Posted by: lrrp | May 17, 2010

මට යන්න බෑ මං යන තැන්වලින් මාව පන්නනවා

අප ජීවත්වන පරිසරය පුරා දුගතිගාමී වූ ප්‍රේත පිශාචාදී අමනුස්සයෝ විශාල වශයෙන් සැරිසරති. එසේ සිදුවන්නේ යම් යම් පුද්ගලයින්ට හා වස්තු දේපළවලට තණ්හාවෙන් මියයෑම නිසාය. ජීවිතයේ අවසාන අවස්ථාවේ “අපොයි මේ දේපළ මගේ. මම මහන්සි වී ගොඩනඟාගත් දේවල්. මට අයිති දේවල්. මම කොහොමද මේවා අතහැර යන්නේ? මේ මගේ බිරිය. මගේ දරුවෝ. මේ අය අතහැර යන්න බෑ. මේ මගේ සහෝදරයා. මූ මට සැලකුවේ නෑ. මම මළා ම මූ මගේ දේපළ භුක්ති විඳීවි. ඒකට ඉඩ තියන්න බෑ. මම මුගෙන් පළිගන්න ඕනෑ. මූව දාල යන්න බැහැ.” යැයි අවසාන චුති චිත්තය සමඟ සිතුවිලි පහළ වුවහොත් ඔහු හෝ ඇය ඒ දේපළ හෝ පුද්ගලයන්ට ඇලීමෙන් එහි ම උපදී. ඉන්පසු ඉන් කෙනෙක් ඒ දේපළ පිළිබඳ තණ්හාවෙන් බදාගෙන සිටිනවා මිසක ඉන් ප්‍රයෝජනයක් ගත නොහැකිව ද අනුන් ප්‍රයෝජන ගන්නවා දැක තරහෙන් ද මහත් දුක් විඳිති.

තවත් කෙනෙක් තමන් ගේ අකුසල කර්ම විපාක හේතුවෙන් ඒ ප්‍රේතාත්මයට ආවේණික වූ දුර්ගන්ධයෙන් එම පරිසරය අපවිත්‍ර කරමින් සිටිති. සමහර කෙනෙක් ඇල්මෙන් හෝ වෛරයෙන් සිටි පුද්ගලයාගේ සිරුරට රිංගා ගෙන ලෙඩ කරවති. ඒ දුගති භවයේ හෙවත් ප්‍රේතාත්මයේ ස්වභාවය අනුව එහි යැපීම සඳහා එම සිරුර අයිති පුද්ගලයාගේ කෙළ සෙම් සොටු පමණක් නොව රුධිරය ද උරාබීම නිසා එම රුධිරය විෂ වීමෙන් හා රුධිර හීනතාවයට ලක් වී රෝගියකු බවට පත්කරවයි.

ජීවත්වන කාලය තුළ මේ ජීවිතයෙන් පසු මරණයක් ඇතැයි ද, මරණයෙන් පසු තමන් ඊළඟ භවයක් ඇතැයි ද, ඒ භවය සකස්වන්නේ තමන් විසින් කරන ලද කුසල අකුසලයන්ට අනුව යැයි ද නොසිතන පුද්ගලයෝ තමන්ගේ ජීවිතය කෑමටත්, බීමටත්, මත්පැනටත්, පංචේන්ද්‍රියයන් පිනවීමේ විනෝදයටත් පමණක් සීමා කොට දුගතිගාමීව, ප්‍රේත පිශාචව උපදිති. ඔවුන් ජීවත් වූ කාලයේ කෙනෙකුට උදව්වක් යහපතක් සිදු නොකළ බැවින් ඔහු වෙනුවෙන් පිනක් දහමක් කොට අනුමෝදන් කරන්නට කෙනෙකු ඉදිරිපත් වන්නේ ද නැත. දුගතියෙහි උපන් පුද්ගලයා එයින් මිදීමට නොහැකිව අනන්ත වූ කාලයක් සා පිපාසාවෙන් පෙළි පෙළී ශාරීරිකව ද මානසිකව ද දැවි දැවී දුක්විඳිති.

ඇය කොළඹට නුදුරු කාන්තාවකි. සහෝදරයන් වෙනුවෙන් වෙහෙස මහන්සිව කාලය ගත කරන විට ඇයට විවාහයක් කැර ගැනීම පවා අතපසු විය. දැන් ඇගේ වයස අවුරුදු හැටට ආසන්නව ඇත. ඇය දැන් ආතෙරෙටීස් රෝගයෙන් දුක් විඳින්නී අත පය ඇඟිලි පවා නවන්නට දිග හරින්නට නොහැකි වේදනාවෙන් පෙළෙයි. හෘදය වස්තුවේ කපාටයක් පවා ඉවත් කොට පපුව කෘත්‍රිම මැසිමක් මඟින් ක්‍රියාත්මක කරයි. මේ රෝගී තත්ත්වයෙන්, යම් සහනයක් හෝ ලබාගැනීමේ අදහසින් ‘සිළුමිණ’ පියවි ඇසින් ඔබ්බට ලිපි පෙළ කියවා ඇතුල්කෝට්ටේ, ආධ්‍යාත්මීය ගවේෂණ මධ්‍යස්ථානය සොයා ගියා ය.

ඇගේ ශාරීරික දුර්වලතාව නිසා පළමු දිනයේ සුළු ප්‍රතිකාරයක් කොට බෝධි පූජා පවත්වා එන ලෙස එතැනින් උපදෙස් ලැබුණි. ඊළඟට නියම කළ දිනයේ ඇය සිය සහෝදරියන් සමඟ එහි පැමිණියාය. එදා ගුප්ත ගවේෂණයේදී ඇය හඬන්නට වූවා ය.

”අනේ! මාව පුච්චන්නට එපා” යැයි විළාප දෙමින් පිරිමි හඬකින් අඬන්නට වූවාය.

”හොඳයි, පුච්චන්න එපා නම් දැන් මම අහන දේවල්වලට සත්‍ය පිළිතුරු දෙන්න ඕනෑ. කවුද? මේ ස්ත්‍රී ශරීරයට රිංගාගෙන ඉන්නේ?” නාගොඩවිතාන මහතා ඇසීය.

”ම්..ම්..ම්..ම්…”

”ම්.. ම්.. කියල හරියන්නෙ නෑ. ඉක්මනින් කියන්න. අපට තව වැඩ තියෙනවා. නැත්නම් පිච්චෙන්න තමයි වෙන්නේ”

”මම ප්‍රසිද්ධ පුද්ගලයෙක්. ඒ නිසයි නම කියන්න අකැමැති”

”ඔය කතාවලින් වැඩක් නැහැ. මේ කාන්තාව දුක් විඳිනවා. ඇය මරාගන්න හදන්නෙ කවුද කියල අපි දැනගන්න ඕනෑ”

”මම….. සංස්ථාවෙ හිටපු සාමාන්‍යාධිකාරී. මට හොඳට සල්ලි තිබුණා. මට තරුණ කාන්තාවන්ගෙන් කිසි ම අඩුවක් තිබුණෙ නැහැ. ඒ නිසා ම අවිවාහකවයි හිටියේ. මම හොඳට බිව්වා. මත්පැන් නොබීපු දවසක් නැහැ.”

”හරි හරි ඉතින් නම කීවෙ නැහැනෙ”

”මගෙ නම ජයසිරි”

”ඉතින් මේ ගෑනු කෙනෙකුගෙ ඇඟට රිංගුවෙ මොකද?”

”මම ගැහැනුන්ගෙ ශරීරවලට ආසනෙ. මේ මගේ අක්කා. ඒ වුණත් මම රිංගුවා. මාව බලාගත්තෙ මට උදව් කළේ මේ අක්කා. ඒ නිසා මෙයා ළඟට ආවා.”

”ජයසිරි… තමුන් කරපු අකුසල්වලට දුගතියක ඉපැදුණා මදිවට දැන් අක්කවත් මරාගන්න ද හදන්නේ? මේක මහා අපරාධයක්. වහාම මේ ශරීරය අතහැර පිටවෙලා යන්න ඕනෑ. සිරිමා බෝධීන් වහන්සේ වගේ පුණ්‍යස්ථානයකට ගිහින් ඒ වගේ තැනක ආව තේව කර හොඳ ආත්මයක් ලබාගන්න”

”හොඳයි. හොඳයි එහෙනම් මම යන්නං” යැයි භූතාත්මය අක්කාගේ ශරීරයෙන් ඉවත්ව ගියේය.

ඇය නැවතත් සති දෙකකින් “අනේ! ආයෙත් අමාරුයි” ගියාගෙන ආවාය. එදින ද භූතාත්මය සමඟ නාගොඩවිතාන මහතා සාකච්ඡා කෙළේය.

”ජයසිරි…. තමුසෙ අපිව රවටන්නද හදන්නේ? එදා යනව කියල ගිහින් ඇයි ආයෙත් ඇවිත් මේ අක්කට කරදර හිරිහැර කරන්නේ?”

”අනේ! මහත්තයෝ මට යන්න තැනක් නැහැ. මම ජීවත්ව ඉන්දැද්දි පිනක් දහමක් නොකළ නිසා මට සොහොනෙත් ඉඩක් නෑ. සොහොනට ගියාම එතන ඉන්න අය “පලයං පලයං උඹට මෙහෙ ඉඩ නැහැ” කියලා මාව පන්නා ගත්තා. මම ජීවත්ව ඉන්දැද්දි ගෑනුන්ටයි, බීමටයි වියදම් කළා මිසක් දානයක් මානයක් දුන්නේ නෑ. අනේ! මේ අපේ අක්කලට කියල සාංඝික දානයක් දී මට පිං අනුමෝදන් කරන්න කියන්න. එතකොට මට යන්න පුළුවන් වේවි”

”හොඳයි. දැන් යන්න” රෝගී තත්ත්වය නිසා දුර්වලයි. සතියක් බෝධි පූජා පවත්වා නැවත එන ලෙස කාන්තාවට උපදෙස් දුන්නේය.

ඊළඟ සතියේ ද රෝගී කාන්තාව පැමිණියාය. භූතාත්මය ආවිශ්ට විය.

”මහත්තයෝ මට යන්න බෑ. මම යන යන තැන්වලින් මාව පන්නනවා. මම ඉස්සර කව්රු හරි ගෙදරට ආධාර පත්‍රයක් අරගෙන ආවොත් හැංගෙනවා. කවදාවත් ජීවිතේට පන්සලකට ගියේ නෑ. ඒ නිසා පිං දෙන කොට පිං අනුමෝදන් වෙන්න අත් දෙක උස්සලා සාදු සාදු කියන්න බෑ.”

”තමුන්ගෙ කරුම තමුන්ම ගෙවන්න වෙනවා. තමුන් ජීවත්ව ඉන්දැද්දි කරපු පාපකර්ම බරපතලයි. දැන් නම් තමුන් යන්නම ඕනෑ. නැත්නම් දඬුවම් කරන්න වෙනවා” යැයි කියා ඊළඟ සතියේ වැටකෙයා මලක් හා පලතුරු වට්ටියක් රැගෙන එන්නැයි රෝගී කාන්තාවට උපදෙස් ලැබුණි.

ඊළඟ දිනයේ ඇය පලතුරු වට්ටියක් හා වැටකෙයා මලත් අරගෙන ස්ථානයට ඇතුළුවුණේ ම හඬාගෙන ය.

පලතුරු වට්ටිය මිදුලේ තබා වැටකෙයා මල ඒ අසලින් තබා භූතාත්මය අමතා “දැන් වැටකෙයා මල උඩට නගින්නැ”යි නියෝග කළේය.

”දැන් කළුතර බෝධීන් වහන්සේ ළඟට යන්න ඕනෑ. එතැන සිටින දෙවියන්ට කන්නලව් කොට උදව් ඉල්ලන්න.මෛත්‍රී බෝධිසත්ත්ව දෙවියන්ට වැඳ නමස්කාර කොට උන්වහන්සේ ඉදිරියේ නැවත මේ ශරීරයට ඇතුළු නොවන බවට පොරොන්දු වෙන්න. කළු දේවතා බණ්ඩාර දෙවියන්ට කියා ශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟින් ඉඩකඩක් ඉල්ලා ගන්නැ”යි භූතාත්මයට උපදෙස් දුන්නේය.

ශ්‍රී මහා බෝධීන් වහන්සේටත්, කළු දේවතා බණ්ඩාර දෙවියන්ටත්, බාර හාර වී කිරි ආහාර පූජාවක්, සුදු නෙළුම් මල් වට්ටියක් හා සිවුරක් පූජා කරන බවට පොරොන්දු වී දානයක් දී මල්ලීට පින් අනුමෝදන් කොට සතියකින් ගොස් බාර ඔප්පු කරන ලෙස රෝගී කාන්තාවට උපදෙස් දුන්නේය.

මිදුලේ තැබූ පලතුරු වට්ටිය හා වැටකෙයා මල දෙදෙනකුට ඔසවන්නට බැරි තරම් බරින් යුක්ත විය.

මෙහිදී අපට පැහැදිලිව පෙනෙන විශේෂත්වය නම් මේ භූතයාට සහෝදරියගේ ශරීරය අතහැර යන්නට වුවමනාව තිබුණ ද යා නොහැකි තත්ත්වයක් උදා වී තිබීමය. සොහොනට ගියත් එතැන පදිංචිව සිටින භූතයින් විසින් පන්නා ගනු ලැබුණි.

ජීවත්ව සිටිය දී කෙනෙකුට ඉඩමක් ගෙයක් ගැනීමට උදව් කිරීම විශාල පිනකි. ගෙයක් හදන කෙනෙකුට උදව් කිරීම ද එසේ ම ය.

ඊටත් වඩා භාවනා මධ්‍යස්ථානයකට, පන්සලකට ඉඩමක් ලබාදීම හෝ ඉඩමක් ලබාගැනීමට ආධාර කිරීම ද කුසලයකි. කෙටියෙන් කියනවා නම් කෙනෙකුට ඉන්නට හිටින්නට තැනක් ලබා දෙන අයට මරණයෙන් පසු ලබන උපතේ දී ඒ ආනිසංසයෙන් සුදුසු තැනක් ලැබේ. විමානයක් සකස් වේ.

අතීතයේ සිට සිංහල බෞද්ධයන් අතර චාරිත්‍රයක් ලෙස පවතින, මළ ගිය කෙනෙකුට පින් දෙන්නට සිදු කරන දානයේදී පැදුරක් හා කොට්ටයක් පූජා කරන්නේ ඒ නිසාය. මළගිය ඥාතියාට පවතින්නට සුදුසු තැනක්, දෙවියෙක් නම් දිව්‍ය විමානයක්, ලබාදීමට කරන පූජාවකි. දන්දීමකි.

ජීවත්ව සිටියදී එවැනි කුසලයක් නොකළ අය, අමනුෂ්‍ය ආත්ම භවයක උපන්නොත් එවැන්නෝ තුන් මංසලේ, සිව් මංසලේ, නානතොටේ ඉපිද පීඩා විඳිති. ඔවුන්ට සොහොනේවත් ඉඩක් නැත. එතැනින් ද පන්නා ගනිති. ඒ නිසා ආරාම පූජා, නිවාස පරිත්‍යාග, ඉඩම් පූජා බොහෝ ආනිසංස ඇති කුසලයෝය. මේ භූතයා ඉහත භවයේ සංස්ථාවක සාමාන්‍යාධිකාරී කෙනෙකු වුව ද අද ඔහුට සොහොනේවත් ඉඩක් නැත.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: