Posted by: lrrp | August 9, 2010

මගේ ගෙදර මගේ ඉඩමේ මට ඕනෑ හැටියට ඉන්න නෑ

මිනිසා තණ්හාව නිසා පොදි බැඳගන්නා ලද සිතුම් පැතුම් මරණයෙන් පසුව ද ඉන් එහාට ගෙන යන්නේය. මරණයේ දී ඕලාරික ශරීරය අතහැර දමා ගිය ද ස්වකීය ජීවිතයේ ඇති කැර ගත් තණ්හා ආසාවන් උපාදානස්කන්ධ සංයුතිය බවට පත් වී ඒවා අත් නොහැර දිගින් දිගට සංසාරිකව ගෙන යයි. එසේ ගෙන යනවා පමණක් නොව දුගතිගාමීව ඒ සිතුම් පැතුම් නිසා ප්‍රතික්‍රියා දක්වන අවස්ථා ද ඇත. එවැනි අවස්ථා හේතු කොටගෙන ඒ වන විට ජීවත්වන පුද්ගලයින් කෙරෙහි බලපාන අවස්ථා ද දක්නට ඇත.

සමහර මව් පියෝ ස්වකීය හැකියා උපරිමයෙන් යොදා ගේ දොර ඉඩකඩම් වස්තු සම්පත් හරි හම්බ කරති. ඔවුන් ගේ බලාපොරොත්තුව ගමේ රටේ ඉහළ ම මට්ටමේ පුද්ගලයා වී වැජඹීමට ය. රාත්‍රි නින්දට යන්නේ හෙට අදට වඩා තවත් යමක් කරන්නේ කෙසේ දැයි සිතමිනි. පාන්දර නින්දෙන් අවදි වී කල්පනා කරන්නේ ඊයේ රාත්‍රි ගොඩ නැඟූ සිතුවිලි අද ක්‍රියාත්මක කළ යුතු ආකාරයයි. විෂම ලෝභය ක්‍රියාත්මක වීම නිසා ඔහුට කෑම බීම පවා දෙවැනි වන්නේ ය.

තමන්ගෙන් ගමට රටට සමාජයට ඉටුවිය යුතු යුතුකම් අමතක වන්නේ ය. ගමේ පන්සලට පල්ලියට හෝ තමන් අදහන ආගමට ඉටුවිය යුතු යුතුකම් අමතක වන්නේ ය. තමන්ට ආධ්‍යාත්මයක් ඇතැයි ද එය ඉහළට ගොඩනඟා ගත යුතු යැයි සිහිපත් වන්නේ ද නැත. වයස් ගතවත්ම ඔහුට මැරෙන බව පවා අමතක වන්නේ ය. ඔහුගේ ශරීරය දුර්වල වන විට ඔහු කල්පනා කරන්නේ මගේ දූ දරුවෝ මේ ධන සම්පත් තව තවත් ඉහළට ගොඩ නඟා ගනීවිය යනුවෙනි.

දරුවෝ රටේ ඉහළ ම රැකියා තනතුරු දරමින් ඉහළින් ම වැජඹෙනු ඇතැයි සිතා හිත හදා ගනිති. මේ ඉඩකඩම්වල ප්‍රමාණය තවත් වර්ධන කැර ගනිතියි සිතයි. ඒ දරුවන්ට උපරිමයට නගින්නට නොහැකි වුවහොත් මුණපුරු මිණිපිරියෝ දොස්තර ඉංජිනේරු වැනි රැකියා කරමින් වැජඹෙතැයි අනාගත ලෝකයක් ද ප්‍රාර්ථනා කරයි.

පීරිස් මුදලාලි ද එසේ ධන සම්පත් ගොඩනඟා ගත්තෙකි. ගම් ප්‍රදේශයේ උපරිම ඉඩම් අක්කර ගණනකින් යුත් ඉඩම් හිමියා වූයේ ඔහු ය. ඔහු ආගමට දහමට නැඹුරු නොවූ නිසා දාන ශීලා දී පුණ්‍ය කටයුතුවල නොයෙදුණු බැවින් ඔහුගේ පුතුන් දෙදෙනා ද ඒවාට හුරු පුරුදු වූයේ නැත. තමන්ට පියාගේ ඇවෑමෙන් විශාල ඉඩකඩම් ප්‍රමාණයක අයිතියක් ආදායමක් හිමිවන බැවින් ඉගෙනුමට උනන්දු වූයේ ද නැත. කල්යාණ මිත්‍ර ආශ්‍රයක් ලැබුණේ ද නැත. අධ්‍යාපනය කඩා කප්පල් වූයේ පාපමිත්‍ර සේවනයට පත් වූහ. තමන් දුක් මහන්සි වී, කුසට නොකා නොබී හරි හම්බ කළ ඉඩ කඩම් වැඩි දියුණු කරමින් සිටි පීරිස් මුදලාලි අවසානයේ අංශ බාධ රෝගය වැළඳී අවුරුදු ගණනක් ලෙඩ ඇඳේ ඔත්පලව දුක් විඳ මිය ගියේ ය.

ඔහුගේ මරණයෙන් කලකට පසු බිරිය ද මිය ගියා ය. දරු දෙදෙනා අධ්‍යාපනය නොලැබූ හෙයින් ද ඉඩම් සංවර්ධනයට හුරු පුරුදුව නොසිටි බැවින් ද ආදායම පමණක් ලබමින්, එයින් යැපෙමින් විවාහකව අඹුදරු පෝෂණය කරමින් ජීවත්වූහ. පියා විසින් ගොඩ නඟා තිබූ ඉඩකඩම් දෙකට බෙදා ගෙන භුක්ති වින්දහ.

මෙසේ පියා විසින් මිල දී ගෙන, ඊට අමතරව යාබද ඉඩම් ද අයිති කැර ගනිමින් වගා කොට තිබුණු විශාල ඉඩමේ සංවර්ධනයක් නොවූයෙන් ආදායම පහළ බැස ගියෙන් ඉඩම විකුණා දමන්නට ඒ ඉඩම් අයිතිව භුක්ති විඳිමින් සිටි පුතා තීරණය කළේ ය. ඉඩම් වෙන්දේසි සමාගමකට ඉඩම විකුණා දැම්මේ ය. ඒ සමඟම ගස් ගල් පෙරළන බර වාහන යොදා මුළු ඉඩම ම සම්පූර්ණයෙන් සුද්ධ කොට පර්චස් විස්සේ කොටස්වලට කට්ටි කඩා වෙන්දේසි කොට විකුණා දැමීය. ඉඩම මිලදී ගත් අය නව නිවාස ගොඩ නඟමින් නව ගම්මානයක් බිහි කළහ.

පියසේන ගත් ඉඩමේ නිවසට යාබදව බේකරියක් ගොඩ නැගුණි. ඒ ප්‍රදේශයට ම පාන් බනිස් නිෂ්පාදනය කොට බෙදා හැරියේ ඔහු ය. ඒ බේකරිය ගොඩ නැඟුයේ ද එතැන තිබූ පැරැණි නිවස කඩා පොළවට සමතලා කිරීමෙනි.

දිනකට පිටි මිටි හතරක පමණ කෑම නිෂ්පාදනය කරන ඔහුගේ බේකරියේ දිනක් පිටි මෝලිය නරක් වූයේ ය. පිපුණේ නැත. එදා පිටි මෝලිය ඉවත දමන්නට සිදුවූ අතර එයින් වෙනත් ආහාර නිෂ්පාදනය කරන්නට පවා නොහැකි විය. එදා ඔහුගෙන් පාන් මිලදී ගත් වෙළෙන්දෝ පවා අසීරුවට පත් වූහ. දෙවැනි දිනයේ ඉතා පරීක්ෂණකාරීව විශේෂ අවධානයෙන් බක්කරේලා උනන්දු කරමින් පිටි මෝලිය සකස් කළත් එදා ද එසේ ම විය. තුන් වැනි දිනයේ තමන් භාවිත කළ ඊස්ට් වර්ගය පිළිබඳ විශේෂඥයන් පවා ගෙන්වා පිටි මෝලිය සකස් කළ ද එදා ද එසේ ම විය.

ඉතා වේදනාවට හා කම්පාවට පත් පියසේන මුදලාලිට හා බිරියට දෙවියන් බුදුන් සිහිපත් විය. ඔවුහු ගමේ පන්සලට ගියහ. පන්සලේ හාමුදුරුවන් මුණ ගැසී බෝධි පූජාවක් පැවැත්වූහ. බෝධි පූජාව පවත්වන අවස්ථාවේ පියසේන මුදලාලි ගේ බිරිය ප්‍රලය වූවා ය. හඬන්නට වූවා ය.

“කව්ද? මේ”

“මට බඩගිනියි පිපාසයි”

“ඒ මොකද?”

“අනේ! හාමුදුරුවනේ! මම ජීවත්ව ඉන්දැද්දි දන් පින් කළේ නෑ. හම්බ කරන්නමයි තණ්හාව තිබුණේ. දන් පැන් නුදුන් නිසා මම දැන් සා පිපාසාවෙන් පෙළෙනවා.

“මේක පන්සලක්. දැන් මෙතන කෑම හදන්න කෙනෙක් නෑ. දැනට මේ පැන් ටික බී පිපාසය සංසිඳවා ගන්න.”

“එහෙමයි හාමුදුරුවනේ.”

පැන් භාජනයක් දුන් විට එයින් ලීටරයක් පමණ ඇය බී ගෙන බීගෙන ගියා ය.”

“ඉතින් දැන් අපි නැවත කතා කරමු. ඉතින් ඔය කතා කරන්නේ කව්ද කියලා කියන්නකෝ.”

“හාමුදුරුවනේ! මම පීරිස් මුදලාලි”

“ඇයි? ඉතින් මේ අයට කරදර කරන්නේ”

“හාමුදුරුවනේ, මම හරිම වේදනාවෙන් තරහෙන් ඉන්නේ. මගේ ඉඩකඩම් ඔක්කොම විනාශ වෙලා. අන්තිමේ මගේ පරණ ගෙදරට වෙලා හිටියා. මේ අය ඒකත් කඩා දාලා අලුත් ගෙයක් හැදුවා. මම ඒකට වෙලා ඉන්න කොට මේ ගෑනි මට කරදර කරනවා. හිරිහැර කරනවා.”

මොකක්ද කරපු කරදරය. හිරිහැරය.”

“හාමුදුරුවනේ! මේ ගෑනි මොනවද ගාථා වගයක් කියා හැමදාම උදේට හවසට ගේ පුරා දුම් අල්ලනවා. ඒක මට දරාගන්න බැහැ. මට වෙන යන්න තැනකුත් නෑ.”

“ඇයි යන්න තැනක් නැත්තේ?”

“හාමුදුරුවනේ! මම ජීවත් ව ඉන්දැද්දී අනුන්ගෙ ඉඩකඩම් තණ්හාවෙන්, කපටි කමෙන් අසාධාරණව සුළු ගණන්වලට අයිති කැර ගත්තා මිසක් දනක් පිනක් කළේ නෑ. දුප්පතෙකුට ගෙයක් හදාගන්න, පන්සලකට, ආරාමයකට, කුටියක් හදාගන්න ඉඩමක් ගන්න උදව්වක් කළේ නෑ. අඩුම ගණනේ මගේ මැරිච්ච අම්මා තාත්තා වෙනුවෙන් පැදුරක් කොට්ටයක් පවා පූජා කළේ නෑ. ඒ නිසා මට දැන් ඉන්න තැනක් නෑ.”

ඉතින් ගමේ සොහොනට යන්න පුළුවන් නොවැ.”

“බැහැ හාමුදුරුවනේ. මම එතැනට ගියා. එතැන ඉන්න අය මාව පන්නා ගත්තා. පලයං… පලයං… අපටත් ඉන්න ඉඩ නැතුවයි ඉන්නේ, උඹ මළ පෙරේතයා… කාටවත් කිසි දෙයක් නුදුන්න පෙරේතයා. තෝ මනුස්ස ලෝකයේ ඉන්දැද්දිත් මළ පෙරේතයා… කියලා මාව එළවා ගත්තා. ඉතින් මම මගේ ගෙදරට ආවා. මේ උදවිය ඒකත් කඩා බිඳ දැම්මා. ඊට පස්සේ මේ අයගෙ බේකරියට වෙලා හිටියා. පාන් බනිස් අත ගාලා සතුටු වුණා. ඒවයෙ සුවඳ ආඝ්‍රාණය කළා. හැබැයි මාළු පාන්, බිත්තර, රෝල්ස් බඳින සුවඳට ඛ්රිම කැමතියි. ඒත් මෑතක ඉඳලා මේ ගෑනි උදේ හවස දුම් අල්ලන්න පටන් ගත්තා. මට ඒක හරිම හිරිහැරයක් වුණා. ඒකයි මම පිටි මෝලිය නරක් කළේ, “මගේ ගෙදර මගේ ඉඩමේ මට උවමනා විදියට ඉන්න නැති වෙන කොට මට කේන්තියි හාමුදුරුවනේ.”

“මේ ස්ථානය බුද්ධ, ධම්ම, සංඝ යන රත්නත්‍රය පිහිටි ස්ථානයක්. මේ කතා කරන්නේ හාමුදුරු කෙනෙක් මම කියන දේ පිළිගන්නවා ද?”

“එහෙමයි හාමුදුරුවනේ”

“ඇයි? තමුන්ගෙ දරුවන් ළඟට නොයන්නේ?”

“හාමුදුරුවනේ! උන් මම හිතපු විදියට ඉගෙන ගත්තේ නෑ. මගේ ඉඩකඩම් දියුණු කළේ නෑ, උන් දැක්කා ම මගේ වේදනාව වැඩි වෙනවා. අනිත් එක හාමුදුරුවනේ මගේ ගේ තියෙද්දී මම මොකටද උන් ළඟට යන්නේ කියලා මම මෙතනට ආවා. ඉතින් මේ බේකරියෙ කෑම සුවඳ, මාළු, බිත්තර උයන බදින සුවඳ නිසා මම මෙතනම හිටියා.”

“පීරිස් මුදලාලි!”

“ඇයි”

“තමුන් දැන් හොඳට හිතාගන්න මම කියන දේවල්. තමුන් දැන් පීරිස් මුදලාලි නොවෙයි, තමුන් දැන් මළ පෙරේතයෙක්. මේ ඉඩමත් ගෙයත් මේ පියසේන මුදලාලිගෙ.

ඒ අය තමන් හරි හම්බ කළ මුදල් දීලයි මේ ඉඩම ගත්තේ. තමුන්ගේ මුදල් වියදම් කරලයි මේ ගේත් බේකරියත් හදා ගත්තෙ. දැන් තමුන්ට මෙතන ඉන්න කිසිම අයිතියක්, නීතියක්, සාධාරණයක් නැහැ. තමුන් වගේ නෙමෙයි මේ අය. දන් පින් කරනවා.

උදේ හවස මල් පහන් පුදා බුදුන් වඳිනවා. තමුන් මනුස්ස ලෝකයේ ඉන්දැද්දී පින් දහම් කළෙත් නෑ. දැනුත් මේ අයට හිරිහැර කර පව් පුරවා ගන්නවා. දැන් හිතා ගන්න ඔය ප්‍රේත ආත්මයෙන් අවීචි මහා නරකාදියට ගොස් තවත් කල්ප ගණනක් දුක් විඳිනවාද? එහෙම නැත්නම් මම මේ අයට කියා දානයක් දී පින් අනුමෝදන් කරවන්නම්. ඒ පින් අරගෙන හොඳ බෝධීන් වහන්සේ නමක් ළඟට ගිහින් පින් දහම් දන් පින් දැකලවත් සතුටු වෙනවාද කියා.”

“හාමුදුරුවනේ! මම එහෙනම් පින් අරගෙන පුතාලගෙ ගෙදරට යන්නම්”

“එපා… එපා… ඒකත් වැරදියි. අපි හෙටම හාමුදුරු හතර පස් නමකට දානයක් දී තමුන්ට පින් අනුමෝදන් කරවනවා. ඒ පින් අනුමෝදන් වෙලා ඔය ඉන්න දුගතිගාමී ආත්මයට වඩා ටිකක් ඉහළට යන්න පුළුවන් වෙයි. අනුරාධපුරය වගේ පූජා භූමියකට ගිහින්…

“සාධු… සාධු… සාධු” අපේ හාමුදුරුවනේ මම ජීවත්ව ඉන්නකම් වන්දනාවක ගියෙත් නෑ. එහෙම වන්දනාවෙ යන කෙනෙකුට උදව් කළෙත් නෑ. මම අනුරාධපුරය දැකලත් නෑ මම සතුටුයි මම සතුටුයි මම අනුරාධපුරේ යන්තම් හාමුදුරුවනේ”

“ඔව්, ඔව්, එහේ ගිහින් සැදැහැවතුන් කරනා පුද පූජාවලට අත හිත යොමු කරලා සතුටු වෙන්න පුළුවන්”

පියසේන මුදලාලි ස්වාමීන් වහන්සේ සත් නමකට දානයක් පසු දින ම සූදානම් කළේ ය. එදා බේකරියේ පිටි මෝලිය නරක් වූයේ නැත.

තමන් පදිංචිව සිටි ගම්මානයේත්, අහල පහළ නිවෙස්වලටත් පසු දින උදේ පාන්දර නොමිලයේ පාන් බෙදා හැරියේ ය. එදින දහවල් සාංඝික දානයක් පිරිනමා පීරිස් මුදලාලිගේ ප්‍රාණකාරයාට පින් අනුමෝදනා කළහ. පැන් වඩා අවසන් වනවිටම “අනේ, මගෙන් සිද්ධ වුණ වැරදිවලට මට සමාව දෙන්න. මට දැන් හරිම සතුටුයි… මම මෙච්චර දවස් හිටියේ අමු නිර්වස්ත්‍රයෙන්. දැන් මට ඇඳුම් ලැබුණා. ආහාර පාන ලැබුණා. මට සතුටුයි. සතුටුයි, අපේ හාමුදුරුවනේ! මං යනවා. මං යනවා… මම ආයෙත් කරදර කරන්නෙත් නෑ. ආයෙත් එන්නෙත් නෑ. අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේට පිං සිද්ධ වෙනවා. සාධු… සාධු… සාධු… කියා පියසේන මුදලාලිගේ බිරියගේ මුවින් කියැවිණි.

එදා පටන් පියසේන මුදලාලි ද ජීවිතයේ යථාර්ථය වටහා ගෙන වෙනදාටත් වඩා දනට පිනට යොමු විය. පොහොය දින සිල් සමාදන්වීමට පවා පෙළැඹිණි. මේ ගම්මානයේ අනිකුත් නිවෙස්වල අය ද මේ සිද්ධිය ආරංචි වී “සමහර භූ®තයෝ බොරු කියනවා. ඔය මළ පෙරේතයා අපේ ගෙවල්වලට රිංගාවි ද දන්නෙත් නෑ…” යි කියමින් තව තවත් දනට පිනට යොමු වූහ.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: