Posted by: lrrp | December 20, 2010

අවබෝධය මිථ්‍යාවක් ද? – පරිවර්තනය – නාරාවිල පැට්රික්

මේ පරිවර්තනය ජැක් කොන්ෆීල්ඩ්ගේ Enlightenments මැයින් වූ නිබන්ධනයෙකි. එය උපුටා ගන්නා ලද්දේ කැලිෆෝර්නියාවේ බර්ක්ලේහි පළ කැරෙන Enquiring Mind සඟරාවේ 2010 කලාපයෙනි. ජැක් කොන්ෆීල්ඩ් තායිලන්තය, ඉන්දියාව සහ මියන්මාරයේ ආශ්‍රමයන්හි බෞද්ධ භික්ෂුවක ලෙස පුහුණුව ලද්දේ ය. ඔහු 1974 සිට අන්තර්ජාතික මට්ටමින් භාවනාව උගන්වා ඇත. රුක් Insight Meditation Society and Spirit Rock Meditation ආයතනයේ ආරම්භක ගුරුවරයා ය. ඔහු The Buddha is Still Teaching මැයින් අලුතින් ම පළ වූ කෘතිය ඇතුළු තවත් ග්‍රන්ථ බොහෝ ගණනක කර්තෘවරයා ද වෙයි.

ථෙරවාද සම්ප්‍රදායේ දැක්වෙන සෝතාපන්න මාර්ගයට පිවිසීමේ අත්‍යන්තයෙන් පොදු ප්‍රවේශ මාර්ග වන්නේ අනිත්‍යත්වය, දුක්ඛත්වය සහ පරාර්ථකාමිත්වය (අනාත්මකත්වය) යි. අනිත්‍යත්වය පිළිබඳ ප්‍රවේශ මාර්ගයට විවෘත වූ විට අප අත්දකින හැම මොහොතක් ම අලුත්වන්නේ කෙසේද, හැම අත්දැකීමක් ම ඇති සහ නැති වන්නේ කෙසේදැයි අපි වඩ වඩාත් ගැඹුරින් දකිමු.

වසර කීපයකට පෙර භාවනා පුහුණු වැඩසටහනක් අවසානයේ ධර්ම සාකච්ඡාවකින් පසු සැඳෑ සමයේ එක්තරා කාන්තාවක් අත ඔසොවා අවසන් ප්‍රශ්නය ඇසුවාය. ‘ඇත්තටම අවබෝධය මිථ්‍යාවක් ද?’ ඉක්බිති ගුරුවරු සියලු දෙනා සැඳෑ සමයේ සාකච්ඡාවට ගිය විට එකෙකාගෙන් ඒ ප්‍රශ්නය අසන්නට පටන් ගත්හ. නිර්මාණාත්මක ස්වාධීනත්වය පිළිබඳ අජාන් චාගේ කථාන්තර ද, දීපමා පිරිවරා සිටි මෙත්තා පිළිබඳ මහා පරිමාණ ක්ෂේත්‍රය ද, පූන්ජාගේ ප්‍රමුදිත හසරැළි සහ අපේ ම ප්‍රබුද්ධත්වය ගැන ද අදහස් හුවමාරු කර ගතිමු.

කෙසේ වෙතත් බුද්ධත්වය හෙවත් අවබෝධය යන භාෂිතය විවිධ අර්ථ සීමා තුළ යොදන අතර එයින් අවුලක් ඇති වන්නට ද පුළුවන. ඒ අනුව සෙන්, තිබ්බත, හින්දු හෝ ථෙරවාද බුද්ධත්වය එක සමාන ද? බුද්ධත්වය පිළිබඳ අත්දැකීමක් හා පරිපූර්ණ බුද්ධත්වය අතර වෙනස කුමක් ද? අවබෝධය ලත් පුද්ගලයන් දකින්නට ලැබෙන්නේ කවරාකාරයෙන් ද?

ආසියාව තුළ මගේ මුල් අත්දැකීමේදී පහත දැක්වෙන ප්‍රශ්න සමඟ තරයේ කෙළින් ම සම්බන්ධ වන්නට බල කරනු ලැබීමි. තායිලන්තයේදී අජාන් චා ද, මියන්මාරයේදී මහර්ෂි සයදෝව් ද යන මගේ ගුරුවරු දෙදෙනා ම ථෙරවාද බුදුදහම විෂයෙහි අත්‍යන්තයෙන් ප්‍රබුද්ධ ගුරුවරුන් අතර සිටින බව පිළිගත හැකි සත්‍යයකි. ලෝභය, ද්වේෂය හා මෝහයෙන් නිදහස්වීම පිළිබඳ පුහුණුවේ අරමුණ ඔවුන් දෙදෙනා ම විස්තර කළ අතර, බුද්ධත්වයට පත්වන්නේ කෙසේ ද හෝ එය අත්දකින්නේ කෙසේ ද යන්න ගැන නිගමනයකට නොපැමිණියෝ ය. මම අජාන් චා සමඟ මගේ ආශ්‍රමික පුහුණුව ප්‍රගුණ කරන්නට පටන් ගතිමි. ඉක්බිති ඉඳුරා ම විමුක්ති මාර්ගය කේන්ද්‍ර කරගත් දීර්ඝ නිශ්ශබ්දතාවක් තුළ භාවනාවේ නිරත මහර්ෂි සයදෝව්ගේ ආශ්‍රමයෙහි ඉගෙන ගන්නට ගියෙමි.

මහර්ෂි සයදෝව්ගේ ක්‍රමයේදී සති කීපයක් සැහැල්ලු ඉරියවුවෙන් වාඩි වී සිටින්නට සහ සක්මන් කරන්නට සිදුවෙයි. ඒ අතර ආශ්වාසය, සිතිවිලි, හැඟීම් සහ වේදනාවන්ගේ උපත ගැන දිගින් දිගට ම අවධානය යොමු කළයුතුය. එසේ කළ යුත්තේ සිහිය පැහැදිලි ලෙස පිහිටුවා, ක්ෂණිකව කායික හා මානසික ක්‍රියාවන්ගේ පටන් ගැනීම හා වියැකී යෑම නිරීක්ෂණය පිණිස ය.

එහිදී ප්‍රබෝධය, සන්තුෂ්ටිය, බිය හා නොසන්සුන්තාව ඔබ ස්ථාවරව තබන්නට වුවමනා පරිදි පියවරින් පියවර විනිවිද යනු ඇත. තවද සිත නොයෙක් විමති හා ආදරය, සිතිවිලි හා බිය සහ සියලු අත්දැකීම් වලට ප්‍රත්‍යක්ෂ, සන්සුන් උපේක්ෂා සහගත ක්ෂේම භූමියක ලැගුම් ගෙන නිවුණු බවට පත්වෙයි. එයින් මේ ලෝකය තුළ කිසිවක් සමඟ ඇති සාමාන්‍යයෙන් කෙමෙන් ඉවත් වන අවස්ථාවක් එළඹෙයි. එය කය හා මනස යන දෙක ම ඉක්මවා යන කොන්දේසි විරහිත අවකාශයකි. එනම් විමුක්තියට ප්‍රවේශයකි. මහර්ෂි සයදෝව්ගේ ඉගැන්වීමට අනුව අවබෝධයට ප්‍රවේශයක් වන මේ පළමුවන ආස්වාදය පිණිස ලෝභය, ද්වේෂය හා මෝහය මුලිනුපුටා ලන්නට පටන්ගන්නා විරතිය පිළිබඳ අත්දැකීමට මෙහෙයවන ස්ථාවර සමාධිය සහ පාරිශුද්ධිය වුවමනා වෙයි.

වසරකට වැඩි කලක්, බෙහෙවින් නිශ්ශබ්ද මහර්ෂි සයදෝව්ගේ ඇසුරින් පසු අජාන් චාගේ පිරිස සමඟ පුහුණුවට පැමිණි කල්හි, එතෙක් මා ලැබූ සියලු අත්දැකීම් විෂයයෙහි ආවර්ජනයක යෙදුණෙමි. ඒ අතර මගේ සියුම් ආධ්‍යාත්මික අවබෝධය ශුන්‍යත්වය කෙරෙහි යොමු කිරීම, තැන්පත් චිත්ත සමාධියෙන් ගතකළ අවස්ථා සහ චිත්ත ස්වාධීනත්වය පිළිබඳ හැඟීම් සිහි කළ හැකිය. අජාන් චා සිය ගැඹුරු අවබෝධයෙන් ඒවා තේරුම් ගත්තේ ය. අගය කළේ ය. ඉක්බිති ඔහු මෙසේ කීය. ‘අගෙයි, තවත් අත්හැරිය යුතු දේවල් තියෙනවා’.

අවබෝධය විෂයයෙහි ඔහුගේ ප්‍රවේශය භාවනාව පිළිබඳ කිසිදු විශේෂ අත්දැකීමක් හෙළි කැරෙන පදනමක් මත පිහිටන ලද්දක් නොවුණත් එය එතරම් වැදගත් නොවේ. අජාන් චා විස්තර කරන හැටියට භාවනාවේ මූලික අදාළත්වය ගැන සලකා බලන විට ඒ පිළිබඳ නොයෙක් පියවරවල් එතරම් වැදගත් වන්නේ නැත. භාවනාව වනාහි සිත සන්සුන් තැන්පත් හෙවත් නිරාමිස කරන ක්‍රම වේදයකි. එබැවින් ඔබ කොතැනක සිටියත්, මුළු දවස පුරා මොහොතක් පාසාත් ප්‍රගුණ කළ හැක්කකි. තරයේ අල්ලා ගැනීමක හෝ පිළිකුළක්, සතුටක් හෝ වේදනාවක් ඇතිවූ කල්හි සිතා බලන්න. හැකි පමණ ඉක්මනින් එයට වියැකි යන්නට ඉඩ හරින්න. එසේ අත්හැර දමන ලද්දක් වේ ද අවබෝධය නම් එයයි. ඒ හැම විටම අවබෝධය ඔබ සමඟ ඇති බව දැනෙනු ඇත. එනම් ලෝකයේ වෙනස් වන ස්වභාවය පිළිබඳ හඳුනා ගැනීමෙන් මිදී සාවධානය තුළ රඳා පැවැත්ම යි.

අවබෝධය විෂයයෙහි ඇතැයි සේ පෙනෙන මෙවන් විවිධ අවස්ථා අප හඳුනා ගන්නේ කෙසේද? සන්සන්දනාත්මකව ගත්කල වෙනස් ලෙස පෙනෙන ඇතැම් විස්තර ඇතැම් පාඨ ග්‍රන්ථවල ඇතුළත් වන බව පෙනේ. එයින් බොහෝ ඒවායේ නිර්වාණය විස්තර කර ඇත්තේ නිෂේධනාත්මක අර්ථයක් නංවන වචන වලිනි. මහර්ෂි සයාදෝව්ගේ ඉගැන්වීම් හැටියට නම්, අවබෝධය යනු සියලු ආකාරයේ ඇලීම් මුලිනුපුටා දැමීමත්, තෘෂ්ණා ගින්න නිවා දැමීම මඟින් දුකෙහි නිමාවක් දැකීමත් ය. ඒ අනුව දුක නැති කිරීම යනු කාය හා වාග් පාරිශුද්ධිය සහ චිත්ත සමාධිය මඟින් ප්‍රගුණ කරන ලදුව, ලෝභයේ හා දේවේශයේ බලපෑමට මුහුණ දෙමින් ඒවා මැඬ පැවැත්වීමයි. ‘ නිර්වාණය යනු ද්‍රව්‍යන්ගේ අවසානය යැයි ඔබ දේශනා කරන සේක් දැයි බුදුන් වහන්සේගෙන් ඇසූ විටක උන්වන්සේගේ පිළිතුර වූයේ ‘මා දේශනා කරන්නේ නිරුද්ධියේ එක්තරා ස්වරූපයක් පමණ යි. එනම්, ලෝභය, ද්වේෂය හා මෝහයේ අභාවය යි. එය නිර්වාණය යි කියමි’ යි යනුයි.

තවදුරටත් පාඨ ග්‍රන්ථයන්හි අවබෝධය (බුද්ධත්වය) යනු කුමක්දැයි තේරුම් ගැනීමේ වඩාත් ප්‍රතිජනනාත්මක ක්‍රමවේදයක් දැක්වෙයි. එහි නිර්මාණය පරම ආනන්දය හෙවත් උපරිතම සන්තුෂ්ටිය ලෙස විස්තර කරනු ලැබේ. එනම්, සාමය, ස්වාධීනත්වය, පාරිශුද්ධිය වැනිය. එසේම අනාරෝපිත ය. අකාලික ය. අමරණීය ය. අජාන් චාගේ ප්‍රවේශයේ දැක්වෙන පරිදි, මේ තේරුම් ගැනීම තුළ විමුක්තිය සාක්ෂාත් වන්නේ හඳුනා ගැනීමේ විතැන් වීමක් හෙවත් වෙනසක් මඟිනි. එනම් එය විශ්වයේ වෙනස්වන්නා වූ (අනිත්‍ය) කොන්දේසි වලට යටත් බන්ධනයෙන් මුදා හැරීම යි. එය තමන්ගේ විඥානය තුළ විරාමය යි අමරණීයත්වය යි.

මේ තේරුම් ගැනීම තුළ විමුක්තිය යනු ‘මම’ වැනි ඕනෑම දෙයක් ග්‍රහණයෙන් හෙවත් දැඩිව අල්ලා ගැනීමෙන් විතැන්වූ හඳුනා ගැනීමකි. ‘මාර රාජයාගේ බැල්මට අසු නොවන්නේ කෙසේදැයි ඇසූ විට බුදුන් වහන්සේ ප්‍රතිචාර දැක්වූයේ ‘යමෙක් මම හෝ මට හෝ මගේ යැයි කවර දෙයක්වත් තමන් උදෙසා නොගන්නේ ද, එවන් තැනැත්තේ මාර උගුලින් නිදහස් වන්නේ යැ’ යි කියමිනි. යථා පරිද්දෙන් ම මෙවන් උපදේශයක පිහිටමින් අජාන් චා මනා සිහියෙන් විරාම ගන්නටත් මම හෝ මගේ යැයි කවර අත්දැකීමක් හෝ හඳුනා නොගන්නටත් අපට කියා සිටියේ ය.

අද්වෛතවාදී (පරමාත්මය හා ජීවාත්මය දෙකක් නොව එක මැයි සැලකෙන වාදය) ගුරුවරයකු වූ ශ්‍රී නිසර්ගදත්ත සමඟ සිටින විට බොම්බායේදී මට එයට සමාන පිළිවෙතක් අත්දකින්නට ලැබිණ. අවබෝධය පිළිබඳ ඔහුගේ ඉගැන්වීම් වලින් ඔබ කොතැනක සිටියත්, එසේ සිටියදී විඤාණය තුළ තැන්පත් විවේකයෙන් සිටිය හැකි ඕනෑම අඳුනා ගැනීමකින් ලබාගන්නා අත්දැකීමක් මඟින් වෙනසක් බලාපොරොත්තු වන බව දැක්විණ.

ඔහුගේ් කේන්ද්‍රිය අරමුණ වූයේ, ලෝභය හා ද්වේෂය පිළිබඳ නිරුද්ධිය හෙවත් ශූන්‍යත්වය ගැන වූවක් නොවේ. කවරදාක හෝ ඔහුට ඉවසන්නට බැරිව ගිය අවස්ථාවක් වී දැයි නිසර්ගදත්ත ගෙන් ඇසූ විට ඔහු ඉහවහ ගිය සතුටින් මෙසේ විස්තර කළේය. ‘ඔය ගොල්ලන්නට වගේම මටත් පේනවා, ඇහෙනව. දිවට රස දැනෙනව, මටත් බඩගිනි දැනෙනව, පිපාසය දැනෙනවා. නියම වෙලාවට කෑම ටික නොලැබුණොත් ඉවසිල්ලක් නැතිව යනව. මේ ඔක්කොම මම හරියට නූලටම තේරුම් ගන්නව. ඒත් කොහොම හරි මම ඒකෙ ලැග ගෙන නම් ඉන්නෙ නෑ. හැබැයි ඒ ගැන හොඳ සිහියෙනුයි ඉන්නෙ. ඒත් හුඟක් දුරස්ථ හැඟීමෙන්. නොඉවසිල්ල උත්සන්න වෙනව. බඩගින්න නඟිනව. මේ ශරීරයට ලෙඩත්, මරණයත් උත්සන්න වෙද්දී ‘මම’ එක්ක ඒවාට කරන්න දෙයක් ඉතිරි වෙලා නෑ’ හඳුනා ගැනීමේ වෙනසක් හැටියට අවබෝධය යනු එයයි.

ඉහත දැක්වුණු පරිදි අවබෝධය විෂයයෙහි අපට එකකට එකක් පරස්පර දෘෂ්ටි තිබේ. අනෙක් අතින් මහර්ෂි සයාදෝව් සහ සුං ලුං සයාදෝව් සිට රින්සායි සෙන්තෙක් බොහෝ ගුරුවරුන් විසින් අවධාරණය කරන ලදුව, ප්‍රබල සමාධිය සහ පාරිශුද්ධිය මඟින් අත්පත් කර ගන්නා ලද, ලෝභය, ද්වේෂය සහ මෝහයෙන් විනිර්මුක්ත නිදහස අපට ඇත. තවත් අතකින් අජාන් චා, බුද්ධදාස, සෝතෝ (චෙන්) සෙන් සහ සෝග් චෙන්ගේ ඉගැන්වීම් තුළ දැක්වෙන හඳුනා ගැනීමේ වෙනස ද අප සතු ය. ඒ අතර වෙනත් නොයෙක් ප්‍රවේශයෝ ද වෙත්. තවද ඔබ විනයේ පුළුල්තමයෙන් ව්‍යාප්ත සම්ප්‍රදාය වූ ශුද්ධාවාස බුදුදහම  ( Pure Land Buddhism ) ප්‍රගුණ කළහොත් එය බුදුන් වහන්සේගේ මහා කරුණාව මඟින් දරා සිටින ආත්ම පරිත්‍යාගය සහ කැපවීම පිළිබඳ අවබෝධයට ප්‍රවේශයක් ලෙස සම්බන්ධ වන බව පෙනෙනු ඇත.

මෙකී නොයෙක් වෙනස්කම් තේරුම් ගන්නට පහසු වන පිණිස අවබෝධය යන්න බහු වචනයෙන් ගෙන කතා කිරීම අත්‍යන්තයෙන් ඥාන සම්පන්න වෙයි. ‘ගෝඩ්’ හෙවත් සර්ව බලධාරී දෙවියන් වහන්සේ යන්න ඊට සමාන ය. එම එහි නොයෙක් වාගෝත්ති හමුවෙයි. එනම් යෝහෝවඞ අල්ලාඞ බ්‍රහ්මන්, යේසුස්, කාලී ආදී වශයෙන් දකිය හැකි ය. ඒ අතර අනුගාමිකයන් වෙන වෙන ම තමන් අනුගමනය කරන්නේ සත්‍යවාදී එක ම දෙවියන් වහන්සේ පමණයිකි කියත් ම ගැටුම ආරම්භ වෙයි. එසේම ඔබගේ අවබෝධය එකම එක සංකල්පයකට සීමා කර කතා කළහොත් එවිට ද ගැටුම පටන් ගැනෙයි. එවිට සත්‍යය ඔබ වෙතින් ගිලිහී වසන් වෙයි.

අවබෝධය සාක්ෂාත්කරණයට නොයෙක් ප්‍රවේශ මාර්ග බුදුන්වහන්සේ හඳුන්වා දුන්බව අපි දනිමු. ඒ සියල්ල සාකල්‍යයෙන් සාර්ථක උපාය මාර්ග ලෙස ‘මම’ හෙවත් ‘ආත්ම’ සීමාසහිත අදහසින් ග්‍රහණය කිරීමෙන් මුදා ගන්නටත්, විඥානයේ නිසඟ පාරිශුද්ධියටත් මඟ පාදන්නේ වෙයි. එසේම අපි අවබෝධයෙන් ආලෝකවත් වූ විඥානය පිළිබඳ ඉගැන්වීම අන්තර්ගත නොයෙක් මාන හෙවත් පැතිකඩ සොයා දැන ඉගෙන ගන්නමෝ ද වෙමු. සත්තකින්ම ඔබ, ලෝභයෙන් සහ ද්වේෂයෙන් තොරව, වෙනස් වන කොන්දේසි සමඟ හඳුනා ගැනීමෙන් නිදහස් විඥානය අත්දුටු කල්හි, නොයෙක් පැතිකඩ සහිත මැණිකක් හෝ දියමන්තියක් මෙන් එය බහු පාර්ශ්වික බව ඔබට දැනගත හැකිය. එහිදී එක් පැතිකඩකින් ප්‍රභා සම්පන්න නිර්මලත්වය වැනි ප්‍රබුද්ධ හදවත ද තවෙකකින් උත්තරීතර සාමය ද, වෙනත් එකකින් අප්‍රමාණ කරුණාව ද පිළිබිඹු කැරෙයි.

විඥානය අකාලික ද, සර්වකාලීන ද පරිසමාප්ත අර්ථයෙන් ශූන්‍ය ද, සියල්ලෙන් පරිපූර්ණ ද වෙයි. එහෙත් ගුරුවරයෙක් හෝ සම්ප්‍රදායයක් මෙකී ගුණාංගයන්ගෙන් එකක් පමණක් අනෙක්වා ඉක්මවා අවධාරණය කරන්නේ නම් ද යම් ලෙසකින් නිරවද්‍ය අවබෝධය එක ම මඟකින් පමණක් ලබාගත හැකි නම් ද, ආලෝකයේ ක්ෂුද්‍රාංශුව සහ තරංග ස්වභාවය මෙන් අවබෝධාත්මක විඤාණය ද සෞන්දර්යාත්මක ආකෘතින්ගෙන් අත්දකින්නට ලැබුණු කල්හි මෙන් අවුලක් ඇති වන්නට පුළුවන. විවිධාකාර අවබෝධයට අප මෙහෙයවන්නේ කවර පුහුණුවක් හෝ පිළිවෙතක් ද? කේන්ද්‍රීය වශයෙන් බුදුදහම සතිය (අවධානය) මෛත්‍රීය පිළිබඳ නිදහස් පුහුණුව ප්‍රගුණ කරවයි. මේවා අපට හෝ අනුනට හානිකර විය හැකිය ප්‍රතික්‍රියා ශක්ති මඟින් ග්‍රහණය කරනු ලැබීමෙන් නිදහස් කරන ගුණධර්ම පුහුණුව විසින් ඇති කරනු ලැබේ. සිත සන්සුන් කිරීමට අප ඉගෙන ගන්නා ක්ෂාන්තිය පිළිබඳ පුහුණුව හෝ චිත්ත සමාධිය මේ පුහුණුවට එකතු කිරීම සිදුකෙරේ. හැම සිතිවිල්ලක්ම හට ගන්නේත්, වියැකෙන්නේත් කෙසේ දැයි ප්‍රඥාව ප්‍රගුණ කිරීමෙන් පැහැදිලිය. තේරුම් ගත හැකිය. එපමණක් නොව සිතිවිලි අල්ලා රඳවා තබා ගැනීමට නොහැකි බවත් තේරුම් ගත යුත්තකි. මෙවන් ප්‍රඥා ප්‍රගුණ කිරීමක් මඟින් චිත්ත විශුද්ධිය සුවපත් බව සහ අප්‍රමාණ කරුණා චෛතසිකය වෙත ද සිත මෙහෙයවනු ලැබේ. මෙයින් දුක විසින් වෙළා ගනු ලැබූ පුද්ගලයා කෙමෙන් වේදනාව හඳුනා ගැනීමේ වෙනස් ක්‍රමයක් අත්දකිනු ඇත. එය පුද්ගලයා ස්වාධීනත්වය (විමුක්ති චේතනාව) වෙත මෙහෙවනු ලබයි. ‘ආත්ම’ හෙවත් ‘මම’ සංඥාව මුදා හැරීම සහ ලෝකය හෙවත් සංසාරය පිළිබඳ වෙනස් වන ස්වභාවය නම් වූ අනිත්‍ය සංඥාව බුද්ධත්වය හෙවත් අවබෝධයේ පළමුවැනි පියවර වූ සෝතාපන්න (සෝවාන්) මාර්ග ඵලය සාක්ෂාත් කරයි.

ථෙරවාද සම්ප්‍රදායේ දැක්වෙන සෝතාපන්න මාර්ගයට පිවිසීමේ අත්‍යන්තයෙන් පොදු ප්‍රවේශ මාර්ග වන්නේ අනිත්‍යත්වය, දුක්ඛත්වය සහ පරාර්ථකාමිත්වය (අනාත්මකත්වය) යි. අනිත්‍යත්වය පිළිබඳ ප්‍රවේශ මාර්ගයට විවෘත වූ විට අප අත්දකින හැම මොහොතක් ම අලුත්වන්නේ කෙසේද, හැම අත්දැකීමක් ම ඇති සහ නැති වන්නේ කෙසේදැයි අපි වඩ වඩාත් ගැඹුරින් දකිමු. තේරුම් ගනිමු. අප පුහුණුව ලත් එක් ආශ්‍රමයකදී මේ සමස්ත ජීවිතය ම කම්පන ක්ෂණයක් හෙවත් ක්ෂණ භංගුරත්වයක් වන්නේ කෙසේදැයි අත්දකින්නට අප පුහුණු කරනු ලැබිණ.

අපි සුපරිවිත සමාධිය විෂයයෙහි පැය ගණනාවක් පුරා, සියලු ශබ්ද, දර්ශන, ආශ්වාස ප්‍රශ්වාස සහ චින්තන ධාරා සමඟ බැඳුණ වින්දනයක් ලැබුවෙමු. හුදෙක් එහිදී අපට ම සුවිශේෂ මේ සියල්ල ග්‍රහණය කළේ මොහොතක් පාසා වෙනස් වන හෙවත් ක්ෂණ භංගුර බලශක්ති ක්ෂේත්‍රයක් ලෙසිනි. එකල්හි අපි අපේ අවධානය කම්පන ධාරාවෙන් මුදා ගෙන වැඩිමනත් අවබෝධය (සම්ප්‍රජානනය) පිණිස ඉඩකඩක් ලැබෙන අවකාශයේ විරාමයකට නිදහස් කෙළෙමු.

එවිට මමත්වය සහ අන්‍යත්වය, අභ්‍යන්තරත්වය සහ බාහිරත්වය ආදී සියල්ල කෙමෙන් වියැකී ගියේ ය. අපි සියල්ලෝ හැම පරස්පරතාවක් ම ඉක්මවා ගිය අපරිමේය සන්හිඳියාවක් (ශුන්‍යත්වයක්) අත්දුටුමු. අනිත්‍යත්වය ඔස්සේ ලබන අවබෝධය වන්නේ එයයි. ඇතැම් විට අපි දුක්ඛ ද්වාරයෙන් අවබෝධය වෙත පිය නඟමු. අපි පලා යනු වෙනුවට මානව ජීවන අත්දැකීම් නමැති අග්නිය මත ගිමන් හරිමු. අපි එමඟින් අවදි කරනු ලබමු. බුදුන් වහන්සේ ආදිත්ත පරියාය සූත්‍ර දේශනාවේ මෙසේ දක්වති. ‘සියල්ල ගිනි ගෙන දැවෙයි. ඇස, කන, නාසය, දිව, කය සහ සිත යන සියල්ල ගිනිගෙන දැවෙයි. සැකෙවින් කියතොත් මුළු ලොව ම ගිනිගෙන දැවෙයි. එසේ දැවෙන්නේ කුමකින්ද? ලෝභ ගින්නෙන්, ද්වේෂ ගින්නෙන් සහ මෝහ ගින්නේ ය. දුක්ඛ ද්වාරයෙන් අපි තණ්හාව, වෛරය, යුද්ධය, වර්ගවාද සහ භීතියට මුහුණපා සිටිමු. අපි අතෘප්තියට සන්තාපයට සහ පරිහානියට විවෘතව සිටිමු. අපි ජීවිතයේ ආවේණික දුක වැළඳ ගෙන සිටිමු. අපි එයට මුදා හැර සිටිමු. දුක හුදෙක් අපේ සන්තාපයක් පමණක් නොව සමස්ත ලෝකයට ම පොදු දුකක් (සංසාර දුක්ඛ) බව අපි සොයා හඳුනා ගනිමු. එවිට හෘදයංගම උපේක්ෂාව අවදි වෙයි. හදවත කරුණාවෙන් පිරී යයි. එකල්හි අපි විමුක්තිය සාක්ෂාත් කර ගත්තෝ වෙමු.

පලස්තීන පුවත්පත් කලාවේදියකු සහ දේශපාලන ක්‍රියාකාරිකයකු වූ මගේ මිත්‍ර සලාම් ඊශ්‍රායෙල් සිරගෙයකදී දරුණු ලෙස පහර දෙනු ලැබූ කල්හි දුක්ඛ ද්වාරයෙන් ඔබ්බට ගියේ ය. යුද්ධයේදී හැම පැත්තකින් ම මෙවන් දුක්ඛදායක සිද්ධි අත්දකින්නට ලැබෙයි. සැන්ෆ‍්‍රැන්සිස්කෝහිදී මා මුල් වරට ඔහු මුණ ගැසෙන විට ඔහුගේ් ගිමන්හල් සේවාව අගයනු පිණිස සම්මාන පිරිනමනු ලැබ සිටියේ ය. ඔහු ඒ සේවාවට යොමුවූයේ කෙසේ දැයි මම ඇසීමි. ‘එක සැරයක් මම මැරුණනේ’’ සලාම් කීය.

වරක් ආරක්ෂකයකු විසින් පා පහර දෙනු ලැබූ ඔහු කටින් ලේ දමමින් සිරගෙදර බිම ඇද වැටුණේ ය. ඔහුගේ විඥානය සිරුරින් පිටත පාවන්නට පටන් ගත් බවක් ඔහුට දැනිණ. ඒ හණික ඔහුට සාමකාමී බවක් හැඟිණ. එය එක්තරා ආශිර්වාදයක් විය. ඔහු කියා ගෙන ගියේ ය. ‘’මට මොකුත් හිතා ගන්න බැරි වුණා. එළුවෙක් පොලිසිය පිට පැත්තෙ කෑගහමින් හිටිය. මම දන්නේ එච්චරයි. මම හිරගෙදරින් පිට වුණායින් පස්සෙ අන්ද මන්ද වුණා. අන්තිමට මම යුදෙව් කෙල්ලක් කසාද බැඳගත්ත. එතකොට මගේ දරුවන් යුදෙව් – පලස්තීන. මට දෙන්න තියෙන උත්තරය ඒකයි. දැන් මම මිනිස්සුත් එක්ක ඉන්නව. ඔවුන් මැරෙන්නෙ බයට. මට දැන් ඔවුන්ගෙ අත් අල්ලාගෙන ඔවුනුත් එක්ක ඉන්න පුළුවනි’. ඔහු එසේ දුක්ඛ ද්වාරයෙන් අවබෝධයක් ලද්දේ ය.

ඇතැම් විට අපි පරාර්ථකාමීත්වයේ දොරටුවෙන් ආලෝකය දකිමු. එනම්, අවබෝධය ලබමු. පරාර්ථකාමිත්වය පිළිබඳ අත්දැකීම සරලතම මාර්ගවලින් ලබන්නට පුළුවන. සක්මන් භාවනාවේදී අපි හැම පියවරක් පාසා අනාරාධිත සිතිවිලි, හැඟීම්, වේදනා ආදීන්ගේ අභාවයට යෑම නිරීක්ෂණයට පමණක් අවධානය යොමු කරමු. ඇත්තට ම ඒවා අයිති කාට ද? ඒවා යන්නේ කොහාට ද? ආපසු ශුන්‍යත්වයට ම මිස අන් දිසාවකට නොවේ. එනම්, ඊයේ නැති නම් පෙරේදා හෝ අනන්තය වෙත ය. ඒ අතර අපේ ළමා කාලය, සොක්‍රටීස්, ජෙන්ඝිෂ්ඛාන් සහ පිරමිඩ නිමැවූවන් දෙසට ය. අප කවරක හෝ ලැග සිටීමෙන් මිදෙන විට අපට ද්‍රව්‍ය ලෝකය විෂයයෙහි තාවාලික පරාර්ථකාමිත්වයක් පිළිබඳ හැඟීම ඇතිවනු හැකි ය. ඇතැම් විට එහිලා සීමා ඉක්මවන්නට පවා පුළුවන. ඒ අනුව අපට ප්ලම් ගයින්, කුරුලු ගීතයෙන් හෝ උදෑසන ප්‍රවාහන සේවාවෙන් මිදෙන්නට නුපුළුවන. එවන් විට ‘ආත්ම’ හෙවත් ‘මම’ පිළිබඳ පූර්ණ සංවේදිත්වය විඥානයෙහි නැඟී සිටිමින් ශුන්‍ය අත්දැකීමක් බවට පත්වෙයි. එහිදි වඩා වඩාත් ගැඹුරින් ‘අනාත්ම යි, ගැටලුවක් නැත’ පිළිබඳ ආනන්දය අත්දකිමු.

අවබෝධය පිණිස තවත් නොයෙක් ප්‍රවේශ හෙවත් මාර්ග ඇත. එනම් කරුණාව, චිත්ත විසුද්ධිය, පරිත්‍යාගය, ආදරය ආදිය යි. ඒ අතර මාර්ගයක් නොවන මාර්ගයක් ගැනද කියනු ලැබේ. එක්තරා ගුරුවරියක් එය මෙසේ විස්තර කරයි. ‘මම මාස කීපයක තාවකාලික පුහුණුවකට ගියා. ඒත් කිය යුතු වෙනසක් ඇතිවුණේ නෑ. ලබාපු අමුතු අත්දැකීමකුත් නෑ.

කොහොම වුණත් ඔක්කොම වෙනස් වුණා. මට ලොකු අමුත්තක් වුණේ මම කරමින් හිටපු කාරියට ආරක්ෂක සත්කාරයක් සලසමින් කරුණාවයි, අවධානයයි ගැන පැය ගණනක් ගත කිරීමයි. එතනදී මට අහම්බෙන් වගේ මාව හිරට හිරේ මිරික ගෙන ඉන්නව වගේ දැනුණ. ඒ තේරුම් ගැනීමත් එක්ක මම ඒකෙන් මිදෙන්න උත්සාහ කළා. ඒ වෙන එකකට නොවෙයි.

වුණේ් මොකක් දැයි තේරුම් ගන්නයි. මට එයින් සහනයක් දැනුණ. මම තවදුරටත් වෙහෙසීම නතර කළා. මම දිගින් දිගට කල්පනා කිරීම නැවැත්තුව. මම මා ගැන වැඩියෙන් සැලකිලිමත් වුණා. මගෙ හිත කරුණාවෙන් පිරී ගියා. මම අප්‍රමාණ නිදහසක් අත්දැක්ක. ඒ පැහැදිලිව කියනව නම්, දිගින් දිගට අත්දුටු ප්‍රතිඵල නිසයි’ ඇය කියු මාර්ගයක් නො වන මාර්ගය එයයි.

 

 

අවබෝධය පිණිස විවරණ

අවබෝධය පිණිස ප්‍රවේශ මාර්ගය කුමක් වුවත්, ප්‍රථම මූලික ආස්වාදය හෝ වින්දනය වූ සෝතාපන්න, එයට අනුපාන වන්නා වූ ගුණයන්ගෙන් පෝෂණය වන්නකි. එසේවන්නේ අපේ උදාර ජීවිතය ප්‍රඥාව තහවුරු හා ගැඹුරු කරන්නට සහ පුරන්නට ඉගෙන ගන්නා කල්හි ය. අවබෝධයේ අනන්‍යත්වය කෙබඳු ද? අවබෝධයේ විවිධ පැතිකඩ අපේ ගුරුවරුන් තුළ අවබෝධය විසින්ම පිළිබිඹු කරනු ලැබේ. ඔහුගේ හෝ ඇගේ වින්දනීය හෝ ආස්වාදනීය ප්‍රගුණ කිරීමේ අනුපාතයෙන් අවබෝධය ප්‍රකට කැරෙයි.

කල්කටාවේ පින්බර ආත්තම්මා කෙනෙකු වූ දීපමා අපේ සම්ප්‍රදායේ විශිෂ්ට ගුරුවරුන්ගෙන් එක් තැනැත්තියක් වූවා ය. ස්ථාවර ලෙස පුහුණු කරන ලද මනසක් ඇති හුරුබුහුටි කුඩා කාන්තාවක් වූ දීපමා අවබෝධය හඳුන්වන්නේ ආදරය ලෙසිනි. ඕ තොමෝ පරිත්‍යාගශීලි ලෙස සිය ශිෂ්‍යයන්ට අවධානයෙන් සහ මෛත්‍රියෙන් උපදෙස් දුන්නා ය. ඒ අතර සිය දෑත් ඔවුන්ගේ හිස, මුහුණ සහ දෙවුර මත යවා වැළඳ ගනිමින් මෛත්‍රී පාඨ ගායනය කළා ය. ඔවුන් ජලය පානය කළේ ද ආදරයේ නාමයෙනි. දීපමා මෙන් දකුණු ඉන්දියානු හින්දු ගුරුවරියක වූ අම්මාචි ද hugging guru (වැලඳ ගන්නා ගුරු) ලෙස අවබෝධය ප්‍රකට කරන්නීය. අම්මාචි ධ්‍යානයට සමවදී. මුළු රාත්‍රිය පුරා ජනතාව පිළිගනී. ඕ තොමෝ 2000 ක් තරම් දෙනාට ආසිරි පතමින් වැලඳ ගනී. ඇය ආදරය මඟින් පළ කරන අවබෝධය එයයි.

සෙන් ගුරුවරයකු වන සුසුකි රෝෂිට අනුව අවබෝධය හුදෙක් ඔබ සිටින්නේ කවර තත්ත්වයක ද යන්නට අදාළ විග්‍රහ කරනු ලැබේ. එක්තරා කාන්තාවක් තමා ගෘහමූලික භූමිකාවේ සිටින නිසා, ඒ පිළිබඳ ප්‍රශ්න හේතුවෙන් සෙන් පුහුණුවට දායකවීම අපහසු බව සුසුකිට කීවාය. ‘’මට දැනෙන්නෙ මම ඉණිමඟක් දිගේ නඟින්න උත්සාහ කරනව වගේ් කියල. ඒත් මම එක අඩියක් ඉහළට තියද්දී අඩි දෙකක් පහළට වැටෙනව. එවිට සුසුකි මෙසේ කියයි. ‘ඔන්න ඔය ඉණිමඟ පැත්තකට දමන්න. ඔහෙ වැටුණට බිමටවත්, ඉණිමඟටවත් කරදරයක් නෑ’.

ඕනෑ ම දෙයක් ලබා ගන්නේ කෙසේ ද යන ලෝභයෙන් අදහස් කැරෙන්නේ ඔබ පවත්නා නියම ස්වභාවය අමතක කිරීම බව සුසුකි පැහැදිලි කළේ ය. වැඩිමනත් ඔහු මෙසේ කියයි. ‘හැම දෙයක් ම වෙනස් වන්නේ ය, නැතහොත් අනිත්‍ය වන්නේය යන සත්‍යය ඔබ හඳුනා ගත් කල්හි සහ එතුළ ඔබේ චිත්ත සමාධිය සොයාගත් කල්හි ඔබට නිර්වාණය අත්දකින්නට පුළුවන. තවදුරටත් අවබෝධය ගැන ඇසූ විට සුසුකි මෙසේ කියයි. ‘කෙළින්ම කතා කරනවානම් අවබෝධය ලබාපු කෙනෙක් නෑ. තියෙන්නෙ අවබෝධාත්මක ක්‍රියාකාරීත්වයක් පමණයි.’

මම අවබෝධ කරගෙන සිටිමි යි ඔබ සිතතොත් එයින් ගම්‍ය වන්නේ ඔබ අවබෝධ කරගත් බව නොවේ. බලාපොරොත්තුව, ඉලක්කය හෝ ප්‍රාර්ථනය යනු ඕනෑ ම කෙනෙකු විශේෂඥ වීම නිසා තමා විසින්ම තමා හෝ අනුන් විසින් තමා අත්හැර දැමීම යි. එබැවින් පුද්ගලයා සම්බන්ධයෙන් ගතහොත්, එළඹෙන හැම මොහොතක් ම පවතින්නේ ආරම්භකයාගේ සිත (මනස) සමඟ ය.

මියන්මාර් ජාතික ගුරුවරයකු වූ මහර්ෂි සයදෝව් අවබෝධය යනු ශූන්‍යත්වය ලෙස විස්තර කළේය. ඇමරිකාවට පැමිණි විටක ඔහු ගැන විමසිල්ලෙන් සිටිද්දී අපට පෙනුණේ ඔහු සිනාසුණේ් හෝ තීරණ දුන්නේ කලාතුරකින් බවයි. ඒ වෙනුවට ඔහුගෙන් වහනය වූයේ ගුප්ත සමචිත්තතාව හෙවත් උපේක්ෂාව යි. ඔහුගේ වටපිටාවේ කිසියම් සිදුවීමක් සහ සංවාදයක් ඇති වූයේ ඔහු නිදහස්ව, සන්සුන්ව සිටි කල්හි ය. ඔහු අවකාශය මෙන් විවෘත විය. විනිවිද දුටුවේය. කිසිවෙක් ඔහු අසල නො සිටියේ ය. අවබෝධය ලෙස ඔහු දුටු ශුන්‍යත්වය එයයි.

ආරණ්‍යවාසී තායි ජාතික අජාන් ජුම්නයින්ට අනුව ප්‍රබුද්ධත්වය හෙවත් අවබෝධය යනු හුදෙක් ශුන්‍යත්වය පමණක් නොවේ. ඔහුට අනුව අවබෝධය යනු පරිපූර්ණත්වය යි. ඔහුගේ් සිවුර හෝ පොරෝනය සිය ගණනකින් යුත් ශුද්ධ වූ යැ යි කියන ලද ලොකු පදක්කම් වලින් වැසී තිබිණ. ඔහු ඉගැන්වීම පිණිස ඉන්ද්‍රජාලික උපක්‍රම දුසිම් ගණනින් යොදා ගනී. එනම්, භාවනාව, භක්තිගීත, මන්ත්‍ර, චක්‍ර යෝග ව්‍යායාම් වනොෂධ, සතුන් පිළිබඳ කතා ශ්‍රමණවත් පිළිවෙත් ආදියයි. ඔහුගේ ධර්මතාවයක් පැය විසි හතර පුරා එක දිගට පැවතිණ. ඒවා සජිවී ද, සතුටින් පිරී ගියේ ද විය. ඔහු තුළ ද ඒ වතාවත් පිළිබඳ හැඟීම උතුරා ගියේ ය. සන්තුෂ්ටිය ගලාගියේ උල්පතකින් මෙනි. ඔහු අවබෝධය යනු පරිපූර්ණත්වය යැයි විවරණය කළේ එබැවිනි.

තිච් නත් හන් අවබෝධය යනු සතිය (සිහිය) ලෙස විස්තර කරයි. ඔහු උපදෙස් දෙන්නට  Spitit Rock වෙත එනවිට 3000 ක් ජනතාව කඳුබෑවුමේ භාවනාත්මක ඉරියවුවෙන් වාඩිවී ඔහුගේ සම්ප්‍රාප්තියට සූදානමින් සන්සුන්ව ඇපල් රස විඳිමින් සිටිති. සීනුවක් හඬවනු ලැබේ. ඔහු සාවධානව, සන්සුන් ගමනින් කඳු බෑවුමේ උඩට නඟින විට සියල්ලෝ ‘ආහ්’ හඬින් සැනසුම් සුසුමක් හෙළති. ඔහුගේ් සන්සුන් සක්මන නෙත ගැටෙන 3000 ක් දෙනාගේ විඥානයේ කිසියම් නියත වෙනසක් ඇතිවුණු බවක් පෙනේ. ඔහුගේ එක් එක් පියවරකින් සමස්ත විශ්වය ආවරණය වන්නාක් වැනි ය. එදෙස බලා සිටින විට අපි සනාතන පැවැත්ම පිළිබඳ සත්භාවයට පිවිසියා සේ වෙමු. අප ප්‍රබුද්ධත්වයට විවෘත වන මොහොත එයයි. සතිය හෙවත් අවධානය අවබෝධය වන්නේ එසේ ය. දලයි ලාමා අවබෝධය, කරුණාන්විත ආශිර්වාදය ලෙස විවරණය කරයි. උදාහරණයක් ලෙස වරක් ඔහු සැන්ෆැන්සිස්කෝහි හෝටලයක ලැගුම් ගෙන සිට අවසානයේ එහි සියලු සේවකයන් රැස්කරන ලෙස කළමනාකරණයෙන් ඉල්ලා සිටියේ ය. එයින් අදහස් කරන ලද්දේ මුළුතැන්ගෙයි එළවළු කපන්නන්, මැදියම් රැයේ බුමුතුරුණු පිරිසිදු කරන්නන්, යහන් පිළියෙල කරන්නන් වැනි පිරිස යි. විශාල වෘත්තාකාර පිවිසුම් මාර්ගය හෝටලයේ නියුතු, නමුත් පුරුදු පරිදි එතරම් පිළිගැනීමට ලක් නොවුණු සියලු සේවකයන්ගෙන් පිරී ගියේ ය. එක එක්කෙනා දෙස බලා අතට අත දෙමින්, මුහුණට මුහුණ ලා සිට ඔබට ස්තුති යි කියමින් ලැසි ගමනින් ඉදිරියට ගොස්, තමා හැම කෙනෙකු ම හඳුනාගත් බවට සහතික වූයේ ය. දලයි ලාමා අවබෝධය හඳුන්වන්නේ කරුණාන්විත ආශිර්වාදය ලෙසයි.

අජාන් චාගේ අවබෝධය වූයේ ප්‍රඥාවේ ප්‍රහර්ෂය යි. එනම් ප්‍රඥාවේ ප්‍රදීපය හෙවත් ආලෝකය යි. සෙන්පතියන්, ඇමැතිවරුන්, ගොවියන් හෝ අරක්කැමියන් වේවා ඔහු මෙසේ කියයි. ‘’මිනිසුන් ;කාතරම් බරපතළ අර්බුදයක යෙදී සිටිත් දැයි දකින විට මම ඔවුන් දෙස සදය අනුකම්පාවෙන් බලා මෙසේ අසමි. ‘හුඟක් අමාරු ද? අයියෝ දරා ගන්නත් බැරිව ඇති. ඇයි, ඕකෙන් නිදහස් වෙන්න බැරිද?’ ඔහුගේ ඉගැන්වීම බෙහෙවින් ගැඹුරු විය. හරියට ම තර්කානුකූල ය. ඒ අතර යථාර්ථවත් ය. ඔහු මෙසේ කියයි. ඔබ ටිකක් අත ඇරියොත් ඒ තරමට ටිකක් සතුට ලැබේවි. ඔබ හුඟක් අත ඇරියොත් ඒ තරමට හුඟක් සතුට ලැබේවි. ඔබ සම්පූර්ණයෙන් අත ඇරියොත් පරිපූර්ණ සතුට ලැබේවි’. ඔහු දුක දුටුවේ ය. දුකට හේතුව දුටුවේ ය. නිදහස ඕනෑ ම මොහොතක ලබා ගත හැකි ය. ඔහු අවබෝධය හෙවත් බුද්ධත්වය ලෙස විවරණය කළේ ප්‍රඥාව යි.

මෙවන් කතා කියවන විට එක එක්කෙනා මෙසේ අසන්නට පුළුවන. ‘ඒව කොහොම ද මට අදාළ වෙන්නෙ? මට ඕනෑ වෙන්නෙ මෙන්න මේ දේවල් ගැන අවබෝධයක්. ඉතින් මම කොහොම ද ඒව ලබා ගන්නේ? ඒකට මම මොක ද කරන්න ඕනෑ?’ අවබෝධ නමැති අෂ්ටාංගික මාණික්‍ය රත්නය නොයෙක් කෞශල්‍ය පූර්ණ ක්‍රියා මාර්ගයන්ගෙන් අවදි වන ලෙස අපට ආරාධනය කරයි. මහර්ෂි සයදෝව් මෙසේ කියයි. ‘ශුන්‍යත්වය අත්දකින්න නම්, ලෝකය ශුන්‍යත්වයට පත් වන්නේ කෙසේ දැයි ඔබට තේරුම් ගන්නට හැකි වන තාක් මොහොතක් නෑර සති (සිහිය) සම්පන්න වන්න. එවිට ඔබ ශුන්‍යත්වය අත්දකින්නට අදාළ නිදහස ලබනු ඇත. අජාන් චා කියන්නේ මෙවැන්නකි. ‘සියල්ල අමතක කරන්න. සතිසම්පජඤ්ඤ හෙවත් සිහි නුවණින් මෙනෙහි කරන්න. ප්‍රඥාවන්තයකු වන්න’.

දීපමා මෙසේ කියයි. ‘කුමක් වුවත් කාරියක් නැත. ආදරය කරන්න. ‘තිච් නත් හන් කුමක් කියයි ද? ‘සතියෙහි පිහිටන්න. මේ මොහොත එනම් සනාතන පැවැත්ම මෙනෙහි කරන්න’ අජාන් ජුම්නයින් මෙසේ කියයි. හේතුවක් වුවමනා නැත. සතුටු වන්න’ සුසුකි රෝෂිගේ යෝජනාව මෙබඳු ය. ‘ඔබ සිටින්නේ කොතැනක දැයි සහතික වන්න. ඔබ සිටින්නේ බස්රිය බලාපොරොත්තුවෙන් නම්, ඔබ බස්රියේ නැඟ සිටින බව සිතන්න’.

එසේනම් අවබෝධය යනු මිථ්‍යාවක් ද? නැත. එය බාහිර වශයෙන් දුර බැහැරක පිහිටියක් නොවේ. එය දැන් දැන්ම අප වෙත ඇති නිදහස යි. ඔබ එයට විවෘත වන ඕනෑම විටක ආස්වාදයට සූදානම් ය. ගුරුවරයකු ලෙස මගේ භූමිකාව තුළ ධර්මය ප්‍රගුණ කිරීමට පැමිණෙන සහ ධර්මයේ විවිධ පියවරේ ප්‍රතිචාර මඟින් ප්‍රගතියක් අත්කර ගත් බොහෝ භාවනානුයෝගීන් තුළ පල ගැන්වුණු අවබෝධයේ ආශිර්වාදය අත්විඳීමේ නිදහස හෝ අයිතිය මට ඇත. ජීවිතය සමඟ බැඳුණු ඔවුන්ගේ මූලික ආතතිය සහ අරගලය නිසා සැකය සහ පීඩාව යටපත් වෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ කයට දැනෙන සැහැල්ලුව මම දනිමි. ඔවුන්ගේ මුහුණෙහි පහන් බව දිදුලයි. ඔවුන්ගේ ධර්මාවබෝධය විවෘත ය. ඔවුන්ගේ හදවත් සොම්නසින් පිරී ගොසිනි. ඇතැම්මු බුද්ධදාස විසින් හඳුන්වා දෙන ලද ‘’දෛනික නිර්වාණ’ ස්පර්ශය විඳිති. ඉතිරියෝ සිතෙහි උද්දීප්ත විශුද්ධියට පැමිණියාහු ඒකාන්ත නිදහස් ආස්වාදයක අත්දැකීම ලබති.

බුදුන්වහන්සේ මෙසේ වදාරති. ‘අවබෝධය ලබා සිත නිදහස් කර ගන්නට නොහැකි වන්නේ නම් මම ඔබට එසේ ධර්මය දේශනා නොකරමි. හුදෙක් ධර්මාවබෝධයෙන් ම අධ්‍යාත්මික විමුක්තිය සාක්ෂාත් කළ හැකිය. ඒ නිසා ම විමුක්තිය පිණිස වූ ධර්මය පිළිබඳ ඉගැන්වීම ප්‍රකාශයට පත්වෙයි. සමස්ත ජීව සන්තතියේ හිත සුව පිණිස එම ධර්මය නොමසුරුව පිරිනමනු ලැබේ’.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: