Posted by: lrrp | December 20, 2010

අත්ථස්සද්වාර ජාතකය

දරුවකුගේ තක්සලාව ගෙදර ම වෙයි. එහි මහැදුරෝ දෙමාපියෝ ය. කුඩා කල දරුවන් විමසන දෑ පහදමින් ඔවුනට දැනුම දීමට දෙමාපියෝ උත්සුක වෙති. දෙගුරු යන නාමය ද දෙමාපියනට ලැබෙනුයේ මේ නිසාවෙනි. අම්මේ දිග කථාවක් කියන්නැයි දරුවකු අම්මාගේ ඇඟෙහි එල්ලෙන විට කථා නොදත් ඒ අම්මා දුරකථනය කරකවා පුතාට ආච්චී සීයා සම්බන්ධ කර දෙන එක්තරා වෙළඳ දැන්වීමක් අපි දකිමු.

ඇතැම් විට පාසැලේ පොත පමණක් උගෙන බාහිර සමාජ විඥානයෙන් තොර වූ රැකියාවට යන එන නූතන මව්පියවරුන්ගේ සැබෑ ස්වභාවය එයින් ධ්වනිත කරවයි. ඔවුහු දිග කථා නොදනිති. වැඩිහිටි පරපුර තවමත් යම්තමින් හෝ සමාජ විඥානය හඳුනා ගත්තෝ වෙති. ඔවුනගේ අභාවයෙන් පසු දරුවනට සුරංගනා කථා, රජකථා අසන්නට දුරකථන සමාගම් පසුපස යාමට සිදුවන අනාගතය වැඩි ඈතක නොවන බව සිහිපත් කරමු.

මුනිදාස කුමාරතුංග ප¼ඩිතුමාගේ ‘පියසමර’ කාව්‍යය ඔස්සේ පාඨකයා අවදි කරන්නේ දෙමාපියන් සතු සමාජ දැනුම ශ්‍රේෂ්ඨ දරුවෙක් නිර්මාණය කරන්නට කරන ලද බලපෑම සම්බන්ධයෙනි. විශේෂයෙන් පියා සැඳෑ කල පුතුගේ අත අල්වාගෙන මිදුලෙහි ඇවිදුවමින් සොබාදහම ගැන, රජවරුන් සිටුවරුන් ගැන, ඉරහඳ තරු ගැන තම දැනුම දායාද කළ අයුරු ඉතා අපූර්ව ලෙස කුමාරතුංගයෝ පියසමරෙහි දක්වති.

එවන් පියකු නොවන්නට කුමාරතුංග වැනි මහා දාර්ශනිකයකු, ශ්‍රේෂ්ඨ භාෂාවේදියකු, සිංහලයකු අපට අහිමි වී යන්නට තිබුණි. මේ අනුව දරුවා දාර්ශනිකයකු වනවා ද ත්‍රස්තවාදියකු වනවා ද යන්න තීරණය කෙරෙන්නේ දරුවා මුහුණ දෙන දෙමාපිය පරිසරයෙන් බව පැහැදිලි කරුණකි.

දරුවනට කථා මතු නොව දියුණුවට මඟ කියාදීම ද දෙමාපිය කාර්යභාරයකි. තම ජීවිතයේ අත්දැකීම් භාවිත කරමින් ඊළඟ පරපුර හැඩගැස්වීම දෙමාපිය පරම යුතුකම වන්නේ ය. පාසලට හෝ දහම් පාසලට යැවූ පමණින් මේ කාර්යය සිදු වෙතැයි අපේක්ෂා කිරීම මුළාවකි. දරුවනගේ දියුණුවට මඟ පෙන්වීමට දෙමාපියන් නොදන්නේ නම් ඒ සඳහා තමාට වඩා අත්දැකීම් බහුල වියත් පඬිවරයකුගේ ඇසුර ලබාදීම කෙරෙහි ද බුද්ධිමත් දෙමාපියන් සැලකිලිමත් විය යුතුයි.

මෙවර ජාතක කථාවෙන් විග්‍රහ කෙරෙන්නේ මෙතෙක් කළ පූර්විකාවට අදාළ ඉතා වැදගත් විවරණයකි. මේ ජාතකය නම් අත්ථස්සද්වාර ජාතකයයි. ධර්ම දේශකයන්ගේ ජනප්‍රිය මාතෘකාවක් ද වී ඇති මේ ජාතකය නාම මාත්‍රයෙන් ම පැහැදිලි වන්නේ අර්ථ සිද්ධිය ඇති කරලීමට අදාළ දොරටු විමසන ජාතක කථාවක් බවයි. මේ කථාව අපට දායාද වන්නේ බුද්ධිමත් පුතකු පියකු වෙතින් ඇසූ ප්‍රශ්නයක් හේතුවෙනි. පියවරුන් වෙතින් විවිධ ප්‍රශ්න නඟන දරුවන් අතර මෙහි පුතු පියාගෙන් විමසන්නේ තමාගේ ජීවිතයෙහි දියුණුවට හේතුවන දොරටු විමසා දෙන ලෙසයි. ඊට අදාළ බොහෝ කාරණාකාරණ නොදත් ඒ පියා පුතු බුදුහිමියන් වෙතට රැගෙන ගොස් “ස්වාමීනි මේ කුමාරයා නුවණැත්තේ ය. කාරණා කාරණ දැන්මෙහි සමර්ථය. මේ තෙමේ මා වෙතින් අභිවෘද්ධියට කාරණා වූ ප්‍රශ්නයක් විචාළේ ය. බුදුරජාණන් වහන්ස, මට ඒ ප්‍රශ්නය වදාළ සේක් වී නම් යහපත් වන්නේ ය” යනුවෙන් කියා සිටියේ ය.

පුතුට අභිවෘද්ධි කාරණා කියා දෙන්නට නොදත් ඒ පියා පුතු බුදු හිමියන් වෙත රැගෙන යාම ඥානවන්ත ක්‍රියාවකි. තමා නොදත් දේ දන්නා කෙනකු වෙතින් හෝ ලබා දී බාල පරම්පරාව නිසි තැනට රැගෙන යාම බුද්ධිමත් දෙමාපිය යුතුකමක් නොවන්නේද? බුදුහිමියෝ මේ පුතුට දියුණුවේ දොරටු පෙන්වා වදාළහ. මේ දොරටු ඒ පුතුට පමණක් නොව ලෝකයේ සියලු දෙනා වෙතට ම අදාළ වූ සේ පෙනේ.

බුදුහිමියන් වදාළේ, අභිවෘද්ධියට හේතු වන සම්පත් උපදවන්නට, උපදවාගත් සම්පත් නිසි සේ ප්‍රයෝජන ලබන්නට ද හේතුවන කාරණා හයක් ඇති බවයි. එයින් පළමුවැන්න නීරෝගී බවයි. ‘ආරෝග්‍යමිච්ඡේ පරමං ච ලාභං’ යනුවෙන් නීරෝගී කම ම පරම ලාභයක් කොට මෙහි වදාළහ. දරුවකු තරුණයකු වුව නිතර නිතර පීඩා ගෙනෙන රෝගියකු වුව අධ්‍යාපනය ද රැකියාව ද, ව්‍යාපාරය ද නිසි ලෙස ඉටු කළ නොහැකි වනු ඇත.

ගිරිමානන්ද සූත්‍රයෙහි වදාළ පරිදි රෝගකාරක අටකි. එනම් සෙම්, වා, පිත් මුල් කොට හටගන්නා රෝග තුනකි. ඒවා එක්වර කිපීමෙන් හටගන්නා සන්නිපාත අවස්ථාවකි. සෘතු වෙනස්වීමෙන් හට ගන්නා රෝග ද වේ. විෂම පැවැත්ම හේතුවෙන් ද, කර්ම විපාකයෙන් ද, තමාගේ ම උපක්‍රමයෙන් ද මිනිස්සු රෝගාබාධ ඇති කර ගනිති. නූතනයේ මිනිහා පෙළන සියලු රෝග මේ හේතුකාරක නිසා ය. එබැවින් මේ පිළිබඳ අවබෝධය හා නිසි පැවැත්ම ඇති කර ගැනීමෙන් ම මේ රෝගවලින් මිදී සිටීමට අපහසු නොවනු ඇත. මේ දියුණුවට හේතුවන පළමු දොරටුව වන්නේ්ය.

දියුණුවට දෙවන දොරටුව වන්නේ මනා ආචාරශීලයෙන් යුක්තව ලෝක චාරිත්‍ර දැන ජීවිතය පවත්වා ගැනීමයි. එනම් ශීලාචාර බවයි. ලෝකයෙහි කුඩා කල සිටම කළ යුතු නොකළ යුතු දැ වෙයි. ඒවා දැක්වෙන්නේ චාරිත්‍ර හා වාරිත්‍ර යනුවෙනි. කළ යුතු දෑ මගහරින්නා ද නොකළ යුතු දෑ වැලඳ ගන්නා ද පිරිහෙති. ආචාර විචාර නොදත් මිනිසා මංමුළා වූවෙකි. නිවසේ දී, පාසලේ දී හෝ පිවිසෙන කවර තැනෙක හෝ ආචාර විචාර විමසා ජීවත් වන්නාට වරදින්නේ නැත. වරද්දා ගත්තෝ විමසත්වා.

දියුණුවේ තෙවන දොරටුව ඥාන වෘද්ධ, වයෝවෘද්ධ, තපෝ වෘද්ධ වූ ගුරුවර වැඩිහිටියන් වෙතට පැමිණ අවශ්‍ය උපදේශ ගුරුහරුකම්, අවවාද ලබා ගැනීමට ක්‍රියාකිරීමයි. මැරෙන තුරා මිනිසාට උගත යුතු දේ වෙයි. බුදුරදුන්ගෙන් මෙහා සියල්ල දත්තෙකු අපට නැත. එබැවින් තමා සියල්ල දන්නා කෙනෙකු සේ නොහැසිර තමාට වඩා යමක් දන්නා විශේෂඥයන් වෙතින් කරුණු දැන ගැනීම යහපතක් ම ඇති කරවයි. ජීවිතය පුරාවට ම ගුරුවරයෙකු අවශ්‍ය බව මෙයින් කියවේ. පොතපතකට පවා ළංවන්නේ කාරණා කාරණ දැන ගැනීමේ උවමනාවෙන් ම නම් එය දියුණුවේ දොරටුවක් වන්නේය.

දියුණුවෙහි හතර වන දොරටුව ලෙස බහුශ්‍රැත බව දැක්වෙයි. එනම් ලෝක ඥානය සොයා යාමයි. ඒ සඳහා බොහෝ දේ ඇසිය යුතු බවයි. පුරාණ ශෝතෲ සමාජයේ ඇසීම ප්‍රබල ඉගෙනීමේ ක්‍රමවේදයක් විය. ඇසෙන දේ දරා තමනට රුචි ලෙස පරිකල්පනය කර ගනිමින් ජීවිතය පවත්වා ගෙන යාමට උත්සාහ කිරීම ඥානවන්ත බව විය. සුනාථ, ධාරෙථ, චරාථ යන වචන කියැවුණේ ඒ නිසාවෙනි.

ත්‍රිවිධ දුශ්චරිතයෙන් ඈත්වී ත්‍රිවිධ සුචරිතය වැඩීම දියුණුවෙහි පස්වන දොරටුව වන්නේ ය. කය, වචනය හා සිතිවිලි ඔස්සේ කෙරෙන ක්‍රියාවන් යහපත් ලෙස පවත්වා ගෙන යාම මෙයින් අපේක්ෂා කෙරේ. කායික හෝ මානසික ක්‍රියාවන් දුෂ්ට ලෙස සිදුකරන පිරිස් අවමානිත මිනිසුන් වන්නේය. සිතිවිලි දුෂ්ට කරගැනීම බරපතළ සමාජ ව්‍යසනයකි. එවන් වූවෝ සැමදා කඳුළු පිරි දෙනෙතින් ම දිවි ගෙවති. දියුණුවක් නම් සිදු නොවන්නේ ය.

දියුණුවෙහි ප්‍රධාන අවසන් දොරටුව ලෙස විග්‍රහ වූයේ කාර්යක්ෂම බවයි. ඇතැම්හු මහා උදාසීනයෝ ය. යමක් ඇරැඹීමෙහි වීර්යය ද නැත. අවසන් කිරීමෙහි වීර්යය ද නැත. සිතිවිලි පවා අලස ගති පායි. වැඩ කල් දමන්නට, වැඩ මගහරින්නට අති දක්ෂ මිනිසුන් අපට සෑම තැනෙක්හි ම පෙනේ. ඔවුන් මේ සමාජයට කොඩිවිනයකි. එබැවින් දියුණුව කැමැත්තෝ මේ අත්ථස්සද්වාර හඳුනා ගනිත්වා.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: