක් විඳිති. එසේ සිදුවන්නේ විෂම ලෝභයත්, අනුන්ගේ සැප සම්පත් දැක උහුලාගනු බැරි ඊර්ෂ්‍යාවෙන් මතු වන ද්වේෂයත් නිසා, මෙතෙක් පූර්ව කුසල ශක්තීන් හේතු කොට සැප විඳිමින් සිටි සිත කිළුටු කැර ගැනීමෙන් ඒ පූර්ව කුසල විපාක ශක්තිය යටපත් වී පූර්ව අකුසල විපාක ශක්තීන් මතුවීම නිසා ය. මේ කාමාවචර වූ ලෝකයේ මිනිස් සිත පිනට දහමට යොමු කිරීම ගලන ගඟක ඉහළට පිහිනීම වැනි බාධා සහිත මහත් අපහසුතා මධ්‍යයේ බොහෝ වීර්යයෙන් කළ යුතු දෙයකි.

ථීනමිද්ධය නම් වූ තීවරණ ධර්මතාවය නිසා පිනට දහමට යොමු වීම “අද බෑ හෙට කරනවා – අද වහින්න වගෙයි හෙට කරනවා – අපි තවමත් තරුණයි අද සැප විඳල වයසට ගියාම විශ්‍රාම ගියා ම දනට පිනට යොමු වෙනවා” යැයි කල් දමති. මාරයා සිනා සෙමින් මේ මී හරකා මඩට ම හැලට ම තල්ලු කරයි. මෝහය නමැති මුළාව, මෝඩකම හෙවත් නොදැනීම නමැති මිත්‍යා දෘෂ්ටියෙන් අන්ධ වීම නිසා විෂම ලෝභය හා ද්වේෂය මූලික වූ අකුසල් සිත් පහළ කැර ගැනීමෙන් මේ සුගතියක් වූ මිනිස් ජීවිතය අඳුරටම, දුකට ම පත් කැර ගනිති.

අනුන්ට ඊර්ෂ්‍යා කරන්නට ගොස් තරහව ද්වේෂය බලවත් වී අනුන්ට පාඩු කරන්නට, අපහාස කරන්නට පළි ගන්නට සිත – කය දෙක ම යොමු කිරීමෙන්, භාවිත කිරීමෙන්, නිරන්තර ගින්නකින් සිත දැවි දැවී දුක් විඳියි. එසේ සිත කිළුටුවීම නිසා කායිකව හෘදය වස්තුවේ පවතින අඩ පතක් පමණ වූ රුධිරය හෙවත් ලේ ධාතුව දුර්වර්ණ කැර ගැනීමෙන් ශාරීරික රෝගා බාධයන් වැළඳී දුක් විඳියි. ලෝභය හා ද්වේෂය යන අකුසල හේතු දෙක පිළිබඳව ධර්ම දේශකයන්ගෙත් හා ගුරු වරුන්ගෙත් ඇසීමෙන් ද, ධර්ම ග්‍රන්ථ හා ලිපි කියැවීමෙන් ද මෝහය යටපත් කැර සිත ඒ යහපත් ධර්මයන්ට යොමු කොට “කල්පනා කරන” නුවණ ඇත්තා හොඳ නරක හඳුනා ගනී.

ඔහු තමන්ට හැකි ප්‍රමාණයෙන් දන් දෙමින් තණ්හාව අඩු කැර ගනී. ද්වේෂය තමන්ගේ දැවීමට ම හේතු වන බව දැන අනුන් ගැන සිතීම අතහැර තමන්ගේ සුබසිද්ධිය ගැන සිතමින් කටයුතු කරයි. මේ ලෝභ – ද්වේෂ – මෝහ යන කෙලෙස් මුල් වලින් නැගෙන සිත දවන සිතුවිලි යටපත් කරන උපාය මාර්ගය වශයෙන් සිතට බාහිර අරමුණු මතු වන්නට ඉඩ නොදෙන, සිත එක අරමුණක රඳවා ගෙන මෙතෙක් සිතට පුරුදුව, ඇබ්බැහි වී තිබුණු අකුසල සිතුවිලි උත්සාහයෙන්, වීර්යයෙන් යටපත් කොට සිත සමාධි සුවයට පත් කරන භාවනාවෙන් ශාන්ත වූ පරම සුවයක් විඳියි.

තමන්ට විවේකයක්, ඉඩකඩක් ලැබුණු හැම විටක ම තමන් මෙන් ම අනුන් ද සැපයට කැමති බව සිතා අනුන් ගේ සැපතට බාධා නොකරයි. හිංසා නොකරයි. අනුන් සතු දේ නොගනියි. තමන් ගේ සැපත වාසිය සඳහා වැරදි අසාධාරණ වැඩ නොකරයි. බොරුවෙන්, කැත වචනයෙන් නපුරු වචනයෙන් හා ප්‍රයෝජනයක් නැති හිස් වචනයෙන් වළකී. විවිධ ක්‍රම මඟින් මත් වී සිහි මුලා කැර නොගනී. වෛරයෙන් වෛරය කිසි දිනක ජය නොගන්නා බව වටහා ගෙන ඉවසීමෙන්, මෛත්‍රීයෙන් කල් ගෙවයි. ඊර්ෂ්‍යාව හා තරහව නිසා අනුන්ට වෛර කරන්නට ගොස් දුක් විඳින දෙදෙනෙකු පිළිබඳ කතාවකි මේ. කොළඹ පිටකෝට්ටේ, අලකේශ්වර පාරේ, විශ්ව ප්‍රාණි ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයේ දී තිසර නාගොඩවිතාන මහතා ඉදිරිපිට අනාවරණය වූ ඉතා ම කනගාටුදායක, පාපයේ විපාක ඇස්පනාපිට පැහැදිලි කළ, කාටත් ආදර්ශමත් සිද්ධියකි.

සාන්ත රජයේ රැකියාවක නියුතු තරුණයෙකි. ඉවසිලිවන්තයෙකි. පිළිවෙළකට කටයුතු කරන්නෙකි. සාන්ත ගේ අක්කා රෝහිණී කුඩා කල සිට ම ආත්මාර්ථකාමීය. ඇය ම හඳුනාගත් තරුණයකු සමඟ වැඩිහිටි ආශීර්වාදය මැද විවාහ වූවාය. ඇගේ සැමියා මව්පිය දෙදෙනා සමඟ හැදුණු වැඩුණු ගුණ යහපත් කෙනෙකි. රෝහිණී ඒ ගෙදරට ගිය දවසේ පටන් ම තමන්ගේ අධිරාජ්‍යයක් එහි ගොඩ නගා ගන්නට සිතුවා ය. සිය නැන්දා මාමා දෙදෙනාගෙන් ගෙදර දොරේ වැඩ ගැනීමට ම සිතුවා මිසක ඔවුන් කෙරෙහි ගරුසරු දැක්වීමට හෝ ඔවුන්ට සැප සාත්තු කිරීමට පෙළඹුණේ නැත. එසේම සිය සැමියා තමන්ගේ අණසක යටතේ කීකරු ගෝලයෙකු සේ පවත්වා ගෙන යන්නට සිතුවාය. ඒ අනුව ම කටයුතු කළා ය. ටික දවසක් ගත වන විට මේ වැඩිහිටි මව්පිය දෙදෙනා

“අනේ! අනේ! අපේ පුතා අරගෙන ඇවිත් තියෙන්නේ ගෑනියෙක් නම් නොවෙයි, ආණ්ඩුකාරියක්” යැයි දෙන්නාට දෙන්නා කතා කැර ගන්නා තත්ත්වයට පත් වූහ. එහෙත් පුතා ගේ පවුල් ජීවිතය අවුල් කරන්නට ඇති අකැමැත්ත නිසා ඉවසා නිහඬ වූහ. ඔවුන් සතු ඉඩමේ ගහ කොළවල පලදාව පවා ලේලියගේ පාලනයට ගැනීම නිසා මේ මව්පිය දෙදෙනා මෙතෙක් ලෙඩට දුකට පිනට දහමට වියදම් කළ දෙය ද අහිමි විය.

“අනේ! ඕයි අපි දෙන්නාට වෙච්ච දෙයක්” යැයි සිතෙන තත්ත්වයට ඔව්හු පත් වූහ. රෝහිණීගේ ස්වාමිපුරුෂයා මේ තත්ත්වයන් දෙස ඉතා සාවධානව ඉවසීමෙන් බලා සිට ඉවසීමේ සීමාව ඉක්මගිය මොහොතක මේ වධක කාරියට පහර දී ගෙදරින් පන්නා දැම්මේ ය. තටු සිඳුණු ගිජු ලිහිණියක සේ, ඇපත් නැතුව පරාජයට පත් වූ ඇමතිවරයෙකු සේ රෝහිණී රෙදිකඩමාලු ටිකත් පොදි බැඳගෙන පුපුර පුපුරා ගෙදර ගියාය.

මේ වන විට රෝහිණීගේ මව්පිය දෙදෙනා මිය පරලොව ගොස් සිටියහ. සාන්ත තමන් රැකියාව කරන ආයතනයේ ම තරුණියක සමඟ විවාහ වී ඇය ගෙදරට කැන්දා ගෙනාවේය. සාන්තගේ බාල අක්කා පි‍්‍රයානිට මව්පිය දෙදෙනා ජීවත්ව සිටි කාලයේ සිට ම විස්සක් විසිපහක් පමණ විවාහ යෝජනා ගෙනැවිත් මනාලයන් කැඳවූවත් පි‍්‍රයානි ඔවුන් ගේ හැඩ, රුව, පැහය, උස මහත රැකියාවේ තත්ත්වය, දේපළ, යාන වාහන පිළිබඳ, දිග පළල බලන්නට යෑම නිසා ඒ එකක්වත් සාර්ථක වූයේ නැත. මඟුල් කපුවෝ ද මේ ගෙදරට පැමිණීම පවා වර්ජනය කොට තිබුණි.

සාන්ත ගේ අලුත් බිරිය සේපාලි පැහැපත් ය. ප්‍රසන්න ය. කඩිසර ය. නිතර සිනහ මුහුණෙන් යුතුව කල් ගෙවූ ඇය පාන්දර 4 ට අවදි වී ගෙදර දොර වැඩ නිමවා උයා පිහා සාන්ත සමඟ රැකියාවට ගියාය. උදේ කැදැල්ලෙන් පිටවන කුරුලු ජෝඩුවක් සේ කීචි බිචියෙන් විහිළුවෙන් සිනාවෙන් රැකියාවට ගියා ය. සවස සැමියා සමඟ ආපසු නිවසට පැමිණ ඇඳුම් මාරු කළ මොහොතේ පටන් ගෙදර දොරේ වැඩ කටයුතුවල නිරත වූවාය. ගෙදර තවත් ගෑනු දෙදෙනෙක් ඉන්නවා ය කියා පංගුපේරු නොබලා කටයුතු කළාය. ඒ අයට අවශ්‍ය ආහාරපාන හා ඇඳුම් සැපයීමට ද සැමියා උනන්දු කළාය.

එහෙත් මේ අක්කා නංගී විසකුඩිච්චි දෙක එකතු වූ විට, තරුණ යුවල රැකියාවට ගොස් ආපසු එන තුරා උන් ගේ පපු කැවුතුවල ගොජ් දැමුණු ඊර්ෂ්‍යාව, හුවමාරු කැර ගත්හ. සේපාලි ගේ ප්‍රසන්නතාව, සිරුරේ හුරුබුහුටියාව, මල්ලී සමඟ ආදරයෙන් බැඳී සිටීම, ලස්සනට ඇඳ පැළඳ ගමන් බිමන් යන හැටි, මේ ඇස් හතරේ කටු අනින්නාක් මෙන් වීය. මේ නම් බෝම්බ දෙකක් බව සාන්ත කල් ඇතුව ම පෙර නිමිති හඳුනා ගෙන සේපාලිට හඟවා තිබුණි. සේපාලි ද ඉවසීමෙන් අවබෝධ කැර ගෙන සිටියාහ.

මේ බෝම්බ දෙකේ සේව නූල් සුරු සුරු ගා දැල් වී ගෙන එන විට ම ඒ බව නොදන්නා සේ ම තම රාජකාරි ආයතනයෙන් ලැබෙන නිල නිවාසයකට පදිංචියට යෑමට සාන්තත්, සේපාලිත් නුවණක්කාර වූහ. එසේ පදිංචිය හැර ගිය ද සතියේ නිවාඩු දිනවල ගෙදර ගොස් අක්කලා දෙදෙනාට අවශ්‍ය විය පැහැදම් සැපයීම නොපිරිහෙලා ඉටු කළහ. ගෙදර වත්තේ පොල් ගස්වලින්, අඩු ගණනේ සාන්තගේ අතින් සිටුවා දැනට පලදාව ඇති ගස්වලින් හෝ පොල් ගෙඩියක් පවා මල්ලීට දෙන්නට තරම් මේ අක්කලා උනන්දු වූයේ නැත. මල්ලී ඉල්ලුවේ ද නැත. ඔවුහු රුපියල් 30 – 40 ට පොල් මිල දී ගත්හ.

කෙසේ වුව ද සාන්ත සේපාලි දෙදෙනා විවාපත් වී වසර දොළහක් ගත වුව ද ඔවුන්ට දරු සම්පතක් ලැබුණේ නැත. විවිධ ප්‍රතිකාර ගත් නමුත් ප්‍රතිඵලයක් නොවීය. සේපාලි වරින් වර උදරයේ වේදනාවකින් ද පෙළුණාය.

රාත්‍රියට හීනෙන් බිය වී අවදි වූවා ය. කෙසේ නමුත් ඇය දන් පින් කළාය. සිල් සමාදන් වූවා ය.

මේ අතර සාන්තගේ ලොකු අක්කා අංශබාධ රෝගය වැළඳී තරමක් සුවය ලැබුව ද සැරයටියෙන් ගමන් කරන තත්ත්වයට පත්ව සිටියාය.

පොඩි අක්කා ළිඳ ළඟ ලිස්සා වැටී කකුල කැඩී සුවපත් වුව ද ගමන් කළේ නොන්ඩි ගසමිනි.

සාන්ත, සේපාලි දෙදෙනා දිනක් මෙයට පිළියම් සොයා නාගොඩවිතාන මහතා හමුවීමට ගියේ මේ කුමක්දැයි දැන පිළිවෙතක් ඇසීමට ය. එහි දී සේපාලි ප්‍රලය වූවා ය.

“කව්ද මේ ශරීරයට රිංගා ගෙන හිරිහැර කරන්නේ?” යි නාගොඩවිතාන මහතා ඇසීය.

“මම ද? මම… විලියොන් සිංඤෝනෙ”

“කව්ද? මේ විලියොන් සිංඤො?”

“මම මේ සාන්ත පුතා ගේ බාප්පනෙ. මේ ගොල්ලන්ගෙ ඉඩමට අල්ලපු ඉඩමෙ තමයි මං ජීවත් වුණේ.”

“ඉතින් ඇයි මේ ළමයගෙ ශරීරයට රිංගුවේ”

“මං රිංගුවෙ නෑ රෝහිණියි පි‍්‍රයානියි මගේ සොහොනෙ මිනී අළු මතුරවලා අළුවා හදලා මේ ළමයාට කැව්වා. ඉතින් මට මේ ළමයගෙ ලේ උරා බොන්න සිද්ධ වුණා.”

“ඉතින් මොකද සාන්තගෙ ඇඟට රිංගුවෙ නැත්තෙ?”

“රෝහිණී මිනී අළු මිශ්‍ර අළුවා සේපාලිට කන්න දුන්නා. ඒ වේලාවේ ඉඩමේ එහා හිටපු සාන්තට පි‍්‍රයානි හොඳ අළුවා ගිහින් දුන්නා. එහෙමනෙ මේක සිද්ධ කළේ.”

“ඉතින් තමුන් මහ පවක්නෙ මේ කරන්නෙ?”

“ඔව්! මහත්තයො මටත් තේරෙනවා. මං මොනවා කරන්න ද? මාව බන්දලා. ඉතින් මාත් ජීවත්වෙන්න එපායැ. මං මේ ළමයගෙ ලේ ධාතුව උරා බොනවා. මේ ළමයා නිතර පන්සල් යනවා. සිල් ගන්නවා. පින් දහම් කරනවා. නැත්නම් මම මෙයාව මරා ගෙන හුඟක් කල්.”

“මේක මහා පාපයක්.”

“ඉතින් මමයැ ඒ පාපය කෙරුවෙ? මෙයාගෙ ම නෑනලා දෙන්නනෙ. අන්න උන් දැන් පාපයේ කර්ම විපාක ගෙවනවා. එකෙකුට අංශ බාගෙ හැදුණා. අනිත් එකී ළිඳ ළඟ ලිස්සලා වැටිලා කකුල කැඩුණා. දැන් නොන්ඩි ගහනවා. ඒ මදිවට දැන් මුළු දවසේ ම දෙස් දෙවොල් තියා ගන්නවා. සමහරදාට කෙහෙවලු පටලවා ගෙන ගහ ගන්නවා. හොඳ වැඩේ ඕකුන් දෙන්නට. මාවත් මේ ළමයගෙ බඩේ හිර කළාට.”

“විලියොන් සිංඤෝ, දැන් මේ ළමයාට දුක් කරදර කළා ඇති. තවත් පව් පුරවා ගන්නෙ නැතුව ශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟට ගිහින් පිනකට දහමකට අත ගහලා සම්මාදන් වෙන්න.”

“මම කොහොමද මහත්තයෝ යන්නේ. මම යකෙක් නෙ?”

“හරි… අපි දානයක් දීලා ඔහේට පින් අනුමෝදන් කරල ඔය ඉන්න තත්ත්වෙන් උසස් කරන්නම්. එතකොට අනුරාධපුරේට යන්න පුළුවන්. එහෙම යනවා නේද?”

“ම්… ම්… හොඳයි බලමු”

“බලලා හරි යන්නේ නෑ. යන්නම ඕනැ. ඔය මළ පෙරේත ආත්මෙන් තවත් නරකාදියට ගිහින් දුක් විඳින්න ද කල්පනාව.”

“හ්ම්… හ්ම්… හොඳයි එහෙනම් මොනව කරන්න ද? මං යන්නම් කො” යි විලියොන් සිංඤෝ ගේ පේ‍්‍රතාත්මය සේපාලිගෙ ඇඟෙන් ඉවත් වූයේ ය. එදා ඉතා ම සතුටෙන් සැහැල්ලුවෙන් සාන්තත් සේපාලිත් මධ්‍යස්ථානයෙන් පිටත් ව ගියහ.

ඊට පසු දා මේ දෙදෙනා නැවත ආපසු ආහ.

“හරි වැඩේනෙ මහත්තයා ඊයෙ රෑ ගෙදරදිත් මෙයා ආවේශ වෙලා යන්න බෑ කියල ඇඬුවනෙ” යි සාන්ත කීවේය.

මධ්‍යස්ථානයේ දී සේපාලි නැවත ප්‍රලය වූවා ය.

“මොකද! විලියොන් සිංඤෝ ඊයෙ යනවැයි කියලා පොරොන්දු වෙලා ගිහින් ආයෙත් ආවේ?” යි නාගොඩ විතාන මහතා ඇසීය.

“හීඞ… හීඞ… මට අරුන් දෙන්නගෙන් පළිගන්න හිතුණා. මං මේ ගොල්ලන් ගෙ මහ ගෙදරට ගියා. අර හැතිරියො දෙන්නව රණ්ඩු කෙරෙව්වා. අන්න උන් ඔලු පලා ගෙන ඉස්පිරිතාලෙ. ඒ ලේ ගිය හැටියට උන්දැලා දෙන්නා වැඩිකල් ජීවත් වෙන්නෙ නෑ.”

“ඒ කතාවලින් වැඩක් නෑ. දැන් වහාම මේ ශරීරෙන් පිටවෙලා අනුරාධපුරේට යන්න ඕනෑ.”

“එහෙම මාව යවන්න බෑ. මම බලගතු යක්ෂයෙක්.”

“අනේ බං උඹේ බලගතුකම. උඹ බලගතුකම් මේ අහිංසක කෙල්ලෙකුට හිරිහැර කරනව ද? උඹ අද නොගියොත් අල්ලලා බැඳලා ගැට ගහලා, බෝතලයක දාලා. හිර කරලා – මූදට දානවා. කල්ප ගණනක් දුක් විඳින්න. උඹ දැන් යනව ද? නැද්ද?” නාගොඩ විතාන මහතා වේවැල අතට ගත්තේ ය.

“ඒක හරි වැඩක් නෙ. මම කොහොමද එහෙම ගිහින් ජීවත් වෙන්නෙ? මට පින් දුන්න යැ යන්න?”

“හොඳයි, හොඳයි, හෙට උදේට හීල් දානයක් දීල පින් දෙනවා. එතකොට පිට වෙලා යන්න ඕනැ.”

“එහෙම බෑ. අන්න රත්තනපිටියෙ ‘සසුනෙ’ සිල්වත් හාමුදුරු කෙනෙක් ඉන්නවා. උන් වහන්සෙත් එක්ක හතර නමකට කරවල මස් මාළු උම්බලකඩ නැතුව කැවිලි පළතුරු ඇතුව දානයක් දීලා ඒ හතර දෙනා වහන්සේගෙ වචනයෙන්ම

“මේ පින විලියම් සිංඤෝට අනුමෝදන් වේවා” කියලා නම් කරලා ම පින් අනුමෝදන් කරන්න ඕනෑ. අද සසුනට ගිහින් දිනයක් ඉල්ල ගෙන පිරිසිදුව දානෙ දෙන්න ඕනැ. එතකොට නම් මම යන්නම්. එහෙම කරනවානම් මම සන්තෝසෙන් යන්නම්. අනුරාධපුරේ යන්න ඇත්නම් කොච්චර හොඳදැ”යි විලියම් සිංඤෝ ගේ ආත්මය කීවේය. ඒ අනුව බෞද්ධ පිළිවෙත්වලින් දැන් සේපාලිත් සුවපත් ය. මළ පෙරේතයත් සුවපත් ය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: