Posted by: lrrp | March 8, 2010

සුසිලෝ! අපි පණ බේරාගෙන මෙතැනින් යන්න යමු

පුද්ගලයකු මිනිසකු ලෙස ජීවත්ව සිටියදී මමය මාගේ යැයි සිතා සිටි පුද්ගල අනන්‍යතාව මේ ජීවිතයෙන් කෙළවර නොවේ. ඔහු හෝ ඇය ජීවත්ව සිටියදී සිදු කරනු ලැබූ සියලු කායික, වාචිික හා චෛතසික ක්‍රියාකාරකම් මේ පුද්ගල අනන්‍යතාවය හෙවත් සම්මුති ආත්මය සමඟ සම්බන්ධකම් පවත්වමින් අවස්ථාව ලද සැණින් විපාක දීමට සූදානම්ව පවතී. එසේ ම අනුන් විසින් තමන්ට කරන ලද හොඳ නොහොඳ දෙක පිළිබඳ මතක සටහන් ද පවතී.

මේ පුද්ගල අනන්‍යතාවය මෙම ජීවිතයෙන් අවසන් නොවන බවත් මරණින් මතුවට ද විවිධ ආකාරවල ජීවිත ගත කිරීමට ඇති බවත් පිළිගන්නා කෙනෙකුට තමන් විසින් පූර්ව ජාතීන් හි කරන ලද කර්මයන් ගේ විපාකයන් භුක්කි විඳීමට බොහෝ විට අවස්ථාව එළැඹේ. අප ජීවත්වන මේ වර්තමාන ජීවිතයෙන් පුද්ගල අනන්‍යතාව අවසන් වෙතැයි උගන්වන කිසි ම ආගම දහමක් ලෝතයේ නැත. මරණින් මතු එක සදාකාලික ජීවිතයක් ඇතැයි උගන්වන ආගම් ද කෙළවරක් නැතිව, සීමාවක් නැතිව දිගින් දිගට උපදිමින් මැරෙමින් යන බව උගන්වන බුදු දහම හා හින්දු ආගම, ජෛන ආගම වැනි ආගම් ද ඇත.

බුදු දහමේ හැටියට පුද්ගලයාගේ සිත තුළ තමා සතුටු කිරීමේ ඕනෑකම පවතිනා තුරු ම නැවත නැවත ඉපැදීම සිදු වෙයි. මේ ගමන නතර කළ හැක්කේ තමන් සතුටු කැර ගැනීමේ ආශාව, උවමනාව, යථාර්ථවාදීව නිසරු දෙයක් බව වටහා ගෙන අත්හළ දවසට ය. බුදු දහමට අනුවත්, හින්දු ආගම් හා ජෛන ආගමට අනුවත් පුද්ගලයා මේ ජීවිතයෙන් පසුව ලබන ජීවිත අනන්ත ය. මේ පුද්ගලයා විසින් පෙර ජීවිතවල හා මේ ජීවිතයේ පසුගිය කාල පරිච්ඡේදය තුළ සිදු කරනු ලැබූ ක්‍රියාවන්හි විපාක භුක්ති විඳීමට සිදුවන අවස්ථා අපමණ ය.

මේ මහා විශ්වයේ ඉතා කුඩා ඒකකයක් වූ මිනිසා විසින් කරනු ලබන, කියනු ලබන දේ පමණක් නොව සිතනු ලබන දේ පවා මේ විශ්වයට රහසක් නොවේ. ධනයෙන් හෝ බලයෙන් ඒ කිසිවක් අහෝසි කළ නොහැක්කේ කවුරු නැතත් යටත් පිරිසෙයින් තමන් ගේ සිත සිදුවූ දේ දන්නා නිසා ය. ඒ නිසා තමන් ගේ මරණ මංචකයේදී මතුවන චුති චිත්තය ඊළඟ ප්‍රතිසන්ධිය සිදු කරන විට පුද්ගලයා සුගතිගාමී හෝ අගතිගාමීවීමේ කර්ම බලවේගය තමන් පසු පස එන සෙවණැල්ල සේ, ගොනා පසු පස එන කරත්තය සේ අත් නොහැර ම පවතින බව සිතා ගත යුතු ය. මේ එවැනි සිද්ධියකි.

පියසේන මුදලාලිගේ කුරුඳු ඉඩම ඔහුට හොඳ ආදායමක් ලබා දුන්නේ ය. එක්තරා කාලයක දී ඔහුට ඒ ඉඩමට යන්නට සිත් නොදුන්නේ ය. ඉඳ හිට හෝ එහි ගිය ද ඔහු ඒ ඉඩමෙන් පිට වූයේ උණක් හෝ අඩු තරමින් හිසරදයවත් වැළඳීමෙනි. ඔහුට මේ ඉඩම විකුණා දමන්නට වුවමනා විය. උත්සාහ කළ ද ඉඩම විකුණා ගන්නට නොහැකි විය. ඒ ඉඩමේ කටයුතු බලා කියාගත් අය ද කුරුඳු තලන්නට පිටින් එන අය ද නතර වී සිටි කාමර කීපයකින් යුත් තරමක් විශාල ගෙයක් ද මේ ඉඩමේ තිබිණ. අන්තිමේ පියසේන මුදලාලි මේ නිවසත් ඉඩමත් ආරණ්‍යවාසී නාහිමි නමකට දුන්නේ ය.

නායක හාමුදුරුවෝ තමන් ගේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ නමක් තවත් අතවැසි ස්වාමීන් වහන්සේ කීප නමක් හා තරුණ ආවතේවකරුවකු ද එහි යැවූහ. මාස දෙකක් පමණ ගත වන විට එහි භාරකාරත්වය ගෙන ආ හාමුදුරුවෝ අසනීප වන්නට වූ අතර උන්වහන්සේ ආපසු කලින් සිටි ආරණ්‍යයට ම වැඩ ම කළහ.

ඒ වෙනුවට වෙනත් ශිෂ්‍ය නමක් එවූහ. උන් වහන්සේ ද මාස දෙකකට වඩා එහි වැඩ සිටියේ නැත. අවුරුද්දක් ගත වනවිට මෙසේ හාමුදුරුවරු හතර පස් නමක් ම භාරකාරත්වය අතහැර ආපසු වැඩම කළහ. මෙසේ කිසි කෙනකු එහි නොරඳනා තත්ත්වය ගැන කල්පනා කළ නායක හාමුදුරුවෝ කලින් හාමුදුරුවරුන්ට වඩා අත්දැකීම් ඇති ඔරොත්තුදීමේ ශක්තිය ඇති නාගිත හාමුදුරුවන් එහි යැවූහ.

නාගිත හාමුදුරුවෝ මේ ආරාමයට වැඩම කළේ කෙසේ හෝ මේ උවදුරු ජයගන්නා අධිෂ්ඨානයෙනි. රාත්‍රි බුද්ධ වන්දනාවේ දී පිරිසක් සමඟ ආරක්ෂා පිරිත් සූත්‍ර සජ්ක්‍ධායනය කළහ. පළමු දින රාත්‍රියේ ම වළල්ලක් දැමූ අතකින් නාගිත හාමුදුරුවන් ඇඳෙන් බිමට ඇද දැමුවා ය. උන් වහන්සේ යළිත් කාමරයේ බුදු පහනක් දල්වා සැතපුණාහ.

දෙවැනි දිනයේ වසා තිබූ ජනේලයේ පියන ඇර ඒ තුළින් දැමූ අතකින් නාගිත හාමුදුරුවන් ගේ කකුළෙන් ඇද්දේ ය. සතියක් පමණ මේ විවිධාකාර හිරිහැර ඉවසා බැරිම තැන තමන් දන්නා හඳුනන ඇදුරෙකු ගෙන්වා මේ විස්තරය පැවසූහ. ඔහු ගෝණාපීනුවල චන්ද්‍රදාස ෆොන්සේකා (ගුරු) මහතා ය.

එදින රාත්‍රි සුපුරුදු වතාවත්වලින් පසු කවුරුත් නින්දට ගියහ. ෆොන්සේකා නිදා ගත්තේ ආරාමයේ ආවතේව කරන තරුණයා (සුනන්ද) නිදන කාමරයේ ම ය. නාගිත හාමුදුරුවන්ට නින්දක් නැත. අදත් කළුවරේ තමන් වහන්සේ ගේ කකුළෙන් කොයි මොහොතේ අදී දැයි විමසිල්ලෙන් නින්දත් නොනින්දත් අතර සිටියහ.

හිටි හැටියේ ම සුනන්ද යටි ගිරියෙන් කෑ ගැසුවේ ය. ආරාමයේ සිටි සියලු දෙනා ම සුනන්දත් ගුරුන් සිටි කාමරයට දුව ගියහ. සුනන්ද නිදි පැදුරේ ම අසිහියෙන් හඬන්නට විය. ඛ්ාමුදුරුවරු පිරිත් කියන්නට සූදානම් වූහ. සුනන්ද බොහෝම රෞද්‍ර විලාසයකින් නැගිට පැදුරේ හිඳගෙන වෙව්ලන්නට විය. යළිත් හඬන්නට විය.

“කවුද මේ? කවුද මේ? හඬන්නේ?” ගුරු ඇසී ය.

“අඬන්නෙ නැතුව පුළුවන් ද? දෙයියනේ මගේ ස්ථානෙට හාමුදුරුවරු ඇවිත් මං අකැමැති දේ කරන කරන කොට කබල්ලෑයගෙ ලෙනේ ඉත්තෑවො රිංගා ගන්නා වගේ මට මහා හිරිහැරයක්.” සුනන්ද භූතාවේෂයෙන් කියයි.

“ඉතින් ඔය උත්තර දුන්නේ අහපු දේට නොවෙයිනෙ? මේ ළමයගෙ ඇඟට රිංගගෙන ඉන්නේ කවුද කියලයි ඇහුවෙ?”

“මම මෙයාගෙ ඇඟට රිංග ගෙන හිටියෙ නෑ. මෙච්චර දවසක් මම නිදහසේ හිටියා. කලින් ආපු අයව පන්නා ගත්තා. මේ හාමුදුරුවන්ව නම් පන්න ගන්න අමාරු වගෙයි. ඒක නිසයි මේ ළමයගෙ ඇඟට ඇවිත් කතා කරන්න හිතුවෙ.”

“හොඳයි, හොඳයි. ඒ ඔක්කොම හරි ඒත් තවම මේ කවුද කියලා කීවෙ නැහැනෙ.” ගුරු යළිත් අවධාරණය කළේ ය.

“මම… ද? මම… ද? මාව මෙතනින් පන්නන්නෙ නෑ නේද? මේ හාමුදුරුවරුන් මෙතනින් යවලා මට නිදහසේ මේ ස්ථානෙ ඉන්න දෙනවැයි කියලා පොරොන්දු වෙනවා නම් මගේ නම කියනවා.

“එහෙම නීති රීතිවලට යටත් වෙන්න බැහැ. හැබැයි වෙන පොරොන්දුවක් නම් වෙන්න පුළුවන්. තමුන් ඔය ඉන්න දුක්ඛිත ආත්මෙන් අනුන්ට හිරිහැර කරමින්, අතින් කකුළෙන් අදිමින් අඬ අ¼ඞා දුක් විඳින ආත්මෙන් මුදවලා, පින් අනුමෝදන් කරලා ඔය ආත්මය උසස් කරලා දෙවියන් අතරට ගිහින් දිව්‍ය සැප විඳින්න, පිනට දහමට සම්බන්ධ වෙලා බුදු ගුණ බලයෙන් සුවපත් කරන්න නම් පුළුවන්.” යළිත් ගුරු කීවේය.

“ඈ… අනේ, ඇත්තම ද? ඔය සහතිකම ද? එහෙනම් ඕනෑ දෙයක් කියන්න බැරියැ. මහත්තයෝ මං සුසිලා. මමයි මගේ මනුස්සයා ගුණපාලයි දෙන්නා මේ ඉඩමේ වැඩට ආවා. මුදලාලි මගේ දිහා බලලා මේ ගෙදර නවතින්නත් දුන්නා. මට ඒ වෙලාවෙමත් තේරුණා. මුදලාලිගෙ අදහස අපටත් ඉන්න හිටින්න තැනක් නැති නිසා අපි නතර වෙලා මේ ඉඩමෙ වැඩ කළා. ගුණපාල කුරුඳු තැලුවා. මුදලාලි අපට හොඳට සැලකුවා.

ඉතින් මහත්තයෝ දිනපතාම උදේ හවස කුරුඳු තළන අය ගෙ ළඟ, ඒ අය අඳින ඇඳුම් වල පුදුම ගඳක් දැනෙනවා. මට ඒ ගඳ උහුලන්න හරිම අමාරුයි. සමහරුන්ට නම් ඒවා පුරුදුයි. ගුණපාල කොයි තරම් හොඳට නෑවත් ඒ ගඳ එනවා. මේ අතරෙ මුදලාලි සැන් පවුඩර් ගහල එනවා. ජැන්ඩියට ඇඳලා.. සමහරදාට මුදලාලි ඉඩමට ඇවිත් එයා ආපු බයිසිකලය ගුණපාලට දීලා

“ගුණපාල අර කඩේ තියෙන පෝර මිටි ටික අරන් වරෙන්” කියලා පිටත් කරනවා. කඩේට මේ ඉඩමෙ ඉඳලා හැතැප්මක් විතර දුරයි. මේ අතරෙ මුදලාලිගෙ විහිළු තහළු දුර දිග ගිහින් සම්බන්ධයක් ඇති වුණා.

“මාස දෙක තුනක් යන කොට ගුණපාලටත් ඉව වැටුණා. මාත් එක්ක රණ්ඩු කළා. මම මේ ගැන මුදලාලිට කිව්වා. දවසක් මුදලාලි ඉඩමට එනකොට ගුණපාල මාත් එක්ක රණ්ඩු කරමින් හිටියා. ගුණපාල මට ගහනවා දැකලා මුදලාලි පොල්ලක් අරගෙන ගුණපාලට ගැහුවා. ගුණපාල දුවනකම්ම ගැහැව්වා. “එහෙනම් මගේ ගෑනිව උඹ ම තියා ගනින්” කියලා ගුණපාල ඉඩමෙන් පිටවෙලා ගියා ගියා මයි ආයෙත් ආවේ නෑ. අනේ ඒ අහිංසකයා දැන් කොහේ ඉන්නවද දන්නේ නෑ” යි යළිත් අඬන්නට විය.

දැන් ආරාමයේ සිටින සියලු ම දෙනා සුනන්ද වටා එක් වී මේ පුදුම කතාව අසා ගෙන සිටිති. ගුරු යළිත් ප්‍රශ්න කරන්නට විය.

“සුසිලා! දැන් ඔය හැම දෙයක් ම සිද්ධ වෙලා ඉවරයි. අඬලා වැළපිලා වැඩක් නැහැ. ඉතුරු ටිකත් කියන්න. අපි ඔයාට උදව් කරනවා.”

“ඔව්, ඉතින් මහත්තයෝ; ගුණපාල ගියාට පස්සෙ මුදලාලි දවල්ට නිතර නිතර එන්න පටන් ගත්තා. මට ඕනෑ කරන හැම දෙයක් ම ලබාදුන්නා. ඒත් මම කිව්වා මට මෙතන තනියම ඉන්න බැහැ කියලා. මේ අතරෙ මට දරුවෙක් ලැබෙන්නත් හිටියා. මුදලාලි මගේ තනියට නාගේෂ් කියලා දෙමළ මිනිහෙක් එව්වා. මේ දෙමළ මිනිහත් ටික දවසකින් මා එක්ක යාළුවෙන්න ආවා. මං අකැමැති වුණා. මූ දවසක් බීගෙන ආවා මං ළඟට. මම කීවා මං මුදලාලිට කියනවා කියලා.

මූ හිනා වුණා. හිනාවෙලා කිව්වා මුදලාලි මට උඹව කසාද බන්දලා දෙනවා කියලා කිව්වා කියා. මම මන්නය අතට අරගෙන කිව්වා “බොරු කියන්න එපා යකෝ! උඹ තව එක අඩියක් ඉස්සරහට ආවොත් කපලා මරනවා” කියලා. මූ බය වුණා. මේ අතරෙ මුදලාලිගෙයි මගෙයි සම්බන්ධය මුදලාලිගෙ නෝනටත් ආරංචි වෙලා ගෙදර රණ්ඩු වෙන්න පටන් අරන්. මුදලාලි මගේ කුසේ ඉන්න දරුවව විනාශ කරන්න මට කතා කළා. මම ඒකට විරුද්ධ වුණා.

මේ අතරෙ නාගේෂ් කන්නලව් කරන්න හිටියා. “අනේ; සුසිලා මං ඔයාට ආදරෙයි. අපි බඳිමු. මුදලාලි උදව් කරනවා කියලා කිව්වා” කියලා. මම නාගේෂ්ට ගහන්න හදලා කාමරේට ගිහින් දොර වසා ගත්තා. ඊට පහුව දා නාගේෂ් ආයෙත් මට කිව්වා “සුසිලා උඹට ලොකු කරදරයක් වෙනවා. මං උඹට ආදරෙයි. අපි මුදලාලිට හොරෙන් මෙහෙන් යමු” කියලා. මම එදා හොඳට ම කේන්ති ගිහින්” දෙමළෝ මං තෝව කපලා පොලිසි යනවා” කියලා කීවා. නාගේෂ් බය වුණා.

ඊට පහුවදා හැන්දෑවෙ නාගේෂ් හොඳට ම බීලා ආවා. මා දිහා බලාගෙන ඉඳලා ඇඬුවා. “සුසිලා මං උඹට ආදරේ හින්දයි මේ කියන්නේ. උඹයි මමයි පණ බේරා ගෙන මෙතනින් පැනලා යමං. නැත්නම් උඹත් අමාරුවෙ මමත් අමාරුවෙ. මං උඹව බාර ගන්න කැමැතියි. මට උඹ ගැන දුකයි. මේ අන්තිම වතාවට කියන්නේ. මුදලාලි උඹව මරන්න කියලා මට රුපියල් 25000 ක් දෙන්න පොරොන්දු වුණා. බලපං ඇඩ්වාන්ස් එකට රුපියල් 10000 ක් දුන්නා.

අපි මේකත් අරගෙන හෙට එළිවෙන්න කලින් මෙහෙන් පැනලා යමං. මට උවමනා නම් මේ 10000 අරගෙන කොහේ හරි යන්න පුළුවන්. ඒත් මං උඹට ආදරෙයි කියලා එක පාරට මාව බදා ගත්තා. අපි දෙන්නම බිම පෙරළුණා. නාගේෂ් මට බලහත්කාරකම් කරන්න හදන කොට මං කිව්වා “හිටපං මං පොලිසි යනවා” කියලා උගේ නහය විකුවා. අන්තිමේ ඌ මගේ බෙල්ල හිර කළා. මට එච්චරයි මතක.

“ඉතින් මං දැන් බලාගෙන ඉන්නෙ මුදලාලි මේ ගෙදරට එනකං. මුදලාලිවත් මගේ ලෝකෙට අරගෙන යන්න. හැබැයි මට බලය තියෙන්නෙ රෑට විතරයි. මුදලාලි රෑට ඉඩමට එන්නේ නෑ. ඒක නිසා මුදලාලිව මරාගන්න කං මම මෙතන ඉන්න ඕනෑ” යි යළිත් අඬන්නට විය.

“සුසිලා; දැන් තමුන් මහා දුගතියක ඉපදිලා දුක් විඳිනවා මදිවට වෛර ගින්නෙනුත් දැවෙනවා. වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නෑ. අපි දානයක් දීලා ඔයාට පිං දෙන්නම්. ඒ පිං අරගෙන ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟට ගිහින් තේවාවට දායක වෙලා මෛත්‍රි බුදුන් දැක නිවන් දකින්න අධිෂ්ඨාන කරන්නැ” යි ගුරු කීවේ ය.

මේ විස්තර අනුව නාගේෂ් සුසිලා ගේ ගෙල මිරිකා මරා දමා ඒ රාත්‍රියේ ම පලාගොස් තිබුණි. නාගේෂ්ගේ ගමක් රටක් නොදැන හිටි බැවින් ඔහු අල්ලා ගත නොහැකි වී ඇත. සුසිලා ගැබිණියකව සිටි බැවින් පියසේන මුදලාලිව ද සැක කළ නමුත් ඔහු ලක්ෂ ගණනක් වියදම් කොට නීතියෙන් බේරී සිටියේ ය.

පසු දා රාත්‍රි මුදලාලිව ද ආරාමයට ගෙන්වා ගත්හ. නැවතත් සුනන්ද ප්‍රලය කරවා සුසිලා ගෙන් මුදලාලි සමාවගෙන ඇය වෙනුවෙන් විශාල දානයක් දෙන්නට පොරොන්දු විය. හාමුදුරුවරුන් ලවා භූත දෝෂ ඉවත් කරවා කපටි කමෙන් නැවත ඉඩම ආපසු ගන්නට බලා සිටින බව ද සුසිලා ගේ ආත්මය අනාවරණය කළා ය. බියපත් වූ මුදලාලි පසුදින ම නොතාරිස් කෙනෙකු ළඟ ඔප්පු ලියා ඉඩම නායක හාමුදුරුවන්ට නීතියෙන් ම අයිති කැර දුන්නේ ය. සතියක් ඇතුළත ඒ ආරාමය අලුත්වැඩියා කොට විශාල සාංඝික දානයක් දී සුසිලාට පිං අනුමෝදන් කරන්නට යෙදුණි.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: