Posted by: lrrp | March 23, 2010

මං හිඟන්නෙක් නෙවෙයි ‘පිචා’

මෙය අතීත කතාවකි. අදින් දසක දහයකට පමණ පෙර ලංකාවේ පැවැති සමාජ තත්ත්වයෙන් බිඳක් සිහිපත් කිරීමකි. මේ කතාව මා සමඟ කීවේ බෙලිඅත්ත ආයුර්වේද රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ මාකඳුර රන්සෑගොඩ දිසාගෙ විල ජේමිස් අප්පු සිරිවර්ධන උපාසක මහතාය. ඔහුගේ කතාවෙන් එදා ලංකාවේ පැවැති තත්ත්වය යම් තරමකින් වර්තමාන සමාජයට වැටහීමක් ලබාදෙයි. මේ වන විට අනූහයවැනි වියේ පසුවන ඒ මහතා ඉතා ක්‍රියාශීලීය. යහපත් සිහියෙන් යුක්තය. පිරිසුදුය. ඔහු ස්වකීය මතකයේ වාන් දොරටු විවර කළේ මෙසේය.

”ඒ වෙන කොට මගේ වයස අවුරුදු දහයක් විතර ඇති. ඒ කාලෙ මිනිහකුගෙ මාසෙ පඩිය රුපියල් පහළොවයි. එදා හැන්දෑවෙ තාත්තා ගෙදර ඇවිත් අම්මා අතට මාසෙ පඩිය දුන්නා. අකුරු සෑත්තරේ බැරි වුණාට අම්මට සල්ලි ගණන් කරන්න හොඳට පුළුවන්. එදා වෙනදට වඩා පඩි සල්ලි අඩුයි කියලා අම්මා රණ්ඩුකරන්න පටන් ගත්තා. තාත්තා කිව්වා

”ගෑනියෙ පෙබරවාරි මාසෙට දවස් විසි අටයි. ඒ නිසා පඩිය රුපියලක් අඩුයි” කියලා. ඒත් අම්මා ඒක පිළිගත්තෙ නැහැ.

”උඹට මාව රවටන්න බෑ. උඹ කාටහරි සල්ලි දීලා” කියලා රණ්ඩු කළා. වෙලාව රෑ 10ට 11ට විතර ඇති. අම්මා අන්තිමට තාත්තාට කීවා,

”බැහැපිය දොට්ට” කියලා. තාත්තා නිදාගත්තෙ අගුපිලේ වැල් ඇඳේ. අම්මා තාත්තව දොට්ට දාලා දොර වැහුවා. තාත්තා මගේ ඔලුව අතගාලා නළල ඉම්බා. උදේ පාන්දර බලන කොට තාත්තා යන්න ගිහිල්ලා. ඊට පස්සෙ මගේ තාත්තව කවදාවත්ම දැක්කේ නෑ. තාත්තා තමන්ගේ ඉඩම කඩම, ගේ දොර, ඔක්කොම හිතින් අතහැරලා ගිහින්. ගියා ගියාමයි.

මම ඉස්කෝලේ ගියේ නෑ. අපේ ගමේ ඉස්කෝලයක් තිබුණෙත් නෑ. මගේ වයස දැන් අවුරුදු දොළහයි. ගමේ කෝපි කඩයක් තිබුණා. මම එතැනට යන්න පුරුදු වුණා. ඒ කඩේ මාමා පන්සලෙන් අකුරු සෑත්තරේ ඉගෙන ගත්ත කෙනෙක්. නැන්දා උදේට ආප්ප පුච්චනවා. ඒ නැන්දා මට ආදරෙයි. දවසක් ඒ නැන්දා මට කීවා “පුතේ හෙට පාන්දරින් වරෙන්” කියලා. මමත් පහුවදා පාන්දරින් කඩේට ගියා.

නැන්දා මට ආප්ප දෙකක්ම කන්න දීලා පුතේ හොඳ එකා වගේ මේ ආප්ප ටික විකුණාගෙන වරෙන්” කියලා ආප්ප වට්ටියක් මගේ ඔලුව උඩින් තිබ්බා. ඒ කාලෙ ආප්පයක් සතයයි. මම අල්ලපු ගමේ කෝපි කඩේ ළඟට යනකොට ආප්ප ටික විකිණිලා ඉවරයි. මම ආපහු ඇවිත් නැන්දට සල්ලි දෙනවා. මාමා ගල්ලෑල්ලක ගණන් හදලා සල්ලි ගණන හරි ද කියලත් බලනවා. ටික දවසක් යනකොට සමහරු සල්ලි හෙට දෙන්නම් අනිද්දා දෙන්නම් කියලා ණයටත් ආප්ප ගන්නවා. මම යාළුවන්ට අල්ලපු ගමේ කෝපි කඩෙන් කඩයප්පන් කාල තේ අරන් දෙනවා. එදාට නැන්දට කියනවා අහවලා අහවලා ණයට ආප්ප ගත්තා කියලා. කඩේ මාමට මේක තේරුණා. දවසක් මට කීවා,

”උඹ කොල්ලොත් එක්ක වණ්ඩු ගහන්නෙ නැතුව ණය සල්ලිත් ඔක්කොම එකතු කරගෙන එන්න ඕනෑ” කියලා. ඉතින් ණයට ආප්ප ගත්ත අය එදා මට සල්ලි දුන්නෙත් නෑ. සල්ලි නැතුව ආපහු යන්නත් බෑ. විකිණිච්ච ආප්පවල සල්ලිත් අරගෙන වට්ටිය කැලේට වීසි කරලා මම ගමෙන් පැනලා ගියා. මාතර සිට කොළඹට ශත 40යි කෝච්චියට. කොළඹ ටිකක් ඇවිදලා බැලුවා තාත්තා ගැන හොයාගන්න බැරිවුණා. කොළඹින් රත්නපුරේට ශත 50යි. මම රත්නපුරේට ගියා. රත්නපුරේ වැලිමළුව ගමේ කඩේක වැඩට නැවතුණා.

මේ 1927 අවුරුද්ද. හාල් සේරුවක් ශත 09යි. මුතුසම්බා පිත්තල සේරුවෙන් එකක් ශත 12යි. සරමක් ශත 60යි. වළව්කාරයො අඳින චන්ද්‍රපට සරමක් 1.25යි. අටරියන් මඩකලපු කම්බායක් 1.25යි. චීත්ත පස්රියනක් ශත 60යි. බොරුපාකාරයෝ (බොරු කකුල් කාරයෝ) වේල් පෙරහර තියෙන කාලෙට කොළඹ වීදිවල නටනවා අඩි 7 – 8ක් දිග රිටි දෙකක් කකුල්වල බැඳගෙන ගෑනු ඇඳුම් ඇඳ නටනවා. මිනිස්සු ශත 5, 10 දෙනවා. ගම්වලටත් එනවා. මෙහෙම නටලා කඩේක වහළ උඩ වාඩිවෙනවා. ඒ කාලෙ ගෙවල් වලත් වහළ වසා තිබුණේ පිදුරු, බටකොළ, ඉලුක් කොළ වලින්.

පොල්අතු හෙවිලි කරන්න පුරුදු වුණේ පසු කාලෙක. ඉතින් වහළ උඩ වාඩි වුණ බොරුපා කාරයා කරේ තිබුණු මල්ලෙන් ටින් එකක් අතට අරගෙන ඒකෙන් සිගරැට් එකක් දල්වාගන මහ උජාරුවට බොනවා. මේක බලා සිටින මිනිස්සු අනේ අපටත් එකක් දෙන්න කියලා ඉල්ලනවා. එතකොට අර ටින් එකේ තියෙන සිගරට් මිනිස්සු ඉන්න තැනට වීසි කරනවා. මිනිස්සු පොර කකා ඇහිඳ ගෙන බොනවා. ඔන්න ඔහොමයි සිගරට් බොන්න පුරුදු කළේ. අලියා සිගරට් එකක් ශත 02යි. හම්බා – ජා- මිනිස්සු, කොළඹ ටවුමෙ මිනිස්සු තමයි වැඩිය සිගරට් බීවේ. බීඩි පුරුදු කළෙත් එහෙමයි.

ඔය අතරෙ ගොන්නු දෙන්නා බැඳපු බර කරත්ත ගමට ආවා. කරත්තෙ ඇතුළෙ රබන් ගහනවා. “වැඩි සැපයට තේ – වැඩි වැඩියෙන් බොනු” කියලා සමහරු කරත්තෙන් බැහැලා නටනවා. කරත්තය යට තියෙන ලොකු මුට්ටි, දර ළිප් දල්වලා නොමිලේ තේ දුන්නා. සීනි දාපු තේ නොමිලේ. ඉල්ලන තරමක් කෝප්ප ගණනක් නොමිලේ දෙනවා. ඔන්න ඔහොමයි කෝපි බිබී හිටපු අපට සුද්දා තේ බොන්න ඉගැන්නුවේ. කෝපි පිටරට යැව්වා.

ඊට පස්සෙ මම හිටපු තැනට නොකියාම රත්නපුරයෙන් කොළඹ ආවා. මේ 1935 විතර. කොල්ලුපිටියේ ඉස්ටේෂන් බංගලාව බලාගන්න පුළුවන්ද කියලා ඉස්ටේෂන් මහත්තයා මගෙන් ඇහුවා. මම පුළුවන් කියා එතැන නැවතුණා. මාසෙ පඩිය රුපියල් 15යි. උදේ ගෙවල් මිදුල් අතුගාලා ඉස්ටේෂමට එනවා. එතන කෝච්චියෙන් බහින මිනිසුන්ගෙ බඩු මලු තරප්පු පෙළ නැඟලා අනිත් පැත්තට ගෙනැත් දෙනවා. ඒ අය මට ශත 5ක් 10ක් දෙනවා. සුද්දො රුපියල් 1ක් –2ක් දෙනවා. එතැනින් දවසට රුපියල් 10ක් 15ක් උපයනවා.

ඔය අතරෙ කොළඹ මහ ඉස්පිරිතාලෙන් ටිකට් කපපු ලෙඩ්ඩු ගමට යන්න සල්ලි නැතුව ඉස්ටේෂමට වෙලා ඉන්නවා. හිරෙන් නිදහස් කරපු අයත් ඉන්නවා. මේ අතරෙ මාතර බෙලිඅත්ත ප්‍රදේශවල අය වැඩියි. ඇඳුම් කිළුටුවෙලා. මම කලිනුත් කීවානෙ මට සල්ලිවල වටිනාකම දැනුනෙ නෑ කියලා. මම ඒ අයට සරොන් කමිස අරන්දීලා කෝච්චියට ටිකට් ගන්න සල්ලි දීලා එවනවා.

මේ අතර “මමත් පොඩි කතාවක් කියඤ්ඤං” කියලා ගාල්ල ප්‍රදේශයේ රෝගියෙක් ලස්සන කතාවක් කීවා.

”අපේ ගමේ මිනිහෙක් හිටියා. පිචෝරිස් නමැති මේ මිනිහා බේබද්දා. මිනිහට හිටියා හොඳ කිරි එළදෙනක්. පැටවාත් එක්ක. කීප දවසක් ම තම්බි මේ එළදෙනව ඉල්ලුවා මසට. පිචා එළදෙනව වික්කේ නෑ ගෑනිට බය නිසා. දවසක් තම්බි පිචාට හොඳට බොන්න අරගෙන දුන්නා. වෙනදා රුපියල් විස්සට ඉල්ලපු එළදෙනට රුපියල් තිහක්ම දෙන්නම් කීවා. එදා පිචාගෙ ගෑනි ගමේ ගිහින් හිටියෙ. පිචා තම්බිට එළදෙන වික්කා. තම්බිව දැක්ක ගමන් එළදෙන අඬන්න පටන් ගත්තා. බුරුල්ලෙන් කිරි විදින්න ගත්තා. පැටියත් කෑ ගහන්න පටන් ගත්තා. පිචා පැටියට කෝටු පාර කීපයක් ගැහුවා.

එළදෙන තවත් දඟලන්න පටන් ගත්තා. තම්බිට අනින්න පැන්නා. අන්තිමේ තම්බි පිචාට කියල ම එළදෙනව මස් මඩුවට අරගෙන ගියා. පිචා සතා මරණකම් ඉඳලා එයින්ම මස් රාත්තල් දෙකකුත් ඉල්ලගෙන ගෙදර ආවා. අම්මගෙ මස් ගඳ දැනිල ද කොහෙද පැටියා තව තවත් අඬන්න ගත්තා. පිචාගෙ ගෑනි ඒ වෙනකොටත් ගෙදර ඇවිත් නෑ. පිචා මස් රාත්තල් දෙක කපලා අඩුවැඩිය දාලා ගෙදර ළිපේ තිබ්බා. පැයක් විතර යන කොට ගෑනි ගෙදර ආවා. එළදෙන තම්බිට වික්ක බව මඟදිම ආරංචි වෙලා කේන්තියෙන් ආවෙ. වහු පැටියත් උගේ බාසාවෙන් අඬ අඬා මේ අවනඩුව කිව්වා. පිචා පිළේ බිම වාඩිවෙලා ඉන්නවා. ගෑනි කුස්සියට ගියා. එළදෙනගෙ මස් ටික ඇතිළියෙ. ගෑනි මස් ඇතිළිය අරගෙන ඇවිත් උස්සලා පිචා ළඟ පොළොවේ ගැහුවා. පිචාගෙ පස්ස පැත්තත් පිච්චුණා. පිචාගෙ වෙරි හිඳුණා.

”තෝ කරපු අපරාදෙට එළදෙනට වගේ ම තෝවත් කපනවා” කියලා ගෑනි කැත්ත අගෙන එනකොට පිචා පැනලා දිව්වා.

”ගමේ අයත් දොස් කියනවා “පව්කාරයා” කියලා. පිචාටත් කරපු පාපය ගැන බය හිතුණා. හරකි විකුණපු සල්ලිත් ඉණේ තිබුණා. අල්ලපු ගමේ නඩයක් සිරීපාදෙ යනවා දැක්කා. පිචාත් ඒ නඩේට එකතු වුණා. පිචාට ගෙනියන්න සැහැල්ලු (බඩුමලු) තිබුණෙත් නෑ. අනිත් අයගෙ බර හෑල්ලුවට උදව් කරමින් ගමන් කළා. තුන් සරණෙ කවි කිය කියා රත්නපුරා පාරෙන් දිගට ම ගියා. කොහොම හරි මළුවටත් නැග්ගා. පද්මෙත් වන්දනා කළා. ඉර සේවය බලන්න කියලා උඩ මළුවෙ පිරිස නතර වුණා. තවත් පිරිස් බොහෝමයි. හැමෝ ම පාන්දර අවදිවෙලා ඉර සේවය බලලා ආපහු කරුණා කළා. පිචාට පිරිස මඟ හැරුණා.

මේ අතරෙ තවත් කණ්ඩායමක් පහළට බහිමින් සිටියා. පිචාත් ඒ නඩය සමඟ තුන් සරණේ කියමින් පහළට බැස්සා. දෙය්යනේ! පිචා බැහැලා තියෙන්නේ හැටන් පාරෙන්. ඒ නඩය මස්කෙළිය ප්‍රදේශයේ පිරිසක්. ඔවුන් තොරතුරු ඇහුවා ම තමන් කාත් කවුරුත් නැති කෙනෙක් බව පිචා ඔවුන්ට කීවා. ශරීර සෞඛ්‍යය හොඳට තියෙන නිසාත් ගොවිතැන් වැඩ හුරුයි කියපු නිසාත් ඒ අය පිචාව එක්කරගෙන ගියා. ඒ ගමට ගිය පිචා ගමේ උදවියට උදව් පදව් වෙමින් හිටියා. මේ අතරෙ ඒ ගමේ හිටිය මිනිහ මැරුණු ගැහැනියක් සමඟ ඇයි හොඳයි කියලා ඒ ගෑනිගෙ ගෙදර බින්න බැස්සා.

අවුරුදු කීපයක් ඒ ගමේ ඉන්න කොට නැවතත් සිරීපාදෙ යන්න පිචාට හිතුණා. සිරීපාදෙ වන්දනා කරලා මිනිහට හිතුනා රත්නපුරා පාරෙන් බැහැලා ගමට යන්න. පිචා තමන් ආපු නඩේටත් නොකියා රත්නපුරා පාරෙන් බැස්සා. රත්නපුරේදී උණ සීතලක් හැදිලා ඉස්පිරිතාලෙට ගියා. සනීප වෙන්න මාසයක් විතර ගතවුණා. ඊට පස්සෙ ටිකට් කපාගෙන ගමට ගියා. දැන් පිචා කෙට්ටුවෙලා. රැවුල වැවිලා. හරිම අජූවයි. ගේ අලුත්වැඩියා කරලා ඉස්සරට වඩා ලස්සනයි. මිදුලට ගියා ම බල්ලෙක් බුරන්න පටන් ගත්තා. ඒ එක්කම ගෙයි හිටපු හැඩි දැඩි මිනිහෙක් එළියට ඇවිත්,

”පුතේ! මෙන්න හිඟන්නෙක් ඇවිත්. අම්මට කියන්න මේ මනුස්සයට කන්න දෙයක් දෙන්න කියලා. මම යනවා හරකව ගේන්න” කියලා ඒ මිනිහා ලන්ද පැත්තට ගියා. ගේ ඇතුළෙන් ඉස්තෝප්පුවට ආපු කාන්තාවක් (පිචාගෙ කලින් බිරිය) මේ හිඟන්නා දෙස බලා ගෙයි තිබුණු හැලප දෙකක් ළමයා අත එව්වා. පිචා ගෙදරින් ගියාට පසු බිරිය වෙන මිනිහකු සමඟ දීග කන බවත්, ඔවුන්ට දැන් දරුවකු සිටින බවත් පිචාට වැටහුණා. කොයි දේ වුණත් ඒ වෙලාවෙ තිබුණු බඩගින්න නිසා පිචා එතන තිබුණ ලී කොටයක් උඩ වාඩිවෙලා කල්පනා කරමින් හැලප කෑවා.

ගෙදරින් පිට වී ගිය මිනිහා හොඳට හැදුණු ගොන් නාම්බෙකු දක්කාගෙන ගෙදර ආවා. ගොනා හිටිහැටියේ කුලප්පු වී පිචා ළඟට පැන පිචාට ඇනගෙන ඇනගෙන ගියා. බිම දාගෙන ඇන්නා. බොහොම අමාරුවෙන් කෑ ගහලා හරකව ඉවතට ගත්තේ. අර එදා හිටිය වහු පැටියා තමයි මේ උස් මහත්වෙලා ඉන්නේ.

පිචාට හොඳට ම අමාරුයි කෑගැහිල්ල ඇහිලා අහල පහළ අය ඇවිත් පිචා මැස්සක තියාගෙන ඉස්පිරිතාලෙ ගෙනියන්නයි සූදානම. ඒ ගෙදර ගැහැනිය ඉක්මනින් වෙනිවැල්ගැට ටිකක් තම්බාගෙන ඇවිත් පොවන්න හැදුවා.

”එපා.. එපා.. මට බොන්න බෑ. මට අමාරුයි. මාව ඉස්පිරිතාලෙ ගෙනියන්න එපා. තව හුඟක් වෙලා මම ජීවත් වෙන්නෙ නෑ. මං හිඟන්නෙක් නොවෙයි. ආහ්…. ආ…. මං.. මා.. පිචා..” කියලා පණ ගියා”යි ඔහු ඒ කතාව අවසන් කළා.

නැවතත් ජේමිස් අප්පු උපාසක උන්නැහේ කතාව පටන් ගත්තා.

”ඕක තමයි මහත්තයා කරුමය කියන්නේ. ඒ ආත්මෙම පල දුන්නා. දිට්ඨධම්ම වේදනීය කර්මය. මම අකුරු සෑත්තරේ ඉගෙන නොගත්තට අනුන්ගෙන් අහගෙන අකුරු හඳුනාගත්තා. මට මුළු පිරිත් පොත ම කටපාඩමෙන් කියන්න පුළුවන්. ගමේ ගිහි පිරිත් කණ්ඩායමේ ප්‍රධානියාත් මම. ඒ වුණාට දැන් ලොකු ලොකු විභාග පාස් කරපු මුණුපුරන්ටත් පිරිත් පොත බලාගෙනවත් කියවන්න බැහැ. මට දැන් වයස අනූහයයි. මගේ පුතා මට හොඳට සලකනවා. ලේලිත් ඒ වගේ ම සාත්තු සප්පායම් කරනවා. මේ ඉස්පිරිතාලෙ කිට්ටුව ලේලිගෙ නෑයො ඉන්නවා. ඒ අයත් නිතර ඇවිත් “තාත්තෙ” කියල මට සලකන හැටි මහත්තයට පේනවනෙ. මේකයි හේතුව තල වැපුරුවොත් තල අස්වනු ලැබේවි. අමු වැපුරුවොත් අමු අස්වනු ලැබේවි”


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: