Posted by: lrrp | September 2, 2010

මාතර දී මියගිය සුමිත් යළි උපදී

බෝ රුකක්, නුග රුකක් හැදී වැඩී මේ ලෝකයට සිසිලස ලබාදෙන කාලයටත් වඩා ඉතා ස්වල්ප වූ කාලයක්, කොස් ගසක්, පොල් ගසක්, හැදී වැඩී රටට සරු පල ලබා දෙන කාලයටත් වඩා අඩු කාලයක් ජීවත්වන මිනිසා පිළිබඳ තවත් එක්තරා කතාවකි මේ.

නිරුවතින්, අව්‍යාජත්වයෙන්, මව් කුසින් එළිබහින මිනිසා උපන් මොහොතේ පටන් හඬා වැළපෙන්නේ උදර පෝෂණය හා සළුපිළියේ උණුසුම පතා පමණක් නොවේ. තවත් බොහෝ දේ පිළිබඳ ආසාවෙනි.

නොසංසිඳුණු තණ්හාවෙන් සිත කය පිනවීම සඳහා දරන්නා වූ උත්සාහ ඉදිරියේ මිනිස් ලොවට පැමිණි කාරණය අමතක වී වල්මත් වූ බොහෝ දෙනා මැරෙන බව නොසිතා සිදු කැරගන්නා කලබැගෑනි බොහෝය.

මේ රජරටින් මතු වූ කතාවකි. දයාවතී දෙවැනි වරටත් ගැබ්ගත්තාය. ආහාර පානවලදී විශේෂත්වයක් නොදැක්වූ දයාවතී ගැබ් ගැනීමෙන් පසු මස් මාළු අප්‍රිය කළාය. ගැබ්ගෙන මාස හතරක් ගත වූ තැන් පටන් දිනපතා නොකඩවා, දිනකට වරක්, ලේනෙකු පැමිණ ඇගේ ඇඟට නැඟී සිරුර පුරා දුවගොස් ආපසු බැස ගියේය. ඇය ඊට බිය වුවද, අකමැති වුවද එය දිනපතා අනිවාර්යයෙන් සිදු වූයේය.

(ඇය පදිංචි නිවසෙන් කිලෝ මීටර හතරකට පමණ දුරින් ඇය නොහඳුනන මීට පෙර නොපැමිණි නිවසකදී අපේ ගවේෂණය සිදු වෙද්දී ද අසාමාන්‍ය පරිදි ලේනෙකු පැමිණ, ඇය ඒ නිවසින් පිටව යන තුරුම නුදුරින් (බිත්තියක් දිගේ යමින් අප ගැන එබිකම් කරන්නට විය.)

දයාවතී 1994 දී දියණියක් ප්‍රසූත කලාය. ඇගේ නම නාමලීය. මේ හුරතල් දියණිය වයස අවුරුදු එකහමාරේදී පමණ ගේ ඉදිරිපිට නිවසේ පදිංචි නැන්දා කෙනකු සමඟ පෙර භවයේ තොරතුරු කීවාය. ඊට පසු නිවසේ අය සමඟ ද කීවාය. වැඩිහිටියෝ විස්තර ඇසූහ.

”ඩෝං ගෑවා”

”මොකක්ද ඩෝං ගෑවේ?”

”පීප්.. පීප්… ගියා. ඩෝං ගෑවා”

”මොකක්ද පීප් පීප් ගෑවේ?”

”පීප් එක”

”පීප් එක මොන පාටද?”

ඇය නිවසේ ඇති සුදු පැහැති දෙයක් පෙන්වා “මේ වගේ…යි” කියයි.

වයස අවුරුදු තුනේ දී තවත් පැහැදිලිව විස්තර කළාය. ඇගේ තාත්තා සුදු පැහැති කාරයක හැපුණු බවත් කීවාය.

”දුවමෙහෙට ආවේ කොහොමද?”

”මට නින්ද ගියා. මම මෙහෙට ආවා”යි කීවාය.

”කෝ දුවගේ අම්මා?”

ඇය ඉතා වේදනාවෙන් හූල්ලනවා ඇරෙන්නට ඊට පිළිතුරු දුන්නේම නැත.

වයස අවුරුදු හතරේ දී ඇය අම්මා සමඟ ළදරු පාසල් ගොස් පැමිණෙමින් සිටියදී සුදු මහත කාන්තාවක් දැක “අන්න මගේ අම්මා. මම යනවා”යි ඒ නාඳුනන කාන්තාව අසලට දුවගෙන ගියා ය. ඇය අසලට ගොස් මුහුණ දෙස බලා “අනේ! ඒ මගේ අම්මා නොවේ” යැයි කියා අඬාගෙන ආපසු ආවාය.

ඇය වයස අවුරුදු පහේදී පමණ ඇඳුම් කීපයක් බෑගයක දමාගෙන අක්කාට කතාකළාය.

”අක්කේ! අපේ ගෙදර යං”

”නංගී ඔයගොල්ලන්ගෙ ගෙදර තියෙන්නේ කොහේද?” අක්කා අසයි.

”අපේ ගෙදර තියෙන්නේ හුඟක් දුර”

”මොකක්ද ඒ ගමේ නම?”

”මාතර”

මේ අක්ක නඟෝ දෙන්නාගේ දෙබසට වැඩිහිටියෝ ද සම්බන්ධ වෙති.

”මාතර කොහේද දුවගෙ ගේ තිබුණෙ?”

”රාහුල විද්‍යාලය ළඟ”

”දුව එහේදි ඉස්කෝලෙ ගියාද?”

”ඔව්”

”මොන ඉස්කෝලෙට ද ගියේ?”

”රාහුල විද්‍යාලයට”

”ඒ රාහුල විද්‍යාලයෙ වෙන කවුද හිටියේ?”

”අයියලා මල්ලිලා හිටියා. අක්කලා නංගිලා හිටියා”

”ඔයාගෙ ගෙදර මොනවද තිබුණේ?”

”සෙල්ලම් බඩු ගොඩාක් තිබුණා. අපි එහේ යමු අක්කේ. මම අක්කාට මගේ සෙල්ලම් බඩු දෙන්නම්”

”නංගි මාතර ඉන්දැද්දි නංගිගෙ නම මොකක්ද?”

”මගේ නම සුමිත්”

”ඒක පිරිමි නමක්නෙ?”

”ඔව් මම එහේදි පිරිමි තමයි. අයියා කෙනෙක්”

”නංගි ඔයා මාතරදි පන්සල් ගියේ නැද්ද?”

”නෑ..”

”ඇයි පන්සල් ගියේ නැත්තෙ?”

”අපි පන්සල් නොවෙයි ගියේ. අපි ගියේ පල්ලියට”

”ඔයා බුදු සාදුට වැන්දෙ නැද්ද?”

”නෑ. අපි වැන්දේ ජේසු පියාණන්ට”

ම් දැරිය දැන් බෞද්ධ පවුලක ඉපිද සිටියද නත්තල් කාලයට නත්තල් ගස් හැදීමට ප්‍රිය කරයි. පල්ලියක් මතක් කළ විට පපුවේ කුරුසය ඇඳගනී.

දිනක් මේ පවුලේ අය කතරගම යද්දී මාතර නගරය මැදින් බස්රිය ධාවනය වන විට “මෙන්න දුවේ මාතර” යැයි වැඩිහිටියන් ඇයට කියන විට ම ඇය බියපත්ව මව් ඇකයේ හිස සඟවා ගත්තාය. මාතර නගරය පසුවී පැය බාගයක් පමණ ගතවන තුරුම හිස එසවූයේ නැත.

මේ දැරිය දැන් වයස අවුරුදු දහසයක් වූ පියකරු පාසල් දැරියකි. ඇය ඇගේ මව සමඟ පැමිණ මා හමුවූවාය. ඇය දැන් පෙර භවයේ කතාවට අමතරව හිටිහැටියේ වෙනත් ගුප්තාත්මයක් සමඟ සම්බන්ධ වී කතා කරන බව ඇගේ මව පැවසුවාය. මම ඇය ඇමතුවෙමි.

”නාමලී”

”හ්ම්”

”නාමලී දහම් පාසල් යනවද?”

”ඔව්”

”මෛත්‍රී භාවනාව දන්නවද?”

”ටිකක් වගේ…”

”අපි ටිකක් භාවනා කරමුද?”

”හා… හොඳයි”

අපි ප්‍රාථමික තත්ත්වයෙන් බුදු ගුණ මූලිකව මෛත්‍රී භාවනාව ආරම්භ කළෙමු. මම ඇගේ වෙනසක් දිටිමි.

”නාමලී”

”ඇයි?”

”අපි පිරිත් ටිකක් කියමුද?”

”එපා.. එපා”

”එපා කියලා බැහැනෙ.අපි තුන් හතර දෙනා පිරිත් ටිකක් කියන්නම්. හොඳ දුව වගේ අහගෙන ඉන්න”

”එපා.. එපා”

”නමෝ තස්ස භගවතෝ..”

නාමලී බිම පෙරැළී යටිගිරියෙන් කෑගසන්නට වූවාය. අපි පිරිත ආරම්භ නොකළෙමු. මම ඇය ඇමතීමි.

”කව්ද මේ කෑගහන්නේ?”

කතාවක් නැත. හඬන්නට වූවාය.

”හා.. හා.. දැන් ඇඬුවා ඇති. මේ කව්ද කියලා කියන්න”

ඇය (භූතාත්මය) අනන්‍යතාව පැවසුවේ ම නැත.

”නම කියන්නේ නැත්නම් ගම කියන්න”

”මාතර”

”මාතර වෙන කව්ද හිටියේ?”

”පුතයි දුවයි”

”පුතා කියන්නේ කව්ද?”

”සුමිත්”

”දුව කියන්නේ කව්ද?”

”නුවන්තිකා”

”නුවන්තිකා දැන් කොහේද ඉන්නේ?”

”දන්නේ නෑ”

”ඔයා මෙහෙට ආවේ ඇයි?”

”මේ මගේ දුව. මම මගේ දුවට ආදරෙයි”

ආදරේ නම් ඇයි මේ ළමයට කරදර කරන්නේ. මේ ඉගෙනගන්නා ළමයෙක්. මේ ළමයාට ඉස්කෝලෙ වැඩ කරගන්නත් නෑ.

”මම කරදර කරන්නේ නෑ”

”නැත්තෙ මොකද? ඒ ළමයාටත් කරදරයි. දෙමවුපියන්ටත් කරදරයි.

කරුණාකර මේ ශරීරයෙන් ඉවත් වෙන්න. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ – කතරගම වගේ සිද්ධස්ථානයකට ගිහින් පිනට දහමට අත හිත දී සුගතිගාමී වෙන්න හිතන්න”

”බැහැ… බැහැ… මට ඒවයෙ යන්න බැහැ”

”එහෙනම් පල්ලියකට යන්න”

ඇය නිහඬය.

”ඔව් දැන් ඔයා මෙතැන සිට මාතර යන්න ඕනෑ. අන්න බස් එකක් එනවා. නඟින්න බස් එකට. දැන් බස්ටෑන්ඩ් එකේ ඔයා ඉන්නෙ.

බහින්න බස් එකෙන්. අන්න කොළඹ බස් එකක් තියෙනවා. දුවලා ගිහින් නඟින්න.

දැන් ඔයා කොළඹ යනවා. දැන් ඔයා කොළඹ පිටකොටුව බස්ස්ටෑන්ඩ් එකේ ඉන්නේ.

ඔය බස් එකෙන් බැහැලා යන්න. අන්න මාතර බස් එකක් තියෙනවා. ඉක්මනින් ගිහින් ඒ බස් එකට නඟින්න. දැන් ඔයා මාතර යනවා. ඔව් දැන් මාතරින් බහින්න.

දැන් යන්න ඔයා ඉස්සර ගිය පල්ලියට” ඇය සිනාසෙයි. පපුවේ කුරුසිය ඇඳගනී.

”දැන් ඔය පල්ලියේ විස්තර කියන්න”

”ලොකු පල්ලියක්. ලොකු ගේට්ටුවක් තියෙනවා.

ගේට්ටුවට වම් පැත්තෙන් කන්‍යා මරියතුමියගේ පිළිරුවක් තියෙනවා. පල්ලියේ ලොකු අකුරෙන් “සයුරේ දිලෙන තරුව නමෝ මරියනි” කියා ලියලා තියෙනවා.

එතැන ලොකු හොස්ටල් එකකුත් තියෙනවා”

හොඳයි දැන් ඔයා ඔතැනින් ආපහු මාතර බස්ටෑන්ඩ් එකට යන්න. කොළඹ බස් එකක නැඟී කොළඹට එන්න. කොළඹින් ගමට එන බස් එකක නැඟී එන්න. දැන් මේ බස් එකෙන් බැහැලා මේ රංගනී නැන්දාගේ ගෙදරට එන්න. දැන් ඔයා ඉන්නේ මේ ගෙදර. දැන් ඉතින් හොඳ ළමයා වගේ අවදිවෙන්න.”

ඇය අවදි වී වටපිට බැලුවාය. එහෙත් ඇය සිටින්නේ අසිහියෙනි.

”ඔයා නාමලී ද?”

”නැහැ”

”නාමලීගෙ තාත්තාද?”

”නැහැ. සුමිත්ගෙ තාත්තා”

”කෝ ඔයාගෙ බිරිය?”

ඇය ඉකිබිඳ හඬන්නට වූවාය.

”කෝ ඔයාගෙ බිරිය?”

ඇය අත දිගු කර බිත්තිය පෙන්වයි. බිත්තියේ ලේනකු අප දෙස බලා සිටී.

නාමලී අහිංසකය. පියකරු දියණියකි.

ඇගේ සිරුර තුළ තවත් යම්කිසි පුද්ගලයකු සිටින බව ඇයට හැඟේ.

ඔහු සමහර අවස්ථාවල ඔහුට අවශ්‍ය පරිදි ඇය මෙහෙයවයි. ඇගේ අත මෙහෙයවා පෑනක් ගෙන කඩදාසිවල විස්තර ලියවයි. වරෙක සිහිසුන්ව වැටී භූතාත්මය අවදිවී කතා කරයි.

නාමලී ගේ ප්‍රකාශ අනුව ඇය පෙර ආත්මයේ ඉපිද ඇත්තේ මාතර ය.

මාතර රාහුල විද්‍යාලය අසල නිවසකය. කාලය 1993 – 1994 පමණ යැයි සිතිය හැකිය. එවකට ඒ පවුලේ සිව්දෙනකු, එනම් මව පියා ඇය සහ ඇගේ අක්කා ය. ඇය එවකට සුමිත් නම් වූ පිරිමියෙකි.

ඔවුන්ගේ පවුලට සමීපව ඇසුරු කළ තවත් කෙනෙකු ගැන නාමලී පවසයි. මේ අයගෙන් අක්කා හැරෙන්නට අනිකුත් සියලු දෙනා අකාලයේ ශෝචනීය අන්දමින් මරණයට පත්ව ඇත. දැනට ජීවත්ව සිටින්නේ ඇගේ අක්කා නුවන්තිකා පමණි. ඇය හෙදියක් බවද පැවසේ.

පියා දයානන්ද ය. වතු ක්‍ෂේත්‍රයේ රැකියාවක යෙදී ඇත. පියාගේ මිත්‍රයා හෙක්ටර්ය. ඔහුට සුදු පැහැති මෝටර් රථයක් තිබී ඇත.

මවගේ නම ඇය නොකියන්නීය. මව ගැන ඇසූ විට හඬා වැළපෙයි. පියා දයානන්ද මියගියේ මෝටර් රථ අනතුරකිනි. ඒ හෙක්ටර්ගේ මෝටර් රථයේ ගැටීමනි. ඒ තුළින් පැනනැඟුණු සිද්ධීන් නිසා මව දුම්රියට පැන සියදිවි හානි කරගෙන ඇත.

මාතර සිද්ධීන් ගැන අප සොයා බැලුවද තොරතුරු දන්නා පුද්ගලයකු සොයා ගැනීම අසීරු විය.. මේ ගැන දන්නා කෙනෙකු වේ නම් පුනර්භව ගවේෂණය සඳහා 0716398690 (ලියුම්කරු) අමතන්න.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: