Posted by: lrrp | April 26, 2010

හීනෙන් විත් කොට්ටය යට මුදල් තබා ගිය රන් මැණිකා

අලුත් අවුරුදු සමයට නෑදෑයෝ නෑගම් යති. අපේ පියවි ඇසට පෙනෙන්නේ තෑගි බෝග අරගෙන එන නෑදෑයින් පමණකි. අපේ ඇසට නොපෙනෙන නෑයෝ ද තම පිරිස් පිරිවරා ගෙන තමන්ගේ නෑදෑයින් බලන්නට එන බව බොහෝ දෙනා දන්නේ නැත.

“ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස; මේ මිනිස් ලොව වෙසෙන මිනිස් ගහනයෙන් කොයි තරම් ප්‍රමාණයක් සුගතිගාමී වන්නේ දැ’යි දිනක් එක්තරා භික්ෂුවක් තථාගතයන් වහන්සේ විමසූහ. මෙහිදී සුගතිය යැයි හැඟෙන්නේ දිව්‍ය ලෝක සය හා මනුෂ්‍ය ලෝකයයි.

එයට පිළිතුරු දුන් තථාගතයන් වහන්සේ “මේ පෘථිවියේ පවත්නා සම්පූර්ණ පස් ප්‍රමාණය මිනිස් ලොව වෙසෙන මිනිස් ඝාතනය හා සමාන වේ නම් එයින් සුගතිගාමී වන්නේ මෙන්න මේ තරම් ප්‍රමාණයකැ’යි සිරි පද මහපටැඟිල්ලේ නිය පිටින් පස් ටිකක් ගෙන පෙන්වූ සේක. පෙර පිනක් පල දීමෙන් මේ උතුම් වූ මිනිස් බව ලැබූව ද මෙහි උපත ලැබූ තැන පටන් අධර්ම රාගයෙන් ජීවත්වීම නිසා මරණයෙන් පසු යළි සුගතිගාමී වන්නේ ඉතාම අල්ප වූ ප්‍රමාණයක් බව එයින් වැටහේ.

ලෝකයේ අඩු ම සත්ත්ව කොට්ඨාසය බ්‍රහ්මයෝ ය. ඊළඟට වැඩි දෙවියෝ ය. දෙවියන්ට වඩා වැඩි ප්‍රමාණය මනුෂ්‍යයෝ ය. මේ වනවිට ලෝකයේ මිනිස් ගහනය කෝටි 700 ඉක්මවා ඇත. මිනිසුන්ටත් වැඩි තිරිසන් සතුන් ය. කොංගෝ වැනි මහා වනාන්තරවල එක කුහුඹු වැළක කෝටි ගණන් කුහුඹුවෝ සිටිති. දිය ගොඩ වෙසෙන ක්ෂුද්‍ර ජීවීන්ගේ පටන් තිරිසන් සතුන් එක රටක එක ගමක කෝටි 700 ඉක්මවා ඇති. එසේ නම් ලෝකයේ තිරිසන් සතුන් කොපමණ ඇත්දැයි සිතා ගත හැකි ය. මේ සියලු සතුන්ටත් වඩා වැඩි සත්ත්ව ප්‍රමාණය භූ®තයෝ ය.

ප්‍රේතාදී අමනුස්සයෝ ය. එයින් පැහැදිලි වන්නේ කල්ප කාලාන්තරයක සිට ම මිනිසා අධර්ම රාගීව ලෝකයෙන් ද්වේෂයෙන් හා මෝහයෙන් යුතුව ජීවත් වී මිය ගොස් ප්‍රේතාදී අමනුෂ්‍ය භවවල උපදින බව ය.

මේ ප්‍රේතයෝ කවරහුද? සංසාරයේ අපේ ම නෑදෑයෝ ය. මේ ඉඩමට කඩමට ගෙයට දොරට දුවට පුතාට ආශාවෙන් හෝ තරහ වෙන් මිය ගිය පුද්ගලයෝ ය. පංචානන්තරිය කර්මාදී බරපතල අකුසල් කළෝ නිරාහාරව දුක් විඳිති. අනිකුත් බොහෝ අමනුෂ්‍යයෝ තමන් ආශාවෙන් හා තරහවෙන් ඇලී සිටින දේපළ හෝ පුද්ගලයන් ආශ්‍රිතව පොළවට සමීපව ම උපදිති.

මේ අමනුස්සයෝ බොහෝ දෙනෙකු ස්වභාව යෙන් හා ස්වරූපයෙන් වෙනස් වුව ද සිතුම් පැතුම් මිනිසා හා සමානව ම තණ්හා ආශාවන්ගෙන් යුක්තය. ඔව්හු තමන්ගේ පවුල්වල අය සතුටු වන අවස්ථාවල අපටත් සංග්‍රහයක් ලැබේ දැයි සිතා ඔවුන් ආශ්‍රිත පිරිවර සමඟ ම පැමිණෙති. දුකට පත් අවස්ථාවල ද පැමිණෙති.

ඔවුන් මිනිස් ලොව සිටියදී මෙන් ම ජාති, ආගම්, ආදී සංකල්පයන් ම දරා සිටිති. අවුරුදු කාලයට ද එසේ ම පැමිණෙති. සිංහල අලුත් අවුරුදු අවස්ථාවලද පෙර පුරුද්දට ම අපේ දරුවෝ අපේ නෑයෝ අවුරුදු කන හැටි බලන්නට පැමිණෙති.

සමහර නිවෙස්වල දන් පින් කරමින් ආගමික චාරිත්‍ර සිදු කරන විට, මළ ගිය නෑයින් සිහිපත් කොට ඔවුන් ගේ වී හාල් බව බෝගවලින් මුල් කොටස ගෙන වෙහෙර විහාර කරා යන විට මේ භූතයෝ ද නෑයින් පසුපස ගොස් පින් අනුමෝදන් වී සුගතගාමී වෙති.

මෙයින් බොහෝ අමනුස්සයෝ ප්‍රේතාත්මවලට උරුම වූ දුක් විඳින විට ඔවුන් මිනිස් ලොව සිටියදී ඉඳහිට හෝ සිදු කළ සුළු කුසලයක් හෝ සිහිපත් නොවෙති. ඒ ස්වභාව යයි. එහෙත් ඥාති මිත්‍රාදීහු කුසල් කරන විට; අපේ අසවලා ජීවත්ව සිටියදී මෙවැනි පින්කම් කළා” යැයි කියන විට එය අසන්නට වාසනාව තිබුණොත් ඒ ප්‍රේතයාගේ සිත පිනා ගොස් සාධු සාධු යැයි අනුමෝදන්ව සිටි තත්ත්වයට වඩා ඉහළ තැනකට පත්වන්නට පුළුවන.

එසේ ම මිනිස් ලොව ජීවත්ව සිටියදී සූදුවට ඇබ්බැහි වූවෝ සූදු පොළවලට ගොස් සූදු කෙළින්නට නොහැකිව දුක් වෙති. පීඩා විඳිති. සුරාවට ඇබ්බැහි ව සිට මිය ගොස් ප්‍රේතාත්ම ලැබුවෝ ඉතාම භයානක ය. ඒ ප්‍රේතයෝ සුරාපානය කරන ඥාතීන් කරා ගොස් ඔවුන් පානය කරන සුරාවල රස විඳිති. සියුම් කොටස් උරා ගනිති.

“මගේ මේ ඥාතියා, මේ මිත්‍රයා නිතර සුරා පානය කරන්නෙකි. මොහු ගේ සිරුරට රිංගා ගතහොත් මට හැමදාමත් සුරාපානය කළ හැකි යැ’යි සිතා සිරුරුවලට රිංගා ගනිති. එහෙත් ඒ භූතයන්ගේ ස්වභාවය, ශරීරවල රසායනික සංයුතිය මිනිස් සිරුරට නොගැලපෙන බැවින් ප්‍රේතයා රිංගා ගත් දවසේ පටන් සිරුර රෝගී වෙයි. එපමණක් ද නොව පැරැණි තරහකාර භූතයෙක් නම් ඔහු වරදට පොළඹවා පාඩු කරවයි.

අපහාසයට ලක් කරවයි. කලකෝලාහලවලට යොමු කොට ලේ ගැලීම්වලට භාජනය කර රීරි පානය කරයි. බොහෝ අමනුස්සයන්ගේ ආහාර වන්නේ මස් මාළු කරවල පිළී, කෙළ සෙම් සොටු, ලේ වැනි අපද්‍රව්‍යයන් නිසා මස් මාළු කපන විට, සෝදන විට උයන පිහන විට හා බදින විට ඒ අපද්‍රව්‍යයන්ගෙන් දුර්ගන්ධයෙන් පෝෂණය වෙති.

ඇත්තටම ඔවුන්ටත් එවිට අවුරුදු ය. මේ භූතයෝ පැමිණෙන විට ඔවුන් පසු පස යාලු මිත්‍ර භූ®®ත පිරිවර ද පැමිණෙති. නිතර මස් මාළු කරවල බිත්තර භාවිතා කරන නිවෙස්වලට පැමිණෙන භූතයෝ ඒවායේ ම පදිංචි වෙති. ආපසු නොයති. එවැනි ප්‍රේතාදි අමනුස්සයන් ගැවසෙන තැනට දෙවියන්ගේ බැල්ම නොවැටෙති. එවැනි නිවෙස්වල දෙවියන්ට යැයි තබන පුද පූජා අනුභව කරන්නේ භූතයෝ ම ය.

රන්මැණිකේ උපාසිකාව මාසයේ හතර පෝයට ම සිල් සමාදන් වූ දනට පිනට හිතැතිව ජීවත්වූ කාන්තාවකි. ළමා වියේ පටන් ඇයට මතක ඇති කාලයක මසක් මාලුවක් බිත්තරයක් හෝ කරවල කෑල්ලක් කට හරියේ තියා නැතැයි ඇය නිතර කී කතාවකි. ගැටඹේ බෝධියට, වැල් බෝධියට, දළදා මාලිගාවට ඇගේ දෑතින් කරන ලද පුද පූජාවක් අපමණ ය. ගමේ පන්සලේ සිදු කරන සෑම පිංකමකදී ම රන් මැණිකාගේ දායකත්වය නොඅඩුව නොමසුරුව ලැබුණි.

රන් මැණිකේ ගේ ස්වාමි පුරුෂයා මිය ගිය පසු ඔහුගේ් වෙළෙඳ ව්‍යාපාරය පුතා බාර ගත්තේ ය. ඔවුන්ට තවත් සිටියේ එක ම දුවක පමණි. පුතා වෙළඳ සල අසල ම අලුතින් නිවසක් සාදා ගත්තේ ය. අක්කාට විවාහයක් කැර දී ඇගෙන් නිදහස්වීමට සැලකිල්ලක් නොදැක්වූ ඔහු තනි මනාපයට ම විවාහයක් කැර ගෙන අලුත් නිවසේ පදිංචි විය. රන් මැණිකාත් දියණියත් මහ ගෙදර තනි වූහ.

මේ අම්මාටත් දුවටත් ජීවත්වීමට තරම් සාමාන්‍ය ධනයක් පියා ජීවත්ව සිටියදී ඉතුරු කොට තබා ගොස් තිබුණි. කුඹුරු ඉඩකඩම්වලින් ද ජීවත්වීමට තරම් සෑහෙන ආදායමක් ලැබුණි. පුතා ද අම්මාගේත් සහෝදරියගෙන් යැපීමට අවශ්‍ය දේ වෙළෙඳ පළෙන් මහ ගෙදරට එව්වේ ය.

පුතාගේ බිරිය ඒ තරම් ගුණ යහපත් කාන්තාවක් නොවූ අතර නැන්දම්මාගේත් නෑනණ්ඩියගේත් සිත් දිනා ගැනීමට සමත් වූයේ නැත. ඇත්ත ම කියනවා නම් ඇයට ඒ ගැන වුවමනාවක් වූයේ ද නැත. විවාහයෙන් පසු පුතා ද ටිකෙන් ටික වෙනස් වූ අතර මහ ගෙදරට කරන සැලකිලි ද ක්‍රමයෙන් අඩු වූයේ ය. අක්කා ගෙදර සිටියදී මල්ලී පෙළවහක් කැර ගැනීමත් ගෙදරට කළ උදව් අඩු කිරීමත්, ලේලිය ගේ වෙනස්කම් ගැනත් වේදනාවට පත් රන් මැණිකා ඒ සියල්ලට ම වඩා සිත් පීඩාවට පත් වූයේ දුවගෙන් නිදහසක් වීමට නොලැබීම ගැන ය.

මුහුණ බලන කණ්ණාඩිය ඉදිරිපිට සිට දියණිය සිය හිසකෙස් අතරින් පැසුණු කෙස් ගහක් ගලවා දමන අයුරු දකින රන් මැණිකාට එදාට කෑමක් බීමක් පවා එපා වී තනිවම හූල්ලන්නීය. කෑම බීම අරුචියෙන් ශාරීරිකවත් නොවිසඳුණු ප්‍රශ්නවල වේදනාවෙන් මානසිකවත් දුර්වල වූ රන්මැණිකා එයින් ම රෝගාතුර වූවා ය. එයින් ම ඔත්පල වූවා ය.

“මගෙ දුවේ… ශ්‍රියානී…”

“ඇයි මගෙ අම්මා”

“මට දූ ගැන දුකයි දුවේ…”

“අනේ අම්මේ!” ඔය විකාර ගැන හිතන්නෙ නැතුව ඔය බෙහෙත් ටික බීලා සනීප වෙන්න බලන්නැ”යි අම්මා ගේ හිස අත ගා කියන දියණිය එසේ කියුව ද කුස්සියට ගොස් හිරමණය මත හිඳගෙන අම්මාට නෑසෙන්නට ඉකි බින්දා ය.

සිතට නැඟෙන වේදනාකාරී සිතුවිලි යටපත් කරන්නට අහිංසක උත්සාහයක යෙදුණු රන්මැණිකා සතර පෝය නොවරදවා සිල් සමාදන් වූ හැටි, කඨින පිංකමට සිවුරු පූජා කළ හැටි, පන්සලේ කුදු මහත් කටයුතුවලට දායක වූ හැටි, වන්දනා ගමන් ගොස් වෙහෙර විහාර වන්දනා කළ හැටි නිතර දුව සමඟ මතක් කරමින් මෙනෙහි කළා ය. මේ මොනවා සිතන්නට උත්සාහ කළත් දිය යට එබූ රබර් බෝලයක් දිය කැපීමට නැගෙන්නා සේ දියණිය ගැන නොවිසඳුණු ප්‍රශ්න මතුව ආවේ ය.

රන් මැණිකාගේ අවසන් මොහොත ළං විය. ඒ බව ඇයට ද දැනුණා සේ ය.

“මගේ දුවේ”

“ඇයි? මගෙ අම්මා”

“අපි දෙන්නා කරණීයමෙත්ත සූත්‍රය කියමු දුවේ” යි කියමින් ඇය පිරිත මිමුණුවා ය. ඒ අතර දියණියගේ අතින් ද අල්ලා ගත්තා ය. දියණියට ද අමුත්තක් දැනී උගුර හිරවෙන්නට මෙන් ආවත් එය යටපත් කැරගත් ඇය ද පිරිත උච්චාරණය කළා ය. හිටි හැටියේ ම ඇගේ අත තදින් අල්ලා ගත් මවගේ අත බුරුල් විය. මවගේ් දෑස් අඩවන් වෙමින් පිරිත් කීම නතර විය. මුළු ලෝකයම හිස් වී ගියා සේ දියණියට දැනුණි.

“අනේ, මගේ අම්මා… අම්මා නැතිව මම කොහොමද ජීවත් වෙන්නේ” යි ඇයට කියැවිණි.

පුතා ගේ මූලිකත්වයෙන් හා ඥාති මිත්‍රාදීන්ගේ සහභාගිත්වයෙන් රන් මැණිකේගේ අවසන් කටයුතු ගෞරවාන්විතව සිදුකැරිණි. මතක බණ ද දානයේ කටයුතු ද සිදුකැරිණි. ඥාතීහු ක්‍රමයෙන් විසිර ගියහ. දුව තනි වූවා ය. ඇගේ තනි නොතනියට සිටියේ අසල්වාසීහු ය. කුඹුරු ඉඩකඩම්වල වැඩට එන උදවිය ය. තනි වූ ඇය පිළිබඳ සොයා බලන්නේ කවරහුද? ව්‍යාපාරික සහෝදරයෙකුත් සිටියදී?

මෙසේ කාලය ගෙවී යද්දී ඔවුන්ගේ කුඹුරුවල වතුපිටිවල වැඩට ආ ඇයට වඩා වයසින් අවුරුදු පහක් පමණ බාල තරුණයෙකු වූ ජයරත්න සමඟ විවාහ රෙජිස්ටාර්වරයෙකු ළඟට ගොස් කසාදයට අත්සන් තැබුවා ය. ඇගේ දෛවය එසේ සිදු විය.

මෙතෙක් ඇගේ අනාගතය ගැන නොබැලූ මල්ලී එයින් කුපිතව මාසිකව ගෙදර යැපීමට කළ උදව් නතර කළේ ය. “ඕවා උඹ තනියම කෑවාට, ඕවා උඹේ ගෑනිගෙ දෑවැද්ද නොවෙයි. තාත්ත ගේ දේපළ” යැයි අක්කාට සිතුණත් මුවින් හඬ ගා කීවේ නැත. අම්මාගේ පින්තූරය දෙස බලා නේද? අම්මේ” යි නොකියා මව දෙස බලා සිටියා ය. එහෙත් දින පතා අම්මා ඉටු කළ චාරිත්‍ර පරිදි ම උදේ හවස තෙරුවන් වැඳ මල් පහන් පුදා මෑණියන්ට පින් දුන්නා ය.

මෙසේ වසරක් ගෙවී ගියේ ය. ගෙදර දොර අඩුපාඩුකම් තිබුණත් ශ්‍රියානි ඒවා පිරිමසා ගත්තා ය. සැමියා සමඟ සමගියෙන් සමාදානයෙන් කල් ගෙව්වා ය. දිනක් රාත්‍රි නින්දේදී ශ්‍රියානි තමන්ගේ මිය ගිය මෑණියන් සුදුවතින් සැරසී පැමිණ ඇගේ නළල සිප හිස අත ගෑ අයුරු සිහිනෙන් දුටුවා ය. ඇගේ කොට්ටය යට යමක් තබා යනු ද දුටුවා ය.

“දුවේ! මේක රහසක්. ජයරත්නට ඇර කාටවත් කියන්නට එපා” යයි කියා අම්මා අතුරුදහන් වූ අයුරු ද ශ්‍රියානි පාන්දර නින්දෙන් අවදිව ඇඳෙන් නොනැගිට ම කල්පනා කළා ය. ඇයට යළිත් නින්ද ගියා ය. උදේ අවදිව වෙනදා මෙන් ම ගෙදර දොර කටයුතු කළා ය. ජයරත්න කුඹුර දෙසට ගියේ ය.

මිදුල අමදිමින් සිටි ශි‍්‍රයානිට යළිත් සිහිනය සිහිපත් විය. ඉදල පැත්තකින් තිබූ ඇය කාමරයට ගොස් රාත්‍රි හිස තැබූ කොට්ටය ඔසවා බැලුවා ය. “දෙයියනේ, රුපියල් පන්සීයක්” “අනේ! මගේ රත්තරන් අම්මා! යි බිත්තියේ එල්ලා තිබූ පින්තූරයේ හිනාවෙමින් සිටි අම්මාට දෑත් එකතු කැර වැන්දා ය.

දිනපතා කොට්ටය යටට රුපියල් පන්සියයක් ලැබෙන බව ශ්‍රියානිත් ජයරත්නත් හැර කිසිවෙකු දන්නේ නැත. එය රහසක් ලෙස රැකිය යුතු බවට ඔව දන් අවවාදය ඔවුන් අකුරටම ආරක්ෂා කළහ. ඒ වෙනුවෙන් සතර පෝයටම පන්සල් ගොස් මල් පහන් පුදා මවට පින් දුන්හ. තාත්තාගේ වෙළෙඳ ව්‍යාපාරය තනියම අයිති කැර ගෙන සිටි අය්යාට දිනපතා ලාච්චුවෙන් රුපියල් පන්සීයක් අඩු වුව ද එය ඔහුට දැනුණේ ද නැත. අක්කාත් මස්සිනාත් නිහඬව සතුටින් ජීවත් වූහ.

මේ 2009 සිංහල අලුත් අවුරුද්දට පෙර දිනයයි. අප්‍රේල් 13 පරණ අවුරුදු දිනයයි. ජයරත්නගේ මල්ලී කෙනෙක් මැද පෙරදිග රැකියාවකට ගොස් සිට ලංකාවට පැමිණ සිටියේ ය. එදා ඔහු අය්යාටත් නෑනණ්ඩියත් ඇඳුම් පැළඳුම් හා තවත් තෑගි බෝග ද අරගෙන ඔවුන් බලන්නට ආවේ ය.

ඒ සමඟ පිටරටින් ගෙනා මත්පැන් බෝතලයක් ද වල් ඌරු මස් කිලෝ දෙකක් ද ගෙනැවිත් තිබුණි. මස්සිනා ගෙනා තෑගි බෝග ගැන සතුටින් සිටි ශ්‍රියානි ද ඔවුන්ගේ සතුට වෙනුවෙන් ඌරු මස් ව්‍යංජනය රහට පිසුවා ය. තුන් දෙනාම එකට හිඳ රාත්‍රි ආහාරය ගත්හ. සතුටෙන් මතින් ඉහවහා ගිය ජයරත්න “කාලෙකින් ජයට අවුරුදු කෑවා. නේද? ශ්‍රියානි’ යි කීවේ ය.

සතුටු සාමීචියෙන් පසු ඔව්හු නින්දට ගියහ. එදා ශ්‍රියානිට ආගමික වතාවත් පවා අමතක විය.

රාත්‍රි 12 ට පමණ ජයරත්න බඩ බදාගෙන වැසිකිළියට දිව්වේ ය. “අයියේ! මටත් යන්න ඕනෑ” යි ජයරත්න ගේ මල්ලී ද වැසිකිළි දොරකඩ සිටියේ ය. ශ්‍රියානි ද බඩ බදාගෙන දුව ගෙන ආවා ය. මාරුවෙන් මාරුවට තුන් දෙනා එළිවෙන තුරු ම වැසිකිළි පෝළිමේ ය. එළිවෙන්නට රෝහල් ගත වූහ.

රෝහලෙන් ටිකට් කපා ගෙන ආවේ දින තුනකට පසුව ය. ඒ වනවිට අලුත් අවුරුදු හමාර වී තිබුණි. නිවසට පැමිණ අලුත් දවසක් පහන් කළ ද එදා ශ්‍රියානි ගේ කොට්ටය යට කිසිවක් තිබුණේ නැත. එදායින් පසු තිබුණේ ම නැත. එදා පැමිණ පදිංචි වූ මළ ගිය නෑයින් නිසා දුක් කරදර එක දිගට පැමිණියේ ය. රන් මැණිකා හීනෙන් පෙනුණේ ද නැත.


Responses

  1. Dear sir, I cannot see the article. Perhaps font problem. What should I do?

  2. Install the Sinhala Unicode kit.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: