Posted by: lrrp | August 23, 2010

මරණානුස්සතිය – නාවලපිටියේ අරියවංශ හිමි

මරණ සතිය අපට ඉතාමත් ම යහපත ඇති කරන, ශාන්ත ජීවිතයක් ඇති කර ගන්න, උපකාර වන භාවනාවක්. සමාධිය ඇති කර ගන්න පුළුවන්. ඒ වගේ ම බොජ්ඣංග ධර්මයන් දියුණු කර ගන්නත් පුළුවන්. විශේෂයෙන්ම එයාට විරිය සම්බොජ්ඣංගය බලවත් කර ගන්න උපකාර වෙනවා. ඒ නිසා මරණ සතිය හොඳින් ඉගෙන ගෙන, හොඳින් පුරුදු කර ගන්න කල්පනා කරන්න.

විශේෂයෙන් ම අපිට පිරිසක් එක්ක එකට වාසය කරන කොට මරණ සතිය පුරුදු කළොත් ඒ පිරිසට ඉතාම සාමකාමීව වාසය කරන්න පුළුවන්. තව කෙනෙක් කෙරෙහි කරුණාව, මෛත්‍රිය උපදවාගෙන ඉන්න පුළුවන්. ඇයි එයාගේ හිත සන්සුන්. සන්සුන් නැත්තම් එයාට තව කෙනෙක් කෙරෙහි කරුණාව, මෛත්‍රිය උපදවා ගන්න බෑ. නොසංසුන් හිතින් ඉතාම ගුණවත් කෙනාගේ වුණත් ඇදය තමා පෙනෙන්නේ. ඒක හිතේ ස්වභාවයක්.

ඒ නිසා අපි හිත සංසුන් වෙන ක්‍රම අනුගමනය කරන්න ඕනෑ. වෙන ක්‍රමයකින් හිත දමනය කරනන් බෑ. හිත බලහත්කාරයෙන් දමනය කරන්න බෑ. හිත දමනය වන්නා වූ යම් ක්‍රමයක් තියෙනවා නම් ඒ ක්‍රමය අනුගමනය කිරීමෙන් පමණක් මයි හිත දමනය වෙන්නේ. ඒ නිසා අපිට කුසල් දහම් දියුණු කර ගන්න වුවමනා කරන කෙනා, ඒකට – දොරටුව විදිහට පාවිච්චි කළ යුත්තේ, හිත සංවේගයට පත් කර ගැනීම. හිත සංවේගයට පත්වෙනවා නම් එතනින් තමයි නිවනට දොර ඇරෙන්නේ.

සංවේගයට පත්වෙන හිත ඇලිලා ගැටිලා යන්නේ නෑ. කලබල නෑ. ඇවිස්සිලා යන්නේ නෑ. ආන්න එතන සතිපට්ඨානය පිහිටවනවා. සංවේගයට පත්වුණ සිතේ සතිපට්ඨානය පිහිටුවා ගන්න පුළුවන්.

එයා සන්සුන්. ඒ සංවේගයට පත්වුණ සිතින් වාසය කරන කෙනාට අනුන්ගේ ගුණ බහුල වශයෙන් පේනවා. එයාට යම් පුංචි හෝ ගුණයක් තිබ්බානම් ඒක පේනවා. විශාල අගුණයක් තිබ්බත්, විශාල දෝෂයක් තිබ්බත්, එයා තුළ උපදින්නේ අනුකම්පාව. ඒ දෝෂය මුල් කරගෙන එයාගේ හිත ගැටිලා යන්නේ නෑ.

ඇයි සංවේගයට පත්වෙලා තියෙන්නේ. ගැටෙන ස්වභාවයත් අයින් වෙලා. එහෙනම් ගැටෙන ස්වභාවය අයින් වෙලා නම්, ඒ හිත තුළ අනුකම්පා සහගත කුසල් උපදින්නේ.

සිත සංවේගයට පත් කරගැනීම පිණිස මහත් වූ කැමැත්තක් උපදවා ගන්න ඕනෑ. සංවේගයට පත් කර ගැනීම පිණිස අපිට බොහෝ උපකාර වන්නේ තමන්ගේ මරණය ගැන කල්පනා කිරීම. ඒක බලවත් සේ අපිට උපකාර වෙනවා. ඒ නිසා ඒ මරණ සතිය හොඳින් පුරුදු කර ගන්න. ඒක මීට කලින් කරපු නැති අය ඉන්නවා නම් මේ මොහොතේ හරි ඒ කෙරෙහි කැමැත්ත ඇති කර ගන්න.

කැමැත්ත ඇති කර ගෙන, බහුල වශයෙන් පුරුදු කර ගන්න. දවසක් දෙකක් කරලා නිතර කරන එකක් නෙමෙයි. දිගටම කරන්න ඕනෑ. එහෙම නැත්තම් අපි වේලක් කෑම කාලා වේල් හතක් නිකම් හිටියා වගේ.

මරණ සතිය ටික දවසක් වඩන විට හිත පොඩ්ඩක් හොඳට තියෙයි. ඊට පස්සේ කලක් නිකම් ඉන්නවා. ආපහු සැරයක් ඇවිස්සිලා ගිහිල්ලා. ඒ අවිස්සෙන හිතේ ඇවිස්සෙන ගතිය දුරු කර ගන්න තියෙන හොඳම පිළියම තමයි, මරණ සතිය වැඩීම.

මොකද හිතේ ස්වභාවය තමයි, බාහිර දේ කල්පනා කරනවා. ඇත්ත කල්පනා වෙන්නේ නෑ. වැඩක් නැති දේ කල්පනාවට එනවා. ඒ නිසා තමයි හිත විසිරිලා යන්නේ. නමුත් අපි සත්‍ය කල්පනා කළොත්, සිදු වෙන දේ කල්පනා කළොත්, හිතේ විසිරීමක් එන්නේ නෑ. සංවේගයට පත්වෙනවා. අහෝ මෙබඳු දෙයක් නේද? තියෙන්නේ කියලා. එතන සංවේගය තියෙන්නේ.

විසිරිලා නෑ. අන්න ඒ සංවේගයට පත් වූ සිතින් ගුණ දහම් දියුණු කරන්න පුළුවන්. හොඳ බිමක හොඳ පැළයක් හැදෙන්නා වගේ හිතේ කුසල් දහම් දියුණු වෙන්න නම්, හිත හොඳ සාරවත් දෙයක් බවට පත් වෙන්න ඕනෑ. සිත සංවේගයට පත්වීම පිණිස අපිට බලවත් සේ උපකාර වන්නේ ‘මරණ සතිය’.

ඒ නිසා හොඳට පුරුදු කර ගන්න. මේ මොහොතේ ඉඳලා පුරුදු කර ගන්න. අපිට සත්පුරුෂ භූමියට පැමිණෙන්න මේක මහත් සේ උපකාර වෙයි. අපිට සත්පුරුෂයන් සමඟ වාසය කරන්න, අත් නොහැර වාසය කරන්න, අපිට උපකාර වන ධර්මයක්. ඇයි සංවේගයට පත් වූ සිතින් එයා ගුණ දකිනවා. එතන තමයි සත්පුරුෂභාවය තියෙන්නේ. සත්පුරුෂයන්ගේ අසුර ලැබෙන්නෙත් එතැන. ඒ නිසා අපිට සත්පුරුෂභාවයට පැමිණීමටත්, සත්පුරුෂයන් සමඟ වාසය කරන්නටත්, මහත් සේ උපකාර වන ධර්මයක් තමයි මරණ සතිය.

එතකොට බලන්න මරණ සතිය වැඩීමෙන් අපිට උපකාර එකක් දෙකක් ද තියෙන්නේ. බොහෝ උපකාර තියෙනවා.

ඉතින් විශේෂයෙන් ම ඉතාම සුව පහසුවෙන් වාසය කරන්න පුළුවන්. සතුටු සිතින් වාසය කරන්න පුළුවන්. සොම්නසින් ඉන්න පුළුවන්. ජීවිතය ම ඉතාම පී‍්‍රති ස්වභාවයෙන් වාසය කරන්න පුළුවන්. එයාට නිවන දක්වා ම, අරහත්වය දක්වා ම හිත දියුණු කර ගැනීමට කරුණාවෙන්. ඒකේ වටිනාකම ඩිංගක් හරි තේරෙයි කියලා. ඒ වටිනාකම ඩිංගක් හරි තේරුණොත් මේ මොහොතේ ඉඳන් ඒක කරන්න කැමති වෙනවා. කැමැති වෙලා කරන කෙනා ඉතා සන්සුන් සිත් හදා ගන්නවා. ගුණවත් අය බවට පත්වෙනවා. ඒ අය උපකාර කරන්න නැමෙනවා.

දැන් සංසුන් වූ සිතින් වාසය කරන කෙනා, එහෙම නැත්නම් සංවේගයට පත් වූ සිතින් වාසය කරන කෙනා, අන් අයට උපකාර කරන්න කැමැතියි. එයා ගොපල්ලෙක් වගේ වෙනවා.

ගොපල්ලා කැමැති වෙනවා හරකට සාත්තු කරන්න. ගොපල්ලෝ හැම තැන ම ඉන්නවාද? හරක් බලන අය ද? ගොඩක් ඉන්නේ. හරකගෙ කිරි බොන අයද? කිරි වලට ද? ගොඩක් කැමැති හරකට ද? ගොඩක් කැමැති, කිරි වලට. හරකට කැමැති වෙන්නේ කලාතුරකින් කෙනෙක්. ආන්න එයා ගොපල්ලෙක්. ලෝකේ හොඳ අය ගොපල්ලො වගෙයි. ඒ නිසා අපි ගොපල්ලො වගේ වෙන්න ඕනෑ. ගොපල්ලා තමා හරකා බලා ගන්නේ. හරකා හිටියොත් තමා ලෝකයට කිරි ලැබෙන්නේ.

සංසිඳුනු සිතින් වාසය කරන කෙනා, නිවුන සිතින් වාසය කරන කෙනා, සංවේගයට පත් වූ සිතින් වාසය කරන කෙනා, ගොපල්ලෙක් වගේ. එයා හරකා බලා ගන්න කැමැතියි. ඇයි එයා දන්නවා. මේ හරකා නිසා තමයි ලෝකයට සැප ලැබෙන්නේ කියලා. එයා තමන් සැප නොලබා හරක් පට්ටිය රැක බලා ගන්නවා.

ඒ කියන්නෙ ලෝකයට උපකාර කරන කෙනෙක් වෙනවා. ඒ නිසා සංවේගයට පත් වූ සිත උපදවා ගන්න බලන්න. සංවේගයට පත් වූ සිත ඉපදෙන්නේ තමාට සිද්ධ වෙන ඇත්ත කල්පනා කළොත්.

අපි අහස උසට කරනම් ගැහුවත් මැරිල යනවා. අපි මේ ලෝකේ අල්ලට ගත්තත් මැරිලා යනවා. අපි මේ ලෝකේ පොළොව හරහා කිමිදිලා ගියත් මැරිලා යනවා. අපිට අනන්තය දක්වා දුවන්න පුළුවන් වුණත් මැරිලා යනවා. මේ ලෝකේ මිනිස්සු ඔක්කොම එක වචනයෙන් බය කරන්න පුළුවන් වුණත් මැරිලා යනවා.

මේ ලෝකේ මිනිස්සු එක වචනයෙන් දන ගස්සන්න පුළුවන් වුණත් මැරිලා යනවා. ඒ නිසා අපිට පුළුවන් වන්නා වූ යම් හැකියාවක් තිබේ ද? ඒ සියලු හැකියා අතහරින්න.

වැඩක් නෑ. හරයක් මොකුත් නෑ. මරණය ඉදිරියේ අපිට මේ ලෝකේ කිසි දේක හරයක් නෑ. මරණය ඉදිරියේ අපිට තියෙන්නේ සංසුන් වූ හිතින් වාසය කරන්න පුළුවන්කම ඇති කර ගැනීම.

ඒ නිසා මරණය ගැන කල්පනා කරන්න. ආන්න එසේ කල්පනා කරන කෙනා, ගොපල්ලෙක් වගේ. ජීවිතය භාග්‍යය සම්පන්න දෙයක් බවට පත් කර ගන්නවා. එයා ඒ ගවයාට සැප පහසුව ඇති කරන්න කැමැතියි. ඇයි එයා දන්නවා ලෝකයට උපකාර ලැබෙන්නේ මෙතනින් කියලා. අමාරුයි නේද? මේ කටයුත්ත පුළුවන්ද හිතා ගන්න. හිතා ගන්න බෑ. කවුද තමන් සැප නොලබා හරක් බලන ජාතියේ අය වෙන්නේ. ලෝකේ සංසුන් සිත තියෙන කෙනා. එයා ඉතා කරුණාවෙන් හරකා බලා ගන්නවා. නැති කෙනා ටයි, කෝට් එක ගහගෙන කිරි ෆැක්ටරියේ වැඩ කරන්න කැමැති වෙනවා. ඒ ලෝකේ ස්වභාවය. ආන්න ඒ ස්වභාව ඉක්මවලා අපි යන්න කල්පනා කරන්න ඕනේ. ඒ ස්වභාවය ඉක්මවලා යන්න පුළුවන් වෙන්නේ සංවේගයට පත් වූ සිත උපදවා ගත්තොත්, එතන යි ලෝකයට සැප උපදින්නේ. එතන යි ලෝකයට යහපත උපදින්නේ.

ලෝකයට යහපත සැපත උපදවන්න නම්, තමාට යහපත සතුට උපදවා ගන්න ඕනෑ. සංවේගයට පත් වූ සිතින් වාසය කරන කෙනාට ගැටීම ඇලීම නෑ. එයාගෙ හිත නිමෙනවා ටික ටික. එතකොට එයා තමාට යහපත කර ගන්න පටන් ගන්නවා. ආන්න එසේ තමාට යහපත කර ගන්න කැමැති කෙනාගේ හිතේ මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්‍ෂාව උපදිනවා. ආන්න එයා ගොපල්ලෙක් වගේ. ගොපල්ලා තමන්ගේ ගවයා බලා ගන්නේ යම්තාක් සෙනෙහසින් ද? ඒ වගේ ලෝකයට උපකාර කරනවා. එහෙම නැත්තන් රකිනවා, බලනවා, පෝෂණය කරනවා. එතකොට ලෝකයට සැප ලැබෙනවා. යහපත ලැබෙනවා. ඒ නිසා ගොපල්ලෝ වගේ ලෝකයට උපකාර කරන අය බවට පත්වෙන්න. සැබෑ උපකාරයක් එතැන තියෙන්නෙ. ඉතින් ආන්න එහෙම වෙන්න නම් අපි අපිට උපකාර කර ගන්න ඕනෑ. අපි අපිට උපකාර කර ගන්නේ කොහොමද? හිත සංවේගයට පත් කර ගැනීමෙන්. හිත සංවේගයට පත් වෙන කෙනා තමාට උපකාර කර ගන්නවා. තමන් කැමැති නෑ පීඩාව තුළ ඉන්න. එහෙම නැත්තම් තමන් පීඩාව තුළ ඉන්නේ නිකම් යකඩයක් ගිල්ලා වගේ. යකඩයක් ගිල්ලොත් එහෙම කොච්චර අමාරු ද? ඒක වමනෙ දාන්නත් බෑ. පිටිපස්සෙන් යන්නෙත් නෑ දිරවන්නෙත් නෑ. ඉතා වෙහෙසක්. ඉතා අමාරුයි. නමුත් අපි සංවේගයට පත් වූ කෙනා තුළ කරුණාව, මෛත්‍රිය, මුදිතාව, උපේක්‍ෂාව තියෙනවා. එකට එක කරන ගතිය දුරු වෙලා යනවා. දැඩි ගතිය දුරු වෙලා යනවා. එතකොට එයා තුළ අන් අයගේ ගුණ දකින ගතිය ඉපදෙනවා. උපකාර කරන පැත්තට හිත නැමෙනවා. ඉතින් ඒ විදිහට අපේ හිත හදා ගන්න ගොඩක් උපකාර වන දෙයක් තමා ‘මරණ සතිය’ වැඩීම.

ඒක දැන් දැන් කරන්න පුරුදු වෙන්න ඕනෑ. නැත්නම් පස්සේ අමාරුයි. ආරම්භයේ ඉඳලා කරන්න ඕනෑ. ආරම්භයේ ඉඳලා අඛණ්ඩව කරගෙන යන්න ඕනෑ.

බහුල වශයෙන් කරන්න ඕනෑ. එතකොට අපිට සුවපහසු ජීවිතයක් තියෙනවා. ලෝකයට උපකාර කරන අය බවට පත්වෙන්න පුළුවන්. තමාගේ පහසුව නෙමෙ යි බලන්නෙ. අන් අයගේ පහසුව බලමින් උපකාර කරනවා. තමාට ලෙඩ ද මොකුත් බලන්නෙ නෑ. ලෝකයා උදෙසා උපකාර කරන කෙනෙක් බවට පත් වෙනවා.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: