Posted by: lrrp | July 12, 2010

මවට පහර දුන් වරදට දඬුවම දෙපැයෙන්

“අපරාධය” යන වචනය අර්ථ ගැන්වෙනුයේ වරද – නොකටයුතු දේ – නීති විරෝධි ක්‍රියාව – නීතියෙන් දඬුවම් කළ හැකි දෙය යනුවෙනි. “අපරාදේ” යන වචනය අර්ථ දක්වනුයේ නිකරුණේ – හේතුවක් නැතිව – යන අදහස් දැක්වීමට ය. මෙහි දී “අපරාධය” පිළිබඳ සලකා බලන විට වරද සහ නොකටයුතු දෙය ප්‍රධාන වේ. එය සමාජ සම්මතයෙන් සම්ප්‍රදායයෙන් හා සංස්කෘතියෙන් නොකටයුතු දෙයක් ලෙස තීරණය කොට ඇත. එසේ තීරණය වූ විට එවැනි දෙයක් සිදු කරන පුද්ගලයා ගෙන් බාහිර පුද්ගලයන්ට හා සම්පත්වලට සිදුවන හානිය වළක්වා ගැනීම සඳහා එය නීතියෙන් දඬුවම් කළ හැකි දෙයක් ලෙස තීන්දු කොට පාලකයෝ නීති රීති සකස් කරති. ඒ සඳහා දඬුවම් නියම කරති. මේ දඬුවම් නියම කිරීමේ දී ප්‍රධාන වශයෙන් සැලකිල්ලට ගනු ලබන්නේ ඒ පුද්ගලයා තුළ ඒ අපරාධය සිදු කිරීමට පහළ වූ චේතනාව යි. “චේතනා හං භික්ඛවේ කම්මං වදාමි” යි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ද චේතනාව ම කර්මය වශයෙන් සලකා ගෙන ය.

මෙහි දී කෙනෙකුගේ සිතේ අපරාධ චේතනාවක් පහළ වනුයේ ලෝභය – ද්වේෂය යන දෙකෙන් එකක් මෝහය සමඟ මිශ්‍ර වීමෙනි. කෙසේ නමුත් අපරාධයක් ක්‍රියාත්මක වීමේ දී ද්වේෂය ප්‍රධාන වෙයි. ඒ අපරාධය තවත් පුද්ගලයෙකුට හෝ පුද්ගලයන්ට වේදනාවක්, පාඩුවක්, හිරිහැරයක්, හානියක් සිදු කරයි. එසේ ම විශ්ව ශක්තීන්ගේ ක්‍රියාකාරීත්වය අනුව එම අපරාධ චේතනාව හටගත් පුද්ගලයාට ද අනිවාර්යයෙන් ම ඒ හා සමාන හෝ ඊට වැඩි ප්‍රතිවිපාකයක් ලබා දෙයි. එය තීන්දු වන්නේ සිතේ හටගන්නා චේතනාවේ ප්‍රබලතාවය අනුව ය. කර්මයකට විපාක දීම ඊට සුදුසු අවස්ථාවේදී විශ්ව ශක්තීන් විසින් ක්‍රියාත්මක කරනු ලබයි.

මිනිසා ගේ සිතෙන් නිකුත් කරන කුසල හා අකුල ශක්ති තරංග විශ්ව සන්නායක ජාලයක් ලෙස විශ්වය පුරා පැතිර පවතී. එහි අසීමිත තොරතුරු ගැබ් වී ඇත. කුඩා බිස්කට් එකක කොතරම් තොරතුරු රාශියක් ඇතුළත් කළ හැකි ද යන්න පරිගණක තාක්ෂණය යම්තමින් හෝ දන්නා කෙනෙකුට වටහා ගත හැකි ය. එසේ නම් විශ්වය පුරා පැතිර ඇති, ඊටත් වඩා සියුම් දෙයක ඇතුළත් විය හැකි ප්‍රමාණය සිතා ගත හැකි ය. එසේ ඇතුළත් වන ශක්ති ෂ;ශ්ෂයන් ගේ අඩංගු තොරතුරු අනිකුත් දේ සමඟ මිශ්‍ර නොවී තමන් කරා ම පැමිණීම අද පුදුමයට කාරණයක් නොවේ. සම්පේ‍්‍රෂණ මධ්‍යස්ථානයකින් ගුවනට නිකුත් වන කථා හෝ රූප වෙනත් කථා හෝ රූප සමඟ මිශ්‍ර නොවී නියමිත චැනලයෙන් සම්පේ‍්‍රෂණය කළ විට එසේ විවෘත කළ චැනලය කරා ම පැමිණෙන හැටි අද දුකතනය, රූපවාහිනිය හා පරිගණකය (අන්තර්ජාල) සමඟ කටයුතු කරන අයට වටහා ගත හැකි ය.

මිනිසා ගේ මොළයෙන් උපදවනු ලබන චේතනා තරංග මේ සෑම තරංගයකට ම වඩා සියුම් ය. තියුණු ය. මිනිසා ගේ සිතෙන් නිකුත් වන චේතනා තරංගවල විවිධත්වය පවා අද නිර්ලියන් ඡායාරූප ක්‍රමයෙන් ඡායාරූප ගත කැර ඇත. කෙනෙකු වෛරයෙන් සිටින වේලාවේ ඒ ආවේගයේ ශක්ති තරංගවලත්, මෛත්‍රී සහගතව සිටින වේලාවේ ඒ ශක්ති තරංගවල වෙනසත් ඒ ඡායාරූප සටහන්වලින් දැක ගත හැකි ය.

බුදු දහමට අනුව මිනිසා විසින් සැලසුම් කොට හෝ ක්ෂණිකව සිතා මතා කරනු ලබන ක්‍රියා කර්මයක් ලෙස ක්‍රියාත්මක වීමේ දී එය අරමුණු කොට උපදින සිතුවිලි ධාරාව පිටතට විකිරණය වේ. එය විශ්ව සන්නායක ජාලයට පිවිස තැන්පත් වේ. එය පසු අවස්ථාවක එය නිකුත් කළ ඒකකය වන ඒ මිනිසා කරා ම ආපසු ගමන් කරයි. එසේ නැවත ආපසු විකාශනය වීම කර්ම විපාකය ලෙස හඳුන්වයි. මිනිසා විසින් සසර දිගින් දිගට ගෙන යන “මම” ය, “ආත්මය” ය යැයි සිතා සිටින උපාදානස්කන්ධ සංයුතිය මේ චේතනා තරංග හා සම්බන්ධය. එය චේතනා තරංගවලට ද වඩා සියුම් ය. එයට ද ගමන් මාර්ග වන්නේත්, සම්බන්ධව පවතින්නේත් මේ සන්නායක ජාලය ම විය හැකි ය. මේ ඉතා සියුම් ශක්ති විශේෂයන් බැවින් අප ද ඉතා සියුම්ව කල්පනා කැර බැලිය යුතු ය.

පුද්ගලයා විසින් ස්වකීය ජීවිතය තුළ දී සිය උපාදානාස්කන්ධ සන්නතියට එකතු කැර ගන්නා, මිශ්‍ර කැර ගන්නා, පින් පව් හෙවත් යහපත් අයහපත් ක්‍රියා පුරුදු ද අත්දැකීම් ද එම උපාදානස්කන්ධ සංයුතිය සමඟ ම ගමන් කැරේ. මෙසේ උපදවන කර්ම චේතනා තරංග ලෙස නිකුත් වී විශ්ව සන්නායක ජාලයට පිවිස ඒ ජීවිත කාලයේ දී ම ආපසු පැමිණ විකාශය වේ. මෙය “දිට්ඨධම්මවේදනීය” විපාකය ලෙස නම් කොට ඇත.

මිනිසා අපරාධයේ දරුණුතම හා ඊට ලැබෙන ප්‍රතිවිපාකය දන්නවා නම් කිසි දවසක වැරදි කරන්නේ නැත. මිනීමැරුමක් නොවුණත්, බල අපරාධයක් ලෙස නීති පොත්වල සඳහන් නොවුණත්, සිතේ හට ගත් දරුණු ආවේගය පිට කැර ගැනීම සඳහා කලින් සැලසුම් නොකළා වූ ද එහෙත් සොබා දහම කම්පාවට පත්වන අයුරින් ක්ෂණිකව සිදු කළ වරදකට පැය කීපයක් ඇතුළත විපාක විඳීමට සිදු වූ කතාවකි මේ. විශ්ව ශක්තිය විසින් ක්ෂණිකව දඬුවම් කළ අවස්ථාවකි. දිට්ඨධම්මවේදනීය කර්ම විපාකයකි.

සරත් කුඩා කල ම ඔහු ගේ පියා හදිසි අසනීපයකින් මිය ගියේය. වෙනත් නෑදෑයෙකු ගේ උදව්වක් නොලැබුණ ද, නෑදැයින් සිටියත් ඔවුන්ට ද ඒ තරම් හයියක් නොතිබුණු නිසා ද සුමනාවතී කාටවත් අතපාන්නට ගියේ නැත. කඩයප්පන් ටිකක් තම්බා ගමේ කඩවලට දැමීමෙන් ද, බීඩි කොම්පැණියෙන් කොළ ලබා ගෙන බීඩි ඔතා ඒ කොම්පැණියට ම දීමෙන් ද පනං හතරක් උපයා ගත්තේ පොඩි එකා හදා වඩා ගැනීමේ උවමනාවත් ධෛර්යයත් නිසා ම ය.

පොඩි එකා ඉස්කෝලයට ඇතුළත් කිරීමත් සමඟ සුමනාවතීට වියදම්, අමාරුකම් ඉහළ ගියේ ය. ඒ සමඟම 71 කලබල කාලයේ බීඩි කොම්පැණිය ද වසා දමනු ලැබිණි. එයින් අධෛර්යමත් නොවූ සුමනාවතී ගල් වළේ ගල් කඩන්නට ගියාය. සුමනාවතී මෙසේ දහදුක් වින්දේ සරත් ගේ දෑස් පාදා උස් මහත් කොට මනුස්සයෙක් කිරීමට ය.

එහෙත් සරත් ඉගෙනුමට ඒ තරම් උනන්දුවක් නොදැක් වූ අතර පාසල ඇරී ගෙදර ආ හැටියේ කොල්ලන් සමඟ කෙළි සෙල්ලමට ගියේය.

ගෙදර දී පොතක් අතින් ඇල්ලුවේ නැත. දෑත්වල කරගැට නැගෙන තුරු ගල් වළේ ගල් කඩා හැන්දෑ වී ගෙදර එන සුමනාවතී කොලුවා ගේ කුස පුරවන්නට යමක් තම්බා කන්නට දී කුස්සියේ වැඩ අවසන් වන විට ඇගේ අතේ පයේ රුදාව, ඇඟේ මහන්සිය විසින් ඇය පැදුරු කඩමාල්ල මතට තල්ලු කරනු ලබයි. සරත්ට ගෙදර දී අමතර ඉගැන්වීමක් කැරවීමට හෝ පාසලේ වැඩ කටයුතු ගැන හොයා බැලීමට පවා ඇයට නුපුළුවන් විය.

සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත් වූ සරත් අධ්‍යාපනයට ආයුබෝවන් කියා ගමේ කොලු රැළට එකතු විය. ඒ සමඟ ම දුම්පානයටත්, සුරා පානයටත් පුරුදු විය. ගමේ පෙදරේරුවකු වූ පියසේන බාස් උන්නැහේ තමන් ගේ අත්වැඩ කාරයා වශයෙන් සරත් කැඳවා ගෙන ගියේ දිනපතා හැන්දෑවට නියමිත කුලිය ද ලබා දුන්නේ ය. මුලදි මුලදී තමා උපයන මුදලින් සොච්චමක් හැන්දෑවට අම්මාගේ අතේ තැබුව ද පසුව ඒ හැම සතයක් ම මත්පැනට ම වියදම් කළේ ය. පියසේන බාස් ද ගෝලයාට අවවාද උපදෙස් දුන්නත් සුරාපානයෙන් සරත් වළක්වා ගන්නට ඔහුට ද නොහැකි විය.

මේ අතර පියසේන බාස් ගේ නැගණිය ලලිතා සමඟ සරත් ගේ ඇයි හොඳයියක් ගොඩනැගී තිබුණි. සරත් ගේ හැටි දන්නා නිසා ම පියසේන බාස් මේ සම්බන්ධයට විරුද්ධ විය. එයින් ම සරත් ඔහු සමඟ අමනාප වී වැඩට යෑම ද අත් හළේ ය. සරත්ටත් ලලිතාටත් වෙනදා මෙන් මුණ ගැසී ඇයිහොඳයිකම් පවත්වන්නට නොහැකි තරම් වැට කඩොලු තර කැරිණි. දිනක් හැන්දෑවේ සරත් තම නිවසට ලලිතා කැඳවාගෙන ආවා ය. සුමනාවතී හිටි හැටියේ සිදු වූ මෙම ආගමනයෙන් අන්ද මන්ද වී ගිය ද කිසිවක් නොකියා ඉවසා දරා ගත්තා ය. වෙනදාට වඩා නෑඹිලියට හාල් හුණ්ඩු බාගයක් එකතු කළා ය. නැති බැරිකම් කොයි තරම් තිබුණ ද කඩේ වහන්නට පෙර දුව ගොස් ණයට කුකුළු මස් ටිකක් හා පපඩම් පැකැට්ටුවක් ද ගෙනාවාය. කෙසේ නමුත් ලලිතා ගේ පැමිණීම සුමනාවතීට අත් උදව්වක් විය. ඇය කුලී කුරක්කමට ගොස් වෙහෙස මහන්සිව ගෙදර එන විට ගෙදර වැඩ පොළ ලලිතාගෙන් ඉටු වී තිබීම ඇයට පහසුවක් විය. සරත් ද දින දෙක තුනක් හිතේ ආශාවට සිය තරුණ බිරිය සමඟ ගෙදරට වී සිටිය ද ඉන් පසු ගමේ හෝ යාබද ගමක කුලී වැඩක් සොයා ගියේ ය.

ඔවුන් ජීවත් වූ නිවස පාරට මුහුණලා පිහිටි එකක් විය.”අම්මේ! හැමදාම අම්මාට ඔය තරම් දුක් මහන්සි වෙන්න බැහැනෙ. මගේ ළඟ ඉතුරු කර ගත්ත සල්ලි ටිකක් තියෙනවා. අපි මෙතැන පුංචියට තේ කඩයක් දාමු ද? අම්මටත් කඩයප්පන් ටික හදා දෙන්න පුළුවන්නෙ” යි දිනක් රාත්‍රී ලලිතා කළ යෝජනාවට සුමනාවතී ද එකඟ වූවාය.

“අනේ! හොඳයි දුවේ! එහෙම නම් කොච්චර දෙයක් ද? දැන් මගෙත් නිතර වාත අමාරු, හන්දිපත් රුදාව. එදා ඉඳල ම දුක ම වින්දා මිසක හිතටවත් නිස්කාංසුවක් ලැබුණේ නැහැනෙ” යි සුමනාවතී ද එකඟතාව පළ කළා ය.

ලලිතාගේ තේ කඩය ගමේ අයට ද එක්තරා පහසුවක් විය. එහි නිතර එකා දෙන්නා ගැවසෙන්නට වූහ. එහෙත් එතැන අසල්වැසි තරුණයන්ගේ ගැවසීම සරත් ගේ හිතට මොකක්දෝ කුහුලක් ගෙනාවේය. එහෙත් කඩයක් වුණා ම එහෙම නැතුවත් බැරි බව සිතා නිහඬ විය. සුමනාවතී සිය ලේලියට ඉත සිතින් ම උදව් කළ අතර, ගල් වළේ වැඩට නොගියත් ඉඳ හිට අහල පහළ කෙනෙකුගේ වැඩකට හෝ ගොවිතැන්වල ගොයම් කැපීමක් වැනි වැඩකට ගොස් තවත් අමතර මුදලක් උපයා ගත්තා ය. ඒ අතර සරත් කුලී වැඩකට ගියත් හැන්දෑවට ගෙදර එන විට බීමත්ව එන්නට පටන් ගත්තේ ය. බහින්බස් වීම් ද පටන් ගත්තේ ය. එහෙත් ලලිතා සියල්ල ඉවසා දරා ගෙන කටයුතු කළා ය.

සරත් තාත්තා කෙනෙකු වෙන්නටත් තව මාස දෙකකට වඩා නැත. ගමේ කසිප්පු පොළට ද සූදු පිටිය ද නුදුරු බෝක්කුව උඩ රස්තියාදු කාරයන් ගේ සමාගමයට එක් වූ සරත් දැන් කුලී වැඩට යෑමට ද උනන්දුවක් නැතිව බීමට ම කාලය ගත කරන්නට පටන් ගත්තේ ය. නිතර ගෙදර අඩදබර රජ කරන්නට විය. පිඟන් පීරිසි පියාසර කරන්නට විය. යළිත් පවුලේ අඟ හිඟකම් හිස ඔසවන්නට විය. කඩයප්පන් වෙළෙඳාම ප්‍රමාණවත් නොවන තැනට පත් වූ පසු බැරිම තැන ලලිතා නගරයට යන කෙනෙකු ලවා සීල් බෝතලයක් ගෙන්නා ගෙන කාල අරික්කාල විකුණන්නට ද වූවා ය.

දිනක් සරත් ලලිතාගෙන් අරක්කු කාලක් ණයට ඉල්ලුවේය. “ණයට දෙන්න හම්බ කරන මිනිහෙක් වෙන්න එපා” යැයි ඇගේ මුවින් පිට වෙන කොට ම

“උඹ එහෙනං දැන් ගනුදෙනු කරන්නේ හම්බ කරන එවුන් එක්ක විතර දැ”යි ප්‍රශ්න කරමින් ලලිතාට පහර දෙන්නට විය. ඒ වේලාවේ කඩේ තේ බොමින් සිටි දෙදෙනෙක්

“තිරිසනෝ! මේ ගැබ්බර එකීට ගුටි අනින්න උඹට ලැජ්ජා නැද්දැ”යි සරත් පැත්තකට ඇද දැම්මේය.

මේ වන විට මිදුලේ එළා ගත් පොල් අතු ඉරුවක් වියමින් සිටි සුමනාවතී ද

“ගෑනියෙක් ගෙ හම්බ කෙරුවාවෙන් ජීවත් වෙන බේබද්දෙකුට මොන ලැජ්ජාවක් දැ”යි කීවා ය. කෝපයෙන් හා ලැජ්ජාවෙන් පුපුර පුපුරා සිටි සරත් ගේ කෝප ගින්නට විසි කැරුණු ඒ බූමිතෙල් පහරින් එක් වර ම මිදුලට පැන්න සරත් ඇණ තියා ගෙන පිටුපා සිටි මෑණියන් ගේ පස්සා පැත්තට වේගවත් පා පහරක් එල්ල කළේ ය. උඩින් වීසි වී ගිය සුමනාවතී පාර අයිනේ කානුවට වැටුණේ ය. කඩේ සිටි අය ඇය ඔසවා ගොඩට ගන්නා විට සිය බයිසිකල් කටුව දෙපරැන්ද අස්සේ ගසා ගත් සරත් ගෙදරින් පිට වී ගියේ ය. කානුවට වැටුණු සුමනාවතීගේ අත මැණික් කටුව ළඟින් කැඩී ගිය අතර මුහුණ බෝතල් කටුවකට කැපී ලේ ගලන්නට විය. ඇය රෝහල කරා ගෙන ගියහ.

බෝක්කුව උඩ රස්තියාදු ගසමින් සිටි පාප මිතුරන් ගේ සමාජයට ගිය සරත්, බෝක්කු කණ්ඩියට පය ගසා ගෙන බයිසිකලය මත ම වාඩි වී සිටියේය. මේ අතර ඉදිරිපසින් මීහරක් පට්ටියක් ගමන් කරමින් සිටි අතර මී හරක් දක්කාගෙන ආ කොලුවා

“අයියේ! ඔය ඉස්සරහින් එන මීමා අනිනවා. අයින් වෙයල්ලා” යි අනතුරු ඇඟෙව්වේ ය. තරුණ පිරිස පාරෙන් ඉවතට පැන ගත්හ. සරත් බයිසිකලය මත ම නොසෙල් වී සිටියේ ය. හිටි හැටියේ නතර වූ මීමා කන් දෙක කෙළින් කොට හිස ඔසවා “උඹ චණ්ඩියෙක්දැ”යි අසන්නක් මෙන් සරත් දෙස මොහොතක් බලා සිටියේය. පැන්න ගමන් ඇන්නේ ය. ඇන ගෙන ඇන ගෙන ගියේ ය. ගව පාලයාටවත් නතර කරන්නට බැරි විය. ඌට ම ඇති වී නතර කළේ ය.

සරත් ගේ දණහිසින් කකුළ එල්ලා වැටෙන්නට විය. කැඩුම් බිඳුම් ගණනාවක් සහිතව ඔහු ද රෝහල් ගත කැරිණි. ඒ රෝහලේ දී පරීක්ෂා කොට දණහිස පොඩි පට්ටම්ව ඇති බැවින් හම්බන්තොට මහ රෝහලට වහාම පිටත් කැර හැරියේය. එහි දී රෝගියා පරීක්ෂා කළ වෛද්‍යවරු සරත් ගේ කකුළ දණහිස ළඟින් කපා ඉවත් කළහ.

දස මසක් කුස හොවා වදා උස් මහත් කළ ගෙදර බුදුන්ට පා පහර දී දෙපැයක් යන්නට මත්තෙන් දිට්ඨධම්මවේදනීය පාප කර්ම විපාකය ක්‍රියාත්මක වූ වග යි.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: